ඊජිප්තු මැතිවරනය

The Egyptian election

26 June 2012

ඊජිප්තුවේ ජනාධිපතිවරනයෙන් මුස්ලිම් සහෝදරත්වයේ අපේක්ෂක මොහමඩ් මෝර්සි ජයගත් බවට කරන ලද නිවේදනය රටේ ඉතිහාසයෙහි සන්ධිස්ථානයක් ලෙස පුලුල් වශයෙන් හුවාදක්වන ලදී. ජාත්‍යන්තර මාධ්‍යය මෝර්සි විස්තර කලේ, වෝල් ස්ටී‍්‍රට් ජර්නලයේ වචනවලට අනුව "නිදහස් ලෙස තෝරා පත්කරගත් ඊජිප්තුවේ ප‍්‍රථම ජනාධිපති” ලෙසය.

ඊජිප්තුවේ පලකෙරෙන පුවත්පත් මහත් ප‍්‍රමෝදයෙන් යුතුව තඩි සිරස්තල සහිතව පැවසුවේ, නිදසුනක් ලෙස අල්ෂරුක් දිනපතා පුවත්පත සටහන් කලේ, "ජනතාවගේ නියෝගයට අනුව මෝර්සි ජනාධිපති විය. විප්ලවය ජනාධිපති මැඳුරට සම්ප‍්‍රාප්ත විය” යනුවෙනි.

මෙම ප‍්‍රකාශ යථාර්තය ඔලුවෙන් සිටවයි. ඊජිප්තුවේ කම්කරුවන්ට, සිසුන්ට හා පීඩිත ජනතාවන්ට එවන් මිත්‍යා ප‍්‍රබන්ධයන්ට කිසිදු බුරුලක් දීමට ඉඩක් ඇත්තේ නැත.

ඊජිප්තුවේ එක්සත් ජනපද මුක්කුව ලත් ආඥාදායක හොස්නි මුබාරක් බලයෙන් ඇද දැමීමට ඉවහල් වූ මහජන පෙලපාලි, සියල්ලටත් වඩා පැතිර පැවති මහා වැඩවර්ජන මාලාවෙන් ඉක්බිතිව 17 මාසයකට ආසන්න කාලයක් ගතවී තිබේ. මෙම විප්ලවවාදී නැගිටීම, 2008 සැප්තැම්බරයේ දී ලෝක පරිමාන මූල්‍ය උනුවී යාම හමුවේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ රැකියා, ජීවන තත්වයන් හා මූලික අයිතීන්ට එක දිගට එල්ල කරන ලද ප‍්‍රහාරයන්ට පලවූ ප‍්‍රතිචාරයේ උච්ඡතම අවස්ථාව විය.

දුප්පත්කම, සූරාකෑම, සමාජ අසමානත්වය හා දේශපාලන පීඩාවේ කොන්දේසි අවසන් කිරීමේ බලාපොරොත්තුව ඇතිව ඊජිප්තු කම්කරුවෝ නැගී සිටියහ. ඔවුහු, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් පිටුබලය දී සන්නද්ධ කල මුබාරක් තන්ත‍්‍රයේ ආරක්ෂක හමුදාවන්ට හා මැරයන්ට එරෙහිව වික‍්‍රමාන්විතව සටන් වැදුනහ. අරගලය තුලදී සටන්කරුවන් දහසක් පමන දිවි පුදන ලද අතර එය කුලුගැන්වුනේ මුබාරක් බලයෙන් විසිවී යෑමෙනි.

කෙසේ නමුත් වසර එක හමාරකට පමන පසුව, ජීවන තත්වයේ, රැකියාවන්හි, සමාජ සමානතාවයේ හා ප‍්‍රජාතන්ත‍්‍රයේ වර්ධනයක් සඳහා වූ ඊජිප්තු කම්කරුවන්ගේ කිසිදු ඉල්ලීමක් ඉටුවී නැත. ඒ වෙනුවට, මෑතක දී ටෝරා බන්ධනාගාරයේ සිට කයිරෝ රෝහල වෙත මාරුකරන ලද මුබාරක් නමැති නින්දිත පුද්ගලයා හැරෙන්නට, පීඩාකාරී ධනේශ්වර රාජ්‍ය මෙවලම හා රටේ අධිරාජ්‍යවාදී අධිකාරය එලෙස ම පවතියි.

මුස්ලිම් සහෝදරත්වයේ මෝර්සි ජනාධිපති මැදුරේ වඩා හිඳුවීම මගින් මෙම යථාර්තය වෙනස් නොවන්නේය. මැතිවරනයේ අවසාන ප‍්‍රතිපලය පෙන්නුම් කලේ, නිදහස් හා සාධාරන මැතිවරනයක් නොව, මිලිටරි පාලනය යටතේ පැවැත්වූ හා දක්ෂිනාංශික ඉස්ලාමීය පක්ෂය හා මිලිටරි ජුන්ටාවේ ආරක්ෂක හමුදාවන්හි උත්තරීතර මන්ඩලය අතර පස්සා දොරේ ඇතිකරගත් නින්දිත ගිවිසුමකින් පසුව, ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් අඩක්ම වර්ජනය කරන ලද ඡන්දයකි.

මෝර්සි හා මුබාරක් යටතේ හිටපු අගමැති හා ගුවන් හමුදාපති අහමඩ් ෂෆික් යන ඔහුගේ විරුද්ධවාදියා අතර තරගය මධ්‍යයේ, හමුදා මන්ඩලය කුමන්ත‍්‍රනයක් දියත් කලේය. ඒ යටතේ ඉස්ලාම්වාදීන් අධිකාරය දැරූ පාර්ලිමේන්තුව විසුරුවා හල අතර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්යයට අදාල පාලනය තමන් වෙත පවරා ගනිමින්, සිවිල් වැසියන් අත්අඩංගුවට ගැනීමේ අයිතිය මිලිටරියට හා රාජ්‍ය බුද්ධි අංශ වෙත පවරමින් මර්දනයේ වධ බන්ධනයේ නව වටයක් සඳහා මග පෑදීය. විසුරුවාහල පාර්ලිමේන්තුව සතුව තිබුනු සියලු ව්‍යවස්ථාදායක හා අයවැය කටයුතු පිලිබඳ බලතල පැවරෙන ව්‍යවස්ථානුකූල "අර්ථ කථනයක්” වැඩිමනත්ව නිකුත් කරන්නට යෙදුනු අතර එය, නිල වශයෙන් සන්නද්ධ හමුදා සිවිල් පාලනයෙන් මුලුමනින්ම මුදා හැරියේය.

මිලිටරියේ නියෝජිතයා වෙනුවට මෝර්සි මැතිවරනයෙන් ජයගත් බව නිවේදනය කිරීමේ තීන්දුවට එලඹුනේ, මිලිටරි ආඥාපති මඬුලු හා මුස්ලිම් සහෝදරත්වය අතර සති අන්තයේ එක දිගට පැවති උනුසුම් සාකච්ඡාවලින් පසුවය. ඊජිප්තු ජනතාවගේ පිටුපසින් පැවති මෙම සාකච්ඡාවලින් ඇතිකරගත් නිශ්චිත කොන්දේසි එලඹෙන දින හා සතිවල දී දැනගත හැකිවනු ඇත. එක් කාරනයක් නිශ්චිතය. එනම්, හමුදා මන්ඩල හා මුස්ලිම් සහෝදරත්වය අතර ඇතිවූ ඕනෑම ගිවිසුමක් මගින් බිහිවිය හැක්කේ කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල තලා දැමීමේ මූලික අරමුන සහිත ප‍්‍රතිවිප්ලවවාදී ආන්ඩුවක් පමනක් ය යන්නයි.

මැතිවරන ප‍්‍රතිපල නිකුත්වීමත් සමග ඊජිප්තුවේ කොටස් වෙලඳපොල එක් දිනක දී වාර්තාගත ඉහලම වර්ධනයක් අත්කරගැනීම තුල, ඊජිප්තුවේ පාලක කවයන් මෙන්ම අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන ද මෙම තත්වය හොඳින් වටහාගෙන තිබෙන බව පැහැදිලි විය. මුස්ලිම් සහෝදරත්වයේ නායකත්වය හා එහි ආර්ථික කන්ඩායම සමග "පෞද්ගලික සාකච්ඡා” පැවැත්වූ එක්සත් ජනපද තානාපති නිලධාරීහු මෙසේ පැවසූ බව වෝල් ස්ටී‍්‍රට් ජර්නලය වාර්තා කලේය. "ආර්ථිකය සම්බන්ධයෙන් සියලු නිවැරදි කරුනු ගැන නියෝජිතයින් එක්සත් ජනපදයට සහතික කර ඇත.”

හමුදා මන්ඩල-සහෝදරත්ව පාලනයේ එක් ක්ෂනික කර්තව්‍යයක් වන්නේ, ඩොලර් බිලියන 3.2ක හදිසි නයක් ගැනීම පිලිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට එලඹීමයි. මෙය ඊනියා ආර්ථික "ප‍්‍රතිසංස්කරන” ක‍්‍රියාත්මක කිරීමට ගැට ගසනු ඇත. එනම්, ජනගහනයෙන් සියයට 40ක් දිනකට ඩොලර් දෙකකටත් අඩු ආදායමකින් පන ගැටගසා ගන්නා රටක කම්කරු පන්තියේ ජීවන තත්වයන් තවදුරටත් කාබාසිනියා කරන රුදුරු කප්පාදු පියවරයන් ය.

ඊජිප්තු කම්කරුවන් හා තරුනයින්, පසුගිය වසර එක හමාරේ ශේෂ පත‍්‍රයක් ඇඳ ගැනීමත්, වික‍්‍රමාන්විත වැඩවර්ජන හා මහජන අරගලයන් තුලින් ප‍්‍රතිවිප්ලවවාදී හමුදා මන්ඩල-මුස්ලිම් සහෝදරත්ව පාලනයක් ඇටවීමට ආධාරක වෙමින් තමන් වෙත ලඟාකරදුන් දේශපාලන බලවේග හා ක‍්‍රියාමාර්ග පිලිබඳව විමසා බැලීමක් අවශ්‍යය. විශේෂයෙන් ම, තමන් "විප්ලවවාදීන්” හා "සමාජවාදීන්” ද පවා වන බව ප‍්‍රකාශ කල නමුත් ධනවාදය අවසානයකට ගෙන ඒමේ කම්කරු පන්තික අවශ්‍යතා නොව, පවත්නා සමාජ හා දේශපාලන පර්යාය තුල තමන් සඳහා වඩා විශාල ක‍්‍රියාකලාපයක් පවරා ගැනීමේ අවශ්‍යතාවයෙන් පෙලූනු වරප‍්‍රසාදිත මධ්‍යම පන්තික කොටස් නියෝජනය කල ව්‍යාජ වාම සංවිධානවල භූමිකාව සමීපව පරික්ෂාකර බැලීම අවශ්‍ය කෙරේ.

මෙම ස්ථරය නියමාකාරයෙන් නියෝජනය කල, "දෙවන විප්ලවයක්” සඳහා කම්කරුවන් මතුකල ඉල්ලීමට විරුද්ධ වූ, සදොස් නමකින් තමන් හඳුන්වාගත්, විප්ලවකාරී සමාජවාදීන් (ආර්එස්) කන්ඩායම අපේක්ෂා කලේ ඒ වෙනුවට "ප‍්‍රජාතන්ත‍්‍රීය පරිවර්තනයේ” වාහකය මිලිටරි මඩුල්ලය යන බොරුවට නීත්‍යානුකූල බවක් ලබාදීමය. පසුගිය වසරේ මැයි මාසයෙ දී මොවුහු මිලිටරි මන්ඬල පිලිබඳව මෙසේ පැවසූහ. "එහි අරමුන දේශපාලන හා ආර්ථික ක‍්‍රමය වඩාත් ප‍්‍රජාතන්ත‍්‍ර හා අවම පීඩාකාරිත්වයකට ඉඩ සලසමින් ප‍්‍රතිසංස්කරනය කිරීමයි.”

ඉන් පසුව, සමූහ අත්අඩංගුවට ගැනීම් හා මිලිටරි නඩු විභාග කම්කරුවන්ට එරෙහිව ක‍්‍රියාවට නැගීමත් සමග මිලිටරි මන්ඬල කෙරෙහි මහජන විරෝධය වර්ධනය වන විට විප්ලවකාරී සමාජවාදීහු, මුස්ලිම් සහෝදරත්වය, එය මිලිටරි තන්ත‍්‍රය සමග සහයෝගයෙන් කටයුතු කරන්නේය යන කාරනය පසෙකට දමමින්, ජෙනරාල්වරුන්ට විකල්පයක් ලෙස හුවාදැක්වූහ. ඔවුන් එසේ කලේ, කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් නැගී ඒම කල්තියාම වැලැක්වීම පිනිස ය. ජනාධිපතිවරනයේ දෙවන වටයේ දී විප්ලවකාරී සමාජවාදීහු, තම සහාය මුස්ලිම් සහෝදරත්වය පිටුපස පෙලගැස්විය. එසේ කලේ මෝර්සිට දෙන ඡන්දය "ප‍්‍රතිවිප්ලවයට හා ෆැසිස්ට්වාදයට” එරෙහි ඡන්දයක් ලෙස ප‍්‍රකාශ කරමිනි.

විප්ලවකාරී සමාජවාදීන්ගේ ඇමරිකානු අගනුචර ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය සිය සෝෂලිස්ට් වර්කර් ඩොට් ඕර්ග් වෙබ් අඩවියේ ජූනි 25දා පලකල සම්මුඛ සාකච්ඡාවක දී විප්ලවකාරී සමාජවාදීන්ගේ නායක මොස්ටෆා අලි, සිය සංවිධානය මුස්ලිම් සහෝදරත්වය මිලිටරි කුමන්ත‍්‍රනයක් වැලැක්වීමට සමත්වී ය යන මිත්‍යාව හුවාදැක්වීමේ උත්සාහයක නිරතව සිටින බව ඇඟවුම් කලේය.

ඔහු ප‍්‍රශ්න මාලාවක්ම මතු කලේය. "මුස්ලිම් සහෝදරත්වයේ නායකත්වය යලි වතාවක් මිලිටරි මන්ඬල සමග සම්මුතියකට යයි ද? ඔවුන් චතුරස‍්‍රයේ බලමුලු ගැන්වෙන ජනතාව යලිත් පාවා දෙයි ද? ඔවුන් මිලිටරි මඬුල්ල විසින් පනවන ගිවිසුමේ කොන්දේසි පිලිගනියි ද?”

එයට පිලිතුර නැත යන්න බව අලි පැවසීය. ”සහෝදරත්වයේ වැනීම් හා වෙව්ලීම් තිබිය දී ම එය කුමන්ත‍්‍රනය වැලැක්වීමට වැල්ලේ ඉරක් ඇඳි” බව ඔහු පැවසීය. දින දෙකක් ගතවන විට එම තක්සේරුව මුලුමනින්ම බංකොලොත් බව සනාථ විය. ”විප්ලවවාදී වමේ කර්තව්‍යය වන්නේ, කුමන්ත‍්‍රනයට එරෙහිව සියලු විප්ලවවාදී බලවේගයන්ගේ එක්සත් පෙරමුනක් ගොඩනැගීම බව ඔහු තවදුරටත් පැවසීය. එහිදී ඔහු ඇඟවුම් කලේ මුස්ලිම් සහෝදරත්වය හා අනෙකුත් ධනේශ්වර දේශපාලන බලවේගයන්ය. "එලඹෙන සතිවල දී මෙම එක්සත් පෙරමුන තුල ඊජිප්තු කම්කරු පන්තිය, ප‍්‍රජාතන්ත‍්‍ර දේශපාලන හා ආර්ථික ඉල්ලීම් ඒකාබද්ධ කල හැකි අරගලයක වැදගත් කොටසක් වනු ඇතැයි” පැවසීය.

මේ අනුව එම ඊනියා "වමේ” පක්ෂයෙහි අරමුන කම්කරු පන්තිය, මිලිටරි ජුන්ටාවේ මුක්කුවක් ලෙස සේවය කිරීමට එකඟ වූ ධනේශ්වර මුස්ලිම් සහෝදරත්වයට යටත් කිරීමය. මෙය වනාහි ඊජිප්තු කම්කරු පන්තියේ දෑත් හා දෙපා බැඳ ඔවුන්ගේ පරම සතුරන් වෙත බාරදීමකි.

ඊජිප්තු කම්කරුවන් ඉදිරියේ වැටී තිබෙන එකම ඉදිරි මාවත වන්නේ, මේ වර්ගයේ ප‍්‍රති විප්ලවවාදී සුලු ධනපති දේශපාලනය තීරනාත්මක ලෙස ප‍්‍රතික්ෂේප කිරීමයි. කල් නොදැමිය හැකි කර්තව්‍යය වන්නේ, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වන නව විප්ලවවාදී නායකත්වයක් සංවිධානය කර, කම්කරු පන්තියේ ස්වාධීන ශක්තිය මත, බලය සඳහා අරගලයක් තුල ධනේශ්වර පාලනය පෙරලා දැමීමයි. මෙහි අර්ථය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ඊජිප්තු ශාඛාවක් ගොඩනැගීමයි.

බිල් වෑන් ඕකන්

Share this article: