යුරෝ කලාපයේ මූල්‍ය අර්බුදයේ නව හැරීමක්

A new turn in the euro zone financial crisis

3 November 2012

මේ සතියේ දී ගී‍්‍රක ආර්ථිකයේ නය බර පිලිබඳ අනාවැකි ප‍්‍රසිද්ධ කිරීමෙන් පසුව යුරෝ කලාපයේ මූල්‍ය අර්බුදය ගැඹුරු වීමට නියමිතය. අයවැය ඇස්තමේන්තු පෙන්වා දෙන්නේ, ඊනියා ඇප දී ගලවාගැනීමේ පැකේජය කි‍්‍රයාවට දැමූ පසුගිය මාර්තුවේ දී අනාවැකි පල කල පරිදි, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 167ක ඉහලම අගයට නගිනවා වෙනුවට මේ වසරේ නය අනුපාතය සියයට 189 දක්වා නැග, 2014 දී සියයට 192 දක්වා, එනම්, මීට යන්තම් මාස අටකට ඉහතදී පැවති නරකම තත්වයටත් වඩා ඉහලට, නගිනු ඇති බවයි.

නොවැම්බර් 16 වන විට, ගී‍්‍රක ආන්ඩුව තථ්‍ය වසයෙන් ම මුදල් නැති තත්වයට පත්වෙතැයි අපේක්ෂා කෙරෙන තතු යටතේ, යුරෝ කලාපයේ අර්බුදය ඉරිදා මෙක්සිකෝ සිටි නගරයේ ආරම්භ වන ජී-20 මුදල් ඇමතිවරුන්ගේ රැස්වීමේ ප‍්‍රධාන කාරනයක් වන බව නිසැකය. තව දුරටත් කිසිදු මුදලක් ලබාදීම ජර්මානු ආන්ඩුව ප‍්‍රතික්ෂේප කිරීමෙන් අදහස් කෙරෙන්නේ, ගී‍්‍රසිය නය ගෙවීම පැහැරහැරීමක සහ පූර්න පරිමාන මූල්‍ය බිඳවැටීමක තර්ජනය යලිත් න්‍යාය පත‍්‍රයට ඇතුලත්ව ඇත යන්නයි.

එම රැස්වීම ඉස්මත්තේ දී ජර්මානු මුදල් ඇමති වොල්ෆ්ගෑං ස්චොබ්ල් අවධාරනය කලේ, ගී‍්‍රසිය සහ දැවැන්තව නය-භරිත යුරෝ කලාපයේ සෙසු සාමාජිකයන් දිගටම කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමිය යුතු බවයි. සෙසු මහ බලවතුන් වෙතින් එල්ල වන විවේචන අපසරනය කිරීමේ වෑයමක යෙදෙමින් ඔහු කියා සිටියේ, ජී-20 යුරෝ කලාපය මත පමනක් සිය අවධානය යොමු නොකල යුතු බවත් එය එක්සත් ජනපදයේ "මූල්‍ය ශිඛරය” -- එනම්, ජනාධිපතිවරනයෙන් පසුව ආරම්භ කිරීමට නියමිත දැවැන්ත වියදම් කප්පාදු -- සහ ජපානයේ නැගෙන නය ගැටලුව වෙත සිය සෘජු අවධානය යොමු කල යුතු බවත්ය. "එක්සත් ජනපදය සහ ජපානය ද යුරෝපීයයන් වන අප මෙන්ම (ස්ථාවරත්වය සහතික කිරීම) පිලිබඳව දැවැන්ත වගකීමක් දරයි,” යනුවෙන් ඔහු පැවසීය.

මෑතම සංඛ්‍යා ලේඛන තහවුරු කරන්නේ, "තුන් කට්ටුවේ” -- යුරෝපා සංගමයේ, යුරෝපා මහ බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ -- කප්පාදු වැඩපිලිවෙල, 1930 ගනන්වල මහා අවපාතයෙන් පසුව මේ වන තෙක් දැක නැති ආකාරයේ ආර්ථික ව්‍යසනයක් නිර්මානය කර ඇති බවයි.

ගී‍්‍රක දල දේශීය නිෂ්පාදිතය 2007 දී පැවති එහි ඉහලම අගයේ සිට මේ වන විට සමුච්චිතව සියයට 21.5කින් වැටී ඇති අතර ඊලඟ වසරේ දී එය තව සියයට 4.5කින් පහල බසිනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. ආර්ථික සංකෝචනය කෙතරම් දැයි කියතොත්, සියලු මුලාශ‍්‍රයන්ගෙන් ලැබෙන ආන්ඩුවේ මුලු ආදායම ජාත්‍යන්තර නයවල පොලී ගෙවීමට වත් ප‍්‍රමානවත් නොවනු ඇත. ඉදිරියේ දී තව "ආධාර” ලැබෙන්නේ නම්, නැතහොත් නය ගිවිසුම් දීර්ඝ කලහොත්, ඒ ජාත්‍යන්තර නයහිමියන් වෙත අඛන්ඩව මුදල් ගලාඒම සහතික කරගැනීම පිනිස මිස, ගී‍්‍රසියේ ආර්ථික ගැටලු ලිහිල් කිරීම පිනිස නොවනු ඇත.

ගී‍්‍රක ව්‍යසනය යුරෝ කලාපය පුරා පැතිරෙමින් පවතින අර්බුදයක තියුනුම ප‍්‍රකාශනය පමනි.

ඉතාලිය දුර්වල ආර්ථික වර්ධනයකින් හා විශ්වාසය භංගවීමකින් යුක්ත "දුෂ්ට චක‍්‍රයකට” මුහුන දෙන බවට, පසුගිය සතියේ දී, ඉතාලි බැංකුවේ අධිපති ඉග්නාසියෝ විස්කෝ අනතුරු ඇඟවීය. ඔහු කතා කලේ, විරැකියාව වසර 13ක දී පැවැති ඉහලම මට්ටම කරා ලඟා වී ඇති බව පෙන්වන නව සංඛ්‍යා ලේඛන නිකුත් වීමෙන් පසුවය. කම්හල් වසා දැමෙන, ආයතන බංකොලොත් බවට පත්වන සහ ඡන්දයෙන් තේරී පත් නොවූ මොන්ටි ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලේ ප‍්‍රතිඵලයක් ලෙස ආන්ඩුවේ වියදම් කපා දැමෙන තතු යටතේ, තරුනයන් අතර විරැකියාව දැන් සියයට 35කි.

ඉතාලි ආර්ථිකය පසුගිය වසරේ දෙවන භාගයේ දී පසුබැස්මක් කරා ලඟා විය. ආර්ථිකය මේ වසරේ දී සියයට 2.4කින් හැකිලෙතැයි ද 2013 දී තවත් සියයට 0.2කින් කඩාවැටෙතැයි ද අපේක්ෂා කෙරෙයි. වත්මන් ප‍්‍රවනතා දිගටම පැවතුන හොත් මෙම සංඛ්‍යා තවත් ඉහල නැගිය හැකිය.

කප්පාදු වැඩපිලිවෙලවල් යටතේ පවත්නා ස්පාඤ්ඤය හා පෘතුගාලය ද දැනටමත් ගී‍්‍රක මාවතේ සෑහෙන දුර ගමන් කර තිබේ. යුරෝපීය ඇප මුදල් යොදා ගත හැක්කේ පැරනි නය පියවීමට නොව නව නය සඳහා පහසුකම් සලසාගැනීමට පමනක් බවට ජර්මනිය කරන අවධාරනයෙන් පසුව, ස්පාඤ්ඤ බැංකු අර්බුදය විසඳුමකින් තවත් ඈතට ගමන් කර ඇත. මෙයින් අදහස් කෙරෙන්නේ, ජාතික ආන්ඩු ඔවුන්ගේ බැංකු විසින් දරනු ලබන නය සඳහා වගකිව යුතු තත්වය අවසන් කරන බවට යුරෝ කලාපයේ ඇමතිවරු පසුගිය ජූනියේ දී දුන් සහතිකය අවලංගු කාසියක් බවයි.

බ්ලූම්බර්ග් රූපවාහිනිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී, කොලොම්බියා විශ්වවිද්‍යාලයේ අර්ථශාස්ත‍්‍රඥ ජෝසප් ස්ටිග්ලිට්ස් යුරෝපා "ප‍්‍රකෘතිමත් වීමක්” පිලිබඳ බලාපොරොත්තු ඉවත දැමීය. යුරෝපය "ආර්ථිකය තවත් දුර්වල කිරීමට නොවැලැක්විය හැකි ලෙසම පාහේ තුඩු දෙනු ඇති කප්පාදු පැකේජයක් කි‍්‍රයාවට දමා” ඇතැයි ඔහු පැවසීය. "ආර්ථික වර්ධනය දිරිගන්වන කිසිවක් ඔවුන් කි‍්‍රයාවට දමා නැත. යුරෝපයේ සැබෑ වර්ධනයක් සඳහා අවශ්‍ය ප‍්‍රගාමකය කුමක් ද යන්න අවබෝධ කරගැනීම අසීරුය.”

එක් අතකින් කප්පාදු වැඩපිලිවෙලවල් ද අනෙක් අතට ගෝලීය මූල්‍ය පද්ධතිය තුලට ඩොලර් ටි‍්‍රලියන ගනන් පොම්ප කිරීමේ මහ බැංකුවල පිලිවෙත් ද අතර ප‍්‍රතිවිරෝධතාවක් ඇත යන ප‍්‍රබන්ධය ප‍්‍රවර්ධනය කරන විවරන, මූල්‍ය පුවත්පත්වල දිගටම පල වේ. ඒ පිලිබඳ නියම නිදසුනක් නම්, ඕස්ටේ‍්‍රලියානු බිස්නස් ස්පෙක්ටර් පත‍්‍රයේ මූල්‍ය මාධ්‍යවේදී ස්ටීවන් කොව්කොව්ලාස්ගේ ප‍්‍රකාශයකි. ඔහු මෙසේ කියාසිටියේය: "යුරෝපා මහ බැංකුව ආර්ථික කොන්දේසි වැඩි දියුනු කිරීමට උත්සාහ දරන අතරතුර ආන්ඩු වැටුප් හා සේවාවන් කප්පාදු කරමින් සහ බදු ඉහල දමමින් සිටී.”

ඇත්ත වසයෙන් කියතොත්, කොහෙත්ම ප‍්‍රතිවිරෝධතාවක් නැත. ආන්ඩු කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමිය යුතුය යන්න, යුරෝපා මහ බැංකුව සිය මූල්‍ය උත්තේජක පිලිවෙත්වල කොන්දේසියක් බවට පත්කර ඇත. යුරෝපා මහ බැංකුව හා සෙසු මහ බැංකු ලබා දෙන ආන්තික-ලාභ අරමුදල්වල විධිවිධානයන්ගේ එල්ලය වන්නේ මූර්ත ආර්ථිකයට රුකුල් දීමට උත්සාහ දැරීම නොවේ. ඒවායේ අභිප‍්‍රාය, මූර්ත ආර්ථිකය අඛන්ඩව කඩාවැටෙන තතු යටතේ පවා, සමපේක්ෂනය හරහා ලාභ ගරාගැනීමට බැංකුවලට හා මූල්‍ය ආයතනවලට සම්පත් සැපයීමයි. එපමනක් නොව, මහ බැංකුව ගෝලීය මූල්‍ය වෙලඳ පොලවල් මත වඩා ආයත්ත වන තතු යටතේ මෙම පිලිවෙත් නව අර්බුදයක් සඳහා කොන්දේසි නිර්මානය කරයි.

තවත් පුලුල්ව පැතුරුනු ප‍්‍රබන්ධයක් නම්, යුරෝ අර්බුදය ජර්මානු වර්ගයාට අයත් අස්ථානගත මුරන්ඩුකමෙහි ප‍්‍රතිඵලයක් බවටත් එය විසඳාලිය හැකි වන්නේ බර්ලිනයේ හදවතෙහි වෙනසක් ඇති වී ජර්මනිය නය-භරිත යුරෝපා ආර්ථිකයන්ගේ අවශ්‍යතාවන්ට වඩා ප‍්‍රතිචාර දනවන තත්වයට පත්වුන හොත් පමනක් බවටත් කරන කියාපෑමයි.

එවන් අදහස්, ස්චොබ්ල්ගේ හා චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ගේ න්‍යාය පත‍්‍රය දුවවනු ලබන්නේ ජර්මානු බැංකු පද්ධතිය ද අවදානමක පවතී යන භීතිය මගින් ය යන්න වසං කිරීමට උත්සාහ දරයි.

මූඩිස් නමැති නය ගෙවීමේ හැකියාව ශ්‍රේනිගත කරන ඒජන්සිය විසින් පසුගිය මාසයේ දී ප‍්‍රසිද්ධ කරන ලද වාර්තාවක් තුල මෙම අන්තරායන් අවධාරනය කෙරුනි. ප‍්‍රථම වරට 2008 දී ඉදිරිපත් කෙරුනු, ජර්මානු බැංකු පිලිබඳ සිය "සෘනාත්මක” තක්සේරුව මූඩිස් දරාගෙන සිටි අතර එම බැංකු යුරෝපයේ අඩුවෙන්ම ලාභදායක හා වඩාත්ම දුර්වල ලෙස ප‍්‍රාග්ධනකරනය වූ බැංකු අතරට වැටෙන බැවින් ඒවා ගෝලීය කම්පනයන්ගෙන් අනතුරට ලක්වීමේ මට්ටමේ දිගටම පවතින බවට ද අනතුරු ඇඟවීය. වඩාත්ම නය-භරිත රටවල අර්බුදය නිසා ජර්මානු බැංකු පද්ධතිය ද්‍රවශීලතා ප‍්‍රවාහයෙන් වාසි ලබා ගෙන ඇතත්, එය ජාත්‍යන්තර වෙලඳ පොලවල් වෙතින් අරමුදල් රැස්කිරීම මත බොහෝ සෙයින් දිගටම රඳා පවතී. ප‍්‍රාග්ධන මට්ටම් වැඩි දියුනු වී තිබෙන නමුත් යුරෝ කලාපයේ නය අර්බුදය විසින් නිර්මිත බාහිර කම්පනයන්ගේ වැඩෙන අවදානම මගින් මෙය "ඕනෑවටත් වඩා සමතුලිත කෙරී” ඇති බව මූඩිස් සටහන් කලේය.

මෙම ආර්ථික දත්ත යුරෝපා සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා තීරනාත්මක දේශපාලන ඇඟවුම් දරයි. යුරෝ කලාපයේ අර්බුදය නිසැකවම ආන්ඩුවල හා මහ බැංකුවල කි‍්‍රයාවන් මගින් උත්සන්න කෙරෙන අතරම, එහි මූලයන් පවතින්නේ "පිලිවෙත්වල” අසාර්ථකත්වයක් තුල නොව ගෝලීය ධනපති ක‍්‍රමයේ ම බිඳවැටීම තුලය.

පාලක ප‍්‍රභූන් අත අර්බුදයට කිසිදු විසඳුමක් නැත. එහෙත් ඔවුන්ට දැන් කි‍්‍රයාවට දැමෙමින් පවත්නා නිශ්චිත න්‍යාය පත‍්‍රයක් ඇත: එනම්, ෆැසිස්ට්වාදය, ආඥාදායකත්වය හා යුද්ධය ප‍්‍රවර්ධනය කිරීමත් සමග, කම්කරු පන්තිය 1930 ගනන්වල හා ඊටත් වඩා දරුනු කොන්දේසි කරා යලි තල්ලු කිරීමයි.

මීට යන්තම් මාස කිහිපයකට පෙර මුලුමනින්ම පාහේ අප‍්‍රසිද්ධව සිටි එහෙත් දැන් මත විමසුම්වල දී සියයට 15ක සහයෝගයක් භුක්ති විඳින, ස්වර්නමය අරුනෝදය නම් වූ ගී‍්‍රක ෆැසිස්ට් ව්‍යාපාරයේ ශීඝ‍්‍ර නැගීම, පවත්නා අන්තරායන් ගැන අවධානය යොමු කරයි. එවන් ව්‍යාපාර සෑම යුරෝපා රටකම පවතී.

කම්කරු පන්තිය, යුරෝපා සංගමය -- මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥාදායකත්වය -- පෙරලා දැමීම ද බැංකු හා මූල්‍ය ප‍්‍රාග්ධනය අස්වාමික කිරීමට, සමාජවාදී වැඩපිලිවෙලක් කි‍්‍රයාවට දැමීමට සහ යුරෝපා සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ගොඩනැගීමට කැප වූ කම්කරු ආන්ඩු බලයට ගෙන ඒම ද මත පාදක වු තමන්ගේම ස්වාධීන දේශපාලන කි‍්‍රයාමාර්ගය ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා සටන් වැදීම ආරම්භ කරන තෙක් එවන් ෆැසිස්ට් ව්‍යාපාරවල පැසවීම හා වැඩීම දිගටම සිදු වනු ඇත.

නික් බීම්ස්

Share this article: