ගී‍්‍රක ලතෝනිය

The Greek agony

10 March 2012

1984 නමැති සිය නව කතාව තුල, ජෝර්ජ් ඕර්වෙල්, යථාර්ථය ඔලුවෙන් සිටුවන දෘෂ්ටිවාදාත්මකව ආරෝපිත භාෂාවක් වෙනුවෙන් "නවකථනය” නම් වූ පදයක් හඳුන්වා දුන්නේය. ගී‍්‍රක ආන්ඩුවේ නයවල වටිනාකම අඩු කිරීමට යොදා ගැනුනු "කප්පාදුව” යන පදය නවකථනයේ වචන මාලාවට එක් කල යුතුය.

මූල්‍ය වෙලඳපොලවල "කැපකිරීමක්” ලෙස ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කෙරුනු, ඔවුන්ගේ ගී‍්‍රක සුරැකුම්පත්වල වටිනාකමෙන් හරි අඩකට වැඩි ප‍්‍රමානයක් අතහැර දමමින්, පුද්ගලික නය හිමියන් ලබා දුන් "සහනය”, තථ්‍ය වසයෙන් ගත් කල බැංකු සඳහා දුන් මූල්‍ය තෑග්ගකි.

නය හිමියන්ගෙන් සියයට 86කට ආසන්න පිරිසක් අඟහරුවාදා රාති‍්‍රයේ දී එකඟ වූ නය හුවමාරුව ගී‍්‍රක රාජ්‍යය බංකොලොත් වීම වැලැක්වීමට සමත් නොවනු ඇත. එය එවන් බංකොලොත් වීමක බර පුද්ගලික අංශයෙන් රාජ්‍ය අංශය මත මාරු කිරීම මගින් එය හුදෙක් කල්දමනවා පමනි. රාජ්‍ය අංශය මත ගී‍්‍රක නයවලින් හතරෙන් පංගුවක් පමන වැටෙනු ඇත.

සත්තකින්ම, ජාත්‍යන්තර හුවමාරු සහ ව්‍යුත්පන්න සංගමය සිකුරාදා තීන්දු කලේ, සමහර පුද්ගලික සුරැකුම්පත් හිමියන්ට නය හුවමාරුවට බල කෙරුනු බැවින්, ප‍්‍රතිව්‍යුහකරනය "නය සිද්ධියකින්” යුක්ත වන බවයි. එය ගී‍්‍රක සුරැකුම්පත් සම්බන්ධයෙන් ඇති කර ගැනුනු නය පැහැරහැරීම්වලින් ආරක්ෂා කරන ගිවිසුම් වෙනුවෙන් ඩොලර් බිලියන 3ක ගෙවීම් අවුලුවාලීය. ගිවිසුම යුරෝපීය හා ගෝලීය මූල්‍ය අර්බුදය විසඳා නැති බවත් සිදු වී ඇත්තේ, පෘතුගාලයේ, ස්පාඤ්ඤයේ, ඉතාලියේ හා ප‍්‍රන්සයේ පවා නය මත නව සමපේක්ෂක ප‍්‍රහාරයකින් වැඩ පටන් ගනිමින්, මූල්‍ය අර්බුදය උත්සන්න වීම සඳහා වේදිකාව සැකසීම බව, මෙමගින් අවධාරනය කෙරෙයි.

නය කප්පාදුව පුද්ගලික නය හිමියන්ට ගෙවීමට ඇති ගී‍්‍රක ආන්ඩුවේ නය යුරෝ බිලියන 107ක උපරිමයකින් අඩු කරයි. එමෙන්ම, රාජ්‍ය නය හිමියන්ට ගෙවීමට ඇති ගී‍්‍රක නය යුරෝ බිලියන 130කින් ඉහල යයි. මෙය යුරෝපා සංගමය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ලැබෙන දෙවන ගී‍්‍රක මූල්‍ය පැකේජයේ ප‍්‍රමානයයි. එය සාමාන්‍යයෙන් "ගලවා ගැනීමේ අරමුදල” ලෙස හඳුන්වනු ලැබුවත්, එය මුදල් ප‍්‍රදානයක් නොව, ගී‍්‍රසිය පොලියත් සමග ගෙවිය යුතු නය මුදලකි.

මෙම යුරෝ බිලියන 130 පැකේජය ගී‍්‍රක අයවැයට වාසියක් ගෙන නොඑයි. නිසැකව ම එය ගී‍්‍රක ජනගහනයට වාසියක් අත්පත් කර නොදෙයි. ඒ වෙනුවට එය පුද්ගලික මූල්‍ය ආයතනවල සේප්පු තුලට සෘජුව ම යයි. යුරෝ බිලියන තිස් පහක්, නය කප්පාදුව පිලිගැනීමට ජාත්‍යන්තර නය හිමියන් පොලඹවාලනු පිනිස "රසකාරකයක්” ලෙස වෙන් කෙරෙයි. යුරෝ බිලියන 23ක් ගී‍්‍රක පුද්ගලික බැංකු ගලවා ගැනීම පිනිස යෙදවෙන අතර ගී‍්‍රක බැංකුවලට ද්‍රවශීලතාව සැපයීම දිගටම කරගෙන යාමේ හැකියාව යුරෝපීය මහ බැංකුවට ලැබෙන පරිදි, යුරෝ බිලියන 35ක් එය වෙනුවෙන් ඇප ලෙස වෙන් කෙරෙයි. ඉතිරි මුදල් නොගෙවා පවතින නය හා පොලී ගෙවීම පිනිස යොදා ගැනෙනු ඇත.

නය කප්පාදුව ගී‍්‍රසියේ නය අඩු කරනවා නොව වැඩි කරයි. 2020 වන විට මුලු නය ප‍්‍රමානය ගී‍්‍රසියේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 120 දක්වා අඩු කිරීමේ ඉලක්කය සපුරාගැනෙනු ඇත්තේ, ජනගහනයේ පුලුල් කොටස්වල ජීවන මට්ටම් දශක ගනනාවකින් ආපස්සට ඇද දමනු ඇති හුදෙක් කප්පාදු පිලිවෙත් හරහාය.

අනෙක් අතට, පුද්ගලික ආයෝජකයන් සඳහා නය කප්පාදුව වාසි සහගත ගිවිසුමකි. අන්්තිමට ඒවායේ නාමික අගයෙන් සියයට 30 සිට 40 දක්වා අඩු ගනනකට අලෙවි කෙරුනු ඔවුන්ගේ ගී‍්‍රක සුරැකුම්පත්වලට හිලව් වසයෙන්, ජාත්‍යන්තර ඇපකරුවන් ඒවායේ මිදැවීම හා ආපසු ගෙවීම ආවරනය කිරීම මගින් පිටුබලය ලැබෙන, දල වසයෙන් සියයට 50ක වටිනාකමකින් යුක්ත නව සුරැකුම්පත් ඔවුනට ලැබෙනු ඇත.

විශේෂඥයන් අතර, නය කප්පාදුවේ සැබෑ අර්ථය රහසක් නොවේ. එක්සත් ජනපද අර්ථ ශාස්ත‍්‍රඥ නොරියෙල් රුබිනි, අඟහරුවාදා ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රයට ලියූ ලිපියක් තුල, "රාජ්‍ය අංශය කිසිදු ගෙවීමකට යටත් නොවී ලිස්සා යද්දී, පුද්ගලික නය හිමියන් ගී‍්‍රක නය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ දී සැලකිය යුතු පාඩු භාර ගෙන ඇත” යන්න "මිථ්‍යාවක්” ලෙස හැඳින්වීය.

රුබිනි මෙසේ නිගමනය කලේය: "යථාර්ථය නම් හොඳ කාලවල දී ලැබෙන වාසි බොහොමයක් පුද්ගලීකරනය කෙරුනු අතර පාඩු බොහොමයක් සමාජකරනය කෙරී ඇති බවයි.”

ෆිනෑන්ෂල් ටයිම්ස් ඩොච්ලන්ඩ් පත‍්‍රයේ සිකුරාදා කතුවැකිය ද ඊට සමාන නිගමනයකට ලඟා වේ. එය මෙසේ ලියයි: "පුද්ගලික නය හිමියන්ගේ සහභාගිත්වයෙන් අදහස් කෙරෙන්නේ ගී‍්‍රක ගලවා ගැනීමේ බර කොහොම නමුත් වඩා සාධාරන ලෙස බෙදී ඇති බවයි යනුවෙන් විශ්වාස කරන අයට වැරදී තිබේ. ගී‍්‍රක ගලවාගැනීමේ පැකේජයේ විශාල කොටසක් වෙනුවෙන් ගෙවන්නේ පුද්ගලික ආයෝජකයන් නොවේ. එය වැටී ඇත්තේ රාජ්‍ය අංශය, එනම් යුරෝපයේ බදු ගෙවන්නන් මතය. ගී‍්‍රසියේ බංකොලොත් වීමක් සමග සන්සන්දනාත්මකව, පුද්ගලික ආයෝජකයන්ට මෙම ගිවිසුමෙන් තවමත් බොහෝ වාසි ලැබෙයි.”

ගී‍්‍රසිය අවසානයේ බංකොලොත් වීම කාලය පිලිබඳ ප‍්‍රශ්නයක් පමනක් බව දැන් බොහෝ අර්ථ ශාස්ත‍්‍රයෝ සලකති. එහෙත් ඒ වන විට, ගී‍්‍රක මිලියනපතියන් ඇතුලු, ප‍්‍රධාන ජාත්‍යන්තර මූල්‍ය ආයෝජකයෝ, තම මුදල් වෙනත් තැන්වලට සුරැකිව රහසේ මාරු කර තිබෙනු ඇත.

බංකොලොත් වීමේ ප‍්‍රතිවිපාකවලට ගෙවීමට මුලින්ම සිදු වනු ඇත්තේ, දැනටමත් කප්පාදුවලින් වඩාත්ම පීඩාවට පත්ව ඇති ගී‍්‍රක ජනතාවටයි. ඊලඟට, ගී‍්‍රසියට ලබා දෙන යුරෝපා සංගමයේ නයවලට ඇප වන රාජ්‍යයන්ගේ අයවැය මතට මූල්‍යමය පාඩු වැටෙනු ඇත. මෙම ආන්ඩු තව දුරටත් වියදම් කැපීම හා කප්පාදු පිලිවෙත් සඳහා, එනම්, පසුගිය සතියේ බ‍්‍රසල්ස් හි පැවති යුරෝපා සංගමයේ සමුලුව මගින් සම්මත කරන ලද මූල්‍ය ගිවිසුමේ දැඩි කොන්දේසි සපුරාලනු පිනිස, අවස්ථාවක් ලෙස මෙම තත්වය ඩැහැ ගනු ඇත.

ගී‍්‍රක නය "කප්පාදුව” කම්කරු පන්තියට එරෙහි ජාත්‍යන්තර ප‍්‍රහාරයක කොටසකි. එම ප‍්‍රහාරයේ එල්ලය වන්නේ පහල සිට ඉහලට ආදායම් හා ධනය දැවැන්ත පරිමානයෙන් යලි බෙදීමකි.

හෙජ් අරමුදල් හා බැංකු සිය වගකීම් විරහිත සමපේක්ෂන හරහා 2008 දි ලෝක ආර්ථිකය බිඳවැටීමක අද්දරට තල්ලූ කල අවස්ථාවේ පටන් මේ දක්වා, පසුගිය ශත වර්ෂය මුලූල්ලේ කම්කරු පන්තිය විසින් දිනාගනු ලැබ ඇති සමාජ ජයග‍්‍රහන විනාශ කිරීමට අර්බුදය යොදා ගෙන තිබේ. පලමුව ඔවුහු මහජන මුදලින් යුරෝ බිලියන සිය ගනන්වලින් ඇප ලබා ගෙන ගැලවී ගත්හ. ඉන්පසුව ඔවුහු කප්පාදු පිලිවෙත් හරහා පොදු මහජනතාව වෙතින් මෙම මුදල් පෙරලා උදුරා ගන්නා ලෙස දැවැන්ත ලෙස නයභරිත රටවලට බල කලහ.

ගී‍්‍රසිය ආදර්ශයක් ලෙස සේවය කිරීමට නියමිතය. කප්පාදු පිලිවෙත් ව්‍යසනය ගෙන එමින් මහජනතාව අන්ත දරිද්‍රතාවට තල්ලු කරනු ඇත. එහෙත් යුරෝපා සංගමය ද බ‍්‍රසල්ස්හි තානය සකසන ආන්ඩු ද තවත් වියදම් කැපීමේ පිලිවෙත් ඉල්ලා බල කරති. පෘතුගාලය, ස්පාඤ්ඤය, ඉතාලිය, අයර්ලන්තය සහ මූල්‍ය ගැටලු සහිත සෙසු රටවල් තුල ඔවුහු එම පිලිවෙත ම අනුගමනය කරති. යුරෝපා සංගමය තුල පවතින ආර්ථිකව ශක්තිමත් ම රට වන ජර්මනිය තුල පවා, දැවැන්ත අඩු-වැටුප් අංශයක් නිර්මානය කෙරී ඇති අතර දැවැන්ත පරිමාන දොට්ටදැමීම් ක‍්‍රමයෙන් වැඩිවෙමින් පවතී.

පොදු මහජනතාව අතර ජීවන මට්ටම් කඩා වැටෙන අතර කොටස් මිල ගනන් යලිත් වරක් වාර්තාගත මට්ටම්වලට ලඟා වේ. මූල්‍ය විධායකයෝ දැවැන්ත මුදල් කන්දරාවන් සාක්කුවල දමා ගනිති. ඉහලම ගෙවීම් ලබන ඇමරිකානු හෙජ් අරමුදල් කලමනාකාරවරු හතලිස් දෙනා පසුගිය වසරේ දී ඩොලර් බිලියන 13කට වඩා ආදායමක් ලැබූහ.

යුරෝපයේ කම්කරු පන්තිය ඒකාබද්ධ බලයක් ලෙස මෙම ප‍්‍රහාරයට මුහුන දිය යුතු අතර සිය අයිතීන් හා අතීත ජයග‍්‍රහන සියල්ල ම ආරක්ෂා කරගත යුතුය. කම්කරුවෝ, තමන් එකිනෙකාට එරෙහිව -- ගී‍්‍රකයන්ට එරෙහිව ජර්මානුවන්, ස්පාඤ්ඤවරුන්ට එරෙහිව ප‍්‍රන්සවරු ආදී ලෙස -- පිහිටුවීමට ඉඩ නොදිය යුතුය. යුරෝපා සංගමය හා ජාතික ආන්ඩු ආරක්ෂා කරන ඔවුන්ගේ කප්පාදු පිලිවෙත්වලට සහයෝගය දෙන, සංස්ථාපිත පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ඔවුහු බිඳී ගත යුතුය.

අති මූලික ප‍්‍රජාතන්ත‍්‍ර හා සමාජ අයිතීන් පවා ආරක්ෂා කරගත හැකි වන්නේ, මූල්‍ය ප‍්‍රාග්ධයේ ආඥාවන්ට එරෙහිව යොමු කෙරෙන සමාජවාදී කි‍්‍රයාමාර්ගයක පදනම මත පමනි. මූල්‍ය වංශාධිපතිත්වයේ ලාභ අවශ්‍යතා වෙනුවට සමාජයේ උවමනාවන් සපුරාලනු පිනිස, ආර්ථික ජීවිතය සමූලික ලෙස ප‍්‍රතිසංවිධානය කරන කම්කරු ආන්ඩු මගින් ධනේශ්වර ආන්ඩු විස්ථාපනය කල යුතුය. යුරෝපා සංගමය යුරෝපා සමාජවාදී සමූහාන්ඩු සංගමයක් මගින් විස්ථාපනය කල යුතුය.

පීටර් ස්වාර්ෂ්

Share this article: