ඇමරිකාවේ ඡන්ද අයිතීන්ට පහර එල්ලවේ

Voting rights in America under attack

14 July 2012

ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ අලුත් ඡන්ද හැඳුනුම්පත් නීතිය පිලිබඳව සතියක් තිස්සේ පැවැති නඩු විභාගය අවසන විනිසකරුවන් තුන් කට්ටුවකින් සමන්විත ෆෙඩරල් උසාවිය තමන් ෆෙඩරල් අධිකරන දෙපාර්තමේන්තුවේ තීන්දුව අනුමත කරන බව ද පවත්නා නීතිය සුලු ජන කොටස් කෙරේ වෙනස්කම් ඇති කරන අයුරු බලපාන හෙයින් එය ක‍්‍රියාත්මක කිරීම වලක්වාලන බව ද තීන්දු කලේ ය.

ටෙක්සාස් ප‍්‍රාන්ත නීතිය අනුව ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිකුත් කරනු ලබන ෆොටෝ හැඳුනුම් පත් සුලුතර කොටස්වලට අයත් ඡන්ද දායකයන්ට නොලැබීයාමට වැඩි ඉඩකඩක් පවතින බව තහවුරු කිරීමට ෆෙඩරල් අධිකරන දෙපාර්තමේන්තුව සාතිශය කරුනු සහගත නඩුවක් ඉදිරිපත් කර තිබුනි. එක විශේෂඥ සාක්කි කරුවෙකු පෙන්වා දුන් පරිදි ලියා පදිංචි සුදු ඡන්ද දායකයින් ගෙන් මෙවන් හැඳුනුම් පත් නොමැති නිසා ඡන්දය අහිමි වූ සංඛ්‍යාව සියය ට 11 ක් වන අතර හිස්පැනික් ඡන්ද දායකයින් ගෙන් සියයට 18 ක් ද ලියාපදිංචි කලු ඡන්ද දායකයින් ගෙන් සියයට 21 ක් ද එම කරුන නිසා ඡන්දය අහිමි තත්වයකට මුහුන දෙනු ඇත. ටෙක්සාස් නීතියට අනුව හැඳුනුම් පත් ක‍්‍රමය සමස්තයක් වශයෙන් සියලු වර්ගවලට අයත් ජනයාගෙන් මිලියන 1.5 කට ඡන්දය අහිමි කරනු ඇත.

මෙම නීතිය හිස්පැනික් සහ අප‍්‍රිකානු-ඇමරිකානු ඡන්දදායකයන් කෙරෙහි "නො සරිලන” බලපෑමක් ඇති කරනු ඇති ය යන තර්කය ප‍්‍රතික්ෂේප කල ටෙක්සාස් ආන්ඩුවේ නීතිඥවරු අලුත් නීතිය නිසා ඡන්ද අහිමි වන සංඛ්‍යාව 167,000ක් "පමනක්” යයි කියා සිටියෝය. එහෙත් ප‍්‍රාන්තයේ හිස්පැනික් ජනගහනයේ වේගවත් ඉහලයාමට ප‍්‍රතිපියවරක් ලෙස අලුත් නීතිය සකස් කල ටෙක්සාස් රාජ්‍ය නීති සම්පාදකයන් හා රාජ්‍ය නිලධාරීන් - මොවුන් සියලු දෙනාම රිපබ්ලිකන් පාක්ෂිකයන්ය - නඩුවේ මොනම අවස්ථාවකවත් සාක්කියට නොකැඳවීම අර්ථධාරීය. එසේ කරනලද නම්, ඩිමොක‍්‍රටික් පක්ෂයට ඡන්දය දීමට වඩාත් යොමුවන සුලුජන කොටස් ඡන්දය දීමෙන් වැලැක්වීමේ නීතියක් සම්පාදනය කිරීමට ඔවුන් මෙහෙයවුනේ කුමන චේතනාවකින්දැයි එම රිපබ්ලිකානු දේශපාලකයන් හරස් ප‍්‍රශ්න අසා පරීක්ෂාවට භාජනය කෙරෙන්නට ඉඩ තිබුනි.

ප‍්‍රාන්ත පාලනයේ නීතිඥයෝ ටෙක්සාස් ප‍්‍රාන්තයේ කෝරල 200 කින් 80ක ම ෆොටෝ හැඳුනුම් පත් ලබාගැනීම සඳහා ස්ථාන නැති බවත්, බොහෝ වැසියන්ට එවන් හැඳුනුම් පතක් ලබාගැනීම ට සැතපුම් 120 කට වැඩි දුරක් ගමන් කිරීමට ද අඩුවශයෙන් ඩොලර් 22ක් වියදම් කිරීමට ද සිදුවන බවත් මෙම වියදම් සහ මහන්සිය විශේෂයෙන්ම වයසක උදවියට ද දුප්පත් අයට ද දරන්නට අපහසු බවත් පිලිබඳව ප‍්‍රශ්න නොකලහ. සුලු ජාතිකයන්ට ඡන්ද අහිමි කිරීමේ ප‍්‍රධාන උපායක් ලෙස යොදාගැනුනු හෙයින් 1965 ඡන්ද අයිතිවාසිකම් පනත විසින් තහනම් කරනු ලැබූ සාක්ෂරතා පරීක්ෂන, යුක්තිසහගත ඒවා යයි ටෙක්සාස් ප‍්‍රාන්ත නීතිඥයෙකු වූ රොබට් හියුස් නඩුවේ එක් අවස්ථාවක දී ප‍්‍රකාශ කලේ ය.

ටෙක්සාස් ප‍්‍රාන්තය ගෙන ගිය නඩුව කොතරම් දුබල ලෙස සකසා තිබුනේ දැයි කිවහොත් ඉන් ඇඟවෙන්නේ එම නඩුවේ සැබෑ අරමුන අන් කිසිවක් නොව, ඡන්ද අයිතිවාසිකම් පනතට ම පෙර නුවූ විරූ අභියෝගයක් එල්ල කරන අභියාචනයක් මධ්‍යම ආන්ඩුවේ ශ්‍රේෂ්ඨාධිකරනයට ඉදිරිපත් කිරීම සඳහා තත්වය සකසාගැනීම බවයි. ටෙක්සාස් වනාහී වාර්ගික සුලු ජාතීන්ට එරෙහි වෙනස්කම් කිරීමේ ලා එයට පවත්නා ඉතිහාසය නිසා, තම ඡන්ද පිලිවෙත්වල කිසියම් වැදගත් වෙනසක් "පූර්ව-අනුමැතියකින් තොරව” සිදු නොකල යුතු යයි ෆෙඩරල් ආන්ඩුවේ අධිකරන දෙපාර්තමේන්තුව විසින් නියම කරනු ලබා ඇති ප‍්‍රාන්ත රාජ්‍ය 16 කින් එකකි. එහෙයින් අලුත් හැඳුනුම් පත් නීතිය වෙනස්කම් කිරීමේ පරමාර්ථයෙන් ඇතිකරන ලද්දක් නොවන බවත්, එයින් එවන් විපාකයක් ඇති කෙරෙනු නැති බවත් ඔප්පු කිරීමේ බර ටෙක්සාස් ප‍්‍රාන්ත ආන්ඩුවට පැවරී තිබුනි.

ටෙක්සාස් ප‍්‍රාන්තය වනාහී ඡන්ද දායකයන් ට හැඳුනුම් පත් අවශ්‍යය යන නීති ද ඡන්දය ලියාපදිංචිය සීමා කිරීම සඳහා වෙනත් පියවරයන් ද, "ඡන්ද වංචාවලට” එරෙහි සටනක නාමයෙන් ඡන්දය දෙන සංඛ්‍යාව සීමා කිරීම සඳහා නීති සම්මත කල ප‍්‍රාන්තයන්ගෙන් එකක් පමනි. එහෙත් එම ප‍්‍රාන්තයේ ෆොටෝ හැඳුනුම් පතක් අත්‍යවශ්‍ය කරන තරමට, හොර ඡන්ද දැමීම වැනි වංචා පිලිබඳ ලිඛිත වාර්තා ඇත්තේ නැත. ටෙක්සාස් ප‍්‍රාන්තය තුල කවරෙකුට හෝ විරුද්ධව එවන් චෝදනාවක් ඔප්පුවී නැත.

මිචිගන් ප‍්‍රාන්තයේ රිපබ්ලිකානු පාක්ෂික රාජ්‍ය ලේකම් ගේ වාර්තාවට අනුව පෙබරවාරි 28 පවත්වන ලද එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී දෙන ලද ඡන්ද මිලියන 1.2 කින් ඡන්දය දීමේ අයිතිය නැති අය විසින් දමන ලද්දේ යයි සිතිය හැකි ඡන්ද පත‍්‍රිකා දුසිම් භාගයක් පමන සංඛ්‍යාවකි. "නීති විරෝධී විදේශිකයන්” යයි කියනලද සැක කටයුතු ලැයිස්තුවක් යොදා ගෙන ඡන්ද දායකයින් 182,000ක් ඡන්ද ලැයිස්තුවෙන් කපා දැමීමට ප‍්‍රාන්ත රාජ්‍යය උත්සාහ කල ෆ්ලොරිඩාවේ එවන් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රථමයෙන් 2,600කට ද ඉක්බිති 47 කට ද බස්සන ලදී. එසේ අඩු කරන ලද්දේ මෙම ලයිස්තුවේ සඳහන් නීති විරෝධීන් අතර මෙම නීතියේ ප‍්‍රමුඛ යෝජකයා වූ රිපබ්ලිකානු ප‍්‍රාන්ත ආන්ඩුකාර රික් ස්කොට් සහ 91 හැවිරිදි දෙවන ලෝක යුද්ධයේ දී ‘බැට්ල් ඔෆ් තේ බල්ජ්’ නම් (1944 බෙල්ජියමේ දී ඇමරිකානු -බි‍්‍රතාන්‍ය - ප‍්‍රන්ස හමුදා ද ජර්මානු හමුදා ද අතර සිදු වූ) සටනේ සටන් කර තිබුනු, රික් ස්කොට් නම් වයස්ගත සොල්දාදුවා ද ඇතුලත් බව හෙලිදරව් වූ පසු ය.

ඉන්ඩියානා ප‍්‍රාන්තයේ ඡන්දය දීම සඳහා ෆොටෝ හැඳුනුම් පත් අවශ්‍යයයි එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය විසින් 2008 දී දෙනලද ප‍්‍රතිගාමී තීන්දුවකින් පසු එවන් පියවර ප‍්‍රාන්ත ගනනාවක් තුල ගනු ලැබ ඇති අතර, ෆෙඩරල් අධිකරන දෙපර්තමේන්තුව ටෙක්සාස්, ෆ්ලොරිඩා, සහ දකුනු කැරොලිනාවේ එවන් පියවර ක‍්‍රියාත්මක කිරීම වලක්වන තීන්දු ඡන්ද අයිතිවාසිකම් පනත යටතේ තමන්ට ඇති බලතල යොදා ගත්තේය. එහෙත් දකුනු ප‍්‍රාන්තවලින් පිටත හැඳුනුම් පත් නීති ක‍්‍රියාත්මක කිරීම දැනටම අරඹා තිබේ. එක තක්සේරුවකට අනුව ඉදිරියේ එන නොවැම්බර් 6 ජනාධිපති වරනයේ දී මෙවන් නීති මගින් ඡන්ද දායකයින් මිලියන පහක් පමන ඡන්දය අහිමි තත්වයකට පත් වනු ඇත.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි අතිශයින්ම ගිනියම් ප‍්‍රහාරයක් එල්ල කරන ලද්දේ පෙන්සිල්වේනියා ප‍්‍රාන්තයේ දී ය. එහි ඡන්ද දායක හැඳුනුම් පත් නීතිය ප‍්‍රථමවරට ක‍්‍රියාත්මක වන්නේ එන නොවැම්බර් ජනාධිපතිවරනයේ දී ය. එම ප‍්‍රාන්තයේ නිලධාරීන්ට අනුව මිලියන 8.2 ක් වූ සමස්ත ඡන්දදායකයන් ගෙන් 750,000 ක් හෙවත් සියයට 9 කට පිලිගත හැකි හැඳුනුම්පතක් නොමැත. ප‍්‍රාන්තයේ විශාලතම නගරය වන ෆිලදෙල්ෆියා නගරයේ බහුතරය කලු ගනයට වැටෙන අතර ඡන්ද හැඳුනුම් පත් නැති සංඛ්‍යාව සියයට 18 කි. එම ප‍්‍රාන්තයේ ව්‍යවස්ථාදායකයේ බහුතරයේ රිපබ්ලිකානු නායක මයික් ටුර්සායි, හැඳුනුම් පත් නීතිය මගින් "රිපබ්ලිකානු අපේක්ෂක රෝම්නිට පෙන්සිල්වේනියා ප‍්‍රාන්තය දිනීමට ඉඩ ලබාදෙන්නේ” යයි ප‍්‍රකාශ කරමින් මෙම පනතේ දේශපාලන පරමාර්ථය විවෘතව පිලිගත්තේ ය.

මෙම නීතිවල පැහැදිලි අධ්‍යාසය නම් 2000 වර්ෂයේ ද 2004 වර්ෂයේ ද රිපබ්ලිකන් පක්ෂය යොදාගත් "ඡන්ද යටගැසීමේ” උපායයන් උග‍්‍ර කිරීම ය. එයට අපරාධකාරයින් ද ලියවිලි නැති කම්කරුවන් ද ඡන්ද ලැයිස්තුවලින් ඉවත් කිරීමේ මුවාවෙන් කලු සහ හිස්පැනික් ඡන්ද දායකයින් ලියාපදිංචි ලයිස්තුවලින් ඉවත් කර දැමීම ය. මෙසේ ඉවත් කරන ලද්දවුන් අති මහත් බහුතරය වනාහී ඡන්දය දීමට සුදුසුකම් තිබෙන එක්සත් ජනපද පුරවැසියන් ය. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් අහෝසි කරන ලද්දේ රිපබ්ලිකානු දකුනට ඡන්ද වාසියක් ලබා ගැනීමට ය.

මෑත වසරවල "ඡන්ද වංචාවේ” අතිශයින්ම නපුරු උදාහරනය වූයේ 2000 වර්ෂයේ දී සොරාගත් ජනාධිපතිවරනයයි. ෆ්ලොරීඩාවේ රිපබ්ලිකානු රාජ්‍ය නිලධාරීහු අප‍්‍රිකානු ඇමරිකානු බහුතරයක් සිටි ඡන්ද පොලවල ඡන්දය දීම සිතාමතාම පහත දමමින් ජෝර්ජ් බුෂ්ව වැඩි පුර ඡන්ද 537 කින් ජයග‍්‍රහනය කල බව ප‍්‍රකාශ කලෝ ය. බුෂ් ලබාගත්තේ යයි කියන ලද ජයග‍්‍රහනය ට තර්ජනය කරමින් ඡන්ද යලි ගනන් කරන ලෙස ෆ්ලොරිඩා ප‍්‍රාන්ත ශේෂ්ඨාධිකරනය විසින් නියම කරනලද කල්හි කුප‍්‍රකට "බුෂ් ට එරෙහිව ගෝර් නඩුවේ” තීන්දුව මගින් මැදිහත් වූ එක්සත් ජනපද උපරිමාධිකරනය ඡන්ද ගනන් කිරීම නවත්වා රිපබ්ලිකානුවා ධවලමන්දිරයේ තහවුරු කලේ ය.

මෙම ප‍්‍රහාරයට යටත් වූ ඩිමොක‍්‍රටික් පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිවාසිකම්වලට එරෙහිව ඉක්බිති එලඹි මහා ප‍්‍රහාරයට මග සකස් කලේය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය එම අවස්ථාවේ දී සටහන් කරගත් පරිදි ශ්‍රේෂ්ඨාධිකරනයේ ක‍්‍රියාව ද ඩිමොක‍්‍රටික් පාක්ෂික අපේක්ෂක අල් ගෝර් සහ ඩිමොක‍්‍රටික් පක්ෂය විසින්, ඡන්ද දස ලක්ෂයකින් පමන පරාජයව තිබුනු බුෂ්ගේ පත්වීම පිලිගනු ලැබීම විසින් පෙන්නුම් කරනු ලැබුවේ එක්සත් ජනපදයේ පාලක ප‍්‍රභූව තුල, ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ආරක්ෂා කිරීම සඳහා වූ ඡන්ද දායකයක් තව දුරටත් ඇත්තේ නැති බව ය.

සුලුජන ප‍්‍රදේශ තුල ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතියට එල්ල කරනු ලබන ප‍්‍රහාරයන්ට ඩිමොක‍්‍රටික් පක්ෂය කෙටි කාලීන ඡන්ද අරමුනු උදෙසා, විරුද්ධ වන අතර ඔබාමා පාලනාධිකාරය අන් සෑම අංශයකින් ම, බුෂ් පාලනාධිකාරය ඇමෙරිකානු ජනයා මත දේශපාලන ඔත්තු බැලීම, ගුවන්තනාමෝ වරායේ වධක සිර කඳවුර පවත්වාගෙන යාම සහ ඇමරිකානු පුරවැසියන් ද ඇතුලු ඕනෑම කෙනෙකු මරාදැමීම සඳහා ද ඩ්‍රෝන් මිසයිල ප‍්‍රහාර එල්ල කිරීමට ජනාධිපතිට බලය තිබේ යයි කරන ලද පෙර නුවූ විරූ නිවේදනය මගින් තවදුරටත් උත්සන්න කර තිබේ.

පැටි‍්‍රක් මාර්ටින්

Share this article: