"ලෙෆ්ට් පාටි" ජර්මන් රහස් පොලිසිය ආරක්ෂා කරයි

Left Party defends the German secret service

7 July 2012

වීඑස් (ව්‍යවස්ථාව සුරැකීමේ කාර්යාලය) නමැති ජර්මන් දේශීය බුද්ධි අංශය සහ නව නාසි ත‍්‍රස්තවාදීන් අතර සම්බන්ධතා පිලිබඳ අලුත් තොරතුරු දිගින් දිගටම එලිදරව් වෙමින් පවතී. එහෙත් තවත් ගෙස්ටාපෝවක් (නාසි රහස් පොලිසියක්) ඇති වේ යයි ජනයා ගෙන් වැඩි දෙනක් බිය වන තතු තුල ජර්මන් ලෙෆ්ට් පාටි (ජර්මන් වාම පක්ෂය) ප‍්‍රසිද්ධියේ ම රහස් පොලිසිය ආරක්ෂා කරමින් එහි කටයුතු වඩා හොඳින් සිදු කිරීම සඳහා ව්‍යුහීය වෙනස්කම් සිදු කල යුතු යයි කියා සිටී.

නැෂනල් සෝෂලිස්ට් අන්ඩර්ග්‍රවුන්ඩ් (එන්එස්යූ) නම් නව නාසි සංවිධානය 2000 වර්ෂයේ සිට ජර්මනිය තුල වැඩ කරමින් සිටින බව ද අඩුගනනේ වර්ගවාදී ඝාතනයන් නවයක් ද පොලිස් කාන්තාවක් මරාදැමීම ද පිලිබඳව එම සංවිධානය වග කිව යුතු යයි ද ගිය වසරේ අග මාසවල එලිදරව් කරන ලදී.

වීඑස් බුද්ධි අංශය එන්එස්යූවේ වැඩ කටයුතු පිලිබඳව මුල පටන්ම දැන සිටි බව ද එය එන්එස්යූ සාමාජිකයන්ට නඩු පැවරීම් සිතා මතා ම වලක්වාලූ බවද පරීක්ෂනවලින් පෙනී ගියේය. එන්එස්යූවේ වාටියේ සිය රහස් එජන්තයන් ඇතුලු කරගෙන සිටි වීඑස් එහෙත් එන්එස්යූ සාමාජිකයන් බෝම්බ සෑදීමේ කටයුතුවලට සම්බන්ධ බව ට තිබුනු සාක්කි නොතකා හරිමින් අඩු වශයෙන් එක එන්එස්යූ ත‍්‍රස්තයකුට ගමන් බලපත‍්‍ර ද ලබාදුනි.

එම එලිදරව් පිලිබඳව කිසිදු බරපතල පරීක්ෂනයක් නොකරන ලදී. ජර්මන් පාර්ලිමේන්තුව සම්පුර්න පරීක්ෂනයක් කරනවා වෙනුවට බුද්ධි අංශයේ බලතල තවත් පුලුල් කලේ ය. ඒ අනුව දැන් වීඑස් අංශයට පොලිසියේ ද රාජ්‍යයේ වෙනත් බුද්ධි අංශවල ද ලිපිගොනු පරීක්ෂා කිරීමට බලය ලබා දී තිබේ. හිට්ලර් සමයේ නාසි ගෙස්ටාපෝව සිදු කලාක් බඳු අපරාධ යලිත් සිදුවීම වැලැක්වීමේ පියවරක් ලෙස මේ වනාහී දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ නිල වශයෙන් තහනම් කරන ලද සම්බන්ධකමක්, යලිතහවුරු කිරීමකි.

ජුනි අග දී එලිදරව් වූ කරුනක් නම් ගිය නොවැම්බරයේ දී එන්එස්යූව පිලිබදව මුල් එලිදරව්වලින් පසුව වීඑස් නිලධාරියෙක් එන්එස්යූ ආශ‍්‍රයෙන් වැඩ කල තම රහස් ඒජන්තයන් ගෙන් හත්දෙනෙකු ගේ ලිපිගොනු විනාශ කල බව ය. දුෂ්චේතනාවෙන් කරන ලද මෙම විනාශ කිරීම ගිය සතිය වන තෙක් වසන්කර තබන ලදී. මේ සතියේ මුල් දිනවල සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයේ සාමාජිකයෙකු වූ හෙයින්ස් ෆ්‍රොම් වීඑස් සභාපති තනතුරෙන් ඉල්ලා අස්විය. ඉන් දින කීපයකට පසු තුරින්ජියා ප‍්‍රාන්තයේ වීඑස් නායකයා ද ඉල්ලා අස්විය. මෙම පියවර ගනු ලැබ ඇත්තේ සිද්ධ වෙමින් පවතින දෙය පිලිබඳ එලි කරනු වෙනුවට අභ්‍යන්තර විවේචකයන් නිශ්ශබ්ද කිරීමට ය.

එන්එස්යූ සාමාජිකයන් රහස් පොලිසියේ පඩි ලබන්නවුන් ලෙස කටයුතු කලා ද නැත් ද යන්න තවමත් පැහැදිලි නැත. කෙසේ වෙතත් එන්එස්යූ සංවිධානය ගොඩනැගීම සඳහා වීඑස් අංශය කේන්ද්‍රීය ක‍්‍රියා කලාපයක් ඉටු කල බවට බොහෝ ඇඟවුම් පවතී.

නව නාසීන් සමග සහක‍්‍රියා හුදෙක් වීඑස් ඒජන්තයින් එකෙකු දෙන්නෙකුගේ වැඩක් නොවන බව අලුත්ම කරුනුවලින් ද තහවුරු වේ. එය වනාහී වීඑස් හි ඉහලම මට්ටම් සමග එකාබද්ධව කරන ලද්දකි.

මෙම සම්බන්ධතා එලිදරව් කිරීමට දරනලද සියලු ප‍්‍රයත්නවලට හුදෙක් වීඑස් විසින් පමනක් නොව පාර්ලිමේන්තුවේ සියලු දේශපලන පක්ෂ විසින් බාධා කරනු ලැබිනි. ජර්මන් බුද්ධි අංශයේ හැම ඒකකයක් ම පරීකෂාවට භාජන කිරීමට ද ඔවුන්ගේ ලිපිගොනු බැලීමට ද අයිතිය තිබෙන පීකේජීආර් නම් පාර්ලිම්න්තු අධීක්ෂක කමිටුවේ මේ සියලු පක්ෂ නියෝජිතව පවත්නා නමුත් ඔවුන් එකෙකු වත් මොනම වැඩකට ඇති තොරතුරක් වත් එලිකර නැත.

ඒ වෙනුවට මේ පක්ෂ සියල්ල කරන්නේ රහස් පොලිස් ඒජන්සිය ආරක්ෂා කරමින් සිදුවී තිබෙන දෙය හුදෙක් "අසාර්ථකත්වයක්” හෝ "වැරදීමක්” යයි හෑල්ලු කිරීමය. ඔවුහු පූර්න පරීක්ෂනය ක් නො ඉල්ලති. මෙම අංශය අහෝසි කිරීමක් වෙනුවට, ඔවුන් ඉල්ලා සිටින්නේ හරිත පක්ෂයේ ක්ලෝඩියා රොත් ගේ වචන වලින් නම් "ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ” ද සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයේ ටොම් ඔපර්මන් ගේ වචනවලින් නම් "අති මූලික ප‍්‍රතිසංස්කරන” ද වේ. මේ කියන ජාතියේ මොනම ප‍්‍රතිසංස්කරනයක වුව අරමුන නම් බුද්ධි අංශයේ බලතල උග‍්‍ර කිරීම ය. පහල සැක්සනියේ ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභ්‍යන්තර කටයුතු ඇමති වරයා දැනටම මේ දිශාව ට පියවර යෝජනා කර ඇත. "වී එස් අංශය වඩාත් සංයුක්ත ආරක්ෂක නීති ක‍්‍රියාත්මක කිරීමට යොදාගැනීම අවශ්‍ය"යයි ඔහු ගිය බදාදා ප‍්‍රකාශ කලේ ය.

රහස් පොලිසිය ආරක්ෂා කිරීමේ මෙම ආස්ථානයන්ගෙන් අතිශයින්ම දුෂ්ට එක ඉදිරිපත් කර ඇත්තේ ජර්මානු පාර්ලිමේන්තුවේ වාම පක්ෂ කන්ඩායම විසිනි. පීකේජීආර් හි ඔවුන් ගේ නියෝජිත වොල්ෆ්ගන්ග් නෙස්කොවික් ජර්මානු ගුවන් විදුලියට කල ප‍්‍රකාශය නම් ජර්මනියට බුද්ධි අංශයක් අත්‍යවශ්‍ය බවයි, "මට වැටහෙන දෙය නම් මේ විවේචනය යුක්තිසහගත බවය. එහෙත් අපට නිකම්ම බුද්ධි අංශය අහෝසි කල නොහැකිය. ගිනි නිවන හමුදාවට එක ගින්නක් නිවන්න බැරි වීම නිසා අප එය විසුරුවා හැරිය යුතු නැත."

එමගින් නෙස්කොවික් සහ වාම පක්ෂය කියා සිටියේ වීඑස් අංශය එන්එස්යූ සංවිධානය සමග පවත්වාගන යන ලද සහයෝගය, කනගාටු විය යුතු අත්වැරද්දක් බවත් එසේ නැතහොත් වීඑස් සංවිධානය කාර්යක්ෂම සහ සුජාත අධිකාරයක් බවත් ය.

යථාර්ථය නම් වීඑස් අංශය මුල පටන් ම ඉටු කලේ ගිනි නිවන කටයුත්ත නොව ගිනි තියන කටයුත්ත බව ය. වීඑස් සංවිධානය ගොඩ නගන ලද්දේ ස්ටෝර්ම් ට්රුපර් (නාසි නිල මැරකායක්) සාමාජිකයෙකු ද නීතිපති ද ලෙස නාසි පාලන තන්ත‍්‍රයේ වැඩ කර තිබුනු හියුබට් ශ්රුබර් විසින් 1955න් පසුව ය. මෙසේ පශ්චාත් යුද කාලීන ජර්මනියේ ගොඩ නැගුනු මෙම රහස් පොලිසියට ඔහු නාසීන්ගේ තවත් මැර බලකායක් වූ එස්එස් සංවිධානයේ ද එම බලකායේ රහස් අංශය වූ එස්වී සංවිධානයේ ද හිටපු සාමජිකයන් පුරවාලූ බව විකිපීඩියාව පෙන්නුම් කර ඇත.

1990 ගනන්වල මුල් සමයේ දී වීඑස් නිලධාරීන් ද විශේෂයෙන් ම රහස් එජන්ත ද ජර්මනියේ නව නාසි කටයුතුවල නායක භූමිකාවක් ඉෂ්ට කල හ. ඔවුනතර දඬුවම් ලද අපරාධකරුවන් ද ඔවුන්ගේ සහකරුවන් ද වූහ. අන්ත දක්ෂිනාංශික නැෂනල් ඩිමොක‍්‍රටික් පක්ෂයේ නිලධාරීන් පස් දෙනකුගෙන් එක්කෙනෙකු වීඑස් පඩි ලබන්නන් බව ද එලිදරව් කෙරිනි.

ප‍්‍රතිගාමී වීඑස් අංශය ආරම්භයේ පටන් ම ප‍්‍රධාන වශයෙන්ම තනිකරම යොමු කරනු ලැබුවේ වාමාංශික සංවිධානවලට එරෙහිව ද කම්කරු පන්තියේ මොනයම් ම හෝ ස්වාධීන ව්‍යාපාරයකට ද එරෙහිව ය.

1972 එස්පීඩී අගමැති විලී බ‍්‍රැන්ඩ්ට් විසින් රැඩිකල් ඩික්රී නම් නියෝගය පැනවීමෙන් පසුව වීඑස් ඒජන්තයෝ රාජ්‍ය සේවයේට ඉල්ලුම් පත‍්‍ර දැමු තරුනයින්ගේ ලිපිගොනු මිලියන 1.4 ක් පරීක්ෂා කොට වාමාංශික සංවිධාන සමග සම්බන්ධකම් තිබුනු අය ට රජයේ රැකියා නොදීමට ක‍්‍රියා කලෝ ය. මෙම තහනම යුක්තියුක්ත කරන ලද්දේ චාමාංශිකයන් ව්‍යවස්ථාවේ සතුරන් යයි ද එහෙයින් රාජද්‍රෝහීන් යයි ද යන සාවද්‍ය අර්ථ කථනය යොදාගෙන ය.

දැන් නෙස්කොවික් රහස් පොලිසියේ විරුද්ධවාදීන්ගේ කට වැසීම සඳහා එම තර්කයම යොදාගෙන ඇත. බුද්ධි අංශය විසුරුවා හැරීමට කෙරෙන ඉල්ලීම්වලට එරෙහිව ඔහු කියා සිටින්නේ, එවන් ඉල්ලීම් "ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම බිඳීම මගින් ව්‍යවස්ථාවම උල්ලංඝනය කිරීමක් බවට පත්වන බවය. ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ නාමයෙන් "සමහර රැකියාවලින් පුද්ගලයන් පමනක් නොව මුලු දේශපාලන සංවිධාන ම තහනම් කිරීමේ බලය රාජ්‍යයට අත්ව තිබෙන ජර්මනියේ මෙම වචන ම නපුරු අර්ථයක් දරයි. වාම පක්ෂය ගෙන තිබෙන ආස්ථාන එය ධනේශ්වර පන්තියේ පක්ෂයක් ලෙස ඉටු කරන භූමිකාව පැහැදිලිව ම පෙන්නුම් කරයි.

වාම පක්ෂය උපන්නේ වෘත්තීය සමිති නිලධාරීන් විසින් පාලිත ලේබර් ඇන්ඩ් සෝෂල් ජස්ටිස් ඉලෙක්ටෝරල් ඔල්ටනටිව් (WASG) සමග පාටි ඔෆ් ඩිමොක‍්‍රටික් සෝෂලිස්ම් (PDS) නමැති නැගෙනහිර ජර්මන් පාලක ස්ටැලින්වාදී පක්ෂයේ අනුප‍්‍රාප්තික පක්ෂය එක්වීමෙනි. එහෙයින් එය කම්කරු පන්තියට විරුද්ධ පොලිස් රාජ්‍ය මර්දනයේ දීර්ඝ ඉතිහාසයකට හිමිය. (නැගෙනහිර ජර්මනියේ ස්ටැලින්වාදී පාලන සමයේ) නමගිය ස්ටසි රහස් පොලිසියේ නිර්මාතෘ වූ, ස්ටලින්වාදී පක්ෂයෙන් පැනනැගුනු පීඩීඑස් සංවිධානය විසින් ස්වාධීන කම්කරු වැඩවර්ජන, කම්හල් අත්පත් කර ගැනීම් සහ පෙලපාලි මර්දනය කිරීමේ ලා කේන්ද්‍රීය කටයුත්තක් ඉටු කරන ලදී. මෙම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මන්ඩලයේ සභාපති, හෑන්ස් මොඩ්‍රෝව් බොහෝවිට පුරසාරම් දෙඩු පරිදි එහි ඉතාම වැදගත් භූමිකාව වූයේ "දැවෙන මාසවල (ස්ටැලින්වාදී නැගෙනහිර ජර්මනිය බිඳ වැටුනු සමයේ) නීතිය සහ සාමය පවත්වාගෙන යාම” ය.

වාම පක්ෂය දැන් මෙතරම් පැහැදිලි ලෙස වීඑස් සිද්ධියේ දී යලිත් තමන්ගේ මුල උල්පත කරා පෙරලා ඒම සහ "ව්‍යවස්ථාවේ සතුරන්ට” එරෙහි අරගලයට කැපවී ගැනීම බැඳී පවතින්නේ සමාජ අසමානතාවයේ වර්ධනයේ ද කම්කරු පන්තියට එරෙහිව උග‍්‍රවන ප‍්‍රහාරයේ ද තතු තුලය. යුරෝපය පුරාම බැංකු පොදු අරමුදල්වලින් ඉයුරෝ බිලියන සිය ගනන් ලබා ගත් අතර කම්කරුවෝ දිලිඳු කමට ඇද දමනු ලබති.

මෙය අනිවාර්යයෙන් මග පාදන්නේ සමාජ කලබගෑනිය ට සහ පුපුරන කම්කරු අරගලවලට ය. ජර්මනියේ, යුරෝපයේ සහ ජාත්‍යන්තරව ම පාලක පන්තිය සූදානම් වෙමින් සිටින්නේ මෙවන් තත්වයකට මුහුන දීම සඳහා රාජ්‍යයේ මර්දන බලය ගොඩනැගීමට ය.

විවිධ දේශපාලන රූපගත් සකලවර්ගයේ ධනේශ්වර ආන්ඩු යටතේ මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිවාසිකම් ඛාදනය කරනු ලබමින් පවතී.

එසේ උවමනා තැන්වල ඡන්දයෙන් තෝරාපත් කර ගත් ආන්ඩු ඉවත්කොට ඒ වෙනුවට තාක්ෂන-තාන්ත‍්‍රිකයන් පත් කර ගනු ලැබේ. ඒ අතරම බලය අල්ලා ගැනීම සඳහා අන්ත දක්ෂිනංශික පක්ෂ සූදානම් කරනු ලැබේ. ෆැසිස්ට් ත‍්‍රස්තයන් හා ඝාතකයන් පෝෂනය කොට රැකබලාගැනීම සඳහා ජර්මනියේ බුද්ධි අංශයේ භූමිකාව අපට සම්පාදනය කරන්නේ සෑම රටකම පාලක පන්තිය සැරසෙන්නේ කුමකටද යන්නය.

පන්ති බලවේගයන්ගේ අන්ත ගත වීම හැම දේශපාලන බලවේගයකට ම සිය නියම පාට පෙන්නන්නට ද පන්ති ස්වභාවය එලිදරව් කරන්න ට ද සිදු කරයි.

එම තතු ව්‍යාජ වාම පක්ෂය ට ද සිය සැබෑ දක්ෂිනංශික ධනේශ්වර ස්වභාවය එලිදරව් කිරීමට සිදුකර තිබේ.

Share this article: