එක්සත් ජනපද විද්‍යාල උපාධිධාරිහු ලාභ ගරන ක‍්‍රමයේ අවෘත අන්තයට මුහුන දෙති

US college grads confront the dead end of the profit system

24 April 2012

ඔබාමා පාලනාධිකාරය සහ මාධ්‍ය ආර්ථික ප‍්‍රකෘතිමත් වීමක් පිලිබඳව කරන නිමක් නැති කියාපෑම් මධ්‍යයේ, එක්සත් ජනපදයේ කම්කරු පන්තිය මුහුන දෙන කොන්දේසි අඛන්ඩව පිරිහෙමින් පවතී. මෙය වඩාත් ම පැහැදිලිව පෙනෙන්නේ තරුන ජනයාගේ ඉරනම තුලය. ඔවුන් මුහුන දී සිටින්නේ විරැකියාවෙන්, අඩු වැටුප් සහිත රැකියාවන්ගෙන් හා සදාකාලික නය බරින් යුක්ත අනාගතයකටය.

ඉරිදා ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කල පරිදි, එක්සත් ජනපදයේ විද්‍යාලවල සිවු වසරක පාඨමාලා හැදෑරූ වයස 25ට අඩු සියලූ උපාධිධාරින්ගෙන් හරි අඩකට වැඩි සංඛ්‍යාවක් (සියයට 53.6) එක්කො රැකියා විරහිතව, නැතිනම් ඌන රැකියාවන්හි නිරතව සිටී. එනම්, රැකියාවක් නැතිව හෝ සුදුසුකමක් ලෙස ඔවුන්ගේ උපාධිය අවශ්‍ය නැති රැකියාවන්හි නිරතව සිටී. මෙය වනාහි මීට වසර 11කට පෙර මේ පිලිබඳ වාර්තා තබා ගැනීම ආරම්භ කිරීමෙන් පසුව මෙතෙක් පැවති ඉහලතම ප‍්‍රතිශතයයි.

මෙම ප‍්‍රවර්ගයට වැටෙන මිලියන 1.5ක් ජනයාගෙන් හරි අඩක් පමන රැකියා විරහිතව සිටින අතර, ඉතිරි අඩ සිල්ලර වෙලඳ ශාලාවල, කෝපි කඩවල, ආපන ශාලා ආදියෙහි අඩු වැටුප් සහිත රැකියාවන්හි යෙදෙති. ඊලඟ වසර අට තුල විශාලතම ඉඩ ප‍්‍රස්ථාවන් සහිත යෝජිත රැකියා 30න් ප‍්‍රථම උපාධියක් හෝ ඊට ඉහල සුදුසුකමක් අවශ්‍ය කෙරෙනු ඇත්තේ තුනකට පමනක් බව ද එම වාර්තාව සටහන් කරගනී.

එක්සත් ජනපදයේ සමස්ත තරුන විරැකියාව සියයට 23කට ඉහල වන අතර, නිල ආර්ථික "ප‍්‍රකෘතියේ” තුන් වසරකට පසුව, තරුනයන් අතර ඌන රැකියා නියුක්තියේ හා විරැකියාවේ අනුපාත තවමත් වැඩෙමින් පවතී. තරුන ජනයා මුහුන දෙන දරුනු විරැකියා තත්වය ඔවුන් වැඩිහිටි කම්කරුවන්ට එරෙහිව පිහිටුවීමට යොදා ගැනෙයි. බොහෝ අවස්ථාවන්හි දී, සමාගම්, දශක ගනනාවක අත්දැකීම් සහිත කම්කරුවන් දොට්ට දමා ඔවුන්ගේ වැටුපෙන් හරි අඩක වැටුපකට වඩා හොඳ අධ්‍යාපනයක් සහිත කම්කරුවන්ගෙන් ඔවුන් විස්ථාපනය කර තිබේ.

ආර්ථික සුරක්ෂිත භාවයේ හා දියුනුවේ අපේක්ෂාවන් ලබා දෙන ශිෂ්ඨ සම්පන්න වැටුප් සහිත රැකියා සොයා ගැනීමට අපොහොසත් වන එම ශිෂ්‍යයන්ට දැවැන්ත විද්‍යාල නය බරකට කර ගැසීමට සිදු වේ. ශිෂ්‍ය නය මට්ටමේ සාමාන්‍ය මේ වසරේ දී ඩොලර් 25,000 දක්වා ඉහල නැගි අතර එහි මුලූ අගය ඩොලර් ටි‍්‍රලියන 1 ඉක්මවා ගියේය.

තරුන පරම්පරාව මුහුන දෙන කොන්දේසි සමාජ ක‍්‍රමයක සමස්ත සෞඛ්‍ය සම්පන්න භාවය පිලිබඳ දර්ශකයකි. සිය දෙමව්පියන්ගේ ජීවන මට්ටම්වලට වඩා නරක ජීවන මට්ටම්වලට සිය තරුනයන් තල්ලූ කරන සමාජයක් වනාහි පසුපසට ගමන් කරන සමාජයකි. "ඇමරිකානු සිහිනයට” දේශපාලනඥයන් කරන චාරිත‍්‍රානුකූල සැඳහුම්වලට යථාර්ථය සමග කිසිදු සම්බන්ධයක් නැත.

දේශපාලන සංස්ථාපිතයට තරුන පරම්පරාවට දීමට කිසිවක් නැත. ශිෂ්‍ය නයවලින් කොටසක පොලී අනුපාතික අඩු කරන ලෙස කොංග‍්‍රස් මන්ඩලයෙන් කරන සංකේතාත්මක ඉල්ලීමකින් තරුන ඡන්දදායකයන්ට ආයාචනා කිරීමේ බලාපොරොත්තුවෙන් යුක්තව, ජනාධිපති බරක් ඔබාමා මේ සතියේ දී ප‍්‍රාන්ත තුනක විශ්වවිද්‍යාලවල සංචාරයක් අරඹනු ඇත. උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ, කොලොරාඩො විශ්වවිද්‍යාලයේ හා අයොවා විශ්වවිද්‍යාලයේ කරන සිය සංචාරයන්හි දී, ඔබාමා, ජුලි 1 දා සහනාධාර යටතේ පවතින ස්ටැෆර්ඩ් නයවල පොලී අනුපාතික සියයට 6.5 දක්වා ඉහල යාම වලක්වන ලෙස කොංග‍්‍රස් මන්ඩලයෙන් වාචාල සහගත ලෙස ඉල්ලා සිටිනු ඇත.

උපාධිධාරින් දරා සිටින නය බරෙහි දැවැන්ත මට්ටම සමග සැසඳූ කල, මෙම යෝජනාව වැදගැම්මකට නැත. එය බලපානු ඇත්තේ සහනාධාරිත ආන්ඩුවේ නයවලට පමනකි. එම වර්ගයට අයත් වන්නේ සමස්ත ශිෂ්‍ය නයවලින් තුනෙක් පංගුවකටත් අඩු ප‍්‍රමානයකි. එමෙන්ම යෝජනාවෙන් අදහස් කෙරෙනු ඇත්තේ පොලී අනුපාතිකවල සුලූ වෙනසක් පමනි. එය ශිෂ්‍යයන් ගෙවිය යුතු නය මුදලේ වෙනසක් සිදු නොකරයි.

ඒවා ඔවුන්ගේ ලාභවලට කිසිදු බලපෑමක් ඇති නොකරන බව සහතික කරගනු පිනිස, ශිෂ්‍ය නය පිලිබඳ ඔබාමාගේ සියලු යෝජනා බැංකු සමග සම්බන්ධීකරනයට හා ඔවුන්ගේ පරීක්ෂාවට යටත් කෙරී ඇත. ඒ අතරතුර, ඔබාමා ෆෙඩරල් අධ්‍යාපන වියදම් කප්පාදුව අධීක්ෂනය කොට, මහා පරිමානයෙන් ගුරුවරුන් දොට්ට දැමීමට සහයෝගය දී, නිෂ්පාදන අංශයේ වැටුප් කපාදැමීමට මූලිකත්වය ගෙන තිබේ. ඔහු මහජන විරැකියාව, දරිද්‍රතාව හෝ උකස් නිවාස පවරාගැනීම යන ගැටලූවලට බැරෑරුම්ව ආමන්ත‍්‍රනය කරන කිසිදු යෝජනාවක් ගෙන ආවේ නැත.

තරුනයන් මුහුන දෙන අර්බුදයේ හරි මැද පවතින්නේ, හුදු එක පාලනාධිකාරයක පිලිවෙත් නොව, කෙසේවෙතත්, සංගතවල හා මූල්‍ය ප‍්‍රභූවේ ලාභ අවශ්‍යතාවන්ට කැප වූ සමාජ හා ආර්ථික ක‍්‍රමයකි. ඩිමොක‍්‍රැටික් හා රිපබ්ලිකන් යන නිල පක්ෂ දෙකම නියෝජනය කරන්නේ, වැඩ කරන ජනයාගේ ජීවන මට්ටම් විනාශ කිරීම මගින් ධනවාදයේ අර්බුදය විසඳීමට උත්සාහ කරන පාලක පන්තියකි.

මෙය ජාත්‍යන්තර ප‍්‍රපංචයකි. පසුගිය වසරේ ඊජිප්තුවේ හා ටියුනීසියාවේ නැගිටීම්වල ද යුරෝපය පුරා පැවති මහජන විරෝධතාවල ද ප‍්‍රධාන ගාමක බලය වූයේ, අනාගතයක් නැති මිලියන සංඛ්‍යාත තරුන කම්කරුවෝය. අවපාතයේ ගිලී පවතින ස්පාඤ්ඤය හා ගී‍්‍රසිය තුල තරුන විරැකියාව සියයට 50 කරා ලඟා වේ.

මෙය ආරම්භය පමනි. වඩා ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත් යුරෝපයේ අර්බුදය යලි අලුත් කිරීමට තුඩු දෙමින් තිබේ. එක්සත් ජනපදය තුල, ඡන්දයෙන් තේරී පත් වන්නේ කවරෙකු ද යන්න නොතකා, පාලක පන්තිය, දේශීය සමාජ වියදම් දල දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස දශක ගනනාවක් පැවති පහලම මට්ටම කරා කප්පාදු කිරීමට සූදානම් වේ.

2011 සමාජ නැගිටීම් එලඹීමට නියමිත තතු පිලිබඳ පෙරඇඟවුමක් පමනි. එහෙත් තරුනයන්ගේ අරගල දේශපාලන හා පන්ති කි‍්‍රයාමාර්ගයකින් දැනුවත් කල යුතුය. ජෙරී වයිට් හා ෆිලිස් ෂෙරර්, සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂකයන් ලෙස, එවන් කි‍්‍රයාමාර්ගයක් සඳහා සටන් කරනු පිනිස, 2012 මැතිවරනයට තරඟ කරති. ඔවුහු සියලු ශිෂ්‍ය නය අහෝසි කිරීම සහ සියල්ලන් සඳහා නොමිලේ ඉහල ගුනාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම ඉල්ලා සිටිති. එමෙන්ම සමාජ පොදු කාර්ය ව්‍යුහයන් යලි ගොඩනැගීම, සංස්කෘතිමය අවස්ථාවන් පුලුල් කිරීම හා සියල්ලන් සඳහා මනා වැටුප් සහිත රැකියා සැපයිම පිනිස ඩොලර් ටි‍්‍රලියන ගනනන පොදු ව්‍යාපෘති වැඩපිලිවෙලක් සඳහා ද ඔවුහු කැඳවුම් කරති.

මෙම සමාජ අයිතීන් සුරක්ෂිත කරගැනීම එක්සත් ජනපදය තුල හා ලෝක පරිමානයෙන් සමාජ සංවිධානයේ පරිවර්තනයක් ඉල්ලා සිටී. බැංකු හා ප‍්‍රධාන සංගත ජනසතු කොට කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනය යටතට ඒවා ගෙන ආ යුතුය. සියලු තරුනයන් සඳහා අනාගතයක් සහතික කරනු පිනිස අවශ්‍ය වන සම්පත් නිදහස් කරගනිමින්, ධනයේ රැඩිකල් යලි බෙදාහැරීමක් සිදු කල යුතුය.

මහා ව්‍යාපාරික පක්ෂ දෙකෙහි රාමුව ද ඔවුන් ආරක්ෂා කරන ධනපති ක‍්‍රමය ද තුල, වැඩ කරන ජනයාගේ හා තරුනයන්ගේ අයිතීන් -- එනම්, රැකියාවකට, අධ්‍යාපනයට, යුද්ධයෙන් තොර අනාගතයකට පවත්නා අයිතිය -- ආරක්ෂා කරගත හැකි මගක් නොමැත. තරුනයන් සඳහා අනාගතයක් වෙනුවෙන් කරන සටන සමාජවාදය සඳහා කරන සටනයි.

ඇන්ඩෲ ඩෙමොන්

Share this article: