සිරියාව තුල වොෂින්ටනයේ මිනීමරු මැදිහත්වීම

Washington’s lethal intervention in Syria

18 May 2012

සිරියාවේ අසාද් තන්ත්‍රය පෙරලා දැමීමේ ව්‍යායාමයක නිරතව සිටින කොටස්වලට සපයන්නේ "භයානක නොවන” ආධාර බව ප්‍රසිද්ධියේ කියා සිටින අතර වොෂින්ටනය, රට තුලට ආයුධ තොග සැපයීම සම්බන්ධීකරනයේ යෙදෙමින්, බිහිසුනු ගැටුම් පතුරුවා හැරීමේ නිරතව සිටියි.

15දා පලවූ වොෂින්ටන් පෝස්ට් පත්‍රයේ ප්‍රධාන ලිපියෙහි අවධාරනය කෙරුනේ මෙයයි. එහි මෙසේ සඳහන් විය. "පර්සියානු ගල්ෆ් රටවල් මුදල් වැය කරන, පාර්ශවීය වශයෙන් එක්සත් ජනපදය විසින් සම්බන්ධීකරනය කරන, ව්‍යායාමය තුලදී, කැරලිකරුවන් වෙත මෑත සතිවල දී සැලකිය යුතු තරම් හොඳ අවි ලැබෙන්නට පටන් ගෙන ඇති බව විපක්ෂ ක්‍රියාකාරීන් හා එක්සත් ජනපදයේ විදේශ කටයුතු නිලධාරීන් ප්‍රකාශ කරති.”

සිරියානු ආන්ඩුවේ හමුදාවන්ට පහර දෙන අය සන්නද්ධ කිරීම සංවිධානය කිරීමේ දී වොෂින්ටන‍ෙය් වර්ධනය වන ක්‍රියාකලාපය, "මිලිටරි ගැටුම පැතිර යාම නොවැලැක්විය හැකිය” යන ඔවුන්ගේ ඉදිරිදර්ශනයට බැඳී තිබෙන බව පුවත්පත සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් විසින් කපුකම් කරන ලද සටන් විරාමයට හා දේශපාලන සංක්‍රමනයේ සැලැස්මට නිල වශයෙන් සහාය පලකරන අතර ඔබාමා පාලනය, මෙම සැලැස්ම කඩාකප්පල් කිරීමේ හා වඩාත් සෘජු මිලිටරි මැදිහත්වීමක් සඳහා මග පාදාගැනීමේ පැහැදිලි අරමුන සහිතව ප්‍රචන්ඩ ගැටුම් උසිගන්වනු ලබයි.

කලාපය තුල වොෂින්ටනයේ සමීප අනුචරයන් වන සවුදි අරාබිය හා කටාර් රාජ්‍යයන්, අසාද් විරෝධී බලවේගයන් සන්නද්ධ කිරීම වෙනුවෙන් විවෘතව කතා කරන අතර ඒ වෙනුවෙන් ඩොලර් මිලියන ගනනින් මුදල් වියදම් කරති. පෝස්ට් පත්‍රයේ ලිපිය, මෙම ආයුධ ලැබිය යුත්තේ කාහට දැයි තීරනය කරන්නේ වොෂින්ටනයේදී බව ඇඟවුම් කරයි. "කැරලිකරුවන්ගේ විශ්වාසනීයත්වය හා යටිතලයේ මෙහෙයුම් හා පාලනය පිලිබඳ තක්සේරුවක් ගල්ෆ් රටවලට ලබාදීම පිනිස විපක්ෂ බලවේගයන් සමග වොෂින්ටනය, සිය සම්බන්ධකම් වැඩි වර්ධනය කර තිබේ.”

මේ දක්වා ම අසාද්ට එරෙහි සන්නද්ධ කැරලිවලට සම්බන්ධවීමෙන් වැලකී සිටි නැගෙනහිර සිරියාව පාදක කරගත් කුර්දි විපක්ෂයේ නියෝජිතයින් සමග මේ සතියේ සාකච්ඡාවන්ට අනුග්‍රහය දැක්වීමට ඔබාමා පාලනයේ නිලධාරීන් ඉදිරිපත්ව සිටින බව පුවත්පත හෙලිකර ඇත. කුර්දිවරුන්ගේ සම්බන්ධය වැලකී ඇත්තේ, බොහෝකොටම විපක්ෂයේ ආධිපත්‍යය උසුලන හා කුර්දි ඉල්ලීම්වලට සතුරු, මුස්ලිම් සහෝදරත්වය හා අනෙකුත් සුන්නි කට්ටිවාදී කොටස් කෙරෙහි ඇති ඔවුන්ගේ අවිශ්වාසය නිසාය.

වාර්තාවට අනුව සාකච්ඡාවන්හි අරමුන, "අසාද්ට සිය සම්පත් බටහිර දෙසින් ඉවත් කිරීමට බල කෙරෙන පරිදි අසාද්ගේ හමුදාවන්ට එරෙහිව දෙවන පෙරමුනක් පිහිටුවා ගැනීමය.”

ඔබාමා පාලනය තුල සිටින, “මානව අයිතීන්” හා "ප්‍රජාතන්ත්‍රයේ” රනකාමීන්ගේ නරුමත්වය පිලිබඳව මීටත් වඩා පැහැදිලි ප්‍රකාශයනයක් අත්කරගත නොහැකිය. සිරියාවේ කුර්දිවරුන්ගේ සන්නද්ධ කැරැල්ලක් ඇවිස්සීමට උත්සාහ කරමින් වොෂින්ටනය ඒ අතරවාරයේ, තුර්කියේ අල්ලපු දේශසීමාව හරහා එවන් කැරැල්ලක් මිලිටරිමය වශයෙන් මැඩීම සඳහා තුර්කි මිලිටරියට ආධාර කරයි. එක්සත් ජනපද ඩ්‍රෝන් යානාවක් යොදාගනිමින් තුර්කි ඉලක්ක හඳුනාගැනීම පිනිස තුර්කි ප්‍රහාරක යානාවන්ට තොරතුරු සපයා ඇති බව16දා වෝල්ස්ට්‍රීට් ජර්නල් පුවත්පත හෙලිදරව් කල අතර එය, පසුගිය දෙසැම්බරයේදී සිවිල් වැසියන් 35 දෙනෙක් මරාදැමීමට තුඩු දුන්නේය.

පෝස්ට් පුවත්පත් වාර්තාව ගැන රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මතය ප්‍රකාශයට පත් කරමින් අදහස් දැක්වූ එහි ප්‍රකාශිකාවක් වන වික්ටෝරියා න්‍යුලෑන්ඩ්, වාර්තාවට ඇතුලත්ව ඇත්තේ "සනාථකල නොහැකි හුවාදැක්වීම්” යයි චෝදනා කලාය. එහෙත් ඇය එහි අඩංගු දේ නිෂ්ප්‍රභා කිරීම ප්‍රතික්ෂේප කලාය. සිරියාව තුලට ටොන් ගනනින් ආයුධ හා මූනිස්සම් පැටවීමට අරාබි උප මහාද්වීපයේ රාජකීය ආඥාදායකත්වයන් ගෙන ඇති "ස්වෛරී” තීරනවලට ගරු කරන අතර, "සිවිල් විපක්ෂයට බිහිසුනු නොවන ආකාර‍ෙයන්” පිටුබලය දීමට වොෂින්ටනය ගෙන ඇති තීරනය පිලිබඳව ඇය මනස්ගාත දෙඩවූවාය.

පිටතට පෙන්වන පරිදි, ආයුධ තොග සිරියාව තුලට යැවීමෙන් "ගින්දරට තවත් තෙල් වැක්කිරීමට” වොෂින්ටනය විරුද්ධ වන්නේ නම්, ඔවුන් සවුදි හා කටාර් ආන්ඩු සමග ආයුධ බෙදාහැරීම සම්බන්ධීකරනයේ යෙදී සිටින්නේ මන්දැයි පැහැදිලි කරන ලෙස මාධ්‍යවේදියෙකු තදින්ම කියා සිටි විට න්‍යුලෑන්ඩ් මෙසේ ප්‍රතිචාර දැක්වූවාය. "සිරියානු ජනතාවගේ මිතුරෝ ගොඩනඟා ඇත්තේ ඒ සඳහා ය. එනම් සම්බන්ධීකරනය සඳහා ය.”

පසුගිය සතියේ ඩැමස්කස්හි දී පුද්ගලයින් 55 දෙනෙක් මරා දමමින් 400කට වැඩි ගනනකට තුවාල සිදුකල බෝම්බ ප්‍රහාර වැනි ත්‍රස්ත ප්‍රහාර ද සිවිල් යුද්ධය ද උසිගැන්වීමෙන් වොෂින්ටනය හා එහි අනුචරයින් සෘජු මිලිටරි මැදිහත්වීමකට ද කොන්දේසි සකස් කරමින් සිටියි.

මෙම සතියේදී සිරියානු ජොර්දාන දකුනු සීමාවට සැතපුම් කිහිපයකට පමනක් නුදුරින් ඇමරිකානු විශේෂ කාර්ය බලකා සෙබලු 11,000ක් පමන "2012 ආසක්ත සිංහයා” යනුවෙන් නම්කල යුද අභ්‍යාසයන්හි යෙදී සිටියහ. ඊට සහභාගි වූ සන්නද්ධ භටකායන්ට අසාද් මිලිටරිමය වශයෙන් පෙරලා දැමීමට විවෘතව සහාය දක්වන සවුදි අරාබිය හා කටාර් රාජ්‍ය හමුදා ද ඇතුලත් විය.

සිරියාවේ පාලන තන්ත්‍රයේ වෙනසක් සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදය ගෙනයන්නේ රහසිග යුද්ධයක් නොවේ. සිරියාවේ ප්‍රචන්ඩ ක්‍රියා හා එරට ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් පිලිබඳ උත්සුක වන බවට ගසන ධවල මන්දිරයේ සියලු පම්පෝරි මධ්‍යයේ ඔබාමා පාලනය, සිය මූලෝපායික අරමුනු මුදුන්පත්කර ගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් බොහෝ සිරියානුවන්ගේ ජීවිත බිලිදීමට සූදානම්ව සිටියි.

ඩිමොක්‍රටික් ජනාධිපතියෙකු යටතේ වඩ වඩාත් කලාපය තුල අනුගමනය කරන අදූරදර්ශී හා මිලිටරිමය ප්‍රතිපත්තියේ කොටසකි සිරියාවට මැදිහත්වීම. යේමනය තුල රඳවා ඇති ඇමරිකානු විශේෂ කාර්ය බලකාය විසින් මෙහෙයවන ඩ්‍රෝන් මිසයිල ප්‍රහාර දුසිම් ගනනාවක් යොදාගෙන, එක්සත් ජනපදයේ පිටුබලය ලබන එරට පාලන තන්ත්‍රයට මුක්කු ගැසීම සඳහා ඒ අතරවාරයේ ඔවුන් යුද්ධයක් අවුලුවයි.

ඒ සමග ම ඔබාමාගේ ධවල මන්දිරය, බහරේනයට එක්සත් ජනපද මිලිටරි ආධාර සැපයීම යලි අරඹන ලෙසට නියෝග කර තිබේ. එක්සත් ජනපදයේ පිටුබලය ලබන එරට සුන්නි සුලුතරයේ රාජාන්ඩුව, බහුතරයක් වන සියා ජනගහනය රුදුරු ලෙස මැඩීම හා වධදීම් පිලිබඳව හා එය රටින් පිටතට ද ගලායන බවට වාර්තා පලවෙද්දී පවා ධවල මන්දිරය, පසුගිය සතියේදී තෙලින් පොහොසත් ගල්ෆ් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා පිලිගත්තේය.

"ප්‍රජාතන්ත්‍රවාදයේ” හා "මානව හිමිකම් රැකිමේ” කඩතුරාව යටතේ සිරියාව තුල එකක් ද ඊට වඩා අඩු මට්ටමේ "ස්ථාවරත්වය” හා "ආරක්ෂාව” යන කඩතුරාව යටතේ යේමනයේ හා බහරේනයේ තවෙකක් ද වශයෙන් ගෙන යන මෙම අපරික්ෂාකාරී හා විෂමාකාර ඇමරිකානු මැදිහත්වීම් එකට බැඳ දමන්නේ කුමකින් ද? තෙලින් පොහොසත් ගල්ෆ් කලාපයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස හඳුනාගෙන තිබෙන රටකට එරෙහිව, එනම් ඉරානයට එරෙහිව, යුද්ධය සඳහා මිලිටරිමය වශයෙන් සූදානම් වෙමින් හා වටකරමින් ගෙනයන වඩාත් පුලුල් එක්සත් ජනපද ප්‍රතිපත්තිය මගින් එය සිදුවෙයි.

සිරියාවේදී එයට ඇත්තේ, අරාබි ලෝකය තුල ඉරානයේ සමීපතම මිතුරා පෙරලා දමා එක්සත් ජනපද සහචර පාලනයක් එරට තුල ඇටවීමේ බලාපොරොත්තුවයි. යේමනයේදී එය, ඉරානයේ බලපෑම පුලුල් කිරීමේ තර්ජනයක් ලෙස දැකගන්නා බහුවිධ කැරලි මැඩීම පිනිස, පාලන තන්ත්‍රයට පිටුබලය දෙයි. බහරේනයේ දී එය, ජනගහනයෙන් සියයට 70ක් වන ආගමික වශයෙන් ඉරාන සමගාමිකයින් වන ෂියාවරුන් මැඩීමේ ඇපාතයිඩ් වර්ගයේ මර්දනයකට අනුබල දෙයි. ඔවුන් සිය ප්‍රජාතන්ත්‍ර අයිතීන් දිනාගතහොත් එය, ගල්ෆ්හි එක්සත් ජනපදයේ පිටුබලය ලබන ආඥාදායකයින්ට තර්ජනයක් ලෙස දැක ගනියි.

ජී-8 සමුලුවට සහභාගී වීම සඳහා එක්සත් ජනපදය කරා යාමට මඳකට කලින් රුසියානු අගමැති දිමිත්‍රි මෙඩ්විඩෙව් පල කල අදහස් අතර "විදේශ රටවල කඩිමුඩියේ කරන මිලිටරි ක්‍රියාන්වියන්” පිලිබඳව වොෂින්ටනයට කල අනතුරු ඇඟවීමක් ද විය. "මට කිසිවෙකුත් බිය වැද්දීමට අවශ්‍ය නොවන නමුත්” මෙම ක්‍රියාවන් "කලාපය ම වෙලාගත් යුද්ධයකට, එනම් න්‍යෂ්ටික අවි යොදාගන්නා යුද්ධයකට, මුල්විය හැකිය.”

"යුද්ධයේ බැසයන වඩදිය” පිලිබඳ ඔබාමා පාලනයේ සියලු කතා පිටුපස ඇති කටුක යථාර්තය නම් මෙයයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිය ඓතිහාසික අර්බුදය හා පරිහානිය මිලිටරිමය වශයෙන් ජයගැනීමට අඛන්ඩව දරන ඉමහත් උත්සාහය, මානව වර්ගයා නව ලෝක ගිනි ජාලාවක් තුලට ඇද දැමීමේ තර්ජනය සමග මුහුනට මුහුන පිහිටුවයි.

බිල් වෑන් ඕකන්

Share this article: