ඔබාමා ඇෆ්ඝනිස්ථානයේ දිග්ගැසුනු මිලිටරි වාඩිලෑමක් සූදානම් කරයි

Obama prepares protracted Afghanistan occupation

20 October 2012

එක්සත් ජනපද ජනාධිපතිවරනය සති දෙකකට මඳක් වැඩි කලක් තිබිය දී ඔබාමා පාලනාධිකාරය ඇෆ්ඝනිස්ථානයේ දසදහස් ගනනක හමුදාවක් තබා ගැනීමේ නිහඬ සූදානමක යෙදී සිටී.

සංගත මාධ්‍යවල නිරීක්ෂනයට ලක්ව නැති මෙම සූදානම් කිරීම් දිගහැරෙන්නේ, ඔබාමා හා ඔහුගේ උප ජනාධිපති අපේක්ෂක, වත්මන් උප ජනාධිපති ජෝශප් බිඩෙන්, 11 වසරක යුද්ධය 2014 දී අවසන් වන බව ඡන්දදායකයන්ට පවසද්දී පවාය.

පසුගිය බදාදා විවාදයේ දී ඇෆ්ඝනිස්ථානයට එක් වතාවක් සැඳහුම් කෙරුනි. එහි දී ඔබාමා මෙසේ ප‍්‍රකාශ කලේය: "අප ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වන බවත් ඇෆ්ඝන්වරු ස්වකීය ආරක්ෂාව පිලිබඳව වගකීමට උරදෙන බවට සහතික කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් මම පැවසුවා. ඒකයි මම කරන්නෙ.”

සතියකට පෙර පැවති උප ජනාධිපති අපේක්ෂක විවාදයේ දී බිඩෙන් ඊට වඩා තරමක් නිශ්චිතව මෙසේ පැවසීය: "අප 2014 කාල පරිච්ඡේදයේ දී ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වෙනවා. එසේ කලොත්, එවිට හෝ නමුත් යනාදි ලෙස ඒ ගැන කිසිදු සැකයක් නැහැ.”

යථා කාරනාව නම්, එක්සත් ජනපද හා නැටෝ නිලධාරිහු මැයි 1 දා ඔබාමා සහ වොෂිංටනයේ රූකඩ පාලකයා වන ජනාධිපති හමිඩ් කර්සායි විසින් කාබුල්හි දී අත්සන් කරන ලද මූලෝපායික සහයෝගිතා ගිවිසුමේ සැබෑ තතු සඟවාලූ පිටපතක් සූදානම් කිරීමේ මහත් කලබලයෙන් යෙදී සිටින බවයි. 2014න් පසුව සම්පූර්න දශකයක් ම දසදහස් සංඛ්‍යාත එක්සත් ජනපද භට පිරිසක් ඇෆ්ඝනිස්ථානයේ දිගටම රැඳී සිටීමක් එම ගිවිසුම මගින් බලාපොරොත්තු වේ.

එක්සත් ජනපද සොල්දාදුවන් හා මැරයන් භටයන් 25,000ක පිරිසක් අඩු ගනනේ 2024 දක්වා ඇෆ්ඝනිස්ථානය වාඩිලාගෙන දිගටම සිටිනු ඇතැයි තක්සේරු කරන නිර්නාමික ඇමරිකානු මිලිටරි මූලාශ‍්‍ර එක්සත් ජනපද මාධ්‍ය තුල උපුටා දක්වා ඇත. මේ සතියේ ඩර් ස්පීගල් පත‍්‍රය විසින් උපුටා දක්වන ලද ජර්මානු බුද්ධි අංශයේ වාර්තාවක පෙරදැක තිබුනේ, සෙසු නැටෝ රටවලින් එවන ලද කුඩා භට කන්ඩායම් ද ඇතුලුව, 35,000ක මුලු හමුදාවක් එහි රැඳී සිටිනු ඇති බවයි.

මෙම හමුදාවේ විශාල කොටසක් සමන්විත වනු ඇත්තේ, ගී‍්‍රන් බෙරෙට්ස් හා සෙසු විශේෂ මෙහෙයුම් හට කන්ඩායම්වලිනි. ඔවුහු කැරලි මර්දන මෙහෙයුම්, එනම්, විදේශ මිලිටරි වාඩිලෑමට හා එහි දූෂිත ඇෆ්ඝන් රූකඩයන්ට විරුද්ධ සන්නද්ධ කන්ඩායම්වල නායකයන් හා සාමාජිකයන් දඩයම් කිරීම හා මරා දැමීම, දිගටම කරගෙන යනු ඇත.

ඇෆ්ඝනිස්ථානය "තමන්ගේම දෙපයින් නැගී සිටීම” ගැන කෙරෙන සියලු නිල ප‍්‍රකාශ සහ භටයන් 35,000කින් සමන්විත කර්සායි තන්ත‍්‍රයේ රූකඩ ආරක්ෂක හමුදාවන් ආරක්ෂක මෙහෙයුම් භාරගැනීම පිලිබඳ සතුටුදායක අනාවැකි සම්බන්ධයෙන් ගත හොත්, යථාර්ථය වන්නේ, ඇෆ්ඝන් ජාතික හමුදාවේ එකදු ඒකකයකට හෝ ස්වකීය ශක්තිය මත පාදකව මෙහෙයුම්වල යෙදීමේ හැකියාවක් ඇතැයි නැටෝව සලකන්නේ නැත යන්නයි. ඇෆ්ඝන් හමුදාව සෑම වසරක්ම පාසා සිය භටයන්ගෙන් තුනෙක් පංගුවක් බැගින් ස්වභාවිකව වියැකීයාමකට මුහුන දෙන අතර, ඊනියා "නිල් හමුදා භටයන්ට එරෙහි කොල හමුදා භටයන්ගේ ප‍්‍රහාර” මගින් සිදුවන ඝාතන ඉහලයාම ඇෆ්ඝන් රූකඩ හමුදාවන් මත බොහෝසෙයින් පාදක වීමේ සමස්ත එක්සත් ජනපද-නැටෝ මූලෝපායම බරපතල ලෙස ප‍්‍රශ්නයට බඳුන් කරයි. මේ වසරේ දී එවන් ඝාතන 50කට වැඩි ප‍්‍රමානයක් සිදුවිය.

සෙසු ප‍්‍රදේශවල නව මිලිටරි මදාවි කි‍්‍රයාවන් සූදානම් වන තතු යටතේ පවා, වොෂිංටනය දකුනු ආසියාව තුල දිග්ගැසුනු හා විභවීය වසයෙන් වඩා පුලුල් යුද්ධයකට පවා සූදානම් වන බව, පෙන්නුම් කෙරෙන තවත් දර්ශකයක් නම්, සිකුරාදා වොෂිංටන් පෝස්ට් පත‍්‍රයේ පල වූ වාර්තාවකි. වාර්තාව සඳහන් කලේ, මධ්‍යම ඔත්තු සේවය (සීඅයිඒ), එය දැන් යොදවා තිබෙන සන්නද්ධ ඩ්‍රෝන් යානා 35ට තවත් නියමුවන් රහිත ගුවන්යානා 10ක් එකතු කරමින්, සිය ඩ්‍රෝන් යානා බලකාය විශාල වසයෙන් පුලුල් කිරීමකට අනුමැතිය ඉල්ලන බවයි.

"සීඅයිඒ අධ්‍යක්ෂක ඩේවිඩ් එච්. පෙටි‍්‍රයස්ගේ යෝජනාව පකිස්තානයේ හා යේමනයේ එම සංවිධානය ගෙන යන මාරක ප‍්‍රහාර ව්‍යාපාරය පවත්වාගෙන යාමේ එහි හැකියාව ඉහල දමනු ඇති අතර, ඒ දෙසට යොමු කල හොත්, උතුරු අපි‍්‍රකාව තුල හෝ සෙසු කරදරකාරී ස්ථානවල නැගෙන අල්-කයිඩා තර්ජන වෙත සිය ගුවන්යානා මාරුකිරීමේ හැකියාව ද එයට ලබා දෙනු ඇත” යනුවෙන්, නිර්නාමික එක්සත් ජනපද නිලධාරින් උපුටා දක්වමින්, පෝස්ට් වාර්තා කලේය. මෙම පියවර, වොෂිංටනයේ සතුරන් ඝාතනයට කැප වූ එක්සත් ජනපද ආන්ඩුවේ පැරා-මිලිටරි ඒකකයක් බවට ඒජන්සියේ පරිවර්තනය සැලකිය යුතු ලෙස ඉදිරියට තල්ලු කරනු ඇතැයි ද එය සඳහන් කලේය.

පකිස්තානයට එරෙහිව එක්සත් ජනපද ඩ්‍රෝන් ප‍්‍රහාර 336ක් සිදුව ඇතැයි පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමති රෙහ්මන් මලික් බදාදා පැවසීය. එයින් අතිමහත් බහුතරයක් දියත් කෙරුනේ ඔබාමා බලයට පැමිනීමෙන් පසුවය. පකිස්තාන ආන්ඩුවට වාර්තා වූ එවන් ඝාතනවලින් මියගිය පුද්ගලයන් 2,300න් සියයට 80ක් ම අහිංසක සිවිල් වැසියන් -- මිනිසුන්, ගැහැනුන් හා ලමුන් -- බව ඔහු පැවසීය. දැන් ඊට සමාන අපරාධ යේමනය තුල සිදු කෙරෙමින් පවතින අතර අපි‍්‍රකාව පුරා හා සෙසු ප‍්‍රදේශවල ද එවන් අපරාධ සූදානම් කෙරෙයි.

මෙම කොන්දේසි යටතේ, වත්මන් මැතිවරන ව්‍යාපාරය තුල මතහේදයකට තුඩු දෙන කාරනයක මට්ටමට නැගෙන එක්සත් ජනපද විදේශ පිලිවෙතේ එකම කාරනය වන්නේ, ලිබියාවේ බෙන්ගාසිහි එක්සත් ජනපද කොන්සාල් කාර්යාලයට සැප්තැම්බර් 11 දා එල්ල වූ ප‍්‍රහාරය ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් ලෙස ජනාධිපති ඔබාමා ප‍්‍රසිද්ධියේ අර්ථදැක්විය යුතුව තිබුනේ මොන අවස්ථාවේ ද යන්නයි.

සත්තකින්ම, එකදු අපේක්ෂකයකු හෝ, මෙම ප‍්‍රහාරයේ මූලයන් පිලිබඳව වචනයක් වත් කීමට අපොහොසත්ය. එහි මූලයන් වැටී ඇත්තේ, කර්නල් මුඅම්මර් ගඩාෆි පෙරලා දැමීමේ පසුගිය වසරේ එක්සත් ජනපද-නැටෝ යුද්ධය තුල දී, අල්-කයිඩා සංවිධානයට අනුබද්ධිත කොටස් ද ඇතුලුව, ඉස්ලාම්වාදී බලවේගවලට වොෂිංටනය දුන් පිටුබලය තුල ය. එසේ පිටුබලය දීමෙන් පසුව, එම සන්නද්ධ මිලීෂියා කන්ඩායම් පසෙකට තල්ලු කොට දමා ටි‍්‍රපොලි නුවර තමන්ට විශ්වාසදායක රූකඩ තන්ත‍්‍රයක් ඇටවීමට ද වොෂිංටනය උත්සාහ දැරීය. එයට දැක්වූ ප‍්‍රතිචාරය වූ, තානාපති ජේ. කි‍්‍රස්ටෝපර් ස්ටීවන්ස් හා තවත් ඇමරිකානුවන් තිදෙනෙකු ඝාතනය කිරීම, වොෂිංටනයේ කි‍්‍රයාවේ ප‍්‍රතිවිපාකය ඔවුන් කරා ආපසු පැමිනීමක් විය.

ඇමරිකානු ධනවාදයේ අර්බුදයේ හා කඩාවැටීමේ බලපෑම තුලිත කරගැනීමේ විධික‍්‍රමයක් ලෙස, විශේෂයෙන් ම පර්සියානු ගල්ෆ් කලාපයේ හා කැස්පියන් ද්‍රෝනියේ බල ශක්ති සම්පත්වලින් පොහොසත් ප‍්‍රදේශ මත්තෙහි එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කරගැනීම මගින්, එසේ එම බලපෑම තුලිත කරගනු වස්, මිලිටරි බලය යොදාගැනීමේ, පසුගිය දශක දෙක මුලුල්ලේ වර්ධනය කෙරී ඇති, මූලෝපාය අඛන්ඩව ඉදිරියට ගෙනයාමට හා එය උත්සන්න කිරීමට පක්ෂ දෙකම කැපවී සිටී.

2008 දී "යුද විරෝධී” අපේක්ෂක ඔබාමා තෝරාපත් කරගැනීම මගින් ඔප්පු කෙරී ඇති පරිදි, ධනපති පක්ෂ දෙකෙන් ඒ හෝ මේ පක්ෂයට ඡන්දය දීම මගින්, ඇමරිකාවේ මූල්‍ය කතිපයාධිකත්වයේ මෙම සාරභූත පිලිවෙත වෙනස් කල නොහැකිය.

එකකට පසුව එකක් වසයෙන් ජනමත විමසුම්වල දී, ඇමරිකානු මහජනතාවගෙන් තුනෙන් දෙකක සිට හතරෙන් තුනක් දක්වා, ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය දිගටම ගෙනායමට සිය විරුද්ධත්වය පල කර ඇති අතර, ඉරානයට එරෙහි යුද්ධයක් ඇතුලුව, නව හා වඩා පුලුල් යුද්ධ සඳහා වූ සැලසුම්වලට එරෙහි වෛරය ද ඊට සමාන අයුරකින් උත්සන්න වී තිබේ. එහෙත් යුදවාදයට එරෙහි මෙම මහජන විරුද්ධත්වයට ධනපති ද්වි-පක්ෂ ක‍්‍රමය තුල කිසිදු ප‍්‍රකාශනයක් අත්පත් කරගත නොහැකිය. මේ අතරතුර, බුෂ් යටතේ පැවති එක්සත් ජනපද යුද්ධවලට එරෙහි විරෝධතාවන්ට නායකත්වය දුන් මධ්‍යම පන්තික ව්‍යාජ-වාම සංවිධාන ඔබාමා යටතේ අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන්ට මුලුමනින්ම කරබදු වී ඇත.

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය අවසන් කිරීමේ ද මනුෂ්‍ය වර්ගයා තවත් ලෝක පරිමාන යුද ගැටුමකට තල්ලු කිරීමේ විභවය සහිත නව යුද්ධ දියත් කිරීම වැලැක්වීමේ ද අව්‍යාජ අරගලයක් ගෙන යා හැක්කේ, ඔබාමා පාලනාධිකාරයට හා ධනපති ක‍්‍රමයට එරෙහිව ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස සටන් වදින, කම්කරු පන්තියේ නායකත්වය යටතේ පමනි.

ඇෆ්ඝනිස්ථානයෙන් සියල) එක්සත් ජනපද හමුදා වහාම හා කොන්දේසි විරහිතව ඉවත් කරන ලෙස ද ආක‍්‍රමනික යුද්ධ දියත් කිරීම හා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වගකිව යුතු අය ඒ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් කල යුතු බවට ද ඉල්ලීම් මතු කල යුතුය. දැවැන්ත එක්සත් ජනපද මිලිටරි හා බුද්ධි යාන්ත‍්‍රනය බිඳවිසිරවිය යුතු අතර මරනය හා විනාශය ඇති කරනු වස් වැය කෙරෙන ඩොලර් ටි‍්‍රලියන ගනන් එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තිය සඳහා රැකියා හා ශිෂ්ඨ සම්පන්න ජීවන කොන්දේසි සම්පාදනය කරනු වස් යොදා ගත යුතුය.

මෙම කි‍්‍රයාමාර්ගය සඳහා සටන් වදින්නේ, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි ජනාධිපති හා උප ජනාධිපති අපේක්ෂකයන් වන ජෙරී වයිට් සහ ෆිලිස් ෂෙරර් පමනි. යුද්ධයට ද සමාජ කොන්දේසිවලට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරවලට ද විරුද්ධව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම පිලිබඳව, මේ මස අග හා නොවැම්බර් මුල සසප විසින් පවත්වනු ලබන ප‍්‍රාදේශීය සම්මන්ත‍්‍රනවල දී සාකච්ඡා කෙරෙනු ඇත. යුද්ධයේ, මහජන විරැකියාවේ හා මර්දනයේ පක්ෂ දෙකට විරුද්ධව කම්කරු පන්තික විකල්පයක අවශ්‍යතාව දකින සියල්ලෝම එම සම්මන්ත‍්‍රනවලට සහභාගි වීමට සැලසුම් කල යුතුය.

බිල් වෑන් ඕකන්

Share this article: