එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවේ යෝජනා: සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරය ගොඩනගනු

Resolutions of the SEP (US) National Congress: Build the International Youth and Students for Social Equality

2 September 2012

මෙහි පලකෙරෙන්නේ එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන සමුලුවේ දී ඒකච්ඡන්දයෙන් සම්මත වූ හතරවන හා අවසාන යෝජනාව යි.

සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය ව්‍යාපාරය වූ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ යන නාමය සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ලෙස වෙනස් කිරීමේ තීන්දුව ද මෙම යෝජනාව සමග සම්මත විය.

1. කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරගලය සඳහා නව පරම්පරාවේ ශිෂ්‍යයන් හා කම්කරු පන්තික තරුනයින් මාක්ස්වාදයේ හා හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය හා ප්‍රතිපත්ති මත උගන්වා ගැනීම අවශ්‍ය කෙරේ.

2. 2008 ආරම්භ වු අර්බුදය එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ද ඉහිලුම් නොදෙන කොන්දේසි නිර්මානය කර තිබිය දී මිලියන ගනන් තරුනයින් දේශපාලන අරගලයට ඇද දමා ඇත. මහා විරැකියාව වර්ධනය වීමෙන් දරුනු ලෙස පහර වැදුන අය අතරට තරුන ජනයා අයත් වේ. 2000 වසරේ සිට එක්සත් ජනපද ආර්ථිකය තුල වයස අවුරුදු 25 න් පහල අයගේ පූර්නකාලීන රැකියා සියයට 25 ක් අහිමි වී තිබේ. 2009 - 2011 අතර පාසල්වලින් පිටව උසස් අධ්‍යාපනයට නො ගිය සිසුන්ගෙන් සියයට 16 ක් පමනක් පූර්නකාලීන රැකියා සොයා ගෙන තිබේ. අධ්‍යාපන මට්ටම් නොසැලකූ කලල පාසල් තුල නො සිටින වයස අවුරුදු 16 ත් 24 ත් අතර ඇමරිකානුවන්ගෙන් පූර්න කාලීන රැකියාවල නියුක්ත වන්නේ සියයට 47.3 ක් පමනි.

3. ලොව පුරා තරුනයෝ ඉදිරි අනාගතයක් නොදකිති. යුද්ධයේ, පොලිස් කෲරත්වය හා රාජ්‍ය මර්දනයේ තර්ජන හමුවේ තරුනයින් දිවි ගැට ගසා ගන්නේ යාන්තමිනි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයට (ජාකස) අනුව වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුනයන්ගෙන් අටෙන් එකක් රැකියා විරහිතයෝ වෙති. ග්‍රීසියේ හා ස්පාඤ්ඤයේ තරුන ජනයාගේ භාගයකටත් වැඩි සංඛ්යාවක් රැකියා විරහිතව සිටී. මැදපෙරදිග හා උතුරු අප්‍රිකාවේ තරුනයන්ගෙන් හතරෙන් එකක් රැකියා විරහිත වෙති.

4. පාලක පන්තියේ පොදු වැඩපිලිවල ක්‍රියාවේ යොදමින් සිටින ඔබාමා පරිපාලනය, සමස්ත කම්කරු පන්තියේ ම ජීවන මට්ටම් පිරිහෙලීම සඳහා අවියක් ලෙස තරුන කම්කරුවන්ගේ ජීවන තත්වයන් පහත හෙලීමේ ක්‍රම භාවිතා කරනු ලබයි. මෝටර් රථ කර්මාන්ත සමාගම් වලට ඇප දීමට පූර්ව කොන්දේසියක් ලෙස පරිපාලනය, ද්විත්ව-මට්ටම් වැටුප් ක්‍රමයක් කෙරෙහි අවධානය යොමු කරන්නේ එම එල්ලය ඇතිව ය.

5. එමෙන්ම ශිෂ්‍යයන් ද තම ජීවන තත්වයන් නාටකාකාරව ඛාදනය වීමෙන් පීඩාවට පත්ව සිටී. කම්කරු පන්තික තරුනයන් හට සාධාරන වියදමකින් උසස් අධ්‍යාපනයක් ලැබීමට ඇති අවස්ථා විනාශ කෙරෙමින් තිබේ. මහජන අධ්‍යාපනය ධනපතියන්ට හා ඉහල මධ්‍යම පන්තික ස්ථරයන්ට පරම වශයෙන් සීමා කරන වරප‍්‍රසාදයක් බවට පත්වෙමින් තිබේ. අධ්‍යාපනය ලබාගැනීමට උත්සාහ දරන්නාවූ අඩු වරප්‍රසාදිත පවුල් වටපිටාවකින් පැමිනි ශිෂ්‍යයන් උපරිම ශ්‍රමයක් වැගුරුව ද එය යන්තම් දිවි ගැට ගසා ගැනීමට පමනක් ප්‍රමානවත් වන තතු යටතේ පවා ඔවුන් නය බරට යටත් කරනු ලබන අතර එම නය ගෙවා නිම කිරීමට දශක ගනනාවක දී වුවද නො හැකි වනු ඇත.

6. තරුන ජනයා මුහුන දෙන අඳුරු ආර්ථික බලාපොරොත්තු පෙර නොදුටුවිරූ මහජන අධ්‍යාපන කප්පාදු මගින් තීව්‍ර කර තිබේ. පසුගිය මාස 14 ඇතුලත පමනක් ඇමරිකාවේ ප්‍රාදේශීය රාජ්‍ය අධ්‍යාපන කාර්ය මන්ඩල සේවකයන් 70,000 ගේ සේවය අත්හිටුවනු ලැබ ඇත. ප්‍රාන්ත රාජ්‍යයන් හා නාගරික පරිපාලනයන් ක්‍රියාවට නඟන කේ -12 අයවැය කප්පාදුව යටතේ පාසල් වසා දැමීම, පන්තියක ප්‍රමානය වැඩිකිරීම හා යහපත් අධ්‍යාපනයක මූලිකාංග මුලිනුපුටා දැමීම සිදුවේ. වසරින් වසර, පන්ති ගාස්තු වැඩි කිරීමට පාසල් වෙත බල කෙරෙන අතර ද්වීතීයක අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල් කප්පාදු කෙරෙමින් තිබේ.

7. ඉහල යන පන්ති ගාස්තු තරුනයින් මතට එන්ට එන්ටම වැඩි වන නය කන්දරාවක් පටවා තිබේ. වාහන නය හා ක්‍රෙඩිට් කාඩ් නය පත් යන දෙකෙහිම වූ නය ප්‍රමානය ඉක්මවා යමින් එක්සත් ජනපදය තුල ශිෂ්‍ය නය සමස්තය ඩොලර් ට්‍රිලියන 1 කටත් වඩා වැඩිවී තිබේ. 2006 දී ඩොලර් 19,646ක් වූ සාමාන්‍ය ශිෂ්‍ය නය ප්‍රමානය, 2010 වනවිට ඩොලර් 25,250 දක්වා, එනම්, සියයට 29කින් ඉහල ගොස් තිබේ. 2000 වසරේ සිට වයස 23 සිට 29 දක්වා පාඨශාලාවලින් පිටවූවන්ගේ පැයක ආදායම සියට 6 කටකත් වඩා පහල බැස තිබේ. මින් අදහස් වනුයේ තරුනයින් දස දහස් ගනන් සිය ශිෂ්‍ය නය කිසිදාක ආපසු ගෙවාගත නො හැකි වීමේ තත්ත්වයකට මුහුන දෙන බවයි.

8. තරුනයින් දේශපාලන අරගලයට ඇදී ඒම මෙන්ම තරුන පරම්පරාවේ දරිද්‍රතාවය ද ගෝලීය ප්‍රපංචයකි. කැනඩාවේ, බ්‍රිතාන්‍යයේ, මෙක්සිකෝවේ, චිලියේ හා එක්සත් ජනපදයේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගැනීමට සමූහ විරෝධතා ඇතුලුව සැලකිය යුතු සමාජ ව්‍යාපාර තරුන ජනතාව අතර මතුවී තිබේ. විරැකියාවෙන් පෙලෙන තරුන කම්කරුවන් සහ උසස් අධ්‍යාපනය නිමකලවුන් විප්ලවවාදී නැගිටීමක් සඳහා සමාජ පදනමක් වන බව නිලධාරීන් ගනනාවක්ම පවසා ඇත.

9. ආර්ථික විනාශයට අමතරව තරුන පම්පරාවල ලෝකය බෙදා ගැනීමට අධිරාජ්‍යවාදී බලයන්ගේ ධාවනය තුල උන්ඩ බවට පත්වීමට බලකෙරෙනු හෝ මෙම තරගකාරී යුද්ධවල මූලික ඉලක්ක බවට පත්වනු ඇති නිමක් නැති අනාගත යුද්ධයකට මුහුනපායි. එක්සත් ජනපදය ලෝකයේ සෑම ප්‍රදේශයක ම නිමක් නැති යුද්ධයක් කරගෙන යද්දී මිලිටරි සහ දේශපාලන නිලධාරීන් අනිවාර්ය යුද සේවයේ අවශ්‍යතාව නැවත වතාවක් අවධාරනය කරමින් සිටී.

10. එක්සත් ජනපදය තුල දේශපාලන සංස්ථාපිතයේ කිසිදු පාර්ශවයක් ඉදිරි මාවතක් සම්පාදනය නො කරති. 2008 දී ඔබාමා විශේෂිතව ම "වෙනසක්" යන සටන් පාඨය මත තරුන ජනතාවට ආයාචනා කලේය. කෙසේ වුවද, පසුගිය වසර තුනහමාර ප්‍රදර්ශනය කොට ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයට නො දෙවෙනි ලෙස ඩිමොක්‍රටික් පක්ෂය ද සංගත සහ මූල්‍ය ප්‍රභූවේ උපකරනයක් බව පමනි. තරුන පරම්පරාවේ විප්ලවවාදී විභවය උපයෝගී කොට ගත හැක්කේ සමස්තයක් ලෙස කම්කරු පන්තිය දෙසට හැරීමෙන් පමනි. ශිෂ්‍යයන් සහ තරුනයන් ලෝක ආර්ථිකයේ සමාජවාදී පරිවර්තනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා කම්කරුවන්ගේ ආන්ඩු ස්ථාපනය කිරීම පිනිස සටන් කරන කම්කරු පන්තියේ ස්වාධීන අවශ්‍යතා සාක්ෂාත් කරන දේශපාලන වැඩපිලිවෙලකින් සන්නද්ධ විය යුතුය. විශ්වවිද්‍යාල මට්ටම දක්වා නොමිලේ සපයන මහජන අධ්‍යාපනය , ශිෂ්‍ය නය අහෝසි කිරීම හා තරුන ජනතාව සඳහා ශිෂ්ඨ සම්පන්න වැටුප් සහිත රැකියා සහතික කිරීම කල හැකි වනුයේ සමාජයේ සම්පූර්න ප්‍රතිසංවිධානයකින් පමනි.

11. සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) අවධාරනය කරනුයේ කම්කරු පන්තිය සමාජයේ මූලික විප්ලවවාදී බලවේගය වන බවයි. කම්කරු පන්තිය සහ කම්කරු පන්තික තරුනයන් වෙත දිශාවනතියක් යන්නෙන් අදහස් වනුයේ විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුල පලල්ව පැතිරුන සහ ඊනියා වාම දේශපාලනය තුල ආධිපත්‍යය දරන ප්‍රතිගාමී, ආත්මීය විඤ්ඤානවාදී සහ අතාර්කික දේශපාලන දර්ශනයන්ට එරෙහි නිර්දය අරගලයකි. ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පශ්චාත් නූතනවාදයේ විවිධ කොටස්, නව අරාජකවාදය සහ අනන්‍යතා දේශපාලනය සමග සම්බන්ධිත න්‍යායික ප්‍රවනතා සියල්ල මාක්ස්වාදය සහ කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කිරීම මත පදනම්වී ගනිති. සසජාතශි ව්‍යාපාරය ගොඩනැගීම මාක්ස්වාදය සඳහා සහ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ සම්පූර්න විප්ලවවාදී උරුමය ආත්මසාත්කරනය කරගැනීමේ අරගලයක් ඉල්ලා සිටී. මෙම අරගලය හරහා සසජාතශි, සමාජවාදය සඳහා අරගලයේ කම්කරු පන්තික දෘෂ්ටි ආස්ථානය උපුටා ගන්නා කම්කරු පන්තික තරුනයන් හා මධ්‍යම පන්තික දියුනු කොටස් සිය ධජය යටතට දිනාගනු ඇත.

12. කම්කරු පන්තිය වෙතට තරුනයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ හැරීම සමාජවාදී විඥානය සඳහා වූ ක්‍රමානුකූල අරගලයක් හරහා පමනක් සාක්ෂාත් කර ගත හැක. තරුන පරම්පරාව පන්ති අරගලයේ දශක ගනනාවක් දිග ඇදුනු මර්දනයක් මධ්‍යයේ හැදී වැඩී ඇත. මින් කියනුයේ සියල්ලටමත් වඩා හදිසි කරුන නම් විසිවන සියවසේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික අරගලයන්ගේ පාඩම් හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අත්දැකීම් උකහා ගැනීමෙන් සහ සියල්ලටමත් වඩා රුසියානු විප්ලවයේ වැදගත්කම හා ස්ටැලින්වාදයේ ස්වභාවය උකහා ගැනීමට මෙම පරම්පරාව උගන්වා ගැනීම යි. මාක්ස්වාදයේ හා හතරවන ජාත්‍යන්තරයේ න්‍යායික උරුමයන් නව තරුන පරම්පරාවක් වෙතට ගෙන යා යුතුය.

13. සමාජවාදී සමානතා පක්ෂයේ මෙම සමුලුව තරුන ජනතාව අතර මෙම ඉදිරි දර්ශනය සඳහා සටන් කිරීම පිනිස සමාජවාදී සමානතා පක්ෂයේ හා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය ගොඩනැගීමට කැඳවුම් කර සිටියි.

Share this article: