ෆොක්ස්කොන් වර්ජන හා ගෝලීය පන්ති අරගලය

Foxconn strikes and the global class struggle

10 October 2012

ලෝකයේ විශාලතම විදුලි උපකරන නිෂ්පාදකයා වන ෆොක්ස්කොන් විසින් පවත්වාගෙන යනු ලබන දැවැන්ත ශ‍්‍රම වහල් කඳවුරු තුල මර්දනකාරී කොන්දේසිවලට එරෙහිව චීන කම්කරුවන් දහස් ගනනකගේ විරෝධතා හා වර්ජන ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා වැදගත් ප‍්‍රශ්න මතුකර තිබේ.

මෑත දසකවල දී බටහිර මූල්‍ය පරපුටුවාදයේ යෝධ වර්ධනය යුක්ති යුක්ත කිරීමට "තොරතුරු ආර්ථිකයේ” නැගීමත් සමග වටිනාකම් නිෂ්පාදනය කිරීම තව දුරටත් යථා නිෂ්පාදන ක‍්‍රියාවලිය මත රඳා නො පවතින බව ධනේශ්වර ආර්ථික විද්‍යාඥයෝ යලි යලිත් ප‍්‍රකාශ කොට ඇත්තා හ. එහි ප‍්‍රතිපලයක් ලෙස මාක්ස්වාදයේ මූලිකාංග, විශේෂයෙන් ම, නුතන නිෂ්පාදන බලවේගවල ධාරකයා ලෙස කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය භා ඉහල ම ආර්ථික සංවිධාන රූපය එනම්, සමාජවාදය "යල්පැන” ඇති බව ඔව්හු කියති. කොටස් වෙලඳපොල වටිනාකම්වලින් (ඇමරිකානු ඩොලර් බිලියන 600) ලෝකයේ අද විශාලතම සමාගම වන ඇපල්, කිසිදු නිෂ්පාදන පහසුකම්වලින් තොරව දැවැන්ත ලාබ උපයන බව පෙන්නුම් කිරීම එය "ඔප්පුවීමේ” සාධකයක් ලෙස ඉදිරිපත් කරනු ලබයි.

තවත් බොහෝ අයිතමයන් අතර, ඇපල් අයිෆෝන්5 නිෂ්පාදනය කරන ෆොක්ස්කොන් හි කම්කරු නො සන්සුන්තාව මෙම මිත්‍යාව බලගතු ලෙස එලිදරව් කර තිබේ. ඇපල් වැනි සමාගම්වලට දැවැන්ත ලාබ ඉපයීමට හැකිවී ඇත්තේ කම්කරු පන්තියෙන් අතිරික්ත වටිනාකම් මිරිකා ගැනීම සඳහා පවත්වාගෙන යන දැවන්ත ගෝලීය ආහාර දාමයක මුදුනත අරක්ගෙන සිටීම මගින් ම පමනි. එහි පතුලෙහි සිටින්නේ චීනය තුල පමනක් මිලියන 1.1 ක් සේවයේ යොදවා ඇති ෆොක්ස්කොන් වැනි නිර්දය ලාබ ශ‍්‍රම නිෂ්පාදකයෝ ය. කම්කරුවන් 200,000 ක් පමන සිටින සෙන්ෂූවල පිහිටුවා ඇති යෝධ කම්හල් වැනි කර්මාන්ත ශාලා නවතම විදුලි භාන්ඩ නිෂ්පාදනය කරති. ෆොක්ස්කොන්වල පැවත්ම ම අතිරික්ත වටිනාකම හා ඒ අනුව ලාබය කම්කරු පන්තියේ ශ‍්‍රමයෙන් උපද්දවා ගැනීම පිලිබඳ මාක්ස්වාදී න්‍යායේ වලංගුභාවය මැනවින් තහවුරු කරයි. ෆොක්ස්කොන් හි කම්කරුවන්ගේ අරගල මතුවීම, ජාත්‍යන්තරව වර්ධනය වන ව්‍යාපාරයක කොටසක් ලෙස චීනය තුල කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලවල ඉස්මතුවීම පෙර ඇඟවුම් කරයි.

සෙන්ෂූවල ෆොක්ස්කොන් සංකීර්නයේ සිකුරාදා ඇතිවූ නවතම වර්ජනය ගැඹුරු වන ගෝලීය ආර්ථික බිඳවැටීමේ නිෂ්පාදනයක් විය. ඇපල් සම්බන්ධයෙන් ගත් කල, එහි අනාගතය රඳා පවතින්නේ අයිෆෝන්5හි සාර්ථක දියත් කිරීමක් මත ය. නිෂ්පාදනය හා තත්වය වැඩිදියුනු කිරීමේ එහි නිශ්චිත ඉල්ලීම් දිගු වැඩ පැය, දැඩි විනය හා වැඩ වේගවත් කිරීමේ නිරන්තර පීඩනයේ රූපාකාරයෙන් ෆොක්ස්කොන් කම්කරුවන් මතට කඩා පාත් කර තිබේ. තර්ක-විතර්ක, තර්ජන සහ නිෂ්පාදන තන්ත‍්‍රය අධීක්ෂනය කරන තත්ත්ව පරීක්ෂකයන්ට එරෙහි කායික ප‍්‍රචන්ඩත්වයන් ප‍්‍රකුපිත කල නව තත්ත්ව පාලක පරිපාටීන් පසුගිය සතියේ කි‍්‍රයාවට දැමීමෙන් පසු නො සන්සුන්තාවයන් තවදුරටත් තීව්‍ර විය.

ෆොක්ස්කොන්හි නො ඉවසිය හැකි කොන්දේසි මෑත දී වර්ජනවල යෙදුන දකුනු අපි‍්‍රකාවේ පතල් කම්කරුවන්ගේ හා බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරුවන්ගේ කොන්දේසිවලට සමාන ය. මෙම අරගල පසුගිය වසරේ ටියුනීසියාව සහ ඊජිප්තුව තුල පැන නැගී මහජන නැගිටීම්වලින් ආරම්භ වී ජාත්‍යන්තරව යලි මතුවෙමින් තිබෙන පන්ති අරගලවල කොටසකි. යුරෝපය තුල දැන් සිදුවෙමින් පවතින මහජන විරෝධතා හා වර්ජන හා චිකාගෝ ගුරුවරුන්ගේ අරගලය වැනි ප‍්‍රධාන කම්කරු පන්තික අරගල ඇමරිකාව තුල පැන නැගීමට ද ඇත්තේ එකම මූලයකි. එනම් ගැඹුරුවන ගෝලීය අර්බුදයේ බර කම්කරු පන්තිය මතට පැටවීමට මූල්‍ය ප‍්‍රභූව විසින් දරනු ලබන ප‍්‍රයත්නයයි.

විශාලතම චීන භාන්ඩ පාරිභෝගිකයන් වන යුරෝපයේ, එක්සත් ජනපදයේ හා ජපානයේ කම්කරු පන්තිය මත කි‍්‍රයාවට දමා ඇති කප්පාදු පිලිවෙත් තුනී ලාබ තීරුවක් මත කි‍්‍රයාත්මක වන ෆොක්ස්කොන් වැනි අපනයන කරුවන්ට චීනය තුල දැවැන්ත ආර්ථික දුෂ්කරතා ඇති කිරීමට තුඩු දී ඇති හෙයින් ස්වකීය ශ‍්‍රම බලකාය සුරාකෑම තීව්ර කරයි. කිඳා බසින වෙලඳපොලවල් සඳහා කෙරෙන රුදුරු තරගය තුල, චීනයේ වැටුප් බෙහෙවින් ඉහල යයි අන්තර්ජාතික සංගතයෝ දැන් කල්පනා කරති. ලාබ ශ‍්‍රමය සොයාගෙන වෙරල තීරුවල සිට චීනය මැදට ගමන්කල ෆොක්ස්කොන් සාමාන්‍ය වැටුප චීනයේ වැටුපෙන් තුනෙන් එකක් වන ඉන්දුනීසියාව වැනි නැගෙනහිර ආසියාවේ රටවලට නිෂ්පාදනය මාරු කරමින් සිටී. අනෙක් අතට මෙම කොන්දේසි චීනය තුල පමනක් නොව බටහිරත් ඇතුලුව ලෝකය පුරාම කම්කරුවන්ගේ වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධ නව ප‍්‍රමිතියක් තහවුරු කරයි.

සුරාකෑම තීව‍්‍ර කිරීමේ පද්ධතිය කෙලවර කිරීමේ එකම ක‍්‍රමය වන්නේ ස්වභාවයෙන්ම ගෝලීය වන නිෂ්පාදන මාධ්‍යයන් කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ තබන සමාජවාදය සඳහා අරගලය තුල කම්කරු පන්තිය ජාත්‍යන්තරව එකමුතු කිරීම පමනි. චීනය තුල ශ‍්‍රම වහල් කඳවුරු පෙරලා දැමීම ධනවාදී සුරාකෑමේ ගෝලීය පද්ධතියේ මුදුනත සිටින වෝල් වීදියේ මූල්‍ය කතිපයාධිපත්‍යයේ ආධිපත්‍යය අවසන් කිරීමට ඇමරිකානු කම්කරු පන්තිය කරන අරගල සමග අනිවාර්්‍යයෙන් ම බැඳී තිබේ.

ෆොක්ස්කොන් සහ ඇපල් වැනි සංගත යෝධයන්ට කි‍්‍රයාශීලිව සෙනෙහස දක්වන හා කම්කරුවන් මුහුන දෙන නො ඉවසිය හැකි කොන්දේසිවලට ඔවුන් දක්වන කවර හෝ ප‍්‍රතිරෝධයක් නිර්දයව මර්දනය කරන චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) නිලධරය පෙරලා දැමීමට කරන දේශපාලන අරගලයකින් තොරව චීන කම්කරු පන්තියට ස්වකීය අයිතීන් ආරක්ෂා කරගත නොහැකිය. ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ වැදගත් කොටස්කරුවෙකු බවට සීසීපීයේ පරිනාමය චීනය තුල ධනවාදී පුනස්ථාපනය පිලිබඳව ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් කල අනතුරු ඇඟවීම බලගතු ලෙස සනාත වීමකි.

යන්තම් දසක තුනකට ඉහත දී ලෝක ධනවාදී පද්ධතිය තුලට චීනය විවෘතව යලි ඒකාබද්ධ කිරීම මගින් "තනිරටේ සමාජවාදය” පිලිබඳ ප‍්‍රතිගාමී න්‍යාය විසින් නිෂ්පාදිත ආර්ථික අර්බුදය විසඳීමට ඩෙන් ශියා ඕපින් බලාපොරොත්තු විය. එම ව්‍යාපෘතිය විසිවන සියවසේ මුල් දසකවල අධිරාජ්‍යවාදී සුරාකෑම පෙරලා දැමීම සඳහා නුතන ඉතිහාසයේ සමහර ප‍්‍රචන්ඩතම අරගලවලට දසලක්ෂ සංඛ්‍යාත චීන කම්කරුවන්ගේ සීයලා වරක් තල්ලු කරනු ලැබූ පුපුරනසුලු ආර්ථික හා සමාජ පරස්පර විරෝධයන් ප‍්‍රති-නිෂ්පාදනය කර තිබේ. චීන කම්කරුවන් අරගලවලට එලඹෙද්දී ආන්ඩුවේ වෘත්තීය සමිති - සමස්ත චීන වෘත්තීය සමිති සම්මේලනය (ඒසීඑෆ්ටීයූ)- පාලනාධිකාරියේ හා ආන්ඩුවේ උවමනාවන් ආරක්ෂා කරන බව ඔව්හු හොදින් දනිති. නමුත් හාම්පුතුන් සමග සාමූහික කේවල් කිරීම සඳහා හෝ සහන වෙනුවෙන් සීසීපීයට පීඩනය යෙදීම සඳහා "ස්වාධීන වෘත්තීය සමිති” ගොඩ නැගීමෙන් හෝ පවතින ඒසීඑෆ්ටීයූව ප‍්‍රතිසංස්කරනය කිරීමෙන් ස්වකීය අයිතීන් රැකගත හැකියයි විස්වාස කිරීමට කම්කරු පන්තිය මුලාකොට පෙලඹවීම සඳහා සමහර කම්කරු කි‍්‍රයාකාරීහු පෙරට පැමින සිටිති.

වෘත්තීය සමිති කම්කරු පන්තිය සඳහා වලංගු විකල්පයක් බව සනාත වුයේ යයි දකුනු අපි‍්‍රකානු වෘත්තීය සමිති සම්මේලනය සහ ජාතික පතල් කම්කරු සමිතිය දසක ගනනාවක් ඔජ වැඩ වූ දකුනු අපි‍්‍රකාව තුල දී මෙම අන්තරායකාරී වෘත්තීය සමිති ඉදිරිදර්ශනය මැනවින් එලිදරව් වුයේ ය. අගෝස්තු මාසයේ දී වර්ජනයේ යෙදුන ප්ලැටිග්නම් පතල් කම්කරුවන් 34 දෙනෙකු ඝාතනය කිරීමේ දී අපි‍්‍රකානු ජාතික කොන්ග‍්‍රස් ආන්ඩුව සහ යෝධ පතල් සංගතයන් සමග සහයෝගයෙන් කටයුතු කලේ මෙම වෘත්තීය සමිති ම ය. ඒඑන්සීය සහ මෙම සංවිධාන දකුනු අපි‍්‍රකානු කම්කරුවන්ගේ පීඩකයන් බවට පත්වී සිටින අතර ලෝකයේ වඩාත් ම අසමාන සමාජවලින් එකක් පාලනය කරති.

ෆොක්ස්කොන් සහ චීනයේ සෙසු ශ‍්‍රම වහල් කඳවුරුවල කම්කරුවන්ට ඔවුන්ගේ පන්ති උවමනාවන් රැකගත හැක්කේ සීසීපී තන්ත‍්‍රයට එරෙහි දේශපාලන අරගලයක් හා සංවර්ධිත ධනවාදී රටවල හා ලෝකය පුරා කම්කරු පන්තිය වෙතට හැරීම මගින් පමනි. අන් සියල්ලටමත් වඩා අවශ්‍යවන්නේ ගෝලීය ඉදිරිදර්ශනයක් හා විසිවන සියවසේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ මූලෝපාය මත, විශේෂයෙන් ම ස්ටැලින්වාදයට එරෙහිව හතරවන ජාත්‍යන්තරයේ දිගුකාලීන අරගලයේ පාඩම් මත පදනම් වූ විප්ලවාදී පක්ෂයක් ගොඩ නැගීමය. එනම්, චීනය තුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ගොඩ නැගීමයි.

ජෝන් චාන්

Share this article: