වැඩෙන සමාජ අරගලවල කලු වලාව ඩාවොස් ආර්ථික සමුලුව මත පතිත වේ

Mounting social struggles cast shadow over Davos economic summit

28 January 2012

ඉරිදා ඩාවොස්හි දී සිය වාර්ෂික සමුලු රැස්වීම නිමා කල ලෝක ආර්ථික සංසදය (ඩබ්ලිව්ඊඑෆ්), මීට වසර 40කට වැඩි කලකට පෙර පිහිටුවන ලද්දේ, ලෝක ධනවාදී ආර්ථිකය කලමනාකරනය සඳහා අදහස් සම්පාදනය කිරීමට ව්‍යාපාරික ප‍්‍රධානීන්, ආන්ඩුවල නායකයන් සහ ශාස්ත‍්‍රාලිකයන් ඒකාබද්ධ කරනු පිනිස ය. එහි ප‍්‍රථම දශක දෙක තිස්සේ, එය කි‍්‍රයාත්මක වූයේ තවත් වින්තන පර්ෂදයක් ලෙස ය. එය සිය වත්මන් ගෝලීය ප‍්‍රමුඛත්වය අත්පත් කරගත්තේ, මීට වසර 20කට පෙර සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව පමනි.

දේශපාලන හා ආර්ථික සංස්ථාපිතයේ සියලුම කොටස් සමාජවාදයේ අවසානය, "නිදහස් වෙලඳ පොලේ” අවසන් ජයග‍්‍රහනය සහ ඉතිහාසයේ අවසානය ගැන පවා හුරේ දමද්දී, අදූර-දර්ශී පාලක ප‍්‍රභූන්ට හා ඔවුන්ගේ නියෝජිතයන්ට පෙනී ගියේ සියලු දවැන්ත ආර්ථික හා දේශපාලන ප‍්‍රශ්න අවසන් වසයෙන් විසඳී ඇති බවකි.

1990 ගනන් පුරා මෙන් ම නව ශත වර්ෂයේ ප‍්‍රථම දශකය තුල ද පෙනී ගියේ, කුමන ගැටලුවක් පැන නැගුනත් ධනවාදී වෙලඳ පොලේ යාන්ත‍්‍රනය මගින් ඒවා විසඳාගත හැකි බවයි. ඩබ්ලිව්ඊඑෆ් එවන් කෝකටත් තෛල ලබා දෙන ප‍්‍රධාන ප‍්‍රභවයක් ලෙස පෙනී සිටියේ, පෙර කාලවල දී හඳුන්වා දී තිබූ නියාමන බිඳ විසුරුවන තතු යටතේ පවා, වෙලඳ පොල එකම සහේතුක ආර්ථික පද්ධතිය ලෙස හුවා දක්වමිනි. ලාභ හඹා යන සිය අවසානයක් නැති ගමනේ දී ගෝලීය ප‍්‍රාග්ධනයේ මෙහෙයුම්වලට බාධාවක් වීමට කිසිදු දෙයකට ඉඩ නොදිය යුතු යයි එය අවධාරනය කලේ ය.

ස්ථාවරත්වය හා ආර්ථික වැඩි දියුනුව සම්පාදනය කරනවා වෙනුවට, නිදහස් වෙලඳ පොල 1930 ගනන්වල මහා අවපාතයෙන් පසුව මෙතෙක් පැවති දැවැන්තම ආර්ථික අර්බුදය තුලට ලෝකය තල්ලු කර ඇති බව ද පරිපූර්න සාපරාධීත්වය පවතින්නේ "නියාම මත පාදක” යයි කියනු ලබන මූල්‍ය පද්ධතියේ හදවතෙහි බව ද එලිදරව් කරමින්, 2008 දී ලෙහ්මන් බ‍්‍රදර්ස් ආයතනයේ කඩාවැටීමත් සමග ම මෙම ප‍්‍රබන්ධ කුඩුපට්ටම් කෙරුනු ප‍්‍රහාරයක් එල්ල විය.

නිදහස් වෙලඳ පොල අර්බුදයට තල්ලු වී ඇතත් එය කෙසේ හෝ විසඳුමක් සම්පදානය කරනු ඇතැයි තවමත් කියාපාන ලදි.

දැන් නව සාධකයක් කරලියට පිවිස ඇත -- එනම්, ඊජිප්තු විප්ලවය ද ලොව වටා දැන් වැඩෙන සමාජ අරගල ද මගින් නිදර්ශනය කෙරී ඇති පරිදි ජාත්‍යන්තර කම්කරු පන්තිය යලි ඉස්මත්තට පැමිනීමයි. හදිසියේ ම, සමුලුවලට සහභාගිවන්නන්ගේ සැලකිල්ලට භාජනය වන කරුනු ලැයිස්තුවට යන්තමින් ඇතුලත් කිරීමෙන් පසුව, අසමානතාව මේ වසරේ දේශපාලන ස්ථාවරත්වයට තර්ජනය කරන ප‍්‍රධාන සාධකයක් ලෙස සැඳහුම් කර තිබේ.

ඓතිහාසික ප‍්‍රගතියට බාධකයක් බවට පත් වූ පෙර කල සියලු පාලක පන්තීන් මෙන් ම, අද දින ධනපති ප‍්‍රභූව ද, ශාස්ත‍්‍රාලික ප‍්‍රජාව හා ජන මාධ්‍ය තුල සිටින ඔවුන්ගේ හොරනෑ ද සමග, ඔවුන්ගේ ම මිථ්‍යා විශ්වාස ඉදිරියේ කෙතරම් නම් අන්ධ බවට පත්ව සිටියේ දැයි කිය තොත්, සමාජ මනෝවේදයේ සිදුවන දැවැන්ත වෙනස -- වත්මන් ආර්ථික පර්යාය සම්බන්ධයෙන් පුලුල් මහජනතාවගේ වැඩෙන අපේක්ෂා භංගත්වය -- දැකගැනීමට ඔවුහු මුලුමනින්ම අපොහොසත් විය.

දැන් එම කොන්දේසිවලට මුහුන දීමට බල කෙරුනු ලැබ, ධනපති ක‍්‍රමයේ නීතියුක්ති භාවය පුනස්ථාපනය කිරීමේ මංමුලාසහගත උත්සාහයක යෙදෙමින්, ඩබ්ලිව්ඊඑෆ් සංවිධායකයෝ, මේ වසරේ සමුලුවේ තේමාව ලෙස "මහා පරිවර්තනය: නව ආදර්ශයන් හැඩගැන්වීම” තෝරා ගත්හ.

ඩබ්ලිව්ඊඑෆ් ප‍්‍රධානි හා නිර්මාතෘ ක්ලාවුස් ස්ච්වැබ්, වත්මන් පද්ධතිය විසින් නිර්මානය කෙරෙන වැඩෙන දරිද්‍රතාවයෙන් ද අඛන්ඩව වැඩි වන දුෂ්කරතාවන්ගෙන් ද යුක්ත "අපායක්” පිලිබඳව කතා කලේය. "සදාචාරමය පරතරයක්” -- සමාජයේ ඉහලම සියයට 1 අත දැවැන්ත ධනයක් සමුච්චය වීම සහ අති මහත් බහුතරයක් වැඩෙන රුදුරු කොන්දේසිවලට මුහුන දීම -- ද "සමාජ සංසක්තයට” වල කැපීම ද ගැන ඔහු අනතුරු ඇඟවීය.

කෙසේවෙතත්, ධනවාදී ආර්ථිකය සඳහා කිසිදු නව "ආදර්ශයක්” නොමැත -- ජෝන් මෙනාර්ඞ් කේන්ස්ලා නැත, "නිව් ඞීල්” පිලිවෙත අතැතිව සූදානම්ව සිටින රූස්වෙල්ට්ලා නැත. ඔවුන් සිටියේ වී නමුත්, ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ කොල්ලකාරීත්වය පාලනය කිරීමේ එල්ලය සහිත කිසිදු ප‍්‍රතිසංස්කරන සැලසුමක් කි‍්‍රයාවට දැමීමේ හැකියාවක් නැත. පසුගිය 30 වසරක නියාමනහරනය මගින් ආධාර හා අනුබල දෙන ලද ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනයේ පරිපූර්න ආධිපත්‍යය කෙසේ ද යත්, කිසිදු ජාතික ආන්ඩුවකට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර ආයතනයකට හෝ න්‍යාය පත‍්‍රය සැකසිය නොහැක. ඒ වෙනුවට, ඔවුන්ගේ පිලිවෙත් ඔවුන්ට නියම කරනු ලබන්නේ, හෙජ් අරමුදල්, බැංකු හා සෙසු මූල්‍ය ආයතන විසිනි.

මූල්‍ය දැවැන්තයන්ගේ මෙහෙයුම්වලට එකිනෙක හා බැඳුනු ප‍්‍රතිවිපාක දෙකක් පවතී. ඒවා ප‍්‍රධාන ධනපති බලයන් අතර ගැටුම් උත්සන්න කරන අතර පන්ති අරගලය ද අවුලවයි. ඩාවොස් සමුලුවේ දී ජාතික ගැටුම් ආරම්භයේ පටන් ම ප‍්‍රදර්ශන විය. ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කල් සමුලු සැසිය ආරම්භ කලේ, යුරෝපීය බැංකු ඇප දී ගලවා ගැනීමට ජර්මනිය අමතර අරමුදල් සැපයිය යුතු යයි කෙරෙන වැඩෙන ජාත්‍යන්තර ඉල්ලීම් එකහෙලා ප‍්‍රතික්ෂේප කල කතාවකිනි.

මෙය බිලියනපති මූල්‍ය සම්පාදක ජෝර්ජ සෝරොස් වෙතින් තියුනු ප‍්‍රතිචාරයක් අවුලුවාලීය. "ජර්මනියට පැනවීමට අවශ්‍යව ඇති කප්පාදු පිලිවෙත්” "ඉතා භයානක දේශපාලන ගතිකයක්” නිර්මානය කරමින්, "යුරෝපය අවධමන සර්පිලයක් තුලට තල්ලූ කරනු ඇත”යි ඔහු අනතුරු ඇඟවීය. රටවල් එකට ඇදගෙන යනවා වෙනුවට, එය "ඒවා අන්‍යොන්‍ය වසයෙන් දෝෂාරෝපනය කරගැනීමකට තල්ලු කරනු” ඇත.

බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් දේශනය පවත්වන විට, යුරෝපා සංගමය තුල පවත්නා ගැඹුරු භේදයන් එලිමහනට පැමිනියේ ය. ලන්ඩන් නගරයේ පාදකව ඇති මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් කතා කරමින්, ඔහු යුරෝ කලාපයේ ආන්ඩු විසින් හඳුන්වා දීමට යෝජිත මූල්‍ය ගනුදෙනු බද්ද "හුදෙක්ම උමතු සහගත කි‍්‍රයාවක්” ලෙස හෙලා දුටුවේය. මූල්‍ය ඒකකයට පිටුබලය සැපයීමට යුරෝ කලාපයට මහ බැංකුවක් අවශ්‍ය බව ඔහු පැවසීය. එයට තව දුර ආර්ථික ඒකාග‍්‍රකරනය ද මූල්‍ය පරිවර්තනයන් ද අවශ්‍ය ය. එහෙත් එයින් එකක් වත් නැත.

ගැඹුරු වන සමාජ අර්බුදයට කිසිදු ආර්ථික විසඳුමක් ඔවුන් අත නොමැති තතු තුල, පාලක ධනපති ප‍්‍රභූන්, සිය ජාත්‍යන්තර තරගකරුවන්ට එරෙහිව තම තත්වය ඉහල දමා ගැනීමට ප‍්‍රයත්න දරන අතරම සිය රටවල් තුල කම්කරු පන්තියට එරෙහිව වඩවඩා මර්දනකාරී විධික‍්‍රමවල පිහිට සොයා යා යුතුය. නව "ආදර්ශයක්” පිලිබඳ කතා තිබිය දී ම, සැබෑ න්‍යාය පත‍්‍රය වන්නේ මෙයයි.

සෝරොස් විසින් නිව්ස්වීක් සමග කල මෑත සම්මුඛ සාකච්ඡාවක මෙම දර්ශනය විදහා දැක්වුනි. ඔහු මෙසේ පැවසීය: "අප මුහුන දෙමින් සිටින්නේ, බොහෝ ආකාරයන්ගෙන් 1930 ගනන්වලට, මහා අවපාතයට, සන්සන්දනය කල හැකි, අතිශයින්ම අසීරු කාලයකට ය. අප දැන් මුහුන දෙමින් සිටින්නේ සංවර්ධිත ලෝකයේ පොදු වියදම් කප්පාදුවකට ය. එය දශකයක හෝ ඊටත් වැඩි කාලයක එකතැන පල්වීමක් හෝ ඊටත් වඩා නරක තත්වයකට අපව තල්ලු කිරීමේ තර්ජනය මතු කරයි. විය හැකි හොඳම තත්වය නම් අවධමන වාතාවරනයකි. විය හැකි නරකම තත්වය මූල්‍ය පද්ධතියේ කඩාවැටීමකි.”

යුරෝපයේ අර්බුදය උග‍්‍ර වූ ආකාරයට ම, වීදිවල ගැටුම් ඇති කරමින්, මර්දනයට ද "මර්දනකාරී දේශපාලන පද්ධතියකට” තුඩු දිය හැකි වන පරිදි "නීතිය හා සාමය පවත්වාගෙන යාමේ බලාත්කාරී උපක‍්‍රමවලට” ද තුඩු දෙමින්, එය එක්සත් ජනපදයට පහර දෙනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.

වෙනත් වචනවලින් කියතොත්, ගෝලීය ධනවාදයේ අර්බුදයට සමාජීයව සාමකාමී විසඳුමක් නැත. යුද්ධය හා මර්දනය හැරුනු කොට ධනේශ්වරයට වෙනත් මාවතක් නැත. එබැවින්, ජාත්‍යන්තර කම්කරු පන්තිය, අන් සියල්ලටමත් වඩා ප‍්‍රධාන ධනපති රටවල කම්කරු පන්තිය, බැංකු, මූල්‍ය ආයතන හා ප‍්‍රධාන කර්මාන්ත ජනසතු කිරීම මත පාදක වූ තමන්ගේ ම සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් ඉදිරිපත් කරමින් ද එය කි‍්‍රයාවට දමනු පිනිස කම්කරු ආන්ඩු ගොඩනැගීම සඳහා සටන් වදිමින් ද දේශපාලන අරගලයට අවතීර්න වීම අත්‍යවශ්‍ය ය.

නික් බීම්ස්

Share this article: