ග්‍රීක කම්කරු පන්තිය ආරක්ෂා කරනු!

Defend the Greek working class!

2 November 2012

යුරෝපා සංගමය විසින් විධාන කරන ලදුව, ග්‍රීක ආන්ඩුවට ඉදිරිපත් කෙරුනු පස්වැනි කප්පාදු පැකේජ්ය ලබන සතියේ දී පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමට නියමිත ය. එහි පලමු නිර්දේශ වලට ඇතුලත් කම්කරු පන්තියට එරෙහි දැවන්ත ප්‍රහාර මීට ද ඇතුලත්ය. ඊට විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා වැඩි කිරීම, යුරෝ බිලියන 4.6කින් විශ්‍රාම වැටුප් කැපීම, යුරෝ බිලියන 1.17කින් වැටුප් කැපීම හා සෞඛ්‍යාරක්ෂක වියදම් යුරෝ මිලියන 455කින් කැපීම ඇතුලත් ය. බැංකුකරුවන් හා සමපේක්ෂකයන් වාසි ලබන්නන් වනු ඇති අතර ජනගහනයේ අතිමහත් බහුතරය තවදුරටත් දුර්දශාවට ඇදවැටෙනු ඇත.

ආන්ඩුවේ නිල ගනන්හිලව්වලට අනුව ලබන වසරේ ග්‍රීක නය දල ජාතික නිෂ්පාදනයෙන් ආසන්න වශයෙන් සියයට 190ක් දක්වා පෙර නොවූ විරූ මට්ටමකට නගිනු ඇත. එහි ආර්ථිකය මෙම වසරේ දී සියයට හතකින් ද ලබන වසරේ සියයට පහකට වඩා ද හැකිලෙනු ඇතැ යි පුරෝකතනය කෙරේ. වාර්තාගත සියයට 25.1 දක්වා විරැකියාව ඉහල ගොස් ඇති අතර එය රාජ්‍ය අංශය‍යේ දොට්ට දැමීම් සමග දිගටම වැඩිවෙනු ඇත.

ග්‍රීසිය මත ප්‍රහාර යුරෝපය පුරා නියම කෙරෙමින් පවතින කප්පාදු පියවර රැල්ලක ඉතාමත් ම්ලේච්ඡත ම ඒවා ය. අද තීරනාත්මක ප්‍රශ්නය වන්නේ යුරෝපා සංගමයට, එහි කප්පාදු ප්‍රතිපත්තිවලට හා ඒවා ක්‍රියාත්මක කරන ආන්ඩුවලට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම ය.

එවැනි ප්‍රහාරයක දේශපාලන පූර්ව කොන්දේසිය වනුයේ සටනේ නියුක්ත ග්‍රීක කම්කරුවන් සමග සහයෝගීතාව ද පවතින නය අර්බුදයට හා ග්‍රීසිය තුල සමාජ විනාශය වෙනුවෙන් ඔවුන්ට දෝෂාරෝපනය කරන වර්ගවාදී ව්‍යාපාරයට එරෙහිව සම්මුති විරහිත අරගලයයි.

මූල්‍ය ප්‍රභූවට යුරෝපීය කම්කරු පන්තිය මත ම්ලේච්ඡ ප්‍රහාර ගෙන යා හැකිව ඇත්තේ, යුරෝ සංගම් ආඥාවන්ට විරුද්ධවීමට ඔවුන් වෙත ඉදිරිදර්ශනයක් නොමතිකම නිසා පමනි. මෙම තත්වය සඳහා ප්‍රධාන වගකීම පැවරෙන්නේ රැඩිකල් වම්මුන්ගේ ග්‍රීක සභාගය (සිරිසා) හා ජර්මනියේ වාම පක්ෂය වැනි නොයෙකුත් වර්ගයේ ප්‍රතිගාමී ව්‍යාජ-වාම කන්ඩායම් මත ය. ප්‍රතිගාමී යුරෝපා සංගම් ආයතනයන්ට කම්කරුවන් යටත් කරමින් ඔවුහු යුරෝපා සංගමය ප්‍රතිසංස්කරනය කල හැකි යයි පවසති.

වැඩෙන ආර්ථික මංමුලාවේ කොන්දේසි යටතේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන පක්ෂයක් නොමැතිකම බරපතල ම අනතුරු මතු කර යි. සුළුධනේශ්වර වම්මුන් ධනවාදයේ අර්බුදයට විප්ලවවාදී විසඳුමක් ඉදිරිපත් කිරීමෙන් කම්කරු පන්තිය වලක්වන්නේ නම් ෆැසිස්ට් ප්‍රවනතාවන් ග්‍රීක ජනගහනයේ මධ්‍යම පන්තියට හා දිලිඳු ස්තරයන්ට කිට්ටු කල හැකි අතර එසේ කරනවා ද ඇත.

ක්‍රයිසි අව්ගි (ස්වර්නමය උදෑසන) නම් ප්‍රචන්ඩ ෆැසිස්ට් සංවිධානය මැතිවරනයේ දී සියයට 14දක්වා ඡන්ද ලබමින් ඉහලට ගොස් ඇත. දේශපාලන විරුද්ධවාදීන්, කලාකරුවන්, සමලිංගිකයන් හෝ සංක්‍රමනිකයන්ට ආන්ඩුවේ නිලධාරීන් හෝ ෆැසිස්ට් කල්ලි විසින් ප්‍රසිද්ධියේ පහර දෙනු ලැබීම දැන් ග්‍රීසියේ දිනපතා සිදු වේ.

මාධ්‍යය විසින් දැන් පුළුල් ලෙස ග්‍රීසිය මත පටවා ඇති විනාශය නාසීන් බලයට ඒමට පෙර, වයිමර් සමූහාන්ඩුවේ අවසානයෙන් පසුව ජර්මනි‍ෙය් උද්ගතවූ විනාශයට සමාන කර යි.

ජර්මානු පාලක පන්තිය ද කම්කරු පන්තිය වියලෙන තෙක් මිරිකීමට උත්සාහ ගනිමින් දිගට ම කප්පාදු පියවර ක්‍රියාත්මක කරමින් ඒ අවධියේ අර්බුදයට ප්‍රතිචාර දැක්වූහ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (එස්පීඩී) සහාය ඇතිව චාන්සලර් බෘනින්ග් හදිසි ආඥා 62ට නොඅඩු සංඛ්‍යාවක් හරහා 1930-1932 වසරවල දී වැටුප්, සමාජ ප්‍රතිලාභ හා විශ්‍රාම වැටුප් තුල දැවන්ත කප්පාදු හඳුන්වා දුන්නේ ය.

වැඩි වැඩියෙන් ගන්නා බලාධිකාරී පියවර සමග ජර්මානු පාලක පන්තිය කම්කරු පන්තියේ විරෝධයට මුහුන දුන්හ. පැපෙන් හා ෂ්ලේෂර්ගේ අර්ධ-ඒකාධිපති ආන්ඩුවෙන් පසු සියලු ම ධනේශ්වර පක්ෂ, හමුදාව හා මහා ව්‍යාපාරයන්ගේ නියෝජිතයන්ගේ සහාය ඇතිව ජනවරි 30වැනිදා හිට්ලර් චාන්සලර් ලෙස පත්කරන ලදී. ධනපති පන්තියේ නියෝජිතයෝ කම්කරු පන්තියේ සංවිධාන විනාශ කිරීමට නාසීන් යොදා ගැනීමට අධිෂ්ඨන සහගත වූහ.

අද ග්‍රීසිය තුල, ම්ලේච්ඡ සමාජ ප්‍රහාරයන් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ෆැසිස්ට් ප්‍රවනතාවන්ගේ නැගීම ඉතා පැහදිලි ය. ආන්ඩුවේ කටයුතු දැන් මෙහෙයවන්නේ බ්‍රසල්ස් තුල මිස ග්‍රීක ඇමති මන්ඩලය හෝ පාර්ලිමේන්තුව විසින් නොවේ. පසුගිය අවුරුද්දේ දී යුරෝපා සංගමය තේරී පත් වූ ආන්ඩුව වෙනස් කර ඒ වෙනුවට තෝරා නොගත් තාක්ෂනවේදියෙකු පත්කලේ ය. එතැන් සිට වැඩවර්ජිත කම්කරුවන්, සංක්‍රමනිකයන් හා විරෝධතාකරුවන් මත ප්‍රහාරයන්හි වේගවත් වැඩිවීමක් තිබේ.

ජූනියේ දී පලමු වතාවට ග්‍රීක පාර්ලිමේන්තුවට ඇතුල්වුන ස්වර්නමය උදෑසන සංවිධානය සමග පොලිසිය ඍජු සහයෝගිතාවකින් ක්‍රියාකර යි.

මෙම ප්‍රවනතා මතුව එන්නේ, යුරෝපා සංගමයේ කප්පාදු පියවර මගින් ඇති කල සමාජ ව්‍යසනයෙන් පමනක් නො‍වේ. යුරෝපා සංගමය ඒවාට නිහඬව ඉඩ ද දෙනු ලැබේ. ෆැසිස්ට් විරෝධී පෙලපාලියට පොලීසිය විසින් පහර දුන් කල යුසං නියෝජිතයෝ නිහඬවූහ.

සමාජ ප්‍රහාරයන් තියුනු වෙත් ම බලාධිකාරී ප්‍රවනතා අර්දවීපය හරහා ව්‍යාප්ත වේ. ස්පාඤ්ඤය හා පෘතුගාලය තුල කප්පාදුවලට විරුද්ධව පෙලපාලි යන කම්කරුවන්ට පොලීසිය විසින් නොකඩවා පහර දී හා නින්දා කර ඇත. ස්පාඤ්ඤ පොලීසිය දැන් පොලිස් ම්ලේච්ඡත්වය වාර්තා කරන අයට දඬුවම් කරන නීතියක් හඳුන්වාදීමට කටයුතු කර යි.

ආරක්ෂක හමුදා යුරෝපය පුරා රෝමා හා අනෙකුත් සුළුජන කොටස් වීදිවලින් පන්නා හැර පිටුවහල් කරති. ජර්මනි‍යේ රහස් ආරක්ෂක සේවා, අන්ත-දක්ෂිනාංශික හා ෆැසිස්ට් ව්‍යුහයන් ගොඩනගමින් හා ඒවාට අරමුදල් සපයමින් සිටී.

කම්කරු පන්තියට තමන්ගේ ආරක්ෂාව සලසා ගත හැක්කේ, යුරෝපය තුල කප්පාදු පියවරයන්ට හා නැග එන ෆැසිස්ට් හා බලාධිකාරවාදී ප්‍රවනතාවන්ට එරෙහිව එහි සටන්කාමී එක්සත්කම ස්ථාපිත කිරීමෙන් පමනි. සිරිසා වැනි සුලුධනේශ්වර කන්ඩායම්වල රිනාත්මක බලපෑමට එරෙහිව අධිෂ්ඨාන සහගත සටනක් හරහා මෙය සිදුවනු ඇත. අන්ත දක්ෂිනාංශයට වඩා කම්කරු පන්ති විප්ලවයට බියවන ඔවුන් යුරෝපය තුල ෆැසිස්ට්වාදයට හා බලාධිකාරී ප්‍රවනතාවන්ට එරෙහි අරගලය තුල බාධකයක් ලෙස ක්‍රියාකරනු ඇත.

යුරොපා සංගමයට එරෙහිව යුරෝපීය එක්සත් සමාජවාදී ආන්ඩුවක් සඳහා අරගලයක් තුල සියලු දේශසීමා හරහා කම්කරු පන්තිය එක්සත් කරන පක්ෂයක් එයට අවශ්‍ය ය. මෙහි අර්ථය වන්නේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලෝක සමාජවාදී පක්ෂයේ ශාඛාවන් ගොඩනැගීම යි.

ක්‍රිස්ටෝෆර් ඩ්‍රියර්

Share this article: