ස්ලැවෝ සිසෙක් ගෙන් බි‍්‍රතාන්‍ය තරුනයින්ට එරෙහිව දක්ෂිනාංශික මොර ගෑමක්

A right-wing rant against British youth from Slavoj Zizek

By Stefan Steinberg , 27 August 2011

මෑත දී මහා බි‍්‍රතාන්‍යයේ සිදු වූ විරෝධතා සහ කැරලිවල යෙදුනු ශිෂ්‍යයින්ට පහර දීමට ආයුධ සොයා ගැනීමේ අපහසුවක් බි‍්‍රතාන්‍ය පාලක පන්තියට නො තිබිනි. තමන් කල අපරාධවලින් අවධානය ඉවතට හරවා ගැනීමේ ඕනෑකමින් පෙලෙන දක්ෂිනාංශික මාධ්‍ය විශේෂයෙන් ම මර්ඩොක් මාධ්‍ය අධිරාජ්‍යය ‘කැරලිකාර රංචු ’ සහ ‘මැරවරයින්’ යනුවෙන් ඔවුන් විසින් නම් කරනු ලැබූවන්ගේ ඡායාරූප ප‍්‍රදර්ශනය කරමින් ලේ ඉල්ලා බුරා පැන්නේ ය.

රාජ්‍යය සහ මාධ්‍යවලින් මෙහෙයවුනු මෙම මර්දනීය මෙහෙයුම සඳහා දේශපාලන වහන්තරාවක් සපයනු ලැබුයේ ලේබර් පක්ෂය තුල සිටින ඊනියා වාමාංශයේ ප‍්‍රධාන සාමාජිකයෝ ය. ඔවුන් අතර කලින් ලන්ඩන් නගර සභාවේ පුරපතිව සිටි කෙන් ලිවිංස්ටන් සහ කලු අයිතීන් ගැන ඉලිප්පී පෙනෙන කි‍්‍රයාකරුවකු වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩයන් ඇබට් වැනි අය ය. ඒ අතර ධනේශ්වර නීතිය හා සාමය වෙනුවෙන් උම්මත්තක උද්ඝෝෂකයින් ලෙස තමන්ට ඇති සුදුසුකම් ප‍්‍රදර්ශනය කිරීමට බි‍්‍රතාන්‍ය හා ජර්මන් ස්ටැලින්වාදීහු සහ වාමාංශික සංවිධාන ගනනාවක් ම ඉදිරියට පැමිනිය හ.

දේශපාලන බොරු චෝදනා දමා ගැසීමේ මෙම මෙහෙයුමට අලුතින් ම බඳවා ගත් අයවලුන්ගෙන් එක් කෙනෙක් වූයේ ස්ලෝවිනියානු දර්ශනවාදියෙක් වන ස්ලැවෝ සිසෙක් ය. ඔහු කැරලිවලට සහභාගි වූ තරුනයින්ට එරෙහිව තමාගේ ම දුෂ්ට ප‍්‍රහාරයක් එල්ල කලේ ය. මෙම ප‍්‍රහාරාත්මක ලිපියට ඔහු දුන් නරුම වූත් උත්ප‍්‍රසාත්මක වූත් මාතෘකාව වූයේ "සකල ලෝකවාසී කඩ කොල්ලකරුවෙනි එක්වව්” යනුවෙනි. එම ලිපිය London Review of Books (ලන්ඩන් රිවීව් ඔෆ් බුක්ස්) බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන සාහිත්‍ය සඟරාවේ පල කර තිබින.

මෙම ලිපියේ පවතින ව්‍යාජ-සමාජවිද්‍යාත්මක සහ පශ්චාත් නූතනවාදී සැරසිලි කෑලි අයින් කර දැමූ කල පෙනෙන්නේ එය අන්ත දක්ෂිනාංශය හඳුනාගැනීමට හැකි පොදු ආවේනික ලක්ෂනය වන කම්කරු පන්තියට ද්වේෂ කිරීම සහ බිය වීම පැහැදිලි ව ප‍්‍රකාශ කරන්නක් බවයි. "සෙසු අයට දීමට කිසිම පනිවිඩයක් ඔවුන්ට නොතිබුනේ යැයි” ප‍්‍රකාශ කරමින් කැරලිකරුවන් විවේචනය කල සිසෙක් ඉන් පසුව ජර්මන් දර්ශනවාදී හේගල් ගේ ප‍්‍රකාශයක් විකෘත කරමින් ඉදිරිපත් කරයි. මෙම සඳහන තුල දී ඔහු තරුනයින් හඳුන්වන්නේ "විනාශකාරී වූත් ප‍්‍රචන්ඩ වූත් ප‍්‍රහාර තුලින් පමනක් තම කලකිරීම ප‍්‍රකාශ කල හැකි රොඞ්ඩන්” ලෙස ය.

සිසෙක් ඉන්පසු ව විරෝධතාවල යෙදුනු තරුනයින්ට අපහාස කරයි. තමන්ට මතවාදී ව බලපෑ අයෙක් වන හර්බට් මාර්කුස නම් ජර්මන්-ඇමරිකන් දර්ශනවාදියා ගැන කෙටියෙන් සඳහන් කරමින් සිසෙක් මෙසේ ප‍්‍රකාශ කරයි: "කලබල සිදුවන අවස්ථාවේ දී බි‍්‍රතාන්‍ය වීදිවල අප දැක්කේ ‘තිරිසනුන් බවට පහතට වැටුනු මිනිසුන් නොව ධනේශ්වර මතවාදය මගින් නිපදවන ලද්දා වූ 'තිරිසනා’ගේ හෙලුවැලි රූපය යි.”

සිසෙක්ට අනුව ලන්ඩන්, මැන්චෙස්ටර් සහ ලීඩ්ස් නගරවල වීදිවලට බට සිත්පිත් නැති "තිරිසන්නු” මෙහෙය වෙනු ලැබුයේ ඉතාමත් පහත් ම මට්ටමේ මනෝභාවයන් මගිනි. සියල්ලටත් පලමුව පරිභෝජනය කිරීමේ ආශාව තුලිනි. මෙහි දී සිසෙක් උපුටා දක්වන්නේ කැරලි "අඩුපාඩුකම් සහිත වූත් සුදුසුකම් නොමැතිකම නිසා ඉවත් කරන ලද්දා වූත් පාරිභෝගිකයින්ගේ කි‍්‍රයා” ලෙස හැඳින් වූ පෝලන්ත- බි‍්‍රතාන්‍ය ජාතික සමාජ විද්‍යාඥයෙකු හා පශ්චාත් නූතනවාදියෙකු වන සිග්මන්ට් බෝමන්ගේ වචන ය.

සිසෙක්ගේ විවේචනවල දී පෙනෙන අන්දමට ඔහුට ඇත්ත වශයෙන් ම කේන්ති ගොස් ඇත්තේ "වාමාංශික ලිබරල්ලු” යනුවෙන් ඔහු හඳුන්වන අය ගැනයි. මේ අය ඔහුගේ මතයට අනුව ආගමනිකයන්ගෙන් පැවත එන අය සඳහා සමාජ ක‍්‍රියාමාර්ග සහ ඔවුන් සමාජය තුලට ඒකාබද්ධ කිරීමේ යෝජනා ක‍්‍රමවල අවශ්‍යතාවය මන්ත‍්‍රයක් මෙන් ජප කරන්නෝ ය. සිසෙක් පවසන අන්දමට මේ අය ගේ මතය වන්නේ එකී ක‍්‍රියාමාර්ග සහ යෝජනා ක‍්‍රම ක‍්‍රියාවට දැමීම අතපසු කිරීම මගින් ආගමනිකයන්ගෙන් පැවත එන දෙවැනි සහ තුන්වැනි පරම්පරාවල ජනයා ගේ ආර්ථික හා සාමාජික ඕනෑ එපාකම් ඔවුන්ට අහිමි කර ඇති බවයි .

එහෙත් සිසෙක්ට නම්, කැරලිවලට හේතු වටහා ගැනීමේ දී එවැනි සමාජ සාධක කිසිසේත් ම අදාල නොවේ. ඉතා ඉහල ගෙවීම් සහ ගාස්තු ලබා ගන්නා මෙම ශාස්ත‍්‍රාලිකයා තම හෑල්ලේ තවත් තැනක පවසන්නේ "විරෝධතාකරුවන් වරප‍්‍රසාද අඩු අය සහ යථා ජීවිතයේ දී සමාජීයව කොන් කරනු ලැබූ අය වූවත් සාගතයකට ඇද වැටීමට ඔන්න මෙන්න තත්ත්වයක ඔවුහු නොසිටියහ” යනුවෙනි. ඒ අතරම සිසෙක් අතීත වාමාංශික රැඩිකලුන් සහ ශාස්ත‍්‍රාලීය සමාජය තුල සිටින කලකිරීමට පත් වූ කොටස්වලින් සමන්විත වූ තමාට කන් දෙන්නන් ගේ කන්ඩායමට මිත‍්‍රකම් පෙන්වීමක් ලෙස , බි‍්‍රතාන්‍ය කොන්සවෙටිව් පක්ෂයේ තැචර්වාදී කන්ඩායම කැරලිවලට දැක් වූ එක් ප‍්‍රතිකි‍්‍රයාවක් විවේචනය කිරීමට ඉදිරිපත් විය.

මෙය ඔහුගේ ම දේශපාලන ජීවිතයට බලපෑ එක් අයකු වන ජෝසප් ස්ටාලින් වේදිකාවට ගෙන ඒමට ඔහුට ඉඩක් ලබා දුන්නේ ය. සිසෙක් අපට පවසන්නේ එම ප‍්‍රඥාවන්ත සෝවියට් ඒකාධිපතියා අද සිටියේ නම් කැරලිවලට වාමාංශික ලෙස මෙන් ම දක්ෂිනාංශික ලෙස ද ප‍්‍රතික‍්‍රියා කිරීම යන දෙක ම හෙලා දකිනු ඇති බවයි. ඉක්මනින් ම අපට දැක ගත හැක්කේ සිසෙක් තම ලිපිය තුල දී ස්ටාලින් ව අගය කිරීමේ වචන ප‍්‍රකාශ කිරීම අහම්බෙන් සිදු වූවක් නොවන බවයි.

ලිපිය තුල දී ඔහු කැරලිවලට සම්බන්ධ වූවන් වඩ වඩා තදින් කිහිප විටක් ම හෙලා දකියි. තරුනයින් "නොහික්මුනු කල්ලි” සහ "තිරිසන්නු” ලෙස හෙලා දැකීමෙන් නතර නොවන සිසෙක් කැරලි සහ "ත‍්‍රස්තවාදී ප‍්‍රහාර අතරත් මරාගෙන මැරෙන බෝම්බකරුවන්” අතරත් සමානකමක් තිබෙන බව පවසයි.

තත්කාලීන ප‍්‍රශ්න ගැන ඔහු ලියා ඇති වෙනත් නොයෙකුත් ලිපිවල දී මෙන් ම මෙහි දී ද සිසෙක් රැඩිකල්වාදියෙකු ගේ පෙනුමක් ආරූඪ කර ගැනීමට උත්සාහ කරයි. එහෙත් පැහැදිලි ව පෙනෙන ඇත්ත නම් දර්ශනවාදියෙක් ලෙස පෙනී සිටින නමුත් මොහුට කීමට කිසිම අලුත් දෙයක් නැති බවයි. තම ලිපියේ දී සිසෙක් ධනවාදයේ සර්වාධිකාර බලය, පරිභෝජනයේ දෙවියා ඉදිරියේ කම්කරු පන්තිය මුලුමනින් ම දනින් වැටී සිටීම ආදී වශයෙන් දෙන්නා වූ ප‍්‍රකාශන යල්පැන ගිය ප‍්‍රලාප පමනකි. ඒවා ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය සහ පශ්චාත් නූතනවාදීන් විසින් දශක ගනනාවකට පෙර දිග හැර ප‍්‍රචාරය කරනු ලැබූ මතාන්තර වේ.

මෙකී න්‍යායඥයින්ට මෙන් ම සිසෙක්ට ද කම්කරු පන්තිය සමග සම්ප‍්‍රදායික සම්බන්ධයක් ඇති පක්ෂ සහ සංවිධාන - බි‍්‍රතාන්‍යයේ දී නම් කම්කරු පක්ෂය සහ වෘත්තීය සමිති - ගැන ප‍්‍රකාශ කිරීමට කිසිවක් නැත. ඔවුන්ගේ පාවාදීම් ඔහු නොතකා හරියි. ඒ වෙනුවට සිසෙක් අපට ගුරුහරුකම් දෙන්නේ කැරලිකරුවන් ධනේශ්වර මතවාදයේ ගිරයට සම්පූර්නයෙන් ම අසු වී ඇති "තිරිසනුන්” බව ය. සිසෙක්ගේ ලිපියෙහි ඉදිරිපත් කෙරෙන ප‍්‍රකාශ ගැන කෙලින් කථා කල යුතු ය. ඔහු පාවිච්චි කරන ව්‍යාජ සමාජවිද්‍යාත්මක වචන මාලාව පසෙක තැබුව හොත් ඔහු ගේ තර්ක දේශපාලන ක්ෂෙත‍්‍රයේ අන්ත දක්ෂිනාංශිකයින්ගේ ප‍්‍රකාශවලට හොඳින් ම ගැලපෙන බව පෙනී යයි. මෙය හොඳින් ම තහවුරු වන්නේ ඔහුගේ ලිපියේ අවසාන නිගමන දෙස බැලූ විට දී ය.

දේශපාලනික ව තහවුරුව ඇති තත්ත්වය වෙනස් කිරීම කැරලිවලින් කොහෙත් ම සිදු නො වන බව ප‍්‍රකාශ කරන සිසෙක් මෙහි දී තමාගේ ම යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන්නේ ස්ටැලින් සහ ස්ටැලින්වාදී නිලධරයේ ඒකාධිපති තන්ත‍්‍රයක් වැනි "ශක්තිමත් මිනිසුන්ගේ පාලනයක්” අවශ්‍ය ය යන යෝජනාව යි. සිසෙක් තර්ක කරන අන්දමට අවශ්‍යව ඇත්තේ සමාජ ජීවිතය මතට ප‍්‍රතිසංවිධානයක් පැටවීම ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඉක්මන් තීන්දු ගැනීමටත් ඒවා අවශ්‍ය පරිදි කටුක අන්දමින් කි‍්‍රයාත්මක කිරීමටත් හැකි ශක්තිමත් මන්ඩලයකි.

ස්ලැවෝ සිසෙක් කවුද?

සිසෙක්ගේ ඉතිහාසය කෙටියෙන් සලකා බැලූ කල පෙනී යන්නේ ඔහු London Review of Books (ලන්ඩන් රිවීව් ඔෆ් බුක්ස්) සඟරාවට ලියු ලිපියේ ඉදිරිපත් කර ඇති අධිකාරවාදීමය සහ කම්කරු පන්ති විරෝධී උමතුවකින් යුක්ත පන්ති ස්ථාවරයන් අහම්බෙන් පැන නැගුනු ඒවා නොවන බවයි.

කලින් යුගෝස්ලාවියාවේ සිටි ඇටුවන් බැහැපු ස්ටැලින්වාදී දෙමව්පියන්ගේ දරුවකු වූ සිසෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ප‍්‍රථමයෙන් ස්ලෝවිනියන් (යුගෝස්ලැවියාවේ කොටසක්) කොමියුනිස්ට් සංගමයේ මධ්‍යම කාරක සභාවේ රැකියාවක් ලබා ගත්තේ ය. ඔහුගේ එක් කාර්යයක් වූයේ ස්ටැලින්වාදී නිලධරයේ සාමාජිකයින්ට කථා ලියා දීම යි.

ශිෂ්‍යයෙක් වශයෙන් සිසෙක් දර්ශනවාදය ඉගෙන ගත්තේ ය. ඔහුගේ විශේෂ අධ්‍යයන අංශය වූයේ 1960 ගනන් හා 1970 ගනන්වල ජනප‍්‍රිය ව පැවති බටහිර මතවාදයෝ ය. මේවා ඉගෙන ගැනීමේ දී ඔහුට බටහිර යුරෝපීය ශාස්ත‍්‍රාලීය කන්ඩායම් සමග මුලින් ම සම්බන්ධකම් ඇති කර ගැනීමට හැකි විය. ටිටෝ යුගෝස්ලාවියාවේ ඉදිරිපත් කරන ලද්දා වූ ත් නැගෙනහිර ස්ටැලින්වාදී නිලධරය සහ බටහිර අධිරාජ්‍යවාදී රටවල් අතර උපාමාරු දැමීමේ එල්ලය මත පදනම් වූ ත් ඔහු ගේ ඊනියා "තුන්වැනි මාවත” අසාර්ථක වී යෑමේ ඉරනමට ගොදුරුවීමට නියමිත බව 1980 ගනන්වල දී වටහා ගත් සිසෙක් 1980 ගනන්වල අගභාගය වන විට ස්ලෝවිනියාවේ (යුගෝස්ලාවියාව කැඩී යෑමේ දී බිහිවූ එක් රාජයයක්) ලිබරල් ඩිමොක‍්‍රැටික් පක්ෂය (එල්ඩීඑස්) නම් ධනපති පාක්ෂික වූ ත් බෙදුම්වාදී වූ ත් දේශපාලන පක්ෂයට බැඳුනේ ය.

සිසෙක් පක්ෂයේ සාමාන්‍ය සාමාජිකයෙක් නොවී ය. හෙතෙම 1990 දී ස්ලෝවීනියාවේ ජනාධිපති තරගයට පක්ෂයේ අපේක්ෂකයා වූ අතර එම පක්ෂයෙන් ම ඉදිරිපත් වූ තවත් අපේක්ෂකයෙකුට යන්තමින් පැරදිනි. 1992 සිට 2004 දක්වා එරට තුබූ හවුල් ආන්ඩුවලට නායකත්වය දුන්නේ එල්ඩීඑස් පක්ෂය යි. ස්ලෝවීනියාව යුගෝස්ලාවියාවෙන් වෙන් වූ පසු රටට වැලඳී තුබූ ආර්ථික රෝගවලට දුන් ධනවාදී කම්පන ප‍්‍රතිකාර කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු ඉටු කලේ එම ආන්ඩු ය. මෙම මුල් කාලය තුල දිගට ම සිසෙක් තම පක්ෂයට කි‍්‍රයාත්මක ලෙස සහයෝගය දුන්නේ ය.

ඒ සමග ම තවත් දෙයක් සිදු විය. නැගෙනහිර යුරෝපීය ස්ටැලින්වාදී රාජ්‍යයන් කඩා වැටීම නිසා මුලුමනින් ම කලකිරී අසාරදර්ශනයට ඇද වැටුනා වූ ද ධනවාදයට හා නිදහස් වෙලඳපලේ තුරුල්ලට වැඩි වැඩියෙන් තෙරපුනා වූ ද කලින් වාමාංශික වූ සංවිධාන සමග සම්බන්ධකම් වැඩියෙන් ඇති කර ගැනීමට සිසෙක් සමත් විය. එල්ඩීඑස් පක්ෂය තුල කල දේශපාලන වැඩ කටයුතුවලට අමතරව සිසෙක් New Left Review (නිව් ලෙෆ්ට් රිවීව්) නමැති බි‍්‍රතාන්‍ය න්‍යායික සඟරාවට ලිපි ලිවීය. මෙම සඟරාවේ ප‍්‍රධාන මන්ඩලය තෝරා ගැනී තිබුනේ 1953 දී ට්‍රොට්ස්කිවාදයෙන් කැඩුනු එක්සත් ලේකම් මන්ඩලයේ අයගෙන් ය. නව ලිබරල් පක්ෂයට සහාය දෙන ගමන් ම සිසෙක් තමා ස්ටැලින් දිගින් දිගට ම අගය කරන බව විවෘත ලෙස ම පැහැදිලි කලේ ය. "ස්ටැලින්වාදයේ අභ්‍යන්තර ශ්‍රේෂ්ඨත්වය” ස්ටැලින්වාදය වැඩියෙන් ම ‘ඒකාධිපති ලක්ෂන දැරූ අවස්ථාවේ දී පවා’ ස්ටැලින්වාදී මතවාදය තුල තිබුනු "විමුක්තිදායක හැකියාව” ගැන ඔහු තම පොත්වල සහ ලිපිවල නොයෙක් ආකාරයට සඳහන් කර තිබේ. 1920 ගනන්වල අග දී දශලක්ෂ ගනනින් සෝවියට් ගොවීන් මරනයට පත් කරමින් ස්ටැලින් කි‍්‍රයාත්මක කල බලහත්කාරීව ගොවිතැන සාමුහික බවට පත් කරීමේ ප‍්‍රතිපත්තිය ආරක්ෂා කිරීමට පවා සිසෙක් ඉදිරිපත් විය.

ඔහුගේ සමීප දේශපාලන සහකරුවෙක් වන මාවෝවාදී ප‍්‍රන්ස ජාතික ඇලේන් බදියූ සමග සිසෙක් මාවෝගේ අති විනාශකාරී සංස්කෘතික විප්ලවය ද ප‍්‍රසිද්ධියේ ම ආරක්ෂා කලේ ය. සිසෙක් විසින් ස්ටැලින්වාදී ඒකාධිපතිත්වය විවෘත ව ම වැලඳ ගනු ලැබීම ද (සටහන් 1) ධනවාදය අධිවර්නනා කිරීම ද ( සටහන් 2) කම්කරු පන්තිය ප‍්‍රතික්ෂේප කිරීම ද( සටහන් 3) නිර්ලජ්ජිත විඥානවාදය (සටහන් 4) සහ අන්ත දක්ෂිනාංශික පුද්ගලයින් එක එක අවස්ථාවල දී ආරක්ෂා කිරීම ද (සටහන් 5) වංචාකාරයකු වූත් දේශපාලන ප‍්‍රකෝපකාරයකුවූත් මොහු ගේ කැරොල් කරත්තයට පැනීමට වලිකන සංවිධානවලට කිසිසේත් ම බාධාවක් වී නැත. පසු ගිය අවුරුදු දශකය තුල සිසෙක් දේශපාලන වශයෙන් පෙරමුනට තල්ලු කලා වූ ප‍්‍රධාන කන්ඩායම නම් රාජ්‍ය ධනවාදී ප‍්‍රතිපත්තිය අනුගමනය කරන බි‍්‍රතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය යි.

සමාජවාදී කම්කරු පක්ෂයේ නායකයා වන ඇලෙක්ස් කැලිනිකෝස් සිසෙක් ට සහයෝගය දැක්වීම සඳහා 2001 දී තම රෙකමදාරුව ලබා දුන්නේ ය.Historical Marerialism (හිස්ටොරිකල් මැටීරියලිසම්) නමැති සඟරාවට කැලිනිකෝස් මෙසේ ලිවීය. "සිසෙක් වැනි විචක්ෂන වූ ත් නැවුම් වූ ත් ලේඛකයෙක් ධනපති විරෝධී අරගලයට එකතු වී සිටින බලවත් වූ ත් අසීමිත ප‍්‍රීතියක් ජනනය කරන්නා වූ ත් නව සාමාජිකයෙකි.” මේ ප‍්‍රකාශය කිරීමෙන් පසු කැලිනිකෝස් සහ සමාජවාදී කම්කරු පක්ෂය බි‍්‍රතාන්‍යය සහ ජර්මනිය තුල ගී‍්‍රෂ්ම සෘතුවේ දී සංවිධානය කරන රැස්වීම්වල දී සිසෙක්ට නිතිපතා වේදිකාවක් සකස් කර දෙයි.

බි‍්‍රතාන්‍යය තුල මෑත දී වීදිවල සිදු වූ විරෝධතාවලට සහභාගි වූ අයට එරෙහි ව කෙරුනු තුච්ඡ ප‍්‍රහාරය සැලකිය යුත්තේ අනතුරු හැඟවීමක් ලෙස යි. කලින් රැඩිකලුන්ව සිටි මධ්‍යම පන්තික වමේ, එක්තරා තට්ටුවක් අතර ගුනාත්මක මාරුවීමක් සිදු වෙමින් පවතී. ලිබියාවට එරෙහිව නැටෝවේ නායකත්වයෙන් දියත් වූ මිලිටේරි ප‍්‍රහාරයේ දී යුද්ධය මෙහෙය වූ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ විදේශ ප‍්‍රතිපත්තිමය එල්ලයන් සහ අපේක්ෂාවන් පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලය ද අතීත කාලයේ දී වම්මුන් ලෙස සිටි සංවිධාන ද විවෘත ව ම වැලඳ ගෙන සිටිති. සිසෙක් කතා කරන්නේ සමාජ පරිහානියට එරෙහිව ක‍්‍රමයෙන් මහජනයා තුල වැඩී ගෙන එන්නා වූ විරුද්ධත්වය මර්දනය කර දැමීම, පරිහානියට පත් ව ඇති කම්කරු සංවිධානවලට කල නොහැකි වීම ගැන වඩවඩා බියෙන් පසු වන්නා වූත් කලක දී වාමාංශිකයන් ව සිටියා වූත් මධ්‍යම පන්තියේ කොටස් වෙනුවෙන් ය.

ලන්ඩන් රිවිව් ඔෆ් බුක්ස් හි පල වූ සිසෙක්ගේ ලිපිය හෙලිදරව් කරන්නේ සමාජ සේවාවන් දරුනු ලෙස කප්පාදු කරන අතර කම්කරු පන්තිය නමැති "තිරිසනා” හීලෑ කිරීමට අවශ්‍ය වන්නා වූ නව ඒකාධිපති මර්දන ක‍්‍රම සොයා යෑමේ දී බි‍්‍රතාන්‍ය ධනපති පන්තියට මෙ වැනි සුලු ධනේශ්වර බලවේගවල සහාය ලැබීම ගැන හොඳින් ම විශ්වාසය තැබිය හැකි බව ය.

සටහන 1: සිසෙක් සහ ස්ටැලින් - Zizek and Stalin - යන යෙදුම් වලට අදාල ව ගූගල් වෙබ් අඩවියේ චිත‍්‍ර සෙවීමක් කල විට සිසෙක් ජූල්ජානා නුවර තම කාමරයේ ඇ‍ඳේ දිගාවී සිටින්නා වූ ඡායාරූපයක් ඉදිරිපත් කෙරේ. ඔහුගේ හිසට උඩින් බිත්තියේ ගසා ඇත්තේ ස්ටැලින්ගේ රූපයකි.

සටහන 2: ‘"පසුගිය ශතවර්ෂ කීපය තුල පෙන්නුම් කර ඇති පැහැදිලි ම පාඩමක් වන්නේ ධනපති ක‍්‍රමය විනාශ කල නොහැකි බවයි’’. London Review of Books 2007

සටහන 3: "මම ගොබ්බයෙක් නොවෙමි. ලෙනින් සඳහන් කල වර්ගයේ කම්කරු පන්තියට අද ආපසු හැරීම කිසිම තේරුමක් නැති වැඩකි” Intervieew with Zizek 2002

සටහන 4: ” මම නොදන්නා දේවල් ගැන ලිවීමට අයිතියක් මට න්‍යායාචාර්යයෙක් ලෙස පවතී. මම විශ්වාස කරන්නේ නිරපේක්ෂ න්‍යාය යයි.

සටහන 5: බලන්න සිසෙක් ගේ ලිපිය , "Why Heidegger made the right step in 1933˜" , සිසෙක් මෙම ලිපියේ දී හිට්ලර් අවශ්‍ය මට්ටමට වඩා අඩුවෙන් ප‍්‍රචන්ඩ වීම ගැන ද නාසිවාදය අවශ්‍ය තරමට රැඩිකල් නොවීම ගැන ද හිට්ලර් සහ නාසිවාදය විවේචනය කරයි.

Share this article: