සසප ( ඕස්ට්‍රේලියාව) ආරම්භක සම්මේලනය

යෝජනා 1: ලෝක ධනවාදයේ අර්බුදය සහ සසප කර්තව්‍යයෝ

Resolution 1: The world capitalist crisis and the tasks of the SEP

8 May 2012

පහත පලකරන්නේ ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂය 2012 අප්‍රේල් 6 සිට 9 දක්වා සිඩ්නිහි පැවැත්වූ ආරම්භක සම්මේලනයේ දී(බලන්නඕස්ට්‍රේලියානු සසප ප්‍රථම ජාතික සමුලුව පවත්වයි ඒකමතිකව සම්මත කෙරුනු යෝජනා 7න් පලමු වැන්න යි.

1. ගෝලීය ධනේශ්වර පද්ධතියේ බිඳවැටීමට ප්‍රතිචාර වශයෙන්, 2011 වර්ෂයේ දී ජාත්‍යන්තර කම්කරු පන්තිය දේශපාලන කරලියට පිවිසෙනු දක්නට ලැබුනි. මෙය වඩාත්ම කෙලින් ප්‍රකාශිත වූයේ ඊජිප්තු විප්ලවයේ දී ය. එහෙත් මැද පෙරදිග පමනක් නොව, ග්‍රීසිය සහ යුරෝපය හරහා පැනනැග පවත්නා සමාජ අරගලයන් ද වැඩ වර්ජන ද ඊස්රායලයේ මහා පරිමාන විරෝධතා ද අයවැය කප්පාදුවලට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්‍රාන්තයේ වර්ධනය වූ මහා ජන ව්‍යාපාරය ද කම්කරු පන්තිය තුල විප්ලවවාදී නායකත්වයේ සහ ඉදිරිදර්ශනයේ අර්බුදය වඩවඩාත් පැහැදිලිව ඉස්මතු කර ඇත. නව විප්ලවවාදී අරගලවල කාලපරිච්ඡේදයක් සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමේ ප්‍රයත්නයක අප යෙදී සිටින්නා වූ චර්තමානයේ දී අපගේ සකල කාර්යයක ම පදනමෙහි පවත්නේ නායකත්වයේ අර්බුදය විසඳාලීමේ අරගලය බව සමාජවාදී සමානතා පක්ෂයේ මෙම සම්මේලනය අවධාරනය කරයි.

2. 2011 මුල දී, ටියුනීසියානු සහ ඉනික්බිති ඊජිප්තු, කම්කරු පන්ති නැගිටීම බෙන් අලි ද පසුව මුබාරක් ද පෙරලාදැමීම මගින් තීරනාත්මක දේශපාලන වෙනසක් බලෙන් ඇති කලේ ය. ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය තුල ගැබ්කොට තිබෙන මාක්ස්වාදී ක්‍රියාමාර්ගය මත පදනම් වූ විප්ලවවාදී නායකත්වයක් නොතිබීම, හේතු කොට ගෙන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ද ජාතික ධනපති පන්තිය තුල සහ යුද හමුදාව තුල සිටින අධිරාජ්‍යවාදී ඒජන්සිවලට ද සිය බලය තහවුරු කර ගැනීමට මග පෑදුනි. විවිධ සුලුධනේශ්වර ව්‍යාජ-වාම ප්‍රවනතා ආධාර කර ගත් ඔවුන් ටියුනීසියාවේ දී කටාර් රාජ්‍යයෙන් මුදල් ආධාරලත් ඉස්ලාමීය තන්ත්‍රයක් බලයේ පිහිටවූ අතර, ඊජිප්තුවේ දී කම්කරු පන්තිය මෙල්ල කිරීම සඳහා සන්ධානයක් ඇති කර ගන්නා ලදී. හමුදාව ද මුස්ලිම් සහෝදරත්වය ද අතර සහයෝගය විසින් ඊජිප්තු විප්ලවය සිරකර දැමීම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ද යුරෝපීය බලවතුන්ට ද ලිබියාවට මැදිහත් වී ගඩාෆි පාලනය පෙරලා දැමීමට ද ඉන් පසුව එබඳු ම පාලනතන්ත්‍ර මාරුවක් සිරියාව තුල ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමට ද ඉඩ පාදා දුනි.

3. ග්‍රීසියේ වැඩ වර්ජන සහ පෙලපාලි පෙරමුනු කොටගෙන, යුරෝපය පුරා කප්පාදු පියවරයන්ට එරෙහිව පැනනැගි මහා ජන අරගල මුහුන දී සිටින්නේ ද ඉහත කී වර්ගයේ අති මුලික දේශපාලන ගැටලූවලට ය. ඔවුහු පැරනි ධනේශ්වර ගැති වෘත්තිය සමිති තන්ත්‍රයන් සහ සුලු ධනේශ්වර ව්‍යාජ-වාම සංවිධානවලට මුහුන දී සිටිති. අමෙරිකා එක්සත් ජනපදයේ තතු ද එසේම ය.

සහභාගි වූවන් විවෘතව ම ඊජිප්තුවේ සම සටන්කරුවන් සමග අනන්‍ය වී ගත් මහා ජන විරෝධතා එක්සත් ජනපදයේ විස්කොන්න්සින්හි පැනනැගීම පන්ති අරගලයේ ජාත්යන්තර ස්වභාවය අවධාරනය කරමින් ඇමරිකානු කම්කරු පන්තියේ දැවැන්ත සමාජ සහ දේශපාලන විභව බලය ලෝකයට පෙන්නුම් කලේ ය. එහෙත් රාජ්‍ය ධනවාදී ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් ඔර්ගනයිසේෂන් සහ අර්ධ-අරාජකවාදී ස්ථරයන් ගෙන් සමන්විත ව්යාජ-වම්මුන්ගේ ආධාර ලත් වෘත්තීය සමිති නිලධරය එම ව්යාපාරය කඩාකප්පල් කොට ඩිමොක්‍රටික් පක්ෂය සහ ඔබාමා පාලනාධිකාරය යටතට ආපසු හරවා යැවීය. සැප්තැම්බර් සහ ඔක්තෝබර්හි දී වර්ධනය වූ වෝල් වීදිය වාඩිලාගැනීමේ ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ම සමන්විත වුයේ ශිෂ්‍ය සහ මධ්‍යම පන්තික ස්ථරයන් ගෙනි. එක්සත් ජනපදය තුල ද ජාත්‍යන්තරව ද එය ලද පෘථුල සහාය නිසා වඩාත් පුලූල් ව්යාපාරයක් ඉන් පැනනගිනු ඇති යයි අපේක්ෂා විය. එහෙත් කම්කරු පන්තිය ස්වාධීනව බලමුලූගැන්වීමක් දෙසට මොනම උපනතියක් හෝ එහි නොතැබීම එහි සීමිතතා ඉක්මනින්ම එලිදරව් කලේ ය.

4. ධනපති පන්තිය වෘත්තීය සමිති මත ද ඔවුන්ගේ "වාම” ආරක්ෂකයන් මත ද රැකෙමින් මේ වන තෙක්ම බලයේ රැඳී සිටීම, කම්කරු පන්තිය ඉමහත් අන්තරාවන්ට පාත්ර කරයි. එහෙත් විප්ලවවාදී මාක්ස්වාදී ඉදිරිදර්ශනයකට නිරතුරුව සටන්වැද පැරනි කම්කරු නිලධරය පෙරලාදැමීම සඳහා වෛෂයික තත්වය දැන් එලඹ ඇත. එහෙයින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ජා.ක.) විසින් දශක ගනනාවක් තිස්සේ සමාජවාදී ජාත්යන්තරවාදී ක්රියාමාර්ගයක් මත කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනතාව පිහිටුවාලීම සඳහා ගෙන යන ලද න්‍යායික සහ දේශපාලන අරගලය බලගතු වෛෂයික සන්තතීන් සමග අන්තර්ඡේදනය වෙමින් පවතී. ජාත්‍යන්තර කමිටුව 1988 සිය ඉදිරිදර්ශන යෝජනාවේ දී නිෂ්පාදනයේ ගෝලීයකරනයේ ඓතිහාසික අර්ථභාරය විග්‍රහ කරමින් කල පහත සඳහන් විශ්ලේෂනය බලගතු ලෙස සනාථව ඇත. ”ධනේශ්වර වර්ධනයේ පහලව ඇති නව ලක්ෂන තුල පන්ති අරගලයේ රූපය පවා ජාත්යන්තර ස්වභාවයක් ගනු ඇත.” එපමනක් නොව සුලූධනේශ්වර පැරනි-වම විසින් තොරම්බල් කරනු ලබන නානා ප්රකාර ”අනන්යතා දේශපාලනයේ” සකල ස්වරූපයන්ට ම එරෙහිව, ඉතිහාසයේ ගාමක බලය පන්ති අරගලය ය යන සම්භාව්ය මාක්ස් වාදී විශ්ලේෂනය දිගින් දිගටම ආරක්ෂා කර ඇත්තේ ජාත්යන්තර කමිටුව ම පමනි. එහි ඉදිරිදර්ශන සනාථව පවතිත්.

5. සමාජ අසමානත්වය කෙරේ පවත්නා ගැඹුරු විරුද්ධත්වය ධනේශ්වර විරෝධී හැඟීම් සමග බද්ධව මෙම සමාජ අරගල හරහා රතු හුය පටක් සේ දිවෙයි.

6. දේශපාලන වශයෙන් සීමා සහිත ආකාරයකට වුව කම්කරු පන්තියේ මහා අරගල පැනනැගීම ප්‍රගාඪ ඓතිහාසික වැදගත් කමක් දරයි. ඉන් සලකුනු කෙරන්නේ - 1968-75 විප්ලවවාදී අරගල රැල්ල පරාජයෙන් පසුව පාලක පන්තීන් විසින් අටවන ලදුව සෝවියට් සංගමය දියකර හැරීමෙන් පසු තවදුර ශක්තිමත් වූ ”නිදහස් වෙලඳපල” වැඩ සටහන අභියෝගයට ලක් කිරීම දැන් ඇරඹී ඇති බව ද ලෝක සමාජවාදී විප්ලවයේ නව යුගයක් ඇරඹී ඇති බව ද වේ. කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ සහ ඉදිරිදර්ශනයේ අර්බුදය විසඳීම මෙතරම් තීරක වැදගත් බවක් දරන්නේ එහෙයිනි. පරදුවට තැබී ඇති විකල්පය කම්කරු පන්තියේ විජයග්‍රහනය ද නැතහොත් මානව වර්ගයාට ම ව්‍යසනකාරී විපාක අත්පත්කර දෙමින් කම්කරු පන්තිය මහත් පරාජයකට ඇද දැමීම ද යන දෙකින් එකක ට නොඅඩු ය.

7. 2011 අරගල වඩාත් පුපුරන සුලු සමාජ ඝට්ටනයන්හි පෙරඇඟවුමකි. 2007-2008 අර්බුදයෙන් පසුව ලෝක මුල්ය පද්ධතිය බේරාගැනීම සඳහා ම්ලේච්ඡ කප්පාදු පියවර මගින් කම්කරු පන්තිය මිරිකා ඩොලර් ට්‍රිලියන සංඛ්යාත මුදලක් උකහා ගත යුතු යයි ගෝලීය මූල්‍ය කතිපයාධිකාරය බලකර සිටී. සමස්ත ලෝක නිෂ්පාදනයෙන් හතරෙන් පංගුවකට සමාන මුදලක් වන එය මහා අවපාතයෙන් ද (1929-1939) දෙවන ලෝක මහා යුද්ධයෙන් ද (1939-45) ඉක්බිත්තේ සමාජ විප්ලවයට බියෙන් ධනේශ්වරය විසින් ලබාදෙන ලද සකල සමාජ සහනයක් ම මෘග ලෙස සමතලා කර දැමීමකි.

එහෙත්, කම්කරු පන්තියට ද පුලුල් මහජනතාවට ද මෙම අලුත් තත්වය යටතේ ජීවත්විය නොහැකිය. ඔවුන් එසේ නොකරනු ද ඇත. නව විප්ලවවාදී යුගයක වෛෂයික පදනම මෙයයි.

8. ධනපති ක්‍රමයේ අර්බුදයට සෑම රටකම ධනපති පන්තියට ඇත්තේ එක තනි පිලිතුරකි. එය නම් මහා ජනතාවගේ ආර්ථික සහ සමාජ තත්වය මුලුමනින්ම මකා අලුත් අච්චුවක වාත්තු කිරීම ය: ඒකාධිපතිත්වය, යුදවාදය සහ යුද්ධය ගෙන ඒම ය. ගෝලීය මුල්‍ය අර්බුදය පුපුරාගොස් වසර හතරකට පසුව පවා පාලක පන්තිය එයට යටින් පවත්නා හේතු කිසිවකටත් විසඳීමක් තබා අතගැසීමක් වත් කර ඇත්තේ නැත. අර්බුදය කඩාපාත් කිරීමට ක්ෂනිකව හේතු වූ සමපේක්ෂන වියරුව නොනැවතී වෙනත් ආකාරයකින් ඉදිරියට ගෙනයනු ලැබේ. මහබැංකු විසින් මූල්‍ය සංස්ථාවලට සැපයෙන අති ලිහිල් පොලී සහිත ට්‍රිලියන සංඛ්‍යාත මුදල් මගින් අඩුගනනේ කෙටි කාලයේ දී හෝ මූල්‍ය සංගතවල ලාභ ඉහල දමාගනු ලැබේ.

මේ අතර සෑම රටකම ආන්ඩු කම්කරු පන්තියේ සමාජ තත්වයට වඩවඩා ගැඹුරෙන් පහර එල්ල කර ගෙන යති. එක්සත් ජනපදයේ ආර්ථිකය දකින්නේයැයි කියනු ලබන ”යලි සුවපත්වීම” පදනම් ව ඇත්තේ වැටුප් හිඟන මට්ටමට දැමීම ද සමාජ සේවා සිඳබිඳ දැමීම ද මතය. එහි ප්‍රතිවිපාකය එක්සත් ජනපදයේ පරිභෝජක වියදම් ඇද වැටීම ය. එහෙත් - ඇමෙරිකානු දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70 පමන හෙවත් ලෝක නිෂ්පාදිතයෙන් හතරෙන් පංගුවක් වන - ඇමරිකානු පරිභෝජක වියදම් ලෝක ධනේශ්වර ආර්ථිකයේ අත්‍යන්ත අවශ්‍යතාවක් ඉටු කරන්නකි. මෙහි අර්ථය නම් ඉහතකී වර්ගයේ කුමන ”සුවපත්වීමක්” වුව ගෝලීය අර්බුදය තවතවත් උග්‍ර කරනු ඇති බව ය. ඒ සමග ම ජපන් ආර්ථිකය කල්පවත්නා වර්ධනයක් ලබාගැනීම ට අසමත්ව ඇත. මූල්‍ය ප්‍රාග්ධනය විසින් අටවනලද කප්පාදු පියවර නිසා යුරෝපයේ රටවල්වලින් වැඩි හරියක් එක්කෝ අවපාතයට පිවිස ඇත, නැතහොත් පිවිසෙමින් පවතී.

9. දියුනු ධනේශ්වර රටවල ප්‍රතිඝතිතා උග්‍රවන තතු තුල ”ලෝකයන් ගෙන් හොඳම එකේ ඔක්කොම වෙන්නේ හොඳට ය” යයි දකින ආචාර්ය පන්ග්ලොස්ලා (වොල්ටෙයර් ගේ කැන්ඩිඩ් නම් කෘතියේ එන චරිතයක්.) ගේ ඇස් දැන්හැරී ඇත්තේ නැගෙනහිර පැත්තට ය.

චීනයේ ආර්ථික වර්ධනය ”ආසියානු ශතවර්ෂයක්” උදා කරමින් ධනවාදය පුනර්ජීවනය කරනු තබා, අර්බුදයට පිලියමක් හෝ සම්පාදනය කරන්නේ නැත. චීන ආර්ථිකය මුලුමනින්ම රඳා පවතින්නේ යුරෝපයේ සහ ඇමරිකාවේ දැනටම වැටී ඇති වෙලඳපලවලට අපනයනය කිරීම මතය. අභ්‍යන්තර වශයෙන් 2008-2009 දී චීනයේ රැකියා මිලියන 20ක් අහෝසි වූ කල්හි එරට ව්‍යසනයෙන් ගලවාගත් නය බුබුල දැන් බිඳ වැටීමට තර්ජනය කර සිටින්නේ සිතාගත නොහැකි දුර්විපාක සහගතව ය.

10. පාලක පන්තියට සමාජමය වශයෙන් ප්‍රගතිශීලී විකල්පයක් නොමැති බව එහි නියෝජිතයෝ සිය කවයන් තුල දී කෙලින්ම පිලිගනිති. ඩෙවොස් හි පැවැත්වුනු ගෝලීය ප්‍රභූන්ගේ වාර්ෂික රැස්වීම වන ලෝක ආර්ථික සමුලුවේ (World Economic Forum) දී, විසිවෙනි සියවසේ මූල්‍ය සහ වෙනත් යාන්ත්‍රනයන් 21 වන සියවසේ සංකීර්න තත්වයන් සඳහා මුලුමනින්ම නොපොහොනා බවට අනතුරු හඟවන ලදී. ඩිස්ටොපියාවේ (ජීවිතය සදා දුෂ්කර, ප්‍රාර්ථනා ශුන්‍ය ලෝකයක) බීජ වැපිරෙමින් පවතිතැයි එම සමුලුව ප්‍රකාශ කලේ ය. තමන් කම්කරු පන්තියේ සමාජ තත්වයට එල්ල කරන ප්‍රහාර විසින් විප්ලවවාදී අරගලයන් ජනනය කෙරෙනු ඇතියයි හොඳටම දැනුවත් වන ධනේශ්වර ප්‍රභූව තමන් අත පවත්නා නපුරු ම අවි වන ඒකාධිපතිත්වය, යුද වාදය සහ යුද්ධය ම කම්කරු පන්තියට එරෙහිව සූදානම් කරමින් සිටිති.

11. ධනපති පන්තියේ විසඳුම කුමක් ද යන්න දැන් ග්‍රීසියේ ප්‍රදර්ශනය කෙරේ. එහි කම්කරුවන් මුහුන දෙන තත්වය ධනවාදය ලොව සෑම තැනම කම්කරුවන් මතට කඩාපාත් කරන්නට යන දෙය ගැන තියුනු ම අනතුරු හැඟවීමකි.

මුලු ග්‍රීසිය ම මූල්‍ය ප්‍රාග්ධනයේ අර්ධ -විජිතයක් බවට ප්‍රතිවර්තනය කරනු ලැබ ඇත. ආන්ඩුවේ පිලිවෙත තීන්දු කරන්නේ ඊනියා ”ට්‍රොයිකාව” - යුරෝපීය කොමිසම, යුරෝපා මහා බැංකුව, සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල - විසිනි. ගිය මාස 18 ඇතුලත ඔවුහු දැවැන්ත වැටුප් කප්පාදුවක් ක්‍රියාත්මක කලහ. පුද්ගලික අංශයේ සියයට 20ක් ද රාජ්‍ය අංශයේ සියයට 50ක් ද වැටුප් කපා ඇති අතර වැඩිහිටියන් පස් දෙනකුට එක අයෙක් ද, තරුනයින් දෙදෙනෙකුට එක් අයෙක් ද රක්ෂා නැතිව සිටිති. ග්‍රීක ජනතාව දිලිඳු බවේ ගිල්වමින් ලාභ තරකර ගන්නා මුල්‍ය ප්‍රාග්ධනය ඒ ගමන් ”කැපකරපල්ලා” යයි සීමාවක් නැතිව ජනතාවට කියා සිටී.

12. යුරෝපීය සංගමයේ ප්‍රතිගාමී ස්වභාවය එලිදරව් වී පවතී. අවපාතය, ෆැසිස්ට්වාදය සහ යුද්ධය වැලැක්වීමේ උපකරනයක් යයි (පාලක පන්තිය කියා පෑ) යුරෝපීය සංගමයේ සංස්ථා එම ව්‍යසන යලි කැඳවා ගැනීමට කොන්දේසි නිර්මානය කරයි. ග්‍රීසිය මත පටවමින් පවත්නා සමාජ පරාගමනය එරට තුල කුමන වර්ගයක හෝ ප්‍රජාතන්ත්‍රයක් පවත්වාගෙන යාම සමග ගැලපෙන්නේ නැත. යුරෝපයේ ට්‍රොයිකාව ග්‍රීසිය මත ඡන්දයෙන් පත් නො කෙරුනු, මූල්‍ය කතිපයාධිකාරයේ ඍජු උපකරනයක් වන ආන්ඩුවක් අටවා තිබෙන්නේ එහෙයිනි.

13. ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලන රූපයන්ට මාරුවීම සෑම රටකම සිදුවෙමින් පවතී. බ්‍රිතාන්‍යයේ සිටි ඔෆ් ලන්ඩන් (මූල්‍ය ජාවාරම් කරුවන්) උදෙසා පාලනය ගෙනයන හවුල් ආන්ඩුව 2010 මැයි මස මැතිවරනයේ දී ජනගහනයේ අති බහුතරය ඍජුව විරුද්ධ වූ, වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් සිටී. ඇමරිකා එක්සත් ජනපදයේ අලුතින් පනවා ඇති වෝල් වීදීය වාඩි ලා ගැනීමේ ව්‍යාපාරය ඉක්බිත්තේ සම්මත කරනලද, ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති රාශිය ට, සමාජ විරෝධතා පවා නීති විරෝධී කරන රෙකුලාසි ද ඇතුලත් ය. චීනයේ ධනවාදය පුනස්ථාපනය කල ප්‍රතිගාමී පාලන තන්ත්‍රය සමාජ විරෝධතාවන් මතුවී එන තතු තුල රාජ්‍ය ආරක්ෂක යන්ත්‍රය ශක්තිමත් කරමින් කෝටි සිය ගනන් කම්කරු පන්තිය මර්දනය කිරීමට සැරසෙයි. ඕස්ට්‍රේලියාවේ ගිලාර්ඩ් ආන්ඩුව ජාත්‍යන්තර කප්පාදු වැඩසටහනට කැපවීගෙන සීමාසහිත විරෝධතාවන්ට බසින කම්කරුවන් පවා මර්දනයට ලක් කරන නීති ක්‍රියාත්මක කරයි.

14. ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2011 අරගල සමාලෝචනය කරමින් ඒවායේ අර්ථභාරය මෙන්ම වෛෂයික සීමා ද පිලිබඳ ශේෂපත්‍රයක් 2012 තම ප්‍රථම ඉදිරිදර්ශන සටහනේ දී ඉදිරිපත් කලේය.

”මේ වන විටත් ලෝකය පුරා කෝටි ගනනක් ජනතාව අලලා ගෙන ඇති සමාජ අරගලයන්ගේ වර්ධනයේ අර්ථය නම්” ධනවාදයේ වෛෂයික අර්බුදය, ග්‍රහලෝකයේ මූලික විප්ලවවාදී බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ ආත්මීය විඥානය තුල තහවුරුවෙමින් පවත්නේ ය යන්න යි.

”ජනතා ව්‍යාපාරයක ආරම්භක අවධීන් තුලදී, හැමවිටම, අර්බුදයේ ඓතිහාසික පරිමාව හා අරගලයට ඇදී එන ජනතාවගේ පවතින දැනුවත් බව (විඥානය) අතර විශාල අගාධයක් පවතී. එය එසේ නොවිය හැක්කේ කෙසේ ද? ජනතාවට ඉගෙන ගත හැක්කේ අරගලයන්ගේ අත්දැකීම් හරහා පමනි. දශක ගනනාවක දුර්නායකත්වයේ හා පාවාදීමවල ප්‍රතිවිපාක වන දේශපාලන අවමංගතවීම හා ව්‍යාකූලත්වය ජනතාවට එක් රැයකින් ජය ගත නොහැක. පැරනි සංවිධාන, එනම් දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති, ඔවුන්ගේ බලපෑමෙන් ඉතුරු වූ යමක් ඇත් නම් එය සමාජ විරෝධය මැඩලා, ධනේශ්වර පාලනයට තර්ජනය නොකරන ඇල මං තුල රැඳවීම සඳහා යොදා ගනිත්.”

15. සසපයේ කේන්ද්‍රීය කර්තව්‍ය වන්නේ වෛෂයික තත්වයේ මුහුකුරායාමත් කම්කරු පන්තියේ දේශපාලන විඥානයත් අතර පරතරය ජයගැනීම ය යන්න මෙම සම්මේලනය අවධාරනය කර සිටී. මෙය ඉටු කර ගත හැකි වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන අවශ්‍යතාවය සැම අවධියක දී ම නීර්නය කරගැනීම සඳහා කෙරෙන න්‍යායික සහ දේශපාලන අරගලය ද ප්‍රායෝගික ආරම්භකත්වයන් ද තුලිනි. ධනේශ්වර සංවර්ධනය අතපසු වූ රටවල් තුල මේ සඳහා, ශතවර්ෂයකට වඩා දීර්ඝ කාලයක අති මහත් ඓතිහාසික අත්දැකීම මත පදනම් ව, බලය සියතට ගෙන සමාජවාදය සඳහා අරගලය අරඹන කම්කරු පන්තිය විසින් පමනක්ම ප්‍රජාතන්ත්‍ර කර්තව්‍යයන් විසඳාලිය හැකිය යන්න අවධාරනය කරන්නාවූ ට්‍රොට්ස්කි ගේ නොනවතින විප්ලව න්‍යාය සඳහා කෙරෙන අප්‍රතිහත අරගලයක් අත්‍යවශ්‍ය වෙයි.

16. කම්කරුවන් දේශපාලන සංස්ථාපිතයේ ඒ හෝ මේ කොටසට බැඳ තබා ගැනීමට උත්සාහ දරන ව්‍යාජ ”වාම” - රැඩිකලුන් ද අර්ධ අරාජකවාදීන් ද එලිදරව් කිරීම සැම රටක් තුල ම කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අත්‍යවශ්‍යය. එවන් එලිදරව් කිරීම් පදනම් විය හැක්කේ ජාත්‍යන්තර කමිටුවේ ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගයේ ආරක්ෂාව සඳහා සමාජවාදී සමානතා පක්ෂය ඓතිහාසිකව කල අරගලය මත පමනි. ප්‍රන්සයේ නිව් ඇන්ටි කැපිටලිස්ට් පාටි, එක්සත් ජනපදයේ ඉන්ටර් නැෂනල් සෝෂලිස්ට් ඕර්ගනයිසේෂන්, ඊජිප්තුවේ රෙවලූෂනරි සෝෂලිස්ට්ස්, ග්‍රීසියේ සිරිසා, බ්‍රිතාන්‍යයේ සෝෂලිස්ට් වර්කර්ස් පාටි සහ ඕස්ට්‍රේලියාවේ සෝෂලිස්ට් අලයන්ස් සහ සොෂලිස්ට් ඔල්ටනෙටිව් වැනි සියලු සුලු ධනේශ්වර විගත-වාම සංවිධානවල උපත් පශ්චාත්-යුද සමයේ ධනවාදයේ අර්බුදය ද කම්කරු පන්තියේ භූමිකාව ද පිලිබඳ හතරවන ජාත්‍යන්තරයේ විශ්ලේෂනය ප්‍රතික්ෂේප කරමින් එයින් බිඳී ගිය, පැබ්ලෝවාදී සහ රාජ්‍ය ධනවාදී ප්‍රවනතා තුල ය.

17. පැබ්ලෝවාදීන් ද වෙනත් අවස්ථාවාදීන් ද විසින් හතරවන ජාත්‍යන්තරයට එල්ල කරන ලද නිරන්තර ප්‍රහාරයේ භෞතික පදනම වුයේ දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිති වෙනස්වූ සමාජ සහ දේශපාලන සබඳතා ය. විප්ලවයේ තර්ජනයට මුහුන පා සිටි අධිරාජ්‍යවාදය, දියුනු ධනපති රටවල පමනක් නොව, එය වෙනුවෙන් පාලනය කරගෙන යාම දේශීය ධනේශ්වරයට බාරදී තිබුනු පෙර යටත් විජිතව පැවැති රටවල් තුල ද මධ්‍යම පන්තියේ නව ස්ථරයන් ට දියුනු වීමට අවස්ථාව විවෘත කර දුනි. මෙම ස්ථර කම්කරු පන්තියට එරෙහි බෆරයක් සේ ක්‍රියා කලහ. පැබ්ලෝවාදයේ ද චෙනත් වර්ගවල සංශෝධනවාදයේ ද සාරභූත භූමිකාව වුයේ අධිරාජ්‍යවාදයේ ආධාරකයක් ලෙස ක්‍රියාකල මෙම අලුත් මධ්‍යම පන්ති ස්ථරයන්ට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය අනුගත කිරීමට යුක්ති සම්පාදනය කරන න්‍යායික සූත්‍ර සම්පාදනය කිරීම යි.

18. සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් ද ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ වෘත්තීය සමිති තන්ත්‍රයන් ප්‍රතිවර්තනය වීමෙන් ද ඉක්බිත්තේ ඊට ම ගැලපෙන පරිදි සුලු ධනේශ්වර ”වම” ද දකුනට හැරුනි. මෙම අලුත් උපනතියේ පැහැදිලි ම ප්‍රකාශනයන් ගෙන් මුල්ම එකක් වූයේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ ස්ලෝටර් නායකත්වය දුන් කන්ඩායම 1992-94 වර්ෂවල දී නේටෝ හමුදා බොස්නියාව ආක්‍රමනය කිරීමට ආධාර දීමේ ව්‍යායාමය යි. ට්‍රොට්ස්කිවාදී යයි කියාගන්නා පක්ෂයක් විසින් අධිරාජ්‍යවාදී යුද තන්ත්‍රය ද ධනේශ්වර පාලනය ද පීඩිත ජනතාවක් කෙරේ එල්ල කලාවූ ආක්‍රමනයක් මේ තරම් විවෘත ලෙස කවර කලෙකවත් ආරක්ෂා කර නොමැත. 1985-86 දී ජාත්‍යන්තර කමිටුව කවිපයේ ජාතිකවාදී අවස්ථාවාදයෙන් බිඳී වෙන්වීමේ වෛෂයික අර්ථභාරය අවධාරනය කිරීමට මෙය ආධාර විය. මෙම අත්දැකීම සාරාංශ කරමින් ජාත්‍යන්තර කමිටුව මෙසේ ලිවීය. ”කම්කරු විප්ලවවාදී පක්ෂයේ පිරිහීම සමස්ත සුලු ධනේශ්වර වාම ස්ථරයක පරිහානියේ සන්තතියක කොටසක් විය. එය සැලකිය යුතු කාලයක් ස්ටැලින්වාදී නිලධරය මත ද, ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර මත ද රඳා තිබුනි. සෝවියට් සංගමයේ බිඳ වැටීම ද ජාතික විමුක්ති ව්‍යාපාරවල සාර්වත්‍රික යටත්වීම ද සමග මෙම සමාජ ස්ථරය අධිරාජ්‍යවාදී කඳවුර කරා ප්‍රවිෂ්ටව ඇත.”

19. ඉක්බිති සිද්ධීහු ජාත්‍යන්තර කමිටුවේ විශ්ලේෂනය තවදුරටත් තහවුරු කල හ. 1999 බෝල්කන් යුද්ධයේ දී කලෙක වියට්නාම් යුද විරෝධීහු සර්බියාවට විරද්ධ අධිරාජ්‍යවාදී ප්‍රහාරයේ අතිශයින්ම ගෝරනාඩු ආධාරකයන් ලෙස මතු වූ හා එම වර්ෂයේදී ම ඔව්හු ඕස්ට්‍රේලියාවේ දී, නැගෙනහිර ටිමෝරයට ”භටයන්” යැවිය යුතුයි ආන්ඩුවට කියමින් කැන්බරා පාලනයේ නව -විජිතවාදී ආක්‍රමනය ට සහය පලකලෝය. සිය විශ්ලේෂනය ගැඹුරු කල ජාත්‍යන්තර කමිටුව මෙම බලවේග - යුද වීරෝධීන් ගේ සිට අධිරාජ්‍යවාදයේ දෘඪ ආධාරකයන් කරා - විකාශනය වීම ප්‍රගාඪ සමාජ සන්තතියක දේශපාලන ප්‍රකාශනයක් බව පෙන්නුම් කලේය. මූල්‍ය කරනය පැන නැග ඒම සහ මුල්‍ය වෙලඳපල ක්‍රියාකාරිත්වය මගින් ධනය ඒකරාශී වීම මධ්‍යම පන්තියේ පටු ස්ථරයකට සිය වියරු ම සිහිනයන් ඉක්මවා ධනය ගොඩ ගසා ගැනීමට මග පාදා, වැඩෙන කෑදරකම මගින් ඔවුන්ව ගෝලීය සම්පත්වල අධිරාජ්‍යවාදී ආධිපත්‍යය ට වඩ වඩාත් යට කලේ ය. ව්‍යාජ-වාම කන්ඩායම් මාක්ස්වාදය කෙරේ දක්වන්නාවූ ප්‍රගාමීව ගැඹුරු වන ප්‍රතිවිරෝධය ද වැඩිවැඩියෙන් ”අනන්‍යතා” සහ ‘ජීවනරටා’ දේශපාලනය පෝෂනය කිරීම ද ප්‍රකාශිත කරන්නේ ඉහත කී සමාජ ස්ථරයන්ගේ භෞතික ආසක්තයන් ය. 1985-86 භේදයේ දී ජාත්‍යන්තර කමිටුවට පහරදීම සඳහා ”විප්ලවවාදී සදාචාරය” යොදාගැනීම තුලින් කවිපය සලකුනු කල මග ගනිමින් ව්‍යාජ-වාමයෝ ලිබියාව හා සිරියාව තුල ”මානවහිතවාදී” යුද මැදිහත්වීම්වලට අධාර වූ හ. එමගින් අධිරාජ්‍යවාදී දේශපාලනයට මුලුමනින්ම අන්තර්ගත වූ හ. ඔවුන්ගේ ”වාම කය්වාරුවෙන්” බිඳක් හෝ ඉතිරිව නැත.

20. දේශපාලන වශයෙන් ඉතා දැනුවත් කම්කරුවන්, ව්‍යාජ වාමයන්ට එරෙහි අරගලය වර්ධනය කිරීමට සමත් වන්නේ, සකලාකාර සංශෝධනවාදයන්ට එරෙහිව ජාත්‍යන්තර කමිටුවේ ඓතිහාසික අරගලය පිලිබඳ වැටහීමකින් සන්නද්ධවීගත් පමනට ය. මෙම ඉතිහාසය විදහා දක්වන්නේ හතරවෙනි ජාත්‍යන්තරයේ ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂේප කිරීමකින් පටන් ගත් සියලු ප්‍රවනතා ධනේශ්වරයේ විවෘත ඒජන්සි බවට පත්ව ඇති ආකාරය ය. මාක්ස්වාදය ද කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ද කෙරේ ඔවුන් දක්වන්නා වූ ඓන්ද්‍රීය විරෝධය වනාහී ඔවුන් නියෝජනය කරන්නා වූ සමාජ ස්ථරයන්හි - එනම්, පවත්නා තත්වය තුල තමන්ගේ ම සමාජ තත්වය සහ ජීවන විලාසිතාව වර්ධනය කර ගැනීමේ නිමග්නව සිටින මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස්වල - ද්‍රව්‍යමය අවශ්‍යතාවන් නියෝජනය කරන සැටි ය. කම්කරුවන් මෙම ඉතිහාසයෙන් උගන්වාගැනීම සසපයේ දේශපාලන වැඩකටයුතුවල හරි මැද පිහිටුවා ගත යුතු ය.

21. වෛෂයික වර්ධනයන්ට පිටුපස දේශපාලන විඥානයේ ලැගීම ජයගත හැකි වන්නේ එවන් තත්වයක් වර්ධනය වූ ඓතිහාසික කොන්දේසි වටහා ගැනීම තුලින්ම පමනි. කේන්ද්‍රීය ඓතිහාසික දේශපාලන ගැටලුව නම් මාක්ස්වාදය සහ සැබෑ සමාජවාදය සමග, ප්‍රතිවිප්ලවවාදී ස්ටැලින්වාදය අනන්‍ය කිරීමයි. ස්ටැලින්වාදී නිලධරය සෝවියට් කම්කරු පන්තියෙන් බලය උදුරාගැනීමට සමත් වුයේ ප්‍රථම කම්කරු රාජ්‍යයේ පසු ගාමිත්වය ද හුදෙකලාව ද නිසා ය. මානව ඉතිහාසයේ සුවිසල්ම සමාජ ප්‍රතිවර්තනය වූ රුසියානු විප්ලවයේ දේශපාලන අධිකාරයෙන් ආවරනයක් ලබාගැනීමට, ස්ටැලින්වාදීන්ට ඉඩ ලබාදුන්නේ රාජ්‍ය තන්ත්‍රය මත නිලධරයට තිබුනු ග්‍රහනය විසිනි. ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරය මත ස්ටැලින්වාදයට තිබුනු ආධිපත්‍යය ද මාක්ස් වාදයේ ශ්‍රේෂ්ඨතම නියෝජකයන් දහස් ගනනින් මරා දැමීම ද, හොඳම කොටස් ද ඇතුලු සමස්ත කම්කරු පන්තියේ විඥානය බරපතල පසුබැස්මකට ලක් කලේය. දැන් ධනේශ්වරයේ බිඳ වැටීම ද පන්ති අරගලයේ යලි පැන නැගීම ද ස්ටැලින්වාදයේ සහ අධිරාජ්‍යවාදයේ නිර්මිතයක් වූ මෙම ආවරනයේ සහ අවලාදයේ මුසා මාලිගාව සහමුලින් ම සුන් කර දැමීමට සාධක සපයා දෙමින් මක්ස්වාදය පිලිබඳ නව උනන්දුවක් ජනිත කොට දී තිබේ.

22. 1993 සෝවියට් සංගමය දියකර හැරීමෙන් පසුව ”පශ්චාත් සෝවියට් මුසාකරනයේ ගුරුකුලය” යයි අප නම්කල දෙයට විරුද්ධ ව්‍යායාමය ඇරඹීමේ දී ජාත්‍යන්තර කමිටුව ඉහත සඳහන් සංසිද්ධිය පූර්වාපේක්ෂනය කලේ ය. මෙම ආරම්භකත්වය, විශේෂයෙන් ම ඩේවිඩ් නොර්ත් ගේ ”ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා” නම් කෘතිය පලකිරීම තුලින්, ලෝක විප්ලවයේ ‍ශ්‍රේෂ්ඨතම මූලෝපායඥයා ද න්‍යායඥයා ද වන ලියොන් ට්‍රොට්ස්කිගේ නම කෙලෙසීමට වලි කෑ ප්‍රති-කොමියුනිස්ට්වාදී ඉතිහාසඥයන් තලා කුඩු කර දමන ප්‍රහාරයක් එල්ල කොට ඇත. බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලික රොබට් සර්විස් සහ තවත් ”ඉතිහාසඥයන්” ගේ මුසා හෙලිකිරීමට නෝර්ත් දරන ප්‍රයත්නය අත්කරගෙන ඇති පෘථුල සහාය අවධාරනය කරන්නේ අවසාන විග්‍රහයේ දී ධනේශ්වරයේ නිලධර සහ ශාස්ත්‍රාලික සේවකයන්ගේ මුසාකරන කපාගෙන ඓතිහාසික සත්‍යය සඳහා අරගලය ඉස්මතු වන බව ය. මෙම ව්‍යායාමය විසින් අවිවාදනීයව තහවුරු කර ඇත්තේ ජාත්‍යන්තර කමිටුව වනාහි ට්‍රොට්ස්කිවාදයේ ඒකායන නියෝජකයා බව ය.

23. මෙම සමුලුව, නිශ්චයව ම ජාත්‍යන්තරව සහ ඕස්ට්‍රේලියාවේ පන්ති අරගලයේ අත්‍යන්ත නැගීමක් පෙරදකියි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දශක ගනනාවක් තිස්සේ සටන්කොට තහවුරු කරන ලද ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය දැන් තරුන ජනයා ද බුද්ධිමතුන් ද දේශපාලන වශයෙන් දැනුවත් කම්කරුවන්ට ද ප්‍රගාමීව ආකර්ෂනය වන්නා වූ කේන්ද්‍රය බවට පත් වනු ඇත. සමාජවාදී සමානතා පක්ෂය මෙම බලවේගයන් මුලු විසිවන ශතවර්ෂයේ සහ විසිඑක්වන ශතවර්ෂයේ ප්‍රථම දශකයේ ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයේ සකල පාඩම් සහ මූලෝපායික අනුභූතීන් මත උගන්වා ගෙන පුහුනු කොට ගත යුතු ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ද සමාජවාදී සමානතා පක්ෂය ද සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස තහවුරු කරගැනෙනු ඇත්තේ එසේ ය.

Share this article: