වහලුන් නිදහස් කිරීමේ ප‍්‍රකාශයෙන් වසර 150ක්

150 years since the Emancipation Proclamation

22 September 2012

1862 සැප්තැම්බර් 22 දා ජනාධිපති ඒබ‍්‍රහම් ලින්කන් වහලූන් නිදහස් කිරීමේ ප‍්‍රකාශය ප‍්‍රසිද්ධියට පත් කලේය. 1863 ජනවාරි 1 දා එය බලාත්මක වූ කල එම විධායක ආඥාව ඇමරිකාවේ දකුනේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පැවති ප‍්‍රදේශවල මිලියන 4ක් වූ වහලුන් නෛතිකව නිදහස් කලේය.

වහලුන් නිදහස් කිරීමේ ප‍්‍රකාශය සිවිල් යුද්ධය සමාජ විප්ලවයක් බවට හැරවීය. එම ප‍්‍රකාශය, සංගමය 1860 දී පැවති ආකාරයෙන් රැකගැනීමේ යුද්ධයක් ලෙස ඒ වන තෙක් උතුර විසින් ගෙන යනු ලැබූ අරගලය, වහල් ක‍්‍රමයත් එම ක‍්‍රමය පාදක වූ සමාජ හා දේශපාලනික පර්යායත් විනාශ කිරීම සඳහා වූ යුද්ධයක් බවට පරිවර්තනය කලේය.

එහි අතිශය වැදගත් ස්වභාවය ද ලේඛනයේ ප‍්‍රවීනයකු ලෙස ලින්කන් දිනාගෙන ඇති කීර්තිය ද සැලකූ කල, ලියවිල්ලේ නිරහංකාර සහ නෛතික ශෛලිය යමෙක් මවිතයට පත් කරන සුලුය. තීරනාත්මක ඡේද ඇත්තේ එහි මැද කොටස දෙසට වන්නටය. එහි දී ලින්කන් මෙසේ ලියයි: "ඒ වන විට එක්සත් ජනපදයට එරෙහිව කැරැල්ලක යෙදී සිටින්නා වූ ජනයාගේ, මොන යම් හෝ ජනපදයක් හෝ ජනපදයක නම් කල කොටසක් ඇතුලත, වහලුන් ලෙස තබා ගෙන ඇති සියලු පුද්ගලයන්, අපගේ ස්වාමීන්ගේ වර්ෂයෙන් එක දහස් අටසිය හැට තුනේ, ජනවාරි මස පලමු වන දින පටන් සදහටම නිදහස් වනු ඇත.”

මෙම නිරහංකාර ශෛලිය, ප‍්‍රකාශයේ විප්ලවවාදී අන්තර්ගතය කිසිදු අයුරකින් හීන නොකලේය. "ලින්කන් ඉතිහාස වාර්තා තුල අසමසම පුද්ගලයෙක්” යයි, කාල් මාක්ස් 1862 ඔක්තෝබර් 9 දා ඩයි ප්‍රෙස පත‍්‍රයට ලියූ ලිපියක සඳහන් කලේය. "ඔහු විසින් සතුරා වෙත දමා ගසන ලද, නිරතුරුවම විශිෂ්ට ඓතිහාසික ලියවිලි ලෙස පවතිනු ඇති, වඩාත්ම බලගතු ආඥාවන් සියල්ල, පෙනී යන්නේ, නීතිඥයකු විසින් ප‍්‍රතිපාර්ශ්වයේ නීතිඥයා වෙත යවන ලද චාරිත‍්‍රානුකුල සිතාසි ලෙසය, ඒවායේ අභිප‍්‍රාය වන්නේ ද එයයි.”

කැරලිකාරී ජනපද 1862 සැප්තැම්බර් 22 සහ 1863 ජනවාරි 1 අතර දින 100 තුල දී සංගමයට යලි එක් වුව හොත් සහ වහලුන් ක‍්‍රමානුකූලව නිදහස් කිරීමේ සැලසුමකට ඔවුන් එකඟ වුව හොත් දේපොල පවරාගැනීමෙන් ඔවුන් නිදහස් කිරීමේ හැකියාව, වහලුන් නිදහස් කිරීමේ "ප‍්‍රාථමික” ප‍්‍රකාශය -- එය සමහර විට හැඳින්වූයේ එනමිනි -- මගින් ඉදිරිපත් කෙරුනි. නිදහස් කෙරෙන වහලුන් "මෙම මහාද්වීපයේ හෝ වෙනත් ස්ථානයක” ජනපදකරන සැලසුමකට යටත් කිරීමේ හැකියාව පවා ලින්කන්, මෙම ලියවිල්ලේ ආරම්භක කෙටුම්පත තුල සාකච්ඡා කලේය.

ඔවුන් පොලඹවාගැනීමට දෙන මෙම සහන කැරලිකාරී ජනපද යලි සංගමය කරා ගෙන ඒමෙහිලා සාර්ථක වනු ඇතැයි ලින්කන් විශ්වාස නොකලේය. ලියවිල්ලට ඒවා ඇතුලත් කිරීමේ (ලින්කන් අවසන් ප‍්‍රකාශය තුල ජනපදකරන සැලසුම් ගැන සඳහන් කලේ නැත) එල්ලය වූයේ, සංගමය තුල රැඳී සිටි වහල්හිමි මායිම් ජනපද ද (මිසෝරි, කෙන්චුකි, ඩෙලවෙයාර්, බටහිර වර්ජිනියා සහ මේරිලන්ඩ්) ඩිමොක‍්‍රැටික් පක්ෂයේ පුවත්පත් සහ දේශපාලනඥයන් විසින් "කලු රිපබ්ලිකන් පක්ෂයේ” "ජාතීන් මිශ‍්‍ර කිරීමේ” සහ "වහල් නැගිටීමේ” අරමුනු පිලිබඳව ගෙන යනු ලැබූ තොරක් නැති ප‍්‍රචාරවලට ජනතාව යටත් කෙරුනු, උතුරේ ඡන්දදායකයන් කොටසක් ද අස්වසාලීමයි.

ලින්කන් වහලුන් නිදහස් කිරීමේ ප‍්‍රකාශය නිකුත් කලේ, ප‍්‍රධාන අන දෙන නිලධාරියා ලෙස ඔහුට පවතින බලතල යටතේ, මිලිටරි ආඥාවක් ලෙසය. වහලුන් නිදහස් කිරීමට ඩිමොක‍්‍රැටික් පක්ෂය දැක්වූ විරුද්ධත්වය මගහැරීම පිනිස ඔහු සිය යුදකාලීන බලතල යොදා ගත්තේය. ප‍්‍රකාශය ඒ වන විට කැරලිකාරිත්වය පැවති ප‍්‍රදේශවලට පමනක් බලපෑවේ මෙම හේතුව මෙන් ම වහල් ක‍්‍රමය අනුමත කරන ව්‍යවස්ථාමය විධිවිධාන පැවතීම ද නිසාය. කෙසේවෙතත්, ලියවිල්ල වහල් ක‍්‍රමයේ අවසානය ප‍්‍රකාශයට පත් කරන බවට එම අවස්ථාවේ කිසිදු සැකයක් පැවති නැති තරම්ය. එය, "වහල් හිමියන් . . . පොදු ඝාතනයකට ලක් කිරීමට කල ආරාධනාවක්” යයි, වහල්හිමි ජනපද සංයුක්තයේ ජනාධිපති ජෙෆර්සන් ඩේවිස් කෝපාවිෂ්ටව පැවසීය.

තථ්‍ය වසයෙන් ගත් කල, එක්සත් ජනපදය තුල වහල් ක‍්‍රමය අහෝසි කිරීමේ දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය, යුද්ධයේ අවසානයට පෙර රිපබ්ලිකන් පාලනය යටතේ පැවති කොංග‍්‍රසයේ මන්තී‍්‍ර මන්ඩල දෙකම විසින් සම්මත කරන ලද අතර එය 1865 දෙසැම්බරයේ දී නිල වසයෙන් බලාත්මක කෙරුනි.

වහල් ක‍්‍රමයට ලින්කන් දැක්වූ පුද්ගලික විරුද්ධත්වය බෙහෙවින් ප‍්‍රසිද්ධ කාරනාවක් විය. මිතුරන් හා සතුරන් යන දෙගොල්ලම විසින් ඔහු දකින ලද්දේ, වහල් ක‍්‍රමය මුලුමනින්ම අහෝසි කිරීම ඉල්ලා සිටින්නකු නොවුනත්, වහල් ක‍්‍රමයට විරුද්ධ දේශපාලනඥයකු ලෙසය. "මා වහලකු නොවන්නා සේ ම මම වහල් හිමියෙක් ද නොවේ. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ මාගේ අදහස ප‍්‍රකාශයට පත් කරයි,” යනුවෙන් ලින්කන් සඳහන් කොට තිබුනි.

කෙසේවෙතත් රිපබ්ලිකන් පක්ෂය 1860 මැතිවරනය ජයගෙන තිබුනේ, වහල් ක‍්‍රමය ඒ වන විටත් පැවති ප‍්‍රදේශවල එය අහෝසි නොකරන බවටත් නව භූමි ප‍්‍රදේශවලින් පමනක් එය තහනම් කෙරෙනු ඇති බවටත් පොරොන්දු වූ වැඩපිලිවෙලක් මතය. බෙදී වෙන් වීමේ හා යුද්ධයේ රූපකාරයෙන් දකුනේ ප‍්‍රභූව මෙම ආස්ථානය ප‍්‍රචන්ඩ ලෙස ප‍්‍රතික්ෂේප කිරීමට ගත් වෑයම නොතකා, ලින්කන් පාලනය 1861-1862 සිවිල් යුද්ධය ගෙන ගියේ කලින් පැවති තත්වය කරා ආපසු යාමේ අරගලයක් ලෙසය.

1862 අගෝස්තු 22 දා තරම් පසු කලෙක, ලින්කන් හොරාස් ගී‍්‍රලිගේ වහල් ක‍්‍රමයට එරෙහි ද නිව් යෝර්ක් ටි‍්‍රබියුන් පුවත්පතේ පල කල ලිපියක, ඉහත ආස්ථානය යලි තහවුරු කර ඇති බවක් පෙනී ගියේය. ඔහු මෙසේ ලියූ බව ප‍්‍රසිද්ධය: "එක වහලකු හෝ නිදහස් කිරීමකින් තොරව සංගමය රැක ගැනීමට මට හැකිනම්, මම එසේ කරන්නෙමි. සියලු වහලුන් නිදහස් කිරීමෙන් මට එය රැක ගත හැකි නම්, මම එසේ කරන්නෙමි. සමහර වහලුන් නිදහස් කිරීමෙන් හා අනෙක් අය ඔවුන් සිටිනා අයුරින්ම ඉන්ට හැරීමෙන් මට එය රැක ගත හැකි නම්, මම එය ද කරන්නෙමි.”

ලින්කන් වහල් ක‍්‍රමය ගැන එතරම් තැකීමක් නොකල බවත් වහලුන් සම්බන්ධයෙන් ඔහුට පැවතියේ ඊටත් වඩා අඩු සැලකිල්ලක් බවත් පෙන්වන සාක්ෂ්‍ය ලෙස සමහරු මෙම වැකි වෙන් කොට හුවා දක්වා තිබේ. ඔවුහු ලිපියේ අවසන් වැකිය පහසුවෙන් ම නොතකා හරිති: "මගේ නිල රාජකාරියේ දෘෂ්ටියට අනුව මගේ අරමුන මම මෙහි සඳහන් කර ඇත්තෙමි. එමෙන්ම සෑම තන්හිම, සියලුම මිනිසුන් නිදහස් කල හැකිය යනුවෙන් නිරන්තරයෙන් ප‍්‍රකාශයට පත් කර ඇති මගේ පුද්ගලික පැතුමෙහි කිසිදු වෙනසක් කිරීම මගේ අභිප‍්‍රාය නොවේ.”

වඩාත් වැදගත් කාරනාව නම්, ලින්කන්, වහලුන් නිදහස් කිරීමේ ප‍්‍රකාශය, ඊට මාස දෙකකට පමන පෙර, ඒ වන විටත් කෙටුම්පත් කර තිබූනි යන්න ඔවුහු නොතකා හරිති. මෙම ආලෝකයෙන් බලන කල, ගී‍්‍රලි වෙත යැවූ ලින්කන්ගේ ලිපිය ඉතා වෙනස් අර්ථයක් ගනී. "සියලු වහලුන් නිදහස් කිරීම” මගින් "සංගමය රැක ගැනීමට” ඔහු එවිට සූදානම්ව සිටියේය. මෙම ලිපිය මගින් ඔහු එම කර්තව්‍යයම සිදු කරනු ඇති ප‍්‍රකාශයක් සඳහා මහජනතාව සූදානම් කරමින් සිටියේය.

එහෙත්, සංගමයේ දිගු කාලීන යුද්ධයේ දුර්වල අවස්ථාවන්ගෙන් එකක් වූ, 1862 ගිම්හාන කාලය තුල දී යුද බිමේ ජයග‍්‍රහනයක් බලාපොරොත්තුවෙන්, ලින්කන් සිය ප‍්‍රකාශය ප‍්‍රසිද්ධ කිරීම කල් දැමීය. යුද්ධයේ ප‍්‍රථම වසර තුල සංගමය අත්විඳි මිලිටරි පසුබෑම්, වහල් ක‍්‍රමය විනාශ කිරීමෙන් තොරව වහල්හිමි ජනපද සංයුක්තය පරාජය කිරීම කල නොහැකි ය යන වහල් ක‍්‍රමය අහෝසි කිරීමේ ආස්ථානය වෙත ලින්කන් දිනාගෙන තිබුනි. "අප වහලුන් නිදහස් කල යුතුය, නැතහොත් අපට යටත් වීමට සිදු වනු ඇත” යනුවෙන් ලින්කන් නිගමනය කලේය.

එක්තරා දුරකට, වහලුන් විසින්ම එම කාරනාව මතු කොට තිබුනි. මෙය ප‍්‍රකාශයේ සෙසු කොන්දේසි මගින් ද පැහැදිලිය. සංගමයේ හමුදාව ගිය සෑම තැනකම, වහල්ලු පලායාම පිනිස හමුදාවේ පැමිනීම ඩැහැගත්හ. එලෙස එහි ශ‍්‍රම බලකාය අහිමි වීම සමස්ත දකුනේ ම ආර්ථිකයට තර්ජනය කලේය. එබැවින් ලියවිල්ල, බේරී පලා ගිය වහලුන් කැරලිකාරී ප‍්‍රදේශවල වහල් හිමියන් වෙත ආපසු භාර දීම සංගමයේ හමුදා ජෙනරාල්වරුන්ට තහනම් කලේය. එමගින් කොංග‍්‍රසය විසින් කලින් සම්මත කරන ලද රාජසන්තක කිරීම පිලිබඳ පනත් තහවුරු කෙරුනි.

වහලුන් නිදහස් කිරීමේ ප‍්‍රකාශය, තවත් තීරනාත්මක ආකාරයකින් යුද්ධයේ කි‍්‍රයාපටිපාටිය වෙනස් කලේය. දකුනට එරෙහි යුද්ධයේ දී සම්මුතිවාදී හා සහනශීලී ආකාරයකින් පවා කි‍්‍රයා කොට තිබූ, ජොර්ජ් මැක්ලෙලන් වැනි ජෙනරාල්වරු ඉවත් කිරීමට හා ඔවුන් තනතුරෙන් පහල දැමීමට ලින්කන් ගත් පියවර සමග සමපාත වූ එම ප‍්‍රකාශය, උලිසස් එස්. ග‍්‍රාන්ට්, පිලිප් ෂෙරිඩාන් සහ විලියම් ටෙකම්සේ ෂර්මන් වැනි පුද්ගලයන් ඉහලට ගැනීම සඳහා වේදිකාව සැකසීය. වෙනස අතිශයින් කැපී පෙනෙන සුලු විය. ඔවුන් සිය දේපොල හෝ වහලුන් සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නැත යනුවෙන් සඳහන් කරමින් මැක්ලෙලන් දකුනේ වැවිලිකරුවන් වෙත පනිවිඩ යැවීය. ෂර්මන් කියා සිටියේ සිය එල්ලය "ජෝර්ජියාව වැලපීමට ලක් කිරීම” බවයි.

ප‍්‍රකාශය දැවැන්ත ජාත්‍යන්තර ප‍්‍රතිඵල ජනිත කලේය. සැප්තැම්බර් 17 දා ඇන්ටීටෑම් සටනේ දී ලීගේ හමුදාව පරාජය වීම, බි‍්‍රතාන්‍යය හෝ ප‍්‍රන්සය දකුනේ පාර්ශ්වයෙන් මැදිහත් විය හැකිය යන අන්තරාය තාවකාලිකව වලකා තිබුනි. (එම සටන පැවති දින උදයේ, බි‍්‍රතාන්‍ය අගමැති පැල්මර්ස්ටන් සාමි, "වහල්හිමි ජනපද සංයුක්තය පිලිගැනීමට නැඹුරු වූ අදහසකින්” ගැටුමට මැදිහත්කරුවකු ලෙස ඉදිරිපත් වීමට කාලය එලඹ ඇත යනුවෙන් සඳහන් කරමින් සිය විදේශ ලේකම් වෙත සටහනක් යවා තිබුනි. බි‍්‍රතාන්‍යයට හා ප‍්‍රන්සයට අවශ්‍ය වූයේ එම වහල්හිමි ජනපද සංයුක්තය යුද්ධයේ ජයග‍්‍රාහකයන් වනු දැකීමයි.)

එහෙත්, ප‍්‍රන්සය හෝ බි‍්‍රතාන්‍යය දකුනේ පාර්ශ්වයෙන් විවෘතව මැදිහත්වීම දේශපාලනිකව හැර අන් කිසිදු ආකාරයකින් කල නොහැකි දෙයක් බවට පත් කලේ, ඇන්ටීටෑම් සටනෙන් දින පහකට පසුව අවසානයේ නිකුත් කෙරුනු, වහලුන් නිදහස් කිරීමේ ප‍්‍රකාශයයි. එමෙන්ම, එය සංගමයේ ප‍්‍රතිපත්තිමය අරමුන යුරෝපා කම්කරු පන්තියේ ප‍්‍රතිපත්තිමය අරමුන බවට පත් කලේය.

සංගමයේ නාවික සම්බාධක "කපු දුර්භික්ෂය” ද බි‍්‍රතාන්‍ය රෙදි කම්හල්වල මහජන විරැකියාව ද නිර්මානය කර තිබීම නොතකාම, සංගමයට සහාය පිනිස එංගලන්තයේ මහජන විරෝධතා රැලි පැවැත්වුනි. මින් එක් රැලියක දී "මැන්චෙස්ටර්හි වැඩ කරන ජනතාව” විසින් සම්මත කරන ලද යෝජනාවක්, වහලුන් නිදහස් කිරීම "ඒබ‍්‍රහම් ලින්කන්ගේ නම අනාගත පරම්පරාවේ ගෞරවයට හා සම්මානයට පාත‍්‍ර කරනු ඇත” යනුවෙන් ප‍්‍රකාශ කලේය.

"මෙම අර්බුදය තුල මැන්චෙස්ටර්හි හා සමස්ත යුරෝපයේ වැඩ කරන ජනතාවට දැරීමට කැඳවුම් කර ඇති වද වේදනාවන්” පිලිගනිමින්, ලින්කන් වහාම පිලිතුරු ලිපියක් යැවීය. ඔහු ඔවුන් "ගැටලුව සම්බන්ධයෙන් කර ඇති තීරනාත්මක ප‍්‍රකාශය” වෙනුවෙන් "මැන්චෙස්ටර්හි වැඩ කරන ජනතාව” වෙත ස්තුතිය පුද කලේය. ලිපිය ඔවුන් වෙත භාර දෙන ලද්දේ, බි‍්‍රතාන්‍යයේ එක්සත් ජනපද තානාපති සහ පුරෝගාමි ජෝන් ඇඩම්ස්ගේ මුනුපුරා වූ චාල්ස් ෆ‍්‍රැන්සිස් ඇඩම්ස් විසිනි.

"සංගමය පිහිටුවීමෙන් පසුව මෙතෙක් ඇමරිකානු ඉතිහාසය තුල පැවති වැදගත්ම ලියවිල්ල” ලෙස මාක්ස් වහලුන් නිදහස් කිරීමේ ප‍්‍රකාශය නිවැරදිව නම් කලේය. ලින්කන් මත්, ඇමරිකානු ජනරජයේ පාදක ලියවිල්ල වූ ස්වාධීනතා ප‍්‍රකාශයත් ගැටිස්බර්ග් කතාවේ දී වඩාත්ම ප‍්‍රකට ලෙස ප‍්‍රකාශ කෙරුනු "සියලුම මිනිසුන් සමානයන් ලෙස මවා තිබේ” යන එහි විප්ලවවාදී අවධාරනයත් යලි යලිත් මතක් කලේය.

මෙම වැකි සහ වහල් ක‍්‍රමයේ සංස්ථාපිතය අතර පැවති ප‍්‍රතිවිරෝධය, නව ජනරජය අවුල් කොට සිවිල් යුද්ධය -- දෙවන ඇමරිකානු විප්ලවය -- ද ලින්කන් 1863 දී "නිදහසේ නව උපතක්” ලෙස හැඳින්වූ තත්වය ද කරා නොවැලැක්විය හැකි ලෙස තුඩු දුන්නේය.

වහලුන් නිදහස් කිරීමේ ප‍්‍රකාශය තුල දේහානුරූපව තිබූ විප්ලවවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්ප ද පන්ති සූරාකෑම මත පාදක වූ සමාජ-ආර්ථික ක‍්‍රමය ද අතර යටින් පැවති ප‍්‍රතිවිරෝධතා, සිවිල් යුද්ධයේ අවසානයෙන් පසුව ඉක්මනින්ම ප‍්‍රකාශයට පත් විය. යන්තම් වසර 12කට පසුව, 1877 දී, රිපබ්ලිකන් පක්ෂය දකුනේ යලිගොඩනැගීමේ වැඩකටයුතු අවසන් කිරීමටත් පැරනි වැවිලිකාර වංශාධිපති පැලැන්තියේ උරුමක්කාරයන් අතට දේශපාලන බලය යලි භාර දීමටත් එකඟ විය. එම වසරේ දී ම, රිපබ්ලිකන් හා ඩිමොක‍්‍රැටික් නිලධාරියෝ, මහා දුම්රිය වර්ජනය තුල රට පුරා නැගී සිටි කම්කරුවන් වෙඩි තබා ඝාතනය කරනු පිනිස හමුදාව සහ පොලීසිය මෙහෙයවූහ.

ඇමරිකානු පාලක පන්තිය ඇමරිකානු විප්ලවයේ සහ සිවිල් යුද්ධයේ විප්ලවවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන් බොහෝ කලකට පෙරම පාගා දමා තිබේ. අද, ඔවුන් සිය ධනය තර කර ගැනීමටත් ධනවතුන් හා දුගීන් අතර පරතරය පුලුල් කිරීමටත් කොල්ලකෑම සහ මර්දනය යොදා ගන්නා තතු යටතේ, ධනේශ්වරය, ඔවුන්ගේ කෑදරකම හා උද්දච්චකම අතින් ගත් කල, පැරනි වහල්හිමි ප‍්‍රභූව කැපී පෙනෙන ලෙස මතකයට නංවයි.

ඔබාමා සහ රොම්නි අතර වත්මන් ජනාධිපති තරඟය නිරීක්ෂනය කල විට, පාලක පන්තිය සමානත්මතාව පිලිබඳව දරන ආවේගාත්මක වෛරය දැක ගත හැකිය. අතිමහත් ලෙස ධනවත් මූල්‍ය පරපුට්ටකු වන රොම්නි, ඔවුන්ට "සෞඛ්‍ය සේවාව, ආහාර සහ නිවාස සඳහා” අයිතියක් ඇති බව විශ්වාස කිරීම හේතුවෙන් ජනගහනයෙන් "සියයට 47ට” අපහාස කරයි. මුලුමනින්ම නව්‍ය හා පිටස්තර සංකල්පයක් -- "ධනය යලි බෙදාහැරීම” -- ඇමරිකානු දේශපාලන දේහය තුලට හඳුන්වා දී ඇතැයි චෝදනා කරමින් ඔහු ඔබාමාට පහර ගසයි. සත්තිකන්ම, ඩොලර් ටි‍්‍රලියන ගනනක ධන සම්භාරයක් කම්කරු පන්තියේ සිට මූල්‍ය ප‍්‍රභූව අතට ඉහලට යලි බෙදාහැර ඇති, ඔබාමා, කම්කරු පන්තියට හා දුගීන්ට වාසි සහගත වන යලි බෙදාහැරීමේ පිලිවෙත් සඳහා මොන යම් හෝ සහයෝගයක් අවෘතව ප‍්‍රතික්ෂේප කරයි.

ඉහල සිට පහලට "යලි බෙදාහැරීම” ඇමරිකානු ඉතිහාසයට හා සංස්කෘතියට ආගන්තුක දෙයක් බවට කරන කියාපෑම සාවද්‍ය මෙන්ම අඥාන කියමනකි. වහලුන් නිදහස් කිරීමේ ප‍්‍රකාශය, රුසියානු විප්ලවයට පෙරාතුව ලෝක ඉතිහාසය තුල පැවති විශාලතම පුද්ගලික දේපොල පවරාගැනීම නිවේදනය කලේය.

ඇමරිකානු මූල්‍ය වංශාධිපති පැලැන්තිය දේශපාලන පක්ෂ දෙකම මත ආධිපත්‍යය දරන අතර ආන්ඩුවේ සෑම ආයතනයක් ම පාලනය කරයි. පැරනි වහල් බලය සේ ම, එය ඉතිහාසයේ කරලිය ස්වේච්ඡාවෙන්ම අතහැර නොයනු ඇත. වහල්හිමි ප‍්‍රභූව විනාශ කරනු පිනිස වහලුන් නිදහස් කිරීමට සිදු විය. මූල්‍ය වංශාධිපති පැලැන්තියේ බලය විනාශ කරනු පිනිස පලමුවත් ප‍්‍රමුඛවත් අවශ්‍ය වන්නේ, කම්කරු පන්තියේ දේශපාලන විමුක්තියයි.

ටොම් මැකමන්

Share this article: