චීනයේ බෝ සිලායි ඇද වැටීම

The downfall of Bo Xilai in China

30 April 2012

චීන කොමියුනිස්ට් පක්ෂයේ (චීකොප) හිටපු මධ්‍යම කාරක සභික හා දේශපාලන කමිටු සාමාජික බෝ සිලායිගේ නාටකාකාර ඇද වැටීම චීනයේ ගැඹුරුවන දේශපාලන හා ආර්ථික අර්බුදයේ තියුනු ප්‍රකාශනයකි.

පසුගිය මාසයේදී චොන් ක්වින්හි පක්ෂ ලේකම් තනතුරෙන් පහකල බෝ පසුව අත්අඩංගුවට ගනු ලැබුනි. ඔහු බරපතල දූෂන වෝදනාවන්ට ලක්ව සිටින අතර ඔහුගේ බිරිඳගේ බ්‍රිතාන්‍ය ව්‍යාපාර සහකරු නීල් හේවුඩ් මරාදැමීම හා එය වසං කිරීම ප්‍රතික්ෂේප කල පොලිස් නිලධාරීන් අඩුම තරමින් දෙදෙනෙකුවත් ඝාතනය කිරීමේ චෝදනා යටතේ ඔහුට මරන දඬුවම පවා පැනවිය හැකිය. චෝදනා මතුවී එන තෙක් බෝ සලකනු ලැබුනේ, මෙම වසර අවසානයේ පැවැත්වීමට නියමිත නායකත්වය වෙනස් කිරීමේ දී, දේශපාලන කමිටුවේ ස්ථාවර කමිටුව වන චීකොප ඉහලම මන්ඩලයේ අපේක්ෂකයෙක් ද වන බවට ය.

රටේ ධනවත් ප්‍රභූව ප්‍රසිද්ධියේ විවේචනය කරන්නෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි බෝ තමා පෙන්නුම් කර ගත්තේ, වසරකට ඩොලර් 26,000ක වැටුපක් ලැබූ “ජනතාවගේ සේවකයෙක් ලෙසත් තම බිරිඳ ගූ කයිලායි ගෘහනි මවක් ලෙසත් ය. සැබවින්ම නම්. බ්ලූම්බර්ග් ප්‍රවෘති සේවයට අනුව බෝගේ දේශපාලන බලය ප්‍රයෝජනයට ගනිමින් කයිලායි “බීජිනයේ සිට හොංකොං හා කැරිබියන් ප්‍රදේශ දක්වා විහිදුනු ඩොලර් මිලියන 126ක් තරම් වත් වටිනා ව්‍යාපාර ජාලයක් පාලනය කලාය.” ඔවුන්ගේ පුත්‍රයා බ්‍රිතාන්‍යයේ ප්‍රභූ පැලැන්තියේ හැරෝ නමැති පෞද්ගලික පාසැලකත් දැන් හාවඩ් විශ්ව විද්‍යාලයේත් අධ්‍යාපනය ලබා ඇති අතර සුඛෝපභෝගී ස්පෝට් මෝටර් රථ ධාවනය කරන්නෙකු ලෙස කුප්‍රකට ය.

වාර්තාවන අන්දමට බෝගේ "අභ්‍යන්තර කවයේ" සාමාජිකයෙකු ලෙස නීල් හේවුඩ්, චීනයේ බෝට හිමි නින්දගම් වෙත විදේශ ආයෝජකයින් කැඳවමින් විශාල මුදල් ප්‍රමානයන් විදේශයන්ට ගෙනයාම සඳහා පවුලට උදව් කර ඇත. පසුගිය නොවැම්බරයේ දී ඔහු මියගිය අතර චෝදනා නැගී ඇත්තේ බෝගේ බිරිඳ වස දුන් බවට ය. හේවුඩ් මියගියේ අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් බව සහතික කරන ලියවිල්ලකට අත්සන් තැබීම පොලිස් කන්ඩායම විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා යටගැසීමේ උත්සාහය කඩාකප්පල් විය.

බෝගේ සිද්ධිය දේශපාලනිකව අතිශය සංවේදී කාරනයක්ව ඇත්තේ, පක්ෂයේ හා රාජ්‍ය සංස්ථාපිතයේ ඉහලම ස්ථරයන්හි දූෂිතකමේ තරම හෙලිදරව් වීම හේතුකොටගෙනය. 1970 ගනන්වල පටන් ගත් ධනේශ්වර පුනස්ථාපනයේ ක්‍රියාවලියෙහි ප්‍රතිපලයක් වශයෙන් චීනය තුල මතුවී තිබෙන මහජන කෝපය හා නොසංසුන්තාව ඇවිලවූ ධනේශ්වර පන්තියේ නීත්‍යානුකූල භාවය ද එමගින් දැදුරුවී ගියේය.

සමාජ විද්‍යාව පිලිබඳ චීන ශාස්ත්‍රාලිකය මෑතකදී සොයා ගත් සංඛ්‍යා දත්ත අනුව ගතානුගතික ලෙස තක්සේරු කර ඇත්තේ, 1990-2008 අතර කාලයේ නිලධාරින් 18,000ක් පමන ඩොලර් බිලියන 123ක තරම් මුදල් නීති විරෝධීව රටෙන් පිටකර ඇති බවට ය.

නිදසුනක් ලෙස අගමැති වෙන් ජියාබාවෝගේ පවුල චීනයේ පොහොසත්ම පවුල් අතරට ගැනෙන බව විශ්වාස කරයි. ඔහුගේ පුත් වින්ස්ටන් වෙන් වයඹදිග විශ්වවිද්‍යාලයෙන් එම්බීඒ උපාධියක් ලබා ඇති අතර පෞද්ගලික කොටස් වෙලඳපොල හා සන්නිවේදන ක්ෂේත්‍රයේ පුලුල් බැඳීම් ඇතිව සිටියි. වෙන්ගේ බිරිඳ වන ෂෑන්ග් පිලී බීජිනයේ දියමන්ති ස්වර්නාභරන කරුවන්ගේ සභාපති වන අතර දියමන්ති වෙලඳාමෙන් වාසනාව පාදාගෙන ඇත.

නරක අතට හැරෙන ලෝක ආර්ථික අර්බුදය චීන පාලක පැලැන්තිය තුල ආතතින් උත්සන්න කර ඇත. 2008 පුපුරා ගිය ගෝලීය මූල්‍ය අර්බුදය, බටහිර තාක්ෂනය, වෙලඳපොලවල් හා ආයෝජන මත චීනයේ රඳා පැවතීමේ තරම හෙලිදරව් කලේය. එක්සත් ජනපදයට හා යුරෝපයට කරන අපනයන කඩාවැටුනු විට චීන කම්කරුවන් දශලක්ෂ 23කට ක්ෂනිකව සිය රැකියා අහිමි විය. චීකොප තන්ත්‍රය සමාජ පිපිරීමක් යාන්තමින් වලක්වා ගත්තේ, දැවැන්ත උත්තේජක පැකේජයක් හා රාජ්‍ය බැංකුවලින් සැපයූ ලාභ නය මගිනි.

සිව් වසරක් තරම් ගතව ඇතත් බටහිර ලබන ඉක්මන් ප්‍රකෘතියක් පිලිබඳව බීජිනයේ බලාපොරොත්තු සඵලවී නැත. යුරෝපයේ හා එක්සත් ජනපදයේ කප්පාදු වැඩසටහන්, පාරිභෝගික වියදම් හා ඒ නිසාම චීන අපනයන ද පහත හෙලා ඇත. චීනයේ වර්ධන අනුපාත පහත වැටෙමින් ඇති අතර දේපොල ක්ෂේත්‍රයේ සමපේක්ෂන උත්පාතය පුපුරා යාමට තර්ජනය කරයි. වැඩවර්ජන හා විරෝධතාවන් ලෙස සමාජ අසහනයේ පලමු සලකුනු මතුවෙමින් තිබේ. මෙම ආර්ථික දුෂ්කරතා ඔබාමා පාලනයේ කලාපය පුරා චීන බලපෑමට වල කැපීම අරමුනු කරගත් ආක්‍රමනකාරී “ආසියාව වෙත හැරීම” මගින් උග්‍ර කෙරී ඇත.

බෝගේ ඇද වැටිම, ඉහත තත්වයට කෙසේ ප්‍රතිචාර දක්වන්නේ ද යන්න මත චීකොප තුල ඇතිව තිබෙන බෙදීම්වලට සම්බන්ධ ය. වෙන් හා ජනාධිපති හූ ජින්ටාවෝ උත්සාහ කරන්නේ ඉතිරිව ඇති රජය සතු ක්ෂේත්‍ර බටහිර ප්‍රාග්ධනය සඳහා විවෘත කිරීම යි. එයින් අපේක්ෂා කරන්නේ, ආයෝජනයන්ගේ කාවැදීමක් ඉහල ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම හා සමාජ කැලඹිම් වලක්වා ගැනීමයි. ඒ සමග ම චීනයට චෝදනා කෙරෙන "අසාධාරන වෙලඳ ගනුදෙනු” පිලිබඳ වෙනස්කම් සිදුකරන ලෙස යලි යලිත් කියා සිටින ඔබාමා පාලනය සතුටු කිරීමටත් ඔවුහු බලාපොරොත්තු වෙති.

අ‍නෙක් අතට බෝ, අඛන්ඩ රාජ්‍ය ආරක්ෂාව හේතුකොටගෙන මෑත වසරවල විශාල ලාභ ඉපැයූ බැංකු හා රාජ්‍ය ව්‍යවසායන් සමග සමීප සම්බන්ධකම් සහිත චීකොප ඇතුලත ස්ථරයන් සමග සහයෝගිව සිටියේය. පසුගිය වසරේදී විශාල රාජ්‍ය බැංකු හතරක් ඩොලර් බිලියන 99ක ඒකාබද්ධ ලාභයක් ලැබීය. බෝ හා ඔහුගේ ආධාරකරුවන් කියා සිටින්නේ, මෙම මුදල් විශාලතම රාජ්‍ය ව්‍යවසායන් "ජාතික ප්‍රමුඛයින්” බවට පත්කිරීම සඳහා යොදාගත යුතු බවයි. එමගින් බටහිර සමාගම්වල ආර්ථික ආධිපත්‍යයට අභියෝග කල හැකි බව ඔවුහු පවසති.

පසුගිය මාසයේ ජාතික මහජන සමුලු‍ෙව්දී (එන්පීසී) වෙන්, “ඒකාධිකාරයන්ට” හා ඒවායේ “පහසු සුපිරි ලාභ” වලට එරෙහිව යුද්ධයක් දැඩිව ප්‍රකාශයට පත් කලේය. බෝගේ ජනතාවාදී වාචාලයට එල්ල කල සඳහනක දී අගමැතිවරයා, 1960 ගනන්වල ඊනියා සංස්කෘතික විප්ලවය වැනි සමාජ කලබැගෑනියකට චීනය මුහුනපානු ඇතැයි අනතුරු ඇඟවීය. ඒ වහාම චොන්ග්කින් පක්ෂ ලේකම් තනතු‍ෙරන් බෝ පහකරනු ලැබුනි.

චීකොප තුල දේශපාලන කාකොටාගැනීම් රටේ ආර්ථික ගැටලු නරක අතට හැරීමත් සමග උත්සන්න වනු ඇත. විදේශ ආයෝජන, තාක්ෂනය හා වෙලඳපොලවල් මත මුලුමනින්ම රඳා පවතින, දැන් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනය, ඒ නිසාම ගැඹුරු වන ගෝලීය ආර්ථික බිඳවැටීමේ බලපෑමට දැඩිව හසුව සිටියි.

සමස්තයක් ලෙසම චීකොප, රටේ පහත වැටෙන වර්ධන අනුපාත, මහා විරැකියාව හා පුලුල්ව පැතිරුනු සමාජ නොසංසුන්තා ඇතිවීමේ තර්ජනය එල්ල කරන බව මනාව දැන සිටිති. රාජ්‍ය තන්ත්‍රයේ ඉහල කොටස්වල දූෂනය පිලිබඳ ප්‍රශ්නය දේශපාලනිකව එතරම් ම පුපුරන සුලු කාරනයක් බවට පත්ව ඇත්තේ එබැවින්ය. එය චීකොප තන්ත්‍රයට හා පක්ෂය නියෝජනය කරන ධනපති පන්තියට සැබෑ අන්තරායන් මතුකර ඇත.

චීන කම්කරු පන්තිය උගත යුතු පාඩම වන්නේ, තරයේ ම දූෂිත චීකොප නිලධරයට එරෙහිව සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම්වන ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය යි. එයට චීනය තුලත් ජාත්‍යන්තරවත් ස්ටැලින්වාදයට හා මාවෝවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගෙනගිය දිග්ගැස්සුනු අරගලයේ සියලු දේශපාලන පාඩම් උකහා ගැනීම අන්තර්ගතය. අවශ්‍ය කෙරෙන්නේ, කම්කරු පන්තියේ අව්‍යාජ පෙරමුනු බලඇනි පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි චීන ශාඛාවක් ගොඩනැගීමයි.

ජෝන් චෑන්

Share this article: