ගෝලීය ආර්ථිකයේ නව පහලට නැඹුරුවක්

A new downturn in the global economy

27 October 2012

රටවල් වැඩෙන සංඛ්‍යාවක ගැඹුරු වන ආර්ථික පසුබැස්මක් ද සමග සම්බන්ධිතව, ගෝලීය ආර්ථිකය මූල්‍ය කලබැගෑනිවලින් යුක්ත නව කාල පරිච්ඡේදයකට ඇතුලු වීමට යන බව පෙන්වන සලකුනු වඩවඩා මතුවෙමින් පවතී.

ලෙහ්මන් බ්‍රදර්ස් නමැති එක්සත් ජනපද ආයෝජන බැංකුවේ බිඳ වැටීම මගින් 2008 දී ඇරඹුනු ගෝලීය ආර්ථික බිඳ වැටීමට ක්ෂනිකව ඉක්බිතිව, ලොව පුරා ආන්ඩු ඉහල නැගි නය බර සියතට ගත්තේ, මූල්‍ය පද්ධතියේ පරිපූර්න කඩාවැටීමක් වැලැක්වීම පිනිස ඩොලර් ට්‍රිලියන ගනනක් මුදාහරිමිනි. 20 දෙනාගේ කන්ඩායමේ (ජී20) රැස්වීම්වල ආධිපත්‍යය දැරුවේ, 1930 ගනන්වල කොන්දේසි කරා ආපසු යාමක් සිදු නොවන බවට දුන් පොරොන්දු සහ ඉතිහාසයේ පාඩම් උගෙන ඇති බවට කල සහතිකවීම් ය.

අවපාතයන්ට මුහුනු දෙනු පිනිස රාජ්‍ය වියදම් ඉහල දැමීම ඉල්ලා සිටි 1930 ගනන්වල බ්‍රිතාන්‍ය අර්ථශාස්ත්‍රඥ‍යෙකු වු ජෝන් මෙනාර්ඩ් කේන්ස්ගේ ලියවිලි හදිසියේ ම යලි මෝස්තරය බවට පත් විය. එහෙත්, 2010 ජූනියේ දී තියුනු හැරීමක් සිදු විය. ඒ, ජී20 රැස්වීමක් අයවැය හිඟය හා සමුච්චිත නය බර අඩු කිරීමේ පිලිවෙත්වල අවශ්‍යතාව අවධාරනය කරමින්, කප්පාදු පිලිවෙත් වෙත හැරීමක් ආරම්භ කල කල්හි ය. මෙම වැඩපිලිවෙලේ සාරය වූයේ, රජයේ වියදම්, විශේෂයෙන් ම සමාජ සේවාවන්ට කරන වියදම්, දැවැන්තව කපාහැරීම මගින්, බැංකුවලට දී ඇති මුදල් යලි හූරාගැනීම යි.

කෙසේ වෙතත්, මෙම වැඩපිලිවෙල, ප්‍රධාන සංගතවල ලාභ අවස්ථාවන් පහල බැසීමට තුඩු දෙමින් ආර්ථික වර්ධනයේ හැකිලීමක් ඇති කලේ ය. මෙම තත්වය හමුවේ, එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් බැංකුව ''ප්‍රමානාත්මක ලිහිල්කරනය'' (ක්‍යුඊ), එනම් බැංකුවලට හා මූල්‍ය ආයතනවලට අසීමිත මුදල් සැපයුමක් ලබා දීම, පිලිබඳ පිලිවෙතක් ආරම්භ කලේ ය. ලොව පුරා මහ බැංකු පොලී අනුපාතික වාර්තාගත අඩු මට්ටම් කරා කප්පාදු කොට ප්‍රරමානාත්මක ලිහිල්කරනයේ ස්වකීය රූපාකාරයන් අනුගමනය කලේය. එකතැන පල්වන මූර්ත ආර්ථිකයක කොන්දේසි යටතේ, මෙම පියවරවල එල්ලය වූයේ, මූල්‍ය වත්කම්වල වටිනාකම ඉහල දැමීම සහ එමගින් සමපේක්ෂන ලාභ සාක්ෂාත් කරගනු පිනිස මූල්‍ය ආයතනවලට නව මාවතක් සම්පාදනය කිරීම යි.

ක්‍යුඊ වැඩපිලිවෙල හා එහි සමකයන් ගෝලීය ආර්ථිකය පසුබැස්මක් තුලට රූටා යාම වැලැක්වීමේ විධික්‍රරමයක් ලෙස තොරොම්බල් කෙරී ඇති මුත්, එම පිලිවෙත් මූර්ත ආර්ථිකයේ වර්ධනයට තල්ලුව දීමට කිසිදු ප්‍රතිපදානයක් සිදු කොට නැත. එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් බැංකුවේ සභාපති බෙන් බර්නන්කෙ කියාපෑවේ, මෑත දී බලාත්මක කල ක්‍යුඊ3 වැඩපිලිවෙල පොලඹවනු ලැබුවේ අඛන්ඩව ඉහල යන විරැකියාව මගින් බවයි. එම පිලිවෙත්වල එකම සැලකිය යුතු බලපෑම වී ඇත්තේ, මහ බැංකු විසින් සම්පාදිත අතිශයින්ම ලාභ මුදල් යොදාගෙන, මූල්‍ය හැසිරවීම හරහා ලාභ ඉහල දමාගැනීම යි.

එහෙත් දැන්, මහ බැංකුවල වැඩපිලිවෙලේ බලපෑම වියැකී යත් ම, වැඩෙන ආර්ථික පසුබැස්මක ප්‍රවනතා මගින් සනිටුහන් වී ඇති, ගෝලීය ආර්ථික බිඳ වැටීමේ නව අදියරක් ඇරඹී ඇති බවට සලකුනු දක්නට ලැබේ.

තව දුර රැකියා කප්පාදු පිලිබඳ නිවේදන මධ්‍යයේ සමාගම් අලෙවි කටයුතු හා ලාභ පහල වැටීමක් වාර්තා කරන තතු තුල, ක්‍යුඊ වැඩපිලිවෙල මගින් ඉහල දමනු ලැබූ, එක්සත් ජනපදයේ කොටස් මිලගනන් පහල වැටීම ඇරඹී ඇත. මේ සතියේ දී, ඇමරිකානු සමාගම් දුබල වන ගෝලීය ඉල්ලුම ද යුරෝපයේ අඛන්ඩ මූල්‍ය අර්බුදය නිසා ජනිත වන භීතිකා ද දෙසට අවධානය යොමු කලේ ය.

ඩොව් කෙමිකල්ස් සමාගම රැකියා 2,400ක්, එනම් සිය ගෝලීය ශ්‍රම බලකායෙන් සියයට 5ක්, කප්පාදු කරන බව නිවේදනය කලේ ය. එමෙන් ම, ''වහවහා එලඹෙන මන්දගාමී-වර්ධනයක වාතාවරනයක්'' උපුටා දක්වමින්, කම්හල් 20ක් වසා දමන බව ද ප්‍රාග්ධන වියදම් ඩොලර් මිලියන 500කින් කපා දමන බව ද සමාගම පැවසීය. එක්සත් ජනපදයේ විශාලත ම රසායනික සමාගම් සමූහය වන ඩ්‍යුපොයින්ට් කම්කරුවන් 1,500ක් දොට්ට දැමීමක් ද තුන් වන කාර්තුවේ පාඩු ලැබූ බව ද නිවේදනය කලේය. ආසියානු-පැසිෆික් කලාපයේ සිය භාන්ඩ අලෙවිය තියුනු ලෙස කඩාවැටී ඇති බව, එනම් වසරකට ඉහත දී පැවැති තත්වයට සංසන්දනාත්මකව සියයට 10කින් කඩා වැටී ඇති බව, එය පෙන්වා දුන්නේ ය. එම කඩා වැටීම, ඊනියා ''නැගී එන වෙලඳ පොලවල්” විකල්ප ගෝලීය ඉල්ලුම් ප්‍රභවයක් සම්පාදනය කරනු ඇතැයි යන කියාපෑම්වලට ප්‍රහාරයක් එල්ල කොට තිබේ.

සමස්තයක් ලෙස ගත් කල, එක්සත් ජනපද සංගතවල ලාභ සහ ඉපැයුම් 2009න් පසුව ප්‍රථම වතාවට කඩා වැටෙනු ඇතයි අපේක්ෂා කෙරෙයි. එක්සත් ජනපද ආර්ථිකය පිලිබඳ මෑත ම දත්තවලට අනුව, දල දේශිය නිෂ්පාදිතය (දදේනි) තුන්වන කාර්තුවේ දී වර්ධනය වූයේ සියයට 2ක වාර්ෂික අනුපාතයකින් පමනි. එනම්, රැකියා නියුක්ති මට්ටම් පවත්වාගෙන යාමට අවශ්‍ය අනුපාතයට වඩා බෙහෙවින් පහල අගයකි. ආරක්ෂක වියදම් ඉහලයාමේ බලපෑම නොවන්ට, මෙම වර්ධන අනුපාතය වෙලඳ පොල අපේක්ෂාවන්ට සැලකිය යුතු පහල අගයක් ගනු ඇත.

එක්සත් ජනපදයේ දදේනි දත්තවල පවත්නා වඩාත් ම අර්ථභාරී ලක්ෂනය වූයේ ආයෝජන වියදම් ය. ආයෝජන වියදම්වල අඛන්ඩ කඩාවැටීම කාර්තුව සඳහා සමස්ත වර්ධන වේගයේ ප්‍රතිශතය සියයට 0.1කින් පහල දමා ඇත්තේ, ආනයන හා අපනයන යන දෙකම පහල බැස -- එහි ප්‍රතිශතය සියයට 0.2කින් අඩු කරමින් -- ඇති තතු තුල ය.

මහ බැංකුකරුවන් මූල්‍ය වෙලඳ පොලවල් තුලට මුදල් පොම්ප කිරීම දිගට ම කරගෙන ගියත්, මෙම පිලිවෙත් තත්වය ආපසු හැරවීමට කිසිවක් නොකරනු ඇත. මේ සතියේ, ප්‍රධාන කතාවක දී, එංගලන්ත බැංකුවේ අධිපති මර්වින් කිං සටහන් කලේ, මුදල් සැපයුමේ සෑම වැඩිවීමක් ම මූර්ත ආර්ථිකය මත නිෂේධනීය බලපෑමක් ඇති කරන බව යි.

ඔහුගේ අනතුරු ඇඟවීම් ඓතිහාසික ප්‍රවනතා මගින් සනාථ කෙරෙයි. ෆිනෑන්ෂියැල් ටයිම්ස් පත්ප‍රයට ලියූ ලිපියක, මූල්‍ය විශ්ලේෂක සත්‍යජිත් දාස් පෙන්වා දී ඇත්තේ, 2001 හා 2008 අතර දී, ඉහල නැගෙන නිවාස වටිනාකමට එදිරිව නය ගැනීම එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනයේ හරි අඩකට පමන ප්‍රතිපදාන කල බව යි. ''එහෙත් වර්ධනය පවත්වා ගෙන යාමට නම් නය ගැනීම් අඛන්ඩව වැඩිවිය යුතු ය. එක්සත් ජනපද වර්ධනයේ ඩොලර් 1ක් නිර්මානය කිරීමට අවශ්‍ය නය ප්‍රමානය, 1950 ගනන්වල පැවති ඩොලර් 1 සිට 2 දක්වා වූ අගයක සිට 2008 වන විට ඩොලර් 4 සිට 5 දක්වා ඉහල ගියේ ය. චීනයට ඩොලර් 1ක වර්ධනයක් සඳහා අවශ්‍ය වන නය ප්‍රමානය මීට වසර 15-20කට පෙර තිබූ ඩොලර් 1 සිට 2 දක්වා වූ අගයක සිට දැන් ඩොලර් 6 සිට 8 දක්වා වන අගයක් කරා නැග තිබේ."

2009 පැවති ජී20 රැස්වීම්වල දී, ආන්ඩු නායකයන් අවධාරනය කලේ, ලෝක වෙලඳාම මත එතරම් ව්‍යසනකාරී බලපෑමක් ඇති කල 1930 ගනන්වල ආරක්ෂනවාදී පිලිවෙත් කරා ආපසු යාමක් සිදු නොවනු ඇති බවයි. එහෙත් ක්‍යුඊ වැඩපිලිවෙල, අසල්වැසියා හිඟමනට ඇද දැමීමේ මහා අවපාතයේ පිලිවෙත්වල විසි එක් වන සියවසේ අනුවාදයක් නිර්මානය කරමින් සිටී. එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් බැංකුවෙන් ගලා එන මුදල් ප්‍රවාහය, එක්සත් ජනපද ඩොලරයේ අගය පහලට තල්ලු කොට, එහි තරඟකරුවන්ගේ අපනයන වෙලඳ පොලවලට පහර දී, ඔවුන් සිය තත්වය ආරක්ෂා කරගැනීමට උත්සාහ කරන තතු යටතේ ''විනිමය යුද්ධ” වර්ධනයට තුඩු දෙයි.

තව දුරටත්, ආර්ථික වර්ධනය මන්දගාමී වන කොන්දේසි යටතේ මූල්‍ය වත්කම් ඉහල දැමීම, 2008 කඩාවැටීම අවුලුවාලූ කොන්දේසි ඊටත් වඩා පුලුල් පරිමානයකින් ප්‍රතිනිර්මානය කිරීමේ තර්ජනය මතු කරයි. මෙයට හේතුව වන්නේ, වසර හතරකට පෙර පැවති තත්වයට වඩා වෙනස් ලෙසින්, දැන් මහ බැංකු ම මූල්‍ය වෙලඳ පොලවල බෙහෙවින් නිමග්නව සිටිමින්, වෙලඳ පොලේ කඩාවැටීමක දී දැවැන්ත ප්‍රමානයන්ගෙන් පාඩු විඳීමේ තර්ජනයට මුහුන පෑම යි.

තම ක්‍රියාවන් වර්ධනය දිරිගන්වා නැතුවා විය හැකි වුවත් තමන් අඩු ගනනේ 1930 ගනන්වල කොන්දේසි කරා ආපසු යාමක් වලකා ඇතැයි මහ බැංකුකරුවන් හා ධනපති දේශපාලනඥයෝ කියා සිටිති. විරැකියාව දැනටමත් 1930 ගනන්වල මට්ටම්වලට නැග ඇති ස්පාඤ්ඤයේ හා ග්‍රීසියේ කොන්දේසි මගින් මෙම කියාපෑම් සාවද්‍ය බවට පත් වේ.

එපමනක් නොව, ඓතිහාසික ඉදිරිදර්ශනයකින් බැලූ කල, ඔවුන්ගේ ස්වයං-සුභාශිංසන තරමක් අපරිනත ය. මහා අවපාතය පැමිනියේ, 1914 දී පලමු වන ලෝක යුද්ධය පිපිරීම සමග ඇරඹුනු ගෝලීය ධනවාදයේ බිඳ වැටීම මගින් අවුලුවාලූ මූල්‍ය හා ආර්ථික වියවුල්වලින් යුක්ත දශකයකට පසුව ය.

මෙවර, ධනවාදී බිඳ වැටීම ආරම්භ වූයේ, දැන් ලෝක ආර්ථිකයේ ගැඹුරු වන හැකිලීමක් අරඹා ඇති මූල්‍ය අර්බුදයක් සමග ය.

මීට පෙර කාල පරිච්ඡේදයක පාලක ප්‍රභූන්ට මෙන්ම, වත්මන් පාලක ප්‍රභූන්ට ද ලාභ ගරන ක්‍රමයේ ඓතිහාසික අර්බුදය හමුවේ, කම්කරු පන්තියට එරෙහිව සමාජ ප්‍රතිවිප්ලවයකට, යුදවාදයට හා ආඥාදායක පාලන රූපයන් පැනවීමට වඩා වෙනත් ප්‍රතිචාරයක් නැත.

ගෝලීය ආර්ථික අර්බුදය, අවසන් වෙනවා වෙනුවට එය යන්තම් ඇරඹුනා පමනි. බංකොලොත් ධනපති ලාභ ගරන ක්‍රමය පෙරලා දැමීමේ ද සැලසුම් සහගත ලෝක සමාජවාදී ආර්ථිකයක් ගොඩ නගනු පිනිස බැංකු හා මහා සංගත පොදු අයිතිය යටතට ගෙන ඒමේ ද සම්මුති විරහිත දේශපාලන අරගලයක පදනම මත තමන්ගේ ම ස්වාධීන වැඩපිලිවෙලක් වර්ධනය කිරීම මගින් කම්කරු පන්තිය මෙයට ප්‍රතිචාර දැක්විය යුතුය.

නික් බීම්ස්

Share this article: