එක්සත් ජනපදය තුල සමාජ අර්බුදය

The social crisis in the US

24 November 2012

දේව ස්තුති දිනය 2012.

දැවැන්ත ජන සංඛ්‍යාවක් දරිද්‍රතාවට ඇද වැටීමෙන් වලකාගෙන සිටින සමාජ වැඩපිලිවෙලවල් කප්පාදු කිරීමට, ජනාධිපති බරක් ඔබාමා සහ කොංග්‍රස් මන්ඩලය සැරසෙන තතු යටතේ, එක්සත් ජනපදය තුල සාගින්නේ හා දරිද්‍රතාවයේ පැවැත්ම දශක ගනනාවකින් නොදුටු මට්ටම් කරා ලඟා වී තිබේ.

ඒ පිලිබඳ සංඛ්‍යා සිත් කම්පනයට ලක් කරන තරම් විශාලය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෑතම සංඛ්‍යා ලේඛනවලට අනුව, ආහාර මුද්දර ලබන ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව, මේ වසරේ අගෝස්තුවේ දී, මිලියන 47.1ක නව වාර්තාවක් කරා ලඟා විය. මෙය පසුගිය වසරේ සිට මිලියනයක ද එම සංඛ්‍යාව මිලියන 30ක් වූ 2008 ඔක්තෝබරයේ සිට හරි අඩකට වඩා ද නැගීමකි. රටේ අගනගරය වන වොෂිංටන් ඩී.සී. සහ මිසිසිපි ප්‍රාන්තය තුල, වැසියන්ගෙන් පහෙන් එකකට වැඩි පිරිසක් දැන් ආහාර මුද්දර සහනාධාර ලබා ගනී.

එක පුද්ගලයකුට මසකට ලැබෙන සාමාන්‍ය ආහාර ආධාරය ඩොලර් 130කි, එනම් දිනකට ඩොලර් 4.33ක් පමනය. එය පහල මැන්හැටන්හි මිල අධික කෝපි කෝප්පයක මිලට වඩා අඩු අගයකි. එහෙත් එක්සත් ජනපද සෙනෙට් සභාව තුල දැන් විවාදයට ලක් කෙරෙන පනතක්, වසර දහයක් තුල දී එම වැඩපිලිවෙලෙන් ඩොලර් බිලියන ගනනක් කපා හරිනු ඇත්තේ, ලමුන්, වැඩිහිටියන් හා ආබාධිත පුද්ගලයන් අප්‍රකාශිත සංඛ්‍යාවක් දරිද්‍රතාවට ඇද දමමනි. එක්සත් ජනපදයේ දැනටමත් ආහාර සුරක්ෂිතතාව අහිමි මිලියන 50ක් ජනයා සිටී. එය 2007 දී පැවති මිලියන 36ක අගයේ සිට දැවැන්ත ඉහල නැග්මකි. සාගින්නේ සිටින ජනයාගෙන් මිලියන 17ක් ලමුන්ය.

සමාජ ව්‍යසනයේ සැබෑ මට්ටම දැවැන්ත පරිමානයෙන් අවතක්සේරු කරන නිල දරිද්‍රතා අනුපාතය ද එමෙන්ම නව වාර්තාවන් කරා නැග ඇත. එක්සත් ජනපද සංගනන කාර්යංශය මේ මාසයේ නිකුත් කල පරිපූරක දරිද්රතා වාර්තාවට අනුව, එක්සත් ජනපදයේ මිලියන 49.7ක් ජනයා, එනම් මුලු ජනගහනයෙන් සියයට 16.1ක්, දරිද්‍රතා රේඛාවෙන් පහල ජීවත් වේ. 2006 දී දරිද්‍රතාවයේ ජීවත් වූ ජන සංඛ්‍යාව මිලියන 37.3ක් වූ අතර නිල දරිද්‍රතා අනුපාතය සියයට 12.5ක් විය.

පරිපූරක වාර්තාව ආන්ඩුවේ වැඩසටහන්වල හා ප්‍රාදේශීය ජීවන වියදම්වල බලපෑම සැලකිල්ලට ගෙන දරිද්‍රතා සංඛ්යා ලේඛන සංශෝධනය කරයි. විශේෂයෙන් ම, වාර්තාව, ඉහල ජීවන වියදමක් සහිත ප්රාන්තවල අත්ය-සමාන මට්ටමේ දරිද්රතා අනුපාතයන් පවතින බව සොයාගෙන ඇත.

නව වාර්තාවට අනුව, කැලිෆෝනියාවේ දරිද්‍රතා අනුපාතය සියයට 23.5කි. එනම්, රටේ ධනවත්ම හා ජනගහනය අධිකම ප්රාන්තයේ වැසියන්ගෙන් හතරෙන් පංගුවකට ආසන්න ප්‍රමානයක් දුගීන්ය. හොලිවුඩ් පුරය හා සිලිකන් නිම්නය මෙන්ම ඇඟලූම් නිපදවන වහල් ශ්රම කම්හල් හා සංක්‍රමනික ගොවිපල කම්කරු කඳවුරු පිහිටි, කැලිෆෝනියාව එක්සත් ජනපදයේ ආදායම් විෂමතාවයේ ඉහලට මට්ටම් සහිත ප්‍රාන්තයකි.

ඒ අතරතුර සංගනන දත්ත මගින් එලිදරව් කෙරෙන තවත් කරුනක් නම්, ඇමරිකාවේ කුටුම්භ ආදායමේ මධ්‍යස්ථ අගය, උද්ධමනයට අනුව සැකසු කල, පෙර වසරේ සිට සියයට 1.5කින් පහල බැස තිබේ යන්නයි. එම අගය 2007 මට්ටමෙන් සියයට 8.1කට ද 1999 පැවති එහි ඉහල මට්ටමේ සිට සියයට 8.9කට ද වඩා පහල අගයකි. 2011 දී සාමාන්‍ය එක්සත් ජනපද පවුලක ආදායම එක දිගට සිවුවන වසර සඳහාත් පහල බැස අවසන් වතවාට 1995 දී දැක තිබූ මට්ටම් කරා කඩා වැටුනි.

ආර්ථික අර්බුදය විසින් නිර්මිත දරිද්‍රතාවයේ හා සමාජ කාලකන්නිභාවයේ ඉහල මට්ටම්, සමාජ වැඩපිලිවෙලවල් අඛන්ඩව කප්පාදු කිරීම මගින් තවත් උත්සන්න කෙරී තිබේ.

ආන්ඩුවේ දරිද්‍රතාව පිටුදැකීමේ වැඩසටහන් ආසන්න වසයෙන් මිලියන 50ක ජනයා දරිද්‍රතාවට ඇද වැටීම වලකාගෙන සිටී. අයවැය හා පිලිවෙත් ප්‍රමුඛතා මධ්‍යස්ථානයට අනුව, එම වැඩසටහන් නැතිනම්, දරිද්රතා අනුපාතය එමෙන් දෙගුනයක් තරම් ඉහල නගිනු ඇත. 2011 දී, විරැකියා රක්ෂන වැඩසටහන කම්කරුවන් මිලියන 26කට සහන සැලසූ බවත්, ලමුන් 600,000කට වැඩි පිරිසක් ද ඇතුලුව, මිලියන 2.3ක ජනයා දරිද්‍රතා රේඛාවෙන් ඉහලට ඔසවාලූ බවත්, ජාතික සේවා නියුක්ති නීති ව්‍යාපෘතිය (එන්ඊඑල්පී) පෙන්වා දෙයි.

2010 දී, රැකියා විරහිතයන් පිලිබඳ ආන්ඩුවේ සංඛ්‍යා ලේඛනවලට ඇතුලත් ජනයාගෙන් තුනෙක් දෙකකට පමන, විරැකියා ප්‍රතිලාභ ලැබුනි. කෙසේවෙතත්, 2011 වන විට, එම සංඛ්‍යාව සියයට 54 දක්වා පහල බැස තිබුනි. එන්ඊඑල්පී ජ්‍යේෂ්ඨ කාර්ය මන්ඩල නීතිඥ ජෝර්ජ් වෙන්ට්වර්ත්ට අනුව, මේ වසරේ එය සියයට 45 දක්වා වැටුනි.

ආර්ථික පරිහානිය හා දිගු-කාලීන විරැකියාවේ වර්ධනය නිසා ක්‍රියාවට දැමුනු, ව්‍යාප්ත විරැකියා ප්‍රතිලාභ, දැන්, දෙසැම්බර් 31 වන විට අවසන් වීමට නියමිතය. එම වැඩපිලිවෙල අලුත් නොකල හොත්, මිලියන දෙකක් ජනයා ප්‍රතිලාභ ලැයිස්තුවෙන් කපා හැරෙනු ඇති අතර, රටේ කිසිදු කොටසක රැකියා විරහිතයන්ට සිය රැකියා අහිමි වීමෙන් පසුව සති 26කට වැඩි කාලයක් විරැකියා දීමනා නොලැබෙනු ඇත.

වෙන්ට්වර්ත්ට අනුව, වැඩසටහන අවලංගු වීමට ඉඩහැරිය හොත්, එයින් අදහස් කෙරෙනු ඇත්තේ, මොන යම් ආකාරයක හෝ ප්‍රතිලාභ ලැබෙන්නේ නිල වසයෙන් රැකියා විරහිතයන්ගෙන් හතරෙන් පංගුවකට පමනකි යන්නය.

මහජනතාව දකින පරිදි, 2012 මැතිවරනය පැමින ඔවුන්ගේ සැබෑ උත්සුකතාවන්ට හා අවශ්‍යතාවන්ට කොහෙත්ම ආමන්ත්‍රනය කිරීමකින් තොරවම ගොස් තිබේ. ඇමරිකාවේ දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයට, ඔවුන්ගේ පද්ධතිය නිර්මානය කර ඇති සමාජ ව්‍යසනය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නැති අතර එම තතු සමග පොර බඳනු ඇති මොන යම් හෝ පිලිවෙතකට සතුරුය.

ජනගහනයෙන් හරි අඩක් දුප්පත්කමේ ගිලී හෝ දුප්පත්කමට ආසන්නව පවතින රටක ඉහලම තනතුරට තේරී පත්වූ ජනාධිපති බරක් ඔබාමාගේ කතා හා විවරන තුල "දරිද්රතාව” යන පදය කිසිදාක දක්නට නොලැබෙන තරම්ය. ඔබාමා පාලනාධිකාරය මූල්‍ය වංශාධිපති පැලැන්තියේ හා එහි දේශපාලන සේවකයන්ගේ නොතැකීම මූර්තිමත් කරයි.

නොවැම්බර් මැතිවරනය හමාර වී ඇති තතු යටතේ, ඩිමොක්‍රැටික්වරු හා රිපබ්ලිකන්වරු හිමිකම් වැඩසටහන්වලට ද සමාජ "සංරක්ෂන ජාලයේ” ඉතිරිපහදුව ඇති සියල්ලටම ද පහර දීම පිනිස එක-සිතින් හැරී තිබේ. එවන් වැඩසටහන් සඳහා "මුදල් නැත”. ඒ අතරතුර දේශපාලනඥයන්ගේ බහුමිලියන ආධාරකරුවෝ වාර්තාගත ලාභ හා වෝල් වීදියේ කොටස් වෙලඳ පොලේ ගජ වාසි භුක්තිවිඳිති.

දේව ස්තුති දිනය 2012.

අධිකතර හා හැඟීම් විරහිත ලෙස ධනය ගොඩගසාගැනීම සමග එක පෙලට අධම මට්ටමේ දරිද්‍රතාව හා කාලකන්නිභාවය පැවතිය යුතුය යන්න, එක්සත් ජනපදයේ මහා ව්‍යාපාරික හවුල්කරුවන් දෙගොල්ලම ද සියලු දේශපාලන පන්ඩිතයන් ද විසින් ස්වභාවික හා ජීවිතයේ සිද්ධාන්තයක් ලෙස පිලිගනු ලැබේ. කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් කිසිදාක අදහස් විමසීමට ලක් නොකෙරුනු, ජනතාව, ව්‍යාකුලත්වයෙන් යුක්තව වුවත්, වෛරයෙන් පැසෙමින් සිටී. දරදඬු, අයුක්තිසහගත හා අසමාන ඇමරිකානු සමාජය සමාජ නැගිටීමක් කරා නොවැලැක්විය හැකි ලෙසම ගමන් කරමින් සිටී.

ආන්ඩ්‍රේ ඩෙමොන්

Share this article: