එක්සත් ජනපද-ඉරාන ගැටුම අන්තරායකාරී නව අදියරකට පිවිසෙයි

US-Iran confrontation enters dangerous new stage

5 July 2012

ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන මත එරට සමග එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් සිදුවන ගැටුම, ඉරාන ආර්ථිකය බිඳ හෙලීමට සැලසුම් කල අතිරේක සම්බාධක පැනවී‍මෙන් හා ජාත්‍යන්තර සාකච්ඡා වට ඇනහිටීමෙන් පසුව, අන්තරායකාරී නව අදියරකට සේන්දුවී තිබේ. ටෙහෙරානය එක්සත් ජනපදයේ ඉල්ලීම්වලට හිස නොනැමුවහොත් මිලිටරි විකල්පය ද ඇතුලු සියලු විකල්ප විවෘතව තිබෙන බව ඔබාමා පාලනය යලි යලිත් ප්‍රකාශ කර ඇත.

එක්සත් ජනපද නිලධාරීන් මෙම සතියේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට කර ඇති ප්‍රකාශ මගින් නාවික මාර්ග විවෘතව තැබීමේ කඩතුරාව යටතේ පර්සියානු බොක්කේ දැනටමත් සිදුවන මිලිටරි බලය තරකිරීම පිලිබඳ විස්තර හෙලිවී තිබේ. යූඑස්එස් ලින්කන් හා යූඑස්එස් එන්ටප්‍රයිස් යන ප්‍රහාරක ගුවන්යානා හාරක නැව් ඒවා සම්බන්ධ යුද මෙවලම් ද සහිතව කලාපයට ඇතුලුකර තිබේ. එක්සත් ජනපද නාවික හමුදාව මුහුදු බෝම්බ ඉවත් කිරීමේ නැව් සංඛ්‍යාව දෙගුන කර ඇති අතර ගුවන් හමුදාව එෆ් 22 රහසිගත බෝම්බ හෙලන යානා හා එෆ්-15සී ප්‍රහාරක යානා සමග සිය ශක්තිය වැඩි වර්ධනය කර තිබේ.

යූඑස්එස් පොන්ස් නමැති පාවෙන මෙහෙයුම් වේදිකාවක් පෙන්ටගනය විසින් ගල්ෆ් ප්‍රදේශයේ ස්ථානගත කර තිබේ. එක්සත් ජනපදයේ විශේෂ කාර්ය බලකායන් සඳහා මෙහෙයුම් අටල්ලක් ලෙස මෙන්ම විවිධ කාර්යයන් සඳහා ද එය යොදාගත හැකිය. වේදිකාව රඳවා ඇත්තේ ජාත්‍යන්තර මුහුදු සීමාවෙහි බැවින්, කඳවුරු යොදාගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශීය ආන්ඩු නොවිමසාම එක්සත් ජනපද හමුදාවන්ට, එහි සිට ඉරානය අභ්‍යන්තරයේ මෙහෙයුම් සිදුකල හැකිවේ.

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ටයිම්ස් වෙත මෙසේ පැවසීය. “මෙය ඉරානයේ න්‍යෂ්ඨික අභිලාශයන් පිලිබඳ ප්‍රශ්නයක් පමනක් නොව, ඉරානයේ ප්‍රාදේශීය බලාධිකාර‍යේ අභිලාශයන් සම්බන්ධ ප්‍රශ්නයක් ද වේ. මෙය ඇමරිකානු මිලිටරි බලය පිලිබඳ සංකීර්න සූදානමකි. එක්සත් ජනපදය ආසියාව වෙත හැරීම ගන්නා අතරම මැද පෙරදිග කලාපය හරහා අපගේ සුපරීක්ෂාකාරිත්වය අඩුවක් නොමැති බව අපගේ සහකරුවන්ට, කොටස් කරුවන්ට හා මිතුරන්ට සහතික කරන නිශ්චිත සාක්ෂියකි එය.”

මෙම ප්‍රකාශ සලකුනු කරන්නේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් පිලිබඳව එක්සත් ජනපදයේ තහවුරු නොකල කියාපෑම්, හු‍දෙක් මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ ඉන්ධන ශක්තියෙන් පෙහොසත් කලාපයන්හි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ බලාධිකාරය පතුරවා හැරීමේ අරමුන සහිත අදූරදර්ශී ප්‍රතිපත්තියක් වෙනුවෙන්, නිමිත්ත ලෙස යොදාගන්නේය යන කාරනයයි. වොෂින්ටනය විසින් ඉරාන තන්ත්‍රය සලකනු ලබන්නේ, එම අභිලාශයන්ට පවතින ප්‍රධාන බාධකයක් ලෙසය.

චීන බලපෑමට වල කැපීම සඳහා ඔබාමා පාලනයේ පැතිරයන රාජ්‍යතාන්ත්‍රික හා මිලිටරි ව්‍යායාමය වන ආසියාව වෙත එක්සත් ජනපදයේ “හැරීම” පිලිබඳව සඳහන් කිරීම, යටින් දිවෙන මූලෝපාය පෙන්නුම් කරයි. මැද පෙරදිග මෙන්ම ගිනිකොන දිග ආසියාව හරහා චීන වරායන් දක්වා දිවෙන ප්‍රමුඛ නාවික මාර්ග මත සිය මූලෝපායික ආධිපත්‍යය සුරක්ෂිත කර ගැනීම මගින් තම ප්‍රතිවාදීන්ගේ, විශේෂයෙන්ම චීනයේ, බලශක්ති සැපයුම් පාලනය කිරීම එක්සත් ජනපදයේ අරමුනයි.

ඔබාමා පාලන තන්ත්‍රය බලයට පැමිනි මුල් දිනවලම ඉරානය පිලිබඳව සැලසුම් කරන ලද ගැටුම්කාරී මූලෝපායේ අවසන් අදියරට දැන් ලඟාවී සිටියි. “කැරට් අලය හා මුගුර” යයි කියන ලද ප්‍රවිෂ්ටය, ඉරානය පිලිබඳව ඔබාමාගේ ප්‍රමුඛ උපදේශකයා බවට පත්ව සිටින ඩෙනිස් රොස් ඇතුලු තවත් අයගේ කතෘත්වයෙන් ද්විපාක්ෂික ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් 2008 වසරේ සැප්තැම්බරයේ එලිදක්වන ලද වාර්තාවක සැලකිය යුතු විස්තර සහිතව ගෙනහැර දක්වා තිබේ. සාකච්ඡා සඳහා ඉරානය පොලඹවන ලද එක්සත් ජනපදයේ සීමිත දිරිගැන්වීම්වලට, පුලුල් කරන ලද සම්බාධක හා මිලිටරි ප්‍රහාරයන්ගේ තර්ජන පිටුබලය සපයන්නේය.

සාකච්ඡා සඳහා ඔබාමාගේ ඉදිරිපත්වීම, කිසි විටෙකත් ඉරාන පාලන තන්ත්‍රය සමග අව්‍යාජ සාකච්ඡාවන් අරමුනු කර නොගත්තේය. ඒ වෙනුවට එහි අර්ථය වූයේ, බුෂ් පාලනයේ ප්‍රතිපත්ති නිසා දුරස්ත වී සිටි ප්‍රධාන යුරෝපීය අනුචරයින්ගේ සහාය ගොනුකර ගැනීම සහතික කිරීමයි. බ්‍රිතාන්‍ය, ප්‍රන්සය හා ජර්මනියේ පිටුබලය ඇතිව 2009 ජූනි මාසයේදී ඔබාමා, ජනාධිපති මොහමඩ් අහමඩිනිජාඩ් යලි තේරී පත්වීම අවලංඟු කිරීමේ මධ්‍යම පන්තික “හරිත” ව්‍යාපාරයට උදව් දෙමින්, ඉරානයේ පාලන තන්ත්‍ර වෙනසක් සඳහා ව්‍යාපාරයක් දියත් කරනු ලැබු අවස්ථාවේ, වොෂින්ටනයේ අභිමතාර්තයන් එලිමහනට පැමිනියේය.

ඉරානය හා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රන්සය, චීනය, රුසියාව හා ජර්මනි‍ය යන රටවල් (p5+1 ) අතර සාකච්ඡා පසුගිය මාසයේදී මුලුමනින්ම පාහේ බිඳ වැටුනි. ඉරානය සියයට 20 මට්ටමට සිදුකරන යුරේනියම් සුපෝෂන වැඩසටහන අත්හල යුතු බවටත්, එම යුරේනියම් තොග රටින් පිටතට නැව්ගත කල යුතු බවටත්, එරට ෆොර්ඩෝ සුපෝෂන කම්හල වසා දැමිය යුතු බවටත්, එක්සත් ජනපද‍ෙය් අනුග්‍රහයෙන් පැනවූ අවසන් නිවේදන පිලිගැනීම ඉරානය විසින් ප්‍රතික්ෂේප කලේය. පරීක්ෂන කටයුතු කෙරෙහි බාහිර ඇඟිලිගැසීම් හා සියලු යුරේනියම් සුපෝෂන කටයුතු අවසන් කිරීම සඳහා කෙරෙන කිසි විටෙක අවසන් නොවන එක්සත් ජනපදයේ ඉල්ලීම් මාලාවක පලමු වාරිකය මෙය වන බව ටෙහෙරානය හොඳින් දැන සිටියි. තවත් වඩා පහත් මට්ටමේ තාක්ෂනික සාකච්ඡා වටයක් මෙම සතියේදී ඉස්තාන්බුල් නගරයේදී අවසන් වූයේ ඉදිරි හමුවීමකට දිනයක් පවා නියම කර නොගෙනය.

ජූලි 01දා සිට ක්‍රියාත්මක කරන ඇමරිකානු හා යුරෝපීය නව සම්බාධක ප්‍රමාද කරන බවට හෝ අත්හිටුවන බවට සංඥාවක් පවා කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔබාමා පාලනය, ඉරානය සමග පැවැත්වූ සාකච්ඡා කිසිවිටෙකත් හොඳ හිතින් කල දේ නොවීය. ඉරාන තෙල් ආනයන මත පැනවූ යුරෝපීය සම්බාධක ජූලි 01 දින සිට ක්‍රියාත්මකය. එය ඉරානයේ මධ්‍යම බැංකුව සමග ගනුදෙනු කරන විදේශීය සමාගම් මත දන්ඬන පැනවීමේ එක්සත් ජනපද රෙගුලාසිවලට අනුකූලවිය. ඉරානයේ අතිශය වැදගත් තෙල් අපනයන, වැඩකරන ජනතාවට ඉමහත් පීඩාවන් ගෙන දෙමින් දැනටමත් සියයට 40න් කඩා වැටී අවසන්ය.

“රාජ්‍යතාන්ත්‍රික විකල්පය” දැන් වොෂින්ටනයෙන් ගිලිහී යමින් තිබෙන අතර ඉරානය මත පනවා තිබෙන ආර්ථික වැටලීම යුදවැදීමේ ක්‍රියාවකට සමානය. ඊලඟ පියවර මිලිටරි විකල්පයයි. 2008 ද්විපාක්ෂික ප්‍රතිපත්ති කේන්ද්‍ර‍ෙය් වාර්තාවෙන් එය මෙසේ ගෙනහැර දැක්වීය. “ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන අවහිර කරන්නාවූ අවසාන විකල්පය ලෙස පැවතිය යුතු මිලිටරි ප්‍රහාර ශක්‍ය විකල්පයක් බව අපි විශ්වාස කරන්නෙමු.” එක්සත් ජනපද මිලිටරි ප්‍රහාරයක් වාර්තාවෙන් මෙසේ විස්තර කලේය. “එවැන්නක් ඉරානයේ න්‍යෂ්ටික යටිතල පහසුකම් පමනක් නොව, ඉරානයේ ප්‍රති ප්‍රහාරයක් මැඬපැවැත්වීම පිනිස එහි සම්ප්‍රදායික මිලිටරි යටිතලය ද ඉලක්ක කල යුතුය.”

සිව් වසරක පමන කාලයකට පසුව ගල්ෆ් කලාපය තුල පෙන්ටගනයේ ගොඩනැංවීම්, මෙම සැලසුම් ක්‍රියාවට නැඟීමට අවශ්‍ය මිලිටරි ධාරිතාව ස්ථාපිත කොට තිබේ. මිසයිල් ආරක්ෂන පද්ධතීන් උරගා බැලීමට සැලසුම් කල, ඔක්තෝබරයේ හෝ නොවැම්බරයේ ක්‍රියාවට නැඟෙන බව නිවේදනය කර තිබෙන මහා පරිමාන එක්සත් ජනපද-ඊස්රායල් යුද අභ්‍යාස සමගින් ඔබාමා පාලනය, කලාපීය ආතතීන් තවදුරටත් උත්සන්න කරයි. සැප්තැම්බරයේදී එක්සත් ජනපදය, පර්සියානු ගල්ෆ්හි තවත් රටවල් 19 සමග ප්‍රධාන පෙලේ මුහුදු හා බිම් බෝම්බ නාශක යුද අභ්‍යසයක් පවත්වන බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කලේය. වොෂින්ටනය ඉරානයේ කලාපීය ප්‍රතිවාදීන් වන සවුදි අරාබිය හා ගල්ෆ් රටවල් සමග මිලිටරි බැඳීම් පුලුල් කිරීමේ අමතර පියවර ද ගනිමින් සිටියි.

එක්සත් ජනපදය හා එහි අනුචර රටවල් ඉරානයේ මිත්‍ර ජනාධිපති බෂීර් අල් අසාද්ගේ සිරියානු තන්ත්‍රයට එරෙහිව මිලිටරි මැදිහත්වීමකට තර්ජනය කරන අතර තුර ඉරානයට එරෙහි මෙම සතුරු පියවර මැද පෙරදිග අන්තරායකාරී වෙඩිබෙහෙත් හෙප්පුවකට පරිවර්තනය කර තිබේ. ඔබාමා පාලනයේ සමීප අරමුනු කවරක් වුවත්, කුමන හෝ වැරදි මිලිටරි ගනන් බැලීමක් හෝ සිදුවීමක්, ප්‍රධාන බලවතුන් ද ඇද ගන්නා කලාපීය ගැටුමක් තුලට ඉක්මනින්ම පෙරලී යා හැකි යුද්ධයක ආරම්භක ලක්ෂය බවට පත්විය හැකිය.

යුද්ධයේ තර්ජනය නිමාකල හැකි එකම සමාජ බලවේගය වන්නේ, ධනවාදය හා ලෝකය එදිරිවාදී ජාතික රාජ්‍යයන් ලෙස බෙදා දැමීමේ යුද්ධයට හේතුකාරක වන එහි මුදුන් මුල් විනාශ කරනු ඇති ජාත්‍යන්තර කම්කරු පන්තියයි. කලාපය පුරා කම්කරුවන්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හා එහි අනුචරයින්ගේ කොල්ලකාරී ක්‍රියාවන්ට එරෙහිව සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලයකට එක්සත් ජනපදයේ, යුරෝපයේ හා ජාත්‍යන්තරව සිය පන්ති සහෝදරයින් හා සහෝදරියන් සමග අත්වැල් බැඳගත යුතුය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: