වොෂින්ටනයේ අනුබලය සහිත සිරියාවේ ත‍්‍රස්තවාදී යුද්ධය

Washington's proxy terrorit war in Syria

20 July 2012

දමස්කස්හි සිරියානු ආන්ඩුවේ ජාතික ආරක්ෂක පරිශ්‍රය තුලදී ත‍්‍රස්තවාදීන් සිරියානු ආන්ඩුවේ ප‍්‍රමුඛ පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කරනු ලැබූ අතර ජනාධිපති බෂාර් අසාද් ද සහභාගිවීමට නියමිතව තිබුනු කැබිනට් රැස්වීමක් ඉලක්ක කරමින් එය එල්ලවුනි. සන්නද්ධ හමුදා නියෝජ්‍ය ප‍්‍රධානි මෙන් ම අසාද්ගේ මස්සිනා වන අසේප් ෂාකට්, ආරක්ෂක ඇමති ඩාවුඩ් රාහ්ජා හා අර්බුද මෙහෙයුම් ප‍්‍රධානි හසාන් ටුර්ක්මානි යන අය එහිදී මරනයට පත් විය. අභ්‍යන්තර අමාත්‍ය මොහමඩ් ෂාර්, ඔත්තු සේවා ප‍්‍රධානි හිෂාම් බෙක්තියාර් හා තවත් ඉහල නිලධාරීහු තුවාල ලදහ.

අසාද්ගේ අභ්‍යන්තර කවය තුල සේවයේ නියුතු රියදුරන් හා පුද්ගලාරක්ෂකයන් උපයෝගී කරගෙන බලගතු බෝම්බයක් අටවා තිබිනැ යි සිරියාව නිදහස් කරනු හමුදාව (එෆ්එස්ඒ) ප‍්‍රකාශ කරද්දී ලිවා අල්-ඉස්ලාම් (ඉස්ලාම් සේනාංකය) සංවිධානය ද එහි වගකීම බාරගන්නා බව පැවසීය.

ඉහල මට්ටමේ ඔත්තු බැලීම්, සම්බන්ධකම් හා පුහුනු ක‍්‍රියාකාරීන්ගෙන් තොරව බාත් තන්ත‍්‍රයේ එවැනි මූලෝපායාත්මක මධ්‍යස්ථානයක බෝම්බ තැබීමට ඉඩක් නොතිබුනි. කැරැුල්ල මෙහෙයවමින් සිටින එක්සත් ජනපද, බි‍්‍රතාන්‍ය හා යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ අනුදැනුම මත හා වියහැකි පරිදිම ක‍්‍රියාත්මක අනුබලයකින් තොර ව, එවැන්නක් සිදුවිය හැකි යයි සිතීමට පවා නොහැකි ය. එක්සත් ජනපදය, සෞදි අරාබිය, කටාර් හා තුර්කිය හරහා මිලියන සිය ගනන් මුදල් ලබන, දියුනු ආයුධ සහිත හමුදා පුහුනුකරුවන් හා ඔත්තුකරුවන්ගෙන් අද සිරියාව පිරී ඇත.

කෙසේ වෙතත්, එක්සත් ජනපද හා යුරෝපීය ප‍්‍රමුඛ දේශපාලන හා හමුදා බලවතුන්ගේ අප‍්‍රමාන ප‍්‍රකාශන පෙන්නුම් කරන්නේ, අසාද් තන්ත‍්‍රයට එරෙහි සතුට දනවන ප‍්‍රහාරයක් ලෙස එම සිද්ධිය සැලකිල්ලට ගන්නා බවයි.

බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්සය කුහක ලෙස බෝම්බ ප‍්‍රහාරය හෙලා දුටු නමුත් එක්සත් ජනපද ප‍්‍රඥප්තියේ හත්වැනි පරිච්ෙඡ්දය මත පදනම් වූ සම්බාධක සඳහා වහාම සහයෝගය පැතූහ. හත්වැනි පරිච්ඡේදය හමුදා බලය යෙදීමට ඉඩ දෙන අතර, අවසාන වරට එය, ලිබියාවට එරෙහි යුද්ධයට මග පෑදූ එක්සත් ජාතීන්ගේ යෝජනාව සඳහා පදනම වශයෙන් යොදාගනු ලැබින.

එක්සත් ජනපද පාලනය අඩු තරමින් හෙලාදැකීමක් වත් කලේ නැත. "එක්සත් ජනපදය තව දුරටත් ලේ හැලීම් පිලිගන්නේ නැත. කෙසේ නමුත්, මෙම පුද්ගලයන් සිරියානු ජනතාවට එරෙහි අසාද් තන්ත‍්‍ර ප‍්‍රහාරයේ ප‍්‍රධාන නිර්මාතෘන් බව අපි සඳහන් කරමු” යි රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශක පැටි‍්‍රක් වෙන්ට‍්‍රලේ පැවසී ය.

"සිරියාවේ අනාගතයට අසාද් අයත් නැති බැවින්,” රුසියාව අවසාන වනු ඇත්තේ, "ඉතිහාසයේ වැරදි අන්තයේ” බව ජනාධිපති බරක් ඔබාමා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට අනතුරු ඇඟවී ය.

එක්සත් ජනපදය දක්ෂිනාංශික ඉස්ලාම්වාදීන් සමග සන්ධානයකට එලඹ සිටී. යුද්ධය පිලිබඳ අධ්‍යයන ආයතනයේ හිටපු ඇමරිකානු හමුදා ඔත්තුකරුවෙකු වන ජෝසප් හොලිඬේ, වැඩිදියුනු කරන ලද පිපුරුම් උපක‍්‍රම භාවිතය පිලිබඳ සිරියානු විරුද්ධ පාර්ශ්වයේ ඵලදායිත්වය "නැගෙනහිර ඉරාකය තුල එක්සත් ජනපද හමුදා සටන්වල දී බෝම්බ හැදීම ඉගෙන ගත් සිරියානුවන්ගේ ප‍්‍රවීනත්වය මත සිදු වේ” යැයි නිව් යෝක් ටයිම්ස් පත‍්‍රයට පැවසී ය.

නොයෙකුත් සීඅයිඒ ඔත්තුකරුවන් හා පැරනි පාලන තන්ත‍්‍රයේ පුද්ගලයන් පසෙකින්, සිරියානු ජාතික කවුන්සිලය (එස්එන්සී) හා එෆ්එස්ඒ යන සංවිධානවල ආධිපත්‍යය දරනු ලබන්නේ, මුස්ලිම් සහෝදරත්වය හා ඊටත් වඩා අන්තගාමී සලාෆිස්ට් වැනි ඉස්ලාමීය කන්ඩායම් ය. මෙම සතියේ දී ජර්මන් පුවත් සඟරාවක් වන ඩර් ස්පීගල්, එස්එන්සී සාමාජිකයෙකු වන රැන්ඩා කාසිස් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවත් වූ අතර එහි දී කාසිස් මෙසේ පිලිගත්තේ ය. "විරුද්ධ පාර්ශවය හමුදා ජයග‍්‍රහනයක් අත් කර ගැනීමට අසමත්ව ඇත්තේ, පාර්ශ්වීය වශයෙන් ඉස්ලාමීය ජිහාඩ් සටන්කරුවන් හා මහජනතාවගේ බහුතරය අතර පැනනගින සමහන් කල නොහැකි වෙනස්කම් නිසාය. ගල්ෆ් ආන්ඩු අරමුදල් හා උපකරන සපයන ඉස්ලාම්වාදී කන්ඩායම් විසින් තීරන ගැනීමේ බලය නිර්දය ලෙස තමන් වෙත පවරාගෙන සිටිති.”

"අරාබි වසන්තය බල පෑ රටවල දී ඇමරිකාව, මුස්ලිම් සහෝදරත්වයට මුදල් සම්පාදනය කර තිබේ. එය අනාගතයේ ප‍්‍රමුඛ බලය වනු ඇතැ යි ඔවුන් විශ්වාස කරන අතර, ඔවුන් ද ඊට අනුව හැඩගැසෙමින් සිටින්නේ” යයි ඔහු තවදුරටත් පැවසී ය.

ඇෆ්ගන් රටාව අනුගමනය කරමින් වොෂින්ටනය, පෙර දිනයේ ත‍්‍රස්තවාදීන් අද "නිදහසේ සටන්කරුවන්” ලෙස යලි වාත්තු කර ඇති අතර, භයානක ලේ හැලීමක් වෙතට පමනක් ගමන් කල හැකි නිකායික අරගලයක් තුල අසාද්ගේ අලාවිට් තන්ත‍්‍රයට එරෙහිව ඔවුන් පිහිටුවා ගත්තේය.

එවැනි සාපරාධී උපක‍්‍රම, මැද පෙරදිග තුල වොෂින්ටනයේ කොල්ලකාරී අරමුනුවලින් වෙන්කල නොහැක. ලිබියාවට එරෙහි යුද්ධයේ දී මෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෙඩවිලි හා සිරියානු ජනතාව කෙරෙහි ආලය පෑම මගින්, මැද පෙරදිග හා එහි විශාල තෙල් සංචිත මත එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කිරීමේ එල්ලය වසන් කර යි.

හත්වැනි පරිච්ඡේදය බලාත්මක කිරීමට රුසියාවේ හා චීනයේ සහාය ගැනීම සඳහා යොදන පීඩනය දැඩි කිරීමට ත‍්‍රස්ත ප‍්‍රහාරය ප‍්‍රයෝජනයට ගෙන ඇත. මොස්කව් හා බීජිනය මෙයට විරුද්ධවෙති. මන් ද? අසාද්ගේ පාලනය බිඳ දමා, එක්සත් ජනපද ගැති තන්ත‍්‍රයකින් එය විස්ථාපනය කිරීමත් සමග රුසියාවට කලාපයේ ඇති එක ම හමුදා කඳවුර අහිමි වන බව ඔවුන් අවබෝධ කර ගන්නා බැවිනි. එහි වානීජ හා හමුදා ආධිපත්‍යය රැක ගැනීම පිනිස නොයෙකුත් මිත‍්‍ර සුන්නි තන්ත‍්‍රයන් හා එහි හමුදා බලකාරයා වන ඊස්රායලය මත වාරුවීමට එක්සත් ජනපදයට ඉඩ දෙමින් ෂියාවාදී ඉරානය හුදකලා කරනු ඇති අතර ලෙබනනයේ හෙස්බුල්ලා වරුන්ට එරෙහිව පියවර ගැනීමට ඊස්රායලයට තල්ලූවක් සපයනු ඇත.

කෙසේ නමුත්, ඔබාමා පාලනයේ අරමුනු වලට ඉන් බාධා එල්ල නොවනු ඇත. තමන් සිරියාව තුල යුද්ධයක නිරතව සිටින බවත්, අවශ්‍ය ඕනෑ ම ක‍්‍රමයකින් අසාද් පෙරලා දැමීමට උත්සාහ ගන්නා බවත්, එක්සත් ජනපද නිලධාරීන් පැහැදිලි කර ඇත. "සිරියානු ආන්ඩුව බිඳ දැමීම සඳහා” නිලධාරීන් හදිසි සැලැසුම් මත වැඩ කරමින් සිටින බව 15දා නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය සඳහන් කලේ ය. "විරුද්ධ පාර්ශ්වීය හමුදාවන්ට හා සිවිල් වැසියන්ට” එරෙහිව අසාද්, රසායනික අවි ප‍්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිලිබඳ චෝදනා ගොතන ලද්දේ, එක්සත් ජනපදය හෝ එහි කලාපීය මිතුරන් වන ඊස්රායල්, තුර්කි, සෞදි අරාබි හා කටාර් රටවල් ඒකාබද්ධ හමුදා ක‍්‍රියාමාර්ගයක් ගැනීම නීත්‍යානුකූල කිරීමට ය. ”සිරියානු ආයුධ ගබඩා විනාශ කිරීම පිනිස ඊස්රායලයට මැදිහත් විය හැකිද යන්න ගැන පෙන්ටගන් නිලධාරීහු ඊස්රායල් ආරක්ෂක නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වී” යයි ටයිම්ස් වාර්තා කලේ ය.

එක්සත් ජනපදය එහි නව-යටත් විජිත අභිලාශයන් පසුපස දිවීමත් සමග එක්සත් ජනපද සංගත හා බැංකුවලට, ලෝක සම්පත් කොල්ලකෑමට ඇති අයිතිය සඳහා මැද පෙරදිග, උතුරු අප‍්‍රිකාවේ හා ආසියාවේ ජනතාවන්ට ලේ වලින් වන්දි ගෙවීමට බල කෙරෙමින් තිබේ. ඒ මගින් සුපිරි පොහොසතුන්ට සිය සුඛෝපබෝගී ජීවිත කවදාවත් නොවූවිරූ ආකාරයෙන් ඉදිරියටත් පවත්වාගෙන යා හැක.

සිරියාවට එරෙහි අප‍්‍රකාශිත එක්සත් ජනපද යුද්ධය, විනාශකාරී ප‍්‍රතිවිපාක ගෙන දෙන පරිදි මැද පෙරදිග පුරා සුන්නි හා ෂියා නිකායික පසමිතුරුකම් අවුස්සමින් ද අවසානයේ දී ඉරානය ඉලක්ක කරගත් පුලුල් කලාපීය ගැටුමක බිය නංවමින් ද ඉතා වේගයෙන් ඍජු හමුදා මැදිහත්වීමකට මග පාදනු ඇත.

සිරියානු විරුද්ධ පාර්ශ්වය පසු පස පෙල ගැසී සිටින හා එහි හමුදා ව්‍යාපාරය "විප්ලවයක්” ලෙස මූර්තිමත් කරන නොයෙකුත් ව්‍යාජ වාම ප‍්‍රවනතා විසින් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ කුමන්ත‍්‍රන තුල වැදගත් දේශපාලන භූමිකාවක් රඟ දක්වනු ලැබේ. එය විප්ලවයක් නොවේ. ජාත්‍යන්තරවාදී හා සමාජවාදී වැඩසටහනක පදනම මත අසාද් සමග ගනුදෙනු බේරාගැනීම, සිරියානු කම්කරු පන්තියට අයිති කර්තව්‍යකි. අධිරාජ්‍ය ගැති විරුද්ධ පාර්ශ්වයට සහාය දැක්වීම, එවනි දේශපාලන ගනු දෙනු බේරාගැනීමේ අවස්ථාවක් වලක්වයි. සිරියාව තුල වොෂින්ටනයේ, ලන්ඩනයේ හා පැරීසියේ මැදිහත්වීම වඩාත් ඍජුව එස්එන්සී හා එෆ්එස්ඒ ධනපති නායකත්වය හරහා ක‍්‍රියාත්මක වේ.

ජත්‍යන්තර කම්කරු පන්තිය ඉදිරියේ මතුකර ඇති දැවෙන ප‍්‍රශ්නය නම් ගැඹුරින් පිලිගත් අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදී විශ්වාසයන් විසින් සජීව කෙරුන නව ජනතා යුද විරෝධී ව්‍යාපාරයක් කරා පෙරට යාම යි. ඔබාමා, කැමරන්, මර්කෙල්, ඔලෝන්දේ හා ඔවුන්ගේ වර්ගයා "සිරියාවේ මිතුරෝ” ලෙස පෙනී සිටීම පිලිකුලෙන් බැහැර කල යුතු අතර පොදු සතුරාට එරෙහිව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ එක්සත් නැගීසිටීමකින් එයට මුහුන දිය යුතු ය. සිරියාවට අත නොතබනු ක්ෂනික ඉල්ලීම විය යුතු ය.

ක‍්‍රිස් මාස්ඩෙන්

Share this article: