ගෝලීය ධනවාදයේ සාහසික මුහුන

The brutal face of global capitalism

28 November 2012

අසුලියා කාර්මික කලාපයේ සෙනසුරාදා රාත්‍රියේ හටගත් බංග්ලාදේශ ඉතිහාසයේ දරුනුම කර්මාන්ත ශාලා ගින්න ගෝලීය ධනවාදය ක්‍රියා කරන නින්දිත ස්වභාවය එලිදරව් කර තිබේ.

එක්කෝ හුස්ම ගැනීමේ අපහසුතාවය සහ පිලිස්සීම් වලින් නැතහොත් පන බේරා ගැනීමේ වියරු උත්සාහයක් ලෙස ගොඩනැගිල්ලෙන් බිමට පැනීම නිසා ගින්නෙන් අවම වසයෙන් 112 දෙනෙකු මරනයට පත්වුහ. ගිනි ගන්නාසුලු රෙදි සහ නූල් ගබඩා කර තිබු පහත මාලයෙන් හට ගත් ගින්නෙන් තරප්පු පේලි අවහිර විය. අනෙක් පිටවීමේ දොරටු අගුලු ලා තිබුනි.

වෝල් මාර්ට් සහ සීඇන්ඩ්ඒ සිල්ලර වෙලඳ ව්‍යාපාර දාමය ඇතුලු යුරෝපීය හා ඇමරිකානු ප්‍රධාන සංගතයන් සඳහා සිය ගනන් කම්කරුවන් රෙදි නිෂ්පාදනය කරන පිලිස්සුන ටස්රීන් ෆැෂන් ගොඩනැගිල්ලේ පින්තුර වලින් ගින්නෙන් විනාස වූ වැඩකරන ස්ථාන රාශියක් පෙන්නුම් කරයි. දිගු වැඩ පැය ගනන්, දුෂ්කර සේවා කොන්දේසි හා අඩු වැටුප් සමග ගින්නකින් ආරක්ෂාවීමේ ප්‍රාථමික ක්‍රම පවා නොමැතිකම එකිනෙකට පැහුනි. ප්‍රසාද දීමනා සමග මාස දෙකක හිඟ වැටුප් ඔවුන්ට ලැබිය යුතු බව ගින්නෙන් දිවි ගලවා ගත්තෝ ප්‍රකාශ කලහ.

ගින්නෙන් පසුව ක්ෂනිකව ම සිද්ධියට තුඩු දුන් සැබෑ හේතු වහංගු කිරීමේ මැනවින් ප්‍රගුන කල මෙහෙයුමක් හැම මට්ටමකින් ම වහා ක්‍රියාවට දැමුනි. ආන්ඩුව, පාදේශීය හා ජාතික මට්ටමේ බලධාරීන් සහ කර්මාන්ත ශාලා හාම්පුතුන් කිඹුල් කඳුලු ස්වල්පයක් හෙලා, රැවටිලිකාර පරීක්ෂන නිවේදනය කර විපතට ගොදුරු වූවන්ගේ පවුල්වලට සුලු වන්දි මුදල් දීමට පොරොන්දු වුහ. මේ සියල්ලේ අරමුන වන්නේ සිද්ධියගැන ප්‍රවෘති පල වීම නතරවන තුරු ඒ සම්බන්ධ විවේචන නිහඬ කිරීම හා ජන කැලඹිල්ලක් ඇතිවීම වැලක්වීම වේ.

ඒ සමග ම සිද්ධිය වූ ස්ථානයේ සිටි දුකට හා කෝපයට පත් විපතට ගොදුරු වුවන්ගේ ඥාතීන්ට හා සඳුදා පැන නැගුනු කම්කරුවන්ගේ විරෝධතා උද්ඝෝෂනයකට විරුද්ධව පොලීසිය, හමුදාව හා කුප්‍රකට ක්ෂනික ක්‍රියාත්මක බලකාය (රැපිඩ් ඇක්සන් බැටලියන් ) මුදා හැරියේය. කාර්මික කලාපයේ ආරක්ෂක කටයුතු තර කිරීම සාධාරනීකරනය කිරීම සඳහා ගින්න "කලින් සැලසුම් කල එකක්" එනම් ආන්ඩුව අස්ථාවර කිරීමේ එල්ලය ඇතිව කඩාකප්පල් කාරී ක්‍රියාවක් බව කිසිදු සාක්ෂියකින් තොරව අගමැති ෂීක් හෂීනා වජෙඩ් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලේ ය.

බංග්ලාදේශයෙන් භාන්ඩ මිල දී ගන්නා සියලුම ගෝලීය සංගත ඛේදවාචකයෙන් දුරස්ථ වීමට උත්සාහ කර තිබේ. ටස්රීන් ඇඟලුම් කම්හලේ තමන්ගේ නිෂ්පාදනයන් සිදු නොකරන බව ප්‍රකාශ කරමින් පීවීඑච්, නිකේ, ගැප්, ඇමරිකන් ඊගල් අවුට්ෆිටර්ස් සහ ප්‍රන්ස සමාගමක් වන කැරෙෆෝර් ප්‍රකාශ නිකුත් කලහ. සිද්ධිය වූ ස්ථානයේ තිබී වෙලඳ නාම ලේබල් හමු වූ විට, තමන්ගේ අනුමතියකින් තොරව ස්වකීය සැපයුම්වල උප කොන්ත්‍රාත්තු මෙම කර්මාන්ත ශාලාවට දීම ගැන වෝල් මාර්ට් චෝදනා කලේ ය.

වෘත්තීය සමිති හා රාජ්‍ය නොවන සංවිධාන සමග වැඩකරන ජාත්‍යන්තර සංගත බංග්ලාදේශය වැනි රටවල් තුල ආරක්ෂක හා සේවා කොන්දේසි පිලිබඳ විවිධාකාර පිරික්සුම් ක්‍රම තහවුරු කර තිබේ. මෙම ස්වාධීන යයි කියනු ලබන පරීක්ෂා කිරීම් වෙලඳ නාම හා ලාබය රැක ගැනීමටත්, නෛතික දඬුවම් මග හැරීමටත් සැලසුම් කල ඒවාය. ටස්රීන් ෆැෂන් කර්මාන්ත ශාලාවෙන් සීතලෙන් ආරක්ෂාවීමට අඳින කමිස ඇනවුම් කර තිබුන යුරෝපියානු සීඇන්ඩ්ඒ සිල්ලර වෙලඳ සමාගම එහි ඊනියා අනිවාර්ය පරීක්ෂණ කොහෙත් ම කර නොතිබූ බව පිලි ගත්තේය.

බංග්ලාදේශයේ ශ්‍රමවධකාගාරවල නිෂ්පාදනය කරනු ලබන ස්වකීය භාන්ඩ අයිතමයන්ගේ නිෂ්පාදනය, ගුනාත්මකභාවය හා මිල සම්බන්ධයෙන් සුක්ෂම විස්තර ලබා ගැනීමේ දී, මේ එකම යෝධ සමාගමක්වත් එම වැරැද්ද කරන්නේ නැත. සේවා කොන්දේසි, ආරක්ෂක ප්‍රමිතීන් හා දරිද්‍රතා මට්ටමේ වැටුප් වැඩිදියුනු කිරීම මිල ඉහලයාමට තුඩුදෙන බව ඔවුහු හොඳින් දනිති. එම නිසා ඒවා සම්බන්දයෙන් ඔව්හු දෑස පියා ගනිති.

ටස්රීන් ෆැෂන් කර්මාන්ත ශාලාවේ කොන්දේසි පොදු තත්වයක් මිස සුවිශේෂ වුවක් නොවේ. සෙනසුරාදා ගින්න 2006 සිට අවම වසයෙන් ජීවිත 500 බිලි ගෙන ඇති කර්මාන්ත ශාලා ගිනි ගැනීම් වල දරුනුම එක වූයේ ය. චීනය ලඟට ලෝකයේ විශාලතම දෙවන එක ලෙස පසුගිය දසක තුන තුල බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තය ව්‍යාප්ත වී ඇත්තේ නිශ්චිතව ම, ලෝකයේ ලාබ ශ්‍රම වේදිකාවලින් අඩුම වැටුප් සහිත එක බන්ග්ලාදේශ ඇඟලුම් කර්මාන්තය වීම නිසාය.

ඇඟලුම් කර්මන්න්ත ක්ෂේත්‍රය පුරා පවතින දුක්ඛිත කොන්දේසි ගැන බංග්ලාදේශයේ ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් පත්‍රය විස්තරාත්මක ලිපියක් ලියා තිබින... "ඔවුන්ගේ කම්කරුවන්ට වෙලාවට වැටුප් හා අතිකාල දීමනා ගෙවන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන් ගෙන් අතලොස්සක් පමනි...බොහෝ කර්මාන්ත ශාලා හිමියෝ කම්කරුවන්ගේ වැටුප් හා අතිකාල දීමනාවල අවම වසයෙන් දෙමසක හිගයක් උවමනාවෙන් ම තබා ගනිති. හිතු මතේට කම්කරුවන් වැඩට ගැනීම හා දොට්ට දැමීම කරන කර්මාන්ත ශාලා පරිපාලනය බොහෝ අවස්ථාවල දී ඔවුන්ගේ නියමිත ගෙවීම් නො කරන්නෙහිය. සතිපතා නිවාඩු නැතිකම නිසා කම්කරුවෝ සහ ඔවුන්ගේ පවුල් සහ දරුවෝ ඇතුලු සියලු දෙනාම මානසික හා කායික පීඩාවන්ට ගොදුරුව සිටිති”

"බංග්ලාදේශයේ බොහෝ ඇඟලුම් කර්මාන්ත ශාලාවල අවම ආරක්ෂක ක්‍රම හෝ අවශ්‍ය ප්‍රමානයට ගිනි නිවන උපකරන පවා නැත. ඩකා නගරයේ කර්මාන්ත ශාලා 227 ක හදිසි පිටවීම් දොරටු නැත. බොහෝ කර්මාන්ත ශාලා හදිසි අවස්ථාවල දී ඉවත් කිරීම සඳහා වූ නියමිත අභ්‍යාස කරවන්නේ නැත. ජාතික කම්කරු අධ්‍යයනවලට අනුව, සම්පුර්න කර්මාන්තයට ම කම්කරු පරීක්ෂක නිලධාරීන් ඉන්නේ පස් දෙනෙකු පමනි. එනම් 1970 දී පලමුවෙන් ම කර්මාන්තය ආරම්භ කල අවස්ථාවේ සිටි සංඛ්‍යාවම් වේ."

ධනපති සුරා කෑම පිලිබඳ මෙම සිත්කාවදින පිංතූරය සම්පාදනය කිරීමෙන් පසුව "අපේ ඇඟලුම් ක්ෂේත්‍රය ප්‍රතිෂ්ඨාපනය කරනු" යයි හාම්පුතුන්ට හා ආන්ඩුවට කරන නිරර්ථක ආයාචනයකින් ව්‍යාපාරික පත්තරය සිය ලිපිය ඇල්මැරුනු ස්වභාවයකින් අවසන් කරයි. එහෙම වුනත්, වෘත්තීය සමිති සමග සහයෝගයෙන් වැඩ කරන ආන්ඩුව, හාම්පුත්තු සහ ගෝලීය සංගත කර්මාන්ත ශාලා විවෘත කර තබා ගැනීම සහතික කිරීමට හා අපනයන කර්මාන්තයේ වාර්ෂිකව ඩොලර් බිලියන 19 ක ආදායමෙන් ලැබෙන ලාබය දිගටම පවත්වා ගෙන යාම සදහා ජනතාවගේ විවේචන හා කෝපය අපගමනය කිරීමට කල්තියාම පේවී සිටිති.

බංග්ලාදේශයේ ව්‍යාපාරිකයෝ ඇනවුම් හා ලාබය සඳහා ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ ඔවුන්ගේ සතුරන් සමග බෙලි කපා ගැනීමේ තරගයක යෙදී සිටිති. මෙම රටවල කම්කරුවන් මුහුන දෙන කොන්දේසි බංග්ලාදේශයේ පවතින කොන්දේසි වලින් වෙනස් නොවේ.

1993 තායිලන්තයේ සෙල්ලම් බඩු කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නෙන් මිය ගිය 188 ඉක්මවා යමින් සැප්තැම්බර් මාසයේ දී ලෝකයේ මෙතෙක් සිදු වූ දරුනු ම කර්මාන්ත ශාලා ගින්න වූ පකිස්තානයේ අලි එන්ටර්ප්‍රයිසස් ඇගලුම් කම්හලේ ඇති වූ ගින්නෙන් ආසන්න වසයෙන් ජීවිත 300 පමන බිලි ගත්තේය. මෙම සිද්ධි දෙකේදීම කතාන්තරය එකක් ම වේ: ගින්නක දී පිටවීමේ දොරටු නැත; තරප්පු පේලි සහ දොරවල් අගුලු ලා තිබුනි. ගිනි ආරක්ෂන ක්‍රම නැත. ජනෙල්වලින් එලියට පැනීමට කම්කරුවන්ට බල කෙරුනි. සමහරු ඉන් මරනයට පත් වූ හ. මහජන කෝපය බැස ගිය වහාම සුපුරුදු ව්‍යාපාරයට හාම්පුත්තු නැවත යොමු වූ හ.

සේවා කොන්දේසි හා ආරක්ෂන ප්‍රමිතීන් වැඩිදියුනු වෙනවා වෙනුවට, තරගය සඳහා සංගත පොරවැදී සිටින හෙයින් පහසුවට හා ලාබෙට වැඩ කිරීමටත් කම්කරුවන් මත අලුතෙන් බර පැටවීමටත් නරක අතට හැරෙන ගෝලීය ධනවාදයේ අර්බුදය විසින් සමාගම් දුවවනු ලබයි. ඊනියා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ගේ වැටුප් හා සේවා කොන්දේසි දියුනු ධනපති රටවල ද පොදු ප්‍රමිතීන් බවට පත්වෙමින් තිබේ. දැනටමත් යුරෝපීය නය අර්බුදයේ හරි මැද පවතින ග්‍රීසියේ, ඉතාලියේ, ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ ජීවන කොන්දේසි දැවැන්තව ඛාදනය වී ඇත.

ආන්ඩුවලට හා අන්තර්ජාතික සංගත වලට ආයාචනය කිරීමෙන් ටස්රීන් ෆැෂන් ගින්න වැනි ඛේදවාචකයන් නතර කල නොහැකිය. එවන් අපරාධයන් කෙලවර කල හැකි එකම ක්‍රමය ම්ලේච්ච ලාබ පද්ධතිය අවසන් කිරීමට හා සැලසුම් ගත ලෝක සමාජවාදී පදනමක් මත සමාජය ප්‍රති සංවිධානය කිරීමට ලොව පුරා කම්කරුවන් කරන ඒකාබද්ද අරගලය ම පමනි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනක් ම සටන් වදින විප්ලවවාදී ඉදිරිදර්ශනය මෙයයි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: