යුරෝපය පෙර නො වූ විරූ සමාජ ධ්‍රැවාන්තගත වීමක් අත් දකියි

Europe sees unprecedented social polarisation

28 September 2012

යෝධ පාරිභෝගික භාන්ඩ නිෂ්පාදන සමාගක් වන යුනිලීවර් ප්‍රකාශ කර ඇත්තේ, තම "තුන්වැනි ලෝක” වෙලඳපොල මූලෝපාය තමන්, යුරෝපය තුල ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන ඇති බව යි.

යුරෝපීය මෙහෙයුම් ප්‍රධානි ජෑන් ෂිජ්ඩර්වෙල්ඩ් ඍජුව ම ප්‍රකාශ කලේ "දරිද්‍රතාව යුරෝපයට ආපසු පැමිනෙමින් තිබෙන” බැවින් එම තීරනය ගෙන ඇති බව යි.

සමාගම අප්‍රිකාවේ හා ආසියාවේ අලෙවි කරන වඩා කුඩා හා ලාභදායි පැකැට්ටු යුරෝපය සඳහා නිෂ්පාදනය කරනු ඇත. "ඉන්දුනීසියාව තුල අපි තනි ෂැම්පූ පැකැට්ටුවක් (ඩොලර්) සත දෙකේ සිට 3දක්වා මුදලකට විකිනීමෙන් පසුවත් හොඳ ලාභයක් ලබනවා” යයි ෂිජ්ඩර්වෙල්ඩ් පැවසී ය. "අපි දන්නවා කොහොම ද එය කරන්න ඕනෑ කියලා, නමුත් අර්බුදයට පෙර වසරවල යුරෝපයේ දී අප එය අමතක කර තිබුනා”

ත්‍රිත්වය, එනම් යුරෝපීය සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපීය මහබැංකුව විසින් දරුනු කප්පාදුවලට ලක් කෙරුනු දෙරටක් වන ග්‍රීසිය හා ස්පාඤ්ඤය තුල යුනිලීවර් මේ වන විටත්, මෙම මූලෝපාය යොදාගෙන ඇත. ත්‍රිත්වයේ කප්පාදු ප්‍රතිපත්ති විශාල වේදනාවන් ඇති කරමින් මෙම රටවල ආර්ථික අර්බුදය සංකීර්න කර ඇතිවා පමනි. ග්‍රීසියේ හා ස්පාඤ්ඤයේ තරුන විරැකියාව පිලිවෙලින් සියයට 53.8ක් හා සියයට 52.9කි.

එහෙත් මෙම දුෂ්කරතා කිසි ම අර්ථයකින් දකුනු යුරෝපයට පමනක් සීමා නොවේ. බ්‍රිතාන්‍යයේ හා ජර්මනියේ තත්වයන් පිලිබඳව මෑත දිනවල ප්‍රකාශයට පත්කෙරුනු වාර්තා දෙකක්, යුරෝපීය "කේන්ද්‍රයේ” සිදුවෙමින් පවතින තියුනු සමාජ ධ්‍රැවාන්තගත වීමක් අනාවරනය කර යි.

බදු අධ්‍යයනය සඳහා ආයතනය (අයිඑෆ්එස්) හා ආර්ථික පර්යේෂන පිලිබඳ ආයතනය (අයිඊආර්) විසින් කෙටුම්පත් කරන ලද වර්ධනයෙන් වාසි ලබන්නේ කව් ද? යන ලියවිල්ල පුරෝකතනය කරන්නේ බ්‍රිතාන්‍ය වර්තමානයේ එකකට පසුව තවෙකක් වශයෙන් පැමිනෙන පසුබෑමෙන් ගොඩ ඒමට සමත් වුව ද, පහල හා මධ්‍යම ආදායම් ලාභී කුටුම්භවල ජීවන තත්වයන් ඊලඟ වසර අට තුල තියනු ලෙස පහත වැටෙනු ඇති බව යි.

එවැනි කුටුම්භ 2020 වසර වන විට සිය ආදායම සියයට 15කින් වැටෙනවා දකිනු ඇත. වර්තමානයේ වසරකට පවුම් 10,600කින් අමාරුවෙන් ජීවත්වන ආදර්ශක පවුලක්, දශකය අවසානයේ දී සිය ශුද්ධ ආදායම පවුම් 9,000 දක්වා වැටෙනු දැකීමට ඉඩ ඇති අතර වසරකට පවුම් 22,900ක මධ්‍ය ආදායම් ලාභී පවුලක් සියයට 3ක වැටීමක් දකිනවා ඇත.

වාර්තාව තවදුරටත් කප්පාදු වැඩසටහන් නැතැ යි සලකා, 2020 දක්වා එහි කල්පිත වාර්ෂික වර්ධන අනුපාත සියයට 1.5 හා 2.5 දක්වා වේයයි සලකයි. සැබවින්ම නම් තත්වය බෙහෙවින් විනාශකාරීය.

බ්‍රිතාන්‍යයේ කොන්සර්වටිව්- ලිබරල් ඩිමොක්‍රටික් සභාගය මෑතක දී සංඥා කර ඇත්තේ, සුභසාධන ප්‍රතිලාභ මත තවත් ප්‍රහාර එල්ල කිරීමට තමන් බලපොරොත්තු වන බව යි. මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින පවුම් බිලියන 18ක කප්පාදුව මත තවත් පවුම් බිලියන 10ක කප්පාදු ප්‍රකාශ කිරීමට චාන්ස්ලර් ජෝර්ජ් ඔස්බෝන් බලාපොරොත්තු වෙයි.

මෙම පියවර ගනු ලබන්නේ පුද්ගලයන් මිලියන 2.5ක් නිල වශයෙන් රැකියා නොමැතිව සිටින හා කම්කරුවන්ගේ බහුතරය වැටුප් කප්පාදු හා වැටුප් කැටි කිරීම්වලට යටත් කෙරී ඇති තත්වයන් තුල ය. ලමුන් මිලියන 3.6ක සංඛ්‍යාවක් දරිද්‍රතාවයේ පසුවන බව නිල වශයෙන් ගනන් ගැනේ. මෙම වසරේ අධ්‍යයනයක් හඳුනාගෙන ඇත්තේ ලමුන් කිසිදු ආහාරයක් නොගෙන පාසැල් යන බව ගුරුවරුන් පස්දෙනෙකුගෙන් හතරදෙනෙකු පවසන බවයි.

ඊට විපරීතව, මෙම වසරේ සන්ඩේ ටයිම්ස්හි, පොහොසතුන්ගේ ලැයිස්තුව හෙලිදරව් කරන්නේ පොහොසත් ම පුද්ගලයන් 1,000කගේ වත්කම් වාර්තාගත පවුම් බිලියන 414.3 දක්වා නැගී ඇති බව ය.

ජර්මනියේ කම්කරු අමත්‍යාංශය විසින් සකස් කරන සිව් වාර්ෂික සමෘද්ධිය හා දරිද්‍රතා වාර්තාව පෙන්වන්නේ, යුරෝපයේ ආර්ථික සාර්ථකත්වය පිලිබඳ එක ම කතාන්දරය යැයි සාමාන්‍යයෙන් පැවසෙන, රට තුල පොහොසතුන් හා දුප්පතුන් අතර පරතරය පුලුල් වෙමින් පවතින බව යි.

ජනගහනයෙන් පොහොසත් ම සියයට 10ට අයිති සම්පූර්න වත්කමේ පංගුව 1998දී සියයට 45 සිට 2008වන විට සියයට 53 දක්වා නැග්ගේ ය. සියලුම කුටුම්භවලින් අඩකට අයිති වන්නේ යන්තම් සියයට 1කි.

ආසන්න වශයෙන් ජනගහනයෙන් සියයට 16ක් දරිද්‍රතා "අනතුරට” මුහුනපා සිටින අතර "වැඩ පැය අනුව කරන ගෙවීම්, යමෙකු පූර්නකාලීනව රැකියාවක නිරත වුව ද ඔහුගේ පැවැත්මටවත් සෑහෙන්නේ නැත. මේ තත්වය දුගී බවේ අවදානම උග්‍රකරමින් හා සමාජ ඒකාබද්ධතාවය යටින් බිඳීයාමට තුඩුදී ඇත.”

වාර්තා දෙක කෙරෙහි සමහර මාධ්‍ය වෙතින් පලවූයේ සැක මුසු ප්‍රතිචාරයකි.

"බ්‍රිතාන්‍යයේ සිදුව ඇති මෙම ධ්‍රැවාන්තගතවීම මගහැර ගැනීමට අපට අවශ්‍ය වන්නේය.” යනුවෙන් බ්‍රිතාන්‍යයේ ඔබ්සර්වර් පත්‍රය කතුවැකියක් පලකලේ ය.

“මෙම ධ්‍රැවාන්තගතවීම හා බ්‍රිතාන්‍ය තුල මේ වන විටත් අමාරුවට පත්ව සිටින මධ්‍යම පන්ති‍යේ ගිලා බැසීම, තනි තනි පුරවැසියන්ට, රජයට, සමාජ ඒකාබද්ධතාවට හා මහා බ්‍රිතාන්‍යයේ අනාගත සෞඛ්‍ය සම්පන්න කමට, සමෘද්ධියට හා යහපැවත්මට හානි සිදුකර ඇත.” එය අනතුරු ඇඟවී ය.

ජර්මනියේ කම්කරු අමාත්‍යාංශ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ප්‍රෑන්ක්ෆර්ටර් රූන්ඩෂෝ "පතුලේ සිට ඉහලට” වත්කම් නැවත පෙලගැස්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් පොහොසතුන් හා දුප්පතුන් අතර පරතරය පුලුල් වෙමින් තිබෙන බව පෙන්වා දුන්නේය. ප්‍රතිකාර නොකලහොත් ඊලඟ වාර්තාව, වත්කම් පරතරය ඊඩත් වඩා විශාලව පෙන්වනු ඇති බවට අනතුරු අඟවමින් එය මෙසේ විමස යි: "පොහොසතුන් තව තවත් පොහොසත්වෙමින් තිබීම සමාජය කොතරම් දුරකට ඉවසා සිටියි ද? කිසිවෙකුත් පිලිතුර නොදනී.”

කෙසේ නමුත්, ඔවුන්ගේ මැසිවලි නැඟීම් හැරුනු කල එක දු පුවත්පතකටවත් විසඳුමක් ඇත්තේ නැත. මංමුලා සහගත ස්වරයකින් යුක්තව ප්‍රෑන්ක්ෆර්ටර් රූන්ඩෂෝ මෙසේ සඳහන් කලේ ය,"අපට විසඳුමක් නැති නිසා අප එය සොයා ගත යුතුව ඇත. අප උත්සාහකල යුතු ය. අත්හදාබැලීම් තුලින්”

ඔබ්සර්වර් පත්‍රය "නව සමාජ පොරොන්දුව...මත ජාතික විවාදයක්” යෝජනා කල නමුත් මෙයට අන්තර්ගත වන්නේ "වෘත්තීය පුහුනුව, ලමා ආරක්ෂනය හා සමකාලීන වැටුප්” වැනි අඳුරු හා අවම යෝජනා ය.

එවැනි ඉල්ලීම් තේරුමක් නැතිවාක් මෙන් ම බංකොලොත් ය. ඒවා යොමු කරන්නේ යුරෝපය හරහා සමාජ ප්‍රතිවිප්ලවයක් දියත් කිරීම සඳහා තෙමේම නිර්මානය කල ගෝලීය අර්බුදය ඩැහැගෙන සිටින එම පාලක ප්‍රභූවට ම ය.

මෑත වාර්තා පැහදිලි කරන පරිදි, ජර්මන් හා බ්‍රිතාන්‍ය ධනේශ්ව‍රය මෙම ගිනිබත් කිරීමේ ප්‍රතිපත්තිය මෙහෙය වනුයේ, දකුනු යුරෝපයේ කම්කරුවන්ට සේම දේශීය කම්කරුවන්ට ද එරෙහිව ය.

මෙය ප්‍රධාන සමාජ ඝට්ටනයක් හා සමාජ පිපිරීමක් සඳහා සංයෝගයක් යයි පවසන විට ඔබ්සර්වර් හා ප්‍රෑන්ක්ෆර්ටර් රූන්ඩෂෝ නිවරැදි ය. හැඟීම් දැකීමට හා පන්ති ආතතිය වඩාත් සතුටුදායක තත්වයකට ගෙන ඒමට නිශ්චිත වේදනා නාශක හඳුන්වාදීමට පාලක ප්‍රභූවෙන් කරන ඉල්ලීම් බීරි අලින්ට වීනා වයනවා වැනි ය.

පාලක පන්තිය හා එහි දේශපාලන නියෝජිතයන් සමාජ ප්‍රතිසංස්කරන පිලිබඳ මොන යම් හෝ අදහසක් ප්‍රතික්ෂේප කර ඇත. කොන්සර්වටිව්, ලිබරල් හෝ ඩිමොක්‍රටික් වේවා, ඒ සියල්ලෝ ම සිටින්නේ සුපිරි පොහොසතුන්ට වාරුවී පන්ති යුද්ධ ප්‍රතිපත්තියකට කැපවී ගෙනය. වෘත්තීය සමිති විසින් ආරක්ෂා කරන, පොලිස් ප්‍රචන්ඩත්වයෙන් හා රාජ්‍ය මර්දනයෙන් පිටුබලය ලබන, යුරෝපීය “සමාජ ආදර්ශය” දැන් සීමාවක් නොමති ව දිලිඳු බව වපුරන එකකි.

“සමාජයට” කොතරම් කලක් මෙම තත්වය "දරාගත” හැකි ද යන්න ප්‍රශ්නයක් නොවේ. එහෙත් ප්‍රශ්නය වන්නේ එය වෙනස් කිරීමට කම්කරු පන්තියට කල හැක්කේ හා ඔවුන් කල යුත්තේ කුමක් ද යන්න ය. යුරෝපය හරහා පැමිනෙමින් තිබෙන විනාශයට එක ම අවංක විසඳුම කම්කරු පන්තියේ ස්වාධීන පන්ති ක්‍රියාකාරිත්වය හා ක්‍රියාමාර්ගයයි..

මූල්‍ය කතිපයාධිකාරය විසින් ආර්ථික හා සමාජ ජීවිතය මත පවත්වාගෙන යන ග්‍රහනය බිඳිය හැක්කේ එක්සත් සමාජවාදී යුරෝපයක් සඳහා සටන තුල සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් ව ධනවාදය පෙරලා දැමීම හා කම්කරුවන්ගේ ආන්ඩු පිහිටුවීම සඳහා කම්කරු පන්තියේ දැනුවත්, විප්ලවවාදී අරගලයකින් පමනි.

ජුලි හයිලන්ඩ්

Share this article: