සමාජවාදී සමානතා පක්ෂය ( ඕස්ටේ‍්‍රලියාව) ආරම්භක සම්මේලනය

යෝජනා 5: 2010 රාජ්‍ය බලකොල්ලය සහ ධනේශ්වර පාලනයේ අර්බුදය

Resolution 5: The 2010 coup and the crisis of bourgeois rule

9 may 2012

ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂය 2012 අප්‍රේල් 6 සිට 9 දක්වා සිඩ්නිහි පැවැත්වූ ආරම්භක සම්මේලනයේ දී ඒකමතිකව සම්මත කෙරුනු යෝජනා 7න් පස් වැන්නයි.

පහත දැක්වෙන්නේ 2012 අපේ‍්‍රල් 6 සිට 9 දක්වා සිඩ්නි නගරයේදී සමාජවාදී සමානතා පක්ෂයේ (ඕස්ටේ‍්‍රලියාව) ප‍්‍රථම සම්මේලනයේ දී සම්මත කරගන්නා ලද යෝජනා හතෙන් පස් වැන්නයි.

1. ගත වූ වසර දෙක තුල ලේබර් ආන්ඩුව ද මුලු පාර්ලිමේන්තු පද්ධතිය ද ගිලගෙන ඇති පෙරනුවූ විරූ කලබගෑනියේ අර්ථභාරයට මෙම සම්මේලනය අවධානය යොමු කරයි. ඒ වනාහී ගෝලීය ධනවාදයේ අර්බුදයේ ද එහි ප‍්‍රතිඵලයක් ලෙස පාලක ප‍්‍රභූන් විසින් බලහත්කාරයෙන් ඇති කෙරෙන යුද්ධය සහ සමාජ ප‍්‍රතිවිප්ලවයේ ද බලපෑම ඕස්ටේ‍්‍රලියාව තුල අත්කරගෙන තිබෙන දේශපාලන ප‍්‍රකාශනයයි.

2. 2010 ජුනි 23-24 රාජ්‍ය බලකොල්ලය මගින් අගමැති කෙවින් රඩ්, ලේබර් පක්ෂය තුල බල තැරැව්කාරයන් අතලොස්සක් කුමන්ත‍්‍රනකාරීව එක් රැයෙන් ඉවත් කර දැමුවේ චීනයට විරුද්ධව, ආසියා-පැසිෆික් ප‍්‍රදේශ තුලට ඔබාමා පාලනාධිකාරය ගෙන ඇති "හැරීම” ට සම්බන්ධ බරපතල භූ-මූලෝපායික මාරු විසින් සහ ලෝක පරිමානව ආර්ථික උත්තේජනය වෙනුවට කප්පාදුව යොදාගැනීමට මූල්‍ය ප‍්‍රාග්ධනය විසින් කරනු ලබන අවධාරනය සමග ය.

3. රඩ් ඉවත් කිරීම සම වන්නේ 1975 දී ගෆ් විට්ලම් සහ ඔහුගේ ලේබර් ආන්ඩුව ඉවත් කොට දැමූ කැන්බරා රාජ්‍ය බලකොල්ලය සමග ය. එම කොල්ලය සිදුවුයේ ගැඹුරුවන්නා වූ ආර්ථික සහ දේශපාලන අර්බුදයක-පශ්චාත් යුද උත්පාතය බිඳ වැටීම අවසාන සමයේ දී වියට්නාමය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය සහ 1968 සිට 1975 දක්වා ඇති වූ විප්ලවවාදී මහා නැගිටීම් මාලාවක් සමග ය. ඉක්බිතිව එලඹුනු සිද්ධි තුල එහි අර්ථභාරය තහවුරු විය. විට්ලම් ඉවත් කිරීම නව ලේබර් නායකත්වයක් තනා ගැනීම තුලින් කෙලවර වූ සන්තතියක ආරම්භය විය. සිය පැරනි ජාතික ප‍්‍රතිසංස්කරන වැඩ පිලිවෙල අමතක කල ලේබර් පක්ෂය 1983-96 හෝක්-කීටිං ආන්ඩුව මගින් නිදහස් වෙලඳපල වැඩ න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක කලේය. මෙය එක්සත් ජනපදයේ රේගන් ද, බි‍්‍රතාන්‍යයේ තැචර් ද අනුව යමින් ඕස්ටේ‍්‍රලියාවේ ධනවාදය ප‍්‍රතිව්‍යුහගත කරමින් ඕස්ටේ‍්‍රලියානු ධනපති පන්තිය කම්කරු පන්තිය මත ට පෙර නොවූ විරූ ප‍්‍රහාරයක් වෘත්තීය සමිතිවල ද සහායෙන් ක‍්‍රියාත්මක කලේ ය.

4. රඩ් ඉවත් කිරීමත් සමග එලඹ තිබෙන - රඩ් වොෂින්ටනයේ සිටිය දී විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම, ලේබර් නායකත්වය සඳහා ඔහු කල අසාර්ථක අභියෝගය, ඔහු වෙනුවට බොබ් කාර් පත්කිරීමෙන් ඇති වූ ලජ්ජිත බිඳවැටීම ඇතුලු - නොනවතින දේශපාලන කලබගෑනිය අවධාරනය කරන්නේ වත්මන් අර්බුදය 1970 ගනන්වල අර්බුදයට වඩා ගැඹුරු බවය. මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතය ප‍්‍රකාශ කරන ආකාරයට එය පෞරුෂය හෝ නායකත්ව ශෛලිය පිලිබඳ ගැටුමක නිෂ්පාදිතයක් නොවේ. ඉන් මතු වන්නේ වත්මන් ගෝලීය ධනේශ්වර බිඳ වැටීමේ කාල පරිච්ඡේදයේ දී ඕස්ටේ‍්‍රලියානු පාලක පන්තිය මුහුන දී සිටුනා අතිමූලික ආර්ථික සහ දේශපාලන ගැටලු ය.

5. විදෙස් පිලිවෙත පිලිබඳ ගැටුම් මෙහි ලා තීරනාත්මක සංරචකයකි. ඕස්ටේ‍්‍රලියානු ධනවාදය චීනය ද සමස්තයක් වශයෙන් ආසියාව ද මත බරපතල ලෙස ආර්ථික වශයෙන් ආධීන වීම ද අනෙක් අතට මූලෝපායිකව එක්සත් ජනපදය මත ආධීන වීම ද යන දෙකොන අතර ඓතිහාසික උභතෝකෝටිකයක හිරවී සිටී. රඩ් ඇමරිකා- ඕස්ටේ‍්‍රලියා සන්ධානයක නිර්ලජ්ජිත ආධාරකරුවෙකු වන අතර වොෂිංටනය සහ බෙයිජිනය අතර තියුනු වන භූ-දේශපාලන ආතතීන් ලිහිල් කිරීම සඳහා මැදිහත්කරුවෙකු ලෙස වැඩ කිරීමට උත්සාහ කලා පමනක් නොව ඒ සම්බන්ධව වොෂිංටනයෙන් කලින් අසා බැලීමක් කලේ ද නැත. මේ නිසා ඔහු එක්සත් ජනපද මිලිටරි සංස්ථාපිතයේ බලගතු ආසක්ත සමග ගැටුනි. ඔබාමා පාලනාධිකාරයේ "හැරීමට” (පිවොට්) ගිලර්ඩ් දෙන සහය කෙසේවෙතත් මෙම ප‍්‍රහේලිකාව විසඳාලීමට අසමර්ථ විය. මෙම දෙගිඩියාව ගැන ලේබර් පක්ෂය ද ඕස්ටේ‍්‍රලියානු දේශපාලන, මූල්‍ය සහ සංගත සංස්ථාපිතය ද තුල දිගටම පවත්නා ගැටුම් ආසියා පැසිෆික් ප‍්‍රදේශය ද මුලුමහත් ලෝකය ද පුරා රට රටවල පාලක පන්තීන් දෙදරවන උභතෝකෝටිකයේ එක උදාහරනයකි.

6. 2010 රාජ්‍ය බලකොල්ලය සිදු වූයේ ලේබර් ආන්ඩුවේ ආර්ථික පිලිවෙතට එන්නඑන්නම සතුරු වූ මාධ්‍ය, මූල්‍ය සහ සංගත ප‍්‍රභූවේ බලගතු කොටස් විසින් අවුලුවනු ලැබූ අර්බුදයක මුදුන්පත්වීම ලෙස ය. 2008 දී ත් ලෙහ්මන් බ‍්‍රදර්ස් බිඳවැටීම සමග ඕස්ටේ‍්‍රලියාවේ දියත් කෙරුනු ආර්ථික උත්තේජක පියවරයන් සමග කිට්ටුවෙන් ම සම්බන්ධ වූ රඩ් "වසරේ ඕස්ටේ‍්‍රලියානුවා” ලෙස රුපට් මර්ඩොක්ගේ ඕස්ටේ‍්‍රලියානු පුවත්පත් විසින් නම් කරන ලදී. එහෙත් මැයි මාසය වනවිට, දිනපතා පත්තරවල මුල්පිටු ශීර්ෂ පාඨ "නාස්තිකාර” උත්තේජක ව්‍යපෘතීන් ගැන ඔහුගේ ආන්ඩුවට බැට දෙන්නට පටන් ගති. රඩ් එම මාසයේ ම ඕස්ටේ‍්‍රලියානු භාන්ඩාගාරය විසින් කෙටුම්පත් කරනු ලැබූ, ඕස්ටේ‍්‍රලියානු මුදල මත ද පුහුනු ශ‍්‍රම සම්පාදනය මත ද ඛනිජ ජාවාරමේ ප‍්‍රසාරනය විසින් ඇති කරන ලද අවාසි සහගත බලපෑමට ලක්ව සිටි කර්මාන්ත අංශවලට පතල් සමාගම්වල අධි ලාභවලින් කොටසක් හැරවීම අරමුනු කර ගත් පතල් බද්ද ඉදිරිපත් කලේ ය. මහා අන්තර්ජාතික සංගත තුනක් බීඑච්පී බිල්ටන්, එක්ස්ට‍්‍රටා සහ රියෝ ටින්ටෝ යන බහු බිලියන ආන්ඩු විරෝධී ක‍්‍රියාන්විතයක් පුවත්පත්වල දැන්වීම් මගින් දියත් කලෝ ය. එහි අරමුන රාජ්‍ය බල කොල්ලයෙන් පසු වහාම එලිදරව් විය. ඒ රියෝ ටින්ටෝ සමාගමේ ප‍්‍රධාන විධායක ටොම් අල්බනස එවන් පියවර ගන්නට යන ඕනෑම ආන්ඩුවක් "ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රවිෂ්ටයේ අවදානම” ගැන "පරෙස්සමින් සිතා බැලිය යුතු යයි” අනතුරු හැඟවූ කල්හි ය.

7. ඡන්දයෙන් තෝරා පත් කරගත් අගමැති වරයෙකු, ලේබර් පාර්ලිමේන්තු කන්ඩායමට ද පක්ෂ සාමාජිකත්වයට පමනක් නොව මුලු මහත් ජනතවට ද හොරා, නිලයෙන් ඉවත් කරන ලද්දේ මෙම වාතාවරනය තුල දීය. අදාල දේශපාලන සහ ආර්ථික සාධක අවධාරනය කරමින් අලුතෙන් පත් කෙරුනු අගමැති ගිලාඩ් ප‍්‍රථමයෙන් ම කලේ ඇමරිකාව සමග සන්ධානයට තමා සූදානම් බව ප‍්‍රකාශ කිරීම ය. ඔබාමාගේ පාලනාධිකාරයට ද මහා පතල් කොම්පැනිවලට ද තම ආන්ඩුව මුලුමනින්ම පක්ෂපාතී බවද, ඔවුන්ගේ ඉල්ලීම්වලට යටත් වන බවද කියා සිටි ඇය බදු නීතිය "සංශෝධනය” කිරීමට පතල් සංගත නියෝජිතයන්ට ආරාධනය කොට, තම ආන්ඩුවේ අයවැය පිලිවෙතේ ප‍්‍රධාන අරමුන වන්නේ අයවැය අතිරික්තයක් ඇති කිරීම බවද ඒ සඳහා අය වැයවල ගැඹුරු කැපිල්ලකට සූදානම් බවද එම කැපිලි ප‍්‍රධාන වශයෙන්ම ඉලක්ක කර ගන්නේ සෞඛ්‍යය, සුභසාධනය සහ අධ්‍යාපනය වැනි රාජ්‍ය වියදම් බවද ඇය ප‍්‍රකාශ කලා ය. හෝක් කීටිං ආන්ඩු විසින් කරන ලද කප්පාදු තරම්ම පරිමාවෙන් ද ඉලක්කයෙන් ද ගැඹුරු නව පියවර ඕස්ටේ‍්‍රලියානු ආර්ථිකය තුල ක‍්‍රියාත්මක කරන බව ප‍්‍රකාශ කල ගිලාඩ් මාස හයක් යන්නට පෙර ඔබාමා සමග පෙර නුවූ විරූ මිලිටරි එකඟතාවයකට එලඹුනා ය. විකිලීක්ස් විසින් පලකරන ලද කේබල් පනිවුඩ එලිදරව් කර ඇති පරිදි 2008 ජුනි 2009 ජුනි තරම් ඈතදී බල කොල්ලයට වසරකටත් පෙර එවකට ඇමරිකානු තානාපතිව සිටි රොබට් මැකලම් විසින් රඩ්ගේ අනුප‍්‍රාප්තිකයා ගිලාඩ්, වන්නට ඉඩ තිබෙන බව කියා තිබුනි. එම කේබලයේ මාතෘකාව වුයේ ”ගිලාඩ්, ඕස්ටේ‍්‍රලියාවේ මීලඟ අගමැති වීමේ මාවතේ.”

8. ගැඹුරුවන දේශපාලන අර්බුදය අන් සියල්ලටමත් වඩා විලක්ෂනය වන්නේ මුලුමහත් පාර්ලිමේන්තු පද්ධතියේ ම ජරපත් බිඳවැටීමෙනි. රඩ්ව ඉවත් කිරීම සඳහා යොදාගන්නා ලද ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, පාර්ලිමේන්තු - බාහිර ක‍්‍රම නිසා ගිලාඩ් කිසි කලෙක නොමැකෙන දුගඳක් දරා සිටී. 2010 අගෝස්තු මැතිවරනය මහජනතාව මුහුන දී සිටින සැබෑ ප‍්‍රශ්න කිසිවක් මතු කලේවත් නැති පුහු ප්‍රෝඩාවක් මට්ටමට පිරිහී තිබුනි. ගිලාඩ් ආන්ඩුවට වරමක් දෙනු වෙනුවට මෙම මැතිවරනය අවුරුදු 70 කට පසු ප‍්‍රථම වතාවට කිසිවෙකුටත් ආන්ඩුවක් පිහිටුවීමට බහුතරයක් නැති පාර්ලිමේන්තුවක් පත් කලේ ය. අස්ථාවර සුලුතර ලේබර් ආන්ඩුව රැඳී පවතින්නේ හරිතයන්ගේ සහ ස්වාධීනයන්ගේ සහාය මත ය.

9. පාර්ලිමේන්තු ක‍්‍රමයේ අර්බුදය පැහැදිලි ම ප‍්‍රකාශනයක් අත්පත්කර ගන්නේ, ඓතිහාසිකව එහි මහා රුකුල ලෙස ක‍්‍රියාකර ඇති ලේබර් පක්ෂයේ කුනු වීමෙනි. ගත වූ සියවසකට වැඩි කාලයක් තිස්සේ, පලමු වන ලෝක යුද්ධය, මහා අවපාතය, දෙ වන ලෝක යුද්ධය, සහ 1970 ගනන්වල ආරම්භයේ සිදු වූ පශ්චාත් යුද උත්පාතයේ බිඳ වැටීම යනාදිය හා බැඳුනු දේශපාලන කුනාටු දරාගැනීම සඳහා පාලක පන්තියේ ප‍්‍රධාන රුකුල වූයේ ලේබර් පක්ෂයයි. දැන්, 1930 ගනන්වලින් පසු ඇතිව තිබෙන දැවැන්ත ම ධනේශ්වර බිඳවැටීමෙන් පසුව ධ‍ෙන්ශ්වරයේ එම තීරනාත්මක දේශපාලන උපකරනය ජනමත විමසීම්වල දී ඉතිහාසයේ නුවූ විරූ මට්ටම්වලට ඇද වැටෙමින් අර්ථභාරී සමාජ සහායකින් තොර හිස් කබොල්ලක් බවට පත්ව තිබේ.

10. ලේබර් පක්ෂයේ බිඳවැටීම තාවකාලික නොමග යාමක් නොවේ: එය වනාහී අනිවාරනීය ඓතිහාසික සන්තතියක මුල් බැස ගත්තකි. නිෂ්පාදනයේ ගෝලී කරනයේ බලපෑම යටතේ සිය ජාතික ප‍්‍රතිසංස්කරන ක‍්‍රියා මාර්ගය අත හැර දැමූ ලේබර් ව්‍යාපාරය 1980 ගනන් සහ 90 ගනන්වල දී "ජාත්‍යන්තර තරගකාරිත්වයේ” නාමයෙන් කම්කරු පන්තිය මත ප‍්‍රාග්ධනයේ අධිනියෝග පැටවීමේ ප‍්‍රමුඛ දේශපාලන උපකරනය බවට පත් විය. හෝක් කීටිං ආන්ඩු යටතේ ඇරඹු මෙම සන්තතිය 1996 දී ලේබර් පක්ෂයට කම්කරු පන්ති සහාය බිඳ වැටීමට හේතු විය. මෙම පක්ෂය යලි 2007 දී බලයට පත් කරන ලද්දේ අවුරුදු 11ක් තිස්සේ බලයේ සිට ජන ශාපලත් කොන්සර්වටිව් හොවාර්ඩ් ආන්ඩුවට එරෙහිව එය ”අඩු නපුර” ය යන පදනමේ පමනි. යටින් දිවෙන ප‍්‍රවනතාවය දැන් යලිත් ඉස්මත්තට පැමින තිබේ.

11. ගිලාඩ් ආන්ඩුව ආර්ථික ප‍්‍රතිව්‍යුහකරනය ගෙනයන වේගය මදි යයි පාලක පන්තිය තුල ගැඹුරු අතෘප්තියක් පවතී. මූල්‍ය සහ සංගත ප‍්‍රභූව ඔවුන්ගේ ක්ෂනික ආර්ථික ඉදිරි හැකියා පිලිබඳව පමනක් නොව යුරෝපයේ නය අර්බුදයේ ද දැනටමත් චීන ආර්ථිකය මන්දගාමී කරන ගෝලීය අවපාත ප‍්‍රවනතාවල ද දිගු කාලීන ප‍්‍රතිවිපාක පිලිබඳව ද තැති ගෙන සිටිති. ඛනිජ බුබුලේ සරුසාර සමයේ මාධ්‍යවල ද ඕස්ටේ‍්‍රලියාවේ මහ සංගතවල ද තීරනාත්මක කොටස් වෙලඳපල-හිත ප‍්‍රතිසංස්කරන අවස්ථා නැති කරගැනීම ගැන හොවාර්ඩ්ගේ සන්ධාන ආන්ඩුවට පහර දී රඩ්ගේ පත්වීම සාදරයෙන් පිලිගත්හ. එහෙත් ඔවුන්ගේ අපේක්ෂා ඉක්මනින්ම අතෘප්තියට සහ විරෝධයට හැරුනි. දැන් ගිලාර්ඩ් ඉදිරිපත් වී ගන්නේ හෝක් සහ කීටිං අච්චුවේ, ඕස්ටේ‍්‍රලියානු ධනවාදය මුලුමනින්ම ද වේගවත්ව ද ප‍්‍රතිව්‍යුහකරනයට භාජන කිරීමට සමත් අගමැති කෙනෙකු හැටියට ය. එහෙත් ඇය ගැන විශ්වාස තබන්නේ පාලක ප‍්‍රභූවේ අතලොස්සක් පමනි. ඊටත් අඩු සංඛ්‍යාවකි දක්ෂිනාංශික ජනතාවාදී ටොන්ය් ඇල්බට් ශක්‍ය විකල්පයක් හැටියට සලකන්නේ.

12. ධනේශ්වර පාලනයේ ප‍්‍රගාමීව උග‍්‍රවන්නාවූ අර්බුදයේ පදනම මෙහි ය. පාලක පන්තියට තම පිලිවෙත් ක‍්‍රියාත්මක කිරීම සඳහා පක්ෂ දෙකේ ක‍්‍රමය මත තවදුරටත් රැඳීමට නොහැකිය. එහෙයින් එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, පාර්ලිමේන්තුවෙන් පිටස්තර පාලන ක‍්‍රම සොයාගත යුතු ය. වරක් ලියොන් ට්‍රොට්ස්කි මැනවින් පැහැදිලි කල අයුරු, "විදුලි ඉන්ජිනේරු විද්‍යාව ආශ‍්‍රිතව ප‍්‍රජාතන්ත‍්‍ර ක‍්‍රමය මෙසේ විස්තර කල හැකිය: එය ජාතික හෝ සමාජ අරගලයන්ගේ අධිභාරිත ධාරාවලින් ආරක්ෂා වීම සඳහා ආරක්ෂක ස්විචයන් සහ පරිපථ ඛන්ඩකයන් පද්ධතියකි. අධි ආරෝපිත පන්ති හා ජාත්‍යන්තර ප‍්‍රතිඝතිතාවන් හි පීඩනය යටතේ ප‍්‍රජාතන්ත‍්‍රයේ ආරක්ෂක ස්විච එක්කෝ පිලිස්සී යයි. නැතහොත් පුපුරා යයි. ඒකාධිපති වාදයේ ෂෝට් සර්කිට් වීම සාරභුත වශයෙන් නියෝජනය කරන්නේ එයයි.” [1]

13. බල කොල්ලය වනාහී කිසිදු වැදගත් කරුනක් පරදුවට තබා නැති "නිකම්ම තේ කෝප්පයක කුනාටුවක්” යයි කියාපාමින් එහි ඓතිහාසික අර්ථ භාරය වසන් කිරීමට ව්‍යාජ වාම සංවිධාන දැඩි උත්සාහයකින් වැඩ කර ඇත. මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතයේ මෙහෙයුමට පිටුපසින් පෙල ගැසීගෙන ඔවුහු කම්කරු පන්තිය නිර්වින්දක කිරීමට ද ගැඹුරු වන්නාවූ අර්බුදය කෙරෙහි තමන්ගේ ම ස්වාධීන ප‍්‍රතිචාරයක් දැක්වීමට ද ඉඩ නොදීමට ක‍්‍රියාකරති.

14. ගිලාඩ් ආන්ඩුව අනිවාර්යයෙන් ම පිපිරෙන්නට යන මහා කම්කරු පන්ති අරගලවලට මුහුන දෙනු ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරය උත්සන්න කිරීම මගිනි. පසුගිය අවුරුද්දේ එය ක්වන්ටාස් එයාර් වේස් ගුවන් යානා ඇන හිටවූ අරගලයට ප‍්‍රතිචාර දැක්වුයේ, ප‍්‍රථම වතාවට ප‍්‍රතිගාමී ෆෙයාර් වර්ක් ඕස්ටේ‍්‍රලියා (FWA) නීති යටතේ තමන්ට තිබුනු නව බලතල පාවිච්චි කර කාර්මික අරගල ක‍්‍රියාව තහනම් කිරීමෙනි, සිය ආසක්තයන් ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරුවන් කරන ඕනෑම අරගලයක් සමග ධනේශ්වර රාජ්‍යය කෙලින්ම ගැටෙන බව විදහා දක්වමිනි.

ලේබර් ආන්ඩුව මෙතෙක් කල් වෘත්තීය සමිති ද ව්‍යාජ වමේ ඉන්න ඔවුන්ට හුරේ දමන්නන් ද යොදාගෙන මෙම අරගල යටපත් කර දැමීමට සමත්ව ඇත. එහෙත් ලේබර් ආන්ඩුවට පමනක් නොව වෘත්තීය සමිතිවලට ද එරෙහිව කම්කරු පන්තියේ කැරැල්ලක් සඳහා සාධක වේගයෙන් මුහුකුරා යමින් පවතී. එය FWA නියෝගයන්ට එරෙහිව සිටීමට වික්ටෝරියානු හෙදියන් දඩ සහ සිරදඬුවම්වලට ද මුහුන දී ගෙන දැක්වූ අධිෂ්ඨානය විසින් පෙන්නුම් කෙරේ.

15. දැවැන්ත කාර්මික, සමාජ සහ දේශපාලන සටන්වලට කම්කරු පන්තිය තල්ලු වෙමින් සිටී. ඒ අවුරුදු 120 කට වැඩි කාලයක් තිස්සේ පන්ති අරගලය සිරකර දමීමට ද පාලනය කර තැබීමට ද තනාගෙන තිබුනු යාන්ත‍්‍රනයන් තරයේ දිරාපත්ව ඇති තත්වයක ය. අවසාන විග‍්‍රහයේ දී 2010 බල කොල්ලයේ අර්ථ භාරය එයයි. මෙම නව කාල පරිච්ඡේදය තුල දී කුමන හෝ සැලකිය යුතු අරගලයක් දේශපාලන බලය පිලිබඳ තීරනාත්මක අභියෝගය කම්කරු පන්තිය ඉදිරියේ ද සමාජවාදී සමානතා පක්ෂය ඉදිරියේ ද ක්ෂනිකව ඉස්මතු කරනු ඇත. සසප හැම අවස්ථාවක ම සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක‍්‍රියාමාර්ගය සඳහා සහය දිනාගැනීමට ද සමාජවාදී ක‍්‍රියාමාර්ගය මත පදනම් වූ කම්කරුවන්ගේ ආන්ඩුවක් ගොඩනැගීම එල්ල කර ගත් කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට ද මැදිහත් වනු ඇත.

Share this article: