සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 3 වන කොටස

The Historical and International Foundations of the Socialist Equality Party (Sri Lanka)—Part 3

By the Socialist Equality Party (Sri Lanka), 9 May 2012

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මේ සමග පල කරන්නේ, 2011 මැයි 27-29 දිනවල කොලඹ දී පැවති පක්ෂයේ ආරම්භක සමුලුවේ දී ඒකමතිකව සම්මත කෙරුනු සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලියවිල්ලයි. එය කොටස් 12කින් පල කෙරෙනු ඇත. මෙහි 1 වන කොටස හා 2 වන කොටස පිලිවෙලින් මැයි 3 හා 5 දිනවල පල කෙරින.

6. ක්විට් ඉන්ඩියා ව්‍යාපාරය

6-1 ඉන්දියාවේ දේශපාලන නැඟිටීමක් පිලිබඳ බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂයේ පෙර දැක්ම නිවැරදි යයි, එම පක්ෂය පිහිටුවා මස කිහිපයක් තුල ඔප්පු විය. 1942 අගෝස්තු මාසයේ දී කැරලිකාරී ක්විට් ඉන්ඩියා (ඉන්දියාවෙන් පලයව් ) ව්‍යාපාරය පුපුරා ගියේය. කොන්ග‍්‍රසය යුද්ධය කෙරේ නිල විරුද්ධත්වයක් දැක්වූ අතර එහි අමාත්‍යවරු 1939 ශරත් සමයේ දී ඉල්ලා අස් වූහ. එහෙත් එම විරුද්ධත්වය පුද්ගලික විරෝධතාවලට පමනක් සීමා කැරිනි පැසිෆික් සාගරයේ යුද්ධය පුපුරා යාමත්, ජපන් හමුදා වේගයෙන් ඉන්දියාව ආසන්නයට පැමිනීමත් සමග ගාන්ධි ද සෙසු කොන්ග‍්‍රස් නායකයෝ ද දැන් තමන්ට බි‍්‍රතාන්‍යයන් සමග වඩා වාසි සහගත ජාවාරමකට ඉඩකඩ ඇත් දැයි ගනන් බැලූහ. ඉන්දියාව බි‍්‍රතාන්‍යයේ යුද ප‍්‍රයත්නයට යටත් කිරීමේ විපාකය වූ උග‍්‍ර ආර්ථික හා සමාජ බිඳ වැටීම තුල, කොන්ග‍්‍රස් පක්ෂයේ පාලනයෙන් පිට මහජන නැගිටීමක් ඇති වීම කල් තියා වැලැක්වීමට, ඔවුහු ක‍්‍රියාත්මක වූහ. අගෝස්තු හත් වෙනිදා කොන්ග‍්‍රස් කෘත්‍යාධිකාරී කමිටුව බොම්බාය නගරයේ ගොවලියා ටෑන්ක් මෛදාන් හි දැවැන්ත ජනකායක් ඉදිරියේ "බි‍්‍රතාන්‍යය ක‍්‍රමවත්ව ඉන්දියාවෙන් ඉවත් කිරීම සඳහා” මහා අවිහිංසා අරගලයක් ඇතිකල යුතු යයි යෝජනාවක් සාකච්ඡා කලෝය. කොන්ග‍්‍රස් කොමිටිය තුල සිටි ස්ටැලින් වාදීන් මෙම සීමිත යෝජනාව පවා ප‍්‍රසිද්ධියේ ම විරුද්ධ වීම, සීපීඅයි දැවැන්ත දේශපාලන පහරකට ලක් කලේ ය .

6-2 කොන්ග‍්‍රසය කැඳවන මොන යම් හෝ අධිරාජ්‍ය විරෝධී අරගලයකට සහය දෙමින් බොම්බාය රැස්වීමේදී බෙදා හැරුනු බීඑල්පීඅයි පත‍්‍රිකාව, "බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව මහා දේශපාලන වැඩ වර්ජනයක් සහ බදු හා කුලී නොගෙවීමේ ව්‍යාපාරයක් ඒකා බද්ධ කොට, ගොවිජන කමිටු ගොඩනගා, ඉඩම් අල්ලා ගැනීම කරා ඉදිරියට යන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙහි දී බීඑල්පීඅයි, ට්‍රොට්ස්කි ඉන්දීය කම්කරුවන්ට ලියූ ලියුමේ උපදෙස් අනුව කි‍්‍රයා කලේය. එම ලියුමේ මෙසේ සඳහන් කොට තිබුනි. "මහා බි‍්‍රතාන්‍යයේ අත්තනෝමතික පාලනයට එරෙහි අරගලයේ මාවතේ ඉතාම සුලූ පියවරක් හෝ ගැනීමට යම් හෙයකින් ඉන්දියානු ධනේශ්වරයට සිදුවුවහොත් කම්කරු පන්තිය ස්වාභාවිකව ම එම පියවරට සහයෝගය දෙනු ඇත. එහෙත් ඔවුන් එසේ කරනු ඇත්තේ මහා ජනතා රැස්වීම්, නිර්භීත සටන්පාඨ, වැඩ වර්ජන, පෙලපාලි සහ වඩාත් තීරනාත්මක සටන් ක‍්‍රියා යනාදී තමන්ගේ ම ක‍්‍රමයන්ගෙනි. මේවා තීන්දු කලයුත්තේ බලවේගයන්ගේ සම්බන්ධතාවය සහ එලඹෙන තතු අනුවය. මේ දේ කිරීමට නම් කම්කරු පන්තිය, තමන් ගේ දෑත් නිදහස්ව තබාගත යුතුය. විශේෂයෙන්ම ඉන්දියාවේ ජනගහනයෙන් අති මහත් බහුතරය වූ ගොවි ජනතාව මත සිය බලපෑම යෙදීමට නම් කම්කරු පන්තිය, ධනපති පන්තියෙන් මුලූමනින් ම නිදහස් ව සිටිය යුතුය.” [13]

6-3 අගෝස්තු 8 වෙනි දා 'කරව් නැතිනම් මැරෙව්’යනුවෙන් උද්වේග වත් කතාවක් කල නමුත් ගාන්ධි අපේක්ෂා කලේ තම යෝජනාව නිසා බි‍්‍රතාන්‍ය ආන්ඩුකාරයා සාකච්ඡාවලට පෙලඹෙනු ඇතැයි කියාය. එහෙත්, බ්‍රිතාන්‍යයෝ මුලු කොන්ග‍්‍රස් නායකත්වය ම සිරගත කරමින් මී ට ප්‍රතිචාර දැක්වීය. එය ඉන්දියාවේ ‍ෙබාහෝ ප්‍රදේශ වල තියුනු විරෝධතා හා වැඩ වර්ජන වලට තුඩු දුනි. මුස්ලිම් ලීගය හින්දු මහා සභාව සහ කොමියුනිස්ට් පක්ෂය මෙම විරෝධතා මැඩ පැවැත්වීමට ආන්ඩුවට සහය දීමට එක්වූහ. ගාන්ධි ඇතුලූ ඉහල කොන්ග‍්‍රස් නායකයන් සිරගත වූ තතු තුල කොන්ග‍්‍රස් සෝෂලිස්ට් පක්ෂය ව්‍යාපාරයේ නායකත්වය ගති. එහෙත් එම පක්ෂයට බලය අල්ලා ගැනීමේ ඉදිරිදර්ශනයක් තිබුනේ නැත. කම්කරු පන්තිය දිසාවට යොමුවක් නො ගත් ඔවුහු, ඒ වෙනුවට නිරර්ථක කඩාකප්පල් කාරී ක‍්‍රියාවල ද ගොවිජන ගරිල්ලා ක‍්‍රියාවල ද නිරත වූහ. බීඑල්පීඅයි කම්කරුවන් හා ශිෂ්‍යයන් දෙසට හැරී බොම්බාය, කල්කටා සහ මදුරාසිය ඇතුලු විවිධ නගරවල පැවති පෙලපාලිවලට සහභාගී වෙමින් ද එම නගරවල පෙලපාලි සංවිධානය කරමින් ද මෙම අරගලයට සම්බන්ධ විය. එසේ කිරීමේ දී එය බරපතල මර්දනයකට මුහන දුන්නේය. බීඑල්පීඅයි "ෆැසිස්ට්වාදීන්ට උදව් කරන අපරාධකරුවන් සහ මැරවරයන්’’ ලෙස හංවඩු ගැසූ ස්ටැලින්වාදීන්ගේ සහායෙන් පොලිසිය, ප‍්‍රමුඛ බීඑල්පීඅයි නායකයින් ද සාමාජිකයින් ද විශාල ගනනක් අත් අඩංගුවට ගති. මිලියන ගනනක් ජනයා සහභාගී වූ ක්විට් ඉන්දීය ව්‍යාපාරය මුර්ග පොලිස් මර්දනයට මුහුන දෙමින් මාස ගනනක් තිස්සේ පැවතුනි. නිල වාර්තා අනුව 1942 අගෝස්තු සිට 1943 මාර්තු දක්වා 1,000 කට වැඩි සංඛ්‍යාවක් මරන ලද්දෝය. 60,000 ක් සිරගත කරන ලද්දෝය. බි‍්‍රතාන්‍යයන් ජපන් හමුදාව පසුබස්සා ලූ පසුව, ව්‍යාපාරය බැස ගිය අතර යුද්ධයේ ඉතිරි කාලය තුල කොන්ග‍්‍රසය ක්විට් ඉන්දීය ඉල්ලීම සැබවින්ම ඇත හැර දැමුවේය.

6-4 බීඑල්පීඅයිහි දෘඪ අරගලය මුලූ මහත් කලාපය පුරාම ට්‍රොට්ස්කිවාදයේ ආයාමය වර්ධනය කලේය. නීතිවිරෝධිත්වය, පොලිස් මර්දනය සහ හතරවෙනි ජාත්‍යන්තරයෙන් යුද සමයේ හුදෙකලාවීම යන දුෂ්කර තතු යටතේ වුව බීඑල්පීඅයි, ක්විට් ඉන්දියා ව්‍යාපාරයට ද අන් සියල්ලටත් වඩා කම්කරු පන්තියට ද යොමු වූ යේ කොන්ග‍්‍රස් පක්ෂයට හෝ කොන්ග‍්‍රස් සෝෂලිස්ට් පක්ෂයට සුලූ හෝ දේශපාලන සහනයක් නොදෙමිනි. කෙසේවෙතත් විප්ලවවාදී රැල්ල පසු බා යත්ම බීඑල්පීඅයි තුල තියුනු දේශපාලන මත භේද පැනනැගුනි. කම්කරු පන්ති අක්ෂයක් දෙසට කරන ලද නව හැරීමක් වූ, සමසමාජ පක්ෂය බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය බවට පරිවර්තනය කිරීම, අනිවාර්යයෙන්ම අභ්‍යන්තර ආතතීන් ට තුඩු දුනි. මෙම ආතති මුලින්ම පැනනැගුනේ ලසසපය බොල්ශෙවික් පක්ෂයක් ලෙස ප‍්‍රතිවර්තනය කිරීමට ඩොරික් ද සූසා දරූ ප‍්‍රයත්නයට පිලිප් ගුනවර්ධන දැක්වූ විරුද්ධත්වය මැදිකරගෙන ය ගුනවර්ධන බොම්බායේ සිට, පක්ෂය "මහජනයාගෙන් මුලූමනින්ම හුදෙකලා වූ පටු කුමන්ත‍්‍රනකාරී නිකායක් බවට” පරිවර්තනය කර ඇති "කොලඹ සිටින සුලූ ධනේශ්වර බුද්ධිමතුන් කන්ඩායම” හෙලා දුටුවේය. 1942 දී පිලිප් ගුනවර්ධන සහ එන්.එම්. පෙරේරා ලංකාවේ වෘත්තීය සංගමිකයන් ගනනාවක් ගොනුකොට ගෙන කම්කරු විපාර්ශවය යන නමින් කන්ඩායමක් ගොඩ නගා ගත්හ. යුද සමයේ ලංකාව තුල බීඑල්පීඅයිහි නීති විරෝධී වැඩ කටයුතු සංවිධානය කල ඩොරික් ද සූසා, මෙයට ප‍්‍රති විරුද්ධව බොල්ශෙවික් ලෙනින්වාදී කන්ඩායමක් සංවිධානය කලේය.

6-5 මතභේද මොනවා දැයි මුල දී නො පැහැදිලි වූ නමුත් ක්විට් ඉන්දියා ව්‍යාපාරයේ අවසානය, අතිමූලික නොඑකඟතා එලි බැස්විය. බීඑල්පීඅයි ප‍්‍රමානය සහ වර්ධනය ගැන නො ඉවසිලිමත් වූ පිලිප් ගුනවර්ධන සහ එන්.එම්. පෙරේරා, සිර ගේ සිට 1943 දී "ඉන්දියානු අරගල - මීලඟ අවධිය” යන මැයෙන් නිකුත් කල ප‍්‍රකාශයක් "එක්සත් විප්ලවවාදී පෙරමුන” යන නමින් කොන්ග‍්‍රස් සෝෂලිස්ට් පක්ෂය ද වෙනත් විවිධ කන්ඩායම් ද සමග ප‍්‍රතිපත්ති විරහිත හවුලක් අටවා ගත යුතු යයි තර්ක කලේ ය. මෙම සැලැස්ම, සම සමාජවාදී සම්ප‍්‍රදාය කරා පැහැදිලි පසුබැසීමක් විය. බීඑල්පීඅයි බිඳී වෙන් වී තිබුනේ එම සම්ප‍්‍රදායෙනි. 1944 මදුරාසියේ පැවැත් වූ බීඑල්පීඅයි සම්මේලනය ගුනවර්ධන-පෙරේරා ලියවිල්ල දැඩි සේ ප‍්‍රතික්ෂේප කලේ ය. එහි දී යට දැක්වෙන යෝජනාව සම්මත කරන ලදී : "අප විශ්වාස කරන්නේ මෙම යෝජනාවේ එකම ප‍්‍රතිඵලය වනු ඇත්තේ අද ඉන්දියාවේ පවත්නා පැහැදිලි විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයකින් යුතු එකම පක්ෂය (කෙතරම් කුඩා වුවත්) දිය කර දැමීම ද ඒ වෙනුවට හොඳටම වැඩි වුනොත් පලල් මාධ්‍යමික පක්ෂයක් නිර්මානය කිරීම ද ය.” [14] කෙසේ වෙතත් මතභේදය නොවිසඳී පැවති අතර එය, යුද්ධාවසානයත් සමග දැඩි සේ බලවත් ව නැග ඒමට නියමිතවූ දේශපාලන ප‍්‍රශ්න පිලිබඳ පෙර ඇඟවුමක් විය.

6-6 බීඑල්පීඅයි සම්මේලනයේ ප‍්‍රධාන යෝජනාව, ක්විට් ඉන්ඩියා ව්‍යාපාරයේ පරාජයට හේතු පිලිබඳව සවිස්තර විශ්ලේෂනයක් කලේ ය. "කුමන අර්ථභාරී ආකාරයකින් වුව ද අගෝස්තු ව්‍යාපාරය, ධනේශ්වර ඉදිරිදර්ශනයේ සීමාවන් නොඉක්මවීමට මූලිකම හේතුව, කම්කරු පන්තිය තීරනාත්මක පරිමාවකින් සටන්කාමී පන්ති ක‍්‍රියාවන්ට එලඹීමට අසමත් වීම” යයි එය සඳහන් කලේ ය. විරෝධතාවයන් කෙරේ කම්කරුවන් පක්ෂපාතී වුව ද කඩින් කඩ ඇති වූ වැඩ වර්ජනවලට සම්බන්ධ වුව ද වෘත්තීය සමිති තන්ත‍්‍රය පාලනය කලා වූ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය විසින් ද ගොවි ජනතාව දෙසට හැරී ගත් කොන්ග‍්‍රස් සෝෂලිස්ට් පක්ෂය විසින් ද කම්කරු පන්තිය පස්සට ඇද සිරකර දමනු ලැබ තිබුනි.” මෙම යෝජනාව විශේෂයෙන්ම, යුද්ධයෙන් පසු කාලයේ දී කම්කරු පන්තිය තුලට පක්ෂයේ මැදිහත් වීම, ගැඹුරු කිරීමට පදනම් දැමීය.

7. ස්ටැලින්වාදය පශ්චාත් යුද්ධ විප්ලවවාදී නැගිටීම් පාවා දෙයි ‍

7-1 ආසියාව පුරා සිද්ධී දෙවන ලෝක මහා යුද්ධය විසින් උද්ගත කල ලේවැකි භයංකර තත්වය යුද්ධයෙන් ඉක්බිති නැගිටීමක් පැන නංවනු ඇතැයි යන ට්‍රොට්ස්කිගේ පෙර දැක්ම සනාථ කලේ ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යුද්ධය අවසන් කලේ ජපන් අධිරාජ්‍යවාදය, චීනයේ ද කොරියාවේ හා තමන්ගේ ආධිපත්‍යයට නතුව තිබුනු වෙනත් රටවල ද සිදු කල මහා ජන සංහාරයන් නොදෙවෙනි සාපරාධී ආකාරයකට ය. ජපන් නගර මතට ඇමරිකාව දැඩි ලෙස බෝම්බ හෙලීමේ දී වැඩිම ගනනක් සිවිල් ජනයා මරා දැමීම ඉලක්ක කොට ගිනි බෝම්බ හෙලීම 1945 අගෝස්තු මාසයේ දී හිරෝෂිමාවට සහ නාගසාකියට පරමානු බෝම්බ දෙකක් හෙලීමෙන් මුදුන් පත් විය. මෙම කෲර ක්‍රියා වේ ප‍්‍රධාන ඉලක්කය වූයේ තම අලූත් අවියේ විනාශකාරී බලය සෝවියට් සංගමයට ප‍්‍රදර්ශනය කිරීමෙන්. සෝවියට් හමුදා චීනය සහ කොරියාව තුල වේගයෙන් ඉදිරියට යාම වලකා, පැසිෆික් සාගර යුද්ධය වහාම ජය ගැනීමය. 1930 ගනන්වල මහා අවපාතයේ දරුනු දුක් කම්කටොලුවලට ඉක්බිතිව අවුරුදු 6ක් තිස්සේ අධිරාජ්‍යවාදී මුර්ගත්වය ලිහාහල දෙවන ලෝක මහා යුද්ධය, මනුෂ්‍ය වර්ගයාගේ ඇස් ඉදිරිපිට ධනවාදය කෙබඳු මුර්ගත්වයක් දැයි පැහැදිලි කලේ ය. අපකීර්තිමත් පාලක පන්තීන් තම පාලනය යලි තහවුරු කිරීමට දැරූ ප‍්‍රයත්න, කම්කරු පන්තියේ දෘඪ විරුද්ධත්වය ජාත්‍යන්තර විප්ලවවාදී නැගිටීම් ලෙස අවුලූවා ලී ය.

7-2 කේන්ද්‍රීය ප‍්‍රශ්නය වූයේ, විප්ලවවාදී නායකත්වය බව සංක‍්‍රමන ක‍්‍රියාමාර්ගය පැහැදිලි කලේ ය. කම්කරු පන්තිය ඒකාබද්ධ කොට යුද්ධයට එරෙහිව බලමුලූ ගැන්වීමට ට්‍රොට්ස්කිවාදීන් ධෛර්ය සම්පන්නව සටන් කර තිබුනු නමුත් හතර වන ජාත්‍යන්තරයට හා එහි ශාඛාවන්ට එරෙහිව ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවතුන් ද ෆැසිස්ට්වාදීන් සහ ස්ටැලින්වාදීන් ද ගෙන ගිය මර්දනයේ මහා පරිමාව නිසා, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය බරපතලව දුබල කරනු ලැබ තිබුනි. එපමනක් නොව, රතු හමුදාව නාසීන්ට විරුද්ධව අත්පත් කර ගත් ජයග‍්‍රහන මඟින් සෝවියට් නිලධාරි තන්ත‍්‍රයට යුද්ධයෙන් පසු සමයේ සැලකිය යුතු කීර්තියක් අත්පත් කර ගත හැකි ව තිබුනි. බටහිර රටවල සාර්ථක විප්ලවයන් ඇති වුව හොත් ඒවා, තමාගේ පාලන තන්ත‍්‍රයට එරෙහිව සෝවියට් කම්කරු පන්තියේ ව්‍යාපාරයක් අවුලූවාලනු ඇතැයි ස්ටැලින් භීතියට පත් විය. එමනිසා ඔහු රූස්වෙල්ට් සහ චර්චිල් සමග, 1943 ටෙ‍ෙහරාන් හි දී සහ 1945 පෙබරවාරි යොල්ටා හි දී ද ටෲමන් සහ චර්චිල් සමග 1945 ජුලි පොට්ස්ඩෑම්හි දී ද කේවෙල් කර, ධනවාදය ආරක්ෂා කිරීමට උදව් වීමට ද ඊට ප‍්‍රත්‍යුපකාර හැටියට නැගෙනහිර යුරෝපයේ සීමිත සෝවියට් බල වැයික්කියක් තමාට ලබා ගැනීමට ද සම්මුති මාලාවකට එලඹුනි. ප‍්‍රන්සයේ සහ ඉතාලියේ ධනේශ්වර පක්ෂ ෆැසිස්ට්වාදය සමග පවත්වාගෙන ගිය සම්බන්ධතාවය නිසා මුලූමනින් ම අපකීර්තියට පත් ව තිබුනු තත්වයක් තුල මොස්කව්හි මෙහෙයවීම අනුව කොමියුනිස්ට් පක්ෂ කලේ, ෆැසිස්ට්වාදයට විරුද්ධව යුද්ධ කිරීම සඳහා අවි ගෙන සිටි සටන්කරුවන් නිරායුධ කර, ඇමතියන් ලෙස ධනපති පන්ති ආන්ඩුවට එකතුව, කම්කරු පන්තියේ කුමන හෝ ස්වාධීන ක‍්‍රියාකාරීත්වයක් පාගා දැමීම ය. ප‍්‍රන්ස ධනපති ආන්ඩුවේ කොටස් කරුවකු වූ එරට කොමියුනිස්ට් පක්ෂය, ඇල්ජීරියාව ද ඉන්දු චීනය ද වෙනත් ප‍්‍රන්ස යටත් විජිත රටවල් ද තුල ප‍්‍රන්ස අධිරාජ්‍ය යුද බලය යලි තහවුරු කිරීමට ආධාර කලේ ය. ජපානය තුල ඊට නො අඩු ද්‍රෝහි ක‍්‍රියාකලාපයක් ඉටු කල කොමියුනිස්ට් පක්ෂය, එමගින් කම්කරු පන්තියේ දැවැන්ත නැගිටීමක් සීමා කර දැමීම සඳහා ආධාර විය. ස්ටැලින්වාදීන්ගේ අවධි දෙකේ න්‍යායේ විකාර රූපී ප‍්‍රභේදයක් මත පදනම් ව ජපන් කොමියුනිස්ට් පක්ෂය කියා සිටියේ, ජපානය යටත් කර ගෙන සිටි ඇමරිකානුවන් එම රට තුල "ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක්” ක‍්‍රියාත්මක කරන බව ය. මේ අනුව කම්කරු පන්තියේ ස්ට‍්‍රයික් ව්‍යාපාරය , ජෙනරාල් ඩග්ලස් මැක්ආතර්ගේ අනට යටත් කොට පාවා දෙන ලදී. මෙය ජපානයේ ධනපති පාලනය පන බේරා ගෙන ආසියාව තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ වැදගත්ම සගයකු බවට ජපානය පරිවර්තනය කලේ ය .

7-3 ආසියාවේ යටත් විජිත විරෝධී ව්‍යාපාරයන් පාවාදීමෙහි ලා ස්ටැලින්වාදයේ භූමිකාව ධනවාදයේ ගෝලීය ස්ථායීකරනය සඳහා ද තීරනාත්මක විය. දෙවන ලෝක යුද්ධය අවසානයේ මුලූමහත් ප‍්‍රදේශය පුරා පෙර නුවූ විරූ පරිමාන දැඩි, මහා ජනතා අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් පැනනැගුනි. පැරනි යුරෝපීය බලවතුන් යුද සමයේ දී (අග්නි දිග ආසියාව තුල) ජපානය අතින් බරපතල ලෙස පරාජයට පත් වී තිබීම එම රටවල තිබුනු අධිරාජ්‍යයන්ගේ පදනම් පුපුරවා දමා තිබුනි. මේ සෑම රටකම ප‍්‍රන්ස-ඉන්දු චීනයේ වේවා, ඕලන්ද-ඉන්දුනීසියාවේ වේවා, බි‍්‍රතාන්‍ය-මලයාවේ හෝ ඉන්දියානු උපමහාද්වීපයේ වේවා, පැරනි යටත් විජිත පාලකයන් තම විජිත ආන්ඩු යලි තහවුරු කිරීමට දරූ උත්සාහය මහා ජන විරෝධයට ලක් විය. චීනය සහ කොරියාව තුල ජපන් අධිරාජ්‍යවාදය බිඳ වැටීමෙන් පසු, ඒ රටවල් තුල ඒකාධිපති පාලන ඇටවීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය උත්සාහ කල කල්හි ඊට විරුද්ධ ව පලල් මහජන ව්‍යාපාර පැනනැගුනි.

7-4 1934 දී ට්‍රොට්ස්කි ලියූ, "යුද්ධය සහ හතර වන ජාත්‍යන්තරය” නමැති ලියවිල්ල පෙරදිග යටත් විජිත සහ අර්ධ යටත් විජිත රටවලට විශේෂ අවධානයක් යොමු කලේ ය. "ඔවුන්ගේ අරගලය දෙයාකාරයකින් ප‍්‍රගතිශීලි ය. ඒවා පසුගාමී ජනතාව ආසියාතික වාදයෙන් ද ප‍්‍රාදේශීය වාදයෙන් ද විදේශීය බැම්මෙන් ද මුදාලමින් අධිරාජ්‍යවාදී රාජ්‍යයන්ට බලගතු පහර එල්ල කරති. එහෙත් කල්තියාම පැහැදිලිව වටහා ගත යුතු කරුන නම්, ආසියාවේ සහ අප‍්‍රිකාවේ කල්පසු වූ විප්ලව, ජාතික රාජ්‍යයේ පුනර්ජීවනයේ නව යුගයක් විවෘත කිරීමට අසමත් බව ය. දැවැන්ත අර්ධ යටත් විජිත රටක් වූ රුසියාවේ කල්පසු වූ ප‍්‍රජාතන්ත‍්‍ර පෙරලීම සමාජවාදී විප්ලවයට මුල පිරීමක් පමනක් වූ පරිද්දෙන් ම යටත් විජිත රටවල් නිදහස් කර ගැනීම, හුදෙක් ලෝක සමාජවාදී විප්ලවයේ එක් දැවැන්ත සිද්ධියක් පමනක් වනු ඇත.” මේ අනුව පශ්චාත් යුද්ධ යටත් විජිත විරෝධී අරගලවල ප‍්‍රජාතන්ත‍්‍ර කර්තව්‍යයන් දිනා ගත හැකි වනු ඇත්තේ කම්කරු පන්තියේ නායකත්වය යටතේ, සමාජවාදය සඳහා ජාත්‍යන්තරව කෙරෙන පලල් අරගලයේ කොටසක් ලෙස පමනි. එහෙත් ස්ටලින්වාදය එම මාවත වලකා දැමුවේ ය.

7-5 අග්නිදිග ආසියාව පුරා දුරදිග යන ප‍්‍රතිවිපාක ඇතිකරමින්, පශ්චාත් යුදකාලීන යටත් විජිත අරගල පීලි පැන්නවීමට ස්ටැලින්වාදී පක්ෂ ක‍්‍රියාත්මක විය. මෙය විසින් ඇති කරන ලද විපාකයන්ට කම්කරු පන්තිය අද දින ද වන්දි ගෙවමින් සිටී. දෙවන ලෝක යුද්ධයෙන් පසුව මෙම ප‍්‍රදේශය තුල ඇති කරන ලද රාජ්‍යයන්ගෙන් එකක් වත්, වැඩ කරන ජනතාවගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සහ සාධාරන ජීවන තත්වයක් සඳහා වූ අපේක්ෂාවන් ලබාදීමට සමත්ව නැත. ඉන්දුනීසියාවේ දී එරට කොමියුනිස්ට් පක්ෂය (පීකේඅයි) කම්කරු පන්තිය සුකර්නෝගේ නායකත්වයෙන් යුතු ජාතික ව්‍යාපාරයට යටත් කොට , පලමුවෙන් ඕලන්ද ද ඉක්බිති ඇමරිකානු ද අධිරාජ්‍යයන් සමග උපාමාරු දැමුවේ ය. ඉන්දුනීසියාවේ ස්වාධීනතා අරගලයට වොෂින්ටනයෙන් ලැබෙන සහායට ප‍්‍රත්‍යුපකාර වශයෙන් සුකර්නෝ, 1948 දී පීකේඅයි සාමාජිකයන් දහස් ගනනක් ඝාතනය කර ලේවැකි මර්දනයක් දියත් කලේ ය. එම මර්දනයෙන් පාඩම් උගත්තේ නැති පීකේඅයි පක්ෂය, සුකර්නෝ සමග යලිත් සන්ධානයකට ගොස් 1965-66 දී අඩු ගනනේ පන්ලක්ෂයක් පීකේඅයි සාමාජිකයින් ද කම්කරුවන් සහ ගොවියන් ද ඝාතනයට ලක් කල සීඅයිඒ පිටුබලය ලත් මිලිටරි කුමන්ත‍්‍රනයට ද ඉන්පසුව දශක තුනක ඒකාධිපතිත්වයට ද මග පෑදුවේය. මලයාවේ දී මලයානු කොමියුනිස්ට් පක්ෂය සහ එයට අයිති මලයානු ජනතාවගේ ජපන් විරෝධී හමුදාව, ආපසු පැමිනි බි‍්‍රතාන්‍ය හමුදා සාදරයෙන් පිලිගෙන, බි‍්‍රතාන්‍ය පාලනයට යලි තහවුරු වීම සඳහා සහයෝගය ලබා දුනි. 1948 වන විට තම බලය තහවුරු කර ගත් බි‍්‍රතාන්‍යය, මලයානු කොමියුනිස්ට් පක්ෂයට විරුද්ධව දියත් කල මර්දනකාරී යුද්ධය මගින් ඊලඟ දශකය තුල දී එහි ගරිල්ලා හමුදා නිර්දය ලෙස මර්දනය කලේ ය. ඉන්පසුව බි‍්‍රතාන්‍යයන් පාලන බලය භාර දුන් තත්වාරක්ෂක මැලේ වර්ගවාදී පක්ෂය, -යුනයිටඞ් මැලේස් නැෂනල් ඕර්ගනයිසේෂන්- එතැන් පටන් මේ වන තුරුත් මලයාවේ ආධිපත්‍යය දරා සිටී. මලයානු කොමියුනිස්ට් පක්ෂය ලී ක්වාන් යූ ට සහ ඔහුගේ පීපල්ස් ඇක්ෂන් පක්ෂයට දුන් සහාය අද ද සිංගප්පූරුවේ පවත්නා ඒකපාක්ෂික පොලිස් රාජ්‍යයට අත්තිවාරම් දැමුවේ ය.

7-6 හෝචිමිං විසින් නායකත්වය දෙන ලද ඉන්දු-චීන කොමියුනිස්ට් පක්ෂය ප‍්‍රන්සයට ඔවුන්ගේ යටත් විජිත මත පාලනය යලි තහවුරු කර ගැනීම සඳහා අතිශයින් ම සාපරාධී භූමිකාවක් ඉටු කර දුනි. 1945 අගෝස්තුවේ දී ජපානය යටත් වූවායින් පසුව ධනපති පක්ෂ සමග තාවකාලික ආන්ඩුවක් තනා ගත් ස්ටැලින්වාදියෝ බි‍්‍රතාන්‍යයන් සහ ප‍්‍රන්සයන් ඔවුන්ගේ යුද හමුදා ඉන්දු චීනයට බස්සවද්දී ඔවුන් සමග කේවලකට එලඹීමට උත්සාහ කලහ. ලා ලූට් (අරගලය) සහ ජාත්‍යන්තර කොමියුනිස්ට් ලීගය යන සංවිධානවල ට්‍රොට්ස්කිවාදියෝ කම්කරු පන්තිය ද නාගරික සහ ගම්බද දුප්පත් ජනයා ද, වැඩෙමින් පැවති ජාතික ස්වාධීනතා අරගලය මැද්දේ දී, ස්වාධීනව බලමුලූ ගැන්වීමට සටන් වැදුනාහ. සයිගොන් නගරය තුල මහා පෙලපාලි ඇති විය. තැනින් තැන මහජන ක‍්‍රියාකාරී කමිටු පැන නැගි අතර තාවකාලික මධ්‍යම කමිටුවක් ද පිහිටුවන ලදි. 1945 සැප්තැම්බර් මාසයේ දී ආතති උග‍්‍ර වූ තත්වයක් තුල ස්ටැලින්වාදියෝ මහජන කමිටු නිරායුධ කලහ. ඔවුහු තාවකාලික මධ්‍යම කමිටුව මර්දනය කර ලා ලූට් සංවිධානයේ නායක තාතු තාවු ඇතුලූ ට්‍රොට්ස්කිවාදීන් දුසිම් ගනන් මරා දැමූහ. ප‍්‍රන්ස අධිරාජ්‍යවාදීන් සමග ඉන්දු චීන කොමියුනිස්ට් පක්ෂය ඇති කර ගත් මෙම සහයෝගිතාවය ඉටු කලේ ජාතික ස්වාධීනතාව තහවුරු කිරීම නො වේ. දකුනු ප‍්‍රදේශය තුල යටත් විජිත පාලනය පුනස්ථාපනය කිරීමට ආධාර කිරීම ය. පශ්චාත් යුදකාලීන විප්ලවවාදී නැගිටීම ස්ටැලින්වාදීන් විසින් පාවාදීම ද ඉක්බිතිව ඔවුන් ප‍්‍රන්ස සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග ගෙන ගිය උපාමාරු ද නිසා ඉන් පසු කාලපරිච්ඡේදය තුල වියට්නාම් ජනතාවට ඉමහත් ලේවැකි වන්දියක් ගෙවීමට සිදුවිය. ඉන් එලඹි තිස් අවුරුද්දක යුද්ධය මුලු රටම විනාශ කොට දසලක්ෂ ගනන් ජනයා මරනයට පත් කලේ ය.

7-7 යුරෝපයේ සහ ආසියාවේ ස්ටැලින්වාදී පාවාදීම්, දෙවන ලෝක යුද්ධයෙන් පසු බලගතු අධිරාජ්‍යවාදී රට ලෙස ඉස්මතු වූ ඇමරිකා එක්සත් ජනපදයට ලෝක ධනේශ්වර ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා ආරම්භකත්වයන් මාලාවක් ක‍්‍රියාත්මක කිරීමට ඉඩ සලසා දුනි. මෙසේ ඇති කරන ලද බ්‍රෙට්න්වූඩ්ස් සම්මුතිය, රත්රන් සහ ඩොලරය අතර නිශ්චිත මිලක් පිහිටුවා ඩොලරය ස්ථාවර ගෝලීය මුදලක් ලෙස පිහිටුවාලී ය. තීරුබදු සහ වෙලඳාම පිලිබඳ පොදු ප‍්‍රඥප්තිය හෙවත් ගැට් 1930 ගනන්වල විනාශකාරී ආරක්ෂනවාදී පිලිවෙත්වලට ආපසු නො ගොස් ලෝක වෙලඳාම ප‍්‍රසාරනය කිරීම ඉලක්ක කර ගත්තේ ය. ඇමරිකා එක්සත් ජනපදය බටහිර යුරෝපයේ සහ ජපානයේ කුඩු වී ගිය ආර්ථිකයන් යලි ගොඩනැගීමට සැලකිය යුතු ආධාරයක් සපයා දුනි. යම් ප‍්‍රමානයක ධනේශ්වර ස්ථාවරත්වයක් පිහිටුවා ගත්තායින් පසුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, "කොමියුනිස්ට්වාදයට” එරෙහි සීතල යුද්ධ ප‍්‍රතිප‍්‍රහාරය ආරම්භ කලේ ය. එහි ප‍්‍රථම පියවර හැටියට ග‍්‍රීසියේ සහ තුර්කියේ දක්ෂිනාංශික ආන්ඩුවලට එක්සත් ජනපද සහාය පුදන ලද අතර මාෂල් සැලැස්ම දියත් කොට බටහිර යුරෝපය සෝවියට් විරෝධී කඳවුරක් බවට පත් කර ගත් නමුත්, ඉක්මනින් ම එය ලෝක පරිමාන ගැටුමක් තුලට ඇදී ගියේ ය. 1949 චීන විප්ලවය ට එක්සත් ජනපදය ප‍්‍රතිචාර දැක්වූයේ, සියෝල් නගරයේ දක්ෂිනාංශික පාලනයට මුක්කුව දීම සඳහා කොරියාව තුල කල යෝධ යුද්ධ මෙහෙයුමෙනි. ඉන් ඇරඹුනු 1950-53 කොරියානු යුද්ධය, දස ලක්ෂ ගනන් ජීවිත විනාශ කොට කොරියානු අර්ධද්වීපය ගිනි දමා ස්ථිර ලෙසම බෙදා දැම්මේ ය.

8. චීන විප්ලවය

8-1 යුද්ධ යේ ක්ෂනික ඉක්බිත්තෙහි කම්කරු පන්තිය මුහුන දුන් දේශපාලන ගැටලූ චීනයේ දී, ඉතා තියුනු ලෙස ප‍්‍රකාශයට පත් විය. 1925-27 චීන විප්ලවයේ පරාජයෙන් පසු පිටිසර පලාත්වලට පසුබැස ගිය චීන කොමියුනිස්ට් පක්ෂය (චීකොප) වැඩි වැඩියෙන් ගොවි ජනතාව මත පදනම් වී ගත්තේ ය. තුන්වන ජාත්‍යන්තරය හා සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය සමග සම්බන්ධතා පවත්වා ගනිමින්ම චීකොප සිය පන්ති අක්ෂය කම්කරු පන්තියෙන් ඉවතට එනම් ගොවි ජනතාව වෙත මාරු කලේය. හැම විටම පක්ෂයේ දක්ෂිනාංශය මත පැලපදියම්ව සිටි මාවෝ සේතුං 1935දී චීකොප නායකත්වයට පත්ව පක්ෂයේ දිශාවනතිය ගොවි ජනතාව දෙසට යොමු කලේය. චීකොප ස්ටැලින්වාදය අවධි දෙකේ න්‍යාය හා ජාතික ධනේශ්වරය සමග පන්ති සහයෝගිතාවය මත පදනම්වූ අතර ගොවි ජනතාවාදය ද ගරිල්ලා යුද්ධයේ උපාය හා මූලෝපාය ද ඊට අන්තර්ගත කර ගත්තේය. 1927 න් පසුව පිහිටුවන ලද චීන වාම විපාර්ශවය, ස්ටැලින්වාදීන්ගේ ආධාර ලද කුවෝමිංටාන් පාලනයේ දැඩි මර්දනයට මුහුන දීගෙන ම කම්කරු පන්තිය වෙත යොමු වී, නාගරික මධ්‍යස්ථානවල ක‍්‍රියාත්මක විය.

8-2 1932 දී ට්‍රොට්ස්කි තම චීන සහකරුවන්ට ලියූ දුරදක්නා ලියුමක, මාවෝගේ ගොවි හමුදාවන්ගෙන් කම්කරු පන්තියට එල්ල වියහැකි අනතුර පෙර ඇඟවුම් කලේය. ට්‍රොට්ස්කි ගොවි ජනයාගේ අතිමූලිකව වෙනස් පන්ති යොමුව මෙසේ පැහැදිලි කලේ ය: "මහා ඉඩම් හිමියන්ට, යුදවාදීන්ට, වැඩවසම් රදලයන්ට සහ පොලීකාරයන්ට එරෙහිව මෙහෙයවන හෙයින් ගොවි ජන ව්‍යාපාරය ඒ තාක් දුරට බලගතු විප්ලවවාදී සාධකයකි. එහෙත් ගොවිජන ව්‍යාපාරය තුල ම බලවත් දේපල හිමි ප‍්‍රතිගාමී ප‍්‍රවනතාවයන් පවත්නා අතර එක්තරා අවස්ථාවක දී එය කම්කරුවන්ට සතුරු ව එම සතුරු බව තම අතට පත් අවිවලින් ප‍්‍රකාශිත කරනු ඇත. ගොවි ජනතාවගේ ද්විත්ව ස්වරූපය අමතක කරන තැනැත්තා මාක්ස්වාදියකු නො වේ. "කොමියුනිස්ට්” ලේබල් සහ බැනර් ද තථ්‍ය සමාජ සන්තතීන් ද අතර වෙනස දැක ගැනීමට දියුනු කම්කරුවන් පුහුනු කර ගත යුතු ය.” [15]

8-3 ට්‍රොට්ස්කි මෙසේ ද පැහැදිලි කලේ ය: "සැබෑ කොමියුනිස්ට් පක්ෂය වනාහි කම්කරු පන්ති පෙරටු බලඇනියේ සංවිධානය යි. එහෙත් අප අමතක නො කල යුතු කරුන නම්, චීනයේ කම්කරු පන්තිය ගත වූ වර්ෂ හතර තුල පීඩිත සහ ව්‍යාකුල තත්වයකට තල්ලූ කර දමා තිබුනු බවත්, එහි යලි පනගැස්මක් දක්නට ලැබෙන්නේ ඉතා මෑත දී බවත් ය. නාගරික කම්කරු පන්තියේ සෞඛ්‍ය සම්පන්න ම කොටස මත දෘඩතරව පදනම් වූ කොමියුනිස්ට් පක්ෂයක් කම්කරුවන් හරහා ගොවි යුද්ධයකට නායකත්වය දීමට ප‍්‍රයත්න දැරීම එක දෙයකි. එහෙත් සැබැවින් ම කොමියුනිස්ට්වාදීන් හෝ නමින් පමනක් කොමියුනිස්ට්වාදී වූ විප්ලවවාදීන් කිහිප දහසක් හෝ දසදහස් ගනනක් වුව ද කම්කරු පන්තියේ මොන ම බරපතල සහායකින්වත් තොරව, ගොවි යුද්ධයක නායකත්වය ගැනීමට තැත් කිරීම සම්පූර්නයෙන් ම වෙනස් කාරනාවකි. හරියට ම චීනයේ දැන් සිදුවෙමින් පවතින්නේ ඒ දෙයයි. මෙය කම්කරුවන් සහ සන්නද්ධ ගොවියන් අතර ඝට්ටන ඇති වීමේ ආන්තික අන්තරාය තව තවත් උග‍්‍ර කරයි.” [16]

8-4 මොස්කව් පිලිවෙත අනුව ගිය චීන කොපය, 1937 දී චීනය ආක‍්‍රමනය කල ජපන් හමුදාවලට එරෙහිව, චියැං කායි ෂෙක් තන්ත‍්‍රය සමග මහජන පෙරමුනු සන්ධානයක් ගොඩනගා ගත්තේ ය. පීඩිත ජාතියක් වූ චීනය, ජපන් අධිරාජ්‍යවාදයට විරුද්ධ ව ගෙන යන්නා වූ යුද්ධයට ප‍්‍රගතිශීලි අන්තර්ගතයක් පවත්නා බව අවධාරනය කල ට්‍රොට්ස්කි, තමාගේ එම ආස්ථානය "සමාජ ජාතිමාමකවාදය” සහ "චියැං කායි ෂෙක්ට යටත් වීමක්” යයි විවේචනය කල නිකායවාදී ප‍්‍රවනතාවයන්ට විරුද්ධ විය. එහෙත් ඔහු අවධාරනය කලේ, මෙම යුද්ධයට සහාය දීමේ දී කම්කරු පන්තිය, තම දේශපාලන ස්වාධීනත්වය රැක ගත යුතු ය යන්න ය. කුවෝමිංටානය සමග සන්ධානයක් ඇති කර ගැනීමේ දී චීන කොප ය, මහජනතාවගේ ආසක්තයන් ධනපති පන්තියට යටත් කරමින් තම පක්ෂයේ ම ඉඩම් ප‍්‍රතිසංස්කරන වැඩපිලිවෙල අතහැර දමා, කුවෝමිංටානයේ ඉඩම් හිමියන්ට සහ ධනපතියන් නො රිදවන සේ පැහැදිලිව ම කම්කරුවන්ගේ ආසක්තතා එලිපිට අතහැර දැමී ය. ජපනුන්ගේ පරාජයෙන් පසු චීන කොමියුනිස්ට් පක්ෂය, යුරෝපයේ හා ආසියාවේ වෙනත් තැන්වල ආන්ඩු හා ධනේශ්වර පක්ෂ සමග සහයෝගිතාවය පිලිබඳ ස්ටැලින්ගේ පිලිවෙත සමග පෙල ගැසෙමින් කුවෝමිංටානය සමග යුද සමයේ දී ඇති කර ගෙන තිබුනු හවුල තව දුරටත් පවත්වාගෙන යාමට උත්සාහ කලේ ය.

8-5 එක්සත් ජනපදයේ ආධාර ලත් චියැං කායි ෂෙක් චීකොපයට එරෙහි ව යුදවැදීමට සුදානමින් සිටින බවට ලද පැහැදිලි අනතුරු හැඟවීම් නො තැකූ මාවෝ, අන්තිමේ දී කුවෝමිංටානය පෙරලා දැමිය යුතු යයි කැඳවීමක් කලේ නැඟී එමින් තිබුනු සීතල යුද්ධය මධ්‍යයේ 1947 ඔක්තෝබරයේ දී ය. මැන්චූරියාවේ කුවෝමිංටෑන් ප‍්‍රහාරය හමුවේ මිලිටරි සංහාරයක අනතුරට මුහුන දුන් චීකොපය ට ගොවි ජනතාව අතර පැතිර පැවති විරෝධය ගසා කෑම සඳහා ඉඩම් ප‍්‍රතිසංස්කරන ප‍්‍රතිපත්තිය යලි පනගැන්වීය පසුව චියැං කායි ෂෙක් ලත් පරාජයට හේතු වූයේ මාවෝ සේතුං ගේ ඊනියා මූලෝපායික විචක්ෂන බවට වඩා සැලකියයුතූ දේශපාලන පදනමකින් තොර වූ ද මූල්‍ය අර්බුදයෙන් හා කම්කරු පන්තියේ හා ගොවි ජනතාවගේ වැඩෙමින් පැවති විප්ලවවාදී ව්‍යාපාරයකින් වටලනු ලැබුවා වූ ද අතිශයින් ම දූෂිත සහ පීඩක කුවෝමිංටාන් පාලනයේ පැවති ආවේනික දුබලතාවයයි. සෝවියට් හමුදාවන් විසින් සපයන ලද ජපනුන්ගෙන් අල්ලාගත් ආයුධවලින් සන්නද්ධ වූ මාවෝගේ හමුදා මැන්චුරියාවේ දී කුවෝමිංටාන් හමුදා පරාජය කිරීමෙන් පසු දකුනු දිගට කඩා වදින කල්හි කුමන හෝ බලගතූ මිලිටරි ප‍්‍රතිරෝධයකට මුහුන නො දුන් තරම් ය. 1949 ඔක්තෝබරයේ දී චීන මහජන සමූහාන්ඩුව ප‍්‍රකාශයට පත් කරන ලදි.

8-6 චීකොපය සිය නව තන්ත‍්‍රය, තායිවානයට පලා නොගිය ධනේශ්වරයේ කොටස් ද අන්තර්ගත කරගත් අතර මූලික වශයෙන් ඉඩම් ප‍්‍රතිසංස්කරන හා කර්මාන්ත ජනසතු කිරීම්වල ප‍්‍රමානය සීමාකරමින් "පන්ති හතරේ සන්ධානය” මත පදනම් කලේය. කෙසේ වුව ද විප්ලවවාදී ව්‍යාපාරය ද සාවද්‍ය ලෙස වුවත් බොහෝ දෙනෙක් රුසියානු විප්ලවයේ උරුමය සමග අනන්‍ය කරගත් චීකොපය පිලිබද මහජන අපේක්ෂා ද කෙතරම් පුලුල් ලෙස පැතිර තිබුනේ ද යත් ස්ටැලින්වාදීන්ට ඔවුන් සිතුවාට වඩා වැඩි දුරක් යාමට බල කෙරුනි. කොරියානු යුද්ධයේ ප‍්‍රතිපලයක් ලෙස අධිරාජ්‍යවාදී මැදිහත්වීමක තර්ජනයට මුහුන දුන් කල්හි යුද්ධය සදහා ජනතාව සූදානම්කර බලමුලූ ගැන්වීමේදී කම්කරුවන් හා ගොවීන් වෙත සහන පිරිනැමීමට ස්ටැලින්වාදීන්ට බල කෙරුනි. ග‍්‍රාමීය ප‍්‍රදේශවල ඉඩම් හිමි පන්තියේ ඉඩම් අත්පත්කර ගැනීම අවසන් කල 1951-52 කාලයේ සිය තුන් විරෝධ හා පස් විරෝධ "ව්‍යාපාරවල කොටසක් ලෙස චීකොපය හා රාජ්‍යය මත කර්මාන්තකරුවන්ගේ හා වෙලෙන්දන්ගේ "දූෂිත බලපෑම” මැඩීමට යයි ඔවුන් ඉලක්ක කර ගත්තේය 1953දී පලමු පස් අවුරුදු සැලැස්ම සකස් කිරීමෙන් පසුව ඉතිරිව තිබූ පෞද්ගලික ව්‍යාපාර බෙහොමයක් ජනසතු කරන ලදී ඒසේ වුව ද අන්ඩුව මුහුනපා සිටි සංකීර්න ආර්ථික හා සමාජ ගැටලූ කිසිවක් "තනි රටක සමාජවාදය” පිලිබඳ ස්ටැලින්වාදයේ ප‍්‍රතිගාමී න්‍යාය මත පදනම්ව විසඳාලිය නො හැකි විය. එක් තත්කාර්යවාදී ජාතිකවාදී පිලිවෙතක සිට ඊලඟ එකට පැනීමේ දී චීන කොපය ව්‍යසනයන් මාලාවක් ඇති කලේ ය. "මහා ඉදිරි පිම්ම” මගින් 1950 ගනන් අවසානයේ දී ඇති වූ ව්‍යසනකාරී සාගතය ද මෙයට ඇතුලත් වේ.

8-7 නිලධාරිවාදී චීන කොමියුනිස්ට් පක්ෂය සෑම කල්හිම ක‍්‍රියා කලේ මහජන- විශේෂයෙන්ම කම්කරු පන්තියේ - විප්ලවවාදී ව්‍යපාරයට තිරිංගයක් ලෙස ය. 1949දී මා ඕගේ හමුදා නගර හා නාගරිකයන්ට ඇතුල්වන විට චීකොපය කම්කරුවන්ගේ කුමන හෝ ස්වාධීන කටයුත්තකට එරෙහිව දැඩි සීමා පැනවීය. වැඩවර්ජන බලහත්කාරයෙන් මඩිනු ලැබූ අතර සමහර අවස්ථාවන්හි දී හමුදාව විසින් කම්කරුවන් වෙඩිතබා හෝ අත්අඩංගුවට ගෙන මරන ලදී. කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලූ ගැන්වීමකට චීකොපයේ ඓන්ද්‍රීය සතුරුකම මුදුනෙන්ම ප‍්‍රකාශිත වූයේ 1949න් අරඹා 1952 සමූහ සිරභාරයට ගැනීම් දක්වා අඛන්ඩව ක‍්‍රියාත්මකවූ චීන ට්‍රොට්ස්කි වාදීන් රුදුරු ලෙස මර්දනය කිරීම තුලය.

8-8 ජාත්‍යන්තර කරලියේදී චීකොප සෝවියට් සංගමය සමග සන්ධානය දිගටම පවත්වාගත් අතර විශේෂයෙන්ම බැර කර්මාන්ත සංවර්ධනය ඇතුලූ ආර්ථිකයේ ප‍්‍රසාරනය සඳහා 1960 ගනන්වල දී සෝවියට් විශේෂඥයින් හා ආධාර මත බෙහෙවින්ම රඳා පැවතුනි. ජනසතු කල කර්මාන්තයෙහි චීකොප ආර්ථික කලමනාකරනය සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී සැලසුම්කරන මොඩලයට සමීපව ගැටගැසී තිබුනි. 1962 චීන-සෝවියට් භේදය පිලිබිඹු කලේ ස්ටැලින්වාදී නිලධාරි තන්ත්‍රයන් දෙකක් අතර ජාතිකවාදී අවශ්‍යතා මුල්කරගත් තරගයයි. 1962 චීන-ඉන්දීය දේශසීමා යුද්ධයේ දී සෝවියට් සංගමය චීනයට විරුද්ධව ඉන්දියාවට පිටුබලය දුන්නේය. ස්ටැලින්ගේ අපරාධ පිලිබදව 1956 කල කෘෂෙව්ගේ රහසිගත කථාවෙහි තීරනාත්මක හෙලිදරව් සම්බන්ධයෙන් විවේචනශීලී වූ චීකොප කවර විටෙකත් ස්ටැලින්වාදයේ මූලික ප‍්‍රවාදයන්ගෙන් නොබිඳුනු අතර එහි සියලූ පාවාදීම් දිගටම ආරක්ෂා කලේය. විප්ලවය පිලිබඳ අවධි දෙකේ න්‍යාය මත චීකොප උපදේශ 1965-66 ඉන්දුනීසියානු කුමන්ත‍්‍රනය ද ඇතුලූ නොදියුනු රටවල ධනේශ්වරය සමග සන්ධාන ඇති කොට ආසියානු ජනතාව වෙනුවෙන් උදා කලේ ව්‍යසනයන් ම පමනි.

මතු සම්බන්ධයි

සටහන්

13. Writings of Leon Trotsky 1939-40, ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන 1939-40 ( නිව් යෝර්ක්: පාත් ෆයින්ඩර් ප්‍රෙස්, 2001) පි. 31-32.

14. චාල්ස් වෙස්ලි අර්වින්, Tomorrow is Ours: The Trotskyist Movement in India and Ceylon, 1935–48: හෙට දවස අපේ: ලංකාව හා ඉන්දියාව තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය (කොලඹ, සමාජවිද්‍යාඥයන්ගේ සංගමය, 2006), පි.171.

15. ලියොන් ට්‍රොට්ස්කි, Lion Trotsky On China ලියොන් ට්‍රොට්ස්කි චීනය ගැන, (නිව් යෝර්ක්: මොනාඩ් ප්‍රෙස් 1971) 528 පිටුව]

16. එම., පි.525.

Share this article: