චීනයේ ෆොක්ස්කොන් කම්කරුවන් 200 සියදිවි නසා ගන්නා බවට තර්ජනය කරයි

China: Two hundred Foxconn workers threaten suicide

By Ben McGrath, 12 May 2012

ඇමෙරිකා එක්සත් ජනපද‍ෙය් "ෆෙයාර් ලේබර් ඇසෝසියේෂන්" (එෆ්එල්ඒ) විසින් චීනයේ ෆොක්ස්කොන් කම්හල්වල සේවා කොන්දේසි පිලිබඳ වාර්තාවක් නිකුත් කර මාස දෙකක් ඉකුත් වෙත්ම සමාගමේ සේවකයන් දෙසීයක් එහි වුහාන් කර්මාන්තශාලාව තුලදී සියදිවි නසා ගන්නා බවට තර්ජනය ක‍ලහ.

මස 27 වෙනි දින වැඩ මුරයෙන් ඉවත් වූ කම්කරුවෝ, කර්මාන්තශාලාවේ පවතින වහල් වැටුප් හා සේවා කොන්දේසිවලට එරෙහිව ජනවාරි මාස‍ෙයන් පසුව දෙවන වරට ද කර්මාන්ත ශාලාවේ වහලින් බිමට පැන සාමූහිකව දිවිනසා ගන්නා බවට තර්ජනය කලහ. කර්මාන්ත ශාලාවේ ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදනය කරන්නේ, මයික්‍රොසොෆ්ට් සමාගමට ඉහලම ලාභ උපයා දෙන Xbox 360s [වීඩියෝ ක්‍රීඩා උපාංගය]

හොංකොංහි මින්ග්පාඕ ඩේලි පුවත්පතට අනුව, විරෝධතා දැක්වූ කම්කරුවන් අනෙකුත් කර්මාන්ත ශාලාවලින් සෙන්ෂෙන් හා යැන්ග්ටායි කරා මාරු කර එවූ අයයි. ඒ අඩු වැටුපට, වැඩි පැය ගනනක්වැඩ ගනිමින් ඔවුන්ගේ ශ්‍රම පලදායිතාවය ඉහල නැංවීමට ය. පාලානාධිකාරිය ඔවුන් නැවත නැවතත් ඉදිරිපත් කල දුක්ගැනිවිලි නොතකා හැරීමෙන් පසුව කම්කරුවෝ, අප්‍රේල් 27 වනදා වැඩවර්ජනයක් දියත් කිරීමට තීරනය කලහ. කම්කරුවන් විරෝධතාව නවතා දැමීමට එකඟකරවා ගැනීමටත් ප්‍රථම පොලිස් හා ගිනි නිවීමේ අංශ එම ස්ථානය කරා යොමු කරනු ලැබ තිබින.

පසුගිය මාසයේ චීනයේ දී තවත් ෆොක්ස්කොන් වැඩවර්ජන දෙකක් ‍සිදු විය. අප්‍රේල් 11 වනදා සෙන්ෂෙන්වල කම්කරුවන් දුසිම් ගනනක් වහල මත නැගී සුලු විරෝධතාවක යෙදුනේ, ඔවුන් තවත් නගරයක් වන හුයිසොඕවලට මාරු කිරීමට එරෙහිව ය. අප්‍රේල් 13 දා 2000ක් පමන කම්කරුවන් ටයුආන් කර්මාන්තශාලාවේ අසාධාරන වේතනයන්ට විරෝධය දැක්වමින් වැඩවර්ජනය කල අතර මෙය විශාල පරිමානයේ පොලිස් මැදිහත් වීමකට තුඩු දුන්නේය. මෙම වසරේදී කර්මාන්තශාලාව, යෝධ ඇමෙරිකානු සංගතයක් වන ඇපල් සමාගම සඳහා අයිෆෝන් මිලියන 67ක් නිෂ්පාදනය කරදීමට ගිවිස ‍‍ගෙන ඇත.

පුලුල්ව පැතිරුනු සූරාකෑම් හා ෆොක්ස්කොන් ශාඛාවල කම්කරු අපහරනයේ යෙදීම පිලිබඳව සාධාරන ශ්‍රම සංගමය (එෆ්එල්ඒ) මාර්තුවේදී වාර්තාවක් නිකුත් කිරීමෙන් අනතුරුව, ලෝකයේ ඉලෙක්ට්‍රොනික භාන්ඩවලින් සියයට 40ක් නිෂ්පාදනය කරන අතර චීනයේ කම්කරුවෝ මිලියන 1.2ක් සේවයේ යොදවා තිබෙන ෆොක්ස්කොන් පසුගිය මාසයේ එහි කර්මාන්තශාලාවල සේවා තත්වයන් නැංවීම සඳහා ඇපල් සමාගම හා සම්මුතියකට එලැඹියේ ය.

ක්ලින්ටන් පාලානාධිකාරිය 1999දී එෆ්එල්ඒ පිහිටුවනු ලැබුවේ, යෝධ ඇමෙරිකානු සංගත ජාත්‍යන්තර ලාභ ශ්‍රම ආයතනවලට සිය නිෂ්පාදන ගිවිසුම් ලබා දීමේදී, ''සංගතවල සමාජයීය වගකීම" නමැති වහන්තරාවක් සම්පාදනය කර දී‍ෙම් අරමුනෙන්ය. 2010 වසරේදී දරුනු සේවා කොන්දේසි හේතුකොටගෙන මරන සංඛ්‍යාවේ සිදුවූ වැඩිවීම හා ෆොක්ස්කොන්හි තරුන සේවකයන්ගේ සියදිවි නසා ගැනීම් මාලාවකට පසුව, ජනවාරියේදී ඇපැල් සමාගම එෆ්එල්ඒ හා සම්බන්ධ විය. ඇපැල් සමාගමේ මෙම පියවර, ෆොක්ස්කොන් හෝ එහි අනෙකුත් සැපැයුම්කරුවන්ගේ සේවා තත්වයන් වැඩි දියනු කිරීමෙහිලා කිසිවක් සිදු නොකල අතර එය පවත්වා ගෙන ගිය අතිශය දරුනු ශ්‍රම සූරාකෑම් පිලිබඳව සිදුවූ එලිදරව් කිරීමෙන් ප්‍රතිරූපයට වූ හානිය අවම කරගැනීමේ උත්සහායකි, එය.

අයිෆෝන් 4S මෙවලමක් අලෙවි කරන්නේ, ඇමෙරිකානු ඩොලර් 600කට වුවත්, එය එකලස් කිරීම සඳහා ඇපැල් සමාගම ගෙවන තක්සේරු වටිනාකම ඩො. 8කි. තතු මෙසේ වෙද්දී, ෆොක්ස්කොන් කර්මාන්තශාලාවක ආරම්භක වේතනය මසකට ඩො 285 කි.

එෆ්එල්ඒ වාර්තාව ගුආලන්, ලෝන්ගුආ හා ෂෙන්ග්ඩු යන ෆොක්ස්කොන් කර්මාන්තශාලා තුනක් විමර්ශනය කරමින් ඒවායේ කම්කරුවන් 35,000කට වැඩිපිරිසක් සමීක්ෂනයට බඳුන්කර ඇත. සේවකයින් සැබවින්ම සතියට පැය 60කට වැඩියෙන් වැඩ කරන බවත්, ඔවුන් ඊට නියමිත අතිකාල දීමනා නොලබන බවත්, එමගින් අනාවරනය කෙරින. මෙම වසර මුලදී ෆොක්ස්කොන් කියා සිටියේ, එහි කම්කරුවන්ගේ වැඩ කාලය සතියකට පැය 60 '' නොඉක්මවන" බවයි.

ගුආලන්හි කම්කරුවන්ගෙන් සියයට 80ක්, 2011-සැප්තැම්බර් හා 2012 ජනවාරි අතර කාලයේදී සතියකට පැය 60කට අධික කාලයක් සේවයේ යොදවා ඇත. 2011 මාර්තු හා 2012 පෙබරවාරි අතර ලොන්ගුආහි එය සියයට 70ක් විය. බොහෝ කම්කරුවන් දින 11ක් හෝ ඊට වැඩි ගනනක් එක දිගට සේවයේ යොදවා තිබුනි.

එෆ්එල්ඒ පරීක්ෂනයේදී සම්මුඛ සාකච්ඡාවට බඳුන් කරනු ලැබූ ෆොක්ස්කොන් කම්කරුවන්ගෙන් තුනෙන් දෙකක්ම පවසා ඇත්තේ, තම වැටුප, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් ඇතුලු මූලික අවශ්‍යතා සපුරා ගැනීමටවත් ප්‍රමානවත් නොවන බවත්, උග්‍ර සූරාකෑම නිසා සෑම වැඩදිනයක් අවසානයේදීම ඔවුන් දැඩි වේදනාවෙන් පසුවන බවත්ය. සෞඛ්‍ය තත්වයන් පිලිබඳව සැලකිල්ල යොමු වූ තවත් ප්‍රධාන සාධයක් වූයේ, ඇලුමිනියම් දූවිල්ලයි. මෙය ගිය වසරේ ෂෙන්ඩු ශාඛාවේ කම්කරුවන් කීප දෙනෙකුට මරු කැඳවූ පිපිරීමකට හේතු විය. එෆ්එල්ඒ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ඕරුට් වැන් හියඩන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ තමන් අනතුරුදායක ස්ථානයක සිටිනා බවට හැඟීමක් "කම්කරුවන්ගේ සිත්තුල නිරතුරුවම රැඳී තිබෙන" බව යි.

එෆ්එල්ඒ, ෆොක්ස්කොන්හි වෘත්තීය සමිති ප්‍රධාන වසයෙන්ම කලමනාකාරනයේ නියෝජිතයන්ගෙන් සමන්විත වන බවත්, බොහෝ කම්කරුවන් මෙම "වෘත්තීය සමිති" පවතින බවක් පවා නොදන්නා බවත් අනාවරනය කරගෙන ඇත. මේ මගින් කලමනාකරනයට සම්බන්ධ පුද්ගලයින් වෘත්තීය සමිතිවල නායක තනතුරුවලට පත් කිරීම නිලවශයෙන් තහනම් කරන චීනයේ බලරහිත වෘත්තීය සමිති නීතිය සෘජුවම උල්ලංඝනය කෙරේ.

මෙම වර්ෂය මුලදී එෆ්එල්ඒ වාර්තාවේ සංගෘහිත කෙරුනු තොරතුරුවලින් බොහෝමයක් පිලිගනිමින් ඇපැල් සමාගම එහි සැපයුම් කරුවන්ගේ විගනන වාර්තාවක් නිකුත් කලේ ය. මාර්තුවේදී ඇපැල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් ප්‍රචාරක සම්බන්ධතා ඇති කරගැනීමට කරනලද ව්‍යායාමයකදී ෆොක්ස්කොන් කර්මාන්තශාලා කීපයක සංචාරය කල අතර, ලෝකයේ ඉහලම පෙලේ සංගතය, තම නිෂ්පාදන නිර්මානය කරන්නාවූ කම්කරුවන්ට නොසතුටුදායක ස්ථානයක් නොවන බව පෙන්නුම් කිරීමට එයින් අරමුනු කෙරින. අධි-සූරාකෑම බලගන්වා තිබෙන චීන තන්ත්‍ර‍ෙය් ජ්‍යෙෂ්ට නායකයෝ කුක් සමඟ සංචාරයට එක්ව සිටියහ. උප-අගමැති ලී කියෑංග් ඇපැල් හා අනෙකුත් බහුජාතික සංගතවලට "අවධාරනයෙන් කියා සිටියේ" චීන කම්කරුවන් "ආරක්ෂා කිරීම" කෙරේ වැඩි අවධානයක් යොමු කරන ලෙසයි..

ෆොක්ස්කොන් සරලවම එවැනි ඉල්ලීම් නොතකා හරියි. 2010 දී කම්කරුවන් 14ක් සිය දිවි නසා ගෙන තිබේ. ෆොක්ස්කොන් ඔවුන්ගේ දරිද්‍රතා මට්ටම්වල වේතනයන් ඉහල දැමීමට පොරොන්දු වෙමින් මෙයට ප්‍රතිචාර දැක්වූ නමුත්, ලාභ වැටුපකට ශ්‍රමය ලබා ගත හැකි වුහාන් වැනි නගර කරා සිය නිෂ්පාදන මාරු කලේය.

ෆොක්ස්කොන් කර්මාන්තශාලාවන්හි දරුනු සේවා කොන්දේසි සමහරක් පිලිබඳව අනාවරනය කරන එෆ්එල්ඒ වාර්තාව, 'පුහුනුවන්නන්' ලෙස සේවයේ යෙදවූ දස දහස් සංඛ්‍යාත ශිෂ්‍යයින් මුහන දී සිටින තත්වයන් එලිදරව් කිරීමට වැය කරන්නේ වාර්තාවේ ඡේද හතරක් පමනි.

හොංකොං පදනම් කරගත් සංගත විෂමාචාරවලට එරෙහි ශිෂ්‍ය හා විද්වත් සංවිධානයට අනුව, සමාගම්, චීන බලධාරීන් හා වෘත්තීය පුහුනු පාසල් අතර ත්‍රෛපාර්ශවීය සම්බන්ධයක් මගින් වයස අවුරුදු 16ක් තරම් වූ ලාබාල ශිෂ්‍යයින් ෆොක්ස්කොන් කර්මාන්තශාලාවන්ට බඳවාගෙන තිබේ. මෙවන් අධ්‍යාපන කටයුතුවලට අසම්බන්ධ වෘත්තීන්හි යොදවන සිසුන් ද අතුලු විරුද්ධවාදී ශිෂ්‍යයින්ට, ෆොක්ස්කොන්හි සහායක සේවකයින් බවට පත් නොවනතාක් දුරට ඔවුන්ට උපාධිය ලබා ගත නොහැකි බව පවසනු ලැබේ.

වැඩි වන ඉල්ලුම සපුරාලීම සඳහා සමහර ශිෂ්‍යයින්හට මාස තුන හා හය අතර කාලයක් සතියට පැය 60ක් හා සතියේ දින 07දීම වැඩ කිරීමට නිතරම බලකරනු ලැබේ. නිදසුනක් ලෙස 2010 වර්ෂයේ ග්‍රීෂ්ම සෘතුවේදී හෙනාන් ප්‍රදේශයේ සිට පැමිනි සිසුන් 100,000ක් සෙන්ෂෙන්වල පිහිටි ෆොක්ස්කොන්හි විශාලතම කර්මාන්තශාලාව තුල සේවයේ යොදවා තිබුනි. වැඩ කරන අතර සිදුවන අනතුරු සඳහා සෞඛ්‍ය රක්ෂනාවරනයක් සපයන බව ෆොක්ස්කොන්හි නිලධාරීන් පැවසූ බව එෆ්ඒඒල් වාර්තාවේ සඳහන් වුව ද චීනයේ පවතින කම්කරු නීති යටතේ ශිෂ්‍යන්ට කිසිදු නිල රැකවරනයක් ඇත්තේනැත.

චීනයේ අතිවිශාල වහල් ශ්‍රම කඳවුරු පෙල පිලිබඳව ඇපල් හා අනෙකුත් බටහිර සංගත මගින් නිමැවූ හෝ අනුග්‍රහය සැපයූ එෆ්එල්ඒ විමර්ශනය මෙන්ම අනෙකුත් "ශ්‍රම" වාර්තා ෆොක්ස්කොන් හා අනෙකුත් කර්මාන්තශාලාවලදී කම්කරුවන් හා තරුනයින් මුහුන පාන්නා වූ අඩු වේතන හා දරුනු සේවා කොන්දේසි වෙනස් කිරීමට කිසිවක් නොකරනු ඇත. සමස්ත පරිභෝජන වියදම් විශාල ලෙස පහත වැටී තිබෙන යුරෝපයේ හා ඇමෙරිකාවේ වෙලඳපොලවල් සඳහා ඇපැල්, සෝනි හා මයික්‍රොසොෆ්ට් බඳු සමාගම් අතර තරගය තියුනුවෙමින් පවතින අතරේ සූරාකෑම උග්‍රකරමින් පවතී.

Share this article: