"ත‍්‍රස්තවාදී සැකකරුවන්” මිස දේශපාලන සිරකරුවන් තම අත් අඩංගුවේ නැතැයි ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව කියයි

Sanjaya Jayasekera , 15 June 2012

"ත‍්‍රස්තවාදී සැකකරුවන්” හැර දේශපාලන සිරකරුවන් කිසිවකු තම අත් අඩංගුවේ නොමැති බැව් සභානායක නිමල් සිරිපාල ද සිල්වා පසු ගිය මැයි මස 23 දා පාර්ලිමේන්තුවේදී පැවසීය. ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනය කරමින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස ඉහත සඳහන් රැඳවියන් වසර ගනනාවක් පුරා රඳවා ගෙන සිටින බවට පුලුල්ව පැතිරුනු අදහස ආන්ඩුව විසින් නිරතුරුව ප‍්‍රතික්ෂේප කරන අතර ඇමති සිල්වාගේ ප‍්‍රකාශය ආන්ඩුවේ එම ආස්ථානය පුනරුච්චාරනය කිරීමකි.

ඇමතිවරයා මෙම ප‍්‍රකාශය කලේ, නඩු ඇසීමකින් තොරව රඳවා ගෙන සිටීමට විරුද්ධව දෙමල දේශපාලන සිරකරුවන් විසින් සතියකට ආසන්න කාලයක් පුරා ගෙන ගිය උපවාසය අත්හල පසු ගිය 24 වන දාට පෙර දිනයේය. වවුනියා බන්ධනාගාරයේ රඳවා සිටින දෙමල සිරකරුවන් 40 දෙනෙකු තමාට එරෙහි නඩු ඉක්මන් කරන ලෙස ද නඩු නොමැතිනම් ඉක්මනින් නිදහස් කරන ලෙස ද ඉල්ලා මැයි 17 දා ඇරඹූ මාරාන්තික උපවාසයට වැලිකඩ, කලුතර සහ අනුරාධපුර දෙමල රැඳවියන් ද එකතු වූ අතර උපවාසයට සම්බන්ධ වූ සමස්ත සංඛ්‍යාව 234 ක් විය. ධනපති දෙමල ජාතික සන්ධාන (ටීඑන්ඒ) මන්තී‍්‍රවරුන්ගේ බලපෑම යටතේ, නඩු විභාගයන් වේගවත් කරන බවට ආන්ඩුව දුන් සහතිකය මත සිරකරුවන් විසින් උපවාසය අත්හලේ පොරොන්දුව ඉටු නොවුනහොත් මසක් තුල යලි උපවාසය අරඹන බව පවසමිනි.

මෙම දේශපාලන සිරකරුවන් ප‍්‍රධාන කොටම සමන්විත වන්නේ, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව ගෙන ගිය යුද්ධයේ අවසාන අදියරට වසර කීපයකට පෙරාතුව හා යුද්ධය අවසන් වීමෙන් පසු රුදුරු ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ආන්ඩුවේ සන්නද්ධ හමුදා විසින් බලහත්කාරී ලෙස අත් අඩංගුවට ගැනුනු දෙමල ජාතිකයන්ගෙනි. වර්ගවාදී යුද්ධයේ අවසන් මාස කීපය තුල අත් අඩංගුවට ගැනුනු දෙමල රැඳවියන් 11,896 ක් මේ වන විටත් ‘පුනරුත්ථාපනයෙන්’ පසු නිදහස් කොට ඇති බැව් ආන්ඩුව පවසයි. පෙර දී එල්ටීටීඊයේ හොරනෑව ලෙස කි‍්‍රයාත්මක වූ ටීඑන්ඒ හි නායක ආර්.සම්පන්දන් මැයි 21 වන දා පාර්ලිමේන්තුව අමතමින් උපවාසය සම්බන්ධයෙන් ආන්ඩුව ගත් කි‍්‍රයා මාර්ගය පැසසුවේය.

රැඳවියන්ගේ උපවාසයට සමගාමීව, රැඳවියන්ගේ හා අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයෝ තම ආදරනීයයන් වහා නිදහස් කරන ලෙසත්, ආන්ඩුවේ මිලිටරි අත් අඩංගුවේ සිටින අයගේ නාම ලේඛනය නිකුත් කරන ලෙසත් ඉල්ලා මැයි 24 දා වවුනියාවේදී දිනක උපවාසයක් පැවැත්වූහ. මෙම අසරන පවුල් සම්බන්ධයෙන් ව්‍යාජ කැක්කුමක් මවා පාමින් දේශපාලන වාසි ගසා කෑම සඳහා ටීඑන්ඒ සහ වෙනත් පක්ෂවල මන්තී‍්‍රවරුන් කීප දෙනෙකු මෙම උපවාසයට සහභාගි විය.

මේ අතර මැයි 20 දා, ‘චෝදනා ඉදිරිපත් කිරීම, පුනරුත්ථාපනය කිරීම හෝ නිදහස් කිරීම’ සඳහා මසක් තුල වේගවත් පියවර ගන්නා බවට ආන්ඩුව දුන් සහතිකය රැගෙන වැලිකඩ බන්ධනාගාරයේ උපවාසයේ යෙදී සිටි සිරකරුවන් පිරිසක් හමුවීමට ගිය ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු දෙදෙනෙක්, උපවාසය නතර කරන ලෙස ඉල්ලා සිටි නමුදු සිරකරුවෝ එය ප‍්‍රතික්ෂේප කලහ.

දෙමල දේශපාලන සිරකරුවන් "ත‍්‍රස්තවාදී සැකකරුවන්” ලෙස නම් කරමින් ඔවුන් සිරභාරයේ රඳවා තැබීම සාධාරනීකරනය කිරීම වනාහි, තම දේශපාලන විරුද්ධවාදීන් "අපරාධකාරයින්” හෝ "ත‍්‍රස්තවාදීන්” ලෙස හංවඩු ගසා ඔවුන් දඬු ගසමින් තමාට එරෙහිව නැගෙන කවර හෝ විරෝධතාවක් මර්දනය කිරීම සඳහා ලොව පුරා ධනපති ආන්ඩු ගෙනයන කි‍්‍රයා මාර්ගයන්හි ශී‍්‍ර ලාංකික ප‍්‍රකාශනයකි. එල්ටීටීඊ ය විසින් තම දේශපාලන කි‍්‍රයාකාරකම් සඳහා ත‍්‍රස්ත ක‍්‍රමෝපායයන් යොදා ගත්තේ වුවද එය ත‍්‍රස්තවාදී සංවිධානයක් නොව දේශපාලන සංවිධානයකි. ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව විසින් මෙම සිරකරුවන් රඳවා ගෙන සිටින්නේ ඔවුන් එම දේශපාලනයේ යෙදුනු බැවින් සහ යෙදුනු බවට "සැක” බැවිනි. ඔවුන් නිශ්චිතව ම දේශපාලන සිරකරුවන්ය.

මෙම රැඳවියන් පිලිබඳ සවිස්තරාත්මක තක්සේරුවක් ඉදිරිපත් කරමින් "ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක රැඳවියන් හිරයේම තබයි ” Locked Away – Sri Lanka’s Security Detainees යන හිසෙන් 2012 මාර්තු 12 දා ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පල කල වාර්තාව "බලහත්කාරී සහ නීති විරෝධී රඳවා ගැනීම ශී‍්‍ර ලංකාව තුල නීතිය බල ගැන්වීමේ එදිනෙදා මෙවලම ලෙස පත්ව ඇතැ” යි සඳහන් කරයි.

ඇමති සිල්වාගේ ම තක්සේරුවට අනුව, ආන්ඩුවේ බන්ධනාගාර තුල එල්ටීටීඊට සම්බන්ධයැයි අත් අඩංගුවට ගත් 668 දෙනෙක් රඳවා ගෙන සිටින අතර එයින් 359 කට එරෙහිව නඩු අසා වරදකරුවන් බවට පත් කොට ඇත. අත් අඩංගුවේ සිටිනුයේ ත‍්‍රස්තවාදී "සැකකරුවන්” පමනක් බවට සිල්වා පවසන පචයේ පල්ල ඔහුගේම සංඛ්‍යා ලේඛන වලින් ම ගැලවී යයි.

කොලඹ, වවුනියාව සහ මන්නාරම යන නගර වල අලුතෙන් පිහිටුවීමට නියමිත මහාධිකරනයන්හි අනෙක් 309 දෙනාට විරුද්ධව නඩු අසා දඬුවම් පැමිනවීමට නියමිත බැව් සිල්වා තව දුරටත් පැවසීය. වැඩෙමින් පැවති විරෝධය යටපත් කිරීම සඳහා මෙම නව උසාවි පිහිටුවීම පිලිබඳ පොරොන්දුව දෙනු ලැබුවේ 2005 ටත් පෙරාතුව ය.

ඇමතිවරයා තවදුරටත් කරුනු දක්වමින් 2011 ආරම්භයේ සිට මේ දක්වා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පුද්ගලයින් 241 ක් අත් අඩංගුවට ගෙන ඇති බව පැවසූ අතර සැකකරුවන් සම්බන්ධ විමර්ශනය ජාතියේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බවද ඒ සඳහා සෑහෙන කාලයක් වැය වෙන බවද පැවසුවේය. නමුදු සිල්වා විසින් ප‍්‍රකාශ කොට ඇත්තේ බැලූ බැල්මට පෙනෙන සංඛ්‍යාවන් පමනකි. මිලිටරි අත් අඩංගුවේ සිටින දෙමල රැඳවියන් සංඛ්‍යාව ආන්ඩුව විසින් මෙතෙක් අනාවරනය කොට නැත. ති‍්‍රකුනාමලය නාවික හමුදා කඳවුර සහ බූස්ස රැඳවුම් මධ්‍යස්ථානය ඇතලු තවත් නොදන්නා ස්ථාන කීපයක දැඩි මිලිටරි සුපරීක්ෂනය යටතේ දහස් ගනනක් දෙමල ජාතිකයන් රඳවා ගෙන සිටින බවට විශ්වාස කෙරෙන අතර මෙම කඳවුරු නිරන්තර වධ හිංසා පැමිනවීම් පිලිබඳව කුප‍්‍රකටය.

ශී‍්‍ර ලංකාව තුල දිගු කාලීනව රඳවා ගෙන සිටින දෙමල රැඳවියන් වහාම නිදහස් කරන ලෙස හෝ ඔවුනට එරෙහි නඩු විභාග කඩිනම් කරන ලෙස ඉල්ලා යුරෝපා සංගමය කරන කැඳවුම, යුරෝපා සංගම් පාර්ලිමේන්තු නියෝජිත කන්ඩායමේ සභාපති ජීන් ලැම්බර්ට් විසින් මැයි මස මුල දී ශී‍්‍ර ලංකා ආන්ඩුවට දැනුම් දෙන ලදී. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ශී‍්‍ර ලංකාවේ විදේශ කටයුතු පිලිබඳ ඇමති ජී.එල්. පීරිස් හමුවූ මොහොතේ නැවතත් කියා සිටියේ පැරනි යුද කලාපය වහාම මිලිටරිහරනය කල යුතුබව හා එම ප‍්‍රදේශයේ සිවිල් මහජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතිය තහවුරු කල යුතු බවයි. යුරෝපා සංගමයේ හා එක්සත් ජනපදයේ මෙම බලපෑම්වල අරමුන ආසියානු කලාපය තුල එක්සත් ජනපදයේ ප‍්‍රධාන තරගකරු වන චීනයේ බලපෑමෙන් කොලඹ ආන්ඩුව දේශපාලනිකව හා මූලෝපායිකව දුරස්ථ කිරීමයි. ඒ හැර යුරෝපා සංගමයට හෝ එක්සත් ජනපදයට රටේ මානව හිමිකම් පිලිබඳ කවර හෝ උත්සුකයක් නොමැත.

පසු ගිය "ජය දින” සැමරුමේ දී පැරනි යුද කලාපය මිලිටරිහරනය කිරීමට කෙරෙන මෙම ජාත්‍යන්තර කැඳවුම හෙලා දකිමින් කතා කල ජනාධිපති රාජපක්ෂ කලාපය මිලිටරිහරනය නොකරන බව ඇඟවීය. යුද්ධය නිමාවී වසර තුනක් ගතව ඇති නමුදු මෙම කලාපය සාමාන්‍ය තත්වයට පත්ව නැත. මිලිටරි කඳවුරු සහ පොලිස් මුරපොල මානයේ මිනිස් ඝාතන, පැහැර ගැනීම් සහ කායික පහරදීම් දෛනිකව සිදු වෙමින් පවතී. මෙම කරුනු මගින් පෙන්නුම් කෙරෙන්නේ කලාපයේ ජීවත් වන දෙමල ජනයාට එරෙහි බිය වැද්දීම් හා කෙනහිලිකම් නොනවත්වා ඉදිරියට ගෙන යාමේ ආන්ඩුවේ සූදානමයි. ආන්ඩුවේ කප්පාදු පියවරයන් මගින් ජනිත කෙරෙන දරුනු ජීවන කොන්දේසිවලට හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරයන්ට එරෙහිව මතුවන කවර හෝ සමාජ-දේශපාලනික නොසන්සුන්තාවක් ලෙයින් මැඩීම මෙම යාන්ත‍්‍රනයේ අරමුනයි. මෙවන් පසුබිමක් තුල දෙමල දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ආන්ඩුව කරන මෙම ප‍්‍රකාශ ප‍්‍රලාපයන්ට වැඩි යමක් නොවේ.

මේ අතර තුර නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි පෙර-වාම පක්ෂ දේශපාලන සිරකරුවන් පිලිබඳ ප‍්‍රශ්නය ගසා කෑම සඳහා ධනපති ටීඑන්ඒ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන පෙරමුන සමග එක්ව සිටී. දෙමල රැඳවියන්ට සමාව දෙන ලෙස හෝ එසේ නොමැති නම් පුනරුත්ථාපනය කරන ලෙස ආන්ඩුවට පීඩනය යොදනු වස් කොලඹ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට පසුගිය 29 දා මෙම පක්ෂ එකතුව විරෝධතාවක් පැවැත්වූහ.

රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව කම්කරු පීඩිත මහජනතාව අතර වැඩෙන විරෝධය ධනපති පක්ෂ යටතට ගාල් කිරීම සඳහා මෙම පෙර-වාම නායකයින් ගෙනයන උද්ඝෝෂනයේ කොටසක් ලෙස මෙම විරෝධතාවයේ දී, දෙමල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධය ආරම්භ කල අන්ත දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය, එම යුද්ධයේ ප‍්‍රධානතම උද්ඝෝෂකයකු වූ සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන හා යුද්ධය මෙහෙය වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සටන් වදින්නවුන් ලෙස හුවා දැක්වින.

ටීඑන්ඒ ඇතුලු සියලු ධනපති පක්ෂ සහ ඔවුනගේ ආවතේවකරුවන් වන පෙර-වාම පක්ෂ ප‍්‍රතික්ෂේප කරමින් උතුරේ හා දකුනේ කම්කරු පන්තිය එක්ව ගොඩ නගන ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකින් තොරව දෙමල පීඩිත ජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් තහවුරු කල නොහැක. එවන් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වෙමින් ශී‍්‍ර ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් වැදිය යුතුය.

මෙම ඉදිරි දර්ශනය යටතේ සටන් වදිනුයේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) පමනි. සසප හා සසජාශි එක්ව "සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව වහාම නිදහස් කරනු” යන සටන් පාඨය යටතේ ජාතික හා ජාත්‍යන්තර පරිමානව ගෙන යන උද්ඝෝෂනය උතුරේ හා දකුනේ කම්කරු පීඩිත මහජනතාව තුල ඇති කරමින් පවතින බලපෑම සම්බන්ධයෙන් රාජපක්ෂ තන්ත‍්‍රයේ උත්සුකය මේ වන විටත් ප‍්‍රකාශයට පත්වී ඇත.

ඉහත උද්ඝෝෂනයේ කොටසක් ලෙස පසුගිය ජනවාරි 29 වන දින සසප විසින් යාපනයේදී පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම ආරක්ෂක අමාත්‍යාංශය විසින් තහනම් කල අතර හමුදා නිලධාරීන් යොදා ගනිමින් යාපනයේ සසප සාමාජිකයන්ට එරෙහි බිය වැද්දීම් සහ තර්ජනය කිරීම් නොකඩවා සිදු කරමින් පවතී. රාජපක්ෂ තන්ත‍්‍රයේ මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරයන්ට එරෙහිව උතුරේ සහ දකුනේ කම්කරු පන්තිය සසප උද්ඝෝෂනය වටා එක්වෙමින් ඉහත ඉදිරි දර්ශනය සඳහා සටන් වැදිය යුතුය.

Share this article: