මහා පරිමාන දොට්ට දැමීම් එක්සත් ජනපද ආර්ථික "ප‍්‍රකෘතිය” පිලිබඳ මිථ්‍යාව එලිදරව් කරයි

Mass layoffs expose myth of US economic “recovery”

28 February 2012

එක්සත් ජනපද තැපැල් සේවය, ප්‍රොක්ටර් ඇන්ඩ් ගැම්බල් සහ ආර්චර් ඩැනියෙල්ස් මිඩ්ලන්ඩ් ආයතන විසින් මෑත දී නිවේදනය කරන ලද මහා පරිමාන දොට්ට දැමීම් මෙන් ම ෆුලර් බ‍්‍රස් හා ඇමරිකන් එයාර්ලයින්ස් සමාගම් බංකොලොත් වීම් ද, එක්සත් ජනපදය "ආර්ථික ප‍්‍රකෘතිමත් වීමක්” මධ්‍යයේ සිටින බවට කෙරෙන කියාපෑම් නිෂ්ප‍්‍රභා කර තිබේ.

තථ්‍ය වසයෙන් ගත් කල, මූර්ත වැටුප් කඩාවැටීම හා වැඩෙන දරිද්‍රතාව මිලියන සංඛ්‍යාත ජනයාගේ ජීවිතයේ කොටසක් බවට පත් කරමින්, එක්සත් ජනපද ආර්ථිකය මහජන විරැකියාවක ගිලී පවතී. වියදම් කප්පාදු කිරීමේ දැවැන්ත පීඩනයකට මුහුන දෙමින්, සුලු හා මධ්‍යම පරිමාන ව්‍යාපාර දස දහස් ගනනින් කඩාවැටෙමින් පවතී.

මෑත රැකියා කප්පාදුවලින් දරුනුම ඒවා කි‍්‍රයාවට දමනු ලබන්නේ ආන්ඩුව විසින්ම ය: සැප්තැම්බර් අග වන විට රැකියා 35,000ක් අතුගා දමන බව එක්සත් ජනපද තැපැල් සේවය පසුගිය සතියේ දී නිවේදනය කලේය. එය රැකියා 150,000ක් කප්පාදු කිරීමේ වඩා දිගු-කාලීන සැලැස්මක කොටසකි.

එක ප‍්‍රසිද්ධ සංගතයකට පසුව තවත් එකක් වසයෙන් බංකොලොත් භාවයේ හා දොට්ට දැමීම් නිවේදනය කිරීමේ පෝලිමට එකතු වී තිබේ. එහි දී රැකියා දස දහස් ගනනින් අතුගා දැමේ. සියර්ස්, ප්‍රොක්ටර් ඇන්ඩ් ගැම්බල්, ඇමරිකන් එයාර්ලයින්ස්, කොඩැක්, (පසුගිය සතියේ බංකොලොත් භාවය ප‍්‍රකාශයට පත් කල) ෆුලර් බ‍්‍රස් සමාගම, ආර්චර් ඩැනියෙල්ස් මිඩ්ලන්ඩ් සහ අයිබීඑම් ඒ සඳහා නිදසුන් ය.

පසුගිය මාසයේ රැකියා පිලිබඳ සංඛ්‍යා ලේඛන නිවේදනය කල විට, ආන්ඩුව හා මාධ්‍ය විසින් ප‍්‍රධාන වර්ධනයක් හා ආර්ථික ප‍්‍රකෘතිමත් වීමක් පිලිබඳ සලකුනක් ලෙස ඒවා සාදරයෙන් පිලිගන්නා ලදි. වාර්තාව "ආර්ථිකය අඛන්ඩව සුව අතට හැරෙමින් සිටින බවට තව දුර සාක්ෂ්‍ය සපයන” බව ධවල මන්දිරය සිය බ්ලොග් අඩවියේ සඳහන් කලේය.

යථාර්ථය මුලුමනින්ම වෙනස් ය. 2011 දී, එක්සත් ජනපද ආර්ථිකය රැකියා මිලියන 1.5ක් නිර්මානය කල නමුත්, ජනගහනය මිලියන 2.2කින් ඉහල ගිය අතර දල වසයෙන් ඊට සමාන තරුනයන් සංඛ්‍යාවක් ශ‍්‍රම බලකායට එක් විය. ඒ අතරතුර, රැකියා නියුක්තිය ජනගහනයට දරන අනුපාතය, ප‍්‍රතිශතයක් ලෙස ගත් කල, 2008 හා 2010 අතර දී ඒකක 5කින් පහල වැටීමෙන් අනතුරුව, වාර්තාගත අඩුම මට්ටම්වල පවතී.

මහජන විරැකියාව සිත් කම්පා කරවන මට්ටම්වල පවතී. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, මිලියන 12.8ක් විරැකියාවෙන් පෙලෙන අතර ඔවුන්ගෙන් මිලියන 5.5ක් මාස හයකට වැඩි කාලයක් තිස්සේ රැකියාවක් නැතිව සිටින අතර මිලියන 4ක් වසරකට වැඩි කාලයක් තිස්සේ රැකියා විරහිතව සිටී. "ඌන සේවානියුක්ත” ජනයාගේ සංඛ්‍යාව -- රැකියා විරහිතයන්ගේ ද තමන්ට පූර්න කාලීන රැකියා අවශ්‍ය එහෙත් අර්ධ-කාලීන රැකියාවන්හි නියුක්ත අයගේ ද එකතුව -- මිලියන 24ක මට්ටමේ පවතී.

මහජන විරැකියාවේ අඛන්ඩ ව්‍යාප්තිය දශක ගනනාවකින් නොදුටු ආකාරයකින් දරිද්‍රතාවයේ වර්ධනයකට තුඩු දී තිබේ. ජාතික දරිද්‍රතා මධ්‍යස්ථානය සෙනසුරාදා නිකුත් කල වාර්තාවකට අනුව, ඒක පුද්ගල ආදායම දිනකට ඩොලර් 2ක් වන එක්සත් ජනපද කුටුම්බ සංඛ්‍යාව 1996 දී තිබූ 636,000 සිට අද වන විට මිලියන 1.46 දක්වා දෙගුනයකටත් වඩා ඉහල ගොස් ඇත. එක්සත් ජනපදයේ මිලියන 4ක් පමන ජනයා මසකට ඩොලර් 60කට අඩු ආදායමකින් ජීවත් වන බව අධ්‍යයනය පෙන්වා දුන්නේය.

එහෙත්, මෙම කොන්දේසි යටතේ දී, පක්ෂ දෙකේම අභිප‍්‍රාය වන්නේ, දුප්පතුන්ට හා රැකියා විරහිතයන්ට දෙන සහන තව දුරටත් කපා හැරීමයි. මේ මාසයේ දී, ඔබාමා පාලනාධිකාරය සහ රිපබ්ලිකන්වරු, විරැකියා ප‍්‍රතිලාභ ලබා දෙන උපරිම කාල සීමාව, දරුනුම බලපෑමට ලක් වූ ප‍්‍රාන්ත තුල සති 99 සිට සති 73 දක්වා ද බොහෝ ප‍්‍රාන්ත තුල සති 79 සිට සති 63 දක්වා ද කප්පාදු කිරීමේ ගිවිසුමකට එලඹුනහ.

රැකියා විරහිතයන් තමන් රැකියා සොයමින් සිටින බව ඔප්පු කරන සාක්ෂ්‍ය ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන්නා වූ ද විරැකියා ප‍්‍රතිලාභ අයදුම්කරුවන්ගේ ඉල්ලුම් පත‍්‍ර පරීක්ෂාවට භාජනය කිරීමේ කි‍්‍රයාදාමයේ කොටසක් ලෙස ඔවුන් මත් ද්‍රව්‍ය පරීක්ෂනවලට ලක් කිරීමේ අවසරය ප‍්‍රාන්ත රාජ්‍යවලට ලබා දෙන්නා වූ ද විධිවිධාන එම පනතට ඇතුලත් වේ. "ප‍්‍රකෘතිමත් වීම” යන්නෙන් අදහස් කෙරෙන්නේ, රැකියා විරහිතයන්ට රැකියා සොයාගැනීමට නොහැකි වී ඇත්තේ කම්මැලිකම හෝ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා පමනකි යනුවෙන් කියාපාමින්, මහ ව්‍යාපාරික දේශපාලනඥයන් මෙම අපහාසාත්මක හා දන්ඩනීය කි‍්‍රයාවන් ආරක්ෂා කර තිබේ.

එහෙත්, මූල්‍ය කඩාවැටීමෙන් පසු මේ දක්වා නිර්මානය කර ඇති, විනාශ කෙරුනු රැකියා සංඛ්‍යාවෙන් හතරෙන් පංගුවක් පමන වන, රැකියා සුලු සංඛ්‍යාව පවා එකතු වී ඇත්තේ, වැටුප් හා ප‍්‍රතිලාභ සැලකිය ආකාරයකින් කප්පාදු කිරීමේ පදනම මත ය.

ඔබාමා පාලනාධිකාරය මෝටර් රථ කර්මාන්තය ප‍්‍රතිව්‍යුහගත කිරීම තුල දී මෙම සමස්ත කි‍්‍රයාදාමය සඳහා ම මොඩලය සැකසීය. එහි දී පාලනාධිකාරය, මහ සමාගම් තුන ඇප දී ගලවා ගැනීම සඳහා කොන්දේසියක් ලෙස, අලුතෙන් බඳවා ගන්නා කම්කරුවන් පැයකට ඩොලර් 14කට වැටුපකට සුපිරි සූරාකෑමකට ලක් කිරීමේ ක‍්‍රමය ප‍්‍රසාරනය කිරීම ඉල්ලා සිටියේය.

මෙය, සංගතවල ලාභ ද සුපිරි ධනවතුන්ගේ ආදායම් ද ඉහල දැමීමේ එල්ලය ඇතිව, ආර්ථිකය පුරා වැටුප් පහල දැමීම හා සමාජ වියදම් කප්පාදු කිරීම පිනිස පාලක පන්තිය විසින් යොදා ගනු ලැබ ඇති, ආර්ථික අර්බුදයේ අති මූලික ස්වභාවයට අවධානය යොමු කරයි.

2009 ජූනි මස දී ආර්ථික පසුබැස්ම නිල වසයෙන් අවසන් වීමෙන් වසර තුනකට ආසන්න කාලයකට පසුව, වඩවඩා පැහැදිලි වෙමින් තිබෙන්නේ, 2008 අර්බුදය හුදු තවත් ආර්ථික පසුබැස්මක් නොව, ඉහල විරැකියාව නිත්‍ය ලක්ෂනයක් වන, මූර්ත වැටුප් නොකඩවා පහල බසින සහ තුන් වන ලෝකයේ දරිද්‍රතාව මිලියන සංඛ්‍යාත ජනයා සඳහා යථාර්ථයක් වන, "නව සාමාන්‍ය” තත්වයක් කරා පරිවර්තනයක් බවයි.

එයට හේතුව, වත්මන් ආර්ථික පහල බැස්ම හුදු සාමාන්‍ය ව්‍යාපාරික චක‍්‍රයේ කි‍්‍රයාකාරිත්වයක් නොව, ලෝක ධනවාදයේ පොදු අර්බුදයක් වීමයි. එය පිලිබිඹු කරන්නේ, පශ්චාත් යුද කාලීන ආර්ථික පර්යාය බිඳවැටීම සහ සුවිශේෂීව ඇමරිකානු ධනවාදයේ ඓතිහාසික කඩාවැටීමයි.

පාලක පන්තිය අර්බුදයට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ. වැඩ කරන ජනතාවගේ ආදායම් හා ජීවන මට්ටම් විනාශ කිරීමට මුලු හිතින්ම අධිෂ්ඨාන කරගැනීමෙනි.

කම්කරු පන්තිය මෙම අර්බුදයට ඊට සමාන අධිෂ්ඨානයකින් ප‍්‍රතිචාර දැක්විය යුතුය. සමාජවාදී සමානතා පක්ෂය, සංගත ඇමරිකාවට එරෙහිව කම්කරු පන්තිය දේශපාලනිකව බලමුලුගැන්වීම මත පාදක වූ කි‍්‍රයාමාර්ගයක් මත, ජෙරී වයිට් හා පිලිස් ස්චෙරර් යන ස්වාධීන අපේක්ෂකයන් ඉදිරිපත් කරමින්. 2012 ජනාධිපතිවරනයට අවතීර්න වී ඇත. සමාජවාදී කි‍්‍රයාමාර්ගයක පදනම මත, ධනපතියන්ට එරෙහිව ඔවුන්ගේ සමාජ අයිතීන් ආරක්ෂා කරගනු පිනිස වැඩ කරන ජනතාවගේ ප‍්‍රතිප‍්‍රහාරයක් සඳහා අපි කැඳවුම් කරමු.

සියලු ජනතාවන්ගේ මූලික අයිතීන් සහතික කරගැනීමේ එකම මග, බිලියනපතියන්ගේ අවශ්‍යතා නොව සමාජ අවශ්‍යතා සපුරාලනු පිනිස සමාජය තියුනු ලෙස ප‍්‍රතිසංවිධානය කිරීම යි. ජෙරී වයිට්ගේ හා පිලිස් ස්චෙරර්ගේ මැතිවරන ව්‍යාපාරයට සහයෝගය දෙන ලෙස සියලු කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

ඇන්ඩෘ ඩෙමන්

Share this article: