කූපර් ටයර් අරගලයේ පාඩම්

Lessons of the Cooper Tire struggle

2 March 2012

ඔහායෝහි කූපර් ටයර් කම්හලෙන් දොට්ට දැමූ කම්කරුවෝ 1,000ට වැඩි පිරිසක් සමාගමේ වැටුප් කප්පාදු ඉල්ලීම් පිලිගනිමින් 27දා සිය ඡන්දය පාවිච්චි කරමින් තෙමසක් තිස්සේ ඇදී ගිය දොට්ට දැමීමේ ක්‍රියාවලිය අවසන් කලහ.

නොවැම්බරයේ පටන් මෙම කම්කරුවෝ ජීවත්වීමට සරිලන වැටුපක් සඳහා වැඩ කිරීමේ අයිතිය රැකගැනීමට කූපර් ටයර් සමාගමට, මහා ව්‍යාපාරික දේශපාලඥයින්ට, මාධ්‍යයට හා තමන්ගේ ම වෘත්තීය සමිතියට පවා එරෙහිව දිරිමත් අරගලයක නිරත වූහ. කෙසේ වෙතත්, එක්සත් වානේ කම්කරු සමිතියට රැකියා යලි වර්ග කිරීම, වැටුප් පහත හෙලමින් පැරනි වැඩි වැටුප් ලැබූ කම්කරුවන් දොට්ට දමා පැයකට ඩොලර් 13 ගනනේ බඳවා ගන්නා අලුත් කම්කරුවන්ගෙන් එම අඩුව පිරවීම සඳහා කලමනාකරනයට පුලුල් බලතල හිමිවන කොන්ත්‍රාත්තුවක් අටවා ගැනීමට හැකි විය.

මෙම කොන්ත්‍රාත්තුව පිලිගැනීමේ තීරනය කම්කරුවන්ගේ පැත්තෙන් ඔවුන්ගේ අධිෂ්ඨානයෙහි අඩුවක ප්‍රතිපලය නොවීය. ඒ වෙනුවට ඉස්මතු කල, සිය අරගලය පෙරට ගෙන යාම පිනිස කම්කරුවන්ට නව සංවිධාන හා නව මූලෝපායක් අවශ්‍ය කෙරෙන්නේය යන්නයි.

අරගලයේ සෑම අවස්ථාවක ම කම්කරුවන්ට දැකගත හැකි වූයේ සමිතිය තම මිතුරෙකු ලෙස නොව, තමන් හුදෙකලාකොට, අධෛර්යමත් කර පරාජය කිරීමට උත්සාහ දරන කලමනාකරනයේ ඒජන්තයෙක් ලෙස ය. සමිතිය සතුව ඩොලර් මිලියන 150ක වැඩවර්ජන අරමුදලක් ඇතත්, සිල්ලර බඩු කඩවලට ගෙවීමට ඩොලර් කීප සීයක් වටිනා ත්‍යාග වව්චර් ඔවුන් අතර බෙදා දීම හැරෙන්නට සමිතිය, කම්කරුවන්ට වෙනත් කිසිදු වැඩවර්ජන සහනයක් ලබාදීම ප්‍රතික්ෂේප කලේය.

සමිතිය හිතාමතාම ෆින්ඩ්ලේ අරගලය, ආකන්සෝහි ටෙක්සිකානා ටයර් කම්හලේ 1,500ක් කම්කරුවන්ගේ වෙනම කොන්ත්‍රාත් සාකච්ඡාවන්ගෙන් හුදෙකලා‍කර දැමීය. ෆින්ඩ්ලේ කම්කරුවන් දෙට්ට දමා තිබිය දී ඔවුන් එම කොන්ත්‍රාත්තුව අනුමත කර ගත්හ.

වෘත්තීය සමිති අනෙක් පාර්ශවයට සහන සැලසීමට දක්වන කැමැත්ත, හුදෙක් සමිති කාර්යධරයින්ගේ කෑදරකම හෝ ද්‍රෝහිත්වයේ ප්‍රතිපලයක් නොවේ. එය ගලා එන්නේ, ඔවුන් ධනවාදී පද්ධතිය කොන්දේසි විරහිතව පිලිගැනීමෙනි.

කම්කරුවන් මුහුන පාන විශාලතම අභියෝගය, ඔවුන් එක් සමාගමක හෝ එක් විධායකයෙක් සමග පමනක් නොව, සමස්ත සමාජ, ආර්ථික හා දේශපාලන පද්ධතිය සමග ම ගැටුමකට එලඹී සිටීමයි. සෑම අරගලයක් ම සාර්වත්‍රික ක්‍රියාවලියක දේශීය ස්වරූපයයි. සාරය වශයෙන් ගත් කල්හි, ෆින්ඩ්ලේ හා ඔහායෝහි කම්කරුවන්ට සිදුවන්නේ, ග්‍රීසියේ කම්කරුවන්ට සිදුවන දේ ම ය. එරට ජනගහනයෙන් අති මහත් බහුතරය බැංකුවල අන පරිදි දුගී භාවයට ඇද හෙලා ඇත. ඒ හා සමාන ම නිර්දේශ සමාගමක් පාසා ද රටක් පාසා ද නැවත නැවතත් ඉදිරිපත් කෙරෙයි.

කූපර් ටයර්හි සිදුව ඇත්තේ, එකිනෙකා සමඟ පොර වැදී සිටින සමාජ බලවේග දෙකක් අතර සිදුවන ගෝලීය අරගලයකි. ධනේශ්වරය හා කම්කරු පන්තිය සමස්ත සමාජය ම වෙලාගත් ගෝලීය අර්බුදය කෙරේ තමන්ගේ ප්‍රතිචාරය සකස්කර ගනිමින් සිටියි. පාලක පන්තිය අර්බුදය යොදාගන්ට උත්සාහ කරන්නේ, පන්ති සම්බන්ධතා ප්‍රතිව්‍යුහගත කිරීමෙනි. ජීවත්විය හැකි ආදායමක් සහිත සුරක්ෂිත රැකියාවක් සඳහා උත්සුක වන තාක් දුරට එය පැවතියේ අතීත තත්වයක් ලෙස පමනි. කම්කරුවන් පැයට ඩොලර් 13ක මට්ටමට හැඩගැසිය යුතුය. එය ඊටත් අඩු වැටුප් සඳහා වන අඩිතාලම වනු ඇත. සමිති ක්‍රියාකරන්නේ පහසුකම් සපයන්නා ලෙස ය. පාලක පන්තියේ කොටසක් ඔවුන් සමඟ ගිවිසුමකට එලඹ ඇත. අතීතයේ දිනාගෙන ඇති සියල්ල වනසා දැමීමේ දී පාලක පන්තියට ඔවුන් සහාය ලබාදෙන තාක් දුරට සමිති විධායකයින්ට සිය වැටුප් වැඩිවීම් ලැබෙනු ඇත. ඔවුන් අරගල පැන නොනඟිනවා දැකීමට කැමැත්ත දක්වයි. එහෙත් ෆින්ඩ්ලේහි දී මෙන්, ඔවුන්ගේ ප්‍රාර්ථනාවට පිටින් කම්කරුවන් දොට්ට දැමීමට සමාගම ගත් තීරනයට එරෙහිව එවැන්නක් පැන නැඟුනහොත්, දශක ගනනාවක භාවිතය තුලින් පන්නර ගන්වාගත් ක්‍රමවේදයන් අනුව ඔවුහු වැඩ කරති. පලමුවෙන්ම සමාගමට අවශ්‍ය සියල්ල පැනවීම සඳහා ඔවුහු සමාගම සමග කුමන්ත්‍රනයෙන් අරගලය හුදෙකලා කරති.

කම්කරුවන් පිලිගත යුත්තේ සමිති විසින් ගෙන එන ක්‍රියාමාර්ගයේ ප්‍රති පක්ෂයයි. ඔවුන් සෑම කම්හලක ම ප්‍රාන්තයක ම හා රටේ ම වැඩ කරන ජනතාවගේ අරගල ධනපති පන්තියටත් ධනේශ්වර පද්ධතියටත් එරෙහි පොදු ව්‍යාපාරයක් තුල ඒකාබද්ධ කල යුතු ය.

කර්මාන්තශාලා හා වැඩපොලවල් තුල මෙහි අර්ථය වන්නේ, ඒජන්තයින් වන වෘත්තීය සමිති පලවා හැර ඒ වෙනුවට සමාගම්වල හා ආන්ඩුවේ ඉල්ලීම්වලට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට කම්කරුවන් විසින් ම සාමාජිකත්වයේ කමිටු සංවිධානය කිරීම යි.

කෙසේ වෙතත් කෙතරම් වැදගත් වුවත් වැඩවර්ජන හා සටන්කාමිත්වය පමනක් පාලක පන්තියේ ප්‍රහාර පරාජය කිරීමට සෑහෙන්නේ නැත. අර්බුදයේ පදනමට ම විසඳුම් සෙවිය යුතු ය. එනම්, සිය ලාභ අරමුනු වෙනුවෙන් කම්කරු පන්තිය සූරාකෑම මත පදනම් වූ සමාජ ක්‍රමයක් වන ධනේශ්වර පද්ධතියට ම එරෙහිව ය. ධනවාදයට විකල්පය සමාජවාදයයි. සමාජවාදය යනු ආර්ථිකයේ ප්‍රජාතන්ත්‍ර පාලනය මත පාදක වන අව්‍යාජ සමානත්වයයි. දැවැන්ත සංගත පෞද්ගලික ලාභය සඳහා නොව සමාජ අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍ර පාලනය යටතේ ජනසතු කල යුතුය.

එක්සත් ජනපද පාලක පන්තිය හා මාධ්‍යය, සතුරා සමාජවාදය බව කම්කරුවන්ට ඒත්තු ගැන්වීම පිනිස දැවැන්ත ශක්තියක් හා සම්පත් ප්‍රමානයක් මුදා හරියි. මක්නිසා ද යත් සමාජවාදී ඉදිරිදර්ශනය යලි වතාවක් මහජනතාව වෙලාගනු ඇති බවට ඔවුන් තුල ඇති භීතියයි. ඔවුන්ට බියපත් වීමට හේතුවක් ඇත. සමාජවාදී ඉදිරිදර්ශනයේ බලය නැඟී සිටින්නේ එය කම්කරු පන්තියේ අත්‍යවශ්‍ය ඓතිහාසික අවශ්‍යතා ප්‍රකාශයට පත්කරන බැවින්ය.

වෘත්තීය සමිතිමත් මෙම උත්සුකය කූපර් ටයර් කම්හලේ දොට්ට දැමීමේ ක්‍රියාවලියේ දී ප්‍රදර්ශනය කර තිබේ. අරගලය අවසන් කිරීමේ ලා සමිතියේ තීන්දුව කෙරෙහි සමාජවාදී සමානතා පක්ෂය ගෙනගිය උද්ඝෝෂනය වැඩි වැඩියෙන් දිනාගත් සහයෝගය සුලුවෙන් බලපෑ කාරනයක් වූයේ නැත. ඡන්දය පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබිය දී, සසප බෙදාහල පත්‍රිකා නොකියවන ලෙස ඔවහු කම්කරුවන්ට අනතුරු ඇඟවූහ. එය කම්කරුවන්ගේ උනන්දුව තවත් දල්වාලූයේය. ප්‍රාදේශීය මාධ්‍ය "පිටස්තර ඇඟිලිගැසීම්” කෙරෙහි කනස්සල්ල පල කලහ.

සමාජවාදය සඳහා සටන දේශපාලන අරගලයකි. අධි විරැකියාව තුලින් මෙම ප්‍රහාරය පෙරමුනට ගෙන ඒම පිනිස පාලක පන්තියට ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන තමන්ගේ ම පක්ෂ දෙකක් ඇත. මෙය (විරැකියාව) ඔබාමා පාලනයේ දැනුවත් ප්‍රතිපත්තිය යි. මේ සතිය මුල ඔබාමා එක්සත් මෝටර් කම්කරු සමිතියේ රැස්වීමක් ඉදිරියේ කථා කල අතර සියල්ලෝ ම මෝටර් රථ කම්කරුවන්ට එරෙහිව එල්ල කල ඓතිහාසික ප්‍රහාරය මත පාදකව, ක්ෂේත්‍රයේ සමාගම් යලිත් ලාභ ලැබීමට පටන් ගැනීම පිලිබඳව ඔල්වරසන් නැඟූහ.

කම්කරු පන්ති‍යට තමන්ගේ ම දේශපාලන පිලිවෙතක් හා තමන්ගේ ම පක්ෂයක් අවශ්‍ය ය. සමාජවාදී සමානතා පක්ෂය හා 2012 එහි ජනාධිපතිවරන අපේකෂකයින් වන ජෙරී වයිට් හා ෆිලිස් ෂෙරර් සටන් වදින්නේ මෙම ඉදිරිදර්ශනයට ය. උද්ඝෝෂනයේ අරමුන, මුදල් හා දූෂනය අධිකාරය දරන පවත්නා දේශපාලන පද්ධතිය තුල වැඩ කිරීම නොව, එයට හා ධනේශ්වර පද්ධතියට එරෙහිව මහජන ව්‍යාපාරයක් පෙරමුනට ගෙන ඒමයි.

කූපර් ටයර් කම්හලේ මෙන්ම රටපුරා කම්කරුවන්ගෙන් අප උදක්ම ඉල්ලා සිටින්නේ මෙය තමන්ගේ ම දෙයක් ලෙස සලකා උද්ඝෝෂනයට සහයෝගය දෙන ලෙසත් සමාජවාදය සඳහා අරගලය පෙරට ගෙනයන ලෙසත්ය.

ඇන්ඩ්‍රි ඩිමෝන්

Share this article: