ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා බිඳවැටීමේ අද්දරට පැමිනෙයි

Iranian nuclear talks on brink of collapse

By Peter Symonds, 25 May 2012

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳව බැග්ඩෑඩ්හි 24දා පැවති සාකච්ඡා, එක්සත් ජනපද‍යේ, බ්‍රිතාන්‍යයේ, ප්‍රන්ස‍යේ, රුසියා‍වේ, චීන‍යේ හා ජර්මනි‍යේ ද (p5+1) ඉරාන‍යේ ද නියෝජිතයින් අතර ඇතිවූ තියුනු මතභේද හමුවේ බිඳ නොවැටුනා පමනි. එක එල්ලේ කඩාවැටීමක් වලක්වා ගැනිම පිනිස කලින් සැලසුම් කර නොතිබුනු සාකච්ඡා වටයක් ජූනි 18-19 යන දිනවල මොස්කව්හි පැවැත්වෙන බව නිවේදනය කරන ලදී.

යුරෝපීය සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කැතරින් ඇෂ්ටන් ප්‍රතිපලය දැනුම්දීමේ දී හොඳ මුහුනක් පෙන්නීමට උත්සාහ කරමින්, “පවතින මතභේද කෙතරම් වැදගත් වුවත් අප දෙපාර්ශවයටම ප්‍රගතියක් අවශ්‍ය බව පැහැදිලිය. ඒ සඳහා පොදු පසුබිමක් ඇත.” යනුවෙන් පැවසුව ද යථාර්තය නම්, 23දා කිසිදු එකඟත්වයක් ඇති නොවුන බවත්, සාකච්ඡා අඛන්ඩව පැවැත්වෙන බව සහතික කිරීම පිනිස, සැලසුම් නොකල දෙවන දිනයකට දිග්ගැස්සීමට සිදුව තිබෙන බවත්ය.

පරදුවට තැබී ඇති දෑ ඉමහත්ය. එක්සත් ජනපදය හා යුරෝපීය සංගමය, ටෙහෙරානය ආර්ථික වශයෙන් පදනම්ව සිටින තෙල් නිර්යාත දරුනු ලෙස කපා හරින නව සම්බාධක ජූනි අවසානයේ පටන් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින් සිටියි. ඒ සමග ම එක්සත් ජනපදය හා ඊස්රායලය, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත, ඇවිස්සීමක් නොකල තත්වයක් තුල, මිලිටරි ප්‍රහාර එල්ල කිරීමේ තර්ජන එක දිගට එල්ල කරයි.

ඊයේ අවසන්වූ සාකච්ඡාවලින් පසුව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, මොස්කව් රැස්වීමේ දී සහන ලබාගැනීම පිනිස වගකීම වහාම ඉරානය මත පැටවූවාය. දෙපාර්ශවය අතර මතභේද ගැන සඳහන් කරමින් ඇය මෙසේ පැවසුවාය. "හිඩැස් පියවීමේ කටයුත්ත දැන් ඉරානයේ තේරීම අනුව වන බව අපි සිතන්නෙමු.”

"අපගේ සියලු සම්බාධක එසේම පවතින අතර මේ කාලය තුල තවත් ඉදිරියට යනු ඇතැයි” පවසමින් ක්ලින්ටන්, ඉරානයට එරෙහි ආර්ථික දන්ඩන ලිහිල් කිරීමට එක්සත් ජනපදයට කිසිදු අදහසක් නැති බව ද පැහැදිලි කලාය. ඉරානය සමග ගිවිසුමකට පැමිනීමට ඇති ප්‍රධාන බාධකය, දැනට පවත්නා සම්බාධක ලිහිල් කිරීමට හෝ නව සම්බාධක පැනවීම කල් දැමීමට හෝ එක්සත් ජනපදය හා යුරෝපීය සංගමය දක්වන මැලිකමයි.

එක්සත් ජනපදය හා යුරෝපීය සංගමය විසින් බැග්ඩෑඩ් සාකච්ඡාවන් තුල අවධානය යොමුකල යෝජනා මූලිකව ම සකසනු ලැබුවේ, ඉරාන තන්ත්‍රය ගත යුතු ආරම්භක "විශ්වාසය ගොඩනැඟීමේ” පියවර වශයෙනි. මේවාට, සියයට 20 මට්ටමට යුරේනියම් සුපෝෂනය නතර කිරීම, ඉරානයේ සියයට 20 සුපෝෂිත යුරේනියම් රටින් පිටකිරීම හා කොම් නගරය ආසන්නයේ පොලව යට පිහිටි ‍ෆෝංගෝ සුපෝෂන මධ්‍යස්ථානය වසා දැමීම ඇතුලත් විය.

තමන්ට න්‍යෂ්ටික අවි තැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, යුරේනියම් සුපෝෂනය ද ඇතුලත් න්‍යෂ්ටික අවිහරන ගිවිසුම (එන්පීටී) යටතේ න්‍යෂ්ටික දහන චක්‍රයේ සියලු අංශ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අයිතිය තමන්ට ඇති බවත් අවධාරනය කරන ටෙහෙරානයේ සැලකිය යුතු අනුගත වීමක්, මෙම ඉල්ලීම් සියල්ල සඳහා, ඉල්ලා සිටියි. ඊට හිලව් වශයෙන් එක්සත් ජනපදය හා යුරෝපීය සංගමය, දැනටමත් පනවා ඇති හා නිවේදනය කිරීමට නියමිත සම්බාධකවලට අමතරව සම්බාධක නොපනවන බවත්, න්‍යෂ්ටික ආරක්ෂාව පිලිබඳ සහාය හා බෙහෙවින්ම අවශ්‍ය වානිජ්‍ය ගුවන්යානා අමතර කොටස් ලබාගැනීමේ ඉඩකඩ සැලසීම යන දේ හැරෙන්නට කිසිවක්ම පාහේ පොරොන්දු නොවීය.

ඉරාන සාකච්ඡා කන්ඩායම, සියයට 20ක් සුපෝෂනය කල යුරේනියම් සම්බන්ධ ප්‍රශ්න සාකච්ඡා කිරීමට කැමත්ත ඇඟවුම් කර තිබුනේවී නමුත් ඊට හිලව් වශයෙන් සහන අවශ්‍ය බව පැහැදිලිවම සඳහන්කර තිබුනි. වෛද්‍ය සමස්ථානික නිපදවන ටෙහෙරානයේ පරියේෂන ප්‍රතික්‍රියාකාරකය සඳහා සියයට 20 සුපෝෂනය කල යුරේනියම් ද සිය බලශක්ති ප්‍රතික්‍රියාකාරකය වෙනුවෙන් සියයට 3.5ක පහල මට්ටමින් සුපෝෂනය කල යුරේනියම් ද ඉරානයට අවශ්‍යව තිබේ. න්‍යෂ්ටික බෝම්බයක් තැනීම පිනිස ඉතා ඉහල, එනම් සියයට අනූවක් සු‍පෝෂනය කල යුරේනියම් අවශ්‍ය කෙරෙයි.

කෙසේ වුව ද ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු වන සාඉඩ් ජලිලි මාධ්‍ය වෙත පැවසුවේ, බලවත් රටවල් හය "යුරේනියම් සුපෝෂනය සඳහා ඉරාන ජාතියට ඇති අනභියෝගී අයිතිය” පිලි නොගන්නාතාක් දුරට ටෙහෙරානය කිසිදු සහනයක් පිරිනමනු නැති බවයි. ක්‍රියාවලිය සඳහා එන්පීටී යටතේ අවසර ලැබී තිබුන ද එක්සත් ජනපදය, ඉරානය සඳහා කිසිදු මට්ටමක යුරේනියම් සුපෝෂනයක අයිතිය තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තාකල අන්දමට, ඇෂ්ටන්ගේ යෝජනාවලට ටෙහෙරානය සඳහා කිසිදු "සංයුක්ත” සහනයක් අන්තර්ගත නොවීම පිලිබඳව සිය බලාපොරොත්තු සුන්වීම ප්‍රකාශ කල ඉරාන නිලධාරීහු, සාකච්ඡා කාලය කා දැමීමක් යයි විවේචනයට ලක් කලහ. "මෙය, පියවරෙන් පියවර ඉදිරියට යන ක්‍රියාවලියක් ඉදිරිපත් කල, අප ස්ථාන්බුල් නුවරදී සාකච්ඡා කල දේහි කිසිදු බැරෑරුම් (අප්‍රේල් මාසයේ පැවති පලමු සාකච්ඡා වටයේදී) අඛන්ඩතාවයක් නොවේ.” යයි ඉරාන නියෝජිතයෙක් පැවසීය. ඉරානය පස් වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත්කොට තිබූ නමුත් p5+1 හෙවත් ස්ථිර සාමාජිකයින් 5 හා ජර්මනිය විසින් එය වහාම නොතකා හැරියහ.

අතිරේක සාකච්ඡා සඳහා කිසිදු එකඟත්වයක් නොමැතිවීම නිසා 24දා පසුභාගයේදී හමුව මුලුමනින්ම පාහේ බිඳවැටී ඇති බව ගාඩියන් පුවත්පත වාර්තා කලේය. "ඇෂ්ටන් ද රුසියානු හා චීන නියෝජිත‍යෝ ද එදින සවස ඉරාන නියෝජිතයා සමග, ජූනි 18දින මොස්කව්හි තවත් සාකච්ඡා වටයකට ඔහු එකඟ කර ගැනීම පිනිස වෙන වෙනම රැස්වීම් පැවැත්වූහ. ඔහුගේ (ජලිලීගේ) එකඟත්වය ලබාගත හැකි වූයේ අවසන් සැසියේ අවසන් මිනිත්තු කිහිපය තුලය.”

පෙනීගිය පරිදි, සාකච්ඡාවන්හි අනිවාර්ය බිඳවැටීම කල්දමාගැනීම පමනක් අවසන් මිනිත්තුවේ එකඟත්වය මගින් සිදුව ඇත. මොස්කව්හි දී ඊනියා විශ්වාසය ගොඩනැඟීමේ පියවර පිලිබඳව ගිවිසුමක් ඇතිකරගත හැකි වුව ද ඔබාමා පාලනය දැනටමත් පැහැදිලි කර ඇති පරිදි, එක්සත් ජනපදයේ සියලු ඉල්ලීම්වලට ටෙහෙරානය මුලුමනින්ම යටත්වීමට නොඅඩු කිසිවක් ඊට අවශ්‍ය නොවේ. ක්ලින්ටන් විස්තර කල පරිදි එක්සත් ජනපදයට "ද්විත්ව මංතීරු ප්‍රවිෂ්ටයක්” ඇත. එනම්, විනාශකාරී සම්බාධක හා යුද්ධය සඳහා සූදානම පසෙකින් පෙරට ගෙනයන සාකච්ඡා හෝ වඩාත් ගැලපෙන අවසාන නිවේදන ය.

බැග්ඩෑඩ් සාකච්ඡා මධ්‍යයේ ඊස්රා‍ෙයලය, ඉරානයේ සමස්ත සුපෝෂන වැඩසටහන ම සහමුලින්ම වසා දැමීමේ හා යුද්ධයේ තර්ජනය යන එහි ඉල්ලීම් නොකඩවා හඬ නැඟීය. 23දා ඊස්රා‍ෙයලයේ මූලෝපායික කටයුතු පිලිබඳ ඇමති මොෂේ යාලූන්, "ජාත්‍යන්තර විරාමය පසෙකින්, විපක්ෂයේ (ඉරාන) සහයෝගය ද විශ්වාස කටයුතු මිලිටරි විකල්පයක් ද සමගින් සම්බාධක දිගටම ගෙන යන අතර දැඩි කල යුතුයයි” පැවසීය.

"මේ කිසිවක් ප්‍රයෝජනවත් නොවන්නේ නම්, යමෙකු ඉරානයට එරෙහිව මිලිටරි මෙහෙයුමක් උසිගන්වනු ඇතැයි” යාලූන් වැඩිදුරටත් පැවසීය.

ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංගනය කිරීමක් වන, ඉරානයට එරෙහිව ඒකපාක්ෂික මිලිටරි ප්‍රහාර එල්ල කිරීමට කෙරෙන ඊස්රා‍ෙයල් හා එක්සත් ජනපද තර්ජන, සාකච්ඡා වසාගෙන ඇති ආන්තික කුහකත්ව‍ය සලකුනු කරයි. ඉරානය තම න්‍යෂ්ටික පහසුකම් බිඳ දැමිය යුතු යයි කියා සිටින අතරතුර, ඉරානය මෙන් නොව, න්‍යෂ්ටික අවි හරන ගිවිසුමට අත්සන් තැබීම ප්‍රතිකෂේප කරන හා කිසිදු ජාත්‍යන්තර පරීක්ෂනයකට ඉඩ නොදෙන සිය අනුචරයා වන ඊස්රා‍ෙයලය විසින් ගෙඩගසාගෙන ඇති න්‍යෂ්ටික අවි තොග පිලිබඳව වොෂින්ටනය පවත්වාගෙන යන්නේ දැඩි නිහඬතාවයකි.

වොෂින්ටනයේ දෙපිටකාට්ටු ආස්ථානය පෙන්නුම් කරන්නේ, එහි මූලික උත්සුකය, න්‍යෂ්ටික ආයුධ නිපදවීමේ ඉරාන ධාරිතාවය පිලිබඳව නොවන බවයි. ඒ වෙනුවට එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් මීට පෙර ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ සිදුකල ආක්‍රමනයන්හි දී මෙන්ම මෙහිදී ද අරමුන වන්නේ, මැදපෙරදිග හා මධ්‍යම ආසියාවේ බලශක්තියෙන් පොහොසත් කලාපවල ආධිපත්‍යය වෙනුවෙන් එක්සත් ජනපදයට ඇති අභිලාශයන්ට වඩාත් පක්ෂපාතී තන්ත්‍රයක් ටෙහෙරානයෙහි අටවා ගැනීමේ අරමුන සහිත, ගැටුම් පතුරුවා හැරීමයි.

එසේ කිරීමේ දී ඔබාමා පාලනය, සමස්ත කලාපයම ගිනි ජාලාවක් බවට පත්කිරීමේ හැකියාවෙන් යුත් බිහිසුනු නව යුද්ධයක තර්ජනය එල්ල කරයි.

Share this article: