ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද මරන සංඛ්‍යාව 2000 ඉක්මවයි

US troop deaths in Afghanistan top 2,000

2 October 2012

එක්සත් ජනපදයේ 11 වසරක් ගතවී ඇති ඇෆ්ගනිස්ථාන වාඩිලාගැනීමේ අර්බුදය සලකුනු කරමින් පසුගිය සති අන්තයේ ඊනියා "ඇතුලත” ප‍්‍රහාරයක ප‍්‍රතිපල වශයෙන් 2000 වන ඇමරිකානු සොල්දාදුවා මරනයට පත්විය. එහෙත් 2000 සීමාව ඉක්මනින්ම අභිබවා යමින් නැගෙනහිර නගරයක් වන කෝස්ට්හිදී සියදිවි නසාගැනීමේ බෝම්බ ප‍්‍රහාරයකින් තවත් හමුදා භටයින් තිදෙනෙක් ජීවිතක්ෂට පත් විය. එහිදී ඇෆ්ගන් පොලිස් භටයින් හය දෙනෙක් හා භාෂා පරිවර්තකයෙක් ද ඇතුලූව අඩුම තරමින් 14 දෙනෙක් මිය ගියේය.

එහෙත් අශුභ සැතපුම් කනුව, ඇමරිකාවේ දීර්ඝතම යුද්ධය බවට පත්ව තිබෙන මෙහි සැබෑ හානිය පිලිබඳ අවතක්සේරුවකි. එයට ගනන් ගැනෙන්නේ ඇෆ්ගන් භූමියේදී මියගිය ඇමරිකානු සෙබලුන් සංඛ්‍යාව පමනි. අඩුම වශයෙන් තවත් 100ක් තුවාල ලබා රටෙන් පිටව යාමෙන් පසුව මියගොස් ඇත.

මෙයට අතපය අහිමිවූ අය ද හිසට බරපතල තුවාල සිදුවූවන් ද මානසික හා චෛතසික බිඳවැටීම් වලට ලක්වී යටත් විජිත වර්ගයේ යුද්ධයෙන් ඉවත්වූ බොහොමයක් ද ඇතුලත්ය. ඇෆ්ගන් යුද්ධයෙන් තුවාල ලැබූවන් 17,000ක් දෙනා මීට අමතරවය.

ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද මරන වලින් තුනෙන් දෙකකටත් වඩා සිදුව ඇත්තේ 2009 බරක් ඔබාමා බලයට පත්වීමෙන් පසුවය. පැතිර පැවති යුද විරෝධී මනෝගතිය ද බුෂ් පාලනයේ මිලිටරිවාදී ප‍්‍රතිපත්ති කෙරෙහි පැවති විරෝධය ද ගසාකමින් ඔහු මැතිවරනය ජයග‍්‍රහනය කලේය.

එම මැතිවරනය පෙන්නුම් කලේ ජනගහනයෙන් අතිමහත් බහුතරය වන වැඩකරන ජනතාවට යුද්ධය කෙරෙහි සිය විරෝධය පලකිරීමට කිසිදු මාධ්‍යයක් එක්සත් ජනපද මැතිවරන ක‍්‍රමය තුලින් ඉදිරිපත් නොවන බවයි. ඔවුන්ගේ ඡන්දය කුමක් වුවත්, අපේක්ෂකයින්ගේ හිස් පොරොන්දු කවරක් වුවත් මිලිටරිවාදය සිය ගෝලීය ග‍්‍රහනය පැතිරවීම පිනිස යොදාගැනීමට අධිෂ්ඨාන සහගතව සිටින මූල්‍ය වංශාධිපතිත්වයේ අවශ්‍යතා මත පදනම්වූ තෝරා නොගත්, වගකීමට බැඳී නොසිටින බුද්ධි ජාලය මගින් ගන්නා තීරන ක‍්‍රියාවට නැගේ.

වත්මන් මැතිවරනය ඊට කිසිසේත් වෙනස් වන්නේ නැත. ඔබාමා මෙන්ම රොම්නි ද ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපද මෙහෙයුම් ඉදිරියට ගෙනයාමටත් ඉරානයට එරෙහි යුද්ධයට මග හෙලිකරන යුදවාදී ප‍්‍රතිපත්තියටත් කැපවී සිටියි.

ඔබාමා යුද්ධයට පිටත්කර හැරි ඊනියා රලපහර බලකායන්ගේ 20,000ක අවසන් හමුදාව පසුගිය මාසයේ ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කර ගැනීම පිලිබඳව සුඳුදා දිනයේදී රිපබ්ලිකන් උප ජනාධිපති අපේක්ෂක පෝල් රයන්, ඔබාමා පාලනයට පහර දුන්නේය. ඔබාමා ධවල මන්දිරයේ වැඩ භාරගන්නා විට එහි සිටි සංඛ්‍යාව මෙන් දෙගුනයක් එනම්, 68,000ක ඇමරිකානු සෙබලුන් හා මැරීන් භටයින් තවමත් එරට වාඩිලාගෙන සිටියි. ඊට අමතරව 40,000ක නේටෝ හා අනෙකුත් විදේශ හමුදාවන් ද එහි රැඳී සිටියි.

සියලු එක්සත් ජනපද "ප‍්‍රහාරක භටයින්” 2014 දෙසැම්බර් වන විට ආපසු ගැනීමේ ඔබාමාගේ තීරනයට රිපබ්ලිකානුවන් සහාය දෙයි. එහෙත් මෙම කලාත්මක යෙදුම එම දිනයෙන් පසුව ද දස දහස් ගනනක් හමුදාව එහි රැඳී සිටින්නේය යන කාරනය වසං කිරීම පිනිස යොදා ගනියි. ඔවුන් ඔබාමා විවේචනය කරන්නේ අවසන් දින වකවානු ප‍්‍රසිද්ධියට පත්කිරීම ගැනය. 22,000ක හමුදාවක් මැතිවරනයෙන් පසුවත් එහි රඳවා තැබීම හෝ 2014 අවසන් දිනය දක්වා එහි රැඳවීම රහසක් වශයෙන් තබාගතහොත් එයින් ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මුහුනපා සිටින අභාග්‍යය වෙනස්වනවා සේය.

ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපද හමුදාවේ 2000 වන මරනය සිදුවීමත් සමග පැහැදිලි වන්නේ මෙම වගුරේ ගැඹුරයි. සොල්දාදුවා මරනයට පත්වූයේ කාබුල් නගරයට බටහිරින් වාඩැක් ප‍්‍රාන්තයේ මුර කපොල්ලකදී ඇමරිකානු හමුදා හා ඇෆ්ගන් ජාතික හමුදාව අතර සිදුවූ ගැටුමකදීය. එහිදී අෆ්ගන් භටයින් තිදෙනෙක් ද ඇෆ්ගන් ආරක්ෂක හමුදා පුහුනුකරන්නෙකු ලෙස කටයුතු කල ඇමරිකානු සිවිල් කොන්ත‍්‍රාත්කරුවෙකු ද මරුමුවට පත්විය.

වසරේ මේ දක්වා එක්සත් ජනපද-නේටෝ හමුදාවන්ගේ ඇෆ්ගන් මිතුරන් අතින් මැරුම්කෑ හමුදා භට සංඛ්‍යාව අඩුම වශයෙන් 53කි. දැන් එක්සත් ජනපදය ප්‍රමුඛ ආක‍්‍රමනික හමුදාවේ විපත් වලින් සියයට 20ක් සිදුවන්නේ නිල් පැහැයට කොල පැහැයෙන් එල්ල වන මෙම ප‍්‍රහාර මගිනි.

ඇෆ්ගන් හමුදාව සමග හවුලේ කටයුතු කරන කඳවුරු තුලදී සෑම විටම එක්සත් ජනපද හමුදා සියලූ අවි සූදානමේ තබාගත යුතු බවට ද අනෙකුත් ඇමරිකානු හමුදා ඔවුන්ගේ මිතුරන් ලෙස හඳුන්වන ඇෆ්ගන් භටයින්ගෙන් ආරක්ෂාකර ගැනීමට ඒන්ජල් (දේවදූත) කන්ඩායම් යෙදවීමට ද එක්සත් ජනපද හමුදා අඥාපතීන් පියවර ගෙන තිබේ. ඇෆ්ගන් ප‍්‍රති බුද්ධි අංශ ඒජන්තයින් ත‍්‍රස්තවාදී ආධාරකරුවන් සොයා ඔවුන් මුලිනුපුටා දැමීම පිනිස එම හමුදා අතරට යවා තිබේ.

අලුත්ම ඝාතනයන් සිදුව ඇත්තේ, එවන් ප‍්‍රහාර මාලාවකට පසුව පනවන ලද ඇෆ්ගන් හමුදා සමග ඒකාබද්ධව මෙහෙයුම් අත්හිටුවීම, පෙන්ටගනය විසින් අවසන් කිරීමත්, එක්සත් ජනපදයේ නිෂ්පාදනය කල දැඩි මුස්ලිම් විරෝධී චිත‍්‍රපටයකට විරුද්ධව ගෝලීයව පුපුරාගිය කෝපයත් සමග ය.

දශකයකට අධික කාලයක් තිස්සේ පවතින වාඩිලාගැනීම හමුවේ එක්සත් ජනපද හා අවශේෂ විදේශ හමුදා කෙරහි ගැඹුරෙන්ම මුල්බැස තිබෙන වෛරය ප‍්‍රකාශ කෙරෙන මෙම ප‍්‍රහාර නතරවන බවක් පෙනෙන්නට නැත. රූකඩ හමුදා විසින් තමන් පුහුනු කිරීමට පත්කර තිබෙන ඇමරිකානු භටයින් එක දිගටම මරා දැමීම, නූතන යුද ශිල්පයේ පෙර නොවූ විරූ දෙයකි. කොරියාවේදී හෝ වියට්නාමයේදී එම දේ සිදුවී නැත. දිරිසුන් කරන එහි බලපෑම එක්සත් ජනපද හා ඇෆ්ගන් රූකඩ හමුදා අතර සතුරුකම් හා අවිශ්වාසය තව තවත් පැතිරයාමට තුඩුදී ඇත.

සැප්තැම්බර් 30දා රාත‍්‍රියේ "මිනිත්තු 60” යන සීබීඑස් ප‍්‍රවෘති වැඩසටහන සමග පැවති හමුවකදී ඇෆ්ගනිස්ථානයේ ඉහලම හමුදා නිලධාරියා වන මැරීන් ජෙනරාල් ජෝන් ඇලන් මෙම, ඊනියා "ඇතුලත” ඝාතන ඇෆ්ගනිස්ථාන යුද්ධයට "සුවිශේෂී වූ ප‍්‍රහාර” ලෙස හැඳින්වීය. ඉක්මනින්ම ඇෆ්ගනිස්ථාන ආඥාපතිකමෙන් ඉවත් කිරීමට නියමිත ජෙනරාල් ඇලන් ගැඹුරු අපේක්ෂා භංගයක් පලකරමින් මෙසේ පැවසීය. "ඔබ සමග අවංකව කිව යුත්තේ ඔවුන් පිලිබඳව මට පිස්සු හැදී තිබෙන බවයි. මෙය එක්සත් ජනපදය පුරා ප‍්‍රතිරාවය දනවයි. මෙම ක‍්‍රියාන්විතය වෙනුවෙන් බොහෝ දේ කැපකිරීමට අපි කැමැත්තමු. එහෙත් ඒ වෙනුවෙන් අප ඝාතනය කරනවාට අපි කිසිසේත්ම සතුටු නොවන්නෙමු.”

එන්ට එන්ටම මංමුලා සහගත වන තත්වය පිලිබඳව ශුභවාදී නැම්මක් ගෙනදීමේ උත්සාහයක යෙදෙමින් නේටෝ මහ ලේකම් ඇන්ඩර්ස් ෆොග් රස්මුසෙන්, ඇතුලතින් එල්ල වන ප‍්‍රහාර, සිය ඇෆ්ගනිස්ථාන හවුල්කරුවන් හා විදේශ වාඩිලාගැනීමේ හමුදා අතර "විශ්වාසය හා ආත්ම විශ්වාසය බිඳදමා ඇති” බව පිලිගත්තේය. එහෙත් ලබන වසරේ පටන් 2014 නව දූත මෙහෙවර දක්වා "මූට්ටු නැති” සංක‍්‍රමනයක් දැකගනු ඇති බවට ඔහු අනාවැකි පලකලේය.

කෙසේ වුව ද ජර්මානු බීඑන්ඩී බුද්ධි සේවය වඩා තාත්වික තක්සේරුවක් ඉදිරිපත් කර තිබේ. "2014 දක්වා ඇෆ්ගනිස්ථානය පිලිබඳ පෙරදැකීමක්” යනුවෙන් සඳහන් ඩර් ස්පීගල් සඟරාව වෙත කාන්දු කල ප‍්‍රමිතිගත ලේඛනයක ඔත්තු අංශය, ඇෆ්ගන් ආරක්ෂක හමුදා සාමාජිකයින් එක්සත් ජනපද හා අනෙකුත් විදේශීය හමුදාවන්ට එල්ල කරන ප‍්‍රහාර අද සිට 2014 දෙසැම්බර් දක්වා කාලය තුල වඩාත් නරක අතට හැරෙනු ඇති බවට අනතුරු අඟවයි.

එවන් ප‍්‍රහාර දිගටම සිදුවනු ඇති බවට අනතුරු අඟවන අතර එය, හමුදා ඉවත් කිරීමේ නිල දිනයෙන් පසුව තවත් වැඩිවනු ඇති බව කියා සිටියි. එදිනෙන් පසුව ද ඇෆ්ගනිස්ථානය තුල 35,000ක් විදේශ මිලිටරි භටයින් රැඳී සිටිනු ඇති බවට එය විශ්වාසය පල කරයි. ඔවුන් අතර ඇෆ්ගන් හමුදාව පුහුනුකරන්නන්, ත‍්‍රස්තවාදීන් ලුහුබැඳීමේ යෙදෙන විශේෂ කාර්ය බලකායන් හා විදේශ හමුදාවන්ගේ ආරක්ෂාවට යොදවන හමුදා භටයින් වනු ඇත.

වෙනත් වචන වලින් කිවහොත්, එක්සත් ජනපදයේ හා නේටෝ රටවල ජනතාවගේ පිටුපසින්, නිමක් නැති මිලිටරි වාඩිලෑම හා අසික්ෂිත යුද්ධය දිගටම සිදුවනු ඇත. ඒ වොෂින්ටනය හා ඊස්රායලය ඉරානයට එරෙහිව ඊටත් වඩා ලේවැකි යුද්ධයක් සඳහා කෙරෙන සූදානම ඉහල නගමින් තිබිය දී ම ය.

ඇමරිකානු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් මේ යුද්ධ දෙකටම විරුද්ධය. එහෙත් ධනේශ්වර පක්ෂ දෙක විසින් අධිකාරය දරන පවත්නා දේශපාලන ක‍්‍රමය තුල ඔවුන්ගේ අභිමතය ක‍්‍රියාත්මක කලහැකි මාධ්‍යයන් ඇත්තේ නැත.

වඩාත් පුලුල් යුද්ධයක තර්ජනයට එරෙහිව සටන්කල හැක්කේ, මිලිටරිවාදයේ මූලාශ‍්‍රය වන ලාභ සූරාකෑමේ ධනපති ක‍්‍රමයට එරෙහි අරගලයක් තුලින් එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ද කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත්වීමක් හරහා පමනකි.

ඇෆ්ගනිස්ථානයෙන් සියලු විදේශ හමුදා වහාම හා කොන්දේසි විරහිතව ඉවත් කල යුතු යයි ද ඉරානයට එරෙහි එක්සත් ජනපදයේ ප‍්‍රචන්ඩත්වය නතරකල යුතු යයි ද වොෂින්ටනයේ මිලිටරි යාන්ත‍්‍රනය විසුරුවා හල යතු යයි ද කියා සිටිය යුතුය. මේ මගින් එක්සත් ජනපද මිලිටරි ප‍්‍රචන්ඩත්වයට ගොදුරු වූවන්ට වන්දි ගෙවීමට හා රැකියා නිර්මානය කර එක්සත් ජනපදයේ ද ලෝකය පුරා ද වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් නගාසිටුවීමට අවශ්‍ය ඩොලර් බිලියන සිය දහස් ගනනක් මුදාහල හැකිය.

බිල්වෑන් ඕකන්

Share this article: