වතු වෘත්තීය සමිතිවල වංචනික මැතිවරන පෙරමුන ප‍්‍රතික්ෂේප කරනු!

Reject the plantation unions’ fraudulent electoral front

By M. Thevarajah, SEP candidate for the Kegalla District, 4 September 2012

එකිනෙකට සතුරු වෘත්තීය සමිති තුනක් වන ලංකා කම්කරු කොන්ග‍්‍රසය (සී. ඩබ්ලිව්. සී), කඳුරට ජනතා පෙරමුන (යුපීඑෆ්) සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුන (ඩීපීඑෆ්) එලඹෙන සබරගමුව පලාත් සභා මැතිවරනයේදී කෑගල්ල සහ රත්නපුර දිස්ති‍්‍රක්ක තරග කිරීම සඳහා මැතිවරන පෙරමුනක් පිහිටුවා ගෙන තිබේ. මෙම දිස්තික්කවල දෙමල කතා කරන රබර් සහ තේ කම්කරුවෝ සැලකිය යුතු සංඛ්‍යාවක් සිටිති.

මෙම පෙරමුන ප‍්‍රතික්ෂේප කරන ලෙස සසප වතු කම්කරුවන් ගෙන් ඉල්ලා සිටියි. මෙම අපකීර්තිමත් වෘත්තීය සමිති එක පෙරමුනකට ගොනු වී සිටින්නේ දෙමල කතා කරන කම්කරුවන් ඔවුන්ගේ සිංහල කතා කරන කම්කරු සහෝදරයන්ට එරෙහිව පිහිටුවමින්, ආන්ඩුවට එරෙහි කම්කරුවන්ගේ විරුද්ධත්වය ප‍්‍රතිගාමී වාර්ගික දේශපාලනයේ ආවෘත අන්තයකට අපසරනය කිරීමට ය.

දේශපාලන පක්ෂ ලෙස ද කි‍්‍රයා කරන මෙම වෘත්තීය සමිති සියලුම කම්කරුවන් මුහුන දෙන ජීවන තත්වයන් කඩා වැටීමට ඍජුව ම වගකිව යුතුය. සීඩබ්ලිව්සී සහ යුපීඑෆ් ජනාධිපති පාලක සභාගයේ කොටස් කරුවන් වන අතර ඒවායේ නායකයෝ රජයේ ඇමතිකම් දරති. ඩීපීඑෆ් කම්කරු පන්තියට පහර දීම් සම්බන්ධයෙන් කුප‍්‍රකට දක්ෂිනාංශික එක්සත් ජාතික (යූඑන්පී) පක්ෂය සමග සන්ධානගතව සිටි.

පාලක සභාගයේ කම්කරු විරෝධී පිලිවෙත්වලින් තමන් දුරස්ථ වීම සඳහා රාජපක්ෂ ගේ අනුමැතිය ඇතිව සීඩබ්ලිව්සීය සහ යුපීඑෆ් මැතිවරනයේ දී වෙනම තරග කිරීමට තීරනය කර තිබේ. වතු කම්කරුවන් අතර වැඩෙන විරෝධය යටපත් කිරීම සඳහා මෙම සමිති ඔහුට අවශ්‍ය බැවින් රාජපක්ෂ ඔවුන්ට වෙනම තරග කිරීමට අවසර දුන්නේ ය.

මෙම වෘත්තීය සමිති වර්ගවාදය සඳහා විවෘතව ආයාචනය කරනු ලබයි. "පලාත් සභාවට දෙමල නියෝජිතයෙක් තෝරා පත් කර ගැනීම සඳහා මෙම මැතිවරනයේ දී දෙමල පක්ෂ එකමුතු විය යුතු ය” යි සීඩබ්ලිව්සී සභාපති මුත්තු සිවලිංගම් ප‍්‍රකාශ කලේ ය. යූපීඑෆ් ලේකම් ඒ. ලෝරන්ස් එම පිලිවෙතම ප‍්‍රතිරාවය කරමින් "කඳුරට දෙමල පක්ෂ සිංහල ස්වෝත්තමවාදයට එරෙහිව එකමුතු විය යුතුය” යයි කීවේ ය.

"පාලක පක්ෂයට, විපක්ෂයේ යූඑන්පියට හෝ අපට ඡන්දය දීම සඳහා දෙමල ඡන්දදායකයන් බෙදුනොත්, දෙමල නියෝජිතයෙකුට මෙම මැතිවරනයේ දී ජයග‍්‍රහනය කල නොහැකි ය” යයි ප‍්‍රකාශ කරමින් ඩීපීඑෆ් නායක මනෝ ගනේෂන් වාර්ගික දේශපාලනය පිටුපසින් තිබෙන මැතිවරන පදනම ගනන් බැලී ය.

"දෙමල නියෝජිතයෙක් තෝරාගැනීම” වතු කම්කරුවන්ට උපකාරක වෙතැයි කරන ප‍්‍රකාශය පචයකි. වතු සමාගම්වල ඉල්ලීම් කම්කරුවන් මත පැටවීම සඳහා මෙම සමිති කෙලින් ම වග කිව යුතු ය. බලයට පත් වූ ආන්ඩුවල කොටස්කරුවන් ලෙස සමස්තයක් ලෙස කම්කරු පන්තිය මත තීව‍්‍ර වන ප‍්‍රහාරවලට ද දෙමල ජනයාට එරෙහිව සිංහල පාලක පන්තියේ ක‍්‍රමානුකුල වෙනස්කම් කිරීම්වලට ද මෙම සමිති නායකයෝ අනුමැතිය දුන් හ. සීඩබ්ලිව්සී හා යූපීඑෆ් නායකයෝ සහනාධාර කප්පාදු කර ආහාර, ඉන්ධන වැනි මුලික භාන්ඩ මිල හා ප‍්‍රවාහන ගාස්තු ඉහල දැමූ රාජපක්ෂ ආන්ඩුවේ ඇමතිවරු ය.

දරිද්‍රතා මට්ටමේ සොච්චම් පඩි වැඩිවීමකට හිලව් වසයෙන් ඉහල නිෂ්පාදන ඉලක්කයන් කි‍්‍රයාවට දමන සාමූහික ගිවිසුම්වලට සියලුම වතු කම්කරු සමිති වගකිව යුතු ය. දස දහස් සංඛ්‍යාත කම්කරුවෝ 2006, 2008 සහ 2010 දී සීඩබ්ලිව්සීය වතු පාලකයන් සමග ඇති කර ගත් ද්‍රෝහී ගිවිසුම් ප‍්‍රතික්ෂේප කල හ. නමුත් කම්කරුවන් ගේ කෝපය යටපත් කිරීම සඳහා ගිවිසුම්වල "විරුද්ධකරුවන්” ලෙස රඟ පෑ ඩීපීඑෆ් සහ යූපීඑෆ් එම ගිවිසුම් පිලිගනිමින් කම්කරුවන්ගේ වර්ජන සහ විරෝධතා පාවා දුන් හ.

සියලුම දෙමල ජනයා ගේ උවමනාකම් තමන් විසින් නියෝජනය කරනු ලබන බව මෙම සමිති විසින් ප‍්‍රකාශ කරනු ලබන නමුත් ඔවුන් කි‍්‍රයා කරන්නේ දෙමල ප‍්‍රභූවේ උවමනාකම් ආරක්ෂා කිරීම සඳහා ය. මෙම වෘත්තීය සමිති පවත්වාගෙන යන සමිති නිලධරයේ සමහරු ධනවත් ව්‍යාපාරිකයන් වන අතර සමහරුන්ට තමන්ගේ ම වතු තිබේ. මෙම සමිති නායකයන්ගේ සුඛෝපභෝගී ජීවන ශෛලිය, පන ගැට ගසා ගැනීමට පොර බදන හා ජීවත් වීමට සරිලන නිවසක්, සෞඛ්‍ය පහසුකම් හා අධ්‍යාපනය අහිමි වතු කම්කරුවන් හා ඔවුන්ගේ පවුල්වල ජීවන තත්වයන් සමග මොනම පොදු බවක්වත් නැත.

දසක තුනක් දිවයිනේ පැවති සිවිල් යුද්ධයේදී බලයට පත් වූ කොලඹ ආන්ඩු වතු දිස්ති‍්‍රක්කවල පොලිස් රාජ්‍ය තන්ත‍්‍රයක් පවත්වා ගෙන ගියෝ ය. ඔවුන් සියලු දෙනා බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) සාමාජිකයන් ලෙස සලකමින් ආරක්ෂක හමුදා ඔවුන්ට නිතරම හිංසා කල හ. සමහරු අත්අඩංගුවට ගෙන වධ දුන්නේ ය. මානව හිමිකම් උල්ලංගනය කිරීම ගැන වෘත්තීය සමිති මෘදු ප‍්‍රකාශ නිකුත් කල නමුත් ඔව්හු වර්ගවාදී සහයෝග දුන් හ. අත්අඩංගුවට ගනු ලැබීම සඳහා පොලීසියට දෙමල තරුනයන්ගේ ලැයිස්තු සැපයීම සම්බන්ධයෙන් සීඩබ්ලිව්සීය ට වාර්තාවක් තිබේ.

වතු කම්කරුවන් මුහුන දෙන පීඩාකාරී කොන්දේසි බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලන කාලයේ තහවුරු කෙරුන ඒවා වූ නමුත් 1948 ඊනියා නිදහසෙන් පසුව ද එකී කොන්දේසි දිගට පවත්වා ගෙනැවිත් තිබේ. ලක්ෂ පහකට වැඩි වතුකම්කරු සංඛ්‍යාවක් 1964 දිල්ලියත් සමග අත්සන් කල සිරිමා-ශාස්තී‍්‍ර ගිවිසුම මගින් බලහත්කාරයෙන් දකුනු ඉන්දියාවට පිටුවහල් කල හ. ඔවුන්ගෙන් බහුතරයක් තවමත් ජීවත් වන්නේ අසරන තත්වයක ය.

වතු කම්කරුවන්ට දැන් අයිතීන් තිබෙන බව ආන්ඩුව සහ වෘත්තීය සමිති ප‍්‍රකාශ කලත් ඔවුන්ට තවමත් සලකනු ලබන්නේ දෙවන ගනයේ පුරවැසියන් ලෙස ය. මෙම පීඩාවට පත්කිරීමේ ප‍්‍රධාන හේතුව වන්නේ වතු සමාගම් සහ ආන්ඩුව වෙනුවෙන් සියලුම වෘත්තීය සමිති කැප වී කි‍්‍රයාකරන ධනේශ්වර සුරාකෑමේ ක‍්‍රමය ය.

නව සම සමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි හිටපු වාම කන්ඩායම් වෘත්තීය සමිතිවල දේශපාලන ක්ෂමාලාපකයෝ ලෙස කි‍්‍රයා කරති. වැඩකරන ජනතාවගේ අයිතීන් වනුවෙන් සටන් කරන චැම්පියන් ලෙස නසසපය සහ එසප විසින් ඔජ වඩවන ලද ඩීපීඑෆ් දක්ෂිනාංශික යූඑන්පීය සමග සන්ධානගතව සිටි. කෙසේ නමුත් ඩීපීඑෆ් රාජපක්ෂ ආන්ඩුවේ කොටස් කරුවන් සමග නව පෙරමුනකට එකතු වී සිටීම ගැන පක්ෂ දෙකෙන් එකක්වත් කට ඇර නැත.

රාජපක්ෂ ආන්ඩුව මැතිවරන කැඳවුම් කර තිබෙන්නේ වැඩකරන ජනයාගේ ජීවන තත්වයන්ට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශිත නව ප‍්‍රහාරයක් සුදානම් කිරීම සඳහා ය.

වතු කම්කරුවන්ගේ අයිතීන් දිනාගැනීමේ එකම මාවත වන්නේ වර්ගවාදය ප‍්‍රතික්ෂේප කිරීම සහ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට හා ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට සිංහල දෙමල කම්කරුවන්ගේ එකමුතුව සඳහා සටන් වැදීම ය.

වතුකම්කරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සසප සහ එහි පෙර ගමන්කරු වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට දීර්ඝ වාර්තාවක් තිබේ. කම්කරු පන්තියට සමාජවාදී ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කිරීම සඳහා සසප මැයි මාසයේ වතු කම්කරු සම්මේලනයක් හැටන් නගරයේ දී පැවැත් වී ය.

වෘත්තීය සමිතිවලින් බිඳී සෑම වත්තකම කම්කරු කි‍්‍රයාකාරී කමිටු ගොඩනගන ලෙසත් සමාන ප‍්‍රහාරවලට මුහුන දී සිටින ශී‍්‍ර ලංකාවේ සෙසු කම්කරුවන් සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙතට හැරෙන ලෙසත් එම සම්මේලනය කම්කරුවන්ට කැඳවුම් කලේ ය.

බැංකු, ප‍්‍රධාන කර්මාන්ත සහ වතු සමාගම් කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී පිලිවෙත් මත මෙම අරගලය පදනම් විය යුතු ය. අන්සියල්ටමත් වඩා අවශ්‍ය වන්නේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් මගින් කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමය.

සසප සටන් කරන කි‍්‍රයාමාර්ගය මෙයයි. කෑගල්ල දිස්ති‍්‍රක්කයට තරග කරන අපේ අපේක්ෂකයන්ට ඡන්දය දෙන ලෙසත්, අපගේ ඉදිරිදර්ශනය අධ්‍යයනය කරන ලෙස හා සසපට බැඳී එය කම්කරු පන්තියේ මහ ජන පක්ෂය ලෙස ගොඩ නැගීමට පෙරට එන ලෙස අපි වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: