එක්සත් ජාතීන්ගේ යුද යෝජනාව නිෂේධනය කිරීමෙන් පසු

වොෂින්ටනය සිරියානු තන්ත්‍රය පෙරලා දැමීමේ උත්සාහය දැඩි කර යි

After veto of UN war resolution Washington steps up drive to overthrow Syrian regime

By Niall Green, 23 July 2012

පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය තුල සිරියාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමට අසමත් වීමෙන් පසු බරක් ඔබාමා පාලනය, සිරියාවේ ආන්ඩුව පෙරලා දැමීමට හා එක්සත් ජනපද රූකඩ තන්ත්‍රයක් ඇටවීමට "කැමැත්ත දක්වන හවුලක්" ගොඩනගා ගැනීමේ උත්සාහය තීව්‍ර කර ඇත.

හමුදා බලය යොදා ගැනීමට බලය ලැබෙන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 7වැනි පරිච්ඡේදයට අනුව ඉදිරිපත්කල යෝජනා‍වෙන් දමස්කසයට එරෙහිව නව සම්බාධක පැනවීමට ඉඩ තිබුනි. එක්සත් ජනපදය හා නේටෝව විසින් ප්‍රයෝජනයට ගන්නා ලද එවන් යෝජනාවක් අරක්ෂක මන්ඩලය විසින් අවසන් වරට සම්මත ක‍ෙල් ලිබියානු පාලන තන්ත්‍රය වෙනස් කිරීම අරමුනු කරගත් යුද්ධය යුක්ති සහගත කිරීමට ය.

එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපතිනිය වන සූසන් රයිස්, සිරියානු විරෝධී යෝජනාවට නිෂේධ බලය පාවිච්චි කිරීම ගැන මොස්කව් හා බීජීනය හෙලා දුටු අතර, ජනාධිපති බෂාර් අල් අසාද්ගේ තන්ත්‍රය යටපත් කර දැමීමට වොෂින්ටනය "ආරක්ෂක මන්ඩලයෙන් පිටත හවුල් කරුවන් සමග නොයෙකුත් පරාසයන්හි ” වැඩ කරනු ඇතැයි පැවසුවා ය.

මෙම අනුචරයින් අතරට පැරනි යටත් විජිත බලවතුන් වන බ්‍රිතාන්‍ය හා ප්‍රන්සය ද ඉස්ලාම්වාදීන් ආධිපත්‍යය දරන සිරියානු විරුද්ධ පාර්ශ්වීය මිලීෂියා හමුදාවට ඩොලර් මිලියන සිය ගනනක් සපයා ඇති, සෞදි අරාබියේ හා කටාර්හි සුන්නි රාජාන්ඩු ද අයත්වේ.

"පුලුල් පරාසයක හදිසි සැලැසුම් සාකච්ඡා කිරීමට” ධවල මන්දිරය “දැන් දිනපතා ඉහල මට්ටමේ සාකච්ඡා පවත්වමින් සිටී ” යයි නිව් යෝක් ටයිම්ස් 22දා වාර්තා කලේ ය.

ඔබාමා පාලනයේ හා පෙන්ටගනයේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු ද සිරියාවට එරෙහි ප්‍රහාරයක් සූදානම් කිරීමට ඔවුන්ගේ ඊස්රායල් සහකරුවන් සමග සාකච්ඡාවක නියැලී සිටිති. එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක තෝමස් ඩොනිලන් පසුගිය සතියේ සාකච්ඡා සඳහා ඊස්රායලයට ගොස් සිටි අතර ආරක්ෂක ලේකම් ලියෝන් පැනෙටා සිරියාව තුල තත්වය සාකච්ඡා කිරීමට ලබන සතියේ ජෙරුසෙලමට යාමට නියමිත ය.

2003 ඉරාක ආක්‍රමනයට සූදානම් වීමේ දී යොදා ගත් ව්‍යාජ "ජනඝාතක අවි” පිලිබඳ ව්‍යාපාරයේ දෝංකාරය නංවමින් වොෂින්ටනය හා එහි සහචරයෝ, සිරියාවේ ඇතැයි කියන රසායනික අවි ගබඩා අසාද් ආන්ඩුවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමේ විභව හේතුවක් ලෙස හුවාදක්වමින් සිටිති. "සිරියාවට රසායනික අවි විශාල තොගයක් තිබෙන බව අපි හොඳින් දනිමු ” යි සිකුරාදා ජාතික මහජන ගුවන් විදුලියට පැවසූ තානාපති රයිස්, සිරියාවට ඒවා රැක ගැනීමට නීතිමය හා සදාචාරමය අයිතියක් ඇත...ඔවුන් වගකීම බාරගන්නවා හැර සිරියානු ආන්ඩුවේ කිසිවෙකුට වෙනස් හැටියකට ක්‍රියා කල හැකි දැයි” යි විමසුවා ය.

අසාද් තමන්ගේ ම ජනතාවට එරෙහිව රසායනික අවි භාවිතා කිරීමට ඉඩ ඇතැ යි ද සිරියාවට මිලිටරි මැදිහත්වීමක් සඳහා එක්සත් ජනපදයට බැඳීමක් ඇතැ යි ද සීඑන්එන් මාධ්‍ය සේවයේ "ස්ටේට්ස් ඔෆ් ද යූනියන්” වැඩසටහනට පවසමින් රිපබ්ලිකන් ජෝන් මැකේන් 22දා සිරියානු ආයුධ පිලිබඳ ව්‍යාජ තර්ජනය සම්බන්ධයෙන් ඊටත් වඩා යුදකාමී ප්‍රකාශයක් කලේ ය.

ඉස්ලාමීය සටන්කාමීන් සිරියානු රසායනික අවි අත්පත් කර ගැනීම වැලක්වීම පිනිස සිරියාව මත ඒකපාර්ශ්වීය ප්‍රහාරයක් දියත් කිරීමට තමන් සූදානම් බව ඊස්රායල් ආන්ඩුව පැවසී ය. රසායනික අවි තොග ගබඩා කර ඇතැ යි වාර්තාවන සිරියානු හමුදා කඳවුරු මත "ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව මැන බැලීම සඳහා සූදානම් වීමට ඊස්රායල් හමුදාවට අන දී ඇතැ” යි ඊස්රායෙල් ආරක්ෂක ඇමති එහුඩ් බරක් පැවසී ය.

ඊස්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු, "ෆොක්ස් නිව්ස් සන්ඩේ” වැඩසටහන තුල කතා කරමින් "හෙස්බුල්ලා හෝ වෙනත් ත්‍රස්ත කන්ඩායම් අතට රසායනික අවි පත්වීම ” වැලක්වීමට හමුදා පියවර ගැනීමට ඔහුගේ ආන්ඩුව සූදානම් යයි කියා සිටියේය.

ඉස්ලාමීය සටන්කාමී කන්ඩායම් රසායනික අවි අත්කර ගැනීම පිලිබඳ ඊස්රායෙල් හා එක්සත් ජනපද නිලධාරීන්ගේ උත්සුකයන් පිලිබඳ එවැනි ප්‍රකාශන කුහකත්වයේ දුර්ගන්දය පිට කර යි. ත්‍රස්තවාදී කන්ඩායම් සිරියානු රසායනික අවි ඩැහැගැනීමේ තර්ජනයක් තිබේ නම් එය, දමස්කස් තන්ත්‍රය අස්ථාවර කිරීමේ වසරක් වයසැති ව්‍යාපාරයෙහි සිරියානු සුන්නි අන්තවාදීන්ට එක්සත් ජනපදය, ඊස්රායලය, බ්‍රිතාන්‍ය, ප්‍රන්සය හා බටහිර ගැති ගල්ෆ් රාජාන්ඩු විසින් ආයුධ, මුදල් හා ඔත්තු සේවා සපයා තිබීමේ ඍජු ප්‍රතිඵලයක් වනු ඇත.

මෑත පෙරදිග ප්‍රතිපත්ති සඳහා වොෂින්ටන් ආයතනයේ සාමාජිකයෙකු වන ඇන්ඩෘ ටැබ්ලර් විසින් රසායනික අවි ගැන බොරුව පිටුපස වන එක්සත් ජනපදයේ සැබෑ ආකල්පය ඍජුව ම ප්‍රකාශ කලේ ය, "සිරියානු තන්ත්‍රය හොඳින් සූදානම් කල විනාශයක‍ට මුහුන දෙන ආකාරය දෙස අපි විමසිල්ලෙන් සිටිමු” යි ඔහු කල ප්‍රකාශයක් නිව් යෝක් ටයිම්ස් උපුටා දැක්වී ය.

වොෂින්ටනය හා එහි සහචරයින් සිරියානු විරුද්ධ පාර්ශ්වයට දෙනු ලබන සහාය පිටුපස, ගිම්හානයේ දී ගැටුම පූර්න පරිමාන සිවිල් යුද්ධයක් කරා තියුනු ලෙස වර්ධනය වනු ඇති බවට වන ගනන් බැලීමක් තිබේ යයි එක්සත් ජනපද නිලධාරීන් පිලිගෙන ඇත. "පසුගිය මාස දෙක තුල දී විරුද්ධ පාර්ශ්වය ශක්තිමත් වී ඇති බව ඔබ දකිනු ඇතැ” යි ජ්‍යේෂ්ඨ ධවල මන්දිර නිලධාරියෙක් 22දා ටයිම්ස් පුවත්පතට පැවසී ය. “එය තීව්‍ර කිරීමට දැන් අප සූදානම්” යැයි නම් නොකල නිලධාරියා තවදුරටත් කීවේ ය.

සිරියානු "කැරලිකාරී” හමුදාවන්ට සෞදි අරාබිය හා කටාර් රටවල් විසින් සපයන ආයුද පාලනය කිරීමට තුර්කි සිරියානු දේශ සීමාව අසල ක්‍රියාත්මක වන එක්සත් ජනපද මධ්‍යම ආරක්ෂක සේවය මෙම තීව්‍ර කිරීම සම්බන්ධීකරනය කොට ඇත.

මෙම වැඩි වෙන ප්‍රචන්ඩත්වය, ගනන් බලා ඇති පරිදි, සිරියානුවන් 125,000කට රට අතහැර අසැල්වැසි ලෙබනනය, ජෝර්දානය, තුර්කිය හා ඉරාකයට පලා යාමට බල කර ඇත. මෑතක් වන තුරුම සාපේක්ෂව ප්‍රචන්ඩත්වය අඩුව පැවති දමස්කස් හා අලේපෝ වෙතට පලා යන තව බොහෝ සංඛ්‍යාවක් අභ්‍යන්තර සරනාගතයන් බවට පත්ව සිටිති. කෙසේ නමුත්, පසුගිය සතියේ අගනුවර ජාතික ආරක්ෂක මූලස්ථානය තුල තන්ත්‍රයේ ඉහල නිලධාරීන් තිදෙනෙකු ඝාතනය කල පිපිරීම වැනි බෝම්බ පිපිරීම් හා සන්නද්ධ ප්‍රහාර ගනනාවක් සමග එක්සත් ජනපද සහාය ලත් විපාර්ශ්වය මෙම නගර ඉලක්ක කිරීමට සමත් ව ඇත.

සති අන්තයේ අලේපෝවල උප නගර කීපයක දී ද අගනුවර තුල ද සටන්කාමීන් හා සන්නද්ධ හමුදා අතර දරුනු සටන් ඇවිල ගිය බව වාර්තා විය. 22දා, ජනාධිපති අසාද්ගේ සහෝදරයා විසින් අන දුන් සිරියානු හමුදාවේ විශේෂ හතරවැනි කන්ඩායම, දමස්කස්හි උප නගර වන බාර්ෂේ හා මෙෂේහි විපාර්ශ්වීය සටන් කරුවන්ට ප්‍රතිප්‍රහාරයක් එල්ල කලහ. සිරියාව නිදහස් කරනු හමුදාව හා ඉස්ලාම්වාදී සටන්කරුවන් සිරියා, තුර්කි හා ඉරාක දේශ සීමා කපොලු කීපයක පාලනය සියතට ගැනීමට සමත්ව ඇත.

වර්තමාන තන්ත්‍රයේ කන්ඩායම් ද ඇතුලත් විය හැකි තාවකාලික ආන්ඩුවක් පිහිටුවීමට ඔබාමා පාලනයේ නිලධාරීන් සිරියානු "කැරලිකරුවන් ” සමග කටයුතු කරමින් සිටි බව ද නිව් යෝක් ටයිම්ස් වාර්තා කලේ ය. නිලධාරීන්ගේ එවැනි පලා ඒමක් අසාද් යටපත් කිරීම හා දමස්කස් තුල එක්සත් ජනපද අනුග්‍රහය ලද නව තන්ත්‍රයට රුකුලක් සැපයීම යන දෙකට ම උදව් කරනු ඇති බැවින් ඉහල සිරියානු හමුදා නිධාරීන් බිලිබා ගැනීමට වොෂින්ටනය විශේෂයෙන් ම කැමති ය.

Share this article: