ශ්‍රී ලංකාව ”ඉතා ඉහල අවදානමක” ඇති බවට වර්ගීකරන ආයතනය අනතුරු අඟවයි

Credit agency rates Sri Lanka “very high risk”

By Saman Gunadasa, 11 July 2012

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිභාවය සහ නය අවදානම "ඉතා ඉහල අවදානමක” (අවදානම් ලකුනු 8) සහ ආර්ථික අසමතුලිතතාවයන් සම්බන්ධව "ඉහල අවදානමක” ( ලකුනු 7) පවතින බවට ගෝලීය නය වර්ගීකරන ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් (එස් ඇන්ඩ් පී) විසින් වර්ගීකරනය කර තිබේ.

1 සිට 10 දක්වා පරිමානයක් (අඩුම අවදානමේ සිට ඉහලතම අවදානම) මත, නයිජීරියාව, ටියුනීසියාව සහ කසාක්ස්ථානය වැනි රටවල් සමග ශ්‍රී ලංකාව ද තමන්ගේ බැංකු කර්මාන්තයේ රටක අවදානම් ඇගයීම (BICRA) අතින් 8වන කන්ඩායමෙහි ස්ථාන ගත කිරීමට එස් ඇන්ඩ් පී කටයුතු කලේය. ආසියාව තුල ඉන්දුනීසියාව සහ පිලිපීනය 7 වන කන්ඩායමෙහි සිටිති. කාම්බෝජය සහ මොන්ගෝලියාව 9 වන කාන්ඩයට අයත් වන අතර වියට්නාමය 10 වන කාන්ඩයෙහි සිටී.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්න සහ යුරෝපයේ දිගහැරෙන ගැඹුරු මූල්‍ය අර්බුදයට එහි නිරාවරනය ගැන අනතුරු ඇඟවූ දෙවන වර්ගීකරන ආයතනය එස් ඇන්ඩ් පී වේ. ගෝලීය වෙලඳපොලෙහි සිදුවන කිසියම් වූ අවුල්වීමකින්, ආසියානු රටවල් අතර ශ්‍රී ලංකාව "ඉහලතම අවදානමක” සිටින බවට ෆිච් වර්ගීකරන ආයතනය මෑතකදී පැවසීය.

පහල ආදායම් මට්ටම්, ලිහිල් නයගැනීමේ භාවිතාවන් සහ නය ආශ්‍රිත ප්‍රතිරක්ෂනයේ (underwriting) ප්‍රමිතීන් හා සමගාමීව දුර්වල නය ගෙවීමේ සංස්කෘතිය සහ නීතියේ පාලනය දුබල වීමේ සන්දර්භය යටතේ රටෙහි දුර්වල බාහිර ද්‍රවශීලීතාව වෙත එස් ඇන්ඩ් පී වාර්තාව සිය ඇඟිල්ල දිගු කලේය.

වාර්තාව "සාවද්‍ය කරුනු සහිත, අතාර්කික විශ්ලේෂන සහ ඉහල පරස්පරවිරෝධයන්ගෙන්” යුක්ත බවට රටෙහි මහ බැංකුව බැහැර කලේය. කෙසේවුවද, එස් ඇන්ඩ් පී විවේචනය ප්‍රතික්ෂේප කල අතර සිය වාර්තාව නැවත ස්ථිර කලේය. ශ්‍රී ලංකාවේ "ව්‍යුහාත්මක දුර්වලතාවයන් සහ අසංවර්ධිත ආයතන” හේතුවෙන්, "බාහිර කම්පන සහ අභ්‍යන්තර අසමතුලිතතාවයන්” වැනි අහිතකර තත්වයන්ට රට ගොදුරු විය හැකි බවට එය යලිත් තහවුරු කලේය.

පසුගිය වසර හා සැසඳීමේ දී, සියයට 32 කින් වර්ධනය වුන (එනම් 2012 මුල් මාස හතර තුල එජ ඩො බිලියන 3.3කට) වෙලඳ හිඟය ප්‍රධාන ආර්ථික අසමතුලිතතාවය විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝගයන් දරුනු ලෙස අභිබවා යමින්, එම කාල සීමාව තුල අයවැය හිඟය රුපියල් බිලියන 285 (එ.ජ. ඩොලර් බිලියන 2.1) කට ලඟාවිය. 2012 සඳහා අයවැය හිඟය දදේනි යෙන් සියයට 6.2 ක් විය යුතු වන ජාමූඅ ඉලක්කය වෙත ලඟාවීම සඳහා මෙම වසරේ දෙවන අර්ධයේ දී, සමාජ තත්වයන් මතට ගැඹුරු ප්‍රහාර එල්ල විය හැකි බව එහි තේරුමයි.

2011 අවසානයේ දී, ආන්ඩුවේ බාහිර නය එක්සත් ජනපද ඩොලර් බිලියන 18.6 කට ලඟා විය. එය වසර පුරා සියයට 13 ක ඉහල යෑමකි. අප්‍රේල් අවසන දී මුලු අගය තවත් ඩොලර් මිලියන 300 කින් ඉහල ගියේය. 2011 දී බාහිර නය පොලී ගෙවීම් ඩොලර් බිලියන 1 ක අද්දරටම ලඟා විය. මෙම බර ඉහල යමින් පවතී. ප්‍රධාන ලෙසම කල් පිරෙන බැඳුම්කර ආවරනයට, ජූනි 25 දා, මහ බැංකුව ඩොලර් මිලියන 229 ක් වටිනා සංවර්ධිත බැඳුම්කර නිකුත් කල අතර ඉදිරියේදී ඩොලර් බිලියන 1 ක බැඳුම්කර නිකුතුවක් නියමිතව ඇත.

2009 දී අනුමත වුන ඩොලර් බිලියන 2.6 ක නය මුදලේ අවසන් ඩොලර් මිලියන 400ක වාරිකය ලබාගත් මොහොතෙහිම රජය තවත් ජාමූඅ නයක් බලාපොරොත්තුවෙන් සිටී. "මෙය බංකොලොත් වීමෙන් වැලැක්වීමේ (බේල් අවුට්) පැකේජයක් නොවේ. අප බලාපොරොත්තු වන්නේ ව්‍යාප්ත වුන මූල්‍ය පහසුකමකි.” මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රොයිටර් වෙත පැවසීය.

2009 නය පැකේජය යටතේ දැනටමත් ක්‍රියාවට නංවා ඇති කප්පාදු වැඩපිලිවෙලට වඩා දරුනු වැඩපිලිවෙලක් අවශ්‍යයෙන්ම ඇතුලත් වන තවත් ජාමූඅ නය මුදලක් සඳහා රජයට බලකෙරී ඇති සත්‍යය කබ්රාල්ගේ වාචික කෞශල්‍යයෙන් ‍ සඟවන්නට නොහැකිය.

පසුගිය වසර දෙක තුල, නයගැතිභාවයේ සියයට 28 ක වාර්ෂික වර්ධනයෙන් උත්පාදනය වුන ආර්ථික අසමතුලිතතාවයන් වෙත එස් ඇන්ඩ් පී වාර්තාව සිය අවධානය යොමු කොට තිබේ. යටිතල පහසුකම් ව්‍යාපෘති සංවර්ධනයට සහ දේශීය සහ විදේශීය ආයෝජන ඇදගැනීමට නය ප්‍රසාරනය වෙත මහින්ද රාජපක්ෂ ආන්ඩුව යොමුවී ඇත.

මෙම නය ඉහල නැගීම දල දේශීය නිෂ්පාදනයේ කෙටිකාලීන ඉහලයාමක් උත්පාදනය කරන අතරේ දී, නය අර්බුදයක සලකුනු ඉස්මතු වෙමින් තිබේ. විශාලතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව ගිය වසරේදී රුපියල් බිලියන 11.3 (ඩො. මිලියන 80) වටිනාකමකින් යුත් මුදලක් බොල් නය ලෙස කපා හැර තිබූ බව ගිය මාසයේ පාර්ලිමේන්තුවේ දී හෙලිදරව් විය. රාජ්‍ය බැංකු දෙකක් වන ලංකා බැංකුව සහ මහජන බැංකුව පසුගිය වසර 10 තුලදී, බොහෝ විට රජයේ දේශපාලකයන්ගේ අනුබලය ලත් නය පැහැර හරින්නන් ලබා ගත් රුපියල් බිලියන 125 ක් අතහැර දැම්මේය.

විදේශ සෘජු ආයෝජන විශාල ලෙස සුඛෝපභෝගී හෝටල් සහ අනෙකුත් සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ව්‍යාපෘතිවලට සීමා වී තිබේ. ජූනි 24 සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ආර්ථික විශේෂඥ නිමල් සඳරත්නට අනුව, ප්‍රකටව පවතින දූෂනය සහ හිතුවක්කාර රාජ්‍ය පාලනය හා ඒ හා සමානව ම "දිගින් දිගටම පවත්නා විරෝධතා සහ සැහැසිකම්” සහ "ලෝකය පුරා ඉස්මතුකොට පෙන්වන මාධ්‍ය නිදහසෙහි ගැටලු” තුලින් විදේශ ආයෝජන අධෛර්යමත් කෙරෙමින් පවතී.

මෙම කරුනු යොමු කෙරෙන්නේ, ජාමූඅ නියෝග ක්‍රියාත්මක කිරීමට සහ ආයතනික ලාභ සඳහා ස්ථිර තත්වයන් සැපයීමට රාජපක්ෂ ආන්ඩුවට ඇති හැකියාව සම්බන්ධව මූල්‍ය වෙලඳපොලෙහි සැලකිල්ල කෙරෙහිය. තම කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරු ජනතාව අතරේ පැන නගින අසහනයට මුහුන දීමේදී, රජය වැඩිමනත් ලෙස මර්දනකාරී ක්‍රම මත රැඳේ. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව කල මෘග යුද්ධයේ අවසානයෙන් වසර තුනකට පසුවත්, උතුර හා නැගෙනහිර හමුදා වාඩිලාගැනීම දිගටම පවතී.

මෙම වසරේ ලෝකයේ නරකතම කොටස් වෙලඳපොලවල් අතරින් කොලඹ කොටස් හුවමාරුව (සීඑස්ඊ) 4 වන ස්ථානයේ සිටින බවට එක්සත් ජනපද ආයෝජන ආයතනයක් වන බීස්පෝක් ඉන්වෙස්ට්මන්ට් ගෲප්, මෑතක දී ශ්‍රේනි ගත කලේය. පහල ප්‍රතිපල සහිත ග්‍රීසිය, ස්පාඤ්ඤය, සහ යුක්‍රේනය යන රටවල් 3 සමග, 2012 මුල් මාස හතර තුල සීඑස්ඊ හි සියලු කොටස් මිල දර්ශකය සියයට 18.95 කින් පහල ගියේය. 2012 අප්‍රේල් අවසානය වන විට වාර්ෂික සීඑස්ඊ පිරිවැටුම තියුනු ලෙස සියයට 59 කින්, රුපියල් බිලියන 91 තෙක් ඇද වැටුනු අතර තම කොටස් මිල දර්ශකය සියයට 26 කින් පහල ගියේය.

මහ බැංකුව මගින් පාලනය කරන විශ්‍රාම අරමුදල් යොදා ගනිමින් රජය කොටස් වෙලඳපොල හැසිරවීම සම්බන්ධව ද එස් ඇන්ඩ් පී වාර්තාව සිය සැලකිල්ල යොමු කලේය. "මහ බැංකු භූමිකාව මගින් පැන නැංවිය හැකි ගැටුම්කාරී තත්වයක් (අපට) පෙනේ” යැයි එය ප්‍රකාශ කලේය. "බැංකුවල ප්‍රතිපත්ති සම්පාදනය සහ අධීක්ෂනයට අමතරව, මහ බැංකුවේ මුදල් මංඩලය සේවක අර්ථසාදක අරමුදල් (ඊපීඑෆ්) ආයෝජනය ද අධීක්ෂනය කරයි. ශ්‍රී ලංකාවේ බැංකු කොටස් වල විශාලතම ආයෝජකයා මෙම අරමුදලයි.”

ඩොලර් බිලියන 2.6 ක ඇපදීමේ පැකේජයේ අවසන් වාරිකය අනුමත කරන්නට පෙර ශ්‍රී ලංකාවට පැමිනි ජාමූඅ කන්ඩායම, අවශ්‍ය තවත් කප්පාදු වැඩපිලිවෙලවල් දියත් කරන බවට වන රජයේ සහතිකය බාරගත්තේය. ශ්‍රී ලංකාව සඳහා තම ආර්ථික වර්ධන ඇස්තමේන්තු අගය සියයට 7.2 සිට සියයට 6.75 දක්වා අඩුකරන ලද ජාමූඅ, සිවිල් යුද්ධය අවසානයේ පටන් ඉහලම අගය වන සියයට 9.5 කට වාර්ෂික උද්ධමන අනුපාතය ඉහල නගින බවට අනාවැකි පල කලේය. දේශීය බුද්ධිමතුන්ගේ මන්ඩලයක් වන පාත්ෆයින්ඩර් හි මෑත වාර්තාවක මෙසේ නිගමනය කලේය. "අවාසනාවට, අහිතකර ගෝලීය ආර්ථික ප්‍රවනතාවන්ගේ සහ ගෙවුම් ශේෂයන්හි ප්‍රතිපත්ති-ප්‍රේරක අසමතුලිතතාවන්ගේ සංයෝජනයෙන් තේරුම් යන්නේ පහසු තෝරා ගැනීම් නොමැති බවය. ආර්ථිකය ස්ථාවර කරන්නට බලධාරීන්හට සංකෝචන ප්‍රතිපත්ති නොපසුබටව කරගෙන යාම අවශ්‍යය. (එනම්, තමන්ගේ මට්ටමට ජීවත්වීම)”

වෙනත් වචනවලින් පැවසුවහොත්, රාජපක්ෂ ආන්ඩුව ඛනිජතෙල් හා අනෙකුත් සහනාධාර කපා හැරීම, මූර්ත වැටුප් පහල දැමීම, සහ රාජ්‍ය අංශයේ රැකියා සහ සේවා කප්පාදු වැනි තම "සංකෝචන” වැඩපිලිවෙලවල් ගැඹුරු කිරීම තුලින් තවත් දැවැන්ත සමාජ සහ දේශපාලන අසහනයකට මග පාදනු ඇත.

Share this article: