ඕස්ට්‍රේලියානු සසප ප්‍රථම ජාතික සමුලුව පවත්වයි

Australian SEP holds first national congress

By our correspondents , 8 May 2012

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඕස්ට්‍රේලියානු ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය 2012 අප්‍රේල් 06 සිට 09දා දක්වා සිඩ්නි හිදී සිය පලමුවන ජාතික සමුලුව පැවැත්විය. ගැඹුරුවන ආර්ථික අර්බුදය හා ලෝකය පුරා පාලක පන්තීන් කප්පාදුව, පීඩාව හා යුද්ධය සඳහා සූදානම් වන තතු හමුවේ පැවැත්වුන සමුලුව, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය හා ඉදිරිදර්ශනය පිලිබඳ අර්බුදය විසඳීම සඳහා වන සටනේ වැදගත් ඉදිරි පියවරක් සලකුනු කලේය.

සිව් දිනක් පැවති සාකච්ඡා හා විවාද අතර තුර සමුලුව යෝජනා හතක් සම්මත කලේය. මෙම යෝජනාවන් හිදී ඊජිප්තුවේ සිට ග්‍රීසිය හා එක්සත් ජනපදය දක්වා පැනනැඟුනු කම්කරු පන්තියේ බලගතු අරගල කෙරෙහි ද එම අත්දැකීම්වලින් මතු කෙරුනු තීරනාත්මක දේශපාලන ප්‍රශ්න කෙරෙහි ද අවධානය යොමු කලේය. සියල්ලටත් වඩා ධනේශ්වර‍ෙය් හා එහි දේශපාලන, මිලිටරි යාන්ත්‍රනයන් පසුපස කම්කරුවන් හා තරුනයින් දැක්කීමට උත්සාහ කරන වෘත්තීය සමිති හා ව්‍යාජ වාම සංවිධානවල ක්‍රියාකලාපය එහිදී අවධානයට ලක් විය.

සම්මේලනයේදී සම්මත කෙරුනු පහත සඳහන් යෝජනා ඉදිරි දිනවල වෙබ් අඩවියේ පලකරනු ඇත. 1. "ලෝක ධනවාදයේ අර්බුදය හා සසප කර්තව්‍යයෝ” 2. "අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව” 3. "චීනයට එරෙහි එක්සත් ජනපද යුද ව්‍යායාමයට එරෙහි වනු” 4. "එක්සත් ජනපද-ඔස්ට්‍රේලියානු මිලිටරි ගිවිසුමට විරුද්ධ වනු” 5. "2010 කුමන්ත්‍රනය හා ධනේශ්වර පාලනයේ අර්බුදය” 6. "ජුලියන් අසාන්ජ් ආරක්ෂා කරනු” 7. "සසප ගොඩනගනු"

එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කමිටු නියෝජිතයන්ගේ හා නවසීලන්ත හා ෆිලීපීන නියෝජිතයින්ගේ ද සහභාගිත්වය, සම්මේලනයේ ජාත්‍යන්තර අන්තර්ගතය පිලිඹබිඹු කලේය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩල සභාපති හා එක්සත් ජනපදයේ සසප ජාතික ලේකම් ඩේවිඩ් නෝර්ත්, ජාත්‍යන්තර කමිටුවේ ලේකම් හා ජර්මානු සසපයේ ප්‍රමුඛ සාමාජිකයෙකු ද වන පීටර් ෂ්වාස්, බ්‍රිතාන්‍ය සසපයේ ජාතික ලේකම් ක්‍රිස් මාස්ඩන් හා ශ්‍රී ලංකා සසපයේ මධ්‍යම කාරක සභා‍සාමාජිකයෙක් ද ශුභ පැතුම් ඉදිරිපත් කලහ.

පලමු යෝජනාව ද ඇතුලත් සිය ආරම්භක දේශපාලන වාර්තාව තුලදී සසප ජාතික ලේකම් නික් බීම්ස්, 2011 වසර තුල ජාත්‍යන්තරව පැන නැඟුනු සමාජ අරගල හා විරෝධතා, ලෝක මූල්‍ය අර්බුදයේ පද්ධතිමය ස්වභාවය හා ගෝලීය පන්ති අරගලයේ ස්වභාවය පිලිබඳව ජාත්‍යන්තර කමිටුව කරන ලද විශ්ලේෂනය සනාථ කල බව ද කෙසේ වෙතත්, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයක් නොපැවති තත්වය හමුවේ ධනේශ්වරයට ආරම්භක දේශපාලන කුනාටුව මෙල්ල කර ගැනීමට හැකිවූ බව ද පැවසී ය.

ඊජිප්තු විප්ලවයේ මාරුව, එක්සත් ජනපදයට හා යුරෝපීය බලවතුන්ට, ලිබියාවට මෙන්ම එවැනි ම පාලන තන්ත්‍ර වෙනසක් සඳහා සිරියාවට මැදිහත් වීමටත් අවකාශ සැලසීය. යුරෝපයේ දී, විවිධාකාර ව්‍යාජ වාම කන්ඩායම්වල අධාරය ඇතිව තවමත් අධිකාරය පිහිටුවාගෙන සිටින ධනේශ්වර ගැති වෘත්තීය සමිති සංස්ථාපිතයට, වැඩවර්ජන හා පෙලපාලි මාලාවන් මධ්‍යයේ වුවත්, කුරිරු කප්පාදු පියවරයන් පැටවීමට හැකියාව ලැබුනු බව බීම්ස් පැවසීය.

"තවමත්, වෘත්තීය සමිති හා පැරනි සංවිධාන විසින් අටවා තිබෙන ආකෘතිය තුල කම්කරු පන්තිය සිරවී සිටින බව” ඔහු සඳහන් කලේය. ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති විසින් මෑතක දී පාවාදුන් කොන්ටාස් කම්කරුවන් හා විකටෝරියානු හෙදියන්ගේ අරගල තුල ඒවායේ භූමිකාව ද ඔහු පෙන්වා දුන්නේය. "කම්කරු පන්තිය මුහුනපා සිටින ඉදිරිදර්ශනය පිලිබඳ මෙම අර්බුදය නොවිසඳුවහොත් ඉමහත් අන්තරායන් මතුවන බව” ද ඔහු අවධාරනය කලේය.

"ආර්ථික අර්බුදය කොතෙක් ගැඹුරු වුව ද කම්කරු පන්ති ව්‍යාපාරය කෙතරම් පුලුල් හා බලගතු වුව ද විප්ලවවාදී ඉදිරි දර්ශනයකින් මඟපෙන්වන විප්ලවවාදී නායකත්වයක් යටතේ කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක් මගින් අභියෝග කරන තෙක් හා එසේ නොවනතාක් කල් ධනේශ්වරයට, සිය අවශ්‍යතා ඉටුකරගැනීමට ඕනෑම තත්වයක් යොදාගත හැකි වනු ඇත... එලඹෙන අවධියේ දී අපගේ පක්ෂය සිය කර්තව්‍යයන් පිහිටුවනු ලබන්නේ මෙම සන්දර්භය තුලය.”

එක්සත් ජනපදයේ ශුභ පැතුම් පිලිගන්වමින් දෙවන දිනයේ දී සමුලුව ඇමතූ ඩේවිඩ් නොර්ත්, ගෝලීය ආර්ථිකයේ අසාමාන්‍ය ස්වභාවය හා දේශපාලන අර්බුදය අවධාරනය කල අතර නොඉවසියහැකි කොන්දේසිවලට එරෙහිව කම්කරුවන් හා තරුනයින් අරගලයට පැමිනෙන විට ඔවුන් අවමංගතකර ව්‍යාකූල කිරීමට වැඩ කරන විවිධාකාර ව්‍යාජ වාම, අර්ධ අරාජකවාදී හා පශ්චාත් නූතනවාදී ප්‍රවනතාවන්ගේ ක්‍රියාකලාපය යම් දුරකට විමසුමට ලක් කලේය.

විශේෂයෙන් ම සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසුව, කම්කරු පන්තිය මත අධිකාරය පිහිටුවා ගැනීම පිනිස මතුව තිබෙන මධ්‍යම පන්තික නව දේශපාලන රූපාකාරයන් විභාග කිරීමේ වැදගත්කම නෝර්ත් පැහැදිලි කලේය. ඉහල මධ්‍යම පන්තික කොටස් අතර අතෘප්තිය පිලිබිඹු කරන ඊනියා නූතන රැඩිකල් දේශපාලනය ඔහු පෙන්වා දුන්නේය. ආර්ථික කේක් ගෙඩියේ ලොකු පංගුවක් ඔවුන්ට අවශ්‍යව ඇතැයි ඔහු පැවසීය. "එහෙත් ඔවුහු කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක් නැඟී ඒම කෙරෙහි දක්වන්නේ දරුනු සතුරු කමකි.”

"මෙම ඊනියා රැඩිකල් දේශපාලනය ගැඹුරින්ම ප්‍රතිගාමී මෙන්ම එය ප්‍රකාශයට පත්කරන්නේ, පීඩිතයින්ගේ අරගල නොව, මධ්‍යම පන්තිය තුල වඩා වරප්‍රසාදිත, අතෘප්තියට පත් කොටස්වල අවශ්‍යතාය... ඔවුහු ලිංගිකත්වය, වාර්ගික හා වාර්ගික අනන්‍යතාවය පිලිබඳ ප්‍රශ්න පෙරමුනට ගෙන එන අතර, ඉතිහාසයේ සෑම ශ්‍රේෂ්ඨ විප්ලවයක් තුලම පතුලෙන් මතුව ආ අව්‍යාජ ඓතිහාසික ප්‍රශ්න වන දේපල හිමි පන්තියේ අති මූලික ප්‍රශ්න, කුමන වියදමක් දරා හෝ වල දැමීමට උත්සාහ කරති.” නොර්ත් පැවසීය.

"බලය පිලිබඳ ප්‍රශ්නය කවර කලෙකටත් වඩා සෘජු ලෙස මතුව එන විට හා දශක ගනනාවකට පසුව කම්කරු පන්තිය අරගලයේ ක්ෂේත්‍රයට පිවිසෙන කල, එම පන්තිය අනෙකුත් සමාජ හා දේශපාලන බලපෑමේ ආධිපත්‍යයෙන් මුදා ගැනීම පිලිබඳ මුඛ්‍ය ප්‍රශ්නය ඉස්මතු වෙයි.” නොර්ත් අවධාරනය කලේය. "මාක්ස්වාදයට සතුරු හා කම්කරු පන්තිය තමන්ගේ ම වරප්‍රසාදිත අවශ්‍යතාවන්ට යටකිරීමට උත්සාහ දරන බලවේගයන්ගේ ස්වභාවය හඳුනා ගැනීම දැවෙන හදිසි භාවයක් පිලිබඳ කාරනයකි.”

සමුලුවට පිලිගැන්වූ සිය ශුභ පැතුම්වල දී පීටර් ෂ්වාස් හා ක්‍රිස් මාස්ඩන්, පෙර නොවූ විරූ කප්පාදු පියවර පැනවීම පිනිස ග්‍රීසියේ හා අනෙකුත් යුරෝපීය රටවල ප්‍රජාතන්ත්‍ර විරෝධීව අටවන ලද ආන්ඩු, සෑම තැනකම වැඩකරන ජනතාවන්ට එරෙහිව යොදාගන්නා නව මුරගලක් බවට පත්ව තිබීම පිලිබඳව අනතුරු ඇඟවූහ.

කම්කරුවන්ගේ හා තරුනයින්ගේ අලුත් පරම්පරාවක් ආකර්ශනය කරගන්නා ස්ථම්භයක් බවට පත්විය හැකි ලියොන් ට්‍රොට්ස්කිගේ දේශපාලන ඉදිරිදර්ශනය පිලිබඳ භීතියෙන්, ඔහුගේ ජීවිතය හා වැඩකටයුතු මුසාකරනය සඳහා පසුගිය වසර කිහිපය තුල ලියවී තිබෙන "පූර්ව භංග” චරිතාපදානයන් මාලාවකට එරෙහිව ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම පිනිස ජාත්‍යන්තර කමිටුව ගෙන යන ව්‍යාපාරයේ වැදගත්කම ෂ්වාස් පැහැදිලි කලේය. බ්‍රිතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය හා ප්‍රන්සයේ නව ධනේශ්වර විරෝධී පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායම්වල ක්‍රියාකලාපය මාස්ඩන් විසින් ගෙනහැර දැක්වීය. කම්කරුවන් හා තරුනයින් මංමුලා කර කුනුවූ සමාජ ප්‍රජාතන්ත්‍ර හා වෘත්තීය සමිති සංස්ථාපිතයේ අත යටට යලිත් තල්ලුකර දැමීමට ඔවුන් උත්සාහ දරන ආකාරය ඔහු විස්තර කලේය.

අවසාන යෝජනාව ඉදිරිපත් කරමින් සසප ජාතික කමිටුවේ සාමාජික ජේම්ස් කෝගන්, සමුලුව පැවැත්වෙන්නේ ජාත්‍යන්තර කමිටුව සමග ඒකාබද්ධවීමේ ඓතිහාසික තීන්දුව ගනු ලැබූ, සසප පූර්වගාමී සෝෂලිස්ට් ලේබර් ලීගයේ සමාරම්භක සමුලුවෙන් වසර 40කට පසුව බව පැවසීය. "මෙම යෝජනාවෙන් පැහැදිලි වන ආකාරයට ම අපගේ කර්තව්‍යය, කම්කරු පන්තියේ දේශපාලනිකව වැඩිදියුනු කොටස් පසුගිය අරගලයන්ගේ පාඩම් වලින් උගන්වා ගැනීම පිනිස අධිෂ්ඨානශීලීව කම්කරු පන්තිය වෙතට හැරෙමින්, හිටපු වාම ප්‍රවනතාවන් අනවරතව හෙලිදරව් කරමින් ඔවුන්ගෙන් බෙදුම්කඩනය ඇඳ ගැනීම ය. සසප විසින් ඕස්ට්‍රේලියානු කම්කරුවන් අතර සමාජවාදී මහජන ව්‍යාපාරයක් ගොඩ නඟනු ඇත. ජාත්‍යන්තර කමිටුවේ කොටසක් ලෙස මිස එවැන්නක් ගොඩනැඟිය නොහැකි වනු ඇත. එසේ කිරීම පිනිස සෑම අවස්ථාවක්ම එලඹී තිබෙන බව මෙම යොජනාව විශ්වාසයෙන් යුතුව අපට තහවුරු කරයි.”

සමුලුව, නව ජාතික කමිටුවක් තෝරා පත්කරගත් අතර නික් බීම්ස් යලිත් එහි ජාතික ලේකම් වශයෙන් ද පීටර් සිමන්ඩ්ස් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාතික කර්තෘ ලෙස ද ජේම්ස් කෝගන් සහකාර ජාතික ලේකම් වශයෙන් ද පත්කර ගත්තේය. වසර 25ක් පමන සහකාර ජාතික ලේකම් තනතුර දැරූ, දැන් එම තනතුරෙන් ඉවත්ව යන ලින්ඩා ටෙනන්බෝම් වෙත සමුලුව උපහාර පුද කලේය. ඇය ජාතික කමිටුවේ ප්‍රමුඛ සාමාජිකාවක් ලෙස තවදුරටත් කටයුතු කරනු ඇත.

සමුලුව නිමාවට පත්කරමින් නික් බීම්ස්, මෙය හුදෙක් සසපට පමනක් නොව සමස්තයක් ලෙස ජාත්‍යන්තර කමිටුවට ම වැදගත් සිදුවීමක් වූ බව ප්‍රකාශ කලේය. "කම්කරු පන්තිය වෙත මාවත, සියල්ලටත් වඩා මාක්ස්වාදයට පහර දීම පිනිස සෑම අදියරක දී ම පෙරමුන ගන්නා බලවේගයන්ට එරෙහිව මාක්ස්වාදය වර්ධනය කිරීමේ න්‍යායික හා දේශපාලන අරගලයකි. මෙම සමුලුවෙන් අනතුරුව කම්කරු පන්තිය හා තරුනයින් වෙත තීරනාත්මක හැරීමක් ගැනීමේ වැදගත් කාර්යය අප වෙත පැවරෙන්නේය. කෙලින්ම පක්ෂ කර්තව්‍යන්ට ආමන්ත්‍රනය කරන හා කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමට අප සටන් වදින ප්‍රශ්න පිලිබඳ මෙම යෝජනාවන් මත පදනම් වෙමින් පෙරට යා යුතුය.”

Share this article: