ස්පාඤ්ඤ නය අර්බුදය ගෝලීය ආර්ථිකය බිඳ වැටීමේ ඉමට තල්ලු කරයි

Spanish debt crisis pushing global economy to the brink

By Nick Beams, 30 April 2012

අරමුදල් හිඟයෙන් පෙලෙන බැංකුවලට ඉතා පහල පොලී අනුපාතිකයක් යටතේ නය සැපයීම පිනිස යුරෝ ට්‍රිලියනයක තරම් සංචිතයක් ගොඩනැගීමට යුරෝපීය මහ බැංකුව (යුමබැ) මෑතක දී මූල්‍ය වෙලඳපොලට මැදිහත්වීමට පටන් ගැනීමෙන් යන්තම් සිව් මසකට පසුව, යුරෝපීය මූල්‍ය පද්ධතිය දුරදිග යන ගෝලීය ඇඟවුම් සහිත නව අර්බුදයකට මුහුනපා ඇත.

අලුත්වී ඇති වෙලඳපොල අර්බුදය වනාහි, තම දිගු කාලීන ප්‍රති මූල්‍ය ක්‍රියාන්විතය (එල්ටීආර්ඕ) යටතේ යුමබැ ගෙන ඇති පියවරයන්ගේ හා මූල්‍ය වෙලඳපොලවල බලපෑම් යටතේ යුරෝපය පුරා පනවනු ලබන කප්පාදු පියවර යන දෙකේම නිමැවුමකි.

ග්‍රීසිය නය පැහැර හැරීමේ අද්දරට ඇදී යමින් උනුවී යාමක තර්ජනය මතුකල තැන් පටන්, මූල්‍ය කුනාටුවේ ඇස යුරෝපයේ සිව්වන විශාලතම ආර්ථිකය වන ස්පාඤ්ඤය වෙත මාරුවී තිබේ. පසුගිය සතියේ හෙලිදරව් වූයේ ස්පාඤ්ඤයේ විරැකියා අනුපාතය සියයට 25ක් තරම් ඉහල ගොස් ඇති බවයි.

විරැකියා අනුපාතයේ ඉහල නැඟීම වාර්තාවීමට පෙරම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් නය වර්ගීකරන ආයතනය, (එස්ඇන්ඩ්පී) එරට නය ආපසු ගෙවීමේ හැකියාව දක්වන නය වර්ගීකරනය, පහත හෙලීය. ස්පාඤ්ඤ බැංකු මුහුනපා ඇති අන්තරායන් පිලිබඳව ද එරට ගැඹුරු අවපාතයකට ඇද වැටෙනු ඇති බවට ද එය අනතුරු ඇඟවීය. ස්පාඤ්ඤ නයෙහි වර්ගීකරනය යන්තම් මාස හතක් ඇතුලත පහත හෙලන ලද තුන්වන වතාව මෙයයි.

“දිගුකාලින වර්ගීකරනයේ රිනාත්මක දැක්ම, ස්පාඤ්ඤයේ ආර්ථික වර්ධනයේ හා අයවැය කටයුතුවල සැලකිය යුතු අවදානම් ද මෙම තත්වය රටට නය ලබාගැනීමට ඇති සුදුසුකම් කෙරෙහි ඇතිකරන බලපෑම පිලිබඳව ද අපගේ දැක්ම පිලිබිඹු කරන්නේ යයි.” එස්අන්ඩ්පී ප්‍රකාශය සඳහන් කරයි. ස්පාඤ්ඤ ආර්ථිකය 2012 වසරේ සියයට 0.3න් ද 2013දී සියයට 0.5න් ද වර්ධනය වනු ඇති බවට කලින් පලව තිබූ අනාවැකි බැහැර කරමින් එය පුරෝකථනය කර ඇත්තේ, මෙම වසරේ ආර්ථිකය සියයට 1.5න් ද ලබන වසරේදී සියයට 0.5න්ද හැකිලෙනු ඇති බවටයි.

ස්පාඤ්ඤ බැංකු පද්ධතියට වසර අවසන් වන විට යුරෝ බිලියන 120ක ඇප දීමක් අවශ්‍ය වනු ඇති බවට පලවූ අනාවැකි මධ්‍යයේ, ස්පාඤ්ඤ විදේශ ඇමති ජොසේ මැනුවෙල් මාගලෝ පැවසුවේ රට “දැවැන්ත පරිමානයේ” අර්බුදයකට මුහුනපා අති බවය.

වඩාත් බලවත් යුරෝපීය බලවතුන්ට කෙරෙන පැහැදිලි අනතුරු ඇඟවිමක් සමග. විශේෂයෙන්ම ජර්මනියට, මාගලෝ එය ටයිටැනික් තත්වයට සමාන කලේය. “මෙහිදී ගිලාබැසිමක් සිදුවුවහොත්, පලමුවන පන්තියේ මගීන් ද ගිලෙනු ඇත” යනුවෙනි.

ස්පාඤ්ඤයේ අර්බුදය දිග්ගැස්සුනොත් එය ඉක්මනින්ම ඉතාලියට හා අවශේෂ යුරෝපයට ද පැතිරෙනු ඇති බවට බියක් පවතියි. යුරෝ කලාපයේ තෙවැනි විශාලතම ආර්ථිකය වන ඉතාලිය, යුරෝ බිලියන 734ක් වන ස්පාඤ්ඤයේ නය ප්‍රමානය මෙන් දෙගුනයකටත් වැඩි ට්‍රිලියන 1.9ක් නය ගැතිය. ප්‍රන්සයේ නය වර්ගීකරනය පවා යලිත් වටයකින් පහත දමනු ඇති බවට බිය පලවෙයි.

ස්පාඤ්ඤ බැංකුවල අනතුරුදායක තත්වය, පසුගිය සතියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රකාශයකින් ද ඉස්මතුකර තිබුනි. පසුගිය සිව් වසර තුල ස්පාඤ්ඤයේ මූල්‍ය ක්ෂේත්‍රය, දේපල වෙලඳපොලේ "උත්පාතය පුපුරා යාමේ චක්‍රයක්” හේතුකොටගෙන නැගී ආ සැලකිය යුතු අවදානම් නිසා "පෙර නොවූ විරූ පරිමානයක” අර්බුදයක් අත්විඳි බව එය පැවසීය. මෙය හෙලිදරව්කර ඇත්තේ, ඉතිරිකිරීම් තුලින් නොව, මූල්‍ය වෙලඳපොලවල් තුලින් අරමුදල් සපයා ගැනීම මත ඕනෑවට වැඩි විශ්වාසයක් තැබිම හා ප්‍රතිපත්ති හා නියාමන ආකෘතියේ දුබලකමයි.

ස්පාඤ්ඤ බැංකු පිලිබඳ අසාමාන්‍ය සෘජු ප්‍රකාශයක් තුල ජාමූඅ, "මූල්‍ය ස්ථාවරත්වය සුරක්ෂිතකර ගැනීමේදී, විශේෂයෙන්ම විශාලතම බැංකුව ද ඇතුලු මෙම බැංකු, තමන්ගේ ශේෂපත්‍ර ද කලමනාකරන හා පාලන ක්‍රමෝපායන් ද සවිමත්කර ගැනිමේ ක්ෂනික හා තීරනාත්මක පියවර ගැනිම අත්‍යවශ්‍ය” බව සඳහන් කලේය. "විශාලතම එක” යනුවෙන් සඳහන් කලේ, විශේෂයෙන්ම බිඳවැටුනු දේපල වෙලඳාමේ උත්පාතයට නිරාවරනය වූ ඉතිරිකිරීමේ බැකු හතක එකතුවෙන් සැදි බැන්කියා ය.

කෙසේ නමුදු අර්බුදය හුදෙක් ස්පාඤ්ඤ තත්වයන්ගේ ප්‍රතිපලය නොවේ. එය යුමබැ සිය එල්ටීආර්ඕ වැඩසටහන තුලින් ක්‍රියාවට නගන ලද "ගලවාගැනීම” යයි කියන ලද පියවරයන්ගේ ද ප්‍රතිපලය විය.

මෙම ප්‍රතිපත්තිය යටතේ, මූල්‍ය ක්‍රමය පුරා ද්‍රවශීලතා අර්බුදයක් ඔඩු දිවීම වලක්වා ගැනීමට දරන ලද වෑයමක දී යුමබැ, සියයට 1 පොලියට දුබල බැංකුවලට අරමුදල් සපයන ලදී. යුරෝපය ලේමන් බ්‍රදර්ස් පරිමානයේ අර්බුදයකට මුහුනපා ඇති බවට පලවු අනතුරු ඇඟවීම් මධ්‍යයේ මෙම ප්‍රතිපත්තිය පසුගිය දෙසැම්බරයේදී ක්‍රියාත්මක කරන ලදී.

කෙසේ නමුදු යුමබැ මෙහෙයුම දිගුකාලීන විසඳුමක් සැපයුවේ නැත. සැබවින්ම නම් එමගින් ගැටලු තවත් උග්‍ර කලේය. මක්නිසා ද යත් අරමුදල් ලබාගත් දුබල බැංකු යථා ආර්ථිකයේ කටයුතු තුල නොව ඒවා ආයෝජනය කලේ පහසුවෙන් ලාභ ලැබීමේ බලාපොරොත්තුවෙන් රාජ්‍ය නයකර මිලට ගැනීම සඳහා නිසාය. ප්‍රතිපලය වූයේ බෙහෙවින් දුබල බැංකුවල ඉරනම දැන් වෙන කවරදාකටත් වඩා නයගැති කමේ විශාලතම ගැටලුවලට මුහුනදී සිටින ආන්ඩුවල ඉරනම සමග සමීපව ගැටගැසීමයි.

යුමබැ කටයුතු මෙම වසරේ මුල් මාස හතර තුල මූල්‍ය වෙලඳපොලවල කෙටිකාලින උත්පාතයක් නිර්මානය කල ද අර්බුදය වඩාත් විෂද ලෙස යලි හිස ඔසවා තිබේ. ආන්ඩුවල නයකර මිලට ගැනිමට බැංකු සතු අරමුදල් ප්‍රමානවත් නොවන බවට බියක් පැතිර යමින් තිබේ.

ස්පාඤ්ඤ හා ඉතාලි ආන්ඩුවල නයකරයන්ගේ පොලී අනුපාත මෑතකදී ඉහල යාම තුල මෙම බිය පිලිබිඹු කෙරිනි. මෑත දිනවලදී ස්පාඤ්ඤ නය සඳහා පොලී අනුපාතිකය සියයට 6 තීරනාත්මක මට්ටමට ඉහල නැඟුනි. ජනවාරියේදී සියයට 7ක මට්ටමට නැඟී තිබුනු ඉතාලි බැඳුම්කර පොලී අනුපාතික මාර්තු වන විට සියයට 4.5 දක්වා පහල වැටුන ද දැන් යලිත් සියයට 5.63 තෙක් ඉහල නැග තිබේ.

ද්‍රවශීලතාවේ වැඩිවීම කිසිදු කල්පවත්නා විසඳුමක් සම්පාදනය කිරීමට අසමත් යයි සැලකීමට පටන් ගැනීම නිසා ආරක්ෂන අරමුදල්, යුරෝ කලාපයේ ආර්ථිකයන්ට එරෙහිව ඔට්ටු තබන බව වාර්තා වෙයි. ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තාවකට අනුව වැඩිවන සංඛ්‍යාවක් ආරක්ෂන අරමුදල්, "යුරෝපයේ ගැටලු කෙතරම් පැලපදියම්ව ඇත් ද යත් ඒවා ඉදිරි මාසවලදී ‍යුරෝ කලාපය දැනට අත්දකිනවාට වඩා බහෙවින් බරපතල අර්බුදයකට තුඩුදෙනු ඇති බවට ඔට්ටු අල්ලති”

යුරෝපීය ආර්ථිකය ගැඹුරු අවපාතයක් තුලට ඇද දමන කප්පාදු වැඩ සටහන් මගින් මූල්‍ය අවිනිශ්චිත භාවය උග්‍ර කෙරෙන අතර රිනාත්මක ප්‍රතිලබ්ධි තොන්ඩුවක් බිහිකර ඇත. ආර්ථික වර්ධනය පිරිහෙද්දී, බදු ආදායම් පහත වැටෙද්දී, නය තත්වය නරක අතට හරවමින් ආන්ඩුවල බැඳුම්කර පොලී අනුපාත තවදුරටත් ඉහල නංවයි.

ස්පාඤ්ඤය මේ පිලිබඳව නිදසුනකි. මේ වසරේ මුල් මාස තුන ඇතුලත රැකියා 374,300ක් අහෝසි වීමේ ප්‍රතිපලයක් වශයෙන් බදු ආදායම යුරෝ ට්‍රිලියනයකින් පමන පහත වැටෙනු ඇතැයි ගනන් බලා තිබේ. ඒ සමග ම ස්පාඤ්ඤ බැංකු තම මුලු ශේෂ පත්‍රයෙන් සියයට 11ට සමාන ප්‍රමානයක යුරෝ බිලියන 316ක් යුමබැන් ලබාගෙන ඇති බවට ගනන් බලා ඇත. සියයට 10කට වඩා වැඩිවන ඕනෑම තත්වයක් "ඇදවැටීමේ ලක්ෂයක්” ලෙස සලකනු ලබන්නේ, දැන් අමතර අරමුදල් එන්නත් කිරීම අවශ්‍ය කරවන බැවිනි.

එක්සත් ජනපද මූල්‍යායතනවල බිය පිලිබිඹු කරමින් හිටපු භාන්ඩාගාර ලේකම් ලෝරන්ස් සමර්ස්, අද දිනයේ ෆිනෑන්ෂල් ටයිම්ස්හි පලකල තීරුවකින්, යුමබැ ද්‍රවශීලතා ප්‍රතිපාදන වේදනා නාශකයකට නොවැඩි දෙයක් බවට අනතුරු ඇඟවීය. “විදේශිකයින් තම දේපල විකුනා දමන අතර විශේෂයෙන්ම ස්පාඤ්ඤයේ දුබල බැංකු, රටේ දුර්වල නයකරයන් වැඩි වැඩියෙන් මිලට ගෙන තිබේ. බැංකු වෙන කවරදාකටත් වඩා නොසංසුන් වනු වෙලඳපොල විසින් නිරීක්ෂනය කරයි. යලි වතාවක් යුරෝපීය හා ගෝලීය ආර්ථිකය එහි ඉම වෙතට ලඟාවෙයි.”

ස්පාඤ්ඤ අර්බුද‍ෙය් බලපැම යුරෝපයෙන් හා එක්සත් ජනපදයෙන් ඔබ්බට ද පැතිර යනු ඇත. පසුගිය සතියේ ආසියාව පිලිබඳව පලකල ජාමූඅ වාර්තාවක් පැවසුවේ, ගෝලීය ආර්ථිකය "අසාමාන්‍ය ලෙස නිරාවරනය” වී පවතිනු ඇති බව හා තවත් "පසුබැම්” ආසියාවට "දැවැන්ත ප්‍රතිවිපාක” ගෙනඑනු ඇති බවය. "විශේෂයෙන්ම, දියුනු රටවලට කෙරෙන නිර්යාත තියුනු ලෙස පහත වැටීම හා ප්‍රාග්ධන ගලනයේ ආපසු හැරීමක් කලාපයේ කටයුතු කෙරෙහි බරපතල බලපෑමක් ඇතිකරනු ඇත.”

අරමුදල් ආපසු හැරීම පිලිබඳ සලකුනු දැනටමත් දැකගත හැකිය. ජාත්‍යන්තර සමත බැංකුව නිකුත්කල සංඛ්‍යාලේඛන වලට අනුව 2011 අවසන් මාස තුන ඇතුලත යුරෝපීය බැංකු ආසියාවට දී තිබුනු නයවලින් ඩොලර් බිලියන 100ක් ආපසු ගෙන ඇත.

Share this article: