ඔබාමා හා විවාදය

Obama and the debate

5 October 2012

ජනාධිපති ඔබාමා හා ඔහුගේ රිපබ්ලිකානු ප්‍රතිවාදියා වන මිට් රොම්නි අතර 03දා පැවති විවාදයේ සිට ගතවූ පැය 24 තුල, සිය ප්‍රතිවාදියාට එරෙහිව තම වාර්තාව මනාව ආරක්ෂාකර ගැනීම තබා ඔහුට එරෙහිව දුර දිග යන ප්‍රහාරයක් එල්ල කිරීමටවත් ඔබාමා දැක්වූ අසමත්කම පිලිබඳ මත ප්‍රකාශයන්ගෙන් ඇමරිකානු මාධ්‍යය පිරී ගියේය..

වෝල් ස්ට්‍රීට් ජර්නල් හා ෆොක්ස් නිව්ස් වැනි රිපබ්ලිකානු දක්ෂිනාංශයේ හොරනෑ, සතියකට පෙර අවාසනාවන්ත පරාජිතයෙකු ව සිට, සුපිරි පොහොසතුන් සඳහා වඩාත් විශාල බදු සහන සඳහා මුදල් සැපයීමට සමාජ ආරක්ෂන ජාලයේ තටු සිඳීමේ සිය ප්‍රසාදයට පාත්‍රවූ ප්‍රතිපත්තිය සඳහා විශ්වසනීය නියම භාරකාරයා රොම්නි යයි විවාදය මගින් ඔහුගේ අපේක්ෂකත්වය සනාථ කිරීම පිලිබඳව ප්‍රශංසා කලහ.

එවැනි තර්ක කිසි දෙයක් විස්තර නොකර යි. රොම්නි තවමත් එලෙසම ප්‍රතිගාමීය. විවාදයට පෙර දිනයේ මෙන් ම පසු දිනයේ ද ඔහුගේ ප්‍රතිපත්ති අපකීර්තිමත් ය. තව ද, පොහොසතුන්ගේ බදු අඩු කිරීමේ ඔහුගේ සැලැසුම් ගැන දෙසන නිර්ලජ්ජිත මුසාවන්ගේ පටන් "පහලට විහිදෙන ආන්ඩුවක් ” පිලිබඳව ඔහුගේ තේරුම් ගත නොහැකි ප්‍රකාශ දක්වාවූ කාරනා පැහැදිලි කිරීමට 03දා රාත්‍රියේ ඔහු දැරූ උත්සාහය ඔබාමාට වඩා ව්‍යක්ත හෝ දක්ෂ වූයේ ද නැත.

ඔබාමාගේ ඇල්මැරුනු ඉදිරිපත්කිරීම් ගැන සිය කලකිරීම ප්‍රකාශ කරමින් ලිබරල් පන්ඩිතයෝ බෙහෙවින් කෝපාවිෂ්ඨ වූහ. ඒ පසුබෑම පිලිබඳ ඔවුන්ගේ විස්තර ද කිසි දෙයක් පැහදිලි කලේ නැත: බේන් කැපිටල් හි වත්කම් කොල්ලකන, සංගත ආක්‍රමනිකයා ලෙස සිය ප්‍රතිවාදියාගේ වාර්තාව හෝ බලාපොරොත්තු සහගතව "ආන්ඩුව මත යැපෙන” හා සෞඛ්‍ය ආරක්ෂනය, ආහාර හා නිවාසවලට "තමන් හිමිකරුවන් යයි විශ්වාස කරන” ඇමරිකානුවන් "සියයට 47 ” ගැන පොහොසත් දායක ශ්‍රාවකයන් ඉදිරියේ රොම්නි දැක්වූ නින්දා සහගත අදහස් හෝ ප්‍රයෝජනයට නොගැනීමට තීරනය කිරීම මගින් ඔබාමා දුර්වල උපක්‍රමික තෝරා ගැනීමක් කර තිබුනි.

යම්තාක් දුරකට ඔබාමාගේ යටත්වීම සමග ඉහල නැඟි මොවුන්ගේ කලකිරීම පෙන්නුම් කලේ, තමන්ගේම ස්වයං මිත්‍යාවය. මෙම දක්ෂිනාංශික ධනේශ්වර දේශපාලනඥයා "බලාපොරොත්තුව” හා "වෙනසක් සඳහා” පෙනී සිටින වීරයා ය යන ඔවුන්ගේ ම මායාව ඔවුන් විශ්වාස කල බව පෙනේ.

ජනාධිපතිගේ "විද්වත්” හැසිරීම හා ප්‍රවේශය සම්බන්ධයෙන් නිව් යෝක් ටයිම්ස් වැනි ඔබාමාට පක්ෂ මාධ්‍ය තුල පල කෙරෙන තොරක් නැති වාර්තා ද ඒ තරම්ම බංකොලොත් ය. සුළු ම හෝ යුක්ති සහගත භාවයකින් තොර ව මිලියන සංඛ්‍යාවක් පොලඹවන උත්කෘෂ්ට කථිකයෙකු ලෙස සංගත පාලනය යටතේ ඇති මාධ්‍යය ඔහුට ප්‍රශංසා කල 2008දී ද ඔබාමා ඊට අඩුවෙන් නීරස හා පන්ඩිතමානී නොවී ය.

ඩෙන්වර්හි වේදිකාව මත ඉන්නා පුද්ගලයා හා ධවල මන්දිරයේ පදිංචිකරුවා එකිනෙකාට වෙනස් පුද්ගලයන් දෙදෙනෙකු ලෙස පෙන්වමින් "අද රාත්‍රියේ ඔබාමා කොහි වී දැ” යි හඬගෑ එම්එස්එන්බීසී හි ක්‍රිස් මැතිව්ස්ගෙන් පලවූයේ දැඩි උන්මත්තක ප්‍රතිචාරයකි.

කෙසේ නමුත්, විවාදය තුල සැබෑ ඔබාමා ප්‍රදර්ශනය වෙමින් සිටියේය. ඔහු සැලකිය යුතු දේශපාලන පසුබිමක් හෝ නිපුනත්වයක් පෙන්වා ඇති අයෙකු නොවූ අතර ඊටත් වඩා නිදහස් චින්තනයකින් තොර පුද්ගලයෙක් ද විය. "වෙනසේ ” සංකේතය ලෙස තෝරාගෙන උසස් කිරීමට පෙර කිසිදු අරගලයකට සම්බන්ධ බවට වාර්තාවක් නොමැති ඔහු රාජ්‍යයේ සුවච කීකරු නියෝජිතයෙක් විය.

සිය ක්ෂනික දේශපාලන නැගීම පොහොසත් අනුග්‍රහයකයන් මත රැඳී ඇති යමෙකුට, එම සමාජ ස්ථරයේ ම අයෙකු විසින් හතරවටින් ම පහර දෙනු ලැබීම නිසැකවම සිත කලඹවන සුලු ය.

කෙසේ නමුත්, ඩිමොක්‍රටික් පක්ෂ කේවට්ටයන් හෝ ධවල මන්දිර‍යේ නොවැදගත් ස්වීයත්ව ගති ලක්ෂන මගින් සැලැසුම් කල දේශපාලන උපක්‍රම මත පමනක් පදනම් වෙමින්, මිලියන 70ක් ජනතාව ඉදිරියේ සිදුවූ මෙම රංඟනය විස්තර කිරීම අපහසු ය. ඕනෑ ම වැදගත් දේශපාලන සිද්ධියක් මෙන් ම එක්සත් ජනපද ජනාධිපතිවරනයේ ක්‍රියාවලිය ද වටහා ගත හැක්කේ ක්‍රියාත්මක සමාජ බලවේග පිලිබඳ විශ්ලේෂනයකින් පමනි. රොම්නිට එරෙහිව ප්‍රහාරයකට යාමට ඔබාමා දැක්වූ අසමත්කම වටහා ගත හැක්කේ, ඩිමොක්‍රටික් පක්ෂයේ සාරභූත පන්ති භූමිකාව සැලකිල්ලට ගැනීමෙන් පමනි.

රිපබ්ලිකන් පක්ෂය මෙන් ම ඩිමොක්‍රටික් පක්ෂය ද ඇමරිකාව පාලනය කරන මූල්‍ය ප්‍රභූවේ උපකරනයකි. ධනපති පාලක ප්‍රභූවෙන් ඇබිත්තක හෝ වෙනසක් ඒවායේ ඇත්තේ නැත. කෙසේ නමුත් එයින් පක්ෂ දෙක සර්වසම නොකර යි. ඒවා පැහදිලි, එසේ නමුත් අනුපූරක දේශපාලන භූමිකා රඟ දක්වති.

රිපබ්ලිකානු පක්ෂය ප්‍රදර්ශනය කරන්නේ, හැකි කෙටිම කාලයක දී, වැඩිම ධනයක් රැස්කර ගැනීම සඳහා වන පාලක ප්‍රභූවේ යන්තම් වෙස්වලා ගත් ආශාවය. සංගත හා පොහොසතුන්ගේ බදු කප්පාදුව මගින් "රැකියා නිර්මානය” කර වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් නංවනු ඇතැ යි 03දා රාත්‍රියේ රොම්නි කල මවාපෑම පිලිබඳව ඇමරිකානු මහජනයාට ඇත්තේ මඳ විශ්වාසයක් පමනි. සියල්ලට පසුව, වෝල් වීදියේ ලාභ වාර්තාගත මට්ටම්වලට ලඟාවෙමින් ඇති අතර කම්කරු පන්තියේ ජීවන තත්වයන් පරම්පරා ගනනාවක් ආපස්සට දමමින්, මහා අවපාතයෙන් පසුව එරට මුහුනපාන විශාලත ම අර්බුදයේ පස්වැනි වසරට එක්සත් ජනපදය එලඹ තිබේ.

රැකියා, සමාජ වැඩසටහන් හා ජීවන තත්වයන් නැංවීම පිලිබඳ උත්සුකවන බව ඉඳහිට පෙන්වමින් ද වෝල් වීදියේ අතිරික්තයන් විවේචනය කරමින් ද ඩිමොක්‍රටික් පක්ෂය, පොදු ජනතාවගේ අද්වකාත්වරු ලෙස පෙනී සිටිති. කම්කරු පන්තිය පිලිබඳ උත්සුකයන්ට සම්බන්ධව ගත් කල රිපබ්ලිකානුවන් සමග එහි සාර්භූත ප්‍රතිපත්ති වෙනස්කම් පවතින්නේ අවම මට්ටමකය. ඔවුන් එකිනෙකා සමග තරඟ කරන්නේ, බැංකුකරුවන් හා ප්‍රකෝටිපතියන්ගේ අනුග්‍රහය තමන් වෙත දිනා ගැනීම සඳහා ය.

කිසිකලෙක නො වූ මට්ටමේ උග්‍ර සමාජ ආතතීන් සහිත අද වැනි අවධියයක් තුල සිදුවන මෙම දේශපාලන වැඩ බෙදාගැනීමෙන් මතු කෙරෙන ප්‍රතිවිරෝධතා බිඳවැටීමේ අවස්ථාවකට ලඟාවිය හැක. බේන් කැපිටල් යන පෞද්ගලික ව්‍යාපාර වස්තු සමාගම සතු රොම්නි, ධනපති උකුස්සෙක් ලෙසත්, වෙනත් සමාගම් ආක්‍රමනය කරමින් රැකියා විනාශ කල අයෙක් ලෙසත්, හෙලාදැකීම මගින් ජනප්‍රියත්වයක් ආරෝපනයකර ගැනීම සඳහා මාස ගනනක් තිස්සේ ඔබාමා යලි පත්කර ගැනීමේ ව්‍යාපාරය කටයුතු කර තිබේ. ඩිමොක්‍රටික් පක්ෂය, සමාජ ආරක්ෂක කපාටයක් ලෙස භූමිකාවක් රඟ දැක්වීමේ උත්සාහයක නිරතව සිටියි.

එහෙත් මෙම ජනප්‍රියවාදය හිස් හා නරුම ය. ඔබාමා පාලනය මහා ව්‍යාපාරයන්ගේ උපකරනය ලෙස පවතී. එය බුෂ් යටතේ ආරම්භ කල වෝල් වීදියට ඇපදීම මෙන් ම, දැවන්ත විරකියාව මුගුරක් ලෙස යොදා ගනිමින් කම්කරු පන්තියේ ජිවන තත්වයන් කපා දැමීම මගින් සංගත ඇමරිකාවට උදාහරනයක් සපයමින් සිටී. මෙම ක්‍රියාදාමය තුල දී අලුතින් බඳවා ගන්නන් සඳහා සියයට 50ක වැටුප් කැපීමක් අනුමත කල ධවල මන්දිරය මෝටර් රථ සමාගම්වලට ඇපදීම් ක්‍රියාත්මක කලේ ය.

ඔබාමා වෝල් වීදියේ වරප්‍රසාද හා අපරාධවල අවංක ප්‍රතිවාදියෙකු නම් මිට් රොම්නි ඔහුගේ අභියෝජකයා ලෙස සිටීම ආශීර්වාදයකි. ප්‍රධාන පෞද්ගලික කොටස් සමාගමක දීර්ග කාලීන හිමිකරුවා වන රොම්නි එක්සත් ජනපදය හා ලෝක ආර්ථිකය බිඳ දැමූ, දශ ලක්ෂ සංඛ්‍යාවක් කම්කරුවන් විරැකියාවට හා දුගී බවට ඇද දැමූ සමාජ ස්ථරයේ පුද්ගලාරෝපනය යි.

එහෙත් ඔබාමා යනු එම ස්ථරයේ ම දේශපාලන සේවකයෙකි. රොම්නි සමග මුහුනට මුහුනලා සිටින ඔබාමාට 2008 බිඳවැටීම සම්බන්ධයෙන් රොම්නිට චෝදනා කල නොහැක. මන් ද, තමන් විසින් ම මූල්‍ය කතිපයාධිකාරයට චෝදනාකර ගැනීමක් ද ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානුවන් මෙන්ම සමස්ත ධනේශ්වර දේශපාලන සංස්ථාපිතය ද වෛරයකින් හා බියකින් සලකනු ලබන සමාජ බලවේගයකට ආයාචනය කිරීමක් ද එමගින් ගම්‍ය විය හැකි බැවිනි.

චිකාගෝ හා ඩෙට්‍රොයිට් වැඩවර්ජන තුල ධනේශ්වර පක්ෂ දෙකේ ම ප්‍රතිපත්තිවලට අභියෝග කරන කම්කරු පන්තියේ ව්‍යාපාරයක සංඥා මේ වන විටත් පවතී. 2012 මැතිවරන ව්‍යාපාරය තුල මෙම ස්වාධීන ව්‍යාපාරය වර්ධනය කිරීමට හා එයට විප්ලවවාදී ධනේශ්වර විරෝධී මගපෙන්වීමක් ඉදිරිපත් කිරීම සඳහා සටන් වදින එක ම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය හා එහි ජනාධිපති, උප ජනාධිපති අපේක්ෂකයන් වන ජෙරී වයිට් හා පිලිස් ෂෙරර් ය.

ඔබාමා හා ඩිමොක්‍රටිකයන් දක්ෂිනාංශික ප්‍රතිචාරයට යටත්වීම, සමාජවාදී සමානතා පක්ෂයට නම් තිගැස්මට හේතුවක් නොවන අතර එය කල් තියා කිව හැකිව තිබුනු එමෙන් ම අනිවාර්ය වර්ධනයකි. රැකියා, ජීවන තත්වයන් හා සමාජ වැඩසටහන් ආරක්ෂා කර ගැනීමට හා අධිරාජ්‍යවාදී යුද්ධයන්ට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරය පිටුදැකීමට, ධනේශ්වර ද්විපක්ෂ ක්‍රමයට අභියෝග කරමින් හා සමාජවාදී වැඩසටහනක් සඳහා ස්වාධීන මහජන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගමින් කම්කරු පන්තිය, එහි ශක්තිය දේශපාලනිකව බලමුලු ගැන්විය යුතු ය.

පැට්‍රික් මාටින්

Share this article: