ගෝලීය කොටස් වෙලඳ පොල නැග්ම පිටුපසින් ඇත්තේ කුමක්ද?

What is behind the global stock market rally?

29 September 2012

ව්‍යසනකාරී ආර්ථික දත්ත සමුදායක් නොතකා ලොව පුරා කොටස් වෙලඳ පොලවල් පිම්මේ ඉහල නගිමින් පවතී.

පසුගිය වර්ෂයේ දී, එක්සත් ජනපද ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍ය සහ බි‍්‍රතාන්‍ය එෆ්ටීඑස්ඊ 250 දර්ශක එකිනෙක සියයට 20 බැගින් ඉහල නැග ඇති අතර, ජර්මානු ඩීඒඑක්ස් දර්ශකය සියයට 39කින් පිම්මේ නැග තිබේ. ප‍්‍රධාන වසයෙන් එක්සත් ජනපදයේ පාදක තාක්ෂනික සමාගම්වලට සම්බන්ධිත නස්ඩාක් දර්ශකය, 2007 නොවැම්බරයේ දී තැබූ සිය පෙර වාර්තාව දැනටමත් ඉක්මවා ගොස් ඇති අතර ඩව් දර්ශකය සිය පෙර ඉහලම අගයේ සිට ඒකක 600ක සීමාව තුල පවතී.

කොටස් වෙලඳ පොලවල අඛන්ඩ නැග්ම පවතින්නේ, යුරෝපයේ, චීනයේ හා එක්සත් ජනපදයේ නිෂ්පාදන කි‍්‍රයාකාරකම් වසර තුනක් තුල පැවති ඒවායේ පහලම අගයන් කරා පල්ලම් බැස ඇති තතු යටතේය. යුරෝපා ආර්ථිකය සමස්තයක් ලෙස හැකිලෙමින් පවතී. බ‍්‍රහස්පතින්දා නිකුත් කෙරුනු මෑතම නරක ආර්ථික දත්තවලට අනුව, එක්සත් ජනපදයේ කල් පවත්නා භාන්ඩ ඇනවුම් 2009න් පසුව පැවති තියුනුම කඩාවැටීම වාර්තා කලේය. දෙවන කාර්තුව සඳහා එක්සත් ජනපද ආර්ථික වර්ධනය, ඒ වන විටත් පැවති සියයට 1.7ක සුදුමැලි අගයේ සිට සියයට 1.3 දක්වා පහල අතට සංශෝධනය කෙරුනි.

ගෝලීය ආර්ථිකය ගැඹුරු බැස්මකට තල්ලු වී යන තතු තුල, කොටස් මිල ගනන්වල මෙවන් ක්ෂනික නැග්මක් පැහැදිලි කරන්නේ කෙසේද?

කොටස් මිල ගනන්වල නැග්ම පහල සිට ඉහලට ධනය ගෝලීයව යලි බෙදාහැරීමේ ප‍්‍රකාශනයකි. ඩොලර් ටි‍්‍රලියන ගනන්, ප‍්‍රධාන වසයෙන් මූල්‍ය සමපේක්ෂන අරමුනු වෙනුවෙන්, බැංකුවලට හරවා ඇති තතු අතර, කම්කරු පන්තියේ සමාජ තත්වයන් නිර්දය ලෙස පහලට තල්ලු කෙරී පවතී.

මෙම කි‍්‍රයාදාමය, ලෝක ධනවාදයේ මධ්‍යස්ථානය ද ගෝලීය ආර්ථික අර්බුදයේ කේන්ද්‍රය ද වන එක්සත් ජනපදය තුල විශේෂයෙන් ම පැහැදිලිව දැකගත හැකිය.

ප‍්‍රධාන කොටස් වෙලඳ පොල දර්ශකයන් තුනම 2009 සිට මේ දක්වා ආසන්න වසයෙන් දෙගුනයක් දක්වා නැග තිබෙන අතර සුපිරි ධනවතුන්ගේ ධන සම්පත් එයට අනුව වර්ධනය වී ඇත. එක්සත් ජනපදයේ ධනවත්ම බිලියනපතියන් 400 අත 2009 දී ඩොලර් ටි‍්‍රලියන 1.27ක ශූද්ධ වටිනාකමක් තිබුනි. ඒ වන විටත් බඩ දඟලන මට්ටමේ පැවති මෙම සංඛ්‍යාව මේ වසරේ ලැයිස්තුව තුල ඩොලර් ටි‍්‍රලියන 1.7 දක්වා නැග්ගේය. එය යන්තම් වසර තුනක් තුල සියයට 33ක වැඩිවීමකි.

ඉහල විධායක නිලධාරි (සීඊඕ) වැටුප ද ඊට සමාන මාවතක් ගෙන තිබේ. විශාලතම එක්සත් ජනපද සමාගම් 350න් එකක ඉහල විධායක නිලධාරියෙක් සාමාන්‍යයෙන් 2011 දී ඩොලර් මිලියන 12.14ක් සාක්කුවට දමා ගත් අතර, ආර්ථික පිලිවෙත් ආයතනයට අනුව, එය, 2010 දී පැවති ඩොලර් මිලියන 12.04 ද 2009 දී පැවති ඩොලර් මිලියන 10.36 ද සිට වැඩිවීමකි.

එහෙත් වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් ගත් කල, තත්වය හරියටම එහි ප‍්‍රතිවිරුද්ධයයි. 2009 සහ සංඛ්‍යා ලේඛන පවතින මෑතම වර්ෂය වන 2011 අතර, එක්සත් ජනපදයේ දරිද්‍රතාවයේ ගිලී සිටින ජන සංඛ්‍යාව මිලියන 49 දක්වා මිලියන 2.6කින් වැඩුනි. ආර්ථිකයේ සෑම අංශයක් තුලම වැටුප් කප්පාදු පැටවීම පිනිස ලීවරයක් ලෙස මහජන විරැකියා යොදාගෙන තිබේ.

ආර්ථික පසුබැස්මේ නිල අවසානය වූ 2009 ජූනි සිට මේ දක්වා, යමෙකු රැකියා විරහිතව සිටි කාල සීමාවේ සාමාන්‍යය සති 23 සිට සති 38 දක්වා ආසන්න වසයෙන් දෙගුන වී ඇත. අතිශය දුබල රැකියා වර්ධනය ජනගහනයේ වැඞීම සමග යන්තම් ගැලපෙන සහ රැකියාවලින් දොට්ට වැටුනු ලක්ෂ සංඛ්‍යාත ජනයා රැකියා සෙවීම අතහැර දමන තතු යටතේ, වැඩ කරන වයසේ ජනගනහනයෙන් රැකියාවල නියුක්ත කොට ඇති ප‍්‍රතිශතය පහල බැස තිබේ.

තවමත් රැකියාවක් තිබෙන කම්කරුවන්ගේ පැයක මූර්ත වැටුප් සියයට 1.0කින් පමන වැටී ඇත. සාමාන්‍ය කුටුම්භයක ආදායම 2010 දී පමනක් සියයට 1.7කින් වැටුනි.

කම්කරුවන් සූරාකෑමේ අනුපාතය ඉහල නැගීම, 2009 සිට මේ දක්වා සෑම වසරක ම, සංගත සඳහා දැවැන්ත වියදම් ඉතිරියක් හා වර්තාගත ලාභ බවට පරිවර්තනය වී ඇත්තේ, සුපිරි ධනවතුන්ගේ ආදායම් තව දුරටත් තර කරමිනි.

ශ‍්‍රම බලකාය සෘජුවම දරිද්‍රතාවට ඇද දැමීමට අමතරව, ලෝකයේ මහ බැංකු වෙතින් ලැබුනු මුදල් ප‍්‍රවාහයන් මගින් ද කොටස් වෙලඳ පොලවලවලට රුකුල් ලැබුනි.

පසුගිය මාසය තුල දී, එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් බැංකුව, යුරෝපා මහ බැංකුව සහ ජපාන බැංකුව යන සියල්ලම මූල්‍ය වෙලඳ පොලවල් තුලට ඩොලර් බිලියන සිය ගනනක් පොම්ප කිරීමට නව පියවර ගෙන තිබේ. බැංකු තුනෙක් වඩාත් විශ්මයජනක පියවර ගත්තේ එක්සත් ජනපදයේ මහ බැංකුවයි. එනම්, සෑම මසකම ඩොලර් බිලියන 40ක උකස්කරවල පිටුබලය ලබන සුරැකුම් මිලදී ගැනිමේ අවසානයක් නැති වැඩපිලිවෙලක් ඇරඹීම මගින් බැංකුවල ශේෂ පත‍්‍රවලින් එම අලෙවි කර ගත නොහැකි වත්කම් පවරාගැනීමයි.

මෙම පියවරවල අරමුන ලෙස කියාපෑවේ, පොලී අනුපාතික පහල දැමීම, නිවාස වෙලඳ පොල යලි පනගැන්වීම සහ ප‍්‍රසාරනය හා නව කම්කරුවන් බඳවා ගැනීම පිනිස සංගතවලට පවතින මුදල් ප‍්‍රමානය ඉහල දැමීමයි. එහෙත් එම මුදල් නිෂ්පාදනිකව ඵලදායි ලෙස ආයෝජනය කරනවා වෙනුවට, සංගත හා බැංකු එක්කෝ ඒවා රහස් සංචිත ලෙස තබා ගනී, නැතහොත් ඒවා කොටස් වෙලඳ පොලට හා සෙසු සමපේක්ෂන කටයුතුවලට පොම්ප කරයි.

ප‍්‍රධාන එක්සත් ජනපද සංගත අත තිබෙන මුලු මුදල් ප‍්‍රමානය මේ වසරේ දෙවන කාර්තුවේ දී ඩොලර් ටි‍්‍රලිනය 1.7 මට්ටමේ පැවතුනි. ඇපල් සංගතය නමැති තාක්ෂනික යෝධයා මනා නිදසුනකි. එය අත, මේ වසරේ පලමු කාර්තුව තුල දී ඩොලර් බිලියන 98ක් ද දෙවන කාර්තුවේ දී ඩොලර් බිලියන 110ක් ද තුන් වන කාර්තුවේ දී ඩොලර් බිලියන 117ක් ද පැවතුනි. මේ අතරතුර, එහි වෙලඳ පොල අගය දිගටම වැඩෙමින් පවතින අතර වර්තමානයේ දී ඩොලර් බිලියන 600කට වැඩි අගයකට මිල කෙරෙන මෙම සමාගම ලෝකයේ ප‍්‍රථම ඩොලර් ටි‍්‍රලියන 1 සංගතය වනු ඇතැ යි දැනටමත් කතා වේ.

මූල්‍ය පද්ධතියට පොම්ප කෙරෙන දැවැන්ත මුදල් සම්භාරයන් මගින් වත්කම්වල අගයන් පුම්බාලමින් විධායක නිලධාරින්ට වාර්තාගත දීමනා සඳහා මුදල් සම්පාදනය කෙරෙයි. එම නිලධාරින්ට කෙරෙන ගෙවීම් සාමාන්‍යයෙන් කොටස් මිල ගනන්වලට ගැටගැසී ඇත.

වත්කම්වල අගයන්ගේ පිම්බීම, ගැඹුරු වන ආර්ථික පරිහානිය මධ්‍යයේ අඛන්ඩව සදහටම පවත්වා ගෙන යා නොහැකිය. ප‍්‍රධාන වසයෙන් මහ බැංකු කි‍්‍රයාවට දමා ඇති ශූන්‍යයට ආසන්න පොලී අනුපාතික පිලිවෙතක් හා මුලූමනින්ම පාහේ නිදහස් මුදල් ප‍්‍රවාහයක් මත පාදක වී ඇති කොටස් මිල අගයන්වල හා සෙසු මූල්‍ය වත්කම්වල වර්ධනය, 2008 සැප්තැම්බරයේ දී පුපුරා ගිය සමපේක්ෂක බුබුලටත් වඩා දැවැන්ත නව සමපේක්ෂක බුබුලක් නිර්මානය කරමින් ඇත.

කොටස් මිල ගනන්වල ඉහල නැග්ම පිලිබිඹු කරන්නේ සෞඛ්‍ය සම්පන්න ආර්ථිකයක් නොව, ගැඹුරින්ම රෝගී ආර්ථිකයකි. එම ආර්ථිකය තුල, ධනපති ක‍්‍රමයේ අශමනීය ප‍්‍රතිවිරෝධතා, එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව පිලිවෙත නියම කරන ක්ෂමා විරහිත හා කෑදර මූල්‍ය වංශාධිපති පැලැන්තියක් විසින් උත්සන්න කෙරෙමින් තිබේ.

ඇමරිකානු ධනවාදයේ මූල්‍යකරනයේ නොවැලැක්විය හැකි ප‍්‍රතිඵලයක් වූ 2008 කඩාවැටීමට, පලමුව බුෂ් යටතේ ද ඉන් පසුව ඔබාමා යටතේ ද එක්සත් ජනපද පාලක පන්තිය ප‍්‍රතිචාර දැක්වූයේ, ඩොලර් ටි‍්‍රලියන ගනනකට වැඩි මහජන මුදල් බැංකුවලට ලබාදීම මගිනි. එහි අරමුන වූයේ, මූල්‍ය වංශාධිපති පැලැන්තියේ ධන සම්පත් පවත්වාගෙන යාම සහ තර කිරීම පිනිස මූල්‍ය වත්කම්වල වටිනාකම් යලි ඉහල දැමීමයි.

ලෝකයේ ආන්ඩු එම පිලිවෙතම අනුගමනය කලේ, බැංකු ඇපදී ගලවාගැනීමේ සෑම පියවරක්ම සමගම කම්කරුවන් මත වඩාත් රුදුරු ප‍්‍රහාර එල්ල කිරීම ද මගිනි. සෑම දෙයක්ම කප්පාදු කල යුතුය: වැටුප්, විශ‍්‍රාමික දීමනා, සෞඛ්‍ය සේවාවන්, අධ්‍යාපනය -- සෑම දෙයක්ම, එහෙත් අර්බුදයට වගකිව යුතු අයගේ ධන සම්පත් හැර.

ප‍්‍රධාන ආයෝජන බැංකු පාලනය කරන, මූල්‍ය ගිජු ලිහිනියෝ රැකියා හා සමාජ වැඩපිලිවෙලවල් මත එල්ල කෙරෙන සෑම නව ප‍්‍රහාරයක් ම සමග කොටස් වෙලඳ පොලවල් ඉහල නංවති. ඒ, ගැඹුරු ආර්ථික පසුබැස්මක ගිලී තිබෙන රටක් මෙහෙයවන ස්පාඤ්ඤ ආන්ඩුව ඊලඟ වසරේ දී ඩොලර් බිලියන 51කින් වියදම් කප්පාදු කරන අයවැය යෝජනාවක් ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව සිකුරාදා ඔවුන් කලාක් මෙනි.

මේ වන තෙක් මූල්‍ය ප‍්‍රාග්ධනය ලබා ගෙන ඇති "සාර්ථකත්වය” සඳහා යතුර වී ඇත්තේ, වෘත්තීය සමිති යාන්ත‍්‍රනයේ ද විවිධාකාර ව්‍යාජ-වාම සංවිධාන (ප‍්‍රන්සයේ නව ධනවාදී විරෝධී පක්ෂය, එක්සත් රාජධානියේ සමාජවාදී කම්කරු පක්ෂය, ජර්මනියේ වාම පක්ෂය, ගී‍්‍රසියේ සිරිසා, එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය) අතර සිටින ඔවුන්ගේ මිතුරන්ගේ ද සේවාවන් මත වාරු වෙමින්, කම්කරු පන්තියේ ප‍්‍රතිරෝධය හුදකලා කිරීමට හා එය පුපුරායාම වලක්වාගැනීමට එය සමත්වීමයි.

කෙසේවෙතත්, මහ බැංකුවල හා ආන්ඩුවල කි‍්‍රයාවන් මගින් කිසිවක් විසඳා නැත. කොටස් වෙලඳ පොලවල් සම්බන්ධ ජයෝන්මාදය පාදක වී ඇත්තේ කුනු වූ පදනම් මතය. ඉහල යන කොටස් වෙලඳ පොලවල් වනාහි, ලෝක පරිමානයකින් පුපුරන සුලූ පන්ති අරගලවල රූපාකාරයෙන් දැනටමත් පැනනැගීම ඇරඹී ඇති සමාජ ආතතීන් පෙර නොවූ විරූ ලෙස උත්සන්න වීමේ එක් ප‍්‍රකාශනයකි. මෙම අරගල ඒකාබද්ධ කිරීමටත් ඒවා සමාජවාදී හා ජාත්‍යන්තරවාදී කි‍්‍රයාමාර්ගයකින් සන්නද්ධ කිරීමටත් සෑම රටකම නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගිය යුතුය.

ආන්ඩෙ‍්‍ර ඩෙමොන්

Share this article: