දරිද්‍රතාව සහ ඇමරිකානු ද්වි-පක්ෂ ක‍්‍රමය

Poverty and the American two-party system

17 November 2012

එක්සත් ජනපදය තුල මිලියන 50කට ආසන්න ජනතාවක් දරිද්‍රතාවයේ ජීවත් වේ. මෙය වනාහි ජනාධිපතිවරනයට දින අටකට පසුව, එක්සත් ජනපද සංගනන කාර්යංශය වෙතින් නිකුත් කෙරුනු වාර්තාවක් තුල, එලිමහනට පැමිනි භයංකර පුවතයි.

එක්සත් ජනපදයේ දරිද්‍රතාව පිලිබඳ වඩා නිවැරදි චිත‍්‍රයක් සම්පාදනය කරමින්, වියදම් හා ආන්ඩුව සපයන ප‍්‍රතිලාභ ඇතුලත් කරගන්නා නව වාර්තාවේ තොරතුරු, ඇමරිකානු ධනවාදයට එරෙහි වරද තහවුරු කරන අභිචෝදනයකි. ඔබාමා පාලනයේ ප‍්‍රථම වටයේ සම්පූර්න වසර තුනක් ඇවෑමෙන්, 2011 වසරේ දත්ත මත පදනම් වන, වාර්තාව පාලනාධිකාරයේ ප‍්‍රතිගාමී ස්වභාවයත් මහා අවපාතයෙන් පසුව පැවති දරුනුම ආර්ථික අර්බුදයට එය දක්වා ඇති ප‍්‍රතිචාරයත් පිලිබඳ විවරනයක් ද වේ.

ආසන්න වසයෙන් සෑම ඇමරිකානුවන් හය දෙනෙකුගෙන් ම එක් අයෙක් දරිද්‍රතාවයේ ජීවත් වේ යන කම්පනය දනවන පුවත, ප‍්‍රවෘත්ති ජාල හෝ කේබල් පුවත් විකාශන වෙතින් කිසිදු විවරනයක් පේ‍්‍රරනය නොකල තරම්ය. ඩිමොක‍්‍රැටික් හා රිපබ්ලිකන් දේශපාලනඥයන්, තවත් මිලියන ගනනක් දරිද්‍රතාවයට ඇද දමනු ඇති දරුනු සමාජ වියදම් කප්පාදු කි‍්‍රයාවට දැමීමට කුමන්ත‍්‍රනය කරන, වොෂිංටනය මෙම පුවත ගැන මුලුමනින්ම නිහඬය.

බරක් ඔබාමා යෙදී ඇත්තේ සිය දේශපාලන වාග් මාලාවෙන් "දරිද්‍රතාව” යන පදය මුලුමනින්ම පාහේ බැහැර කල භාවිතාවකය. සංගනන වාර්තාව නිකුත් කල දිනම පැවැත්වුනු ඔහුගේ ප‍්‍රථම පශ්චාත්-මැතිවරන ප‍්‍රවෘත්ති සාකච්ඡාව එම භාවිතයෙන් ව්‍යතිරේකයක් නොවීය. මෙඩිකෙයා හා සමාජ සංරක්ෂනය වැනි මූලික සමාජ හිමිකම් වැඩසටහන් විනාශභාග් කරනු ඇති ඩොලර් ටි‍්‍රලියන ගනනක කප්පාදු පැකේජයක් පිලිබඳව රිපබ්ලිකන්වරු සමග පවත්වන සාකච්ඡා සඳහා ඔහු වේදිකාව සකසන තතු තුල, දරිද්‍රතාවයේ භයංකර වර්ධනය ගැන අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවක් ඔහුට නොහැඟෙයි.

පසුගිය වසර හතර තිස්සේ ඇමරිකාවේ දරිද්‍රතාව, නිවාස නැතිකම හා සාගින්න තියුනු ලෙස වර්ධනය වීම හුදෙක් මුලුමනින්ම ආර්ථික බලවේගවල ප‍්‍රතිඵලයක් නොවේ. එය වනාහි, අන් සියල්ලටමත් වඩා, කම්කරු පන්තියේ ජීවන මට්ටම්වලට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට පහර දෙනු පිනිස අර්බුදය යොදා ගැනීමේ සැලසුම්ගත ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයකි.

ඔබාමාගේ පලමු වාරය කැපකෙරුනේ, ජනගහනයේ අති මහත් බහුතරයේ වියදමින් මූල්‍ය-සංගත කතිපයාධිකත්වයේ ධනය ආරක්ෂා කිරීමට හා ප‍්‍රසාරනය කිරීමට ය. ඔහුගේ දෙවන වාරය එල්ල කෙරෙනු ඇත්තේ, කම්කරු පන්තියේ සියවසකට වැඩි කලක අරගල මගින් දිනාගැනුනු ජයග‍්‍රහන සියල්ල ආපසු හැරවෙනු ඇති ඓතිහාසික ප‍්‍රතිගමනයක් කි‍්‍රයාවට දමනු පිනිස ය.

එක අතකින් බැංකු ඇපදී ගලවාගැනීමේ ඩොලර් ටි‍්‍රලියන ගනනක වැඩපිලිවෙල ද අනෙක් අතට, වැටුප් කප්පාදු කරමින් මෝටර් රථ කර්මාන්තය ප‍්‍රතිව්‍යුහගක කිරීමේ ඔබාමාගේ වැඩසටහන මගින් සමාරම්භ කෙරුනු, වැටුප්, විශ‍්‍රාමික ප‍්‍රතිලාභ, සෞඛ්‍ය සේවාව හා සේවා කොන්දේසි මත එල්ල කෙරෙන ප‍්‍රහාරයන් ද උත්සන්න කිරීමටත් සමාජ සුභසාධන වැඩසටහන්වල ඉතිරිපහදු මත එල්ල වන ප‍්‍රහාරයන් සමග ඒවා ඒකාබද්ධ කිරීමටත් නියමිතය.

සංගනන වාර්තාවෙන් එලිදරව් වන වඩාත්ම අර්ථභාරී තොරතුර නම්, වැඩ කරන දුගීන්ගේ හමුදාවේ තියුනු වර්ධනයයි. වාර්තාව සිය ආරම්භක ලක්ෂ්‍යය ලෙස ගන්නේ, 2011 දී වසර පුරා පූර්නකාලීනව හෝ අර්ධ-කාලීනව රැකියාවේ නියුතුව සිටි මිලියන 144ක් ජනයායි. මෙම ජනයාගෙන් සියයට 9.4ක් -- තක්සේරු කෙරෙන පරිදි මිලියන 13.6ක් ජනයා -- (විකාර සහගත ලෙස අඩු අගයක් වන හා නාටකාකාර ලෙස සැබෑ අගය අවතක්සේරු කරන- නිල දරිද්‍රතා සීමාවට අනුව දරිද්‍රතාවයේ ජීවත් විය.

පූර්න කාලීනව රැකියාවන්හි නියුතු මිලියන 97ක් ජනයාගෙන් සියයට 5.1ක් -- නැතහොත් මිලියන 5ක් පමන -- දරිද්‍රතාවයේ ජීවත් විය. මිලියන 46.7ක් යැයි තක්සේරු කෙරෙන අර්ධ-කාලීන කම්කරුවන් අතර දරිද්‍රතා අනුපාතය සියයට 18.5ක් -- නැතහොත් මිලියන 8.6ක් ජනයා -- තරම් ඉහල අගයකි.

සංගනන කාර්යංශයට අනුව, දරිද්‍රතාවයේ ජීවත් වූ අයගෙන් හතරෙන් පංගුවකට වැඩි පිරිසකට රැකියාවක් තිබුනි. එහෙත්, එක්කො අඩු වැටුප්, අප‍්‍රමානවත් වැඩ පැයගනන් නැතහොත් එම දෙකේම සංයෝජනයක් හේතු කොටගෙන, ඔවුන් ඉපැයුවේ කෙතරම් නම් අඩුවෙන් ද කියතොත්, යම් ආකාරයක ආන්ඩුවේ ප‍්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබුවා වුවත් ඔවුන් ජීවත් වූයේ දරිද්‍රතා රේඛාවෙන් පහලය.

රැකියාවක් නැති අය සම්බන්ධයෙන් ගතහොත් තත්වය වඩාත් දරුනු විය. ඔවුන්ගෙන් මුලුමනින්ම තුනෙන් එකක් ජීවත්වූයේ දරිද්‍රතාවයේය. ඔබාමාගේ හා කොංග‍්‍රස් මන්ඩලයේ එකඟතාව ඇතිව, ෆෙඩරල් ආන්ඩුවේ අරමුදල්වලින් නඩත්තු කෙරෙන විස්තෘත විරැකියා ප‍්‍රතිලාභ වැඩපිලිවෙල ජනවාරියේ දී අවසන් වීමට නියමිත ය. එය මිලියන 2ක් රැකියා විරහිත කම්කරුවන්ට මුදල් ආධාර අහිමි කොට තවත් කුටුම්භ ගනනාවක් දරිද්‍රතාවට ඇද දමනු ඇත.

රැකියා විරහිතයන් සඳහා රැකියා සැපයීමට හෝ සංගනන වාර්තාව මගින් අවධානයට යොමු කරනු ලැබ ඇති මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දුක්ගැහැටවලට සහන සැලසීමට ඔබාමා පාලනාධිකාරය කිසිදු පිලිවෙතක් කි‍්‍රයාවට දමා නැත. වෝල් වීදියේ බිඳවැටීමට හා ආර්ථික පරිහානියට ඉක්බිතිව, රැකියා අහිමි වූ, උකස් කල සිය නිවාස සින්නවීමට ලක්වූ හෝ වෛද්‍ය බිල්වල හෝ දැවැන්ත අධ්‍යාපන නයවල බර යටතේ පොර බදමින් සිටි, ජනයාට සහන සැලසීම පිනිස කිසිදු පිලිවෙතක් කි‍්‍රයාවට දමා නැත.

ඒ අතරතුර, ධනවතුන් තවත් ධනවත් වී සමාජ අසමානතාව වර්ධනය වී තිබේ.

නව දරිද්‍රතා සංඛ්‍යා ලේඛන තියුනු අනතුරු ඇඟවීමක් විය යුතුය. මිථ්‍යාමය "ඇමරිකානු සිහිනය” සමාජමය නපුරු සිහිනයක් බවට පත්ව ඇත. මෙය ආරම්භය පමනි. එය තාවකාලික වෙනසක් නොවේ. මෙය -- දරිද්‍රතා වැටුප් හා ම්ලේච්ඡ සූරාකෑම -- ලාභ ගරන ක‍්‍රමය ද මූල්‍ය වංශාධිපති පැලැන්තිය විසින් පාලනය කරනු ලබන පක්ෂ දෙකෙහි දේශපාලන ආධිපත්‍යය ද යටතේ "නව සාමාන්‍යය” යි.

ශිෂ්ඨ සම්පන්න රැකියා සහ ජීවන මට්ටම්, ඔබාමා විසින් පුරුද්දක් ලෙස වර්නනා කරනු ලබන සහ පක්ෂ දෙකම විසින් ආරක්ෂා කරනු ලබන, "නිදහස් වෙලඳ පොල” ක‍්‍රමය සමග ගැලපෙන්නේ නැත. රැකියා, ශිෂ්ඨ සම්පන්න වැටුප්, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාවන් සහ නිවාස සඳහා අරගලය, ධනපති ක‍්‍රමයට ද එහි සියලු දේශපාලන ආරක්ෂකයන්ට ද එරෙහි අරගලයකි. වැඩ කරන ජනතාව හා තරුනයන් මුහුන දෙන හදිසි කාරනාව වන්නේ, කම්කරු ආන්ඩුවක් හා ආර්ථික ජීවිතය සමාජවාදීව ප‍්‍රතිසංවිධානය පිනිස සටන් වැදීමට ස්වාධීන මහජන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමයි.

කේට් රැන්ඩල්

Share this article: