වෘත්තීය සමිති විශ්වවිද්‍යාල කම්කරු වර්ජනය පාවා දෙති

Sri Lankan unions betray university workers’ strike

By Dehin Wasantha, 4 July 2012

අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව (අයියූ‍ටීයූජේසී) ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයන්ගේ වර්ජනයක් කිසිදු ඉල්ලීමක් දිනා නො ගෙන නවතා දමා ඇත. වැටුප් සියය‍ට 25කින් වහා ම ඉහල දැමීම හා වැ‍ටුප් විෂමතා ඉවත් කිරීම සඳහා දියත් කරන ලද වර්ජනය ජුනි 5දා ඇරඹී සති තුනක් තිස්සේ ඇදී ගොස් 26 දා අවසන් කරනු ලැබිනි. අයියූ‍ටීයූජේසී කමිටුවට විපාර්ශවික ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග සම්බන්ධ සමිති මෙන් ම ඊනියා ස්වාධීන වෘත්තීය සමිති කිහිපයක් ද අයත් වේ. අයියූටීයූජේසීහි පාර්ශවකරුවෙක් වුව ද පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය‍ට (ශ්‍රීලනිප) සම්බන්ධ වෘත්තීය සමිතිය වර්ජනයට සහභාගි නො වීය.

වර්ජනය ආරම්භයේ දී ඒකාබද්ධ කමිටු නායකයෝ තමන් ආන්ඩුව හා විශ්වවිද්‍යාල බලධාරීන් සමග කිසිදු සම්මුතියකට නො යන බවට පාරම් බෑහ. ඉල්ලීම් ඉටුවන තුරු "අඛන්ඩ වර්ජනයක” යෙදීමට ඔවුහු සපථ වූහ. මෙය වර්ජනයේ යෙදෙන කම්කරුවන් මුලා කිරීමට දෙඩූ පුරසාරමක් විය. ආරම්භයේ පටන් ම, වෘත්තීය සමිති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම (යූජීසී) හා ආන්ඩුවේ නිලධාරීන් සමග ගනුදෙනුවකට එලඹීමට ඇති අභිල‍ාෂය පිලිබඳව ඉඟි කලහ.

යූජීසීය හා භාන්ඩාගාරය සමග සාකච්ඡා වට දෙකක් පැවැත්වූ සමිති කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා තුනක නිරත වූහ. යථාර්ථය‍‍ට විපරීතව සමිති නායකයන් විසින් වර්ජිත කම්කරුවන්ට කාවද්දන ලද්දේ හිතකර ප්‍රතිඵලයක් කරා එලඹීම‍ට නියමිත බව යි.

සාකච්ඡා පැවැත්වෙන අතරතුරේ වර්ජකයන් සමග සාකච්ඡා කිරීමට තමා කිසිසේත් සූදානම් නොමැති බව උද්ධච්ඡ ලෙස ප්‍රකාශ කල උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක වහා ආපසු වැඩට එන ලෙස ඔවුන්ට නියෝග කලේ ය. වර්ජනයේ නිරත කාලය සඳහා කම්කරුවන්ගේ වැටුප් අත්හිටුවන බවට ඔහු තර්ජනය කලේ ය.

වෘත්තීය සමිති පාවාදීමකට ඉඟි කලහ. කම්කරු දෙපාර්තමේන්තුව සමග පැවති දෙවැනි සාකච්ඡාවෙන් පසු අයියූටීයූජේසී සම-සභාපති ආර්. එම්. චන්ද්‍රපාල මාධ්‍ය වෙත කීවේ සියයට 25ක වැට‍ුප් වැඩිවීමක් සඳහා වන ඉල්ලීම "යලි සලකා බැලීමට” සමිති සූදානම් බව යි. අවසානයේ සමිති නායකයෝ යූජීසීය සමග සාමූහික ගිවිසුමකට අත්සන් කලහ. එය‍ට අත්සන් කල එක් අයෙක් වන අයියූටීයූජේසී මාධ්‍ය ප්‍රකාශක විජේතිලක ජයසිංහ කියා සි‍ටියේ වැටුප් විෂමතා නිවැරදි කරන බවට පොරොන්දු වන චක්‍රලේඛයක් දින 45ක් ඇතුලත නිකුත් කිරීමට යූජීසීය එකඟ වී ඇති බව යි. සියය‍ට 25 වැ‍ටුප් වැඩි කිරීම හෝ වර්ජිත කාලයේ වැටුප් කැපීම‍ට ඇමතිවරයා කල තර්ජනය පිලිබඳව කිසිවක් එහි සඳහන් නො වුනි.

අනාගතයේ වැටුප් විෂමතා ගැටලුවට ආමන්ත්‍රනය කරන බව‍ට වන ලාභ පො‍ෙරාන්දුවකට අයියූ‍ටීයූජේසීය යලි වතාවක් කම්කරුවන්ව පාවා දී ඇත. තව ද මෙම පොරොන්දුව දී ඇත්තේ සිය පොරොන්දු කැඩීම පිලිබඳව කුප්‍රකට ආන්ඩුවකි.

අනධ්‍යයන කාර්ය මන්ඩල වැටුප් වැඩි කිරීම‍ට ආන්ඩුව ප්‍රතික්ෂේප කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අනවනු ලබන පුලුල් කප්පාදු වැඩපිලිවෙලක කො‍ටසකි. ආන්ඩුව ඉන්ධන, ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල දමා සමාජ වියදම් කපා ඇති තතු යටතේ පවා වැටුප් වැඩි කිරීම් යටපත් කරනු ලබමින් පවතී.

ආන්ඩුවට එරෙහි කිසිදු දේශපාලන අරගලයකට තරයේ ම විරුද්ධ අයියූටීයූජේසීය දශකයකට ආසන්න කාලයක් තිස්සේ වැටුප් ගැටලුව පිලිබඳ අරගල එකකට පසු තවෙකක් වසයෙන් පාවා දී තිබේ.

රුපියල් 2,500ක මාසික දීමනාවක් ඉල්ලා 2004 සැප්තැම්බරයේ දී වැඩ වැරූ විට සමිති නිලධරයෝ රුපියල් 1,000ක දීමන‍ාවකට හිලවු ලෙස වර්ජනය නවතා දැමූහ.

2005 ජූලි මාසයේ දී ඒ හා සමාන ඉල්ලීම් මුල් කරගෙන කම්කරුවෝ නැවත වරක් වර්ජනය කල විට එම අරගලය ජවිපෙ-නීත අන්තර් විශ්ව විද්‍යාලයීය සේවා වෘත්තීය සමිතිය (අයියූටීඑස්යූ) විසින් යටපත් කරන ලදී. ආන්ඩුව හා දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) සුනාමි සහනාධාර අරමුදල් ඒකාබද්ධව කලමනාකරනය කිරීමට එරෙහිව ජවිපෙ ගෙන ගිය වාර්ගික උද‍්ඝෝෂනයට බර දැමීමට කම්කරුවන් සිය කාර්මික ක්‍රියාව අවසන් කල යුතු යයි අයියූඑස්ටීයූව අවධාරනය කලේ ය.

2007 මැයි මාසයේ දී "රටෙ‍හි පවතින තත්ත්වය” සලකා බලා අයියූ‍ටීයූජේසීය තවත් වර්ජනයක් ආපසු කැඳවීය. වෙනත් වචනවලින් කියතොත් කම්කරුවන් සිය ඉල්ලීම් ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ටීටීඊයට එරෙහිව යලි ඇරඹූ යුද්ධයට ය‍ටත් කල යුතු විය.

නවතම වර්ජනයේ ආරම්භයේ පටන් ම රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකින් තොරව කම්කරුවන්ට තම ඉල්ලීම් දිනා ගත නො හැකි යයි සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු ඇඟවී ය.

සසප ප්‍රකාශනයක් මෙසේ විස්තර කලේ ය: "අනධ්‍යයන කම්කරුවන්ගේ වැටුප් කැපීම් හා ඔවුන් මත වැඩි බර පැටවීම් ආන්ඩුවේ වෙලඳපොල හිතවාදී න්‍යාය පත්‍රය සමග බැඳී තිබේ. යුරෝපයේ හා ලොව ව‍ටා සිදුවන පරිදි රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාවට දමමින් තිබෙන්නේ කප්පාදු පියවර හරහා ලෝක ධනේශ්වර අර්බුදයේ බර කම්කරු පන්තිය මත පටවන මූල්‍ය වෙලඳපොලවල ඇනවීම් ය.

"වෘත්තීය සමිති හා ඔවුන් සම්බන්ධ වී සිටින දේශපාලන පක්ෂවල‍ට ආන්ඩුවේ පිලිවෙත් සමග මූලික වෙනස්කම් නොමැති අතර ඔවුහු සහන දීම සඳහා රාජපක්ෂට පීඩනය යෙදිය හැකිය යන මිථ්‍යාව පෙරට දමති.”

වෘත්තීය සමිතිවලින් කැඩී තමන්ගේ ම ස්වාධීන අරගලය දියත් කරන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලයි. මේ සඳහා වැඩපොල හා නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය කරයි.

මෙම දේශපාලන අරගලයේ දී ධනේශ්වර පාලනය අවසන් කොට පුද්ගලික ලාභය වෙනුවට සමාජ අවශ්‍යතා ඉ‍ටුවන පරිදි සමාජය ප්‍රතිසංවිධානය කිරීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපනය කිරීමට කම්කරුවෝ සමාජවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ විය යුතු ය. මෙම කර්තව්‍ය සඳහා සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් ධනේශ්වරයේ සියලු කොටස්වලින් ස්වාධීනව ඒකාබද්ධ විය යුතු අතර කලාපයේ ද ජාත්‍යන්තරව ද සියලු පන්ති සහෝදර සහෝදරියන් සමග බද්ධ විය යුතු ය.

වෘත්තීය සමිති මුල පටන් ම එවැනි දේශපාලනික අරගලයකට හතුරු ය. සසප පේරාදෙනිය හා රුහුන යන සරසවිවල ‍උද්ඝෝෂනයේ යෙදෙද්දී සමිති නායකයෝ ද ඔවුන්ගේ ආධාරකරුවෝ ද සසප සාමාජිකයන්ට තර්ජනය කොට දීර්ඝ සාකච්ඡාවල යෙදීමෙන් වලක්වන ලදී.

තර්ජන නො තකා රැස්වීම් කිහිපයක දී වර්ජිත කම්කරුවන් අමන්ත්‍රනය කල මෙම ලියුම්කරුට විරුද්ධව කායික ප්‍රචන්ඩත්වය යෙදීමට මොරටුව විශ්වවිද්‍යාලයේ සියලුම වර්ගවල වෘත්තීය සමිති නායකයෝ එකට එකතු වූහ.

කම්කරුවෝ සමස්තයක් ලෙස මෙම පාවාදීමේ පාඩම් උකහා ගත යුත්තාහ. වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් මුලුමනින් කැඩී සමාජව‍ාදී ඉදිරිදර්ශනයක‍ට හැරුනේ නැතිනම් කම්කරු පන්තියට අඩියක්වත් ඉදිරියට යා නො හැක. අනධ්‍යයන‍ සේවයකයන්ට ද කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වලට ද සසප ක්‍රියාමාර්ගය ගැඹුරින් හදාරා එය කම්කරු පන්තියේ නව මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනැගීමට එක්වන ලෙස අපි කැඳවුම් කර සිටිමු.

Share this article: