යුරෝපීය නායකයින් ස්පාඤ්ඤ බැංකු බිඳවැටීම වලකා ගැනීමට දඟලන අතර උනුසුම ඉහල නඟී

Tensions mount as European leaders scramble to avert Spanish banking collapse

By Andre Damon, 8 June 2012

07දා ස්පාඤ්ඤයේ නය වර්ගීකරනය යලි වතාවක් පහත හෙලන ලද අතර එරට මූල්‍ය ආයතන බංකොලොත්වීමේ අද්දර වැනෙමින් තිබිය දී, ස්පාඤ්ඤ බැංකු ක්‍රමය බිඳවැටීම වලක්වා ගැනීම පිනිස යුරෝපීය නායකයෝ වලි කමින් සිටිති.

බැදුම්කර වර්ගීකරන ආයතනයක් වන ෆිච්, ස්පාඤ්ඤයේ නය වර්ගීකරනය ආයෝජන තත්වයේ ලා සලකද්දී පහතම අගය කරා එනම්, ඒ සිට බීබීබී දක්වා පහත හෙලනු ලැබිය. ස්පාඤ්ඤය අමතර මූල්‍ය සම්පත් සොයා නොගතහොත් එරට නය ආපසු ගෙවීමේ හැකියාව බුන්වත් තත්වයට බාල්දු කිරීමේ අවදානමට මුහුන පානු ඇතැයි ද එම ආයතනය අනතුරු අඟවා ඇත.

06දා ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය, යුරෝපීය නිලදරුවන් ස්පාඤ්ඤ බැංකුවලට ඇප දීමට කටයුතු කරමින් සිටින බව වාර්තා කලේය. පුවත්පත සඳහන් කලේ, අමාරුවේ වැටී ඇති බැංකුවලට ඇප දීම සඳහා යුරෝපීය සංගම‍ෙය් සෘජු මැදිහත්වීමක් වෙනුවෙන් කැඳවුම් කරන අතර තුර මෙම විකල්පය අවලංගු වන බවයි. ඒ වෙනුවට අරමුදල් බෙදාහැරෙනු ඇත්තේ බොහෝ විට ස්පාඤ්ඤ ආන්ඩුව හෝ එරට ගලවා ගැනීමේ අරමුදල හරහාය.

සිය බාල්දු කිරීමේ නිවේදනය නිකුත් කරමින් ෆිච් ආයතනය, ස්පාඤ්ඤයේ බැංකු ක්ෂේත්‍රය පිලිසකර කිරීමේ වියදම යුරෝ බිලියන 60-100 අතර එනම්, ඩොලර් බිලියන 75-126 අතර වනු ඇති බවට ගනන් බලා තිබේ. ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කලේ, ඇප දීමේ සාකච්ඡා යුරෝ බිලියන 80ක මට්ටමේ පවතිනු ඇති බවයි.

පුවත්පත පවසන්නේ ඇපදිම, ග්‍රීසියට හා පෘතුගාලයට නියම කරන ලද ආක්‍රමනකාරී රාජ්‍ය මූල්‍ය හා බාහිර නියාමන අවශ්‍යතාවන්ට වඩා ලිහිල් කොන්දේසිවලට ගැටගසනු ඇති බවයි. මෙය පිලිඹිඹු කරන්නේ, ස්පාඤ්ඤයේ විශාලත්වය සැලකිල්ලට ගැනීමේදී ග්‍රීසිය දනගැස්වූ අපදීමක් එරටට නියම කිරීමෙන්, සමස්ත යුරෝපයම පහතට ඇදගෙන යාම පිලිබඳ කනස්සල්ලයි. පුලුල් නව කප්පාදු නිර්දේශයන්ට බැඳ දමන ග්‍රීක වර්ගයේ ඇප දීමක් හා යථාර්තයක් බවට පත්ව තිබෙන ස්පාඤ්ඤ ස්වෛරීත්වයට (නය ගැනීමෙහිලා රජයේ හැකියාව) පහර වැදිමක් ජනතා ප්‍රතිරෝධයක් අවුලුවා එරට අගමැති මරියානෝ රාජොයිගේ දක්ෂිනාංශික ආන්ඩුව අස්ථාවර කරනු ඇතැයි යන්න පිලිබඳව ද බියක් පවතී.

රටේ හතරවන විශාලතම බැංකියා බැංකුව පසුගිය මාසයේදී ඉල්ලා සිටි යුරෝ බිලියන 19ක් වන ඇපදීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට ස්පාඤ්ඤයට හැකිවේ ද යන අවිනිශ්චිත භාවය හමුවේ රාජෝයි, තම රටේ බැංකු ක්‍රමය නඟා සිටුවීමට මැදිහත්වන ලෙස යුරෝ කලාපීය රටවලින් ඉල්ලා සිටියේය.

ස්පාඤ්ඤ බැංකුවලට ඇපදීම සඳහා කටයුතු සිදුවන්නේය යන සමපේක්ෂනය හා ෆෙඩරල් මහ බැංකුවේ සභාපති බෙන් බර්නාන්කෙ හා යුරෝපීය මහ බැංකුවේ සභාපති මාරියෝ ඩ්‍රාගි, තවදුරට් ආර්ථික තත්වයේ පල්ලම් බැසීමක් වැලැක්වීම පිනිස මූල්‍ය ලිහිල් කිරීම් යොදාගැනීමේ හැකියාව පිලිබඳව අදහස් පලකිරීම කෙරෙහි දැක්වුන ප්‍රතිචාරයක් වශයෙන් 07දා ව්‍යාපාර කොටස් මිල ඉහල ගියේය.

එදින උදේ කොන්ග්‍රසය හමුවේ අදහස් දක්වමින් බර්නාන්කෙ, මහ බැංකුවේ ජූනි 19-20 රැස්වීමේදී "පියවර ගැනීමට සූදානම්ව සිටින” බවත් "මේ අවස්ථාවේදී කිසිවක් මේසයෙන් ඉවත්කර ඇතැයි සැබවින්ම කිව නොහැකි” බවත් පැවසීය.

ආර්ථික පසුබෑම ආසියාවට පැතිරෙන තතු හමුවේ චීන මධ්‍යම බැංකුව, 2008 වසරෙන් පසුව පලමු වතාවට 07දා සිය පාදක පොලී අනුපාතය පහත හෙලිය. 2010 පලමු කාර්තුවේ සියයට 10.4ක්ව තිබුනු ර‍ෙටහි වර්ධන අනුපාතය මේ වසරේ එම කාලයට සියයට 8.1 දක්වා පහත වැටී ඇත. දෙවන කාර්තුවේ චීන වර්ධනය ඊටත් වඩා පහත වැටීමේ මාවතට ආර්ථිකය පසු බසිනු ඇතැයි මෑත සංඛ්‍යාවලින් ඇඟවුම් කෙරේ.

ෆුට්සි කොටස් මිල දර්ශක‍ෙය් දෙසැම්බරයෙන් පසු වාර්තාවූ සියයට එකක ලොකුම වැඩිවීමත් සමග ආසියානු හා යුරෝපීය කොටස් වෙලඳපොලවල නැගීමට ද චීන පොලී අනුපාත පහත හෙලීම දායක විය.

එදිනම ස්පාඤ්ඤ භාන්ඩාගාරය, පසුගිය අප්‍රේල් මාසයේ නිකුත් කල නය සුරැකුම් සඳහා නියමිත පොලී අනුපාතයට වඩා ඉහල පොලියක් මත වුවත් යුරෝ බිලියන 2.07ක් බැඳුම්කර අලෙවි කිරීමට සමත් විය. මෙම වසරේ පලමු කාර්තුව තුල යුරෝ බිලියන 100ක ප්‍රාග්ධනයක් රටෙන් ඉවතට ගලාගොස් ඇති බව ස්පාඤඤ ආන්ඩුව, මෑතක නිකුත්කල සංඛ්‍යාවලින් හෙලිවී තිබේ.

නරක ආර්ථික ප්‍රවෘති නොකඩවා ගලාඒම මධ්‍යයේ ස්පාඤඤ බැංකු සඳහා ආධාර කල යුතු බවට යෙදෙන පීඩනය වැඩිවෙමින් තිබේ. 07දාම ග්‍රීසියේ සංඛ්‍යාලේඛන කාර්යාංශය, පෙබරවාරියේ පැවති සියයට 21.4 සිට මාර්තු මාසයේදී සියයට 21.9ක් දක්වා විරැකියා අනුපාතය වැඩිවී ඇති බව වාර්තා කලේය. මෙය 2011මාර්තුවේ පැවතියාට වඩා සියයට 15.7ක වැඩිවීමකි. ප්‍රන්සයේ විරැකියා අනුපාතය වසරේ මුල් කාර්තුවෙහි ඊට පෙර කාර්තුවේ පැවති සියයට 9.8 සිට සියයට දහය ඉක්මවා ඉහල ගියේය.

ස්පාඤ්ඤ බැංකු ක්ෂේත්‍රයට මුක්කු ගැසීම සඳහා විවිධ යුරෝපීය බලවතුන් කුමන හෝ ගිවිසුමකට එලඹ ගත්ත ද එය, යටින් දිවෙන ගැටලු විසඳීමට අසමත්වූ හා අර්බුදයේ ඊලඟ පිපිරීමට මග පාදන ලද සියලු පූර්ව පියවරයන් මෙන්ම වේල පිරිමහ ගැනීමේ පොරොප්පයක් පමනක් වනු ඇත. මේ අතර ප්‍රමුඛ යුරෝපීය බලවතුන් අතර ආතතීන් උනුසුම් වෙමින් තිබේ.

යුරෝපීය සංගමය බිඳී යාම වැලැක්වීමට සවිමත් පියවර ගැනීම සඳහා සහායවන ලෙස ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල්ගෙන් ඉල්ලා සිටීම පිනිස බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරොන් 07දා බර්ලිනයට පැමිනියේය. යුරෝ ඇපදීමේ අරමුදල වැඩිකරන ලෙසත්, පොලී අනුපාත පහත හෙලන ලෙසත් "යුරෝ බැඳුම්කර” මගින් යුරෝ කලාපය පුරා ඇති නය සියල්ල එක ගොඩකට ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. එනම් යුරෝව ප්‍රයෝජනයට ගන්නා සියලු රටවල් ගෙන ඇති නය සියල්ල එක් ගොඩකට ගැනීමයි.

සංචාරයට පැය කිහිපටකට පෙර මර්කෙල් මෙම ප්‍රශ්න පිලිබඳව ඇගේ දෘඪ භාවය ඇගවුම් කරමින් "මූල්‍ය ඒකාග්‍රකරනය” ජර්මනියේ තව දුර ආධාර වෙනුවෙන් පූර්වඅවශ්‍යතාවක් බව පැවසුවාය. මේ මගින් මර්කෙල් අදහස් කලේ, යුරෝපයේ අයවැය පිලිබඳ අධිකාරයත් දේශපාලන තීන්දු ගැනීමත් යුරෝපීය සංගමය වෙත පැවරිය යුතු බවය. එයින් යුරෝපය පුරා තවත් ගැඹුරු අයවැය කප්පාදු හා කම්කරු පන්තිය මත වෙනත් සමාජ ප්‍රහාර එල්ල කෙරෙනු ඇත.

යුරෝපීය රටවල් පිලිබඳ ජර්මානු ප්‍රතිපත්තියේ මූලික අන්තර්ගතය, එනම්, ඒවා සිය ස්වෛරීත්වය හා සමාජ පිලිවෙත් පාලනය යුරෝපීය සංගමය වෙත හා ඒ නිසා යුරෝ කලාපයේ බලගතුම ආර්ථිකය වන ජර්මනිය වෙත පවරා දීම බව සුඩේයෙට්ෂෙ සේතුං යන දිනපතා ජර්මානු පුවත්ප‍තෙහි පලවූ ප්‍රකාශයක් තුල කැටිකර දක්වා තිබුනි. එහි මෙසේ සඳහන් වෙයි. "යුරෝව හා ඓතිහාසිකව පෙර නොවූ විරූ ව්‍යාපෘතියක් වන එක්සත් යුරෝපය ගලවාගත යුතු නම්, වඩාත් බලගතු රාජ්‍යයන් දෙක සිය වඩාත්ම වටිනා සම්පත් දෙක අත්හල යුතුය. එනම් ජර්මනිය එහි මුදල් ද ප්‍රන්සය එහි ස්වෛයිරීත්වය ද වේ.”

යුරෝපීය අර්බුදයට මුහුන දිය යුත්තේ කෙසේ ද යන්න අරභයා පාලක පන්තීන් තුල වැඩෙන ගැටුම්, ප්‍රමුඛ ධනපති විචාරකයින්ගේ ගැඹුරු කනස්සල්ලට හේතුවී තිබේ. ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ 05දා පල කල ප්‍රකාශයක් තුල මාටින් වුල්ෆ් සඳහන් කරන දේ කැපී පෙනෙන නිදසුනකි. "උමතුව සහේතුක දෙයක් බවට පත්ව තිබේ.”

ඔහු මෙසේ අනතුරු අඟවයි. "බටහිර අවපාතයක් අන්තර්ගත කරගෙන සිටියි. එය ගොඩනැ‍ඟෙමින් ඇති තවත් රූටායාමකට බල කරයි. ඒ සියල්ලටත් වඩා යුරෝ කලාපයේය. මේ අතර ප්‍රතිපත්ති සම්පාදකයෝ දැවැන්ත වැරදි කරමින් සිටියි.”

ගෝලීය මූල්‍ය ක්‍රමය වේගයෙන් දියවී යාමට තුඩුදුන් 1931 වසරේ ඔස්ට්‍රියාවේ ක්‍රෙඩිටැන්ස්ටෝල්ට් බැංකුව බිඳ වැටීම ගැන වුල්ෆ් සඳහන් කරයි. "දැන් බිය පලවන්නේ, බැංකු හා ස්වෛරීත්ව (රාජ්‍ය) අසාර්ථකත්වයක්, යුරෝ කලාපය තුල එවැනිම දියවීමකට හේතු විය හැකිය යන්න පිලිබඳවය. ලෝකයට දැන් ඇති සමීපම දෙය වන්නේ රන් මිනුමයි.”

"හොඳ නය හිමිකම් ඇති අය පීඩාවට ලක්ව සිටින අයට උදව් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, පසුව කී අයට ගැලවී ගත නොහැකිවනු ඇත. පද්ධතිය නිසැකයෙන්ම වැනසී යනු ඇත.”

මහා අවපාතයෙන් පසුව කඩා වැදුනු ධනවාදයේ විශාලම අර්බුදයෙන් ගැලවී ගැනීමේ කිසිදු මාවතක් නොදකින ගෝලීය පාලක පන්තීන්ගේ පක්ෂඝාතයට ආසන්න තත්වය හා සංකීර්නත්වය වුල්ෆ් ප්‍රකාශයට පත් කරයි.

යුරෝව රැකගැනීමේ බිල ගෙවන්නේ කවරෙක් ද හා යුරෝ කලාපය බිඳී යාමේ වාසි කෙලින්ම කිරා මැන බලන කොටස් ද වශයෙන් ඔවුහු ඔවුන් අතරම බෙදී සිටිති.

මෙම වැඩෙන ආතතීන් තිබිය දී ම යුරෝපයේ හා ඇමරිකාවේ පාලක පන්තීන්, අර්බුදය වෙනුවෙන් කම්කරු පන්තිය ලවා ගෙවීමට සැලැස්විය යුතුය යන අධිෂ්ඨානය මත එක්සත්ය.

Share this article: