ශ්‍රී ලංකාව-එක්සත් ජනපදයේ සසප ජනාධිපති අපේක්ෂක කෑගල්ලේ දී රැස්වීමක් අමතයි

Sri Lanka: US SEP presidential candidate speaks in Kegalla

By our correspondents, 31 August 2012

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂ‍යෙහි ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් අගෝස්තු 28දා මෙරට එහි සහෝදර පක්ෂය වන සසප සංවිධානය කල දෙවැනි සාර්ථක රැස්වීම ඇමතී ය. කෑගල්ලේ හේෂානි හෝටලයේ ශාලාවේ දී පැවති මෙම රැස්වීමට කම්කරුවෝ, තරුනයෝ හා වෘත්තිකයෝ සහභාගීවී සිටියහ.

ආනන්ද දවුලගල

සැප්තැම්බර් 08දා පැවත්වෙන සබරගමු පලාත් සභා මැතිවරනයේ දී කෑගලු දිස්ත්‍රික්කයට තරඟ වදින සසප අපේක්ෂක ලැයිස්තුවේ පෙරමුන ගන්නා සසප දේශපාලන කමිටු සභික ආනන්ද දවුලගල රැස්වීමේ මුලසුන ගත්තේ ය. වයිට්ගේ සංචාරය එක්සත් ජනපදය හා ජාත්‍යන්තරය තුල කම්කරු පන්තියේ එක්සත්කම සඳහා සටන් වදින එම පක්ෂයේ ඉදිරිදර්ශනය තුලින් ගලා එන බව රැස්වීම අමතමින් ඔහු පැවසී ය. “මෙය යි සසපයේ හා අපගේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය” ඔහු පැවසී ය.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුල “සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා කල සටනේ පො‍ෙහාසත් ඉතිහාසය” හා එම අරගලයේ වැදගත් දේශපාලන පාඩම් පෙන්වා දෙමින් වයිට් ඔහුගේ කතාව ඇරඹී ය.

2008දී ජනාධිපති බරක් ඔබාමා පත්කර ගැනීමත් සමග ඇමරිකානු අධිරාජ්‍යවාදයට නව “බහුසංස්කෘතික” මුහුනක් දී තිබුන අතර දැන් ඔවුන් ලිබියාවේ හා සිරියාවේ “මානව හිමිකම්” යන නාමය යටතේ යුද්ධයන්හි යෙදී සිටින්නේ යයි ඔහු සඳහන් කලේ ය. එහෙත් එහි අරමුන එකක්මය: ලෝකයේ සෑම කලාපයකම මිලිටරි හා ආර්ථික ආධිපත්‍යය තහවුරු කර ගැනීම යි. එය නව ලෝක යුද්ධයක අනතුර ගෙන එයි.

“යටත් විජිත ප්‍රතිරාජයන්ගේ සියලු ම අහංකාරකම් සහිතව ඔබාමා හා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, ඉන්දියානු හා ශාන්තිකර සාගර ප්‍රධාන කොටම ඇමරිකානු මුහුදු කලාප බව පවසන්නේ ” යයි වයිට් කියා සිටියේ ය. “යුදමය වශයෙන් වටකිරීමේ හා අවසානයේ දී චීනයට එරෙහිව විනාශකාරී යුද්ධයක් දියත් කිරීමේ එක්සත් ජනපද තල්ලුව තුලට ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බොහෝ ආසියාතික රටවල් ඇද ගෙන එමින් සිටී ” යයි ඔහු පැවසී ය.

ඇමරිකානු අධිරජ්‍යවාදය බලගතු වුවත් පාලක පන්තිය අනභිභවනීය නොවේ යයි වයිට් පැහදිලි කලේ ය. එක්සත් ජනපදයේ කාර්මික හා ආර්ථික ආධිපත්‍යයේ දශක ගනනාවක් දීර්ග බිඳවැටීම, ආර්ථික පරපුටුභාවයේ නැගීම හා සමාජ අසමානතාවයේ අතිවිශාල වර්ධනය කෙරෙහි ඔහු අවධානය යොමු කලේ ය. මෙය එක්සත් ජනපදය තුල පන්ති අරගලයේ පිපිරීමට පදනම සකස්කරමින් පවතී යයි ඔහු කීවේ ය.

ජෙරී වයිට් සභාව අමතමින්

මෙම තත්වයන් ධනවාදය අපකීර්තියට පත්කරමින් සමාජ විඥානයේ අතිමූලික වෙනසක් නිර්මානය කිරීමට තුඩුදී ඇතැයි ඔහු පැවසී ය. චීනයේ හා මෙක්සිකෝවේ කරන නිෂ්පාදන “රට තුලම” නිෂ්පාදනය කිරීමට සමාගම් පෙලඹවීම සඳහා යොමුවී ඇති ඔබාමාගේ වැටුප් කප්පාදු මූලෝපායට සම්පූර්න සහාය දෙමින් සිටින ජාතිකවාදී හා ව්‍යාපාර ගැති වෘත්තීය සමිතිවලට එරෙහිව, කම්කරුවන්ගේ වැඩෙන බලවත් විරෝධය ප්‍රකාශ කෙරෙන මිචිගන් මෝටර් රථ කම්කරුවන්ගේ අරගලය ඇතුලු අරගල මාලාවක් ගැන ඔහු සඳහන් කලේ ය.

මෙරට කම්කරුවන් මුනගැසීමට ප්‍රදේශයේ රබර් වතුයායකට ඔහු කල සංචාරය ගැන සඳහන් කරමින් කම්කරුවන්ගේ පීඩාකාර ජීවන තත්වයන් හා දැවන්ත කෝපය - තාක්ෂනයේ අතිශය වැදගත් ප්‍රගමනය නොතකා ඔවුන්ගේ සමාජය ආපස්සට ගමන් කරමින් පවතින්නේය යන කාරනය පිලිබඳව විශේෂයෙන් ම තරුනයන් අතර පැන නැඟී තිබෙන කෝපය- තමාට තදින් දැනුනු බව වයිට් පැවසී ය.

“තත්වයන් එක්සත් ජනපදයට වඩා බොහෝ වෙනස් බව පෙනියා හැකිය. එහෙත් මෙහි කම්කරුවන් හා තරුනයන් ප්‍රකාශ කල හැඟීම් එක්සත් ජනපදයේ කම්කරුවන්ගේ හා තරුනයන්ගේ හැඟීම් හා සමාන බව වයිට් පැවසුවේ, ජනතාව‍ගේ පැරනි දේශපාලන පක්ෂ ඔවුන් වෙනුවෙන් කතා නොකරන බව ද පවසමිනි. එක් වැවිලි කම්කරුවෙකු ඔහුගේ හිඟන පඩි පතින් අඩුකල වෘත්තීය සමිති සාමාජික මුදල පෙන්වමින් වෘත්තීය සමිතිය කමකට නැතැ යි කී බව ඔහු සඳහන් කලේ ය. මෙය සර්ව ලෝක මනෝභාවයකි.

එක්සත් ජනපදය තුල සසප උද්ඝෝෂනය මගින්, වාර්ගික හා අනන්‍යතා දේශපාලනය මත පදනම් ව කම්කරුවන් ඔබාමා හා ඩිමොක්‍රටික් පක්ෂයට ගැට ගැසීමට උත්සාහ කරන නොයෙකුත් ව්‍යාජ වාම කන්ඩායම් හෙලිදරව් කෙරෙමින් තිබෙන බව වයිට් පැවසී ය. මෙම කන්ඩායම් “මානව අයිතීන්ගේ” නාමයෙන් ප්‍රතිගාමී වෘත්තීය සමිතිවල ආධිපත්‍යය ආරක්ෂා කරන අතර අධිරාජ්‍යවාදයට සහාය දෙති. ඔවුන් කතා කරන්නේ කම්කරු පන්තිය වෙනුවෙන් නො ව අධිරාජ්‍යවාදය වෙතට හැරී ඇති ඉහල මධ්‍යම පන්තිය වෙනුවෙනි.

සභාවෙන් කොටසක්

යුද්ධයට, කප්පාදුවලට හා දරිද්‍රතාවයට එක ම විකල්පය ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තියේ එක්සත් අරගලය බව පවසමින් “ ඒ සඳහා යි එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව තුල ද ජාත්‍යන්තරව ද අපගේ පක්ෂය සටන් වදින්නේ.” ඔහු කතාව අවසන් කලේ ය.

ඔහුගේ කතාව ප්‍රශ්නෝත්තර සැසියේ දී වැදගත් හා සජීව සාකච්ඡාවකට මුල පිරී ය. එක්සත් ජනපද හා ශ්‍රී ලාංකික කම්කරුවන් එකිනෙකාට වෙනස් බවත් ශ්‍රී ලාංකික කම්කරුවන් “අවම අවශ්‍යතාවන්ගෙන්” සතුටට පත්වන බවත් එක් ශ්‍රාවකයෙක් ප්‍රකාශ කලේ ය. “සංස්කෘතික වෙනස්කම්” සඳහන් කරමින් ඔහු තර්ක කලේ දෙරටේ කම්කරුවන්ගේ තත්වයන් සැසඳිය නොහැකි බව යි. දෙරටෙහි කම්කරුවන් එක්සත් කල හැක්කේ කෙසේ දැ යි ඔහු විමසී ය.

එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව යන දෙරට ම ලෝක ධනවාදී පද්ධතියේ කොටස් බව වයිට් පෙන්වා දුන්නේ ය. “දියුනු ධනේශ්වර රටවල වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන්ගේ ඇදවැටීමත් සමග මහජනතාවගේ තත්වයන් වැඩි වැඩියෙන් සමාන වෙමින් තිබේ.” තම පවුල පෝෂනය කිරීමට, ලමයින්ට උගන්වා ගැනීමට හා යහපත් නිවසක් ලැබීමට අවශ්‍ය ශ්‍රී ලංකාවේ කම්කරුවෙකු හා ඇමරිකාවේ කම්කරුවෙකු අතර මූලික වෙනසක් නැත.

“අවම කොන්දේසි” සමග ශ්‍රී ලංකාවේ කම්කරුවන් ජීවත් විය යුතු ය යන තර්ක‍ෙය් “ප්‍රතිගාමී ” ස්වභාවය වයිට් පෙන්වා දුන්නේය. “ශ්‍රී ලංකාවේ, දකුනු අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ දරුනු දරිද්‍රතාව සංස්කෘතික ප්‍රශ්නයක් නොවේ. එය බහුජාතික සංගතයන්ගේ පරිපීඩනයේ හා ආර්ථික පැවත්මේ අතාර්කික සංවිධානයෙහි ප්‍රතිපලයකි. ආසියාව තුල ජනතාව දරිද්‍රතාවයේ ජීවත් වන තාක් දුරට යුරෝපයේ හා ඇමරිකාවේ කම්කරුවන්ගේ ජීවන තත්වයන් ද ආරක්ෂිත නො වේ” යයි ඔහු පැවසුවේ ය.

විසිඑක්වෙනි සියවසේ මානව වර්ගයා පරිගනක හා රොබෝ තාක්ෂනය වර්ධනය කරන ආකාරයට, පෘතුවියේ සෑම මනුෂ්‍යයෙකුගේ ම ජීවිතයේ සංස්කෘතිමය හා භෞතික තත්වයන් වර්ධනය කල නොහැක්කේ මන්දැ යි වයිට් විමසුවේ ය.

ආගමේ ආධිපත්‍යය හා භෞතිකවාදයේ ඊනියා අසාර්ථකත්වය පිලිබඳ ප්‍රශ්නයකට ප්‍රතිචාර ලෙස වයිට් මෙසේ පැවසීය : “මාක්ස්වාදය අසාර්ථක වී නැත. අපේ පක්ෂයේ භෞතිකවාදී විධික්‍රමය ඉතිහාසයේ, සමාජයේ හා චින්තනයේ වර්ධනය පිලිබඳ විද්‍යාත්මක අවබෝධය මත පදනම් වේ.”

“මිනිසා තවමත් සිය ජීවිතයේ කොන්දේසි පාලනය නොකර යි යන කාරනය සමග ආගමික සංකල්ප හා මිත්‍යා විශ්වාසයන්ගේ ප්‍රවර්තනය බැඳී පවතී... මේ දක්වා ජන සමූහයන්ට අභිමුඛ වී ඇත්තේ තමන්ගේ පාලනයට යටත් නැති සමාජ පද්ධතියකි. එවන් තත්වයන් තුල විරැකියාවට, දරිද්‍රතාවට හා යුද්ධයට නොකඩවා මුහුන දෙන විට මරනයෙන් පසු හොඳ ජීවිතයක් පිලිබඳ ආගමික සංකල්ප මුල් තැනට පැමිනෙයි. මෙම ජීවිතය යහපත් කිරීමට හා මූලික වශයෙන් එහි කොන්දේසි වෙනස් කිරීමට කම්කරු පන්තිය සමත් වන විට පමනක් ආගම සම්පූර්නයෙන් ම අතුරුදහන් වේ” යයි ඔහු තවදුරටත් පැවසී ය.

රටෙහි දිග්ගැස්සුන සිවිල් යුද්ධය ඇතුලු ප්‍රශ්න ගනනාවක් ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයට සම්බන්ධ වී තිබේ. ඒවාට පිලිතුරු සැපයීමට වයිට් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්ට ඇරයුම් කලේ ය. ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය ඇතුලු සියලු ම රටවල සමාජවාදී සමානතා පක්ෂ එක ම ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක් හා ඉදිරිදර්ශනයක් මත පදනම්ව සටන් වදින බව ඩයස් පැහදිලි කලේ ය. ඔහු දෙමල විරෝධී වාර්ගික යුද්ධයේ දී සසප හා එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය විසින් ගෙනයන ලද සප්‍රතිපත්තික හා නිර්භීත අරගලයේ සමහර පාඩම් යලි සිහිපත් කලේ ය.

සභාවේ ප්‍රේක්ෂකයෙක් ප්‍රශ්නයක් නගමින්

එක් අයෙක් සිංහල අන්තවාදී ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) බිඳී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ගැන විමසුවේ ය. ජවිපෙ සුලු-ධනේශ්වර ජාතිකවාදී දේශපාලනය ග්‍රාමීය තරුනයන් විනාශයක් කරා මෙහෙයවා ඇතැ යි ඩයස් පැවසී ය. ජවිපෙ උද්‍යෝගීමත් ලෙස වර්ගවාදී යුද්ධයට සහාය දුන් අතර ඊනියා “ස්වයං විවේචනය” නොතකා පෙසප එහි ප්‍රතිගාමී ප්‍රතිපත්ති දිගට ම ආරක්ෂා කර යි. එය “කිසිදු පැහදිලි ප්‍රතිපත්තියක් ” මත පිහිටා නැතිවාක් මෙන් ම තමන්ගේ ම ඉතිහාසය බැරෑරුම් ලෙස සාකච්ඡා කර නැති තත්වය තුල “කල යුත්තේ කුමක් ද?” යන මාතෘකාව යටතේ මෑතකදී ඔවුන් පැවැත්වූ රැස්වීම් මුලුමනින්ම ප්‍රෝඩාකාරී යයි ඔහු පැවසී ය.

“ඔබ මෙම කාරනය (කල යුත්තේ කුමක් ද) ගැඹුරින් විශ්ලේෂනය කල යුතු යි. එසේම, තමන්ගේ ම අරගලයේ හා එහි ප්‍රතිපත්තීන්ගේ ඉතිහාසය බැරෑරුම් ව හදාරන පක්ෂයකට එකතුවන්න” යයි ඩයස් කියා සිටියේ ය. සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නම් සසප ඉදිරිදර්ශන ලියවිල්ල හදාරන ලෙස ඔහු සහභාගීවූවන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය රැස්වීමට සහභාගී වූ කම්කරුවන් හා තරුනයන් කීපදෙනෙකුට කතා කලේ ය.

අඹන්පිටිය රබර් වතුයායෙන් පැමිනි තරුනයෙක් මෙසේ පැවසුවේ ය: “ජෙරී වයිට්ගේ කතාවෙන් අපි බෙහෙවින් දිරිමත් වුනා. ඇමරිකාවේ තත්වය ගැන අපිට පුදුම යි. උදාහරනයක් හැටියට, මිලියන 20ක් මිනිස්සු අන්ත දුප්පත්කමේ ඉන්නකොට මිනිස්සු 58,000ක් ඇමරිකාවේ ධනයෙන් සියයට 50ක් පාලනය කරනවා කියලා ඔහු කිව්වා. මේ අපි ඒ ගැන ඇහුව පලවෙනි වතාවයි. ජවිපෙත් සමාජවාදය ගැන කතා කරනවා, ඒත් ඒ සමාජවාදයේ අනෙක් පැත්ත. දෙමල ජනතාවට විරුද්ධව ආන්ඩුවේ යුද්ධය සඳහා ඒ අය සහාය දුන්නා. කම්කරුවන්ගේ ජාත්‍යන්තර එක්සත්කමක් අවශ්‍ය බව අපට තේරෙනවා.”

තැපල් කම්කරුවෙකු වන සෙනෙවිරත්න අදහස් දැක්වූයේ මෙසේ ය: “ සමාජ සමානතාවය හා ජාත්‍යන්තරවාදයේ ප්‍රතිපත්ති සමග මම එකඟයි. වයිට්ගේ සංචාරය අපගේ සිත්තුල විශාල බලපෑමක් ඇති කලා. ඔහුගේ කතාව අහන්න ඉස්සෙල්ලා සමාජවාදී යයි කියාගන්නා සංවිධානවලට එකට එකතු වෙන්න බැරි ඇයි කියලා මම මවිතයෙනුයි හිටියේ. සමජවාදී කියන සංවිධානයක් නම් ජාත්‍යන්තරවාදය උඩ පදනම් වෙන්න ඕනෑ කියලා දැන් මට තේරෙනවා.”

රැකියා විරහිත උපාධිධාරියෙකු වන කුමාර මෙසේ පැවසී ය: “විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සහාය දෙන්ට ශිෂ්‍යයන්, වෘත්තීය සමිති හා වමේ පක්ෂ එකතු වුනාම මම හිතුවා ඒක ඉදිරි පියවරක් කියලා. කොහොම උනත්, වයිට් පෙන්වාදුන්න විධියට ඒ සියලු දෙනා සටන් කරන්නේ ධනපති ක්‍රමය ඇතුලේ විකල්පයකට. සමාජවාදය මගින් ධනවාදය වෙනස් නොකර අපට නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගත නොහැකි බව වයිට් පැහැදිලි කලා. මෙම සංවිධාන තවමත් වැඩ කරන්නේ එවැනි ක්‍රියාමාර්ගයක‍ට එරෙහිවයි. මෙම කාරනා තවදුරටත් සාකච්ඡා කරන්න මම කැමති යි.”

“භෞතිකවාදය ගැන මම අහපු ප්‍රශ්නවලට වයිට් දුන්න පිලිතුරුවලින් මම සෑහීමට පත්වුනා. මිනිසුන්ගේ සමාජවාදී විඥානය වර්ධනය කිරීමට සටන් නොකර ආගමික පසුගාමිත්වයට එරෙහිව අපට ආධිපත්‍යයක් ගොඩනගන්න බැරි බව මට තේරෙනවා” යයි විශ්‍රාමික ගුරුවරයෙකු වන කුලතුංග පැවසී ය.

Share this article: