ක්විබෙක් ශිෂ්‍ය වර්ජනය සහ සමාජවාදී කි‍්‍රයාමාර්ගයක අවශ්‍යතාව

The Quebec student strike and the need for a socialist program

2 June 2012

දැන් 16 වන සතියට එලඹ පවත්නා ක්විබෙක් ශිෂ්‍ය වර්ජනය, උතුරු ඇමරිකාව පුරා ආන්ඩුවල සෑම මට්ටමකින්ම හා සියලු සංස්ථාපිත පක්ෂ මගින් කි‍්‍රයාවට දමනු ලබන කප්පාදු පිලිවෙත්වලට එරෙහි මහජන විරුද්ධත්වයේ සංකේතයක් හා එම විරුද්ධත්වය රැලි කර ගන්නා ලක්ෂ්‍යයක් බවට පත්ව ඇත.

මේ සතියේ පැවති ව්‍යාජ සාකච්ඡා හරහා ශිෂ්‍යයන් යටත් කරගනු පිනිස ඔවුන් බියවැද්දීමට ප‍්‍රාන්තීය ලිබරල් ආන්ඩුව දැරූ මෑත ම උත්සාහය බිඳවැටීමත්, විරෝධතා මැඞීමට ආන්ඩුව ගෙන ආ දරුනු නීතිය වන 78 වන පනතට එරෙහිව පැන නැග ඇති මහජන විරුද්ධත්වයත් සාදරයෙන් පිලිගත යුතු ය.

ප‍්‍රධාන ප‍්‍රශ්නය මෙය යි: ඉදිරි මාවත කුමක් ද?

කැනඩාවේ සංගත ප‍්‍රභූවේ පෙලඹවීම මත, ලිබරල් ආන්ඩුව මහජන විරුද්ධත්වය මැඩගෙන ම අධ්‍යාපන ගාස්තු ඉහල දැමීම කි‍්‍රයාත්මක කිරීමට අධිෂ්ඨානවත්ව සිටී. එසේ කිරීමේ දී, එය ශිෂ්‍ය වර්ජනය අපරාධයක් බවට හංවඩු ගසමින්, විරෝධතා දැක්වීමේ අයිතියට එරෙහිව පුලුල් සීමාවන් පනවමින් හා පෙර නොවූ විරූ පොලිස් ප‍්‍රචන්ඩත්වයක් මෙහෙයවමින් ද මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මුලුමනින් ම තලා දමා ඇත.

අධ්‍යාපන ගාස්තු ඉහල දැමීමට එරෙහි ශිෂ්‍ය වර්ජනය, ක්විබෙක් ලිබරල් හා ෆෙඩරල් කොන්සර්වෙටිව් ආන්ඩුවල කප්පාදු පිලිවෙත්වලට එරෙහි වඩා පුලුල් අභියෝගයකින් වෙන් කරන ශිෂ්‍ය සංවිධාන විසින් ඉදිරිපත් කරනු ලබන තනි කාරනාවක් මත පාදකව විරෝධතා දැක්වීමේ ඉදිරිදර්ශනය, අසාර්ථක වී ඇතුවා පමනක් නොවේ. එය ඔවුන් තමන් නියෝජනය කරන ශිෂ්‍යයන් සමග මුහුනට මුහුන ලා ගැටුමකට ද තල්ලු කර තිබේ.

පසුගිය මාසය ආරම්භයේ දී, ශිෂ්‍ය සංවිධාන වර්ජනය පාවාදීමේ ගිවිසුමක් පිලිගත්තේ ය. ආන්ඩුවේ අධ්‍යාපන ගාස්තු ඉහල දැමීම් මුලුමනින්ම කි‍්‍රයාවට දමන සහ විශ්වවිද්‍යාල අයවැය කප්පාදු කිරීමේ පරිශ‍්‍රමයේ උපාංග බවට ඒවා පත් කරනු ඇති එම ගිවිසුම අනතුරුව ශිෂ්‍යයන් අති මහත් බහුතරයක් විසින් ප‍්‍රතික්ෂේප කරන ලදි. මේ සතියේ සාකච්ඡා තුල දී, ඔවුහු, කැනඩාව පුරා හා ඉන් ඔබ්බෙහි ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මත සීමා පැනවීම සඳහා භයංකර පූර්වාදර්ශයක් සපයන පනතක් වන 78 වන පනතේ කොටස් අවලංගු කරන ලෙස තමන් කල ඉල්ලීම ද අතහැර දමා ලිබරල් ආන්ඩුවේ ප‍්‍රතිගාමී මූල්‍ය පරාමිති පිලිගත්හ.

අවසානයේ දී, ආන්ඩුව සමග ඔවුන්ට පවතින මතහේද, අධ්‍යාපන ගාස්තු ඉහල දැමීම පිලිගන්වන්නේ කෙසේද යන්න මතට ලඝු විය. “සේවාව ලබාගන්නා පුද්ගලයා ඒ සඳහා ගෙවිය යුතුය” යන සිය ප‍්‍රතිගාමී මූලධර්මය රාජ්‍ය සේවා සඳහා නව ක්විබෙක් සම්මතය බවට පත් කිරීමට අධිෂ්ඨානවත්ව, ආන්ඩුව අවධාරනය කලේ සත් වසරක ගිවිසුමේ සෑම වර්ෂයක දී ම අධ්‍යාපන ගාස්තු ඉහල දැමීමක් සිදු කල යුතු බවයි. ඊට ප‍්‍රතිචාර වසයෙන්, ශිෂ්‍ය සංවිධාන, විශ්වවිද්‍යාල අධ්‍යාපන ගාස්තු බදු-නය අහෝසි කිරීම හරහා ගෙවනු ලබන, වසර දෙකක අධ්‍යාපන ගාස්තු පමාසහනයක් යෝජනා කල අතර ඊලඟ වසර පහ තුල දී (එනම් , 2014 සැප්තැම්බර් සිට) වසරකට ඩොලර් 254ක වාර්ෂික වැඩිවීමක් විය යුතු බවට එකඟ විය.

ශිෂ්‍ය සංවිධානවල පාර්ශ්වයෙන් ගත් කල, මෙම සූත‍්‍රය බැඳී ඇත්තේ, ඊලඟ මැතිවරනයේ දී ක්විබෙක් පක්ෂය (පීක්‍යු) මගින් ලිබරල් පක්ෂය විස්ථාපනය කිරීම තුල තරුනයන්ගේ අවශ්‍යතා පවතින බවට ඔවුන් කරන කියාපෑම -- එෆ්ඊසීක්‍යු හෝ එෆ්ඊයූක්‍යු සම්බන්ධයෙන් විවෘතව ද සීඑල්ඒඑස්එස්ඊ සම්බන්ධයෙන් ගත් කල අවෘතව ද -- සමග ය. තථ්‍ය වසයෙන් ගත් කල, පීක්‍යු වනාහි, ක්විබෙක් අගමැති ෂෝන් චාරෙස්ට් හා ඔහුගේ ලිබරල් පක්ෂය හෝ කැනේඩියානු අගමැති හාර්පර් හා ඔහුගේ කොන්සර්වෙටිව් පක්ෂය මෙන්, ධනේශ්වර පාලනයේ පරීක්ෂාවට ලක් වූ එහි සැබෑ උපකරනයකි. සත්තකින්ම, හරියට ම සමිති නිලධරය සමග ඔවුන්ට පවතින සබඳතා ද පීක්‍යු “මහජනතාවට වඩා සමීප” බවට පවත්නා මිථ්‍යාවන් ද නිසා, එය සිය දක්ෂිනාංශික න්‍යාය පත‍්‍රය කි‍්‍රයාවට දැමීමෙහි ලා පාලක පන්තිය සඳහා වඩා හොඳ උපකරනයක් ලෙස නිරන්තරයෙන් සේවය කර තිබේ.

අධ්‍යාපන ගාස්තු ඉහල දැමීමට එරෙහි හා සමාජ අයිතියක් ලෙස අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ අරගලය කම්කරු පන්තිය දෙසට හැරීමක් ඉල්ලා සිටී. ලාභය නොව සමාජ අවශ්‍යතා සපුරාලීම, ගාමක මූලධර්මය වන පරිදි, ආර්ථික ජීවිතය ප‍්‍රතිසංවිධානය කිරීමට ශක්තිය පවතින්නා වූ ද එම කි‍්‍රයාව තුල සිය අවශ්‍යතා පවතින්නා වූ ද එක ම සමාජ බලවේගය කම්කරු පන්තිය යි.

ශිෂ්‍යයෝ ප‍්‍රන්ස හා ඉංගී‍්‍රසි කැනඩාව හා එක්සත් ජනපදය තුලත් ලොව වටාත් කම්කරුවන් අතර සිය බලගතු ම සගයන් සොයා ගනු ඇත. චාරෙස්ට් ලිබරල් ආන්ඩුව විසින් කි‍්‍රයාවට දමනු ලබන කප්පාදු පිලිවෙත් -- සමාජ වියදම් කැපීම්, පුද්ගලීකරනය සහ ප‍්‍රතිගමන බදු හා උපයෝගී ගාස්තු ඉහල දැමීම -- පසුගිය ශත වර්ෂයේ මහජන නැගිටීම් මගින් දිනා ගනු ලැබූ සමාජ ජයග‍්‍රහනවලින් ශේෂව පවත්නා සියල්ල විනාශ කර දැමීම ඉලක්ක කරගත්, කම්කරු පන්තියට එරෙහි ලෝක පරිමාන ප‍්‍රහාරයේ කොටසකි. මහජන සෞඛ්‍ය සේවාව හා අධ්‍යාපනය, විශ‍්‍රාම වැටුප් සහ සාමුහික කේවල් කිරීමේ අයිතිය යන සියල්ල ප‍්‍රහාරයට ලක්ව තිබේ.

ෆෙඩරල් කොන්සර්වෙටිව් හා ඔන්ටාරියෝ ලිබරල් ආන්ඩු දැවැන්ත සමාජ වියදම් කප්පාදු, විශ‍්‍රාමික වයස ඉහල දැමීම සහ රැකියා විරහිත ප‍්‍රතිලාභ කපා දැමීම ඇතුලු තමන්ගේ ම පුලුල් කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දමමින් සිටිති. ගී‍්‍රසියේ, ස්පාඤ්ඤයේ හා යුරෝපය පුරා ආන්ඩු මහජන සේවාවන් බිඳවිසුරුවමින්, අවම වැටුප කප්පාදු කරමින් සහ රැකියා කප්පාදු හා වැඩ වේගවත් කිරීම් සම්බන්ධයෙන් පැවති සියලු සීමාවන් ඉවත් කරමින් සිටිති. එක්සත් ජනපදය තුල, ජනාධිපති ඔබාමා, අලුතෙන් රැකියාවට බඳවා ගන්නා අය සඳහා නාටකාකාර ලෙස අඩු වැටුප් ගෙවීම ඇතුලු, දරුනු වැටුප් හා ප‍්‍රතිලාභ කප්පාදු පැනවීම මගින්, මෝටර් රථ කර්මාන්තය “පුනර්ජීවනය” කිරීම -- එනම්, එය යලිත් ආයෝජකයන් සඳහා ලාභදායක බවට පත් කිරීම -- පිලිබඳව පුරසාරම් දොඩයි.

මෙම ගෝලීය ප‍්‍රහාරයේ ඉලක්කය වන්නේ, 1930 ගනන්වල මහා අවපාතයෙන් පසුව මෙතෙක් පැවති ගෝලීය ධනවාදයේ දැවැන්ත ම අර්බුදයේ බර කම්කරු පන්තිය මත හෙලීම ය. 1930 ගනන්වල මෙන් ම, ධනපති ප‍්‍රභූව, සිය කප්පාදුවේ හා යුද්ධයේ න්‍යාය පත‍්‍රය පැටවීම පිනිස ආඥාදායක පාලන විධික‍්‍රමයන්ට හැරෙමින් සිටී. පසුගිය වසර මුලුල්ලේ, කැනඩාවේ කොන්සර්වෙටිව් ආන්ඩුව, එයාර් කැනඩා, කැනඩා පෝස්ට් සහ පසුගිය සතියේ දී කැනේඩියානු පැසිෆික් දුම්රිය කම්කරුවන්ගේ ඇතුලුව, හාම්පුතුන්ට සහන පිදීමට එරෙහි වර්ජන බිඳීම පිනිස හදිසි නීති අන පනත් යලියලිත් යොදා ගෙන තිබේ.

කම්කරු පන්තිය දෙසට හැරීම යන්නෙන් අදහස් කරන්නේ, ශිෂ්‍ය වර්ජනය, ධනවාදයට එරෙහි ලෝක කම්කරු පන්තියේ අරගලය පුලුල් කිරීමක කොටසක් ලෙස, සියලු සමාජ වියදම්, රැකියා හා වැටුප් කප්පාදුවලට එරෙහිව ක්විබෙක් ප‍්‍රාන්තයේ හා කැනඩාව පුරා ද උතුරු ඇමරිකාවේ ද කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලනිකව බලමුලු ගැන්වීම සඳහා උත්පේ‍්‍රරකයක් බවට පත් කිරීම යි.

එයින් අදහස් කෙරෙන්නේ, ධනපති-ගැති වෘත්තීය සමිතිවල දේශපාලනික සංවිධානමය ග‍්‍රහනයෙන් නිදහස් වීමට කම්කරුවන්ට සහාය වීමයි. මෙම සංවිධාන කම්කරු පන්තිය වෙනුවෙන් කතා නොකරයි, කම්කරු පන්තිය නියෝජනය නොකරයි. දශක ගනනාවක් තිස්සේ, ඔවුහු රැකියා කප්පාදු හා හාම්පුතුන්ට සහන පුදන ගිවිසුම් පටවමින්, පන්ති අරගලය යටපත් කර තිබේ. ක්විබෙක්හි ප‍්‍රධාන සමිති සම්මේලන තුනේ සභාපතිවරු පසුගිය මාසයේ පාවාදීමේ ගිවිසුම පිලිගන්නා ලෙස ශිෂ්‍ය නායකයන් බියගැන්වීමෙහි හා ඔවුන්ට තර්ජනය කිරීමෙහිලා චාරෙස්ට් සමග එක් වූ කල, ඔවුන් පුනර්කරනය කලේ, පසුගිය වසර විසිපහක කාලය මුලුල්ලේ ඔවුන් අනේක වාරයක් ඉටු කර ඇති කි‍්‍රයාකලාපයකි.

ඉංග්‍රීසි කැනඩාවේ වෘත්තීය සමිතිවල පක්ෂය වන එන්ඩීපී, සිය “වාම” පාලක පක්ෂය ලෙස ෆෙඩරල් ලිබරල් පක්ෂය විස්ථාපනය කිරීමට තමන්ට හැකි බව කැනේඩියානු පාලක ප‍්‍රභූවට ඒත්තු ගැන්වීමේ තම ප‍්‍රයත්නයේ කොටසක් ලෙස, ශිෂ්‍යයන්ගේ පරාජය වෙනුවෙන් විවෘතව වැඩ කර තිබේ. එය ශිෂ්‍ය වර්ජනයට සහයෝගය දීම හෝ දරුනු 78 වන පනත හෙලා දැකීම ප‍්‍රතික්ෂේප කර ඇත. ශිෂ්‍යයන් හා මහ ව්‍යාපාරික ලිබරල් ආන්ඩුව අතර ගැටුම සම්බන්ධයෙන් තමන් “මධ්‍යස්ථ” ආස්ථානයක් දරන බව ප‍්‍රකාශ කරන අතර ම, එය, තීරනාත්මක අයවැය ඡන්දවල දී ඡන්දය දීමෙන් වැලකී සිටීමෙන්, සුලුතර ඔන්ටාරියෝ ලිබරල් ආන්ඩුවේ පුලුල් කප්පාදු අයවැය සම්මත කරගැනීමට පහසුකම් සැලසීය.

මොනයම් හෝ වැදගත් සමාජ අවශ්‍යතාවක් හෝ අතිමූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතියක් පිලිබඳ අරගලයක් තරුනයන් හා කම්කරු පන්තිය ආන්ඩුව, රාජ්‍යය, එහි පොලීසිය හා උසාවි සහ සමස්ත ධනපති සමාජ පර්යාය ම සමග මුහුනට මුහුන ලා කෙරෙන ගැටුමක් කරා තල්ලු කරන බව ශිෂ්‍ය වර්ජනය මගින් ප‍්‍රදර්ශනය කෙරී ඇත. කම්කරු පන්තිය දේශපාලන අරගලයකට ද එය ගෙන යාම පිනිස මහජන විප්ලවවාදී සමාජවාදී පක්ෂයක් ගොඩනැගීමේ අවශ්‍යතාවට ද මුහුන දී සිටී.

සමාජවාදී සමානතා පක්ෂය, 78 වන පනත ක‍්‍රමානුකූලව පරාජය කීරීම සංවිධානය කිරීම, හාම්පුතුන්ගේ සහන ඉල්ලීම්වලට හා ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කැනඩාව පුරා සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ ප‍්‍රතිප‍්‍රහාරයක් වර්ධනය කිරීමට සටන් වැදීම සහ චාරෙස්ට් ලිබරල් හා හාර්පර් කොන්සර්වෙටිව් ආන්ඩු හෙලීමට කම්කරු පන්තික කි‍්‍රයාවන් සූදානම් කිරීම පිනිස, ශිෂ්‍යයන්ගේ සහ කම්කරුවන්ගේ ස්වාධීන කමිටු ගොඩනැගීමට සටන් වදී.

මෙම කි‍්‍රයාවන්, තනිව ගත් කල වැදගත් වන්නේ සේම, කම්කරු පන්තියේ එකමුතුව, සටන්කාමිත්වය සහ ශක්තිය වර්ධනය කිරීමට ඒවා ඉවහල් විය හැක්කේ, කම්කරු ආන්ඩුවක් සහ සමාජය සමාජවාදී ලෙස ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා සටන් වදිනු පිනිස කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලනිකව බලමුලුගැන්වීම සඳහා වන අරගලයේ කොටසක් ලෙස ඒවා සංකල්පනය කරතොත් හා සංවිධානය කලහොත් පමනි.

කීත් ජෝන්ස්

Share this article: