පුලුල් මැදිහත්වීමක් සඳහා එක්සත් ජනපද‍යේ තල්ලුවත් සමග සිරියාවේ සටන් තීව්‍ර වෙයි

Fighting intensifies in Syria as US pushes for expanded intervention

By Patrick Martin, 11 June 2012

මාස 15කට පෙර ජනාධිපති බෂාර් අල්-අසාද් තන්‍ත්‍රයට එරෙහි උද්ඝෝෂන ඇරඹුනායින් පසුව දමස්කස් අගනුවර දරුනුම සටන් ඇවිලී තිබෙන බව මාධ්‍ය වාර්තා කලේය. සති අන්තයේ දී සිරියානු ආන්ඩුවේ හමුදා හා එක්සත් ජනපදයේ අනුබලය සහිත විපාර්ශ්වය අතර සටන් පැතිර ගියේය.

දමස්කස්හි දී අසාද් විරෝධී තුවක්කුකරුවන් විදුලි බලාගාරයකට හා තෙල් බිම්වල වැඩ කරන රුසියානු කම්කරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස්රියකට වෙඩි තැබූ බව බීබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කලේ ය. ආන්ඩුවේ හමුදා ඊට ප්‍රතිචාර වශයෙන් ක්වාබවුන් උතුරු දිස්ත්‍රික්කයට දැඩි ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කල අතර ගෙවල් සෝදිසිකරමින් හා යුද ටැංකි යොදාගනිමින්, ප්‍රධාන ඇමරිකානු ගැති සන්නද්ධ කන්ඩායම වන සිරියාව නිදහස් කරනු හමුදාවේ (එෆ්එස්ඒ) කන්ඩායම් සමග වෙඩි හුවමාරු කර ගත්හ.

අගනුවර පැවති විපක්ෂයේ පලමු සන්නද්ධ පෙලපාලිය හා රැලියක ප්‍රසිද්ධියේ පෙනී සිටි එෆ්එස්ඒ තුවක්කුකරුවෝ, සිකුරාදා දමස්කස් උපනගරයක් වන ක්ෆාර් සෝසේහි ද දක්නට ලැබුනු බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කලේ ය.

දමස්කස්හි අසල්වැසි ප්‍රදේශ වන බර්ෂේ හා මෙසේහි ද සටන් වාර්තා වුන අතර ඇසින් දුටු, නමුත් නිර්නාමික සාක්ෂිකරුවන්, හමුදාව ප්‍රථම වතාවට අගනුවර තුල යුද ටැංකි ප්‍රහාර එල්ල කල බව බටහිර මාධ්‍ය වෙත සඳහන් කර තිබුනි. කෙසේ නමුත්, පසුව මෙම ප්‍රදේශයකට ගිය බීබීසී වාර්තාකරුවෙකුට යුද ටැන්කි ප්‍රහාරයක සාක්ෂි සොයා ගත නොහැකි විය.

10දා එරට හතරවැනි විශාලත ම නගරය වන හෝම්ස් ආසන්නයේ ගම්වල හා 2011 මාර්තු 17වැනිදා අසාද්ට විරුද්ධව පලමු විරෝධතා පෙලපාලිය පැවති දකුනු සිරියාවේ ඩෙරා නගරය තුල ද දරුනු ෂෙල්වෙඩි ප්‍රහාරයන් ගැන වාර්තා විය. සිරියාවෙන් පිටත ක්‍රියාත්මක වන විරුද්ධ කන්ඩායම් හෝම්ස්හි මරන 38ක් හා ඩෙරාහි 17ක් වශයෙන් තහවුරු නොකල විපත් සංඛ්‍යාවක් වාර්තා කලහ.

විරුද්ධ පක්ෂ ප්‍රකාශකයින් මෙම අපරාධ අසාද් තන්ත්‍රයට පක්ෂපාතී හමුදාවල ඒකපාර්ශ්වීය ක්‍රියාවන් ලෙස පින්තාරු කිරීම දිගට ම කරගෙන යන අතර, ඩැමස්කස් හා අලේපෝ අතර මුළලු කලාපය ම අයත් වන රටේ මධ්‍යම කොටස පුරා තීව්‍රවන ගැටුම් පිලිබඳව එක දිගට මාධ්‍ය වාර්තා පලවෙයි.

මැක්ක්ලැචි ප්‍රවුත්ති සේවය මෙලෙස වාර්තා කලේ ය: "දැන් කැරලිකරුවෝ උතුරු හා මධ්‍යම සිරියාව තුල පුලුල්වන බිම් තීරුවක් පාලනය කරති. ඔවුහු ආයුධ ගබඩා කිරීම හා නිෂ්පාදනය කිරීම සහ මීට පෙර රටේ සාපේක්ෂව සාමකාමීව පැවති කොටස් තුල ආන්ඩුවේ හමුදාවන්ට ප්‍රහාර එල්ල කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස එය පාවිචිචි කරති. සිරියානු ආන්ඩුවේ ප්‍රවෘත්ති සේවය වන සානා අනුව, මැයි මාසයේ දී කැරලිකරුවන් සමග සටන්වල දී ආන්ඩුවේ සොල්දාදුවන් හා පොලිස් නිලධාරීන් අඩු වශයෙන් 404ක් ජීවිතක්ෂයට පත්ව ඇත.”

එෆ්එස්ඒ හමුද නිලධාරීහු සෞදි අරාබි සැපයුම් මාර්ග හරහා ලැබූ නව ආයුධ ප්‍රදර්ශනය කල අතර තමන්ට මුදල් ගලා ඒම ගැන ද කයිවාරු ද ගැසූහ. එෆ්එස්ඒ තම ප්‍රාදේශීය සටන් කරුවෙකුට ඩොලර් 50ත් 100ත් අතර දීමනාවක් ගෙවීම අරඹා ඇති බව වොෂින්ටන් පෝස්ට් වාර්තා කලේ ය.

"එක්සත් ජාතීන්ගේ සටන් විරාමය සමග එකඟ වන ලෙස හා සිවිල් වැසියන් ඝාතනය නතර කිරීමට සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට පීඩනය යෙදීමට ලෝක අවධානය යොමුව පවතින අතර එෆ්එස්ඒ, ආන්ඩුවේ හමුදාවන්ට එරෙහි තම ප්‍රහාර ඉහල නංවමින් සිටී. ලිහිල් ව සංවිධානය වූ සිරියාව නිදහස් කරනු හමුදාව ද තවදුරටත් සටන් විරාමය පිලිනොපදින බව දැන් පිලි ගනී...” යයි වොෂින්ටන් පෝස්ට් 09දා වාර්තා කලේ ය.

ඔබාමා පාලනය, සෞදි අරාබිය හා කටාර් වැනි ගල්ෆ් ආන්ඩු එස්එෆ් හමුදාවට ආයුධ හා මුදල් පොම්ප කිරීමට ගන්නා උත්සාහය අනුමත කර ඇතැ යි වොෂින්ටන් පෝස්ට් සටහන් කලේ ය. අලේපෝ හා තුර්කියේ උතුරු සිරියානු දේශසීමාව අතර ප්‍රදේශය තුල හා ලටකියා වරාය වටා බටහිර කලාපය තුල අභ්‍යන්තර සිවිල් යුද්ධ පෙරමුනු දෙකක් ගැන ද එය වාර්තා කලේ ය.

ආන්ඩුවේ සානා ප්‍රවෘත්ති ඒජන්සිය, ලටකියා හා ඉඩ්ලිබ්හි එස්එෆ්ඒ අල්ලාගත් ප්‍රදේශ අතර ඇති හෆ්ෆා නගරය තුල දැඩි සටන් පවතින බව තහවුරු කල අතර "ත්‍රස්තවාදී කන්ඩායම්” නගරයේ ජාතික රෝහලට ගිනි තැබීම ඇතුලු "සහාසික” අපරාධ සිදු කල බව ද වාර්තා කලේ ය.

සිරියාව කට්ටිවාදී සිවිල් යුද්ධයක අත ලඟ සිටින බව පැවසෙන අනතුරු ඇඟවීම් විශාල සංඛ්‍යාවක් සති අන්තයේ දී නිකුත්ව තිබුනි. මේ අනුව අලාවිට්, සුන්නි, ක්‍රිස්තියානි, ඩ්රූස් හා කුර්දි යන එක් හෝ වෙනත් කට්ටිවාදී හෝ වාර්ගික අනුගාමිකයන් ලේවැකි ප්‍රචන්ඩත්වයක පදනම වීමට ඉඩ ඇත.

සිරියාව තුල වාර්තා වූන සංහාරයන් පෙලක් ගැන අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්, 1990 ගනන්වල බොස්නියාව බවට එරට පත්වීමට පටන් ගෙන ඇතැයි පැවසීය. "අසැල්වැසි ගම්මාන එකිනෙකාට පහරදෙමින්, මරාගනිමින් සිටිති. අපි විශාල පරිමානයේ කට්ටිවාදී මිනීමැරුම් අද්දර සිටින්නෙමු” යයි ඔහු කීවේ ය.

හේග්ගේ අදහස් දැක්වීම, සිරියාව තුල "මානුෂීය” මැදිහත්වීමක් පිටුපස මහජන මතය රැලිකිරීමට ඉලක්ක කෙරෙයි. සුලුතර අලාවිට් නිකාය ජනාකීර්න ගම්වලින් බඳවාගෙන ඇති නිල නොවන හමුදා ඊට වගකිව යුතුව ඇතැයි යන්න වෙනුවට හවුලා හා කුබේර් ඝාතන අසාද් තන්ත්‍රය විසින් ම සිදුකලා යයි ඉඟිකරමින්, එරට බොස්නියාවට සමාන කිරීම පරස්පරවිරෝධී ය.

අසාද් පවුල අයත් වන ෂීයයිට් ඉස්ලාම් ශාඛාවක් වන සුලුතර අලාවිට් නිකාය හා සුන්නි මුස්ලිම් බහුතරය අතර කට්ටිවාදී ප්‍රචන්ඩත්වයට සිරියාව මුහුන දෙමින් සිටී යයි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කොෆී අනාන් ද අනතුරු අඟවා ඇත.

"ප්‍රචන්ඩ ක්‍රියා සිදුවෙන සමහර අලාවිට් නගර තියෙවනවා, අපි ඒවායින් පලිගන්නෙමු” යි ප්‍රකාශ කල එක් එෆ්එස්ඒ තුවක්කු කරුවෙකු උපුටා දක්වමින් කට්ටිවාදී පලිගැනීම් එබඳු යැයි වොෂින්ටන් පෝස්ට් වාර්තා කලේ ය.

කට්ටිවාදී ප්‍රචන්ඩත්වයේ ප්‍රධාන වගකීම, තමන්ගේ ම ප්‍රතිගාමී අවශ්‍යතා වෙනුවෙන් සිරියාවේ හා කලාපයේ අනෙකුත් රටවල සංකීර්න නිකායික හා වාර්ගික බෙදීම් ගසාකෑමට උත්සාහ ගෙන ඇති අධිරාජ්‍යවාදී බලවතුන් මත පැටවෙයි. මේ ආකාරයෙන් ම, එක්සත් ජනපද ආක්‍රමනිකයා කෙරෙහි පලවන විරෝධය ඉවතට හැරවීමේ හා මර්දනය කිරීමේ මාධ්‍යයක් ලෙස බුෂ් පාලනය, 2006 – 2007 කාලයේ ඉරාකය තුල සුන්නි හා ෂියයිට් සටන්කරුවන් අතර ලේ විලක් නිර්මානය කලේ ය.

ඔබාමා පාලනය, අසාද් තන්ත්‍රය පෙරලා දැමීම පිනිස සම්බාධක හා සම්පූර්න හමුදා මැදිහත්වීම තීව්‍රකිරීම සඳහා මෙහෙයවන එක්සත් ජනපද උද්ඝෝෂනයට රුසියාව එකඟ කර ගැනීම සඳහා එරට මත දැඩි පීඩනයක් යොදමින් සිටී. මාධ්‍ය වාර්තාවන්ට අනුව 08දා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිත ප්‍රෙඩ් හොෆ් රුසියානු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට මොස්කව්වලට ගිය අතර ප්‍රතිඵල අල්ප විය.

හොෆ්ගේ දූත මෙහෙවරින් පසු රුසියානු විදේශ ඇමති සර්ගේයි ලව්රෝව්, සිරියාව තුල හමුදා මැදිහත්වීමක් අනුමත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය ගෙනෙන ඕනෑ ම යෝජනාවකට දිගට ම විරුද්ධ වන බව කීවේ ය. බ්‍රිතාන්‍ය, ප්‍රන්සය හා එක්සත් ජනපදය සම්බන්ධයෙන් ඔහු කීවේ බාහිර බලවේග "ලිබියානු සිදුවීම් ” නැවත සිදුවෙනු ඇතැ යි බලාපොරොත්තුවෙන්, සිරියාව තුල සන්නද්ධ කන්ඩායම් දිරිගන්වමින් සිටි බව යි.

එක්සත් ජනපදය තුල සිරියාවට එරෙහි උද්ඝෝෂනය එන්ට එන්ටම විවෘත රුසියානු විරෝධී ස්වභාවයක් ගෙන ඇත. බ්‍රහස්පතින්දා සෙනේට් සභා රැස්වීමට කල කතාවක දී, හමුදා මැදිහත්වීම පිලිබඳ ප්‍රමුඛ රිපබ්ලිකානු පක්ෂ උපදේශකයෙකු වන සෙනේට් සභික ජෝන් මැකේන්, "සිරියාව තුල එක්සත් ජනපද ප්‍රතිපත්ති අසාද්ගේ හමුදා ශක්තිමත් කරමින් සිටින රුසියානු නායකයින්ගේ අනුමැතියට යටත් බව දැන් පෙනී යන්නේ ” යයි පැමිනිලි කලේ ය.

"සිරියාව තුල ලේ හැලීම් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් මගින් නැවත් විය හැකිය යන මිත්‍යාව” හෙලාදකිමින් හා "ව්ලැඩිමීර් පුටින් රුසියාව තුල වැලැක්වීමට සටන් කරන දේශපාලන ආදර්ශයක් දමස්කස් තුල ස්ථාපිත කිරීමට” රුසියාවෙන් සහායක් බලපොරොත්තු විය නොහැකි යයි ප්‍රකාශ කරමින් වොෂින්ටන් පෝස්ට් පත්‍රය සඳුදා කතුවැකියක් පලකලේ ය. "සිරියාව තුල සංක්‍රමනය ඇරඹෙන්නේ අසාද් මහතාට දැඩි බලයක් මුනගැස්වීමෙන් පමනි ” යනුවෙන් පවසන කතුවැකිය මුලුමනින් ම හමුදා මැදිහත්වීමක් ඉල්ලා සිටියේ ය.

එදින ම නිව් යෝක් ටයිම්ස් පත්‍රය "අසාද්, ඝාතකයා” යන ශීර්ෂ පාඨය සහිතව ඒ හා සමාන ම කතුවැකියක් පලකලේ ය. ප්‍රධාන අනදෙන නිලධාරියා වශයෙන් ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් හා බැරක් ඔබාමා ඇතුළු ඇමරිකානු ජනාධිපතිවරු සිදුකර තිබෙන ඝාතන සමග ගත් කල සිරියානු පාලකයාගේ ඝාතන අඟුටුමිටි බවට පත් කරන නමුත් ටයිම්ස් පත්‍රය කිසිදාක ඔවුන්ට එම “ ඝාතකයා” යන ලේබලය අලවා නොමත.

ජනඝාතක ඉරාක අවි පිලිබඳ මුසාවාද හා ලිබියාව තුල පාලන තන්ත්‍ර වෙනසක් සඳහා සිදුකල ලේවැකි මැදිහත්වීම ආරක්ෂා කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කල ටයිම්ස් පත්‍රය ව්‍යාජ ලෙස මෙසේ ලීවේ ය, "සිරියානු ඒකාධිපතියා සන්නද්ධ කිරීම මගින් රුසියාව හා චීනය මේ වන විටත් තම අත්වල ලේ තවරාගෙන ඇත.”

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සඳහා අසාද්ට චෝදනා කිරීමට හා මුලුමනින් ම ආයුධ සම්බාධක පැනවීම සඳහා කතුවැකිය මොරදුන්නේ ය. අනාන්ගේ රාජ්‍යතාන්ත්‍රික උත්සාහය අසාර්ථක බව එහි සඳහන් කරන අතර “එය කර ඇති සියල්ල නම්, රුසියාව, චීනය හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬලයේ අනෙකුත් සාමාජිකයන්ට ඔවුන්ගේ අලසකමට සමාවගැනීමට තවත් සති හයක් කල් ලබා දීම.” බව එය සඳහන් කරයි.

Share this article: