ගී‍්‍රසිය තුල බැංකුකරුවන්ගේ ආඥාදායකත්වය

The bankers’ dictatorship in Greece

8 September 2012

මූල්‍ය ප‍්‍රභූ පැලැන්තිය ගී‍්‍රසිය තුල ඉල්ලා සිටින්නේ, විසිවන සියවසේ දී කම්කරු පන්තිය විසින් දිනාගන්නා ලද සියලු ජයග‍්‍රහන මත අතිමූලික ප‍්‍රහාරයක් එල්ල කල යුතු බවයි.

ඊනියා තුන් කට්ටුව -- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා කොමිෂම සහ යුරෝපා මහ බැංකුව -- විසින් ගී‍්‍රක කම්කරු අමාත්‍යංශය වෙත මේ සතියේ දී යවන ලද ලිපියකින් හෙලිදරව් වූ විස්තර, යුරෝපා කම්කරු පන්තිය සන්ධිස්ථානයක සිටින බව පැහැදිලි කරයි. මූල්‍ය ප‍්‍රභූ පැලැන්තිය ඉල්ලා සිටින්නේ, විසිවන සියවසේ දී කම්කරු පන්තිය විසින් දිනාගන්නා ලද සියලූ ජයග‍්‍රහන මත අතිමූලික ප‍්‍රහාරයක් එල්ල කල යුතු බවයි.

පැය අටක වැඩ දිනයක් සඳහා වු ප‍්‍රථම අරගලවලින් වසර 150කට පමන ද පලමු වතාවට දින පහේ වැඩ සතිය හඳුන්වාදීමෙන් සියවසකට ද පසුව, තුන් කට්ටුව ඉල්ලා සිටින්නේ ගී‍්‍රසියේ කම්කරුවන් යන්තම් සිය දිවි රැකගැනීමට ප‍්‍රමානවත් වැටුපකට හෝ ඊටත් වඩා අඩු වැටුපකට සතියට දින 6ක් හෝ 7ක් වැඩ කල යුතු බවයි. මෙම අරමුන ඇතිව තුන් කට්ටුව කියා සිටින්නේ ගී‍්‍රසියේ දැනටමත් සොච්චම් මට්ටමේ පවතින අවම වැටුප (මසකට යුරෝ 586 නැතහොත් එ.ජ. ඩොලර් 736) තව දුරටත් කප්පාදු කොට කම්කරුවන් දොට්ට දැමීම පිනිස හාම්පුතුන්ට නව බලතල දිය යුතු බවයි.

තුන් කට්ටුවේ ලිපිය නරුම ලෙස ඇඟවුම් කරන්නේ සිය පිලිවෙත් මහජන විරැකියාවට එරෙහිව එල්ල කෙරෙන බවයි. තථ්‍ය වසයෙන් ගත් කල, ගී‍්‍රසියේ වත්මන් වාර්තාගත සියයට 30ක විරැකියා මට්ටම, තුන් කට්ටුව විසින් පනවන ලද ගී‍්‍රක ආර්ථිකය විනාශ කර ඇති කප්පාදු පිලිවෙත්වල සෘජු ප‍්‍රතිඵලයකි. කෙසේවෙතත්, තුන් කට්ටුවේ ප‍්‍රකාශ මගින් පැහැදිලි වන්නේ, ධනපති පන්තිය කම්කරුවන් යලි සේවයට බඳවා ගැනීමක් භාර ගනු ඇත්තේ නියම වහල් ශ‍්‍රම කොන්දේසි යටතේ පමනක් බවයි.

තුන් කට්ටුවේ ලිපිය ප‍්‍රසිද්ධ වීමට යාන්තම් පෙරාතුව, යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති මාටින් ස්චල්ස්, ගී‍්‍රසිය තුල විශේෂ ආර්ථික කලාප පිහිටුවන ලෙස ඉල්ලා සිටියේය. දුප්පත් ආසියානු හෝ අපි‍්‍රකානු රටවල පවතින ලාභ ශ‍්‍රම කම්හල් ආදර්ශයට ගෙන පිහිටුවන එවන් කලාප, කම්කරුවන් ඇට පොත්තටම සූරාකනු පිනිස සමාගම්වලට බදුවලින් නිදහස් පාරාදීස සම්පාදනය කරනු ඇත. ගී‍්‍රසිය තුල ඒවා කි‍්‍රයාවට දැමීමෙන් පසුව ඊට සමාන කලාප මහාද්වීපය පුරා පිහිටුවිය හැකි වන පරිදි, එවන් කලාප "යුරෝපා වර්ධන ඒජන්සියක්” මගින් පරිපාලනය කෙරෙනු ඇතැයි ස්චල්ස් ප‍්‍රකාශ කලේය.

ජර්මනියේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සාමාජිකයකු වන ස්චල්ස් මේ වසර ආරම්භයේ දී යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ලෙස පත් කරගැනීම, වෘත්තීය සමිති කව තුල උද්‍යෝගිමත් පිලිගැනීමට ලක් විය. ආර්ථික වර්ධනය ගැන ඔහු කරන අවධාරනය යුරෝපා දේශපාලනය තුල වමට හැරීමක් යයි ඔවුහු තර්ක කලහ.

මැයි මාසයේ දී, ස්චල්ස්, සමාජවාදී පක්ෂයේ නායක ප‍්‍රන්ශුවා හොලන්දේ නව ප‍්‍රන්ස ජනාධිපති ලෙස තේරී පත්වීම සාදරයෙන් පිලිගත්තේය. ගී‍්‍රක සිරිසා සභාගයේ නායක ඇලෙක්සිස් ට්සිප්රාස් සමග ඔවුන් ද වෘත්තීය සමිති සහ සුලු ධනේශ්වර "වාම” පක්ෂ විසින් හුවා දක්වන ලද්දේ, යුරෝපා සංගමය හා බර්ලිනය විසින් පනවනු ලැබෙන කප්පාදු පිලිවෙත්වලට විරුද්ධ වනු ඇති යුරෝපයේ ආර්ථික වර්ධනය සඳහා වන බලවේගයක් ලෙසය.

යන්තම් මාස කිහිපයක් ඇවෑමෙන්, මෙම කියාපෑම් බේගල් ලෙස එලිදරව් වී තිබේ. පසුගිය සතිවල දී, ගී‍්‍රසිය තුල නව රුදුරු කප්පාදු පිලිවෙත් සඳහා සහයෝගය දෙනු පිනිස ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කල් සමග හොලන්දේ එක පෙරමුනකට පැමිනියේ, ප‍්‍රන්සය තුල එම න්‍යාය පත‍්‍රයම ඉදිරිපත් කිරීමක් වෙලඳ පොලවල් තමාගෙන් බලාපොරොත්තු වන බව හොදින් හා මුලුමනින්ම දැනුවත්වය.

ධනවාදයේ ආරම්භක අවධියේ ඉතිහාසඥයන් විසින් විස්තර කෙරුනු දුෂ්ට ලක්ෂන සියල්ල, 21 වන සියවසේ දෙවන දශකයේ දී, යුරෝපය තුල යලි හිස ඔසවමින් ඇත. මේ වසර මුල දී ල මොන්ඬේ පත‍්‍රය ඉතාලියේ ලමා ශ‍්‍රමය පිලිබඳව වාර්තා කලේය. එරට දස දහස් සංඛ්‍යාත ලමයි දැන් සිය දෙමව්පියන්ට සහයෝගය දෙනු පිනිස රැකියා සොයමින් පාසල් හැර යති. පුවත්පත නේපල්ස් නියෝජ්‍ය නගරාධිපති උපුටා දැක්වීය "සත්තකින් ම, අපි තමයි ඉතාලියේ දුප්පත්ම කලාපය. ඒත් දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් පස්සෙ මේ වෙනකන් මේ වගේ තත්වයක් අපි දැකලා නැහැ. . . . අවුරුදු 10දි මේ දරුවො දැනටමත් දවසකට පැය 12ක් වැඩ කරනව.”

ජර්මනියේ ශ‍්‍රම බලකායෙන් හතරෙන් පංගුවකට ආසන්න ප‍්‍රමානයක් ලාභ ශ‍්‍රම අංශය තුල සේවය කරන අතර මිලියන ගනනකට සමාජ සුභසාධන දීමනා මත යැපීමට සිදුව ඇත. ස්ථිර ආහාර සලාක මත යැපෙන ජර්මානුවන් සංඛ්‍යාව 2011 දී මිලියන 1.5 දක්වා 300,000කින් ඉහල ගොස් ඇති බව මෑත වාර්තාවකින් එලිදරව් වේ.

මූල්‍ය ප‍්‍රභූව විසින් ඉල්ලා සිටිනු ලැබ යුරෝපා සංගමය හා ජාතික ආන්ඩු විසින් කි‍්‍රයාවට දමනු ලැබෙන කප්පාදු පිලිවෙත්වල ප‍්‍රතිවිපාකය මහජන දරිද්‍රතාවයි. යුරෝපයට "දරිද්‍රතාව යලි පැමිනීම” නිසා තම සමාගම සිය අලෙවි මූලෝපාය යලි සලකා බැලීමකට ලක් කරන බව යුනීලීවර් සමාගමේ යුරෝපා මෙහෙයුම් ප‍්‍රධානි ජෑන් සිජ්ඩර්වෙල්ඞ්, පසුගිය මාසයේ දී ප‍්‍රකාශ කලේය. යුනීලීවර් සමාගම, ඉන්දුනීසියාව තුල සිය මෙහෙයුම්වලට සමාන වන පරිදි, ස්පාඤ්ඤයේ අඩු ආදායම් ලබන පාරිභෝගිකයන්ට අලෙවි කරනු පිනිස ප‍්‍රමානයෙන් කුඩා නිපැයුම් නිෂ්පාදනය කිරීමේ දැනටමත් යෙදී සිටී. සිජ්ඩර්වෙල්ඞ්ට අනුව, ඉන්දුනීසියාවේ දී, "අපි ශත 2 සිට 3 දක්වා මිලකට තනි ෂැම්පු පැකට් අලෙවි කරමින් මැනවින් මුදල් උපයමු.”

සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය බිඳ විසුරුවීමෙන් පසුව, ධනවාදයේ ප‍්‍රචාරකවාදීන් තර්ක කලේ, නිදහස් වෙලඳ පොලේ ප‍්‍රතිලාභ පැරනි විජිත රටවල කම්කරුවන්ගේ ජීවන තත්වයන් බටහිර කම්කරුවන්ගේ මට්ටමට ඉහල දමනු ඇති බවයි. තථ්‍ය වසයෙන් ගත් කල, කි‍්‍රයාදාමය හරියටම ප‍්‍රතිවිරුද්ධ දිශාවට සිදු වෙමින් ඇත. මාක්ස් විසින් විස්තර කෙරුනා වූ ද ඔහුගේ සුලු ධනේශ්වර විවේචකයන් විසින් ෆැන්ටසියක් ලෙස දිගු කලක් තිස්සේ උපහාසයට ලක් කෙරුනා වූ ද, කම්කරු පන්තිය දරිද්‍රතාවට ඇද දැමීම, කුඩා, පරපුටු හා පුදුමාකාර ලෙස ධනවත් ප‍්‍රභූවක් විසින් අතිශය රුදුරු ලෙස සංවිධානය කෙරේ.

ජනගහනය දරිද්‍රතාවට ඇද දැමීමේ ද මූල්‍ය වංශාධිපති පැලැන්තියේ සාක්කුවලට යුරෝ ටි‍්‍රිලියන ගනන් පුරවාගැනීමේ ද අතිශයින් ම ඓතිහාසිකව පරාගතවාදී වැඩපිලිවෙලක් සූදානම් කරමින් සිටින යුරෝපා ධනවාදයේ ප‍්‍රතිගාමී හා අහේතුක ස්වභාවය, නොවැලැක්විය හැකි ලෙසම කම්කරු පන්තිය තුල දැවැන්ත අරගල අවුලුවාලනු ඇත.

ජාත්‍යන්තර පන්ති සබඳතාවල තත්වය A Contribution to a Critique of Political Economy (දේශපාලන අර්ථශාස්ත‍්‍රය පිලිබඳ විවේචනයකට ප‍්‍රතිපදානයක්) ග‍්‍රන්ථය තුල මාක්ස් විසින් වඩාත්ම ගැලපෙන පරිදි සාරාංශ ගත කොට තිබේ: "සිය වර්ධනයේ නිශ්චිත අවධියක දී, සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග, පවත්නා නිෂ්පාදන සබදතා සමග, නැතහොත් -- එය ම සඳහා නෛතික ප‍්‍රකාශනයක් වන -- මෙතෙක් ඒවා වැඩ කරමින් සිටියේ යම් දේපොල සබඳතා තුල නම් එම දේපොල සබදතා සමග, ගැටුමකට එලඹෙයි. මෙම සබඳතා නිෂ්පාදන බලවේගවල වර්ධනයේ රූපාකාරයන්ගේ සිට ඒවායේ විලංගු බවට පත්වෙයි. එවිට සමාජ විප්ලවයේ යුගයක් ඇරඹෙයි.”

කම්කරු පන්තිය සඳහා පවතින ප‍්‍රධාන කාරනාව වන්නේ, අතීතයේ පන්ති අරගලවල මූලික අත්දැකීම් සියල්ල උකහා ගත් හා අව්‍යාජ විප්ලවවාදී ඉදිරිදර්ශනයක් සපයන නව ජාත්‍යන්තර දේශපාලන පක්ෂයක් ගොඩනැගීමයි. යුරෝපය තුල දී මෙය ඉල්ලා සිටින්නේ, යුරෝපා සංගමයට හා එහි සියලු සංඝටක රාජ්‍යයන්ට එරෙහි අරගලයක්, කම්කරු පන්තිය බලය අල්ලාගැනීම සහ ලෝක සමාජවාදී විප්ලවයේ අත්‍යන්ත කොටසක් ලෙස යුරෝපා සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ගොඩනැගීමයි.

ස්ටීෆන් ස්ටයින්බර්ග්

Share this article: