සංස්ථිතිකවාදීහු යාන්තමින් ග්‍රීක මැතිවරනය දිනති

Conservatives narrowly win Greek elections

By Chris Marsden, 18 June 2012

සංස්ථිතිකවාදී නව ප්‍රජාතන්ත්‍රවාදීහු ග්‍රීක මැතිවරන‍ෙය්දී සිරිසා සංවිධානය යාන්තමින් පරාජය කලහ.

නව ප්‍රජාතන්ත්‍රවාදීහු ඡන්දවලින් සියයට 30ක් ලබාගත්හ. යුරෝපා සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපීය මධ්‍යම බැංකුව යන ත්‍රිත්වය සමග අත්සන් කල ගිවිසුමට අදාල කප්පාදු පියවර පිලිබඳ සිරිසාවේ විවේචන නිසා ඔවුන්ට ලැබුනු මහජන සහයෝගය හේතුකොටගෙන එය, ඡන්ද සියයට 26.5ක් ලබාගනිමින් ලං ලංව දෙවැනි තැනට පැමිනුනි.

මෙය සභාග ආන්ඩුවක් පිහිටුවීම සඳහා අඛන්ඩ සාකච්ඡාවන්ට වේදිකාව සකසයි. බෙහෝ නිරීක්ෂකයන්ට අනුව සභාග සාකච්ඡා සඳහා ඇත්තේ පැය 48ක කාලයක් පමනි. යුරෝ බිලියන 130ක් වන දෙවැනි ග්‍රීක ඇපදීමේ ප්‍රධාන කොන්දේසිවලට කැපවීම පිලිබඳ ප්‍රකාශයක් යුරෝපීය සංගමය බලාපොරොත්තු වෙයි. මේ වන විටත් මෙහි අර්ථය වී ඇත්තේ විනාශකාරී සමාජ සේවා කප්පාදු හා රටේ ආර්ථිකය බිඳ වැටීමයි.

ඇපදීමේ කොන්දේසිවලට විරුද්ධ වුවහොත් ග්‍රීසියට නය දීම කපාහරින බව මැතිවරනය පුරා ම යුරෝපීය සංගමය තර්ජනය කලේ ය. මෙය ග්‍රීසියට තම මූල්‍ය පද්ධතියේ බිඳවැටීම පිලිගැනීමට හෝ එහි බැංකුවලට අරමුදල් සැපයීමට ග්‍රීක ජාතික මුදල නැවත හඳුන්වාදීමට හෝ බල කරනු ඇත. ත්‍රිත්වය සපයන අරමුදලේ ප්‍රමාද වූ යුරෝ බිලියනයක කොටස නොගෙවුවහොත් ජූලි 20දා වන වට විශ්‍රාම වැටුප් හා රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීමට ඔවුන්ට මුදල් නැතිවෙනු ඇත.

ග්‍රීක කම්කරු පන්තිය බිය ගැන්වීමේ මෙම උත්සාහයන්, පසුගිය මාසයේ පැවති ග්‍රීසියේ පූර්ව මැතිවරනයේ දී සිරිසා දිනූ සියයට 16.7ක ඡන්ද සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩිවීම නතර කිරීමට සමත් වූයේ නැත.

හුදෙක් කොන්දේසිවලට දක්වන පක්ෂපාතිත්වය මත පදනම්ව, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ගනිතමය වශයෙන් ආන්ඩුවක් පිහිටුවීමට හැකිවනු ඇත. පක්ෂ නායක අන්තෝනිස් සමරාස්, ඡන්දය ලැබී ඇත්තේ, ග්‍රීසිය යුරෝ සංගමය තුල රැඳීසිටීම පිනිස බව පැවසූ අතර "ජාතික ගලවාගැනීමේ ආන්ඩුවක් ” සඳහා කැඳවුම් කලේය.

සභාගයක් පිහිටුවීමට පලමුව උත්සාහ කල යුත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බව සිරිසා නායක ඇලෙක්සිස් ට්සිප්‍රාස් එකඟ විය.

කෙසේ නමුත්, විවෘතව ම කොන්දේසිවලට පක්ෂ සභාගයක් පිහිටුවීම සැලකිය යුතු බාධාවන්ට මුහුන දෙයි. එවැනි සභාගයක නව ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන මිතුරා වන සියයට 12.5ක ඡන්ද සංඛ්‍යාවක් දිනූ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පැසොක් පක්ෂය, සිරිසා එයට සහභාගි නොවන්නේ නම් ඔවුන් සභාගයකට එක්වන්නේ නැති බව ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කලේ ය. කොන්දේසිවලට එකඟ පක්ෂවලට පාලනය කිරීමට වරමක් තිබුනත්, විශාල සිරිසා ඡන්ද හා ඡන්දදායකයින්ගේ පහල සහභාගිත්වය තුල ප්‍රකාශිත පොදු නොසතුට ඉදිරියට පැවතීගෙන යාම භයානක බව පැසොක් පක්ෂයට ඒත්තු ගැන්වූ සේය.

සිරිසාවෙන් වෙන්වුන කුඩා දක්ෂිනාංශික සංවිධානයක් වන ප්‍රජාතන්ත්‍රවාදී වම ද ඇතුලත් ප්‍රධාන පක්ෂ හතරේ ජාතික එක්සත් ආන්ඩුවක් පැසොක් පක්ෂය යෝජනා කලේ ය. එහි ගනන් බැලීම් නිවැරදි ය: ග්‍රීසිය තුල ගැඹුරු මහජන විරෝධය මතුපිටින්ම ප්‍රතික්ෂේප කල ආන්ඩුවක්, මහජන විරෝධයට මුහුන දෙනු ඇති අතර, සිරිසා ඉවත් කිරීම නිසා එය පාලනය කිරීමට අපහසු වනු ඇත.

ආන්ඩුවක් පිහිටුවීමට අසමත් වීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ තුන්වැනි මැතිවරනයක් වන අතර ග්‍රීසිය යුරෝ කලාපයෙන් ඉවත් කිරීමේ හැකියාව වැඩි කරනු ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජය හා ආන්ඩුවක් පිහිටුවීම සඳහා එයට හිමිවූ අලුත් අවස්ථාව, පලමු කොට ම යුරෝපීය හා ජාත්‍යන්තර පාලක ප්‍රභූව විවෘතව ම ගෙනගිය බියවැද්දීමේ ප්‍රතිඵලයකි.

"පිටවීම පිලිබඳව යුරෝපය පුරසාරම් දොඩන්නේ නැත” යන ශීර්ෂපාඨයෙන් යුත් කැතිමෙරෙනි පත්‍රයට දුන් සම්මුඛ සාකච්ඡාවක දී, බුන්ඩෙස්බෑන්ක් සභාපති ජෙන්ස් වීඩ්මාන් මෙසේ කීවේ ය: "ග්‍රීක ආන්ඩුව ඇතුළු සියළු පක්ෂ අත්සන් කල ගනුදෙනුවක් ඇත...වසංගතයේ ප්‍රතිවිපාකයන් හමුවේ අප බියවැද්දීමට කිසිම රටකට ඉඩ නොදිය යුතු ය”.

ඉතාලියේ කොරිඅරේ ඩෙලා සේරා හා ස්පාඤ්ඤයේ එල් පායිස් ඇතුළු යුරෝපීය පුවත්පත්වල ද සම්මුඛ සාකච්ඡාව, මූල්‍ය උනුවීමකට මුහුන දෙන අනෙකුත් රටවලට තර්ජනයක් ලෙස, පල කෙරුනි.

"රැඩිකල් වම්මු දිනුවොත් -මෙය ඉවත දැමිය නොහැක- මුල්‍ය සංගමය සඳහා වන ප්‍රතිවිපාක පෙරදැකිය නොහැක” යයි යුරෝ කන්ඩායම් නායක ජීන් ක්ලෝඩ් ජුන්කර් එදින ම ඔස්ට්‍රියානු කුරියර් පුවත්පත තුලින් අනතුරු ඇඟවී ය.

යුරෝපා සංගමය හා යුරෝ කලාපය තුල ග්‍රීසියේ තත්වය පවත්වාගෙන යාමට කැපවුන ධනේශ්වර නිර්මිතයක් වන සිරිසා, කම්කරු පන්තිය තුල විරුද්ධවාදීන්ට ආයාචනය කිරීම මගින් මෙම තර්ජනයන්ට මුහුන දීමට මුළුමනින් ම අසමත් ය. එහි කප්පාදු විරෝධී වාගාලාප නොතකා, සිය යහපත් අභිප්‍රායන් පිලිබඳව වෙලඳපොලට හා ග්‍රීසියේ නය හිමියන්ට යලි තහවුරු කිරීමට මැතිවරන ව්‍යාපාරය අතරතුර දී ඔවුන් කල හැකි සියළු දේ කලේ ය.

සිරිසාහි ආර්ථික කන්ඩායම "වියදම් සීමාකිරීම හා යුරෝපා සංගමයේ ව්‍යුහාත්මක අරමුදල වැනි නව අරමුදල් ආකර්ශනය කර ගැනීම ගැන සාකච්ඡා කරනු ඇත යි” මන්ත්‍රීවරයෙකු හා හිටපු නියෝජ්‍ය පාර්ලිමේන්තු කතානායක ටඕස් කව්රාකිස් 15දා කැතිමෙරෙනි පත්‍රයට පැවසී ය. ඔහු "රාජ්‍ය පරිපාලනය ප්‍රති ව්‍යුහකරනය හා තර්කානුකූල කිරීම” ගැන ද සඳහන් කර තිබුනි.

නය මුදලින් නොයෙකුත් ආයතනයන්ට හා පුද්ගලයන්ට දිය යුතු අල්ලස් පමනක් මගහැරීමට බලාපොරොත්තුවෙමින් "අපි ඉතිරිය ගෙවන්නෙමු” යයි පවසමින් ඔහු, ග්‍රීක නය පිලිබඳව ජාත්‍යන්තර විගනනයක් ඉල්ලා සිටියේ ය.

බැංකු හෝ සමාගම් ජනසතු නොකරන බව පැහදිලි කරමින් ඔහු මෙසේ පැවසීය, "අපගේ පදයෝජනයට ඔබ සාවදානව ඇහුම්කන් දෙනවා නම්, අපි මහජන පාලනයක් සඳහා කඳවුම් කරන්නෙමු. බහුතරයක් කොටස්කරුවන් රහිත කලමනාකරනයක් ඔබට ලැබෙනු ඇත”

යුරෝපීය සංගමයට සිරිසා කරන ඉල්ලීම් මේ වන විට යුරෝපයේ දැඩි මතදාරීන් වෙත කර ඇත්තේ සුළු බලපෑමක් බව පෙනේ. කෙසේ නමුත්, සමස්ත යුරෝපයම ගිලගනිමින් නරක අතට හැරෙන මූල්‍ය අර්බුදයට මෙන් ම විප්ලවවාදී ගම්‍යයන් සහිත කම්කරු පන්ති විරෝධයේ පිපිරීමක අනතුරට තමන් මුහුන දී සිටින බව පාලක ප්‍රභූව දැන සිටියි.

"මැතිවරන ප්‍රතිඵල කුමක් වුවත්” අවසානයේ දී ග්‍රීසිය යුරෝපයෙන් පිටමං කරනු ඇතැ යි අනුමාන කල බොහෝ ප්‍රකාශනයන්ගෙන් එකක් වූයේ සිඩ්නි මෝර්නිංග් හෙරල්ඩ් පත්‍රය යි. අනෙක් අතට "මේ දිනවල ග්‍රීසිය මුළුමනින් ම වාගේ අරාජක තත්වයක පවතියි. ගැටළුව ආර්ථිකයට වඩා පුළුල් ය. සමාජ අසහනය ලැව්ගින්නක් සේ පැතිරීමේ විභවය පවතී”.

මෙම තත්වයන් යටතේ, විශේෂයෙන් ම ත්‍රිත්වය, ඇපදීමේ කොන්දේසිවල යම් වෙනසක් කලහොත්, එහි ආඥාවන්ට කම්කරු පන්තිය යටත් කිරීමේ කාර්යභාරය ඉටුකිරීමට සිරිසාව උදාසීනත්වය තුලින් එලියට ගැනීමේ ඉඩ කඩ තවමත් ඉතිරිව ඇත. ආන්ඩුවක් ඇතුලත හෝ ඉන් පිටත සිටියත් සිරීසා, කම්කරු පන්තිය අවමංගත කිරීමේ සහ ග්‍රීක හා යුරෝපීය ධනවාදයේ අතිමූලික උත්සුකයන්ට තර්ජනය නොකරන තැනකට කම්කරු පන්තිය කොටුකර තැබීමේ කාර්යභාරය ඉටු කරනු ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක අන්තෝනිස් සමරාස්ට "ඔහුගේ ජනවරම හා ප්‍රතිපත්තිවල පදනම මත ආන්ඩුවක් පිහිටුවීමේ හැකියාව ඇතැ” යි පිලිගන්නා අතර ඊයේ ට්සිප්‍රාස් මඳ විරුද්ධත්වය පෑමක යෙදී සිටියේය.

"විපාර්ශ්වයේ ආස්ථානයකින් අපි සංවර්ධනය තුල පෙනී සිටිමු” යි පැවසූ නමුත් ඔහු, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එහි ප්‍රතිපත්ති මත උපදෙස් දෙන හිතවත් විවේචකයෙකුගේ දෘෂ්ටිකෝනයෙන් මෙය ඉදිරිපත් කලේ ය. "නව ප්‍රජාතන්ත්‍රවාද‍ෙය් ආන්ඩුවක්, ශ්‍රේෂ්ඨ කාරනා සිත්හි තබා ගත යුතු ය. එය පුරුදු වී සිටින ආකාරයට මහජනයා ඇමතීමකින් තොරව එයට ඉදිරියට යා නොහැක”.

කේන්ද්‍රීය කාරනය ඊලඟ ආන්ඩුවට "මහජනයාට කතාකිරීමට” ඒත්තු ගැන්වීම නොවේ. එවැනි ආන්ඩුවක් නොවැරදීම කම්කරු පන්තියට පහරදීමේ ප්‍රතිපත්තියකට කැපවනු ඇත.

ධනේශ්වර සමපේක්ෂන භාවිතයන්ගේ ප්‍රතිඵල වශයෙන් ඇතිවූ ආර්ථික විනාශයේ බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා ග්‍රීක ධනේශ්වරය, පොලිස් - මිලිටරි මර්දනය ද ඇතුළු ඕනෑ ම හා සියළු ක්‍රමවේදයන් මත වාරු වනු ඇත. ග්‍රීසිය බලහත්කාරයෙන් යුරෝ කලාපයෙන් ඉවත් කිරීමට වහාම ඔවුන් මැදිහත් වුනත් නැතත්, යුරෝපීය බලවතුන් ඔවුන්ගේ මස් රාත්තල ම ඉල්ලනු ඇත.

ග්‍රීක කම්කරුවන් හා තරුනයන් මේ වන විටත් ඔවුන්ගේ ජීවන තත්වයන්ගේ ඓතිහාසික බිඳ වැටීමක් අත්විඳ ඇත. ඔවුන් විනාශ කෙරෙනු ඇත. තුට්ටු දෙකට වැඩ කිරීමට බල කෙරෙනු ඇත. යුරෝපීය සංගමය සමග සාකච්ඡා ඔවුන්ට සහන සලසනු ඇතැයි මොහොතකට හෝ සිතුවොත් ඔවුන් තව තවත් විනාශයට ඇද වැටෙනු ඇත.

සෑම දෙයක් ම දැන් රඳා ඇත්තේ, සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම්ව, පාලක පන්තියට, එහි ආන්ඩුවලට හා යුරෝපා සංගමයේ ආයතනවලට විරුද්ධව, ග්‍රීසිය හා යුරෝපය පුරා කම්කරු පන්ති‍ෙය් ස්වාධීන දේශපාලන බලමුළුගැන්වීම මතය.

Share this article: