යුරෝ අර්බුදය සහ වයිමර් සමූහාන්ඩුවේ පාඩම්

The euro crisis and the lessons of the Weimar Republic

3 October 2012

1930 සහ 1932 අතර ජර්මානු වයිමර් සමුහාන්ඩුවේ අවසාන වසරවල දී, ප‍්‍රාග්ධන හා ලෝක ආර්ථික අර්බුදයට ප‍්‍රතිචාර වසයෙන් බ්රුනින් ආන්ඩුව විසින් කි‍්‍රයාවට දැමු කප්පාදු පිලිවෙත් මහජන විරැකියාවේ, නාසිවාදයේ සහ යුද්ධයේ විපත්තිකර අගාදයකට රට ඇද දැමීය. වසර ගනනාවක් මෙය සාක්ෂිමය කරුනක් ලෙස සලකනු ලැබූ අතර පාසල්වල උගන්වනු ලැබීය. කෙසේ වුව ද, වර්තමාන වර්ධනයන් පෙන්නුම් කරන්නේ පාලක පන්තියට ඉතිහාසයෙන් පාඩම් උගත නොහැකි බවය.

බ්රුනින් ආන්ඩුව විසින් කි‍්‍රයාවට දැමූ හදිසි පියවරයන් බෙහෙවින් ඉක්මවා යන කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමීමට ගී‍්‍රක සහ ස්පාඤ්ඤ ආන්ඩුව පසුගිය දිනවල දී එකඟ වූ හ.

වසර හයක් පූරා ගී‍්‍රසිය අවපාතයක් තුල සිටින්නේ වී නමුත්, යුරෝ බිලියන 11.5 තවත් කප්පාදු වටයකට ගී‍්‍රක ආන්ඩුව එකඟ වී සිටී. ආන්ඩුවේ ම ගනන් බැලීම්වලට අනුව 2008 වසර හා සැසඳීමේ දී මෙම වසරේ ආර්ථික නිෂ්පාදනය සියයට 25 න් පහත වැටෙනු ඇත. එය දැවැන්ත කඩා වැටීමකි. ජනයාගේ දුප්පත්ම ස්තරවලට බලපාන පරිදි වැඩිවශයෙන් ම කප්පාදු කිරීම් කරනු ලබන්නේ විශ‍්‍රාමික වැටුප්, සෞඛ්‍යය සහ සමාජ වියදම්වල ය.

පසුගිය සතියේ ස්පාඤ්ඤ ඇමතිමන්ඩලය අතිරේක යුරෝ බිලියන 40 න් 2013 අය-වැය කප්පාදු කලේ ය. රාජෝයි ආන්ඩුව විසින් පසුගිය වසරේ සම්මත කල කප්පාදු පැකේජයන් පහ දැන් යුරෝ බිලියන 127 ක් බවට පත්ව තිබේ. මෙය වාර්ෂික ජාතික අය-වැයෙන් හතරෙන් එකකට සමානය.

මෙම පියවරයන් මගින් ජනතාවගේ පුලුල් කොටස් ඉමහත් දරිද්‍රතාවයට අද දමනු ඇත. එහෙම වුනත්, යුරෝපා සංගමයට, අන්සියල්ලටමත් වඩා ජර්මනියට අනුව ඔවුන් (ස්පාඤ්ඤය හා ගී‍්‍රසිය) අවශ්‍ය තරම් දුර තවමත් ගොස් නැත. මෙම පියවරයන් මගින් විනාසකාරී සමාජ ප‍්‍රතිවිපාක ජනනය කරන නමුදු, ජර්මනියේ මග පෙන්වීම සහිතව, යුරෝපා සංගමය අතිරේක කප්පාදු කිරීම් සඳහා මෙම රටවල්වලට පීඩනය යොදමින් සිටී.

බෙහෙවින් නය ගැති දකුනු යුරෝපයේ රටවලට පමනක් සමාජ ප‍්‍රහාරයන් සීමා වී නැත. සමාජය මුදුනේ සිටින්නවුන් වෙතට දැවැන්ත ප‍්‍රමානයක් ධනය මාරු කිරීම උතුරේ පෝසත් රටවල් තුල ද සිදුවෙමින් තිබේ. ආර්ථික අර්බුදය පුපුරායාමෙන් වසර පහකට පසුව, සමාජයේ අනෙක් අර්ධයේ පිලිකාවක් ලෙස දුප්පත්කම පැතිරෙන අතර ජර්මනිය තුල පොහොසතුන්ගේ පුද්ගලික ධනය යුරෝ ටි‍්‍රලියන 1.4 දක්වා ඉහල නැග තිබේ.

පසුගිය සියවසේ අත්දැකීම්වල ආලෝකයෙන් බලන කල, එවැන්නක් දරුනු පිස්සුවක් ලෙස පෙනෙනු ඇත. එහෙම වුනත්, ඔවුන් විසින් තමන්ව, ගතානුගතික, ලිබරල්, හරිත, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ "වම” ආදී කවර ආකාරයෙන් හඳුන්වා ගත්තත් සංස්තාපිතයේ සියලුම පක්ෂ එයට සහයෝගය දෙති. ගෙහාර්ඩ් ෂ්රෝඩර් යටතේ ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, ටෝනි බ්ලෙයාර් යටතේ බි‍්‍රතාන්‍ය ලේබර් පක්ෂය, සහ ඉතා මෑත දී ජියෝජි පපන්ද්‍රියෝ යටතේ ගී‍්‍රසියේ පැසොක් සහ හොසේ සපතාරෝ යටතේ ස්පාඤ්ඤ පිඑස් ඕඊ වැනි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ සමාජ කොන්දේසි හා කම්කරු පන්තියේ සියලුම අතීත ජයග‍්‍රහනයන් විනාස කිරීමේ කප්පිත්තන් බවට පත්ව සිටිති. මෑත දී ප‍්‍රන්සුවා හොලන්දු ජනාධිපති වීමෙන් පසු සමාජවාදී පක්ෂය යටතේ ප‍්‍රන්සය තුල එයම සිදුවෙමින් තිබේ.

මෙය පමනක් ම වුව වර්තමාන වර්ධනයන්ට ගැඹුරු වෛෂයික මූලයන් පවතින බව පෙන්නුම් කරයි. "මේ දක්වා පැවති සියලු සමාජයන්හි ඉතිහාසය පන්ති අරගලවල ඉතිහාසය” යයි මාක්ස් ලියන විට ඔහු නිවැරදි ය. සමාජ උත්සුකයන් හැර පාලක පන්තියේ දේශපාලනය තීන්දු කරන වෙනත් හේතුන් හෝ උදාර පරමාදර්ශ නැත.

සමාජ සම්මුති පිලිවෙත කරා ආපසු යා නොහැකි ආකාරයට පසුගිය වසර තිහ තුල මූලික සමාජ-ආර්ථික වෙනස්කම් සිදු වී තිබේ. නිෂ්පාදනයේ ගෝලීයකරනය ජාතික දේශසීමාවන් හා පන්ති අතර සම්මුතිය වෙනුවෙන් වෘත්තීය සමිති ගිවිස ගනු ලැබූ රාමුව තුල පැවති ජාතික වෙලඳපොල අභිබවා ගොසිනි. හැම ජාතික ධනේශ්වර පාලක පන්තියක්ම "තමන්ගේම” කම්කරු පන්තියට පහර දීමට ධාවනය කරවමින්, ජාතික කර්මාන්තයන් අනුකම්පා විරහිත ගෝලීය තරගයකට ඇද දමා තිබේ.

1990 ගනන්වල වෙලඳපොල උත්පාතය කාල පරිච්චේදයේ මූල්‍ය අංශය යතා නිෂ්පාදන කි‍්‍රයාවලියෙන් විසාල ලෙස ඉවත් වූ අතර පරපුටුකම එතුල වඩ වඩා වර්ධනය විය. වසර තිහකට පෙර විස්වාස කල නොහැකි දෙයක් විය හැකිව තිබු දස මිලියනවලට නැගුනු වාර්ෂික වැටුප් හා ප‍්‍රසාද දීමනා දැන් බැංකුවල හා සංගතවල සම්මතයක් බවට පත්ව තිබේ. "යුරෝව ආරක්ෂා කිරීමේ” නමින් ඉස්මතු වී සිටින මූල්‍ය රදල පැලැන්තියක් පසුගිය වසර 65 තුල කම්කරු පන්තිය දිනාගෙන තිබෙන සියලුම සමාජ ජයග‍්‍රහනයන්ට අත දිග හැර පහර දෙති. දේශපාලන පක්ෂ සහ මාධ්‍ය එහි දෙපතුල ලඟ වැටී සිටිති.

මෙම මූල්‍ය රදල පැලැන්තියේ බලය බිඳ දැමීමකින් තොරව, නස්පැත්තියක් මග හැරිය නොහැකිය. කැඳවුම් කල යුත්තේ සමාජ විප්ලවයකට ය. ප‍්‍රධාන බැංකු හා සංගත පවරා ගෙන ප‍්‍රජාන්ත‍්‍රවාදී පාලනයට නතු කල යුතුය. සමපේක්ෂකයන්ගේ ලාබ රාජ සන්තක කොට සුවිසාල ධනස්කන්ධයන් මත දැවැන්ත බදු පැනවිය යුතු ය.

එවන් රැඩිකල් සමාජ වෙනස්කමක් කල හැක්කේ දේශපාලනයට මහජනතාවගේ ස්වාධීන මැදිහත්වීමක් හරහා කම්කරු පන්තිය බලමලු ගැන්වීම මගින් පමනි. මේ සඳහා කොන්දේසි වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. ඒවා හුදකලා කොට, ගෙල මිරිකීමට වෘත්තීය සමිති ඔවුන්ට හැකි හැම දෙයක් ම කලත් වර්ජන, විරෝධතා හා පෙලපාලි සංඛ්‍යාව පැහැදිලිව ම ඉහල යමින් තිබේ. මධ්‍යම පන්තියේ කොටස් අතර පවා බැංකු කෙරෙහි ගැඹුරු වෛරයක් පවතින බව ජනමත විචාරන වලින් සොයා ගෙන ඇත.

වෘත්තීය සමිති හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ වෙන කිසිවකටත් වඩා එවන් බලමුලු ගැන්වීමකට බිය ය. මෙම නිලධාරිමය සංවිධාන වැඩකරන ජනයාගේ උත්සුකයන්ට පවතින කවර හෝ සම්බන්ධයක් බොහෝ කාලයකට පෙර සිට ම සිඳගෙන තිබේ. ඔවුන්ගේ මෙහෙයුම් ධනවත් මධ්‍යම පන්තියේ සාමාජිකයන්ට අයත් වන අතර දහසක් හුයපටින් බැංකු, සංගත හා ආන්ඩුවලට බැඳී ඇත. සමාජයේ සමාජවාදී පරිවර්තනයක් ප‍්‍රතික්ෂේප කරන ඔව්හු පන්ති අරගල යටපත් කොට ධනවාදය ආරක්ෂා කිරීම ඔවුන්ගේ කර්තව්‍යය ලෙස දකිති.

ජර්මනියේ වාම පක්ෂය, ප‍්‍රන්සයේ වාම පෙරමුන හා ගී‍්‍රසියේ විකල්ප වමේ සන්ධානය (සිරිසා) වැනි පක්ෂවලට ද මෙය වලංගු ය. ධනවාදය ගැන සීමිත විවේචන හා ප‍්‍රතිසංස්කරන සඳහා එහි ශක්‍යතාවය ගැන මිත්‍යාවන් ශක්තිමත් කිරීම මගින් කම්කරු පන්තියේ හා තරුනයන්ගේ රැඩිකලීකරනය පාලනය කිරීමට ඔව්හු උත්සාහ කරති. එමෙන් ම කම්කරු පන්ති අරගල හුදකලා කිරීමේ දී හා පවාදීමේ දී ඔව්හු වෘත්තීය සමිති සමග සමීප සහයෝගයෙන් කටයුතු කරන්නාහ. සෙසු ධනේශ්වර පක්ෂවලින් පාලනය ලිස්සා යාමේදී ආන්ඩුවට ඇතුල්වීමට ද ඊට සමගාමීව ඔව්හු සුදානම් වෙති.

එවන් "වාමාංශික” ආන්ඩු කි‍්‍රයා කරනු ඇත්තේ සමාජ ප‍්‍රතිරෝධය රුදුරු ලෙස මර්දනය කරමින් ධනවාදයට මුක්කු ගැසීමට පමනි. එනම්, "වමේ” එවන් දක්ෂිනාංශික දේශපාලනය මගින් ජනනය කෙරෙන දේශපාලන අලාමුලාව, මැතිවරන ප‍්‍රතිපලවල දී දුටු ආකාරයට ප‍්‍රන්සයේ මැරීන ලූ පෙන්ගෙ ජාතික පෙරමුන, සහ හංගේරියාව තුල ෆිඩස් සහ යෝබික් මෙන් වඩා දක්ෂිනාංශික ප‍්‍රවනතාවලට වාසි ගෙන දෙයි.

ජාත්‍යන්තර සමාජවාදී කි‍්‍රයාමාර්ගයකට සටන් වදින කම්කරු පන්තියේ ස්වාධීන පක්ෂයක් ගොඩ නැගීම දවසේ වඩාත් හදිසි කර්තව්‍යයයි.

පීටර් ෂ්වාස්

Share this article: