ඇමරිකාවට ඉහලින් ඩ්‍රෝන් යානා

Drones over America

21 June 2012

ඉදිරි වසරවල එක්සත් ජනපද භූමියට ඉහලින් දස දහස් ගනනක් ඩ්‍රෝන් යානා ස්ථානගත කිරීම පිලිබඳව මෑතක හෙලිවූ සැලසුම්, ඇමරිකානු පොලිස් රාජ්‍යයක් කරා විහිදෙන යටිතලයේ වර්ධනයට අදාල වැදගත් උපාංගයක් ගැන තොරතුරු අනාවරනය කරයි.

ඉදිරි දශකය තුල 30,000ක් ඩ්‍රෝන් යානා ඉහල අහසේ පියාසර කරනු ඇති බවට ආන්ඩුව ගනන් බලා ඇත. මෙම යානා රටේ ප්‍රාන්ත 39ක ස්ථානගතව ඇති මිලිටරි කඳවුරු 110ක සිට ක්‍රියාත්මක කෙරෙනු ඇත. නීතිරීති දැනටමත් කෙටුම්පත් කර, නියමුවන් හා සහායකයින් පුහුනු කරමින් හා ගුවන් පථය වටලනු ලබමින් තිබේ.

ආම්පන්න හා උපකරන රාත්තල් දහස් ගනනක් ගෙනයන ගුවන් නැව් සන්නද්ධ කිරීමට, රාත්තල් කිහිපයක් පමනක් බර කුඩා නිරීක්ෂන යානා පෙලකින් යුත් ඩ්‍රෝන් යොදා ගැනෙයි. වර්ධනය කෙරෙමින් ඇති, කෘමියෙකුට වඩා විශාල නොවන එම්ඒවී නම් නව වර්ගයක මයික්‍රෝ ගුවන් යානා වලට, ඡායා රූපගත කිරීමට හා වාර්තාගත කිරීමට හසු නොවී නිවාස හා වැඩපොලවලට ඇතුල්වී ඝාතනයන්හි පවා යෙදීමේ හැකියාවක් පවතියි.

ඩ්‍රෝන් සිය ගනනක් දැනටමත් එක්සත් ජනපද අහසේ ක්‍රියාත්මකවන අතර ප්‍රාදේශීය නිල ආයතනවලට තමන්ගේ ම වාහන අයත්කර ගැනීමේ ඉඩ සැලසී තිබේ. අප දැනට දන්නා ඩ්‍රෝන්ස් එපමන ය.

ඒබීසී වාර්තාවකට අනුව, "ඩ්‍රෝන්ස් යානාවලට, මුහුනුවර හඳුනාගැනීමේ කැමරා, වාහන නොම්මර තහඩු ස්කෑනර් යන්ත්‍ර, තාප ජනක පිලිඹබිඹු කැමරා, විවෘත වයිෆයි නිරීක්ෂන හා අනෙකුත් සංවේදී උපකරන ගෙනයා හැකිය. ඒවා සන්නද්ධ කිරීමට ද හැකිය.” ඩොලර් බිලියන ගනනක වියදමෙන් ‍නෝර්ත්‍රෝප් (Northrope) ගෲමාන් වැනි ආරක්ෂක මෙවලම් නිෂ්පාදනයේ නියැලෙන දැවැන්ත සමාගම් විසින් වර්ධනය කරන මෙම ඩ්‍රෝන් යානාවල නිශ්චිත තාක්ෂනික හැකියාවන්, දැඩිලෙස ආරක්ෂා කරන රාජ්‍ය රහස් ලෙස පවතියි.

මේ අනුව, වර්තමානයේ ඩ්‍රෝන් යානාවල නිරීක්ෂන ශක්තිය අතින් ගත් කල පසුගිය සියවසේ ආඥාදායකයින් යොදාගත් ඔත්තු සේවා ලමා ක්‍රීඩා බවට පත්කරයි. යමෙක් යන එන සෑම තැනක්ම, යමෙක් පවසන සෑම දෙයක්ම, යමෙක් කරන සියලු දෙයක්ම, නිවසක් තුල පවා, හොර රහසේ නිරීක්ෂනය, වාර්තාගත කිරීම, කල හැකි අතර ඒවා ඔබාමා පාලනය යටතේ රහසිගතව ගොඩනඟා ඇති ආන්ඩුවේ දත්ත බැංකුවල රැස් කරනු ඇත.

සාමාන්‍ය ඇමරිකානුවන්ගේ ජීවිත සමීපව නිරීක්ෂනය කිරීම, තන්ත්‍රය මිලිටරීකරනයේ උත්සාහයන් සමග සම්පාතවන පරිදි මෙම ඩ්‍රෝන් යානා ස්ථානගත කරනු ලැබේ. පැතිරී යන නිරීක්ෂනය දැන් සාමාන්‍ය තත්වයකි. ඕනෑම දිනක වීදියක් දිගේ ඇවිද යන මෙහොතක සැතපුම් ගනනක් ඉහල අහසේ ඇති සන්නද්ධ ඩ්‍රෝන් යානා තම හැසිරීම ගැන සුපරික්ෂාකාරී වන බවක් ඔහු හෝ ඇය දැන ගන්නේ කෙසේ ද?

ඔවුන්ගේ දැවැන්ත නිරීක්ෂන හැකියාවන්ට අමතරව, ඩ්‍රෝන් යානා, ඝාතනයන් සඳහා යොදාගත හැකි බව ද අමතක නොකල යුතුය. ඔබාමා පාලනයේ "ඉලක්ක ගත ඝාතන” වැඩසටහන යටතේ දැනටමත් ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ, පකිස්ථානයේ හා යේමනයේ ද වෙනත් තැන්වල ද ඇමරිකානු පුරවැසියන් ද ඇතුලු දහස් ගනනක් මරා දැමීම පිනිස ඩ්‍රෝන් යානා යොදාගෙන තිබේ. වීඩියෝ තිර පසුපස සිටින ඩ්‍රෝන් නියමුවන් ඔවුන්ගේ ගොදුරු හඳුන්වන්නේ "මකුනු පහරවල්” ලෙසය.

එක්සත් ජනපදය තුල සිටින අනවශ්‍ය පුද්ගලයින් හෝ එක් රැස්වන පුද්ගලයින් පවා "ඉවත් කිරීමට” ඇමරිකානු භූමිය මත රඳවනු ලබන දස දහස් ගනනක් ඩ්‍රෝන් යානා මුදාහරිනු ඇත. සැලසුම් කර තිබෙන ඩ්‍රෝන් කඳවුරු සාදා නිමකල විට රටේ කිසිදු ස්ථානයක් ක්ෂනික ප්‍රහාරයකින් දුරස්ත නොවනු ඇත.

දස දහස් ගනනක් වන මෙම ඩ්‍රෝන් ස්ථානගත කිරීමේ කටයුතු සිදුවන්නේ, ඇමරිකානු ජනතාවගේ පිටුපසිනි. කොන්ග්‍රසය තුල කිසිදු විවාදයක් නොතිබුනි. මෙය මැතිවරන වසර වීම ද නොතකා ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක්වත් මෙම ප්‍රශ්නය මතුකර නැත.

මෙම ඩ්‍රෝන් සම්බන්ධයෙන් කිසිදු පාලනයක් යොදවා නැත. "ජාතික ගුවන් අවකාශ පද්ධතියට” ඩ්‍රෝන් යානා සමූහය ඉක්මනින්ම ඒකාග්‍ර කිරීමට හරස්විය හැකි බාධක ඉවත් කිරීමට අදාල පනතට පෙබරවාරි මාසයේදී ඔබාමා අත්සන් තැබීය. එහෙන් මෙහෙන් පලවුනු වාර්තා කිහිපයක් හැරෙන්නට ව්‍යාපාර විසින් පාලනය කරනු ලබන මාධ්‍ය ඒ පිලිබදව මුනිවත රැකීය.

පොලිස් රාජ්‍යයක් සඳහා යටිතල පහසුකම් ගොඩනැඟීම, දැවැන්ත සමාජ කලබැගෑනි ක්ෂිතිජයේ දර්ශනය වීම සමග සම්පාත වෙයි. සිය ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප්‍රහාර, සමාජ වැඩසටහන් කපා හැරීම හා නොනවතින යුද්ධය, ඇමරිකානු කම්කරු පන්තිය ඔහේ ඉවසා සිටින්නේ නැති බව පාලක පන්තිය හොඳින් දැන සිටියි. විපක්ෂය නොවරදවා ම වැඩී එනු ඇත. එසේ වූ විට සන්නද්ධ ඩ්‍රෝන් යානා සුපරීක්ෂාකාරී වනු ඇත.

එක්සත් ජනපද අහසේ ඩ්‍රෝන් යානා යෙදවීම වනාහි නීති විරෝධී පරීක්ෂා කිරීම්, වධ බන්ධන, මිලිටරි කමිටු, නඩු නොමැතිව රහසිගතව රඳවා තැබීම් හා "ඝාතන ලැයිස්තු" වලින් සන්නද්ධ කල ඊනියා "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” තුල ක්‍රියාවට නඟන ලද පොලිස් රාජ්‍ය පියවරයන්ගේ තවත් එක් සනාථනයකි. මේ සියල්ල අවසානයේ දී ඇමරිකානු ජනතාවට එරෙහිව යොදවනු ඇත.

ඩ්‍රෝන් යෙදවීම පිලිබඳව මතුව ඇති උත්සුකයන්, චිකාගෝවේ දී යුද විරෝධීන්ට එරෙහිව "ත්‍රස්තවාදී” චෝදනා යටතේ මෑතක දී ගෙ‍නෙන ලද අවනඩුව සමග සම්පාතවීම අහම්බයක් නෙවේ. ඔවුන්ට "ත්‍රස්තවාදී” චෝදනා එල්ල කිරීමේ කාරනය සැලකිල්ලට ගත් කල්හි, එක්සත් ජනපද ආන්ඩුව මෙම විරෝධතාකරුවන්, ගුවන්තනාමෝ කඳවුර තුලට "අතුරුදහන්” කිරීමෙන් හෝ අනාගතයේ එලඹීමට නියමිත අවස්ථාවන්හි දී, ඔවුන් ප්‍රිඩේටරි ඩ්‍රෝන් ප්‍රහාරයකින් වනසා දැමීම වලක්වන කිසිදු මූලධර්මයක් ඇත්තේ නැත.

එක්සත් ජනපද ආන්ඩුවේ එවන් ක්‍රියාවන් වලක්වන බාධක ලෙස සැලකූ, සියවස් ගනනක් පැරනි නීතිමය ආරක්ෂාවන්, එනම්, 14වන ව්‍යවස්ථා සංශෝධනය, හබෙයාස් කොපුස් අයිතිය හා අයිතීන් පිලිබඳ ප්‍රඥප්තිය, යන මේ සියල්ල මෑත අවුරුදුවල දී සැලකිය යුතු තරමින් ඛාදනය වී තිබේ. නීතිමය ආස්ථානයකින් ගත් කල, ජනාධිපතිගේ රහසිගත නියෝගයකින් එක්සත් ජනපද පුරවැසියන් ඝාතනය කිරීම සඳහා මාවත දැන් එලි පෙහෙලි වී තිබේ.

ප්‍රජාතන්ත්‍ර අයිතීන් නැති භංග වීමට යටින් ඇත්තේ සමාජ අසමානතාවයේ කැපී පෙනෙන වර්ධනයයි. එම වර්ධනය නිල සංඛ්‍ය ලේඛන මගින් ද තහවුරු කර තිබේ. ෆෙඩරල් මහ බැංකුවේ නවතම දත්ත මගින් එක්සත් ජනපදයේ මධ්‍යම තරමේ පවුල්වල ශුද්ධ අගය 2007 හා 2010 අතර කාලයේ සියයට 38.9න් හැකිලී ගොස් ඇති බව පෙන්නුම් කලේය. ඒ ව්‍යාපාරික ලාභ පිම්මේ ඉහල නඟින අතර තුරය. පෙර නොවූ විරූ සමාජ අසමානතා තත්වයේ ප්‍රතිපලයක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඛන්ඩනය වී ගොස් තිබේ.

මෙම ඩ්‍රෝන් යානා යෙදවීම සම්බන්ධයෙන් ලිබරල් හා ව්‍යාජ වාම සංස්ථාපිතය වෙතින් සැලකිය යුතු විරුද්ධත්වයක් හටගෙන නොතිබීම සටහන්කර ගැනීම වටනේය. ඊට හේතුව වන්නේ, මෙම ස්ථරයන් 2012 මැතිවරනයේදී ඔබාමා වෙනුවෙන් උද්ඝෝෂනය කරන අතර ඔහුට ඡන්දය දීමට සූදානම් වෙමින් සිටීමයි.

ඔබාමා යටතේ, බුෂ් පාලනය විසින් ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහිව දියත් කල ප්‍රහාර තවත් උත්සන්න කෙරී තිබේ. එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ගේ බිඳවැටීම, ධවල මන්දිරයේ එක් පුද්ගලයෙකුගේ හෝ මැතිවරන ජයග්‍රහනය කරන ධනපති පක්ෂ දෙකේ පුද්ගල අංඟ ලක්ෂන මගින් තීන්දු නොකරන බව මේ මගින් පෙන්නුම් කරයි. ඊට විපරීතව එය, ජාත්‍යන්තර ධනවාදයේ මූලික ප්‍රවනතාවන්ගේ ප්‍රකාශනයක් වනවාක් මෙන්ම සිය පද්ධතියේ ඓතිහාසික අර්බුදයකට මුහුනපා සිටින සමස්ත පාලක පන්තියේ ම අත්‍යවශ්‍ය ප්‍රතිපත්තියේ ප්‍රතිපලයකි.

ඇමරිකානු පොලිස් රාජ්‍යයක් ගොඩනැඟීමට එරෙහි විරෝධය, එලඹෙන මැතිවරනවල දී එක්සත් ජනපදයේ එක් හෝ අනෙක් ධනපති පක්ෂයට ඡන්දය දීමෙන් ප්‍රකාශයට පත්කල නොහැකිය. වැඩකරන ජනතාවගේ ද පුලුල් මහජනතාවගේ ද අති මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් හා සමාජ කොන්දේසි ආරක්ෂා කිරීම කල හැක්කේ, ධනේශ්වර පද්ධතියට සෘජුලෙස විරුද්ධව, එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ද කම්කරු පන්තියේ ස්වාධීන මහජන පක්ෂයක් ගොඩනැඟීම හරහා පමනි. එවන් ව්‍යාපාරයකට පමනක්, පොලිස් රාජ්‍යය හා සමාජ අසමානතාව අවසන් කිරීමට ද ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කර පුලුල් කිරීම හා මානව වර්ගයා මුහුනපා සිටින මූලික අර්බුදයට විසඳුම් ලබාදීම කලහැකි වන්නේය.

ටොම් කාටර්

Share this article: