ග්‍රීසිය යුරෝපීය සංඟමයේ ග්‍රහනයට

Greece in the grip of the EU

22 November 2012

20දා යුරෝපිය සංගමයේ මුදල් ඇමතිවරු මෙම ග්‍රීෂ්මයේ පටන් ගෙවිම ප්‍රමාද කර ඇති ග්‍රීසියේ මූල්‍ය ආධාර පැකේජයේ ඊලඟ වාරිකය ගෙවීම යලි අත්හිටවූහ. එලඹෙන සඳුදා මෙම තින්දුව ගනු ඇති බවට බලාපොරොත්තු පලවෙයි.

ප්‍රමාදය සිදුවන්නේ, යුරෝපීය ආන්ඩු හා ජාත්‍යතන්ර මූල්‍ය අරමුදල ද ඇතුලු මෙයට සම්බන්ධ මහ බලවතුන් අතර බරපතල මත ගැටුම්වල ප්‍රතිපල වශයෙනි. විශේෂයෙන්ම ජර්මානු ආන්ඩුව දරුනු නය කොන්දේසි ලිහිල් කිරීමට අකැමැත්ත පල කරයි. දැනට ග්‍රීසිය මත කප්පාදුවේ වට පහක් පැටවීමේ ප්‍රතිපල වශයෙන් අයවැය අතිරික්තයක් බිහිවී ඇත ද දැවැන්ත මුදල් ප්‍රමානයන් නයහිමියන් වෙත ගලායාම නිසා සමස්ත නය අඛන්ඩව ඉහල නඟිමින් තිබේ.

මුදල් ඇමතිවරු හා ජාමූඅ නය යාන්ත්‍රනයේ හරිම ආකෘතිය පිලිබඳව වාද කරමින් සිටින අතර අන්තිම සතය පවා ග්‍රීක කම්කරු පන්තියෙන් මිරිකාගත හැකිවන පරිදි, මෙම දකුනු යුරෝපීය රට යුරෝපීය සංගමයේ සෘජු අනට කීකරු විය යුතු බවට එකඟ වෙති. ග්‍රීක ආන්ඩුව විසින් ක්‍රියාත්මක කලයුතු කප්පාදු පියවර කවරක් ද යන්න අනකිරීමෙන් පමනක් ඔවුන් තවදුරටත් සෑහීමට පත් නොවන අතර පැරනි යටත් විජිත හාම්පුතුන් මෙන් ඔවුන් ද රජයේ හා පරිපාලනයේ පමනක් නොව පෞද්ගලික බැංකුවල පවා සෑම මට්ටමකටම තමන්ගේම නිලධාරීන් පත්කර ඇත.

ග්‍රීසිය සමස්ත මහාද්වීපයටම මොඩලයක් ලෙස ඉදිරිපත් කෙරේ. පතුලේ සිටින කොටස වෙතින් ධනය මුදුන් මට්ටම් වෙත යලි බෙදාහැරීම ප්‍රජාතන්ත්‍ර අයිතීන් හා පාලනයේ පාර්ලිමේන්තු රූපාකාරයන් සමග පෑහෙන්නේ නැත.

ජාමූඅ, යුසං හා යුරෝපීය මහ බැංකුව යන ත්‍රිත්වය හා ග්‍රීක ආන්ඩුව අතර ඇතිකරගත් නය ගිවිසුම පිලිබඳ අලුත්ම කෙටුම්පත, පාර්ලිමේන්තුව සතු සියලු නීතිමය බලතල මුලුමනින්ම පාහේ අහෝසි කිරීමකට සමාන වන්නේය. 259 “ප්‍රතිසංස්කරනය” යටතේ ක්‍රියාත්මක කල යුතු බවට පාර්ලිමේන්තුවට අනකර තිබෙන නීතියේ කාලසටහන සවිස්තරාත්මකව එමගින් ගෙනහැර දැක්වෙයි. ඊට, තවත් විනාශකාරී සමාජ කප්පාදු, කම්කරුවන්ගේ අයිතීන් කාබාසිනියා කිරීම හා වෙලඳපොල නිදහස් කිරීමේ පියවර ඇතුලත් වෙයි.

ග්‍රීසිය මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ට්‍රොයිකාව, දැනටමත් එකඟවී සිටින මූල්‍යාධාරයන්හි වාරික අත්හිටුවන බවට තර්ජනය කරයි. එවිට ග්‍රීසිය සති කිහිපයක් තුල බංකොලොත් වන අතර තවදුරටත් වැටුප්, විශ්‍රාම හා සමාජ සහන ගෙවාගත නොහැකි තැනට පත්වනු ඇත.

ස්වාධීන නාගරික පරිපාලනය ලෙස හඳුන්වනු ලබන, ස්වාධීන අමාත්‍යාංශ හා රාජ්‍ය සංස්ථාවන්හි උපාමාරු දැමීමේ ඉඩකඩ දැනටමත් අවහිර කර තිබේ. ඒවා නිශ්චිත කප්පාදු ඉලක්ක ජයගැනීමට බැඳී සිටියි. එසේ කිරීමට අසමත් වන්නේ නම්, කප්පාදු ස්වයංක්‍රීයව පැනවෙනු ඇත. කප්පාදු ක්‍රියාත්මක වීම සහතික කිරීමේ බලතල සහිතව, සෑම අමාත්‍යාංශයකටම කප්පාදු කොමසාරිස්වරු පත්කොට තිබේ. ට්‍රොයිකාව ආන්ඩුව සමඟ ඇතිකරගත් එකඟත්වයක් මත රටේ බැංකු, කෙලින්ම නම්කල කොමසාරිස්වරුන්ගේ අධීක්ෂනයට යටත්කර ඇති අතර, නය පංඟු කිරීමේ වගකීම ඔවුන්ට පැවරෙයි.

සෘජුවම ට්‍රොයිකාවේ පාලනයට යටත්වන පරිදි පුද්ගලීකරනය කල සියලු ලාභදායී රාජ්‍ය ව්‍යවසායන්ගේ අරමුදල්, ග්‍රීසිය විසින්, අවශ්‍ය පරිදි නය හා පොලී ආපසු ගෙවීමට යොදාගනු ලබන විශේෂ ගිනුමක තැන්පත් කරනු ඇති බව 19දා ආන්ඩුවේ ප්‍රකාශකයෙක් නිවේදනය කලේය. ජර්මානු මුදල් ඇමති වොල්ෆ්ගෑන්ග් ෂෝබල්, මූල්‍යාධාර ද එවන් ගිනුමකට බැරකල හැකි යයි යෝජනා කර තිබේ. මේ ආකාරයට ග්‍රීක රාජ්‍යය එහි මූල්‍ය නිදහසේ අවසන් ටික ද නැතිකරගනු ඇත.

රාජ්‍ය පරිපාලනයේ සියලු මට්ටම් මත යුරෝපීය සංගමයේ ආඥාදායකත්වය, ග්‍රීසිය පුරා කම්කරුවන් මෘග සමාජ ප්‍රහාරයන්ට දක්වන අඛන්ඩ විරෝධතා, වැඩවර්ජන හා කම්හල් වාඩිලාගැනීම් කෙරෙහි පලවන සෘජු ප්‍රතිචාරයකි.

නව කප්පාදු හා තවදුරටත් ග්‍රීක සමාජය කොල්ලකෑමේ අටියෙන් පැනවුන නියෝග පෙන්නුම් කරන්නේ, මූල්‍ය ප්‍රභූව එන්ට එන්ටම ඒකාධිපති මාධ්‍යයන්ගේ පිහිට පතන බවයි. රාජ්‍ය පරිපාලනය ඔවුන්ගේ නියෝගයන්ට යටත් කරන අතර පොලිසිය විසින් ක්‍රිසි ඇව්ගි හෙවත් ස්වර්නමය හිමිදිරිය යන ෆැසිස්ට් කල්ලිය දේශපාලන විරුද්ධවාදින්ට හා කම්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම පිනිස රැලිකර දිරිමත් කරයි.

මෙම පියවරයන්ගේ අරමුන අඛන්ඩව ඉහල යන රාජ්‍ය නය අවම කිරීම නොව, කම්කරු පන්තියේ ජිවන තත්වයන් තුන්වන ලෝකයේ මට්ටම් කරා පහත හෙලීමය. සමාජ අයිතීන් හා ශුභසාධන සේවා වනසමින් තිබේ. වැටුප් කපා ලක්ෂ ගනන් රැකියාවලින් දොට්ට දමා තිබේ. කප්පාදුවෙන් විනාශවී ඇති සෞඛ්‍ය සේවය තුලින් ලබාගන්නා බෙහෙත් හා වෛද්‍ය ප්‍රතිකාර සඳහා තවදුරටත් ගෙවාගත නොහැකි කමෙන් බෙහෝ කම්කරුවෝ සිය ජීවිත වලින් වන්දි ගෙවති.

මූල්‍ය වංශාධිපතිත්වයට මෙම වැඩසටහන යුරෝපය පුරාම ක්‍රියාවට නැඟීමට අවශ්‍යය. ස්පාඤ්ඤය, පෘතුගාලය හා ඉතාලියට පසුව දැන් ප්‍රන්සය ද පෝලිමට එක්ව සිටියි. 19දා නය මූඩීස් වර්ගීකරන ආයතනය රටේ නය වර්ගීකරනය පහත හෙලීය. ඊට හේතු වශයෙන් දක්වා ඇත්තේ, ඉහල රාජ්‍ය වියදම්, "ව්‍යුහාත්මක හිගය” හා "අනම්‍ය ශ්‍රම වෙලඳපොල” ය. පූර්ව සතිවලදී විවිධ පාර්ශව, ප්‍රන්ස ආර්ථිකයේ "තරඟකාරිත්වය” පවත්වාගැනිම පිනිස ග්‍රීක මොඩලය අනුගමනය කරමින් කප්පාදු පියවර ක්‍රියාත්මක කල යතු බව කියා සිටියහ.

පාලක පන්තියට සමස්ත යුරෝපීය කම්කරු පන්තියටම එරෙහිව එවන් මෘග ප්‍රහාරයක් ගෙනයාමට හැකිවී ඇත්නම් ඒ ඔවුන් සඳහා ආවරනය සපයන වෘත්තීය සමිති හා ව්‍යාජ වාම ප්‍රවනතාවන්ට පින්සිදුවන්නටය.

කම්කරු පන්තියට එරෙහිව කප්පාදු පැනවීමේ දී වෘත්තීය සමිති, ආන්ඩු හා යුරෝපීය සංඟමය සමග සමීප සහයෝගිතාවයෙන් වැඩකරන අතර ඔවුන්ගේ අරගල හුදෙකලා කර පීලිපැන්නවීමට වැඩ කරති. ඔවුන් ග්‍රීක කම්කරු පන්තිය ආරක්ෂා කිරීමේ කුමන හෝ ස්වාධීන ක්‍රියා සංවිධානය කිරීමට මුලුමනින්ම සතුරුව සිටිති.

ප්‍රන්සයේ නව ධනේශ්වර විරෝධී පක්ෂය, ජර්මනියේ වාම පක්ෂය හා ග්‍රීසියේ රැඩිකල් වමේ සභාගය වන සිරිසා වැනි සංවිධාන යුරෝපීය සංගමයේ ආයතන වලට හා ඒවායේ කප්පාදු පියවරයන්ට

සහයෝගය දෙයි. ඔවුහු කම්කරු පන්තිය දේශපාලනිකව පක්ෂඝාත කර මූල්‍ය පැලැන්තියට හා ඔවුන්ගේ හෙංචයියන්ට එරෙහි අරගල වැලැක්විම පිනිස තමන්ට කල හැකි සියල්ල කරති.

සිරිසාහි සභාපති ඇලෙක්ස් සිප්රාස් සම්බන්ධතා තරකර ගැනීමටත් "විශ්වාසය ගොඩනැඟීමටත්” 20දා යුරෝපීය සංගමයේ රටවල් 27ම තානාපතිවරු හමුවන බව නිවේදනය කලේය. සති ගනාවක්ම ඔහු, කොන්සර්වේටිව් අගමැති ඇන්ඩෝනිස් සමරාස්ගේ අර්බුද ග්‍රස්ත හවුල් ආන්ඩුව වෙතින් පාලනය සියතට ගෙන යුරෝපීය සංගමයේ නියෝග තෙමේම ක්‍රියාවට නැඟීමට සූදානම් වෙමින් සිටියේය.

යුරෝපීය සංඟමයේ ආඥාදායකත්වයට එරෙහිව සිය අයිතීන් ආරක්ෂාකර ගැනීමට නම් කම්කරු පන්තිය මෙම සංවිධානවලින් බිඳී, මූල්‍ය ප්‍රභූවටත්, ඔවුන්ගේ රාජ්‍යයන්ටත්, යුරෝපීය සංගමයටමත් එරෙහිව පොදු අරගලයකට පියවර ගත යුතුය. පාලක පන්තිය යලි වතාවක් මහාද්වීපය ආඥාදායකත්වයටත් දුප්පත්කමටත් ඇද දැමීම වැලැක්විය හැක්කේ කම්කරු පන්තියේ ස්වාධීන බලමුලුගැන්වීමකින් පමනි.

බැංකු හා ව්‍යාපාර ජනසතු කරමින් ඒවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතට ගන්නා සමාජවාදී සමාජයක් සඳහා සටන තුල ජාතික දේශසීමාවන්ගෙන් ඔබ්බෙහි කම්කරු පන්තිය එක්සත් කරන කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැඟීම මේ මගින් ඉල්ලා සිටියි.

පලමු පියවර, ඔවුන්ගේ යුරෝපීය සහෝදරයින් හා සහෝදරියන් විසින් ග්‍රීක කම්කරු පන්තිය ආරක්ෂා කිරීමයි. ත්‍රිත්වයේ ප්‍රහාරයට පොදු ප්‍රතිරෝධයක් ගොඩනැඟිය යුතුය. නොඑසේනම් මහාද්වීපය පුරා කම්කරුවන් එම ඉරනමටම මුහුන දෙනු ඇත.

ක්‍රිස්ටෝෆර් ඩ්‍රියර්

Share this article: