ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊස්රායල යුද සූදානම

US-Israeli preparations for war against Iran

25 October 2012

ජනාධිපතිවරන ව්‍යාපාරය එහි අවසානයට ලඟාවෙද්දී, ජනාධිපති බරක් ඔබාමා සහ ඔහුගේ රිපබ්ලිකානු තරඟකරු වන මිට් රොම්නි යන දෙදෙනාගේම පිටුබලය ඇතිව ආක්‍රමනකාරී නව එක්සත් ජනපද යුද්ධ සඳහා සූදානම ලහි ලහියේ සූදානම් ‍ කෙරෙමින් තිබේ.

පෙර නොවූ විරූ තරම් විශාල එක්සත් ජනපද-ඊස්රායල් ඒකාබද්ධ මිලිටරි අභ්‍යාස 21දා ආරම්භ විය. එය සැලසුම් කර ඇත්තේ සියොන්වාදී රාජ්‍යයේ ඒකාග්‍රිත මිසයිල් ප්‍රතිරෝධක පද්ධතීන් අත්හදා බැලීමටය. සති තුනක යුද අභ්‍යාසයට ඊස්රායලයේ හා යුරෝපයේ එක්සත් ජනපද යුද භටයින් 3,500ක් ද ඊස්රායල් ආරක්ෂක හමුදා සාමාජිකයින් 1,000ක් ද සම්බන්ධ වන අතර පේට්‍රියට් මිසයිල් ප්‍රතිරෝධක හා ඒජීස් මිසයිල් ප්‍රතිරෝධක පද්ධතීන්ගෙන් සන්නද්ධ එක්සත් ජනපදයේ යුද නැවක් ද එහි යොදවා තිබේ.

ඇමරිකානු හා ඊස්රායල් ජෙනරාල්වරුන්ට අනුව කෙටි හා දුර විදින බැලිස්ටික් මිසයිල් මෙන්ම මොටාර් හා රොකට් ද ඇතුලු ඊස්රායල් ඉලක්ක වෙත යොමු කෙරෙන අධි සංවේදී ප්‍රහාර සමග ආරෝපිත බහුවිධ යුද්ධයක් සැලසුම් කිරීමට අභ්‍යාසය පැවැත්වේ.

එක්සත් ජනපද ලුතිනන් ජෙනරාල් ක්‍රේග් ෆ්‍රෑන්ක්ලීන් අභ්‍යාසයේ වැදගත්කම අඩු ලංසුවට දමමින් මෙසේ පැවසීය. “මෙහි විශේෂ පනිවිඩයක් ඇත්තේ නැත. එය ඊස්රායලයේ ආරක්ෂක ශක්‍යතා තහවුරුකර ගැනීම සඳහා කෙරෙන්නකි.” සැබවින්ම යුද අභ්‍යාස තනිකරම ආරක්ෂක නොවනවා සේම ඉලක්කයකින් තොර ද නොවේ. වාතාවරනය සාක්ෂි දරන ආකාරයට ඉරානයට එල්ල කිරීමට ඉඩ ඇති ප්‍රහාරයක ක්ෂනික ප්‍රතිවිපාක සඳහා සූදානම් වීම හා ටෙහෙරානය ද එහි අනුචරයින් ද විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම මැඩපැවැත්වීමෙහිලා වොෂින්ටනයේ හා ටෙල්අවිව්හි හැකියාව මැන බැලීම එහි අරමුන වන්නේය.

ඔබාමා පාලනය මෙන්ම ඊස්රායල ආන්ඩුව ද ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මත එරටට එරෙහි යුදවාදී තර්ජන අඛන්ඩව උත්සන්න කරමින් සිටිති. පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ සමුලුව අමතමින් ඊස්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු “රතු ඉරක්” ඇඳිය යුතු බව අවධාරනය කලේ, ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් සෑදීමට තව ගත වන්නේ මාසගනනක් පමනක් බව සාවද්‍ය ලෙස පවසමිනි. රතු ඉරක් යන්නට ඇත්තේ එක් අර්ථයක් පමනි. එය යුද්ධයට නිමිත්ත සම්පාදනය කරන බවයි.

ටෙහෙරානය විසින් එල්ල කරන්නේය යන තර්ජනය පිලිබඳ එක්සත් ජනපදයේ හා ඊස්රායලයේ ප්‍රචාරය තරයේම කුහක එකකි. ඉරානය මෙන් නොව ඊස්රායලය න්‍යෂ්ටික අවි හරන ගිවිසුමට අත්සන් තැබීම හෝ ජාත්‍යන්තර පරමානුක බලශක්ති ආයතනයේ පරීක්ෂන සඳහා ඉඩ සැලසීම ප්‍රතික්ෂේප කර ඇත. දැනටමත් ඊස්රායලය සතුව සැලකිය යුතු න්‍යෂ්ටික අවි තොගයක් ඇති අතර ඒවා මැද පෙරදිග ඕනෑම තැනකට යැවිය හැකි මාධ්‍යයන් ද එය සතුය. තව ද එක්සත් ජනපදයට මෙන්ම ඊස්රායලයට ද කලාපය තුල නීති විරෝධී ආක්‍රමනික යුද්ධ ගෙනයාමේ දිගු වාර්තාවක් ඇත. දැන් ඔවුහු ඉරානයට එරෙහිව නව යුද්ධයක් සැලසුම් කරති.

ඊස්රායලයේ මිසයිල් ප්‍රතිරෝධක පද්ධතීන් උරගා බැලීම මගින් ඉරානයට එරෙහිව දුර්විපාක නොලබා අප්‍රකුපිත ප්‍රහාරයක් එල්ල කිරීමෙහි ලා එක්සත් ජනපදයට හා ඊස්රායලයට ඇති හැකියාව සවිමත් කරනවා පමනි. යුද අභ්‍යාස පවත්වනු ලබන්නේ පසුගිය සති අන්තයේ ඊස්රායලය තුල ආරම්භ කල ප්‍රධාන පෙලේ සිවිල් ආරක්ෂක අභ්‍යාස සමග සමගාමීව ය. භූ කම්පනයකට ප්‍රතිචාර දැක්වීමේ කඩතුරාව යටතේ අභ්‍යන්තර ආරක්ෂක හමුදාවේ දේශීය අනදෙන මධ්‍යස්ථානය සමග එක්ව සියලු හදිසි සේවා හා ආන්ඩුවේ දෙපාර්තමේන්තු “මවිතකර ලෙස අප මත කඩාපාත්විය හැකි හදිසි තත්වයකට සූදානම් වීම” සඳහා යයි මෙම අභ්‍යාසය පවත්වයි. ඊස්රායලයේ මෙම කටයුතු පුලුල් යුද්ධයකට සූදානම් වීමේ කොටසක් පමනි. එක්සත් ජනපදය ද ගල්ෆ් රාජ්‍යයන්හි සිය අනුචරයින්ට රැකවරනය සැලසීමේ මිසයිල් ප්‍රතිරෝධක පද්ධතීන් සවිමත් කිරීමේ යෙදී සිටියි. පසුගිය මාසයේදී එක්සත් ජනපද නාවික හමුදාව ජාතීන් 30කට අයත් යුද නැව් සම්බන්ධ කරගත් පෙර නොවූ විරූ දැවැන්ත බිම් බෝම්බ නාෂක අභ්‍යාසයක් පර්සියානු ගල්ෆ්හි පැවැත්වීය. මෙහි අරමුන වූයේ එක්සත් ජනපද ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් හෝමුස් සමද්‍ර සන්ධියේ බෝම්බ ඇතිරීමේ කුමන හෝ ඉරාන උත්සාහයක් නිෂ්ක්‍රීය කිරීමය.

තව ද මේ වසර ආරම්භයේ පටන් පෙන්ටගනය ඉරානයට එරෙහි යුද්ධය ගෙනයාමේ හැකියාව බෙහෙවින් නඟාසිටුවීම පිනිස කලාපය තුල අති ශූක්ෂම එෆ් 22 ප්‍රහාරක බලඇනියක් ස්ථානගතකර, එහි ඇති ගුවන්යානා හාරක යුද නැව් කන්ඩායම් සංඛ්‍යාව දෙගුන කර තිබේ. ඕනෑම එක්සත් ජනපද ප්‍රහාරයක ඉලක්ක වන්නේ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන පමනක් නොව ඉරාන ජනතාවට හා ආර්ථිකයට විනාශකාරී ප්‍රතිවිපාක ගෙන එනු ඇති රටේ මිලිටරි හා කාර්මික යටිතල ව්‍යුහයේ වැඩි කොටසක් ද වේ.

22දා පැවති තුන්වන ජනාධිපති අපේක්ෂක විවාදයේදී ඔබාමා හා රොම්නි, ඉරානයට එරෙහි ආර්ථික සම්බාධක තවත් දැඩි කිරීමත් යුද්ධයට සූදානම් වීමත් මගින් ඊස්රායලයට පිටුබලය දීමේ තම අධිෂ්ඨානය ප්‍රදර්ශනය කිරීමට එකිනෙකා අතර තරඟ වැදුනහ.

තම පරිපාලනය ඊස්රායලය සමග “ප්‍රබලම මිලිටරි හා ඔත්තු සේවා සහයෝගිතාව” ගොඩනැඟීම පිලිබඳ සාක්ෂියක් ලෙස දැනට සිදුකෙරෙන යුද අභ්‍යාස ගැන ඔබාමා විශේෂයෙන්ම සඳහන් කලේය. “ඉරානයට එරෙහිව ඉතිහාසයේ දරුනුම සම්බාධක” පැනවීම ගැන ඔහු උදම් ඇනුවේ ඉරාන ජනාවට අත්විඳීමට සිදුවිය හැකි ප්‍රතිවිපාක පරිපූර්නව නොතකා හරිමිනි. “ඔවුන්ගේ මුදල සියයට 80න් වැටී තිබේ. ඔවුන්ගේ තෙල් නිෂ්පාදනය (ඉරාකය සමග යුද්ධ‍ය පැවති කාලයෙන් පසුව) පහතම මට්ටමට වැටී ඇත. ඔවුන්ගේ ආර්ථිකය ව්‍යසනයට පත්ව තිබේ.”

රොම්නි දැඩි සම්බාධක පැනවිය යුතු බව හා අවසන් විකල්පය වශයෙන් මිලිටරි ක්‍රියාවන්ට යා යුතු බව කියාසිටි කල ඔබාමා ඊට ප්‍රතිචාර වශයෙන්, සාකච්ඡා සඳහා කාලය ඉක්මනින්ම ගෙවී යමින් තිබෙන බව පැවසීය. “ඔර්ලෝසුවේ බට්ටා පැද්දෙමින් තිබේ.” යයි ඔහු පැවසීය. “කිසිදු පලක් නැති සාකච්ඡාවන් තෙරක් නැතිව පවත්වාගෙන යාමට අපි ඉරානයට ඉඩ නොතබන්නෙමු. ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීම් වලට ඔවුන් එකඟ නොවන්නේ නම් අපි ඔවුන්ට න්‍යෂ්ටික අවියක් සතුකර ගැනීමේ අවස්ථාව අහිමි කරන සියලු අවශ්‍ය විකල්ප ක්‍රියාත්මක කරන්නෙමු.”

ඇමරිකාවේ, මැද පෙරදිග හා ජාත්‍යන්තරව කම්කරු පන්තියේ පිටුපසින් තවත් සාපරාධී යුද්ධයක් සඳහා වැඩි දියුනු සැලසුම් සූදානම් කෙරෙමින් තිබේ. ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ හා ලිබියාවේ මිලිටරි මැදිහත්වීම් මෙන්ම මෙය ද මුසාවාද හා වංචාව පදනම් කරගත් යුද්ධයකි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඉරානයට පහරදීමට සැලසුම් කරන්නේ න්‍යෂ්ටික බෝම්බයක් සෑදී‍මෙන් එරට වැලැක්වීමට නොවේ. ඒ වෙනුවට තෙලින් පොහොසත් මැද පෙරදිග හා මධ්‍යම ආසියානු කලාපයන්හි ආධිපත්‍යය සඳහා වන එහි අභිලාෂයන් ට ගැලපෙන පරිදි ඉරාන තන්ත්‍රයක් සූදානම් කිරීම සඳහා ය.

වොෂින්ටනයේ අදූරදර්ශී ප්‍රතිපත්ති කලාපීය ගැටුමක් අවුලුවාලී‍මට තර්ජනය කරන අතර විශාල ආර්ථික හා මූලෝපායික ආසක්තයන් පරදුවට තැබී ඇති චීනය හා රුසියාව යන එක්සත් ජනපදයේ ප්‍රධාන එදිරිවාදීන් ද ඊට ඇදී ඒමේ විභවය පවතින්නේය. එවන් ව්‍යසනයක් වැලැක්වීමේ හැකියාවෙන් යුත් එකම සමාජ බලවේගය කම්කරු පන්තිය පමනි. මිලිටරිවාදයටත් යුද්ධයටත් එරෙහි අරගලය, යුද්ධයේ මූලය වන ධනවාදය හා එහි යල්පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය අවසන් කරන සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම්වන මහජන ව්‍යාපාරයක් ගොඩනැඟීම ඉල්ලා සිටියි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: