ආන්ඩුව තවත් දුගී පවුල් සිය ගනනක් කොලඹ නගරයෙන් පලවා හැරීමට සැරසෙයි

By Vilani Peiris and Kalpa Fernando, 24 June 2012

ඉන්දියානු ඉදිකිරීම් සමාගමක් වන ටාටා නිවාස සංවර්ධන සමාගමට (ටානිසස) කොම්පඤ්ඤ වීදියේ පවුල් 455 ක් පදිංචිව සිටින අක්කර අටක බිම් ප‍්‍රදේශයක් විකුනා දැමීමේ ආන්ඩුවේ සැලැස්ම කෙරෙහි එම නිවැසියන්ගේ බරපතල විරුද්ධත්වයක් මතුව තිබේ.

මෙම නව ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මාර්තු මාසයේදී ටාටා සමාගම සමග ගිවිසුම් අත්සන් කලේය. අක්කර තුනක වපසරියක් තුල ඉවත් කරන්නන් සඳහා කොම්පඤ්ඤ වීදියේ, මැලේ වීදිය, ජාවා පෙදෙස හා මස්ජිඩ් ජමායිල් මාවතේ තට්ටු නිවාස ඒකක 455 ක් ඉදිකරන බවත් ඉතිරි අක්කර පහ සාප්පු සංකීර්නයක්, වාහන නැවතුම්පොලක්, උත්සව සාලාවක් ඇතුලු සම්පුර්න වානිජ කලාපයක් ලෙස සංවර්ධනය කරන බවත් ආන්ඩුව සහ ටාටා සමාගම නිවැසියන්ට කියා ඇත.

ස්ථීර නිවාස ලබාදෙන තුරු රුපියල් 15,000 සිට 25,000 දක්වා ටාටා සමාගම මගින් නිවාස කුලියක් ගෙවන බව නිවැසියන්ට කියා තිබේ. එහෙත් එය වාචික පොරොන්දුවක් මිස නිශ්චිත සහතික වීමක් නැත. එවන් කුලී මුදලක් ලැබුන ද ඉවත් කරන්නන්ට සිය සුපුරුදු ජීවන වෘත්තීන් පවත්වාගෙන යාමට හා යාබද පාසල්වල ඉගෙනුම් ලබන ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට බාධා නොවන ආකාරයේ පදිංචි ස්ථානයක් සොයාගැනීම දුෂ්කර වනු ඇත.

තමන්ව බලහත්කාරයෙන් ඉවත් කිරීමේ ආන්ඩුවේ සැලැස්ම කෙරෙහි බරපතල විරුද්ධත්වයක් මෙන්ම නව නිවාස ලබා දෙන බවට කෙරෙන පොරොන්දු කෙරෙහි ද නිවැසියන් තුල ඇත්තේ බරපතල සැකයකි.

ආන්ඩුවේ සැලැස්ම නිවේදනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ, කොලඹ මහ නගර සභාවේ හා ටාටා සමාගමේ නියෝජිතයන්ගේ හා ඉවත් කිරීමට නියමිත පවුල් 455 සාමාජිකයන්ගේ හා කුඩා සාප්පු හිමියන් 90 කගේ හමුවක් නාගරික සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් අපේ‍්‍රල් මාසයේදී පවත්වා තිබේ. මෙම රැස්වීමේ දී යෝජිත ව්‍යාපෘතිය වග වර්නනා කරමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂයෙන් (එජාප) තේරී පත් වී සිටින කොලඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් සහ ටාටා සමාගමේ නියෝජිතයන් කතා පවත්වා ඇති නමුත් සිය නිවාස සහ කඩ සාප්පු අහිමි වීමට නියමිත කිසිවෙකුට ඔවුන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් දී නැත.

මෙම දුගී පවුල් ඔවුන් දසක ගනනාවක් සිටින ස්ථානවලින් ඉවත් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් ක‍්‍රියාවට දමමින් තිබෙන කොලඹ නගරය "ආසියාවේ වානිජ හා ආයෝජන මධ්‍යස්ථානයක්” බවට පත් කිරීමේ පුලුල් සැලැස්මක කොටසකි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය මධ්‍යයේ "ජාතික ආරක්ෂාව” සඳහා යයි පවසමින් කොම්පඤ්ඤ වීදිය දුම්රිය පාර දෙපස පදිංචිව සිටි දුගී පවුල් 400 හා අනතුරුව 2010 මැයි මාසයේ මියුස් වීදියේ පදිංචිව සිටි තවත් පවුල් 70 ක් ආන්ඩුව සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලහත් කාරයෙන් ඉවත් කලේය.

ඊට අමතරව පසුගිය වසරේදී දෙමටගොඩ ප‍්‍රදේශයේ පවුල් දුසිම් ගනනක් ඉවත් කලහ. මාර්තු මාසයේදී අනවසර ඉදි කිරීම් ලෙස ප‍්‍රකාශ කොට මාලිගාවත්ත මහල් නිවාස ප‍්‍රදේශයේ නිවාස දුසිම් ගනනක් ආරක්ෂා හමුදා යොදා ගෙන බලහත් කාරයෙන් කඩා දැමීමට ආන්ඩුව දැරූ උත්සාහය වැලකුනේ කාන්තාවන් ලමුන් ඇතුලු සියයකට අධික ජනයාගේ බලවත් විරුද්ධත්වය නිසාය. එහෙත් ආන්ඩුවේ න්‍යාය පත‍්‍රයෙන් ඒවා ඉවත් කර නැත.

මෙතෙක් ස්ථීර නිවාස ලැබී තිබෙන්නේ මුලින් ඉවත් කල පවුල්වලින් කොටසකට පමනි.. ඒවා ද කුඩා නිදන කාමරයක්, සාලයක්, කුස්සියක් හා යාබද වැසිකිලියක් හා නාන කාමරයක් සහිත හතර පස්දෙනෙකුගේ පවුලකට ජීවත් වීමට කිසිසේත් ප‍්‍රමානවත් නොවන මහල් නිවෙස් ය. තවත් කොටසක් මෝදර වැලිගොඩ වත්තේ මුලික පහසුකම් නැති කුඩා ලෑලි කාමරවල ජීවත් වන අතර සෙස්සෝ කුලී නිවෙස්වල ජීවත් වෙති. 2010 මැයි මාසයේ මියුස් වීදියෙන් ඉවත් කල පවුල් 20 එසේ කුලී නිවාසවල ජීවත් වන අතර නිවසක් ලබා දෙන තුරු මාසයකට රුපියල් 8,000 බැගින් කුලී දීමනාවක් ගෙවීමට ආන්ඩුව පොරොන්දු වී ඇතත් මේ වසර සඳහා කුලී මුදල් තවමත් නො ලැබුන බව ඔවුහු ප‍්‍රකාශ කලහ.

ආයෝජකයන්ට හා සංචාරකයන්ට ගැලපෙන ආකාරයට කොලඹ නගරය සංවර්ධනය කිරීමේ සහ ලස්සන කිරීමේ ආන්ඩුවේ සැලැස්මට අනුව සමස්තයක් ලෙස පැල්පත් වාසී හා අඩු ආදායම් ලාභී පවුල් 70,000 කොලඹ නගරයෙන් හා යාබද ප‍්‍රදේශවලින් ඉවත් කිරීමට නියමිත ය. එමගින් කොලඹ නාගරික ප‍්‍රදේශය තුල පැල්පත්වාසීන් හා අඩු ආදායම් ලාභී පවුල් පදිංචිව සිටින හෙක්ටයාර 390 ක් නිදහස් කර ගැනීමට ආන්ඩුව අපේක්ෂා කරයි.

ඉවත් කිරීමට නියමිත කොම්පඤ්ඤ වීදියේ නිවාසවලින් බහුතරය පර්චස් 1-2 ක් තරම් වන කුඩා වපසරියක තනා ඇති අතර ප‍්‍රමානවත් තරම් මූලික සෞඛ්‍ය පහසුකම්වලින් තොරය. බොහෝ දෙනෙකු බීමට සහ සේදීමට ජලය ලබා ගත යුත්තේ පොදු ජල කරාමවලිනි. නිවාස අතරින් ගමන් කිරීමට ඇත්තේ අඩි තුනක පමන පටු මාවත්ය.

මෙම නිවාසවල ජීවත් වන්නන්ගෙන් බහුතරය ඉතා අඩු ආදායම් ලබන නගර සභා කම්කරුවන්, කර්මාන්ත ශාලා හෝ කඩ සාප්පුවල වැඩ කරන අනියම් කම්කරුවන්, වීදි වෙලෙන්දන් හා සුලු ව්‍යාපාරිකයෝය. මැද පෙර දිග සේවයට ගිය සාමාජිකයන් සහිත පවුල් හෝ තම සුලු ව්‍යාපාර මගින් යම් ආදායමක් උපයා ගත් අය තරමක ලොකු නිවාස තනාගෙන තිබේ.

සිවිල් ආයතන දෙකක් වන නාගරික සංවර්ධ අධිකාරිය හා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවත්, නගරය සංවර්ධනය කිරීමේ සැලසුම් ක‍්‍රියාවට දැමීමත් පවරාගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය යටතට ය. ඒ බලහත්කාරී ඉවත් කිරීම්වලට එරෙහිව පැන නගින මහජන විරෝධය මැඩලමින් යෝජිත ඊනියා සංවර්ධන සැලැස්ම ක‍්‍රියාවට දැමීම සඳහා ය. අපේ‍්‍රල් මාසයේ පැවති රැස්වීමට ආරක්ෂක ලේකම් රාජපක්ෂගේ ඍජු මැදිහත් වීම. ආන්ඩුවේ මෙම සැලැස්මට එරෙහිව මතු කරන මොනම විරුද්ධත්වයක්වත් ගනන් නොගන්න බවටත්, පෙර අවස්ථාවලදී මෙන් ම රාජ්‍ය හමුදා බලය යොදාගෙන ඉලක්කගත ප‍්‍රදේශය තුල පදිංචි කරුවන් බලහත් කාරයෙන් ඉවත් කරන බවට අනතුරු ඇඟවීමකි.

එය සමස්තයක් ලෙස රාජපක්ෂ ආන්ඩුවේ මහජන විරෝධී, හිතුවක්කාර පාලන විධික‍්‍රමයට බැඳුනු පිලිවෙතකි.

එමෙන් ම පසුගිය මැතිවරන සමයේ දී කොලඹ නාගරික ප‍්‍රදේශයෙන් දුගී නිවැසියන් ඉවත් කිරීමට විරුද්ධ බවත්, තමන් බලයට පත් වුනොත් එවන් සැලැස්මක් ක‍්‍රියාවට දමන්නට වෙන්නේ තමන්ගේ මල මිනිය මතින් යයි කයිවාරු කාර පාරම්බෑමක් කල නගරාධිපති මුසම්මිල් ද ආන්ඩුවේ සැලැස්මට සිය එකඟතාවය පල කරමින් නිවාසවලින් ඉවත් වන ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

ආයෝජන හිතැති, මහජන විරෝධී ධනපති පිලිවෙත් ක‍්‍රියාවට දැමීමේ දී ආන්ඩුව සහ දක්ෂිනාංශික එජාපය අතර මුලික මතභේදයක් නැති බවට මුසම්මිල්ගේ ක‍්‍රියාකලාපය තවත් එක උදාහරනයක් පමනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කල නිවැසියන් ගනනාවක් ආන්ඩුව සහ නගර සභා බලධාරීන් කෙරෙහි සිය කෝපය ප‍්‍රකාශ කලහ.

කොම්පඤ්ඤවීදිය දුම්රිය පොල අසල පදිංචි කාන්තාවක් මෙසේ පැවසීය: "අපි මේ ගෙවල් හදල තියෙන්නේ මැද පෙරදිග අවුරුදු ගනනාවක් දුක් විඳලා හම්බ කර ගත්තු මුදල්වලින්. ලක්ෂ තිහක් විතර මේ ගෙට දැන් වියදම් වෙලා තියෙනවා. අපි කොහොමද මේ ගෙවල් ඇත ඇරලා යන්නේ. අපි ආන්ඩුවෙන් තට්ටු නිවාස ඉල්ලුවේ නැහැ. අපි ආන්ඩුවෙන් ඉල්ලුවේ බඩු මිල අඩු කරන්න කියල. ආන්ඩුව ඒක කරන්නේ නැහැ. බිස්නස් කාරයන්ට ඕන දේවල් තමයි ආන්ඩුව කරන්නේ. ”

"යුඩී එක අපිට කියනවා ස්ථීර නිවාස දෙනකම් කුලියට ගෙයක් ගන්නලු. ටාටා සමාගම ඒකට මුදල් දෙනවලු. කලින් වතාවේ කොම්පඤ්ඤ වීදියේ අය අයින් කරපු වෙලාවේත් ආන්ඩුව කිව්වා ගෙවල් කුලී දෙනවා කියල. නමුත් මේ අවුරුද්දට ඒ කාටවත් තවම කුලී මුදල් හම්බ වෙලා නැහැ. දෙන මුදලක් ගන්නත් තුන් හතර පොලකට බඩගාන්න ඕන. ගෙයක් නැති නිසා ඒකෙන් ඇතිවුන හිතේ අමාරුවට එක්කෙනෙක් ලඟදී මැරුනා” තවත් කාන්තාවක් පැවසුවාය.

ගෙවල්වලින් ඉවත් කිරීමේ රාජපක්ෂ ආන්ඩුවේ වැඩ පිලිවෙලට විරුද්ධව හා ඉන් තමන්ව ආරක්ෂා කර දෙන බවට පොරොන්දු වූ නිසා මෙම නිවාස ප‍්‍රදේශයේ බහුතරයක් පසු ගිය මැතිවරනයේ දී ඡන්දය දී තිබෙන්නේ එජාපයට ය.

එහෙත් එජාපය තමන්ව රවටා ඡන්දය කොල්ල කෑ බව ඔවුහු කීහ. කාන්තාවක් මෙසේ පැවසීය. "මුසම්මිල් අපිට කිව්වා ගෙවල්වලින් අයින් වෙලා වෙන තැනක පදිංචි වෙන්න කියල. ඒ වුනාට එයා පහුගිය ඉලෙක්ෂන් එකේදී කිව්වේ අපි වෙනුවෙන් පන දෙනවා කියල. දැන් කියනවා ආන්ඩුවේ වැඩ පිලිවෙලට සහයෝගය දෙන්න ලු. ලංකාවේ ඉන්න හොරුන්ගෙන් නොම්මර එකේ හොරෙක් එයා.”

එජාපයේ දෙපිට කාට්ටු පිලිවෙත ගැන තවත් කාන්තාවක් මෙසේ කීවාය. "යූඑන්පිය අපිව නොමග යැව්වා. ඡන්දෙදි ඔවුන්ට සහයෝගය දීමේ විපාකවලට අපිට දැන් මුහුන දෙන්න වෙලා. එකම ප‍්‍රධාන පක්ෂයක්වත් අපිට විස්වාස කරන්න බැහැ. හැමෝම කරන්නේ අපිව රවට්ටන එක.”

Share this article: